රාවය

ක‍්‍රීඩාවත් අසාර්ථකයි

ක‍්‍රීඩාවත් අසාර්ථකයි

ක්‍රීඩා සංගම්වලට නිදහස ලබා දෙන්න කියලා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් තියෙනවා. මාත් කැමතියි එම සංගම්වලට පූර්ණ නිදහස ලබාදෙන්න’ යනුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පල්ලෙකැලේ පැවති රැස්වීමකදී පවසා තිබුණි.

සිව්වසරක නීතිය ක‍්‍රියාත්මක කිරීමත් සමග ඊට උරණ වූ බොහෝ ක‍්‍රීඩා සංගම් ඇමතිවරයා ගත් ක‍්‍රියා කලාපයට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කළේය. සියලූම ක‍්‍රීඩා සංගම්වල මව් සංගම් එකහෙළාම පිළිගනුයේ ඔවුන්ට අනුබද්ධිත මෙරට සංගම් කියන දෑය. ඒ අනුව සිව් වසරක නීතිය තබා මෙරට ක‍්‍රීඩා අමාත්‍යවරයා, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ භූමිකාව හෝ නොදන්නා මෙම මව් සංගම් මෙරට අනුබද්ධ සංගම් කරන සියල්ල හිස් මුදුනින් පිළිගන්නා තත්ත්වයක් උදා වී ඇත. මේ නිසා මෙරට ක‍්‍රීඩා සංගම්වලට දේශපාලනය අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කරන්නේ යැයි විශ්වාසයේ සිට ක‍්‍රීඩා අමාත්‍යවරයා පීඩාවට ලක් වීම සිදුවේ.

මේ තත්ත්වය තුළ ක‍්‍රීඩා අමාත්‍යවරයා ද මන්දෝත්සාහී වී ඇතැයි පෙනේ. ඒ අනුව ළඟදීම දැනට පවතින සිව් වසරේ නීතිය ගැලවී ඔලිම්පික් කමිටුව සහ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ලූසෑන් ගොස් එකඟ වූ එකඟතා ක‍්‍රියාත්මක වීමට නියමිතය. එය ක‍්‍රීඩා සංගම් බහිරවයන්ට මසුරං වනු ඇතිය.

පාලිත සහ රුද්‍රිගු

පසුගිය කාලයේ ක‍්‍රීඩා පරිපාලනය දෙස බැලීමේදී කැපීපෙනෙන චරිතයක් වූ පාපන්දු සංගමයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා තමාගේ දෙවසරක සභාපති ධුරය අත්හැරියේ සිව් වසරක නීතියට හිස නමා සිය කැමැත්තෙන්මය. සිව් වසරක නීතිය හොඳ ක‍්‍රියාවක් ලෙස එළිපිට කියන්නට ඉදිරිපත් වූ එකම ක‍්‍රීඩා සංගම් නිලධාරියා ඔහුය. ඔහු ඉහළම ධනයක් සපිරි පාපන්දුව සිල්ලරව අතහැරීමට මැලි නොවීය. ඒ නියම මහත්මා ගතියකි. ඉන්පසු පාපන්දුවේ අනාගතය වෙනුවෙන් ඔහු පිරිසක් යෝජනා කළ අතර අනෙක් පිරිස මනිලාල් ප‍්‍රනාන්දු මහතාගේ පිරිස විය. හතළිස් වසරක පාපන්දුව ශරීරයේ අංගයක් කරගෙන සිටි මනිලාල් ප‍්‍රනාන්දුගේ පිරිස පරදා දෙවසරක සභාපති රංජිත් රුද්‍රිගුට නම් දැමූ පිරිස දිනවන්නට හැකි වූයේ ඔහු වගා කළ අස්වැන්න හොඳ නිසාය. එහෙත් මේ තත්ත්වය මලල ක‍්‍රීඩා සංගමයේ පාලිත ප‍්‍රනාන්දුට එනවිට වෙනම අගතියක් ගන්නේය.

සිව්වසරක නීතියට අකමැති වූ ඔහු සංගමයේ පාලනයට තමන් කැමති පිරිසක් පත් කරන්නට ක‍්‍රියා කළේය. සුගත් තිලකරත්න ප‍්‍රමුඛ නඩය එයය. එහෙත් අද පාලිත ප‍්‍රනාන්දු කරනුයේ සුගත් පත්කර නම බලය පමණක් ගෙන ගිය ද ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සංගමයට ගතු කියා සුගත් ප‍්‍රමුඛ නඩය විසුරුවා හැරීමට ක‍්‍රියා කිරීමය. මේ බල තණ්හාව අහවර වනු ඇතැයි සිතිය හැකිද? රංජිත් රුද්‍රිගු මෑත කාලයේ ෆීෆා ආයතනය නියෝජනය කළ මෙරට විශ්වාසවන්තයෙකි. ඔහු ෆීෆා ආයතනයට ලියා වත්මන් බලයට අභියෝග කොට තම බලය රැුකගැනීමට මාන නොබැලීය. ක‍්‍රීඩාවට මේ සංස්කෘතියද අවශ්‍යය.

පිහිනුම් සංගමයේ වත්මන්් පිරිස නීත්‍යනුකූලව ඡුන්දයෙන් පත්වූ අයය. එහෙත් බලය අහිමි වූ නිලධාරීහු ජාත්‍යන්තර ජල ක‍්‍රීඩා නියෝජිතයන්ට කේලම් කියමින් වත්මන් තත්ත්වය විනාශ කිරීමට මාන බලති.

මේ අතර සිව් වසරක නීතියට එරෙහිව සංගම් දහඅටක ඡුන්දය පැවැත්වීම නොකළ අතර ඒ සියලූ සංගම් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇදගෙන යෑමට සිදුව ඇත. මේ නිසා එම සංගම් මේ වනවිට කොට උඩ ඇති සංගම් බවට පත් වී ඇත.

ආණ්ඩුව තුළ ඇති අස්ථාවරභාවය ක‍්‍රීඩාවටද උදා වී ඇත. ඒවායේ තවමත් රජ කරනුයේ ක‍්‍රීඩාවේ විනාශ කාරයන්ය. කවුරු ඇමති වුවද පාලනය ඔවුන් අතය. මේ නරක තත්ත්වය කවදා හොඳ තත්ත්වයට පත්වේද?