Untitled-1

Untitled-1

පෙරඹරට වදනක්


perabara

 

· වත්මන් ආණ්ඩුව මේ වන තෙක් කලාකරුවන්ට කිසි දෙයක් කර නැත.
· අපි වෙනසක් බලාපොරොත්තු වුණත් මේ අයගෙනුත් එය වෙන පාටක් නැත.
· පාර්ලිමේන්තුව තුළ කිසිදා කලාව ගැන විවාදයක් කර නැත.
· රජය ස්ථාවර නැති නිසා වැඩක් කරන්න අමාරුයි.
· අපි පසුගිය ආණ්ඩුව පරාජය කිරීමට මෙම ආණ්ඩුවට සහාය දුන්නේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවීමට නොවේ.

මේ ජූනි 8 වැනිදා පෙරඹර කලා එකමුතුව සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවේදී කලාකරුවන් පාර්ශ්වයෙන් මතුවූ මූලික අදහස්වල සම්පිණ්ඩනයකි. මෙම මත පළකිරීම් අසාධාරණයැ’යි බැලූ බැල්මට කිව නොහැකි නමුත් ඒවාට සාධාරණ පදනමක් ඇතැ’යිද කිව නොහැකිය. මන්ද නව ආණ්ඩුව පළමු පැයේදීම මුහුණපෑවේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ බලවත් ප‍්‍රශ්න ගණනාවකටය. පෙරඹර කලාකරුවන්ද ඇතුළත්ව පුළුල් සමාජ දේශපාලන බලවේගයක් මගින් රාජපක්ෂ පාලනය වෙනස් කළේ ඇයි? නව ආණ්ඩුවක් පිහිටුවා ගත් සැණින් අන් සියල්ල අතහැර කලාකරුවන් වෙනුවෙන් සුබසාධන කටයුතු කරන්නට හා කලාව වෙනුවෙන් යම් යම් තීරණ ගන්නද? නැතහොත් ¥ෂණයෙන්, බලහත්කාරයෙන්, අත්තනෝමතිකත්වයෙන්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවෙන් මුසපත්ව බිඳ වැටුණු සමාජය යළි ක‍්‍රමයෙන් ගොඩනගන්නද? පළමු ප‍්‍රයත්නය වියයුත්තේ එකී දෙවැනි කාරණය ඉෂ්ට කරගැනීම මිස කලාකරුවන් සමග හුරතල් වෙවී සිටීම නොවේ. නව රජය පත්වූ සැණින් දෘඪභාවයෙහි ගිලී තිබුණු ලංකාවේ සමාජයට කිසියම් ලිහිල් බවක් ලැබුණි. තත්ත්වය කොපමණ ලිිහිල්ද කියනවා නම් වත්මන් ජනපතිවරයා විවේචනය කිරීමට නොව පතුරු ගැසීමට පවා පළමු නිමේෂයේදීම රාජපක්ෂ හිතවාදීන්ට නිදහස ලැබී තිබුණි. පෙරඹර කලාකරුවන් දැන් එහි අනෙක් පැත්ත ගැන කල්පනා කළහොත් ජනපතිවරණයෙන් දිනුවේ රාජපක්ෂ නම් ඔවුන්ට විරුද්ධ වූ අන් සියල්ලන් මේ වනවිට සොයා ගැනීමටවත් නොහැකි වනු ඇත.

රාජපක්ෂ ආණ්ඩුව තිස් වසරක යුද්ධය නිමා කිරීම පදනම් කරගෙන ලංකාවේ ජනයා රාජපක්ෂවරුන් විෂයෙහි ප‍්‍රවේණිදාස අර්ථයකින් කටයුතු කළයුතු බව රාජපක්ෂවාදීහු සිතුවෝය. ප‍්‍රභාකරන් පරාජය කළ නිසා දිගටම රටේ පාලනය ජනතාව ඔවුන් වෙතම පිදිය යුතු බව රාජපක්ෂලාගේ කල්පනාව විය. ඒ ආකාරයෙන්ම යහපාලන කණ්ඩායම රාජපක්ෂලාගේ මකර ආණ්ඩුව පෙරළා ජනයා මුදාගැනීම නිසා ඔවුන් ජනතාව විෂයෙහි ප‍්‍රවේණිදාස අරුතකින් බලන්නේ නම් එයත් ජනපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ රජය වහා වෙනස් කරගත යුතු මතයකි. කිසිවකුත් කිසිවක් කළ හෙයින් රටේ පාලනයෙහි ගල්විය යුතු නැත. මැන්ඩෙලා වසර 27ක් අඳුරු සිරමැදිරියක ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා දුක්වින්දාට ඔහු ලද අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන පාලනයෙහි ගල්වෙන්නට මාන බැලූවේ නැත. තම යුතුකම් හා වගකීම් නිමා කොට ඉක්මනින් ගෙදර ගියේය. රාජපක්ෂලාට ගල්වෙන්නට ඉඩ නොදුන් ලාංකීය සමාජය යහපාලනයේ අනාගත වැඩ සැලැස්ම වැරදි නම් ඔවුන්ටත් පාලනයෙහි ගල්වීමට ඉඩ නොදෙනු ඇත.

ජනාධිපතිවරණයට පෙර මෙරට කලාකරුවන් පිරිසක් සංස්කෘතික කලා ප‍්‍රඥප්තියක් පිළිබඳ ලියවිල්ලක් ජනාධිපතිවරයාට භාර දුන්නේය. පසුගිය දිනක එම කලාකරුවන් විද්‍යුත් ලිපි මගින් දැනුම් දී තිබුණේ එම ප‍්‍රඥප්තිය පිළිබඳ මහජනයාගේ විද්වතුන්ගේ හා කලාකරුවන්ගේ අදහස් තවදුරටත් ලබාදෙන ලෙසය. ඒ කලා සංස්කෘතික ප‍්‍රඥප්තිය වැඩිදුරටත් පෝෂණය කරගැනීම උදෙසාය. එම ඉල්ලීම කර තිබුණේ ලංකාවේ ප‍්‍රකට කලාකරුවකු වන පරාක‍්‍රම නිරිඇල්ල හා විද්වතකු වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනය. මෙතෙක් ආණ්ඩුවත් සමග කිසිදු කලා පර්ෂදයක් නොකළ ගනුදෙනුවක් වන මෙම කලා සංස්කෘතික ප‍්‍රඥප්තිය දෙස අපට සාධනීය ලෙස බැලිය නොහැකිද? කලාවේ නිදහස, කලාකරුවන්ගේ නිදහස හා නිර්මාණ අයිතිය පනතක් මගින් තහවුරු කැරෙන නෛතික තත්ත්වයක් සාක්ෂාත් කරගැනීම මෙහි එක් අරමුණකි. ඒ සමගම කලාව ගැඹුරු වින්දනීය මාර්ගයක් බවට පත්කර ගැනීම පිළිබඳ සාකච්ඡුාවන්ද මීට ඇතුළත් වනු ඇත. මෙතෙක් කල් කලාකරුවන් හා එම පර්ෂද හිටපු ජනපතිවරයා හමුවන්නට ගියේ නිවාස හෝ වෙනත් වරප‍්‍රසාද ලබාගැනීමේ චේතනාවෙනි. එහෙත් වත්මන් කලාකරුවන් නව ජනපති සමග කලා සංස්කෘතික ප‍්‍රඥප්තියක් වෙනුවෙන් කථෝපකථනයෙහි යෙදීම තුංග අරුතකින් අප තේරුම් ගත යුතු නොවේද? ආණ්ඩුව පිළිබඳ තීරණය ප‍්‍රකාශයට පත් කරන්නට තරමක් ඉක්මන් වූ බව පෙනෙන පෙරඹර කලා සංවිධානය මේ ගැන දරන අදහස කුමක්ද?

වත්මන් ආණ්ඩුව කලාව පිළිබඳ හරයාත්මකව දක්වන සැලකිල්ල වෙන ආණ්ඩුවලට වඩා වෙනස් විය නොහැක. මූලිකම දේ කලාව දන්න අය සහ ඒ ගැන නිසි හැඟීමක් තිබෙන අය කිසිම ආණ්ඩුවක නොසිටීමය. සිටියත් එබඳු අය ආණ්ඩුවක කොටස්කරුවන් වූ පසු එම දේශපාලන ව්‍යාපෘතියෙහි සිරකරුවන් වනවා විනා කලාව ගැන නිදහස්ව සිතන අය බවට පත් නොවීමය. සරත් අමුණුගම මේ පිළිබඳව හොඳම නිදසුනයි. වත්මන් ආණ්ඩුව සංස්කෘතික අමාත්‍යධුරය දෙවැනි මට්ටමේ තනතුරක් බවට පත් කොට එය ලබා දුන්නේ නන්දිමිත‍්‍ර ඒකනායක මහතාටය. ඇත්තම කතාව අපගේ හිතවත් නන්දිමිත‍්‍ර ඇමතිතුමාට පරාක‍්‍රමලා, සුනිල් විජේසිරිවර්ධනලා කියන කලාව අපභ‍්‍රංසයක් වීමය. නන්දිමිත‍්‍ර මහතා දන්න කලාවට ඔහු තදනුබද්ධය. ඒ අනුව ගමේ දන්නා කියන කොල්ලෙකුට නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු වන්නට අවස්ථාව දුන්නේය. ඒ පරාක‍්‍රම විජේසිරිවර්ධන ධර්මසිරි බණ්ඩාරනායක හිතන කලාව නොව සාමාන්‍ය දේශපාලනඥයකු කලාව ගැන හිතන විදියය. එම දේශපාලන සිතුවිල්ල ඉතාම නරක නැත. ප‍්‍රශ්නයවන්නේ අප වැටුණු වළ තුළම තවදුරටත් සිටීමට මිස ඉන් ගොඩ ඒමට එබඳු සිතුවිලි ප‍්‍රමාණවත් නොවීමය. පෙරඹර රැුස්වීමේදී එක් කලාකරුවකු ප‍්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුව තුළ කිසිදා කලාව ගැන විවාදයක් කර නැත යනුවෙනි. විවාදයක් කරන්නට ඒ ගැන දන්නා අය සිටිය යුතුය. කලාව සමාජීය වුවමනාවක් කොටගත් පිරිසක් නැතහොත් ජීවිතයේ කොටසක් කරගත් පිරිසක් බවට පාර්ලිමේන්තු නියෝජිතයන් පත්විය යුතුය. එබඳු අය නැති බවට එක් නිදසුනක් ඉදිරිපත් කරමි. නෙළුම් පොකුණ රඟහල විවෘත කළ උත්සවයේදී රඟහලෙහි මැද හරියේ අසුන් වෙන් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකටය. ඔවුන් ලංකාවේ මෙන්ම චීනයේ ප‍්‍රධාන නිර්මාණ දෙක අවසන් වන තෙක්ම කළේ පුද්ගලික කතාබස්වල නියැලෙමින් සිනාසෙන එකය. ලංකාවෙන් ඉදිරිපත් කළ නාට්‍යය කෙසේ වෙතත් චින ජන කතාවක් ඇසුරින් කර තිබුණු නිර්මාණය රමණීය නාට්‍ය හා ඔපෙරා සංයුතියකි. එබඳු රංගනයක් මෙරටදී දැකීමත් සමහරවිට උගහට විය හැකිය. එහෙත් ඒවා අපේ දේශපාලකයන් රසවින්දේ නැත. එබඳු පිරිසකට පෙරඹර කලාකරුවන් මේ කියන්නේ මොනවාද? යහපාලන කණ්ඩායමෙන් කලාව ප‍්‍රතිෂ්ඨාපනය කෙසේ වෙතත් මූලික සමාජ ප‍්‍රතිසංස්කරණ ටිකවත් කරවා ගන්නට බලමු. කලාව ගැන වැඬේ තව ටිකක් දැනුමැති ආණ්ඩුවක් පත්කරගත් දවසක කරගන්ඩ බලමු. එතෙක් අපිට හැකි විදියට අපේ කලාව කරගෙන යමු.