රාවය

මන්ත්‍රීවරුන්ට වැලි පර්මිට්

මන්ත්‍රීවරුන්ට වැලි පර්මිට්

කේ. සංජීව

යාන්ඔය උතුරට හැරවීමේ ව්‍යාපෘතියේදී අනුරාධපුරය වාහල්කඩ ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා වැලි නිධිය හාරා විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව රටේ ඉහළම පුද්ගලයකුගේ සහෝදරයෙකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට, ප්‍රාදේශීය දේශපාලකයන් කිහිපදෙනෙකුට බලපත්‍ර ලබාදී ඇතැයි රාවයට දැනගන්නට ඇත.

මේ පිළිබඳව රාවය පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් කරුණු විමසීමේදී ඒ මහත්මිය ප්‍රකාශ කළේ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉහත වැලි නිධිය කැණීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැලි කැණීම් බලපත්‍රය ලබාගැනීම සඳහා තමන්ද ඉල්ලුම් කර ඇති බවයි. එම බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය දුෂ්කර බවත් ඒ සඳහා අංශ කිහිපයකින් අවසර ලබාගත යුතු බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරිය මේ වනවිට නීත්‍යනුකූලව බලපත්‍ර ලබා එම ස්ථානයෙන් වැලි ඉවත් කර විකිණීමේ කටයුතු සිදුකරන්නේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පමණක් බවද කීවාය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මේ බලපත්‍ර ඉල්ලා ඇති බවයි.

මේ පිළිබඳව රාවය වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගෙන් කරුණු විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ ටෙන්ඩර් කිරීමේ අවශ්‍යතාවක් නැති බවය. මේ පිළිබඳව ඉදිරියේදී කරුණු දක්වන බවත් එම අවස්ථාවට සහභාගි වන්නැ’යි ලියුම්කරුට ආරාධනා කරන බවත් පවසමින් ඔහු දුරකතන සම්බන්ධතාව විසන්ධි කළේය.

මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වාගෙන් අප කරුණු විමසූ අතර ඒ මහතා ප්‍රකාශ කළේ මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා අවසර ලබාදී ඇති බවයි. එම නියමිත අවසරය සමඟ පුද්ගලයන් පැමිණි විට බලපත්‍ර ලබාදීම තමන්ගේ කාර්යය බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රාවය මේ පිළිබඳව ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම වැලි බලපත්‍රය තමන්ගේ මස්සිනාට ලැබුණු එකක් බවය.
මේ අතර වාහල්කඩ ආසන්නයේ ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම වැලි නිධියෙන් කණිනු ලබන වැලි ටිපර් රථ මගින් දෛනිකව නුවර සහ කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවය. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ස්ථානයෙන් කණින ලද තවත් වැලි ටිපර් පනස් දහසක පමණ සංචිතයක් ගෝමරන්කඩවල ප්‍රදේශයේ තැන්පත් කර ඇති බවයි. ■