Monday, 21/8/2017 | 3:38 UTC+0
රාවය

ඊස‍්‍රායෙලයට සහ පලස්තීනයට යුද අපරාධ චෝදනා

 

පසුගිය වසරේ ජුලි 8 දා සිට අගෝස්තු 26 දක්වා දින 50 තුළ ගාසා තීරයේ ‘ආරක්‍ෂණ අන්ත කි‍්‍රයාන්විතය’ නම් සටනක් ඇවිළී පැවැතිණි. හමාස් සංවිධානය හා ඊස‍්‍රායෙල් හමුදාව දෙපාර්ශ්වයේ ම නොපෙනෙන ඉලක්කවලට ප‍්‍රහාර එල්ල කළෝ ය. ජීවිත හානි ගැන කිසිවකු තැකීමක් කළේ නැත. දෙපාර්ශ්වයට ම වුවමනා වී තිබුණේ එකිනෙකාට ප‍්‍රහාර එල්ල කිරීම පමණි. මේ ප‍්‍රහාරවලින් ඊස‍්‍රායෙල් පාර්ශ්වයේ 72 සහ පලස්තීන පාර්ශ්වයේ 2310ක් මරණයට පත් වූහ. තුවාලලත් සංඛ්‍යාව 11,000 ඉක්මවන බව පැවසේ. මෙයින් 10,626ක් ගාසා පෙදෙසිනි. කෝටි ගණනක් වටිනා දේපළ හානි දෙපැත්තේ ම සිදුවිය.

1965 සිට 2013 දක්වා වරින්වර ගාසාහි ඇති වූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යා එකතුව 22,000 ඉක්මවන බව වර්ජිනියා ජනපදයේ වියෙනා මූලස්ථානය කොට ගත් ‘ක‍්‍රමවත් සාමය සඳහා වන ආයතනයේ’ ආචාර්ය මොන්ටි ජී. මාර්ෂල් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් ය. පැහැදිලිව ම කිවහැක්කේ මෙයින් 95%ක් ඉක්මවන ප‍්‍රමාණයක් පලස්තීනුවන් බව ය. 2008 වසරේ දෙසැම්බර් 12දා ඇවිලී 2009 ජනවාරි 18 දින නිවී ගිය ගැටුමේ දී – මෙය හැඳින්වුණේ කාස්ට් ලෝඞ් කි‍්‍රයාන්විතය නමිනි.- ඊස‍්‍රායෙලූන් 13ක් මැරෙන විට පලස්තීනුවෝ 1417ක් මළෝ ය. එ අතුරින් දෙපාර්ශ්වයේ සිවිල් වැසියන් සංඛ්‍යා පිළිවෙළින් 3 සහ 926 වෙයි. ඊට පෙර 2006 වසරේ අතිවූ ගැටුම්වලින් මරණයට පත් පලස්තීනුවන් සංඛ්‍යාව 2,000 ඉක්මවන අතර ඊස‍්‍රායෙලූන් සංඛ්‍යාව 39කි.

ගිය වසරේ ජුනි 12 දින අතුරුදන් වූ ඊස‍්‍රායෙල් යව්වනයන් තිදෙනකුගේ මළසිරුරු එම මස අවසන්දා බටහිර ඉවුරේ හෙබ්‍රොන්හි පාළු වළක තිබී සොයා ගැනීමෙන් පසු උක්ත ගැටුම ආරම්භ විණි. ඊස‍්‍රායෙලය පසුදාට පහන් වන්නට පෙර හෙබ්‍රොන් වෙත ෂෙල් ප‍්‍රහාර 30ක් පමණ එල්ල කළේ ය. දින කිහිපයකට පසුව ඊස‍්‍රායෙල් දේශ සීමා ඇතුළත දී පලස්තීන ගැටවරයකුට තදින් පහර දී මරා දමන ලදි. එතැන් සිට පලස්තීනය පැත්තට වරින්වර ප‍්‍රහාර එල්ල විණි. පිළිතුරු වශයෙන් පලස්තීනය ද ඊස‍්‍රායෙල දෙසට රොකට් ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ ය. ඊස‍්‍රායෙලය සතු අවි හා සසඳන කල ඒවා නිකම් ම ගල් ප‍්‍රහාර බඳු විය. එම ප‍්‍රහාර ටෙල් අවිව්, ජෙරුසෙලම් සහ හයිෆා යන නගරවලින් සැදුණු ති‍්‍රකෝණය තුළ පතිත කරවන්නට හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය හැකි සැම උත්සාහයක් ම ගත්තේ ය. මේ අතුරින් දේශ සීමාවේ පිහිටි ජෙරුසෙලම් නගරය අයත් ලෙස සැලකෙන්නේ ඊස‍්‍රායෙලයට වුව ද පලස්තීනය ද ඊට හිමිකම් කියයි.

ඊස‍්‍රායෙලය ‘ආරක්‍ෂා වීමේ අන්තයේ කි‍්‍රයාන් විතය’ දියත් කළේ ඉන් අනතුරුව ය. එය ගුවන් ප‍්‍රහාරවලින් සමන්විත වූ අතර මිසයිල් ප‍්‍රහාර ද ඉඳහිට එල්ල කෙරිණි. ප‍්‍රකාශිත අරමුණ පලස්තීනයේ රොකට් ප‍්‍රහාර කි‍්‍රයාන්විතය අඩපණ කිරීම ය. එහෙත් වැනසුණේ අහිංසක සිවිල් පුරවැසියන් සහ ඔවුන්ගේ දේපළ ය. තමන්ගේ ආරක්‍ෂාව සලසා ගනු වස් වාසස්ථාන හැර යන්නැයි ඊස‍්‍රායෙලය විටින්විට ගාසා තීරයේ වැසියන්ට අවවාද කළේ ය. හුදෙක් සාධාරණ බව පෙන්වීම සඳහා පමණක් වූ එවැනි නිවේදනයක දී නිවේදකයා මෛක‍්‍රෆෝනය තබන්නටත් පෙර ප‍්‍රහාර එල්ල වූ බව වාර්තා වී තිබිණි.

මේ කාරණයේ ලා ජාත්‍යන්තරය දෙපිළකට බෙදී සිටිනු දැකිය හැකිවිය. අමෙරිකාව සහ එහි මිතුරු මෙන්ම එයට ගැති රටවල් ද එකහෙළා පලස්තීනයට එරෙහිව සිය මත ප‍්‍රකාශ කළ අතර අරාබි රටවල්, අප‍්‍රිකානු රටවල් සහ නොබැඳි ජාතීහු ඊස‍්‍රායෙලයට එරෙහි වූහ. හානි පූරණය සඳහා ඊස‍්‍රායෙලයට ඇඩො මිලියන 225ක ආධාරයක් පිරිනැමිය යුතුයැ’යි ජනාධිපති ඔබාමා කළ යෝජනාව උභය මන්තී‍්‍ර මණ්ඩලය විසින් එකහෙළා අනුමත කරන ලදුව ලබා දෙන ලදි.

ඊස‍්‍රායෙලය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වන නමුත් ඒ වනවිට පලස්තිනය එසේ නොවීය. (පලස්තීන දේශයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබුණේ 2014 ඔක්තෝබර් 30දා ය.) ඒ නිසාම ඇතැම්විට එක්සත් ජාතීින්ට පලස්තීිනයේ සිටින්නේ ද මනුෂ්‍යයන් බව අමතක වූ කාලයක් තිබිණිි. පැවැති ගැටුම සම්බන්ධයෙන් එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනිදන් පිල්ලේ තරවටුවක් කළා මිස දැඩි පියවර ගන්නා බවක් ප‍්‍රකට නොවී ය. බලවතා මෙන් ම අමෙරිකානු පිටුබලය ද සහිත ඊස‍්‍රායෙලයට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කිරීමේ දී එක්සත් ජාතීන් එය කරන්නේ යම් යම් සීමා සහිතව බව ප‍්‍රකට මතය විය. ගැටුම පැවැති කාලය තුළ ආරක්‍ෂක කවුන්සිලය රැුස්වී ප‍්‍රකාශයක් නිකුත් කිරීම ගැන සාකච්ඡුා කළ බවත් අවසානයේ ප‍්‍රකාශය නිකුත් කරන ලද්දේ එහි ඇතුළත් වචන හා යෙදුම් සම්බන්ධයෙන් අමෙරිකාව සහ ජෝර්දානය බොහෝ වේලාවක් වාද කළ පසුව බවත් එකල පළ වී තිබිණි.

මිනිස් ජීවිත අහිමිවීම් සහ මානුෂික ප‍්‍රශ්න ගැන මානව හිමිකම් සංවිධානවල අවධානය දිගින් දිගට ම යොමු වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන් විසින් ප‍්‍රශ්නය විමසීම සඳහා කමිටුවක් පත් කරන ලදි. නිව්යෝක් ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරියක ව සිටි මේරි මැක්ගොවාන්ගේ සභාපතිත් වයෙන් ගිය වසරේ ජූලි 23දා ස්ථාපනය කරන ලද ඒ කමිටුවේ පිටු 185කින් සමන්විත වාර්තාව පසුගිය 22දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත නිල වශයෙන් බාරදී තිබේ. එය එම කවුන්සිලයේ මීළ`ග සැසිවාරයේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් වනු ඇත.

කමිටුව පෙන්වා දෙන්නේ දෙපාර්ශ්වය විසින් ම මානව හිමිකම් උල්ලංඝනයේ යෙදී ඇති බවයි. එසේ ම දෙපාර්ශ්වයට ම යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ හැකි බව ද කමිටුවේ මතයයි. ඊස‍්‍රායෙලය වාර්තාව පක්‍ෂවාදී එකක් බව පවසන අතර විමර්ශනයේ දී සහාය දීමෙන් පවා වැළකීි සිටියේ ය. වාර්තාවට විරෝධය පළකරන හමාස් සංවිධානය පවසන්නේ වාර්තාවෙන් කෙරෙන්නේ වින්දිතයා වරදකරු කරනු ලැබීම බවයි.
මුලින් රොකට් වෙඩි ප‍්‍රහාරය එල්ල කළේ පලස්තීනය බවත් තමන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේ ආරක්‍ෂාවට බවත් ඊස‍්‍රායෙලය කියයි. එහෙත් පලස්තීනය කියන්නේ එහි විලෝමයයි.

විමර්ශන වාර්තාවෙන් වැඩිපුර දෝෂ දර්ශනයට ලක් වී ඇත්තේ ඊස‍්‍රායෙලය වේ. අනතුරට පත්වුවන් සංඛ්‍යාව ඉහළ ගිය ද සිය ප‍්‍රහාරක පිළිවෙත වෙනස් නොකිරීම ගැන ඊස‍්‍රායෙලය දෝෂ දර්ශනයට ලක් කෙරෙයි. ඔවුන් භාවිත කළ අවිවල ප‍්‍රබලත්වය සහ අනතුරු හැ`ගවීමේ දුබල බව ද එසේ ම විවේචනයට බඳුන් වෙයි. ප‍්‍රහාර එල්ල කරන්නට පෙර අසල්වැසි පලස්තීන දේශයේ ජනාකීර්ණ පෙදෙස් ජනශූන්‍ය කරන්නට ඊස‍්‍රායෙලය විසින් පියවර ගත යුතු ව තිබුණ ද ඔවුන් එසේ කොට නොමැත. මීට පිළිිතුරු ලෙස ඊස‍්‍රායෙලය පෙන්වා දී ඇත්තේ තමන් ඒ පෙදෙස් ජනශූන්‍ය කරන්නට ප‍්‍රමාණවත් පියවර ගත් නමුත් හමාස් නායකයන් පැමිණ ඉවත්ව නොයන ලෙස ජනතාවට තරවටු කළ හෙයින් ඔවුන් ඉවත් ව නොගිය නිසා අනතුරට පත් සංඛ්‍යා වැඩිවූ බවයි. ඒ කාරණය සත්‍ය බව විමර්ශන කමිටුව ද අනාවරණය කොට ගෙන ඇත.

වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන චෝදනා පිළිබඳ ව විභාග කෙරෙනු ඇත්තේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසිනි. පලස්තීනය නම් මේ වනවිටත් සිය පැහැදිලි කිරීම් එම අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බව සඳහන් ය. එහෙත් ඊස‍්‍රායෙලය චණ්ඩියා ය. ඔවුන් කාටවත් බිය නැත.