රාවය

අවතැන්වූවන් මිලියන හැටක්

අවතැන්වූවන් මිලියන හැටක්

ලොව පුරා බලහත්කාරයෙන් අවතැන් කරන ලද්දවුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර අවසානය වනවිට මිලියන 59.5 ඉක්මවා ගිය බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම විසින් පසුගිය දා නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. සංඛ්‍යාත්මක අතින් මෙය එක්සත් රාජධානිය, ඉතාලිය වැනි රටක ජනගහනයට සමාන ය. මේ අනුව සෑම 122කින් ම එක් අයෙක් එබන්දෙකි.

හිංසනය, ගැටුම් සහ යුද්ධ, සාමාන්‍යකරණය වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙන් ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ‘අවතැන්වූවන්ගේ ජාතිය’ නමින් වෙනම ජාතියක් නොඑසේ නම් ජනවර්ගයක් නිර්මාණය කරන්නට සමත් වී ඇතැ’යි ඒ වාර්තාවේ දැක්වේ. මේ ජාතිය අතිශයින් දුකට පත් අන්ත අසරණ මිනිසුන්ගෙන් සමන්විත ය. බලාත්කාරය නිසා සිය රටින් බැහැරව වෙනත් රටවල රැුකවරණ ලබා සිටින සංඛ්‍යාව මිලියන 19.5කි. සිය රටින් පලා ගොස් විදේශයක රැුකවරණ අපේක්‍ෂාවෙන් සිටිනා පුද්ගල සංඛ්‍යාව මිලියන 1.8කි. ඔවුන්ට පුරවැසිභාවය නොමැති නිසා බොහෝ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවේ. මිලියන 38.2ක් සිය රටේ ම හවුහරණක් නොමැති විතැන් ගණයට වැටී සිටිති. විතැන්වූවන් මු`ඵ සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් අවුරදු 18ට අඩු වයස් සීමාවේ පසුවන්නන් වීම බරපතළ ඛේදයකි.

‘අපි දැන් ජීවත්වන්නේ සාම්ප‍්‍රදායික මොඩලය වෙනස්වෙමින් පවතින ආකාරය ප‍්‍රත්‍යක්‍ෂ කරගනිමින් සිටිනා වකවානුවක ය. මීට පෙර එය අපගේ අවධානයට යොමු වී නොමැත. බලාත්කාර විතැන්වීම් මෙන් ම ඊට ජාත්‍යන්තර මට්ටමින් ගතයුතු කි‍්‍රයාමාර්ග ද එහි දැවැන්ත බව හමුවේ අ`ගුටුමිටි බවට පත් වෙලා ය.’

මේ අතර ස්වාභාවික විපත් නිසා අවතැන්වූවන් ද මේ සංඛ්‍යාවලට එකතු වියයුතු නමුත් එසේ නොමැති බව පෙනෙයි. ජලගැලීම්, නායයාම්, භූමිකම්පා මෙන්ම අධික වියළි කාලගුණය නිසා ද මිනිස්සු අවතැන් වෙමින් සිටිති. පසුගිය දා නේපාලයේ භූමි කම්පාව එවැන්නකි. සුනාමි ච්‍යසන නිසා ද ඉඳහිට හෝ ජනයා අවතැන්වීම් සිදුවනු ඇත. එහෙත් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ මේ වාර්තාවට ඇතුළත් ව ඇත්තේ බලාත්කාර අවතැන් වූවන් පිළිබඳ තොරතුරුය.

රොහිංයා අනාථයන් පිළිබඳ සිද්ධිය මෑත කාලයේ ප‍්‍රකාශයට පත් වූ බලාත්කාර අවතැන්වූවන් පිළිබඳ එක් උදාහරණයකි. ලක්ෂ එකහමාරක් පමණ වන ඔවුන්ගේ සංඛ්‍යාව, සැසඳීමේ දීි විශාල නොවෙතත් ඔවුන් භාර ගන්නට රටක් නොමැති වීම නිසා ඔඩුදුවන්නකි. වාර්තාව පෙන්වා දෙන පරිදි මෑත කාලයේ අවතැන්වූවන් වැඩිවන්නට ප‍්‍රමුඛ හේතුවක් වන්නේ සිරියානු යුද්ධයයි. කෙසේවෙතත් ‘අවතැන්වූවන්ගේ ජාතිය’ට වැඩිම සාමාජිකයන් සපයන්නේ මැදපෙරදිග කලාපයවේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම නඩත්තු කිරීම සඳහා ද අතිවිශාල ධනයක් වැයවෙයි. 2015 වසරේ එහි නඩත්තුවට එක්සත් ජාතීන් විසින් වෙන් කොට ඇති මුදල ඇඩො බිලියන 7 බව එහි වෙබ් අඩවියේ දැක්වේ. සරණාගත සේවා සඳහා වැඩිපුර මුදලක් වෙන් කිරීම උදෙසා 2013 කාර්ය මණ්ඩල කප්පාදුවක් සිදු කොට ඇති නමුත් වැයවන මුදලේ අඩුවක් නම් නොමැති බව පැවසේ. එහෙත් විවේචකයන් පෙන්වාදෙන්නේ කොමිසම සඵල කාර්යයක් ඉටු නොකරන බවයි. එහෙත් එය එසේ නොවන බවත් සරණාගතයන් සම්බන්ධ ප‍්‍රශ්නවලට අත පෙවීමේ දී ආණ්ඩු සමග සබඳකම් පවත්වාගෙන යන්නට, කඳවුරුවලට ඇවැසි දෑ සපයන්නට වැනි ඒවාට විශාල ලෙස මුදල් වැයවන බවත් කොමිසම පැත්තෙන් අසන්නට ලැබේ.