ජනපති ඇතුළු ඇමතිවරුන් දොළහකගේ බලයට අත තැබූ රනිල්ගේ සුපිරි පනත


supiri

ලසන්ත රුහුණගේ

සුපිරි පනත යයි ව්‍යවහාර කරමින් පවතින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රබල විරෝධයක් මේ වනවිට එල්ල වී තිබේ. එම විරෝධයට හේතු වශයෙන් ඔවුන් කියන්නේ අදාළ පනත තුළින් සුපිරි ඇමතිවරයෙකු බිහිවන බවත්, පසුගිය රාජපක්ෂ පාලන සමයේදී බැසිල් රාජපක්ෂ සඳහා ආර්ථික සංවර්ධන යනුවෙන් නම්කර එවැනි සුපිරි ඇමති ධුරයක් නිර්මාණය කරන ලද බවත් එම ආණ්ඩුව පරාදවීම සඳහා එයද බලපෑ බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පමණක් නොව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේද ප්‍රබල විරෝධයක් මෙම පනතට එල්ල වී ඇති අතර ඔවුන්ගේ තර්කයද මේ මගින් සුපිරි බලතල සහිත සුපිරි ඇමතිවරයෙකු නිර්මාණය කර ඇති බවයි.
මේ විරෝධයන්ගෙන් මතුකර දක්වන කරුණු සත්‍යද අසත්‍යද? එය විමසා බැලීම සඳහා අදාළ පනත් කෙටුම්පතේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
මේ වූකලි 2016 නොවැම්බර් 23 දින අග්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ පළකරන ලද සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතය. එය ඉදිරිපත් කර ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික සංවර්ධනයද ඇතුළුව සියලු විෂය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පහසුකම් සැලැස්වීම සඳහාද ඊට සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස’ය.
පනත් කෙටුම්පතට අනුව එහි අමාත්‍යවරයා වශයෙන් සඳහන් වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා හෙවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහුට සහායවීම සඳහා ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම කාර්යාලය ප්‍රතිපත්ති සංවර්ධනය, ප්‍රතිපත්ති සමාලෝචනය හා සම්පත් බෙදාහැරීම පිළිබඳ වාර්තා සකස් කර ලබාදිය යුතුය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට ජාතික ආර්ථික සංවර්ධනයට අදාළ ආණ්ඩුවේ සෑම සැලසුමක්ම, වැඩසටහනක්ම සහ යෝජනා ක්‍රමයක්ම අනුකූල විය යුතු අතර ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ නිලධාරියකු විසින් ඉල්ලා සිටින තොරතුරු නීතියෙන් තහනම් නොවන්නේ නම් ලබාදිය යුතුය.
නිෂ්පාදන කටයුතු, සංචාරක කර්මාන්තය, විද්‍යා හා තාක්ෂණ, සම්පාදන, ව්‍යාපාර හා සේවා, උසස් තාක්ෂණ ධීවර කර්මාන්තය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම යනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍රවල ආර්ථික සංවර්ධන ප්‍රදේශ එකක් හෝ කිහිපයක් යම් පළාතක නම් කරනු ලැබිය හැකිය. එසේ නම් කරනු ලබන උසස් තාක්ෂණ කෘෂිකර්ම සංවර්ධන කලාපයක ඉඩම් වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම සීමා කරනු ලැබේ.
පනතේ II කොටස අනුව සංවර්ධන නියෝජිත ආයතනය යනුවෙන් හඳුන්වන නියෝජිතායතනයක්ද පිහිටුවනු ලබන අතර එය ඉහතින් සඳහන් කරන ලද ආර්ථික සංවර්ධන ප්‍රදේශ සම්බන්ධයෙන් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇත. අදාළ ආයෝජන කලාපයේ ආයෝජනයන් කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන් ලියාපදිංචිය මෙම නියෝජිතායතනයට පැවරේ. ඒ අනුව එම නියෝජිත ආයතනය ලබාදෙන විධානවලට යටත්ව, 1978 අංක 4 පනතින් පිහිටවූ ආයෝජන මණ්ඩලයද, 1979 අංක 40 පනතින් පිහිටුවූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද, 2007 අංක 27 දරන පනතින් පිහිටවූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයද කටයුතු කළ යුතුය. තවදුරටත් 2002 අංක 34 පනත යටතේ පිහිටුවූ සිවිල් ගුවන් සේවා අධිකාරිය, 1979 අංක 51 දරන පනතින් පිහිටුවූ ශ්‍රී ලංකා වරාය අධිකාරියද, 1974 අංක 2 දරන පනතින් පිහිටුවූ ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලයද, 2008 අංක 38 දරන පනතින් පිහිටුවූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයද එම විධානයන්ට යටත්ව කටයුතු කළ යුතුය.
අවශ්‍ය අවස්ථාවලදී පළාත් පාලන ආයතන සහ ආයෝජන මණ්ඩලය හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතර සම්බන්ධීකරණයට නියෝජිතායතනයට බලය තිබෙන අතර වෙනත් අමාත්‍යවරයකු වෙත පවරා ඇති යම් විෂයකට අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් අදාළ විෂයභාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයාට (අග්‍රාමාත්‍යවරයාට) විධාන නිකුත් කළ හැකිය.
තවද 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම පිළිබඳ සීමා කිරීමේ) පනතේ විධිවිධානද ආයෝජකයන් සඳහා අදාළවීම ඉවත් කර ඇත. එමෙන්ම 1956 අංක 40 දරන ජාතික සැලසුම් සභා පනතද මෙම පනතින් ඉවත් කර ඇත.
ඉහත නියෝජිතායතනයේ කටයුතු කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් පොදු කටයුතු සභාවක් ඇති කරනු ලබන අතර එහි මුලසුන සංවර්ධන ක්‍රමෝපාය විෂයභාර අමාත්‍යවරයා (මලික් සමරවික්‍රම) විසින් දරනු ඇත.
පනතේ III කොටසින් ග්‍රාමීය නවීකරණය පිළිබඳ මණ්ඩලයක් පිහිටුවනු ලබන අතර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මූල්‍ය, ග්‍රාමීය ආර්ථික, ඉඩම්, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්ම, ධීවර, වැවිලි කර්මාන්ත සහ සත්ත්ව පාලන විෂයභාර අමාත්‍යවරුද, සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුද දේශපාලන නියෝජිතයන් වශයෙන් එහි නියෝජනය වෙති.
ඊටත් අමතරව කලාප සංවර්ධන මණ්ඩල යනුවෙන් තවත් ව්‍යුහයක් පිහිටවනු ලබන අතර රජයේ සහ පළාත් පරිපාලනයේ සංවර්ධන සැලසුම්, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මකවීම කලාපීය මට්ටමින් සම්බන්ධීකරණය කිරීම සහ එහි සැලසුම්, වැඩසටහන් හා ව්‍යාපෘති අධීක්ෂණය කිරීමත්, නියෝජිත ආයතනයේ තීරණ හා එය විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ ප්‍රකාරව පෞද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පහසුකම් සැපයීම එහි අරමුණ වේ.
ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවලින් සමන්විත දක්ෂිණ සංවර්ධන මණ්ඩලයක්ද, පුත්තලම, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් සමන්විත වයඹ සංවර්ධන මණ්ඩලයක්ද, මාතලේ, නුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලින් සමන්විත මධ්‍යම සංවර්ධන මණ්ඩලයක්ද, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවලින් සමන්විත නැගෙනහිර සංවර්ධන මණ්ඩලයක්ද, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලින් සමන්විත උතුරු සංවර්ධන මණ්ඩලයක් ද පිහිටවනු ලැබේ.
ඊටත් අමතරව පනතේ VI කොටස මගින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන නියෝජිතායතනයක් පිහිටුවනු ලබන අතර එහි පාලනයට මණ්ඩලයක් පත් කරනු ලැබේ. විශේෂත්වය වන්නේ එම මණ්ඩලයට දේශපාලන නියෝජිතයන් කිසිවකු (මැති ඇමතිවරුන්) ඇතුළත් නොවීමය. එම මණ්ඩලයටද විධාන නිකුත් කිරීමේ බලය හිමි අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට, වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවට, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා තේ මණ්ඩලයට සහ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ කටයුතු ඉටු කරන ඕනෑම ආයතනයකට විධාන නිකුත් කළ හැකිය.
ඊටත් අමතරව නාගරික සංවර්ධන අධිකාරියද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියද මෙම පනත යටතේ අනුමත කරන ලද යෝජනා ක්‍රමවලට එරෙහිව සිය බලතල ක්‍රියාත්මක නොකළ යුතුය.
තවද පනත යටතේ පිහිටුවන ලද නියෝජිතායතනයක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් සිදුකරන හෝ සිදුකිරීමට නියමිත සද්භාවයෙන් යුතු ක්‍රියාවක් වෙනුවෙන් සිවිල් හෝ අපරාධ නඩු පැවරීමක් සිදු නොකළ යුතු අතර එම නියෝජිතායතන මණ්ඩල හෝ වෙනත් ආයතනවල සාමාජිකයෙකු නිලධාරියෙකු සේවකයෙකු හෝ අනුනියෝජිතයෙකු සද්භාවයෙන් සිදුකරනු ලබන ක්‍රියාවකට එරෙහිවද නඩු පැවරීමක් නොකළ යුතුය.
පනත් කෙටුම්පතේ ඇති ඉහත සඳහන් කරුණු කාරණා දෙස බැලූ විට සුපිරි පනත යනුවෙන් හඳුන්වන සංවර්ධන (විශේෂ විධිවිධාන පනත) විශේෂ සාකච්ඡාවකට ලක් කළ යුතු පනතක් බවට විවාදයක් නැත. එයට හේතුව දැනට පවතින අමාත්‍යාංශ කිහිපයකට අයත් ආයතනවල බලතල මෙම පනත යටතට ගෙන ඇති නිසාය. එහෙත් පුදුමය වන්නේ මෙම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට පෙර දැන් ඒ සඳහා විරෝධය දක්වන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී ඊට විරෝධය දක්වා නොතිබීමය. පළාත් සභා සඳහා මෙම පනත් කෙටුම්පත යොමුකිරීමෙන් පසු දෙසැම්බර් 22 දින ප්‍රකාශයට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභා හතද ඊට එරෙහි වන බවයි. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට ඉතිරිව ඇත්තේ උතුර හා නැගෙනහිර පළාත් සභාව පමණය. පනත් කෙටුම්පතේ ඇති විධිවිධාන අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මහවැලි අධිකාරියේ සිට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, හරීන් ප්‍රනාන්දු, මලික් සමරවික්‍රම, සුසිල් ප්‍රේම්ජයන්ත, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ගේ විෂය ක්ෂේත්‍රවලට පනත් කෙටුම්පතෙන් අත තබා ඇත. බැලූ බැල්මට පනත් කෙටුම්පත තුළ ඇති වෙනත් අමාත්‍යාංශ සතු කටයුතුවලට අමතරව ඉදිරියේදී පනත යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම මගින් තවත් අමාත්‍යාංශ සතු බලතලවලටද අත තැබිය හැකි බව පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වේ. ඒ පළාත් සභා සතු බලතලවලට අත තැබීමට අමතරවය.
එහෙයින් සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සුපිරි පනතක් යන්නට විවාදයක් නැත. රට කඩිනමින් සංවර්ධනය කිරීමට එවැනි පනතක් අවශ්‍යද? ඒ ඇයි? යන්න ආණ්ඩුව තුළ පවා පමණක් නොව ඉන් බාහිරවද සාකච්ඡාවක් ඇතිවිය යුතුය යන්න බැහැර කළ නොහැකිය.■