රාවය

සිවිල් ක්‍රියාධරයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර?

සිවිල් ක්‍රියාධරයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර?

ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර යම් ප්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමයි. එවැනි නිපුණතා ඇති බොහෝ දෙනා, පාර්ලිමේන්තු ක්‍රමය යටතේ පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වීමට, ‘නුසුදුස්සෝ’ වෙති. පළමුවැනි ‘නුසුදුසු’කම වන්නේ, මැතිවරණ පොරයට ඉදිරිපත් වීමට ඔවුන් දක්වන නොකැමැත්තයි. හිටපු විගණකාධිපති මායාදුන්නේ වැන්නෙකු, ඡන්දය ඉල්ලා මහජන රැස්වීම් පැවැත්වීමටවත්, ගෙයින් ගෙට යාමටවත් කැමැති වන එකක් නැත. එනිසා, පසුගිය මැතිවණයෙන් පසු ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණි. දෙවැනුව, එවැනි පුද්ගලයෝ, මන්ත්‍රී ධුරයක් පතා, තමන්ගේ හෘදය සාක්ෂියට එදිරිව ජනතාව ඉදිරියේ හිතාමතා බොරු කීමටත් මැළි වෙති. ඊළඟට, මේ සියල්ලටමත් වඩා, මැතිවරණ සඳහා බරපැන දැරීමට හැකියාවක්ද මේ බොහෝ දෙනාට නැත. එබැවින් රටේ අභිවෘද්ධිය පතා එවැනි කෙනෙකු ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට තෝරා යැවීම වරදක් නැත. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැන්නෙකු සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඥානය, ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ව්‍යායාමයට දායක කර ගැනීම වැඩදායක ය.
ජාතික ලැයිස්තුවට අයත් නොවන, ඡන්දයට ඉදිරිපත් වන දේශපාලනඥයන්, අනිවාර්යයෙන් ජනතාව ඉදිරියේ බොරු කරන හෝ බොරු කියන හෝ විශේෂඥ ඥානයක් නැති අයවළුන් වන බවක් මෙයින් අදහස් නොවේ. වාසනාවකට, සෑහෙන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තවමත් හෘදය සාක්ෂියක් අනුව වැඩ කරති. එහෙත් බොහෝ විට සිදුවන්නේ, ඡන්දය සඳහා දෙන පොරොන්දු, බලයට පත්වීමෙන් පසු මුහුණදෙන විෂයබද්ධ තත්ත්වයන් යටතේ ඉෂ්ට කර දීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒ සම්බන්ධයෙන් යම් සමාවක් තිබිය යුතුය. මන්දයත්, ඔවුන් කල් තියා නොදුටු බාධක සහ දුෂ්කරතා මතුවෙන්ට වෙන්නට පුළුවන් බැවිනි. එහෙත් බොහෝ විට අප දකින්නේ, බලයට පත්වූ පසු ඉටු කළ නොහැකි යැයි කල් තියාම දන්නා පොරොන්දු පවා, ඡන්දය ලබා ගැනීම සඳහා බොහෝ දේශපාලනඥයන් විසින් දැනුවත්වම ජනතාව ඉදිරියේ තැබීමයි. එය, චේතනාන්විතව ජනතාව නොමඟ යැවීමකි. වංචනික දේශපාලනඥයන් වශයෙන් හඳුනාගත යුතුව ඇත්තේ එවැන්නන්වයි. හැමදාමත් අපේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සමන්විත වුණේ එවැනි දේශපාලනඥයන්ගෙනි.
ජාතික මන්ත්‍රී ලැයිස්තුව සහ මැතිවරණ මන්ත්‍රී ලැයිස්තුව අතර වක්‍ර සම්බන්ධතාවක් සේම පැහැදිලි වෙනසක් ද තිබේ. යම් පක්ෂයක් මැතිවරණයකදී ලබා ගන්නා මුළු ඡන්ද ප්‍රමාණය අනුව ජාතික මන්ත්‍රී ධුර ප්‍රමාණය තීන්දු වන නිසා, මැතිවරණය සහ ජාතික මන්ත්‍රී ධුර අතර වක්‍ර සම්බන්ධතාවක් ගොඩනැගේ. ඒ තාක් දුරට එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා එම පක්ෂයේ ඡන්දදායකයන්ට යම් වගකීමකින් බැඳී සිටී. එහෙත් මේ බැඳීම මොන විදිහකින්වත්, අදාළ මන්ත්‍රීවරයා ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති අවස්ථාවක, ජාතික ලැයිස්තුවට ‘සුදුස්සෙකු’ කර ගැනීමට හේතුවක් නොවිය යුතුය. මන්දයත්, එය ප්‍රජාතන්ත්‍රවාදී පැනවීමක්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයකින් භාවිතයට ගැනීමක් වන බැවිනි. උදාහරණයක් වශයෙන්, ජනතාව විසින් මැතිවරණයෙන් පරාජය කරන ලද මර්වින් සිල්වා වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම දැක්විය හැකිය. එහිදී අර කලින් කී ‘විශේෂඥ ඥානය’ යන සාධකය තුට්ටුවකටවත් ගණන් නොගැනුණා පමණක් නොව, එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒ වන විට ප්‍රකාශයට පත්ව තිබූ පැහැදිලි ජනතා මතයකට ද පයින් ගැසුණි. මේ දෙයම, ඊට අඩු ලංසුවකින් පසුගිය මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් කෙළේය. ඡන්දයෙන් පරාජය වූ අපේක්ෂකයෙකු ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණි. ඔහු මොන ලෙසකින්වත් මර්වින් සිල්වා කෙනෙක් නොවේ. පාර්ලිමේන්තුව තුළ මේ වන විට ඔහු විශිෂ්ට දායකත්වයක් ද සපයමින් සිටී. එහෙත් ප්‍රජාතන්ත්‍රීය මූලික ශික්ෂාවක් එවැනි පක්ෂයක් කඩ කරන විට, එයම, තවත් පක්ෂයක් හරහා මර්වින් සිල්වා වැන්නෙකු පත්කර ගැනීමටත් පිටිවහලක් වන බව අමතක නොකළ යුතුය.
කෙසේ වෙතත්, අපේ පාර්ලිමේන්තුව යනු, පොදුවේ ගත් විට, ආදර්ශ සැපයිය හැකි තැනක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ, පක්ෂයේ ප්‍රතිපත්තියක් මත, වාහන බලපත්‍ර විකුණාගෙන කන්නේ නැත. ඒ අයථා ක්‍රියාවට යොමු නොවන තවත් බොහෝ දේශපාලනඥයෝ ද සිටිත්. එහෙත් එය සම්මත ආදර්ශයක් වශයෙන් පොදුවේ පාවිච්චියට නොගැනෙයි. මජර හංවඩුව ගැසී ඇති දේශපාලනඥයන් කෙසේ වෙතත්, බෞද්ධ රාජ්‍යයක් බිහි කිරීමට ප්‍රතිඥා දී පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂ සහ දේශපාලනඥයන් විසින්වත් එය ආදර්ශයට ගෙන නැත. සිවුරු හැඳ ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා වරක් මේ බලපත්‍රය විකුණාගෙන කෑ බව මාධ්‍ය වාර්තා කෙළේය. පසුගිය දා, ජනතා අප්‍රසාදය මධ්‍යයේ වැඩි කෙරුණු මන්ත්‍රී දීමනාව ප්‍රතික්ෂේප කරමින් රන්ජන් රාමනායක කතානායකවරයාට ලිඛිත දැනුම්දීමක් කෙළේය. එහෙත්, එය රන්ජන් රාමනායකට එරෙහිව සෙසු මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණා මිස පොදු ආදර්ශයට නිමිත්තක් වුණේ නැත.
මෙය, පාර්ලිමේන්තුව පිළිබඳව ඇති මහජන විශ්වාසය ඉතා ශීඝ්‍රයෙන් පිරිහෙමින් ඇති කාලයකි. එවැනි කාලයක කෙනෙකු මන්ත්‍රීවරයෙකු වීම තුළ ඇති කෙරෙන්නේ, බුහුමනකට වඩා හෑල්ලුවකි. එය, සම්මත දේශපාලනඥයන්ට වඩා ස්වාධීන සිවිල් සමාජ ක්‍රියාධරයන් සම්බන්ධයෙන් ගත් විට බරපතළ ය. මේ නිසා, ‘පුරවැසි බලය’ සංවිධානයේ කටයුතු කරන මා ඇතුළු, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක සහ වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය යන සිවිල් ක්‍රියාකාරිකයන් තිදෙනාට මේ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරිනමන්ට යන්නේ යැයි එක්තරා සති අන්ත පුවත්පතක් ගිය සතියේ වාර්තා කර තිබීම, හිතාමතාම එකී පුද්ගලයන්ගේ සිවිල් චරිත කෙලසීමට එල්ල කළ ප්‍රහාරයක් බව පෙනේ. මේ කතාවේ සත්‍යයක් තිබේදැ යි අදාළ තිදෙනාගෙන් විමසීමේ මාධ්‍ය වගකීමක් පුවත්පතකට තිබේ. එහෙත් පුවත්පත කෙළේ ධර්මසිරි බණ්ඩාරනායකගෙන් පමණක් විමසා, ඉතිරි දෙන්නාවත් ඊට ඈඳා ප්‍රබන්ධය සමාජගත කිරීමට වෑයම් කිරීමයි.
‘පුරවැසි බලය’ මේ දක්වා කටයුතු කර ඇත්තේ, ජනතා අභිලාෂයන් සහ රටේ අභිවෘද්ධිය තුලනය කෙරෙන ස්වාධීන සංවිධාන රටාවක් තුළ ය. ඒ අර්ථයෙන් ගත් විට, ඔවුන් සියල්ලෝම ‘තත්වාකාර ජනතා නියෝජිතයෝ’ වන්නාහ. ඒ ‘තත්වාකාර’ නියෝජනත්වය ඔවුන්ට හිමිවන්නේ, ඡන්දයක් මත හෝ ඔවුන් දරන වෙනත් තනතුරක් මත නොව, ඔවුන් සතුව ඇති යම් සදාචාරමය හයියක් මත ය. මොන විදිහක හෝ පටු පක්ෂ දේශපාලනයකට ගැති නොවීම, පෞද්ගලික වරප්‍රසාද හෝ තාන්නමාන්නවලට යට නොවීම සහ දූෂණයෙන් තොර වීම වැනි ප්‍රධාන සාධක මත, එකී සදාචාරමය හයිය නිරන්තරයෙන් නඩත්තු කර ගැනීමට ඔවුන්ට බල කෙරේ.
කෙසේ වෙතත්, ආණ්ඩුවේ තනතුරු පිළිගැනීම ‘පුරවැසි බලය’ තුළ තහනම් ශීලයක් නොවේ. ඇතැම් අංශයකින් විශේෂ සේවාවන් රටට සැපයිය හැකි පුද්ගලයන් රාශියක් මෙම සිවිල් ක්‍රියාකාරීත්වය තුළ ගොනු වී සිටිති. එකී අයවළුන්, තමන් සුදුසු යැයි සිතන පරිදි, තනතුරු භාර ගැනීමේ වරදක් අප දකින්නේ නැත. එහෙත්, ‘පුරවැසි බලයේ’ එක් කැඳවුම්කරුවෙකු වන මේ ලියුම්කරු මොනම තත්ත්වයක් යටතේවත් එවැනි දෙයක් භාර නොගන්නා බව නොවළහා කිව යුතුය. (එම අදහසම මේ වන විට සමන් රත්නප්‍රියත් ප්‍රකාශ කොට තිබේ). එසේ නොගන්නේ, ඊනියා ශීලයක් රැකීමට නොව, ඊට වඩා වැදගත් සිවිල් කාර්යභාරයක් මේ සංක්‍රමණීය අවධිය තුළ ඉටු කිරීමට ඇති නිසාත්, සියදිවි නසා ගැනීමේ අදහසක් නැති නිසාත් ය.■