Untitled-1

Untitled-1

සිසුන් අතහැර විශ්‍රාමික රණවිරුවන් රකින ඩීඑස් විදුහල


d-s

තරිඳු උඩුවරගෙදර

කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ සාමාන්‍යපෙළ විභාගය ලියමින් සිටි සිසුවෙකුට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තර්ජනය කර ඇති බවට පසුගිය සතියේ රාවයේ මුල්පිටුවේ පුවතක් පළවිය. ඒ සමඟම සමහර වෙබ් අඩවිවලත් එම පුවත පළවී තිබුණි. කමල් ගුණරත්න පසුගිය කාලයේ ජනප්‍රිය වී සිටියේ අලෙවි වාර්තා තැබූ ඔහුගේ පොතක් නිසාය. ‘රණමඟ ඔස්සේ නන්දිකඩාල්’ නම්වූ එම කෘතියේ ඇත්තේ, යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූවායැයි කියන සිදුවීම් ගැන කමල් ගුණරත්නගේ පාර්ශ්වයෙන් කියූ කතාවකි. විශ්‍රාම ගෙන ඉතා කෙටි කාලයක් තුළ ජාතිවාදී දේශපාලනයක යටිපෙළක් ඇති මෙවන් කෘතියක් පළවීමත් ඉන්පසුව ඔහු කළ කී දෑත් ගැන අපි ලියූවෙමු. යුද්ධය නැතිව පාළුවෙන් සිටි ඊනියා දේශප්‍රේමී ජනතාවක් පෝලිමේ ගොස් ඒ පොත මිලදී ගත් සැටිත්, පසුගිය සැප්තැම්බරයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ‘විජිත යාපා’ පොත්හල් කුටියට වරින් වර පොතේ පිටපත් සීමිත ප්‍රමාණයක් සපයමින් දිගු පෝලිමක් නඩත්තු කළ ආකාරයත් අපි දැකගත්තෙමු. විභාගයක් මැද පාසල් සිසුවෙකුට කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කිරීමේ නාටකය දිගහැරෙන්නේ ඉන් පසුවයි.
මේ සිදුවීම ගැන පසුගිය සතියේ රාවයේ පුවත පළවූ පසු ලංකාදීප වෙබ් අඩවියේද ඊට අදාළ පුවතක් පළවී තිබුණි. එම පුවත ලියූ මාධ්‍යවේදියා විසින් කමල් ගුණරත්න මහතා අමතා මේ සිද්ධිය ගැන කරුණු විමසා තිබුණු අතර, ගුණරත්න මහතා කියා තිබුණේ සිදුවීම දිනයේ තමා ලංකාවේ නොසිටි බවයි. සිදුවීමේ එක් පාර්ශ්වයක් පමණක් වන කමල් ගුණරත්නගේ ප්‍රකාශය අනුව ලංකාදීප පුවතේ හෙඩිම යොදා තිබුණේ ‘විශ්‍රාමික මේජර් ජෙනරාල් ගැන ඇති චෝදනා අසත්‍ය බව’ පවසමිනි. එම ප්‍රකාශය ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පසුව අපි ඩීඑස් සේනානායක විද්‍යාලයට ගියෙමු. එහි සේවය කරන සිද්ධිය ඇසින් දුටු සේවකයන් කිහිපදෙනෙකුම අපට තහවුරු කළේ එදින කමල් ගුණරත්න විද්‍යාලයට පැමිණි බවයි. එපමණක් නොව පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළම තනතුරු දරන්නන් කිහිපදෙනෙකුද සිද්ධිය වූ බව තහවුරු කර තිබුණි. ඊට පෙර අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ සිද්ධිය ඇසින් දුටු ගුරුවරියක්ද, එකොළහ ශ්‍රේණි භාර ගුරුවරයාද කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කිරීමේ සිදුවීම වූ බවට තහවුරු කළෝය.
තර්ජනයට ලක්වූ සිසුවාද අපි හමුවුණෙමු. ඒ වන විට ඔහුට ඉතිරිව තිබුණේ සාමාන්‍යපෙළ විභාගයේ තවත් එක් ප්‍රශ්න පත්‍රයක් පමණි. ඒ වනවිටත් ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකේදීම මේ පීඩනය නිසා ඔහු අසාර්ථක වී තිබුණි. ගණිතය දෙවැනි ප්‍රශ්න පත්‍රයත් ඉංග්‍රීසි දෙවැනි ප්‍රශ්න පත්‍රයත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. “අවුරුදු ගණනක් තිස්සේ මම බලාගෙන හිටියේ හෙට තියෙන පේපර් එක ඉවරවෙලා නිදහසේ ඉන්න. දැන් ඒකත් නැතිවෙලා.” ඔහු අප සමඟ පැවසීය.
සිදුවීම ඇත්තද?
අප සමඟ අදහස් දැක්වූ සිදුවීම ඇසින් දුටු අයට අනුව කමල් ගුණරත්න මහතා පාසලට පැමිණ ඇත්තේ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයාට පාසලේ සිසුන් පිරිසක් විසින් ඊට පෙර පහරදී තිබුණු නිසාය. එම පහරදීම සිදුව ඇත්තේ දෙසැම්බර් 10 වැනිදාය. එම ගැටුම සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර ගුටි කෑ සිසුවා කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත. කමල් ගුණරත්න තමාගේ පවුලේ දරුවා වෙනුවෙන් පැමිණෙන්නේ ඉන් පසුව විභාගය තිබුණු දිනය වන 14 වැනිදාය.
තර්ජනයට ලක්වූ සිසුවා කීවේ තමන් කමල් ගුණරත්නගේ ඥාති පුත්‍රයාට පහර නොදුන් බවයි. සිසුවා පහර දුන්නත් ඔහුට තර්ජනය කරන්නට පිට වැඩිහිටියෙකුට හැකියාවක් නැත.
තමන්ට තර්ජනය කළේ කමල් ගුණරත්න මහතා බව සිසුවා හොඳින්ම හඳුනාගෙන තිබුණි. විභාගය අවසන් වනතුරු තමා පොලීසියට මේ ගැන පැමිණිල්ලක් නොකළ බවත්, අවසන් ප්‍රශ්න පත්‍රය අවසන් වූ පසුව පැමිණිල්ලක් කරන බවත් ඔහු කීය. ඒ අනුව පසුගිය 17 වැනිදා ඔහු කුරුඳුවත්ත පොලීසියට සිදුවීම ගැන පැමිණිල්ලක් කර තිබුණි.
සිසුවා පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා කුරුඳුවත්ත පොලීසියේදී සාකච්ඡා කොට සමථයකට පැමිණ ඇති අතර, මීට කලින් කමල් ගුණරත්නගේ ඥාති පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලත් සිසුවා විසින් කළ පැමිණිල්ලත් යන දෙකම ඉවත් කරගෙන ඇත.
සිදුවීම සිදුවූ දිනයේ තමා ලංකාවේ නොසිටි බව කමල් ගුණරත්න මහතා ලංකාදීපයට කියා තිබුණි. එහෙත් එය ඔහුගේ ප්‍රකාශයක් පමණකි. අප කළ විමසීම්වලදී ඔහු ඒ ප්‍රකාශය අපට කීවේ නැත. එහෙත් අප සමඟ අදහස් දැක්වූ බොහෝ දෙනෙකු සිද්ධිය ඇසින් දැක ඇතුවා පමණක් නොව කමල් ගුණරත්න මහතා හඳුනාගෙනද තිබුණි.

පාසලේ ගෞරවය
විශේෂයෙන් සටහන් කළයුත්තේ ඩීඑස් සේනානායක විද්‍යාලය මේ සිදුවීමේදී හැසිරුණු ආකාරය ගැනයි.
පසුගිය 15 වැනි බ්‍රහස්පතින්දා මේ සිදුවීම ගැන පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළ නිලධාරීන් පිරිසක් හා විදුහල්පතිවරයා අතර සාකච්ඡාවක් කොට තිබුණි. එහෙත් අවාසනාවකට මෙන්, තමන්ගේ පාසලේ සිසුවකු වන දරුවාගේ පැත්තෙන් සලකා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ඔවුන් තීරණයක් ගෙන නොතිබුණි. පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන ලියුම්කරු, මේ පිළිබඳව ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් විමසූ විට, ඔවුන් සිද්ධිය තහවුරු කළ නමුත් ඉන්පසුව ලියුම්කරුට දිගින් දිගටම දුරකථන ඇමතුම් ආවේ පාසලේ ගෞරවයට හානියක් නිසා මේ ගැන කිසිවක් වාර්තා නොකරන ලෙස ඉල්ලමිනි.
වටිනා මනුස්සයා
මේ සිදුවීමට මැදිවුණු ගුරුවරිය කී කතාව පුදුමයෙන් පුදුමයට පත් කරවනසුලු කතාවකි. පාසලට අපහාසයක් සිදුවන නිසා ඒ සිදුවීම ගැන කතා නොකළ යුතු බව ඇය පැවසුවාය.
“ඉස්කෝලේ එකොළහ ඊ එකේ පුතෙක්ට තවත් ළමයි දෙන්නෙක් ගහලා. ඒ ළමයාගේ ඔළුවත් ගෙඩි ගැහිලා. ඊට පස්සේ ඒ ළමයා ඒ සිද්ධිය ගැන කුරුඳුවත්ත පොලීසියේ ඇන්ටි්‍රයක් දාලා තිබුණා. පස්සේ බදාදා ගණන් පේපර් එක දවසේ විවේකය වෙලාවේ ගුටි කෑ ළමයාගේ පැත්තෙන් ඇවිත් තිබුණා. ඉතින් ඒ පවුලේ අය ඇවිල්ලා ටිකක් හයියෙන් හයියෙන් කතාකරලා තිබුණා. ගුටි කෑ අයටත් කේන්ති යනවානේ. කමල් ගුණරත්නව මම ඒ වෙලාවේ අඳුනාගත්තේ නැහැ. ඒ ළමයාගේ ළඟ ඥාතියෙක් තමයි කමල් ගුණරත්න මහත්තයා. අපේ ළමයින්ගේ වැරැද්දක් තියෙනවා. කමල් ගුණරත්න කියන්නේ ඉතින් ප්‍රභාකරන්වත් මරපු වටිනා මනුස්සයෙක්නේ. ජාතියක් ගරු කරන මනුස්සයෙක්නේ. ඒ පවුලේ එකම කොල්ලා ගුටි කාපු කොල්ලා විතරයි. ඉතින් ඒ පවුලටත් කේන්ති යනවානේ, ළමයා ගුටිකාලා ආවාට පස්සේ.” මේ ඇය කී කතාවයි. මේ අපේ කාලයේ ගුරුවරියකගේ අදහස්ය.
පාසලේ සිසුන් අතර ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් පියවර ගතයුත්තේ ගුරුවරුන් විසින්ය. එක් සිසුවෙකුගේ ඥාතියෙකු පැමිණ තවත් සිසුවෙකුට පහර දුන්නොත් ගුරුවරයා කළ යුත්තේ කුමක්ද? ඒ පහරදීම සාධාරණීකරණය කොට තවත් එවැනිම පහරදීම් සඳහා ඉඩ සැලසීමද? යුද්ධයේදී තමාට ඉහළින් ලැබුණු අණ අනුව කළ දේවල වටිනාකම නිසා කමල් ගුණරත්න මහතාට පාසල් සිසුන්ට පහරදීමේ අයිතියක් හිමිවුණේ කෙසේද? පාසලට සිසුන් එවන මාපියෝ සියලුදෙනාම පාසල් කාලය තුළදී ගුරුවරුන් තම දරුවන්ගේ ආරක්ෂාව සලසනු ඇතැයි බලාපොරොත්තු වන්නෝය. පිටින් පැමිණෙන කිසිවෙකු හෝ සිසුවකුට තර්ජනය කර ඇත්නම් එය ගුරුවරුන්ගේ වගකීම කඩවීමක් නොවේද? අනෙක් අතට, තමන්ගේ පාසලේ තමන් භාරයේ සිටින සිසුවකුට පිටස්තරයකු පැමිණ තර්ජනය කළ විට, ‘වටිනා මනුස්සයකු’ නිසා පිටස්තරයාගේ බලහත් කාරකම නොසලකා හරින්නටත්, තමාගේ පාසලේ දරුවාට දොස් පවරන්නටත් ගුරුවරුන් පෙළඹීම අප සැලකිය යුත්තේ කෙසේද?
පාසලේ ආදි ශිෂ්‍යයෙකු ලියුම්කරු සමඟ අපූරු අදහස් දැක්වීමක් කළේය.
“දැන් ඉස්සර වගේ නෙවෙයි. මොනාවත් නැතිව නීතියට ළමයින්ව ගන්නවා. වතුවල එවුන් වැඩියෙන් ගන්නවා. උන් තමා මේවා කරන්නේ. වතුවල එවුන් ඉස්කෝලේ කාලා.” වතුවල එවුන්යැයි කියන්නේ පාසල අවට ඇති නාගරික නිවාසවල පදිංචි මධ්‍යම පාන්තික සිසුන්ය. පාසලේදී ගුරුවරුන් විසින් මේ සිසුහු කුඩා කාලයේ සිටම කොන් කරනු ලබන්නෝය. පන්තිවල අඩු සැලකුම් ලබන මෙවන් සිසුහු ඉබේම ප්‍රචණ්ඩත් වයට තල්ලුවන්නෝය.
අලස් ප්‍රතිපත්තිය
අලස් විදුහල්පතිවරයා ඩීඑස් සේනානායකය හදද්දී ශ්‍රමය අත්‍යවශ්‍ය විය. පාසලේ නිරන්තරයෙන් ශ්‍රමදාන තිබුණි. ගුරුවරු, මාපියෝ සහ සිසුහු ශ්‍රමය හෙළුෑහ. පාසල ඉදිකරද්දී වැඩිපුරම ශ්‍රමය හෙළා ඇත්තේ උඩින් කී වතුවල සිසුන්ද, ඔවුන්ගේ මාපියන්ද විසින් බව ඒ පාසල අස්වැද්දූ බොරැල්ලේ කූඹිකැලේ වත්තේ බිම සාක්ෂි දෙනු ඇත. ලියුම්කරු සමඟ ආදි ශිෂ්‍යයා කී අපූරු කතාව සම්පූර්ණයෙන්ම බොරු බවත්, මේ පාසලට සම්පූර්ණ අයිතියක් වතුවල සිසුන්ටත් ඇති බවත් ඔය ආදි ශිෂ්‍යයන් විසින් සින්නක්කරයට ලියාගෙන සිටින ‘අලස් ගුරුපියාණන්’ දැන් සිටියා නම් කියනු ඇත.
මීට පෙරද රාවයේ අලස් ප්‍රතිපත්තිය සහ වත්මන් සේනානායකය ගැන ලියා තිබුණි. ආර්අයිටී අලස් සම්ප්‍රදායන් යැයි කී දේවල් අතරින් පාසලේ කිසිවක් ඉතිරි වී නැති තරම්ය. සිසුන්ට පුතායැයි ඇමතීම හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත. ලංකාවේ සියලු සිසුන් එක හා සමාන බව කියමින් අලස් විදුහල්පතිවරයා විසින් සිසුන්ගේ නිල ඇඳුමට ලාංඡනයක් එකතු කර නොතිබුණි. පාසලේ සියලු ජාතීන්ගේ සිසුන්ට සමානාත්මතාවෙන් සැල කීම අලස් ප්‍රතිපත්තිය විය. කොළඹ වීදි නිවාසවල දරුවාත් කුරුඳුවත්තේ ධනවතුන්ගේ දරුවනුත් අලස් ප්‍රතිපත්තියට අනුව සමානය.
එහෙත් දැන් පාසලේ ගුරුවරුන්ගේ ප්‍රතිපත්තියට හමුදා නිලධාරීන්ගේ දරුවන් වැඩියෙන් සමාන වී ඇත. පාසලේ සියලු ආගම්වලට සමාන තත්ත්වයක් නැති බව කියන්නේ පාසල තුළ කුඩා ප්‍රමාණයට කතෝලික පල්ලියක්, කෝවිලක් සහ ඉස්ලාම් පල්ලියක් ඉදිකර ඒ තුනම එක් කළත් ඊට වඩා විශාල ප්‍රමාණයේ බුදු මැදුරක් ඉදිකරමිනි. රණවිරුවන් සමරන්නට යැයි රණවිරු ස්මාරකයක්ද පාසලේ ඉදිකර ඇත. ජාතිවාදය පාසලේ නව ජීවනාලිය වී ඇත. එය උපරිමයට යමින් පාසලේ හිටපු විදුහල්පති ඩී.ඇම්.ඩී. දිසානායකට බ්‍රෙවේ කර්නල් තනතුරක් ලැබුණු පසු එය ඉතා ඉහළින් වර්ණනා කරන්නට කටයුතු කර තිබුණි.
ජනප්‍රිය පාසල් සම්ප්‍රදායට පිටින් සේනානායකය ගෙනයෑම අලස් ප්‍රතිපත්තියේ අරමුණ වුණත් දැන් ඒ ප්‍රතිපත්තිය බිමට සමතලා කොට පොදු සම්ප්‍රදායේම පාසල ගිලී ඇත්තේය. සමානාත්මතාව වෙනුවට විශේෂ කොට සැලකීම පෙරට පැමිණ ඇත්තේය.
කමල් ගුණරත්න බේරන්නට ඕනෑ වුණේ කමල් ගුණරත්නගේ දරුවා ඔහුගේ තර්ජනයට මුහුණදුන් දරුවාට වඩා පාසලට වටිනා නිසාය.
කමල් ගුණරත්නගේ ඥාති පුතා අයත් වුණේ පාසලේ වරප්‍රසාද ලබන පන්තියටයි. පහරකෑ සිසුවා අයත්වුණේ වරප්‍රසාද අහිමි පිරිසටයි. පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේත්, පාසල් සංවර්ධන සමිතියේත්, ගුරුවරුන්ගේත්, විදුහල් පතිවරයාගේත් වුවමනාව ඉහළ පැළැන්තිය වෙනුවෙන් සිදුවීම යට ගසන්නටයි.■

lankadeepa