Untitled-1

Untitled-1

මාධ්‍ය නිදහස හා වගකීම් තුලනය කිරීම දුෂ්කරයි, එහෙත් අවශ්‍යයි!


nalaka

2016 දෙසැම්බර් 10 වනදා හම්බන් තොට වරායේ කම්කරු උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නාවුක හමුදාව හා එහි ප්‍රධානියා ප්‍රසිද්ධියේ පහරදීම එහි සිටි කිහිපදෙනකු විසින්ම ඡායාරූප හා විඩියෝගත කරනු ලැබුවා. ඒ නිසා කිසිසේත්ම සිදුවීම වසන් කරන්නට බෑ.
සමාජ මාධ්‍ය හරහා මේ රූප ඉක්මනින් පැතිර ගිය පසු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට ද ඒ ගැන නිහඬව සිටිය නොහැකි වූවා. මේ සිදුවීම හරහා රජයත්, මාධ්‍යත් අතර කෙමෙන් ගොඩ නැගෙමින් තිබූ හොඳහිත යළිත් පළුදු වී තිබෙනවා.
හම්බන්තොට සිද්ධියට නිමිත්ත වූ කම්කරු උද්ඝෝෂණය නීතියට අනුකූල නොවූවා යයි ද, එනිසා බලෙන් අල්ලා ගත් නැව් මුදා ගැනීමට නාවුක හමුදාවට වගකීමක් වී යයිද විග්‍රහයන් හා තර්ක ගණනාවක්ම රජයේ පැත්තෙන් ඉදිරිපත්ව තිබෙනවා.
සිදුවීම වූ තැන මා නොසිටියත්, එහි වෙබ්ගත ඡායාරූප හා විඩියෝ කීපයක් බැලීමෙන් පසු මගේ විග්‍රහය පසුදින මා ෆේස්බුක් හරහා මෙසේ ප්‍රකාශ කළා:
1. කවර හෝ හේතුවක් නිසා මහජනයාට පහරදීමට ත්‍රිවිධ හමුදාවලට හෝ පොලිසියට අවසරයක් නෑ. පහරදීම මොන පදනමකින්වත් සාධාරණී කරණය කරන්න බැහැ. එය හෙළා දැකිය යුතුයි. අදාළ ප්‍රහාරකයන්ට එරෙහිව නිසි විනයානුකූල පියවර ගත යුතුයි.
2. යම් පුරවැසියකු (මාධ්‍යවේදීන් හෝ වරාය කම්කරුවන්) එහිදී යම් අයුරකින් නීතිය හා සාමය කඩ කළා නම් ඔවුන්ට එරෙහිව ද පොලිස් හා අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා අපක්ෂපාත පරීක්ෂණයක් කළ යුතුයි. එය සාක්ෂි මත පදනම් විය යුතුයි. මහජනයාට දඬුවම් කිරීමේ බලයක් හමුදාවලට නැහැ. තමන්ට එරෙහි වන සැවොම සතුරන් සේ සලකා පහරදීමේ හමුදා චින්තනය රජය විසින් සමනය කළ යුතුයි.
3. රණවිරුවන් කියා වන්දනා කරනු ලැබූ පමණට හමුදාවන් තම සීමා ඉක්මවා ක්‍රියාකිරීම ශිෂ්ට සමාජයක් ඉවසිය යුතු නෑ. එසේම එහි සිටි කිසියම් මාධ්‍යවේදියකු මාධ්‍ය ආචාර ධර්ම කඩ කළා නම් එයට වෘත්තීය හෝ නීතිමය මට්ටමින් ප්‍රතිචාර දක්වනු මිස වාචික හෝ කායික ප්‍රහාරයකට ලක්වීමට එය කිසිසේත්ම හේතුවක් නොවෙයි.
මේ රජය මානව හිමිකම් සුරකින සැටිත්, මාධ්‍ය නිදහස තහවුරු කරන සැටිත් යහපාලන ළැදි සියලු පුරවැසි අප මහත් ඕනෑකමින් බලා සිටිනවා. ලෝක ප්‍රජාවද සුපරීක්ෂාකාරීව සිටිනවා. 2015 මැතිවරණවලදී දුන් පරමාදර්ශී පොරොන්දු ඉටු කළ යුතුව තිබෙනවා.
තුලනාත්මකව බලන විට, අන්ධකාර දශකය හමාර වූ 2015 ජනවාරියෙන් පසු අදහස් ප්‍රකාශනයට සාපේක්ෂව විශාල නිදහසක් තිබෙනවා. එය අගය කළ යුතුයි. එසේම වත්මන් රජය විකල්ප හා ස්වාධීන මත නොඉවසන මානයකට කෙමෙන් ගමන් කරයි නම් අප එයට ද එරෙහි විය යුතුයි.
ඒ අතර රජය හොඳ දෙයක් කිරීමට තැත් කරන විට අප එයද දිරිගැන්විය යුතුයි. එහෙත් දේශපාලකයන්ගේ පොරොන්දු හා හොඳහිත මත පමණක් යැපිය නොහැකියි. අපට මේ අවස්ථාවේ කළ හැකි හොඳම දේ ව්‍යුහාත්මක හා නීතිමය වෙනස්කම් කිරීමට රජය හා මාධ්‍ය කර්මාන්තය යොමු කිරීමයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජන මාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් ගැන කෙටුම්පත් ලේඛනයක් මීට සති කීපයකට පෙර නිකුත් කළා. 2016 දෙසැම්බර් 31දාට පෙර එයට මහජන ප්‍රතිචාර ඉල්ලා තිබෙනවා. http:// sinhala.dgi.gov .lk/ images /pdf/2016/ sin_media. pdf
ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා ජනමාධ්‍ය ස්වයං නියාමන විධික්‍රම කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට, ඒ ගැන උනන්දුවක් දක්වන සියලුදෙනා සමඟ කතිකාවක් ඇති කිරීම එහි අරමුණයි. කලක සිට මාධ්‍ය ප්‍රවණතා සමීපව අධ්‍යයනය කරන අයකු ලෙස මා මෙය ඵලදායී පියවරක් ලෙස දකිනවා.
තිබසින්ම වෙබ්ගත කොට තිබෙන එම ලේඛනයේ මෙසේ කියනවා: “ප්‍රවෘත්ති හා තොරතුරු රැස් කිරීමට ජනමාධ්‍යයට ඇති අයිතිය ද ඇතුළුව ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සඳහා නීතිමය රැකවරණය සැලසීමටද, 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමටද, ජනමාධ්‍ය වෘත්තියේ ප්‍රමිතීන් පවත්වා ගැනීමටද අවශ්‍ය නිසි බලතල සහිත ස්වාධීන අධීක්ෂණ යන්ත්‍රනයක් හඳුන්වා දීමට රජය සූදානම්ය.”
මේ වසර මුලදී මා සංස්කරණය කළ “ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා…” නම් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයක් වූයේ මෙයයි: “බහුතරයක් මාධ්‍යවේදීන්ගේ පිළිකුලට පාත්‍ර වූ 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත හා එමගින් පිහිටුවන ලද මාධ්‍ය මර්දනකාරී රාජ්‍ය පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මාධ්‍ය ආවරණය වන පරිදි දැනට වඩා කාර්යක්ෂම ස්වයං නියාමන සැකැස්මක් සංවිධානය කර ගත යුතුය.”
මෙම නිර්දේශය රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබෙන බව පෙනෙනවා. විවිධ රජයන් විසින් මාධ්‍ය මර්දනයට යොදා ගත්, කැලෑ උසාවියක් වැනි පුවත්පත් මණ්ඩලය 21වන සියවසට ගැළපෙන්නක් නොවෙයි. එය වසා දැමීම සැබැවින්ම සිදු වෙතොත් ලොකු දෙයක්.
සාකච්ඡා කෙටුම්පතෙහි නිශ්චිත කරුණු/යෝජනා හතක් ඉදිරිපත් කොට තිබෙනවා:
1. පුවත් හා තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම, පොදු උන්නතිය සඳහා විචාරශීලීව වාර්තාකරණය සහ මහජන මතයන් හැඩගැස්වීමට දායකවීම යන ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවලට අයිතියක් හා නිදහසක් ඇති බව පිළිගැනීම.
2. මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රවෘත්ති හා තොරතුරු රැස් කරන මාධ්‍යවේදීන්ට උවමනා වෙන්ම බාධා කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම.
3. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කරන ක්‍රමවේදයක් ඇති කිරීම.
4. මාධ්‍යවේදීන් තම තොරතුරු ලබාගන්නා මූලාශ්‍රයන් රහසිගතව තබා ගැනීමට හා කිසි ලෙසකින්වත් හෙළි නොකිරීමට ඇති ලොව පිළිගත් අයිතිය තහවුරු කිරීම
5. රාජ්‍ය ආයතන ගැන හෝ පොදු උන්නතියට අදාළ වන හෝ ඕනෑම තොරතුරක් මාධ්‍යවේදියකුට ලබාදෙන ඕනෑම පුද්ගලයකුට නීතියෙන් දඬුවම් කිරීම හෝ සේවයෙන් පහකිරීම හෝ වෙනත් හිරිහැරයකට ලක් කිරීම නීති විරෝධී කිරීම. මෙය අදාළ නොවන්නේ එසේ හෙළි කරනු ලබන තොරතුර, තවදුරටත් රහසිගතව තබා ගැනීම පොදු උන්නතියට වඩාත් හිතකර වන අවස්ථාවලදී පමණි.
6. පිළිගත් වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයක් කඩ කිරීම ප්‍රතික්ෂේප කරන මාධ්‍යවේදියකුට හෝ කතුවරයකුට හෝ දඬුවම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කිරීම.
7. මාධ්‍යකරණයේ ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වන මාධ්‍ය ආචාර්ය ධර්ම පද්ධතියක් සකස් කිරීමට හා එය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට බලය ඇති ස්වාධීන මණ්ඩලයක් පිහිටුවීම.
ඉහත 2 හා 3 හම්බන්තොට සිදුවීමට සෘජුවම අදාළයි. කලබලයක්, උද්ඝෝෂණයක් හෝ වෙනත් සිදුවීමක් වන තැනකට පිවිසීමට හා රූපගත කිරීමට මාධ්‍යවලට නිදහසක් තිබිය යුතුයි. යුද්ධ කාලයේ මානසිකත්වය වූයේ ජාතික ආරක්ෂාව කියමින් බොහෝ දේ වසන් කිරීමයි. කල්ගත වී හෝ මෙයින් අත්මිදිය යුතුයි.
එහෙත් මේ නිදහස අසීමිත එකක් නොවෙයි. වගකීම් සහිතව හා තම ආරක්ෂාවද ගැන සැලකිලිමත් වෙමින් වාර්තාකරණයේ යෙදීමට මාධ්‍යවේදීන්ට වගකීමක් තිබෙනවා.
බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ මෑතදී මෙය සැකෙවින් හා මැනැවින් විග්‍රහ කර තිබුණා: “ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍රමුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතුය. මාධ්‍යකරුවන් පුහුණු කිරීම යන්න මාධ්‍ය ආයතනවලට අදාළ ම නැති දෙයකි. මාධ්‍යකරුවන් කොහෙන් හෝ පුහුණු වී පැමිණ සේවය කළ යුතු යයි ඔවුහු සිතති. මේ හේතුවෙන් බොහෝ ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාමාන්‍ය යෙන් කිසිදු පුහුණුවක් නැත.”
මේ නිසා මාධ්‍ය නිදහස තහවුරු කරන අතරම මාධ්‍ය වෘත්තීයභාවය දියුණු කළ යුතුව තිබෙනවා. එකක් නැතිව අනෙක ඉදිරියට යා නොහැකියි.
ජනමාධ්‍ය මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම (protecting sources) මාධ්‍ය නිදහසෙහි මූලික කොන්දේසියක්. එවැනි ආරක්ෂණයක් නොමැති විට පොදු උන්නතියට අදාළ කාරණා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍යවලට උදව් කිරීමට මූලාශ්‍ර පෙළඹෙන්නේ නැහැ. එසේ වුවහොත්, සමාජයේ මුරබල්ලකු ලෙස මාධ්‍ය කරන වැදගත් මෙහෙවර යටපත් වී නිවැරදි හා විශ්වසනීය තොරතුරු ලබා දීමට මාධ්‍යවලට ඇති හැකියාවට බාධා වනවා.
ජනමාධ්‍යකරුවන්ගේ තොරතුරු මූලාශ්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම තහවුරු කිරීම සඳහා අපේ රටේ තවම නිශ්චිත නීති නැහැ. මේ පසුබිම තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් විටින් විට ජනමාධ්‍යකරුවන්ට හා මාධ්‍ය ආයතනවලට තම මූලාශ්‍ර හෙළිදරව් කිරීමට බලපෑම් එල්ල කරනවා.
මාධ්‍ය නිදහසට හා මාධ්‍ය ප්‍රකාශනයට බලපාන නීති ප්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් දීම සඳහා පත් කරන ලද ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර කමිටුව විසින් 1996දී සම්පාදනය කරන ලද වාර්තාවට අනුව මූලාශ්‍රයේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා නීති නැතිකමින් ගවේෂණාත්මක පුවත්පත් කලාවට හා මහජනතාවට එරෙහි අයහපත් හා වැරදි ක්‍රියා හෙළිදරව් කිරීමට දැඩි බලපෑමක් ඇති වනවා.
යුද්ධය කාලයේත් ඉන් පසුවත් ආරක්ෂාව, පොදු වියදම්, දේශපාලන කුමන්ත්‍රණ හා වෙනත් සංවේදී මාතෘකාවලට අදාළ ලිපි සම්බන්ධයෙන් මූලාශ්‍ර හෙළිදරව් කිරීමට රජය විසින් ජනමාධ්‍යකරුවන්ට හා කර්තෘවරුන්ට නිරතුරු බලපෑම් කෙරුණා.
2008 වසරේ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශයෙහි මෙසේ දැක්වෙනවා. ‘මාධ්‍ය මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමේ නීති හඳුන්වා දිය යුතු අතර ඒවා අධිකරණයට අපහාස කිරීමේ නීතිවල කොටසක් විය යුතු ය. මාධ්‍ය මූලාශ්‍ර හෙළිදරව් කිරීම සම්බන්ධ කොන්දේසි එහි පැහැදිලිව නිර්ණය කර තිබීම අවශ්‍ය වේ.’ මාධ්‍යකරුවන්ට සිය මූලාශ්‍රය හෙළිදරව් නොකර සිටීමට ඇති අයිතිය නීතියෙන් තහවුරු කළ යුතු බව ගුණසේකර කමිටුව නිර්දේශ කරන ලද මුත් එය සිදුවූයේ නැහැ. දශක දෙකකට පසුවත් එවැනි නීතියක් තවම හඳුන්වා දී නැහැ. දැන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ එයයි.
අකටයුතු නාදකයන් (whistle blowers) රකින නීතිද ශිෂ්ට සමාජයකට හා පරිණත ප්‍රජාතන්ත්‍රවාදයකට අවශ්‍යයි. ඔවුන් බොහෝ විට රහසිගත තොරතුරු ලබා දෙන්නේ මාධ්‍යවලටයි. බැරිවෙලාවත් එසේ දුන් පුද්ගලයා හෙළි වූවොත් ඔවුන්ට යම් රැකවරණයක් තිබිය යුතුයි යන්න අද ලෝකයම පිළිගන්නවා.
අලුත් තොරතුරු නීතියේ පවා අකටයුතු නාදකයන්ට ලබා දී තිබෙන රැකවරණය මදි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කොට 2016 මැදදී නිකුත් කර තිබෙනවා. එය හැකි තාක් ඉක්මනින් සම්මත කර ගෙන නීතියක් බවට පත් කිරීමට මාධ්‍ය හා සිවිල් සංවිධාන උත්සුක විය යුතුයි. https: //goo.gl/IBvVPW
මාධ්‍ය නියාමනය කෙසේ කළ යුතුද? මාධ්‍ය ස්වයං නියාමනය අපේ රටේ අසාර්ථක වී ඇත්තේ ඇයි? මෙයට කෙතෙක් දුරට රජය මැදිහත් විය යුතුද? මේ ගැන ඉදිරි සතියක කථා කරමු.
“ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා…” සම්පූර්ණ සිංහල වාර්තාව මෙතැනින් කියවන්න:http://nsmrlk.org /pdf /SMRS.pdf