සමාජ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හා හදගැස්ම


ivan

වික්ටර් අයිවන්

කෙනෙකුට අවශ්‍ය නම් තමන් කරන දේවල් අත්හදා බැලීම් බවට පත්කරගත හැකිය. තමන්ගේ ජීවිතය පවා අත්හදා බැලීමක් බවට පත්කරගත හැකිය. ආදරය, විවාහය, දරුවන් හැදීම, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම හා ජීවිතයේ විවිධ දේ අත්හදා බැලීම් බවට පත්කරගත හැකිය. ජීවිතයේ විවිධ දේ අත්හදා බලන්නෙකු හා යාන්ත්‍රික ජීවිතයක් ගත කරන්නෙකු අතර ලොකු පරතරයක් දැකිය හැකිය. අත්හදා බලන්නෙකුට තමන් කරන අත්හදා බැලීම් සඳහා උපන්‍යාස තනා ගැනීමට සිදුවේ. ඒවා නිරීක්ෂණය කිරීමට සේ ම ලබන අත්දැකීම් ඔස්සේ එම උපන්‍යාසය සංවර්ධනය කරගැනීමට සිදුවේ. එහෙත් යාන්ත්‍රික ජීවිතයක් ගතකරන්නෙකු ජීවත්වන්නේ ඔහේ ජීවත්වන්නන් වාලේය.

රෝහණ විජේවීර
රෝහණ විජේවීර විසින් බිහිකරන ලද ජනතා විමුක්ති පෙරමුණ සේ ම එම ව්‍යාපාරය අවස්ථා දෙකකදී කරන ලද කැරලි ගැසීම් බිහිසුණු වුවද ඒවා දේශපාලන තලයේ විජේවීර විසින් කරන ලද අත්හදා බැලීම් ලෙස සැලකිය හැකිය. පළමු කැරැල්ලේදී ඔහුගේ මහා අත්හදා බැලීම් සාර්ථක කිරීමට හේතුවන පුංචි අතුරු අත්හදා බැලීමක යෙදීමට මටද සිදුවිය. එහිදී මගේ අත්හදා බැලීම් අසාර්ථක වූ අතර ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නටද මට සිදුවිය. එහෙත් පළමු කැරැල්ලෙන් මරණයට පත්වූ අය සමඟ ගත් කල මට ගෙවන්නට සිදුවූ වන්දිය පුංචිය.
එම අසාර්ථක පුංචි අත්හදා බැලීම්වලින් මම පාඩම් ඉගෙන ගත්තෙමි. එහෙත් විජේවීර ඉන් පාඩම් ඉගෙන ගත්තේ නැත. ඒ අත්දැකීම් නිසා මම විජේවීරටද පසුව මාක්ස්වාදයටද ආයුබෝවන් කීවෙමි. එහෙත් පළමු අසාර්ථක අත්හදා බැලීමෙන් පාඩම් ඉගෙන නොගත් විජේවීර තවත් වසර ගණනාවකට පසු ඊටත් වඩා බිහිසුණු දෙවැනි අත්හදා බැලීමකට ගොස් තමන්ගේ ජීවිතය විනාශ කරගත්තා පමණක් නොව ඒ නිසා ඔහුගේ අනුගාමිකයන් විශාල පිරිසකගේද ජීවිත විනාශ විය. පළමු කැරැල්ලෙන් පසුව මම මගේ හිරගෙදර ජීවිතය යාන්ත්‍රික සිරකරුවකුගේ ජීවිතයක් බවට පත්කර ගැනීමෙන් තොරව සිරගෙදර විවිධ අත්හදා බැලීම්වල යෙදෙන ජීවිතයක් බවට පත්කර ගත්තෙමි.
ඊට පෙර මට මුහුණ දෙන්නට සිදුවූ අනතුරේදී මම මගේ වෛද්‍යවරයාට මාගේ තුවාල වූ පෙනහැල්ල සමඟ කරන අත්හදා බැලීමකට ඉඩ දුන්නෙමි. මා එම අනතුරෙන් පසු රෝහල්ගත කරන ලද්දේ මස් කරන ලද මස් වැදැල්ලක් ලෙසය. අනතුර සිදුවී මුල් දින කිහිපයේදී ගාල්ලේ මහමෝදර රෝහලෙන් ප්‍රතිකාර ගත්තද අනතුර කෙරෙහි බලපෑ අත්හදා බැලීම් හා එහි දේශපාලන පසුබිම වසන් කිරීමට අවශ්‍ය වීම නිසා පක්ෂයේ අනුමැතිය ඇතිව මහමෝදර රෝහලෙන් පිටවී කොළඹ සුලෙයිමන් රෝහලට ඇතුළු වූයෙමි. එසේ කිරීමට මට හැකිවූයේ එම රෝහල භාරව ක්‍රියා කළ වෛද්‍යවරයා මාගේ දුර ඥාතියෙකු වීම නිසාය. මට ජනතා විමුක්ති පෙරමුණ සමඟ තිබුණු සම්බන්ධය ඔහු හරියටම දැනසිටියේදැයි මම නොදනිමි. සමහරවිට ඔහු දැන සිටියා විය හැකිය. එහෙත් මා එම රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා තෙක් ඒ ගැන ඔහු මා සමඟ කිසිදු කතාබහක යෙදී නැත.

දොස්තර ලූෂන්
ඔහුගේ නම දොස්තර ලූෂන්ය. ඔහු කිසියම් දීර්ඝ කාලයක් එක්සත් රාජධානියේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කර ලංකාවට පැමිණීමෙන් පසු සුලෙයිමන් රෝහල භාර වෛදවරයා ලෙස සේවය කළේය. මට මුහුණ දෙන්නට සිදුවූ අනතුරෙන් මාගේ බාහිර ශරීරය පමණක් නොව පෙනහැල්ලද බරපතළ ලෙස තුවාල වී තිබුණි. ලෝහමය කැබලි ගණනාවක් පෙනහැල්ල සිදුරු කරගෙන ගොස් එහි තැන්පත්ව තිබුණි. ශල්‍ය කර්මයක් කිරීම අවශ්‍යම දෙයක් බවට පත්ව තිබුණි.
ඒ කාලයේ පෙනහැල්ලේ කෙරෙන ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛ වෛද්‍යවරයාව සිටියේ දොස්තර පෝල්ය. රෝහලේ පිළිගත් මතය වී තිබුණේ එම ශල්‍ය කර්මය දොස්තර පෝල් ලවා කරවා ගැනීම සුදුසු බවය. ඔහු ලවා ඒ දේ කරවා ගැනීමට ලොකු වියදමක් දරන්නට සිදුවන බව දැන සිටියද ඒ වියදම දරන්නට පක්ෂය කැමැත්ත පළකර තිබුණු නිසා වියදම පිළිබඳ ප්‍රශ්නය මට බරක් වී තිබුණේ නැත. එහෙත් දොස්තර ලූෂන් ඒ ගැන දරන ලද මතය ඊට වෙනස් විය. ඔහු ඔහුගේ අදහස මට කියා තිබුණේ මෙසේය.
“වික්ටර් ඔයාට මේ ඔපරේෂන් එක ඩොක්ටර් පෝල් ලවා කරවා ගන්න ලොකු වියදමක් දරන්න සිදුවේවි. ඔහු විෂයට සිටින හොඳම පුද්ගලයා බව මම පිළිගන්නවා. ඔපරේෂන් එක ලොකු හා සංකීර්ණ ඔපරේෂන් එකක් වුණත් එය කිරීමේ හැකියාව මටත් තිබෙනවා. මම කරනවා නම් මට කිසිම ගාස්තුවක් අවශ්‍ය නැහැ. ඒ ගැන හොඳින් කල්පනා කර හරි තීන්දුවක් ගන්නයැ’යි ඔහු මට කීවේය.
දොස්තර ලූෂන් මේ සිද්ධියේදී මට කර තිබුණු උපකාරවල ප්‍රමාණය අතිවිශාලය. මෙය ඔහුට ප්‍රතිඋපකාර කිරීමට මට ලැබුණු අවස්ථාවක් ලෙස මට පෙනුණි. අනෙක් අතට ඒ තෝරා ගැනීම මගින් පක්ෂයට දරන්නට සිදුවන ලොකු වියදමක් කපා හැරිය හැකි බවද මට පෙනුණි. අවදානමක් තිබිය හැකි වුවද මගේ පෙනහලු ශල්‍ය කර්මය දොස්තර ලූෂන් විසින්ම කළ යුතු බව මගේ තීරණය විය. ඒ තීරණය මගේ පවුලේ සාමාජිකයන්ගේ සේ ම ඊටත් වඩා මට සාත්තු කළ හෙදියන්ගේ කනස්සල්ලටත් විමතියටත් හේතුවිය. මට සාත්තු කළ හෙදියන් කීවේ දොස්තර ලූෂන් දක්ෂ වෛද්‍යවරයකු වුවත් වියදමක් ගියද අවදානමක් නොගෙන දොස්තර පෝල් ලවා ශල්‍යකර්මය කරවා ගැනීම සුදුසු බවය. මම මාගේ මතය වෙනස් නොකළෙමි.
අවසානයේ ශල්‍යකර්මය සිදුකරන ලද්දේ දොස්තර පෝල්ගේ අධීක්ෂණය යටතේ දොස්තර ලූෂන් විසිනි. ඒ සඳහා පැය 7ක් හෝ 8ක් තරම් කාලයක් ගතවූ බවද පසුව අසන්නට ලැබුණි. දොස්තර ලූෂන් සිය කාර්යය හොඳින් ඉටුකර තිබුණි. ඔහු මාගේ පෙනහල්ලෙන් ගන්නා ලද ලෝහ කැබලි 4ක් ලස්සන පුංචි බෝතලයක බහා ප්‍රදර්ශනය කළේය. එය ඔහුගේ කීර්තියට හේතුවූ සිද්ධියක් විය. මම එම අනතුරට පත්වීමට පෙරත්, ඉන්පසු එම ශල්‍යකර්මයෙන් පසු රෝහලේ සිටියදීත් දුම්පානය කළෙමි. ඒ බව දොස්තර ලූෂන් ද දැන සිටියේය. එහෙත් ඔහු ඊට අවහිර කළේ නැත. මා ජීවිතයේ සමහර පුරුදු කළමනාකරණය කරගැනීමට සමත් වී ඇතත්, දුම්පානය කිරීමේ නරක පුරුද්ද අද දක්වාම අත්හැරීමට සමත් වූයේ නැත. ඉතා වැදගත් දේ ඒ සියල්ල එසේ තිබියදීත් ඔහුගේ පෙනහැලි ශල්‍යකර්මයට අවුරුදු 46ක් තරම් කාලයක් ගතවී තිබියදීත් පෙනහල්ලේ ආබාධ හෝ අතුරු ආබාධ ඇති නොවීමය. මාගේ එම පෙනහැලි ශල්‍යකර්මය යහපත් අරමුණක් වෙනුවෙන් කරන ලද අත්හදා බැලීමක් සඳහා මාගේ ශරීරය පාවිච්චි කිරීමට වෙනත් කෙනෙකුට දුන් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ලොකුම අත්හදා බැලීම
රාවය ආශ්‍රයෙන් කරන ලද අත්හදා බැලීම මාගේ ජීවිත කාලය තුළ මා විසින් කරන ලද ලොකුම අත්හදා බැලීම ලෙස සැලකිය හැකිය. එම අත්හදා බැලීම තුළ කරන ලද වෙනත් අත්හදා බැලීම් රාශියක්ද තිබුණේය. පාර්ලිමේන්තු වරප්‍රසාද නීතියට අභියෝග කිරීම, සාපරාධී අපහාස නීතියට අභියෝග කිරීම, සඳරේඛා සිද්ධියේදී නීතිපතිගේ ක්‍රියාමාර්ගයට එරෙහිව ක්‍රියාකිරීම. එජාප පාලනය පරාජය කිරීම සඳහා චන්ද්‍රිකා කරළියට ගැනීම, මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මුල් කොටගෙන ඇතිවූ අර්බුදයේදී නීතිපතිගේ හා පසුව අගවිනිසුරුගේ ආධිපත්‍යයට අභියෝග කිරීම වැනි දේවල් ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. මුල් නිදර්ශන හතරේදීම මම මාගේ ඉලක්ක ජයගැනීමට සමත් වීමි. ඒ සියල්ල සමාජ වැදගත්කම සලකා කරන ලද ක්‍රියා විය. පස්වැනි නිදර්ශනයේදී ද අධිකරණය කෙරෙහි අගවිනිසුරු සරත් සිල්වාට තිබූ ආධිපත්‍යය නැති කොට ස්වාධීනව හා සාධාරණව ක්‍රියාකරන අධිකරණයක් ඇතිකර ගැනීමට අවශ්‍ය පසුබිමක් දිනාගැනීමේ හැකියාව මට තිබුණද එම ඉලක්කය ජයගැනීමට නොහැකි වූයේ සමහර ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන තමන්ට ලැබෙන පුද්ගලික වාසි සලකා අගවිනිසුරුවරයා ආරක්ෂා කරන පවුරක් ලෙස ක්‍රියාකිරීම නිසාය. ඔවුන් මට ආධාර නොකොට නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළද මට එම සටන ජයගැනීමට හැකිවන්නට තිබුණි. රාවය මුල් කොටගෙන මා කරන ලද අත්හදා බැලීම් සාර්ථක අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. රාවයෙන් මා අපේක්ෂා කළේ සමාජ යහපත සඳහා වන නව ජනමාධ්‍ය සම්ප්‍රදායක් ඇති කිරීමය. රාවයේ පැවැත්ම අහිමි නොකර ගනිමින් ඒ දේ කිරීමට සමත් වී යැයි කිව හැකිය.
මේ සියලු කාරණා මට කියන්නට අවශ්‍ය වූයේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා කරගෙන යන කතිකාවේදී මතුවූ වැදගත් මූලික ප්‍රශ්නයක් පැහැදිලි කිරීම සඳහා එම පසුබිම් විස්තරය ගෙනහැර දැක්වීම අවශ්‍ය වූ නිසාය. මතු කෙරුණු ප්‍රශ්නය වූයේ මෙතෙක් ඇතිවූ සමාජ ව්‍යාපාර අසාර්ථක වී ඇත්නම් ඒ ගැන කරන සාධාරණ විග්‍රහයකින් තොරව සාර්ථක සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නය මතු කෙරුණේ පොල්පිතිගම පැවති සාකච්ඡාවේදීය. නගන ලද එම ප්‍රශ්නය තුළ ප්‍රශ්න නගන්නා ඇති කරගත් නිරීක්ෂණයක්ද අන්තර්ගතව තිබුණි. මෙතෙක් ආරම්භ කරන ලද සියලු සමාජ ව්‍යාපාර අසාර්ථක වී නම් පුනරුදය දිනාගැනීම සඳහා ආරම්භ කරන්නට යන මෙම සමාජ ව්‍යාපාරයද සාර්ථකවීම සැකසහිතය යන නිරීක්ෂණය එම ප්‍රශ්නය තුළ අන්තර්ගත වී තිබෙන්නේයැ’යි කිව හැකිය.

රාවයේ නියම ස්වභාවය
රාවය සැලකිය යුත්තේ මහජනයාට අධ්‍යාපනය ලබා දුන් නිර්භීත පුවත්පතක් වශයෙන් පමණක් නොව එක්තරා ප්‍රමාණයකට සමාජ ව්‍යාපාරයක කාර්යභාරය ඉටුකළ අර්ධ සමාජ ව්‍යාපාරයක් ලෙසය. එහි අවසාන අරමුණ වූයේ පාඨකයන්ගේ සමාජ සවිඥානකත්වය වර්ධනය කිරීමය. එය විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් මේ දක්වා අවුරුදු 30ක් අඛණ්ඩව පැවතුණේය. ඒ අර්ථයෙන් රාවය ප්‍රකාශිත මුල් අරමුණින් පිට නොපැන සිය පැවැත්මද ආරක්ෂා කරගනිමින් දීර්ඝ කාලයක් අඛණ්ඩව පැවති අර්ධ සමාජ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. දැන් සිදුවෙමින් තිබෙන්නේ එම අර්ධ සමාජ ව්‍යාපාරය, පූර්ණ සමාජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් තිබීමය.
ශක්තිමත් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් රාවයට තිබුණි. රාවය කියවන පාඨකයන්ගෙන් වැඩි පිරිසක් අඛණ්ඩව රාවය කියවන පාඨකයන් ලෙස සැලකිය හැකිය. ඔවුන්ට රාවය සමඟ ආත්මීය බැඳීමක් තිබුණි. සමාජ-දේශපාලන තලය යහපත් කරගැනීමේ ඇත්ත වුවමනාවක් ඔවුන්ට තිබුණි. මට ඔවුන් පිළිබඳව යථා අවබෝධයක් තිබුණි. මා විටින් විට සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන කතාකර ඇතත්, කිසිවිටෙක ඒ සඳහා රාවය පාඨකයන්ට බැරෑරුම් ලෙස ආයාචනා කරන තැනකට ගියේ නැත. එසේ නොකළේ එවැන්නක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන ශක්තිමත් සමාජ පසුබිමක් නොතිබුණු නිසාය. සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා පෙරමුණ ගන්නැයි මා රාවය පාඨකයන්ට බැරෑරුම් ලෙස ආයාචනය කරන තැනකට ගියේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන වාසිදායක සමාජ පසුබිමක් ඇතිවීමෙන් පසුවය. එම ආයාචනය ඵල දරන ආයාචනයක් බව මම දැන සිටියෙමි. ලංකාවේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ශක්තිමත්ම පසුබිමක් තිබුණේ රාවයටය. හේතුව රාවයට රාවය විසින් දීර්ඝ කාලයක් තිස්සේ දැනුවත් කළ හා රාවය සමඟ ළයාන්විත බැඳීමක් ඇති රට හා සමාජය ගැන ලොකු කැක්කුමක් ඇති පාඨක ජාලයක් රාවයට සිටීමය. ඒ පිරිස උසස් හා යහපත් අරමුණක් වෙනුවෙන් ආරම්භ කරන සමාජ ව්‍යාපාරයක පෙරගමන්කරුවන් ලෙස ක්‍රියාකරනු ඇති බව මම දැන සිටියෙමි. මා එම බීජය පැළ කරන්නට උත්සාහ කළේ මුඩුබිමක නොව සරු බිමකය. එය තවත් අලුත් අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකි වුවද එයද රාවය මෙන් සාර්ථක අත්හදා බැලීමක් වනු නොඅනුමානය. මා අපේක්ෂා කළ ආකාරයටම දැනටමත් රාවයේ පාඨකයෝ ගොඩ නගන්නට අපේක්ෂා කරන සමාජ ව්‍යාපාරයේ උද්යෝගිමත් පෙරගමන්කරුවන් බවට පත්ව සිටිති.

සමාජ ව්‍යාපාර කතිකාව
ඒ ගැන විවිධ සාකච්ඡා පැවති බව මම මීට පෙර කියා තිබේ. තවත් වැදගත් සාකච්ඡා තුනක් 16 වැනිදා මාරවිලද, 17 වැනිදා පොල්පිතිගමද, 18 වැනිදා මහනුවරද පවත්වන ලදි. ඒ ගැන විස්තර කිරීම පසුවට තබා මාගේ උගත් මිත්‍රයකු මාගේ තවත් මිත්‍රයකුට මෙම සමාජ ව්‍යාපාරය ගැන කියන ලද කතාවක් පාඨකයන්ට කීම සුදුසු යැයි සිතමි. ඔහු කියා තිබුණේ ලංකාවේ එවැනි දෙයක් කළ නොහැකි බවය. ඔහු වැඩිදුරටත් කියා තිබෙන්නේ මෙම ව්‍යාපාරය මාස දෙක තුනක් අල්ලා සිටීමට සමත් වෙතොත් ඔහුද මෙම ව්‍යාපාරයේ පූර්ණකාලීන ක්‍රියාධරයකු බවට පත්වන බවය. මා රාවය ආරම්භ කරන කාලයේදී ජනමාධ්‍යවේදීන්ගේ ආදරයට හේතුවූ ජනමාධ්‍යවේදියකු ලෙස සැලකිය හැකි කිත්සිරි නිමල් ශාන්තද මාගේ මිතුරකු සමඟ රාවයේ අනාගතය ගැන එවැනි අනාවැකියක් කියා තිබුණි. ඔහු කියා තිබුණේ රාවය වැඩිම වුවහොත් මාස 6ක් පවතිනු ඇති බවය. එහෙත් මාස 6ක් වෙනුවට රාවය තිස් අවුරුද්ද සම්පූර්ණ කළේ මේ මෑතකදීය.
වයඹ පළාත් සභා මැතිවරණයේදී සිදුවූ මංකොල්ලයෙන් පසුව සාධාරණ මැතිවරණ ක්‍රමයක් දිනාගැනීම සඳහා දියත් කෙරුණු කහපටි ව්‍යාපාරයේදීද එවැනි කතා අසන්නට ලැබුණි. ඒ අරමුණ වෙනුවෙන් මහජනයාට කහපටි පළඳවන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීමෙන් පසුව එය ක්‍රියාවට නැගිය යුත්තේ කෙසේද යන්න ගැන කෙරුණු සාකච්ඡාවකදී අපේක්ෂා කරන ලද ඉලක්කය කොතරම්දැයි එම සාකච්ඡාවට සහභාගි වූ කෙනෙක් ප්‍රශ්න කළේය. කහපටි පැළඳ විය යුතු මිනිසුන්ගේ ප්‍රමාණය අඩුම වශයෙන් දශ ලක්ෂයක්වත් විය යුතු බව මම කීවෙමි. එම ප්‍රශ්නය මතු කළ පුද්ගලයා නාමධාරී හොඳ පුද්ගලයෙකි. මා දෙන ලද පිළිතුරෙන් විමතියට පත් එම පුද්ගලයා ප්‍රායෝගිකව කළ හැකි දේවල් පමණක් කරන්නැයි කියාසිටිමින් සාකච්ඡා සභාවෙන් පිටවී ගියේය. ඔහු ශාලාවෙන් පිටවී පිටත සිටි එම ව්‍යාපාරයට සම්බන්ධ තවත් පුද්ගලයකු සමඟ කියා තිබුණේ මාගේ ඉලක්කය මනෝරාජික බවත් ඉලක්කය 5000ක් වී නම් එය යථාර්ථවාදී ඉලක්කයක් ලෙස සැලකිය හැකි බවය. ඇත්තටම අප කහපටි පළඳවන අයගේ සංඛ්‍යාව 20 ලක්ෂයකටත් වඩා වැඩිවිය.
සමාජ ව්‍යාපාරයට එකතු කරගන්නා සාමාජික සංඛ්‍යාව පිළිබඳවද අපේ තක්සේරුව එක්කෝ අවම ගණන දශ ලක්ෂයක් විය යුතු බවය. සංවිධානාත්මක පන්දහසකටද කළහැකි බලපෑමක් තිබේ. එහෙත් එය ලොකු බලපෑමක් නොව පුංචි බලපෑමකි. ලක්ෂයකට ඊට වැඩි බලපෑමක් කළ හැකි වුවත් අපි අපේක්ෂා කරන අරමුණ ජයගැනීමට එම සංඛ්‍යාව ප්‍රමාණවත් නැත. අපේ අරමුණ ජයගැනීමට නම් අවම වශයෙන් සංවිධානාත්මක මිනිසුන් දශ ලක්ෂයක්වත් ඇති කරගත යුතුය.
අපේ අරමුණ පුනරුදය මිස රාජ්‍ය බලය අල්ලා ගැනීම නොවේ. තිබෙන ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පෙරළා දැමීම අපට වැදගත්වන්නේ නැත. අපේ අරමුණ සමාජයට ප්‍රඥාව හා ශාන්තිය උදාකිරීමය. යහපත්, විනයගරුක, විචාර බුද්ධියෙන් යුතු මිනිසුන් ගොඩනගන හා ඔවුන් ජාලගත කරන වැඩසටහනක් මගින් ජාතිය ගොඩනගන අතර රටට පුනරුදය උදාකිරීම එම සමාජ ව්‍යාපාරයේ අපේක්ෂාවය. වර්ගභේදයෙන්, කුලභේදයෙන් හා ආගම් භේදයෙන් තොර, මිථ්‍යා විශ්වාසයන්ගෙන් තොර විකල්ප සමාජයක් ගොඩනැගීමය. එම විපර්යාසය ඇතිකර ගැනීමට සමත් වෙතොත් උපරි ව්‍යුහයද වෙනස් වනු ඇත.

පාඨක ක්‍රියාකාරීත්වය
සමාජ ව්‍යාපාරය ගොඩනගා ගැනීම සඳහා රාවය පාඨකයන් ක්‍රියාකරමින් සිටින ආකාරයද වැදගත් අලුත් අත්දැකීමක් ලෙස සැලකිය හැකිය. මාරවිල සාකච්ඡාව කැඳවූ චින්තක රාවයේ පාඨකයෙකි. දේශීය හා විදේශීය අත්දැකීම් ඇති කෙනෙකි. ඒ සඳහා ඔහුට සහාය වූ ප්‍රධාන දෙදෙනාද රාවය පාඨකයෝය. එක් අයෙකු අවන්හලක් හා සුප ශාස්ත්‍රය පුහුණු කරන ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. අනෙකා වරාය අධිකාරියේ හිටපු උසස් නිලධාරියෙකි.
සාකච්ඡාව පවත්වන ලද්දේ ලස්සන වැවක් ඉදිරිපස එළිමහනේය. සාකච්ඡාවට සහභාගි වූ අයගේ ගණන 39කි. සාකච්ඡාවට සහභාගි වූ අය විවිධ තරාතිරම්වලට අයත් අය වූහ. ඔවුන් අතර කෘෂි විද්‍යාඥයෙක්ද, පසුගිය වසරේ නව නිපැයුම් සඳහා පළමු ස්ථානය හිමිකරගත් ඉංජිනේරුවෙක්ද, තරුණ කතෝලික පූජකයෙක්ද සිටියේය. සාකච්ඡා සභාව වර්ණවත් එකක් වුවද එය පිරිමින්ට පමණක් සීමාවූ සාකච්ඡා සභාවක් වීම ඊට ආවේණික සීමාසහිතකමක් වීයැයි කිව හැකිය. දහවල් දෙකහමාරට පමණ සාකච්ඡාව ආරම්භ වී අඳුරු වැටෙන තෙක්ම සාකච්ඡා සභාව පැවතුණි. සභාවට සහභාගි වූ හැම කෙනෙක්ම තමන්ගේ අදහස් පළ කළෝය. සභාව විසුරුවා හැරීමට පෙර නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලද අතර විවිධ ප්‍රදේශවල කණ්ඩායම් ඇති කිරීමට තීරණය කොට ඒ සඳහා වගකීම්ද බෙදා ගත්තේය.
සාකච්ඡාව කැඳවූ චින්තක නිලධාරි මණ්ඩලය තෝරාගැනීමේදී සභාපතිකම තමන්ගේ අතට නොගෙන ඉහත කී ඉංජිනේරුවා සභාපතිකමට පත් කළේය. රාත්‍රී ආහාරයෙන් පසු චින්තක සමඟ කරන ලද කතාබහේදී සභාපතිකම ඔහු තමන්ගේ අතට නොගත්තේ ඇයිදැයි මම ප්‍රශ්න කළෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර මා අමන්දානන්දයට පත් කළේය. තමන්ට දේවල් ආරම්භ කිරීමේ දක්ෂතාවක් ඇතත්, ආරම්භ කරන ලද දේවල් අඛණ්ඩව පත්වාගෙන යෑමේ දක්ෂතාවක් නැති බව ඔහු කීවේය. එහෙත් ඒ හැකියාව තමන්ගේ බිරිඳට ඇති බව කීවේය. සභාපතිකමට ඉංජිනේරුවා පත් කළේ ඒ නිසා බවත් ඔහු ඒ කාර්යය හොඳින් ඉටුකරනු ඇති බවත් ඔහු කීවේය.
ඊළඟ රැස්වීම පැවති පොල්පිතිගම හැම ආකාරයකින් මාරවිලට වඩා වෙනස්ය. මාරවිල පොල්පිතිගමට වඩා පොහොසත් ප්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. සංස්කෘතික අර්ථයෙන් මාරවිල පොල්පිතිගමට වඩා නවීනය. මාරවිල ධීවර ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි අතර, පොල්පිතිගම ගොවි ප්‍රදේශයකි. ආගම අනුව මාරවිල කතෝලිකය. පොල්පිතිගම බෞද්ධය. පොල්පිතිගම අයත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වුවත් පිහිටා තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට යාවය. පොල්පිතිගම හඳුනා නොගත් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශයකි.
පොල්පිතිගම රැස්වීමේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ උදය කුමාර දුම්රිය ස්ථානාධිපතිවරයෙකි. ප්‍රදේශයේ මහජනයා අතර පිළිගැනීමක් හිමිකර ගත් ක්‍රියාධරයෙකි. මම ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටියෙමි. එහෙත් මා ඔහු දැන සිටියේ ඔහුගේ නමින් නොව දුරකතනයට කතා කරන කටහඬින් හා කතා කරන ශෛලියෙනි. මා ඔහුගේ නම දැනගත්තේ පසුකාලයකදීය.
පොල්පිතිගම පැවති සාකච්ඡාවද අපූරු සාකච්ඡාවක් ලෙස සැලකිය හැකිය. සාකච්ඡාව පැවතියේ අඹ වත්තක තිබෙන ලස්සන පුංචි නිවසකය. එම සාකච්ඡාවට ප්‍රදේශයෙන් සහභාගි වූ අයගේ සංඛ්‍යාව 43කි. හොරණින් ගිය දීයකඩුවේ සෝමානන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් සාකච්ඡාවට සහභාගි වූහ. සෝමානන්ද හිමි මෙම ව්‍යාපාරය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ වැඩ කරන ප්‍රධාන චරිත දෙකෙන් එකක් ලෙස සැලකිය හැකිය. අනෙක් චරිතය වනුයේ චූලානන්ද සමරනායකය. සාකච්ඡා සභාවට ප්‍රසන්න විතානගේද කොළඹින් පැමිණ සිටියේය. පොල්පිතිගම මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ගම් ප්‍රදේශය වන බවද අමතක නොකළ යුතුය. සාකච්ඡා සභාවට මහාචාර්ය සරත් විජේසූරියද සහභාගිවීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔහු ඊට සහභාගි වූයේ නැත. සාකච්ඡා සභාවට පිටස්තරින් සහභාගි වූ තවත් තිදෙනෙක් සිටියෝය. ඒ මා සමඟ පැමිණි ජයසිරි ජයසේකර, රංජිත් දිසානායක හා ප්‍රේමලාල් අබේසේකරය.
ප්‍රදේශයෙන් සාකච්ඡාවට සහභාගිවූවන්ගෙන් සියයට 15ක පමණ ප්‍රමාණයක් කාන්තාවෝ වූහ. තරුණ සහභාගිත්වයද සියයට 10ක් තරම් වන තත්ත්වයක තිබුණි. සාකච්ඡාවට සහභාගිවූවන් අතර විදුහල්පතිවරුන් තිදෙනෙකු සිටි අතර වයඹ පළාතේ කිරි ගොවි සංගමයේ සභාපතිද විය. සහභාගි වූ කාන්තාවන් අතර නීතිඥ වෘත්තියට අලුතෙන් එකතු වූ තරුණ නීතිඥවරියක වූ අතර සහභාගි වූ තරුණයන් කිහිපදෙනා අතර තරුණ නාට්‍යකරුවෙක්ද විය. එයද දහවල් 2.30ට පමණ ආරම්භ කොට රෑ බෝ වන තෙක් පැවති සාර්ථක හා උද්යෝගීමත් සාකච්ඡාවක් විය. සාකච්ඡාව මෙහෙයවන ලද්දේ කැඳවීමට මුල්වූ හා මෙම ව්‍යාපාරයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබලතම චරිතය බවට පත්ව සිටින දොස්තර සුගත්ය. සාකච්ඡාවට සහභාගි වූ සියලුදෙනාම අදහස් පළ කළෝය. ඔවුන්ගේ අදහස් පළකිරීම් ප්‍රශස්ත හා උද්යෝගිමත් තත්ත්වයක පැවතුණි. නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමෙන් පසු විසිර ගියේ අලුත් කණ්ඩායම් ඇති කිරීම සඳහා වැඩ බෙදාගනිමිනි.
18 වැනිදා නුවර පැවති සාකච්ඡාවේ කැඳවුම්කරුවන් ලෙස ක්‍රියා කළේ රාජා උස්වැටකෙයියාව හා නවරත්න බණ්ඩාය. රාජා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කැපීපෙනෙන, විවිධ සමාජ කටයුතුවල යෙදෙන චරිතයක් වන අතර නවරත්න ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සාර්ථක සාකච්ඡා සභාවක් කරගෙන යෑමට බැරි තරම් ලොකු සහභාගිත්වයක් තිබීම නුවර සාකච්ඡා සභාවට ආවේණික ලොකු දුර්වලතාවක් විය. ශාලාව පුරා පුටු තබා තිබුණු අතර ඒ පුටු පිරී ඉහළ මාලයට යන පඩි පෙළේද මිනිස්සු වාඩිවී සිටියෝය. එසේ වන්නට ඇත්තේ එම සාකච්ඡා සභාව ගැන රාවයේ දැන්වීමක් පළකිරීම නිසා විය හැකිය. නුවර සංවිධායකයන් දැන්වීමක් රාවයට යවා තිබෙන බව දැනගත් විට එම දැන්වීම පළකිරීම නවතන ලෙස මා එම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියද මොන හේතුවක් නිසා හෝ ඒ දේ සිදුවී තිබුණේ නැත. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ඔල්වරසන් දෙන්නන් නොව අරටුගත මිනිසුන් හැදීමය. දේශන නොව සාකච්ඡා සභාය.
නුවර සභාවේද කිසියම් ප්‍රමාණයක කාන්තා සහභාගිත්වයක් සේ ම තරුණ සහභාගිත්වයක්ද තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාද (සරත් අබේකෝන්) සාකච්ඡා සභාවට සහභාගි විය. සාකච්ඡා සභාව නරඹන්නට කොළඹින් පැමිණි අය අතර ආර්ථික සංවර්ධන හා ක්‍රම සම්පාදන විෂයෙහි ප්‍රධාන පෙළේ විශේෂඥයකු වන මාර්ග ආයතනයේ නිර්මාතෘ ආචාර්ය ගොඞ්ෆ්‍රි ගුණතිලකගේ පුත් අමා ගුණතිලකද, සමාජ ව්‍යාපාරයේ උද්යෝගිමත් ආධාරකරුවකු ලෙස සැලකිය හැකි ඉස්ලාම් පූජකවරයෙකු වූ මවිලව් මුනීර්ද, කොළඹ සාකච්ඡාවේ කැඳවුම්කරු ලෙස ක්‍රියාකළ රාජගිරියේ හේමසිරිද විය. මහියංගණයේ බන්දුල මහියංගණයෙන් පුද්ගලයන් 10 දෙනකු නුවර සාකච්ඡාවට රැගෙන ආවේය. ඒ මහියංගණයේදීද කණ්ඩායමක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය අවබෝධය ලබාදීම සඳහාය.
ආපසු යන ගමනේදී ජයසිරි ජයසේකර මෙම සාකච්ඡා සභා ගැන අමුතු දෙයක් කීවේය. තමා දේවල් සිදුවන හැම තැනකටම පාහේ හොට දමා තිබෙන පුද්ගලයකු බවත් හැම තැනකදීම මිනිසුන්ට වෙන්නේ අනුන් කරන දේශනා අසාගෙන සිටින්නට බවත් එන හැම කෙනෙකුටම තමන්ගේ අදහස් පළකරන්නට ඉඩදෙන සාකච්ඡා සභා ක්‍රමයක් තමන් පළමුවරට දැක්කේ මෙම සාකච්ඡා සභා ක්‍රමය තුළ බවත්ය. ඒ ක්‍රමය නොකඩවා පවත්වාගෙන යන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
පුනරුද ව්‍යාපාරයට දැනටමත් කුරුණෑගල, කළුතර, මහනුවර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ශක්තිමත් ආරම්භක පදනමක් ගොඩනැගී ඇත්තේ යැයි කිව හැකිය. ජනවාරිවලදී රත්නපුරය, ගාල්ල, බදුල්ල, කෑගල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්කවලට අතගැසීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම ක්‍රියාදාමයට සම්බන්ධවීමට කැමති අය පහත සඳහන් ඕනෑම දුරකතන අංකයක් අමතා කතා කරන්න. සෝමානන්ද හිමි (0714393552), චූලානන්ද (0714204092), සුගත් (0718067967), උදය (0718297920), හේමසිරි (0714967626), චින්තක (0774406908), නවරත්න (071822051), රාජා (0775133067), ජයසේකර (0777316070), වික්ටර් (0777394959), රංජි (0773985968), අබේ (0719931210), නැතහොත් ඔබේ නම හා ලිපිනය ලබාදී තිබෙන ඕනෑම දුරකතන අංකයකට එස්එම්එස් කරන්න.■