Untitled-1

Untitled-1

ආර්ථිකය ජය ගැනීම හා ඉන්දියාව


kathu

ලංකාව මේ මොහොතේ ඉන්නේ බලවත් ආර්ථික අර්බුදයක බව සැබෑ ය. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ දැවැන්ත වැඩ කරනවායැ’යි රටේ මහජනතාවට පුරාජේරු පෙන්වන්නට, දුර දිග නොබලා හුදු ජනප්‍රිය හා පලදායී නොවන ආර්ථික තීරණ ගැනීමෙන් මෙන් ම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ද හටගත් අර්බුදයෙන් ගැලවීම පහසු දෙයක් නොවේ. ඇත්ත වශයෙන් ම ඒ අර්බුදය ජය ගැනීම අවුරුද්දක දෙකක කාලය තුළ කරන්නට ද බැරි ය.
හම්බන්තොට වරාය ආශ්‍රිතව උද්ගත ව තිබෙන තත්ත්වය මේ අර්බුදය තේරුම් ගැනීම සඳහා හොඳ ම උදාහරණයකි. මෙතෙක් කාලයක් පාඩු පිට පවත්වා ගෙන ගිය හම්බන්තොට වරාය සඳහා චීන අයෝජකයකු සොයා ගන්නට දැන් ආණ්ඩුව සමත් වී තිබේ. ඒ චීන ආණ්ඩුවේ පාලක පක්‍ෂයේ ද අයිතිය ඇති චයිනා මර්චන්ට් සමාගම යි. එවැනි චීන රාජ්‍ය අනුග්‍රහය සහිත සමාගමක් රට තුළට එන විට, ඒ හරහා චීන රජයේ බලපෑම ද අඩු වැඩි වශයෙන් රට තුළට එන බව පැහැදිලි ය. එනිසා මේ චීන ආක්‍රමණයක් ලෙස කිසිවකු හැඳින්වුවහොත් එය එසේ නොවන්නේයැ’යි එක එල්ලේ ම කියන්නට ද නොහැකි ය. එහෙත්, පවතින තත්ත්වයන් යටතේ ලංකාවට චීන ආණ්ඩුවේ සරණ සොයන්නට සිදුවීම අනිවාර්යයකි. බලයට එන්නට පෙර, චීනයට එරෙහි අදහස් පළ කළ, පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළු චීන ව්‍යාපෘති නවත්වා දමන බවට පොරොන්දු වුණු දේශපාලන පෙරමුණකට බලයට ආ පසු චීනය සමඟ තිබෙන සම්බන්ධය පෙරටත් වඩා දැඩි කරගන්නට සිදුවීම, හුදෙක් ආක්‍රමණයක් ද නැද්ද යන්නට වඩා, වර්තමාන ලෝක ආර්ථික සාධක විසින් තීරණය කෙරෙන්නක් හැටියට තේරුම් ගත යුතු ව තිබේ.
හම්බන්තොට වරාය සඳහා ලබා ගෙන ඇති අතිවිශාල ණය කන්දරාව යළි පියවන්නටත්, ඒ සඳහා පොලි ගෙවන්නටත් වසරකට රුපියල් බිලියන 30ක් වෙන් කරන්නට සිදුවෙයි. එහෙත්, ලංකාවට ගෙන්වන වාහන ගොඩබෑම්, සීමිත ප්‍රතිඅපනයන කටයුතු සිදුවීම හැර තවමත් වරායේ සියලු අංග ක්‍රියාත්මක වන්නේ නැත. වරාය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට නම් දොඹකර සවි කිරීම වැනි ඊළඟ අදියරවලට ද අතිවිශාල ආයෝජනයක් කළ යුතු ය. ඒ ආයෝජනය කරන්නට ලංකාවට මුදල් නැති බව අලුතෙන් කියන්නට වුවමනා නැත. එවැනි තත්ත්වයක් යටතේ වෙළෙඳ ගනුදෙනුවලදී කේවල් කිරීමේ බලය ලංකාවෙන් ගිලිහී යෑම ද පුදුමයක් නොවේ. ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ ඒ යථාර්ථයට ය. ඒ නිසා, වරායේ කටයුතුවලින් සියයට අසූවක අයිතියක් චීන සමාගමට පැවරෙන පරිදි රාජ්‍ය-පෞද්ගලික අංශයේ ව්‍යාපෘතියක් හැටියට එය පවත්වා ගෙන යන්නට සිදු වී තිබේ. ඊට අමතරව චීන ව්‍යෘපෘති සඳහා හම්බන්තොට ආශ්‍රිත ව අක්කර පහළොස් දහසක ඉඩම් ද චීනයට පැවරෙන බව ආණ්ඩුව කියයි. මේවා පැවරෙන්නේ අනූනව අවුරුදු බදු හැටියට බව කියන නමුත්, අනූනව අවුරුදු බදු යනු සින්නක්කර අයිතියක් ගැන ඍජු ව නොකියා කටයුතු සිදු කෙරෙන ක්‍රමයක් බව අවබෝධයක් ඇති අය දනිති.
ප්‍රශ්නය එතැනින් අවසන් වන්නේ නැත. සමහර විට එතැනින් ප්‍රශ්නයක් ආරම්භ වන්නට ද ඉඩ තිබේ. ඒ අසල්වැසි ඉන්දියාව මේ චීන ව්‍යාපෘති කෙරෙහි දක්වන ප්‍රතිචාරය අනුව ය. දැනටත් පෙනෙන්නට තිබෙන පරිදි ලංකාව තුළ චීනයේ බලාධිකාරය ව්‍යාප්ත වීම ගැන ඉන්දියාව ඉන්නේ කනස්සල්ලෙනි. කුමන තත්ත්වයක් යටතේ වුණත් ඉන්දියාව අපේ භෞතික අසල්වැසියා බවත්, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර සමීප සම්බන්ධකම් තිබුණු බවත්, ඉන්දියාව ලංකාව සමඟ නොහොඳ වූ හැම අවස්ථාවක දී ම ලංකාවට අමිහිරි ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවුණු බවත් මතක තබා ගැනීම වටියි. එහෙත්, ආර්ථික වශයෙන් තිබෙන අභියෝග ජය ගැනීම පසෙක තබා, හුදෙක් ඉන්දියාව සමඟ හොඳහිත පවත්වාගෙන යෑම පමණක් ද කළ නොහැකි ය. ඒ අර්ථයෙන් ගත් කල ආර්ථික අර්බුදය ආශ්‍රිතව පැන නගින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවණතා පිළිබඳ ව ගැඹුරු සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වෙයි. ඒ වගකීම ඇත්තේ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ය.■