රාවය

විශිෂ්ට නරඹන්නා සරත්

විශිෂ්ට නරඹන්නා සරත්

කොල්ලූපිටියෙ අපි ගිය ඉස්කෝලෙ දෙවරු පාසලක්. දවල්ට ඉස්කෝලෙ පටන් ගත්තෙ දොළහමාරට. ඇරුණේ පහමාරට. අපි කොල්ලො කට්ටිය ඉස්කෝලෙ කට් කරලා දෙකයි තිහ බලන්න යනව. කවුරුවත් හිතන්නෙ නැහැ අපි ඉස්කෝලෙ කට් කරලා චිත‍්‍රපටි බලනවා කියලා. පහමාරෙන් පස්සෙ ගෙදර ගියාම ඒ පැත්තෙනුත් කිසිම අවුලක් වුණේ නැහැ. ඔන්න සමහරදාට අපි ලිබර්ටි එකේ පෝලිමේ ඉන්නවා. කොල්ලූපිටියෙ චණ්ඩි අන්තිම මොහොතෙ අපේ කර උඩින් ගිහින් ටිකට් ගන්නවා. අපි සද්ද නැතුව ඉන්නවා ඉතිං. සද්ද කරන්න ගියා නම් තාම ගුටි කනවා.

සරත් සිල්වා දැන් හැට නව හැවිරිදිය. පදිංචිය දෙහිවල ගල්වල පාරේය. චිත‍්‍රපටි නරඹන්නන්ගේ සංගමය හැදුවේ ඔහුය. ඒ 1966දීය.
සරත් මහත් අභිරුචියෙන් ආවර්ජනය කළේ නාගචම්පා, මධුමතී ඇරියේ නැති කාලය ගැනය. සුන්දර බිරිඳක්, නලඟණක් ඇරියේ නැති කාලය ගැනය. එපමණක් නොව හර්කියුලිස් ටාසන් පවා අත්හරින්නට හිත නොදුන් කාලය ගැනය. නරඹන්නන්ගේ සංගමය ගැන මුලින්ම අදහස ආවෙ කොහොමද? සරත් ඒ ප‍්‍රශ්නයට පිළිතුරු දුන්නේ ‘නවුරාංග්’ නැරඹූ 60 දශකයේ මුලට ගමන් කරමිනි.

ඒ කාලෙ චිත‍්‍රපටි හෝල්වල තිබුණේ ලෑලි පුටු, මකුණො, වැහි වැහැලා. විදුලි පංකා ජරබර ගගා කැරකෙන්නෙ. මුළු හෝල් එකටම ටොයිලට් ගඳ එනවා. මුලින්ම නරඹන්නන්ගේ සංගමය හදන්න තීරණය කළේ මේවා හදා ගන්න බලපෑමක් කරන්නයි.

නරඹන්නන්ගේ සංගමය ඉන් නොනැවතුණි. ඔවුහු ඓතිහාසික වැඩකටත් අත ගැසුවෝය. එය නම් දකුණු ඉන්දීය සිනමාව හා හින්දි සිනමාවට මෙරට වැඩි ප‍්‍රදර්ශන කාලයක් හිමිව තිබුණු යුගයක සිංහල බසින් නිපදවන චිත‍්‍රපටවලටත් සමාන කාලයක් ලබාදිය යුතුය යන අදහස පෙරට ගැනීමය. එමෙන්ම දේශීය චිත‍්‍රපට නරඹන්නන්ගේ සංගමය ස්වදේශීය චිත‍්‍රපට ආරක්ෂක මණ්ඩලය සමග එක්ව චිත‍්‍රපට කර්මාන්තය සඳහා චිත‍්‍රපට සංස්ථාවක් අවශ්‍ය බවට හඬ නැගීමය. නරඹන්නන්ගේ සංගමයේ මුලින් හිටියෙ මම විතරයි. මම දවසක් ආතර් යූ. අමරසේන මහත්තයට කියලා ඔහු කරපු විසිතුර පත්තරේ සිනමා රසික සංගමයක් පිහිටුවනවා කියලා නිව්ස් එකක් දැම්මා. ඒ නිව්ස් එකට මට ලියුම් බන්ඞ්ල් පිටින් ආවෙ. පස්සෙ මම පෝස්ටරයක් ගැහුවා සිංහල සිනමා රසිකයනි එක්වව් කියලා. කසිකබල් දේශීය හා විදේශීය චිත‍්‍රපටි වර්ජනය කිරීම, පහත් පෙළේ චිත‍්‍රපටි ආනයනය නතර කරන ලෙස රජයට බලකිරීම. ඒ වෙනකොට චිත‍්‍රපටි කොමිෂන් සභාවේ වාර්තාව ඇවිත් තිබුණා. ඒක ක‍්‍රියාත්මක කරන්න කියලත් පෝස්ටරයේ සඳහන් කළා. ?ට ?ට පුෂ් බයිසිකලෙන් ගිහිල්ලයි පෝස්ටර් ඇලෙව්වේ.

නරඹන්නන්ගේ සංගමයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියලකි. සාමාජික මුදල ශත 50කි. වහාම රැුස්වීමක් කැඳවූ සරත් ගාල්ලේ සිනමා රසිකයකු වූ සේන එදිරිසිංහ මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගත්තේය. සරත් ලේකම් ධුරයට පත්විය. නරඹන්නන්ගේ සංගමය 1969දී චිත‍්‍රපට කර්මාන්ත කොමිෂන් සභා වාර්තාව අනුව චිත‍්‍රපට සංස්ථාවක් පිහිටුවන ලෙස රජයට බලකර මහනුවර බෝගම්බර පිටියේ දැවැන්ත රැුස්වීමක් සංවිධානය කළේය. දේශීය චිත‍්‍රපට ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් ඞී.බී. නිහාල්සිංහ හා සුමිත්ත අමරසිිංහ, මෙම ක‍්‍රියාවලියෙහි පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහ.
ඒ වෙනකොට හෙළ නළු නිළි හවුලෙ සභාපති ගාමිණී. ගාමිණී එතකොට සිනමාස් සමාගමේ රස්සාවකුත් කළා. ඒ නිසා ඔහු අපේ වැඬේට විරුද්ධව හිටියෙ. ඒත් බෝගම්බර ආවා. ගාමිණීලා අපිට කොන්දේසි දාලා තිබුණා. එම්.ජී.ආර්ට විරුද්ධ වෙන්න බැහැ, දකුණු ඉන්දීය ෆිල්ම්ස්වලට විරුද්ධ වෙන්නත් බැහැ කියලා. ඒත් බෝගම්බරදි එල්.එම් පෙරේරා එම්.ජී. ආර්ව තදින් විවේචනය කළා. ඒ චිත‍්‍රපටිවලටත් ගැහුවා. ඊට පස්සෙ මෙතැන් සිට දකුණු ඉන්දීය චිත‍්‍රපටි බලන්නෙ නැහැ කියලා මුළු බෝගම්බරම අත ඉස්සුවා. ගාමිණීට තරහ ගිහින් යන්න ගියා. අපි දෙවැනි රැුස්වීම ගාල්ලෙ තිබ්බා. තුන රත්නපුරේ. 70 ඡුන්දෙ කිට්ටුව බණ්ඩාරනායක මැතිනිය කිව්වනෙ එතුමිය අගමැති වුණොත් චිත‍්‍රපටි සංස්ථාව පිහිටුවනවා කියලා. එතුමිය කියපු දේ කළා. මෙතනදිත් නළු නිළි හවුලෙ සමහරු ඒකට විරුද්ධව යූඑන්පී ස්ටේජ් එකට ගියා.

කෙතරම් වාද විවාද තිබුණත් සරත් කැමතිම නළුවා ගාමිණීය. සරත් කොණ්ඩය සහ මූණ හදාගෙන තිබුණේ ගාමිණී වගේය. අදත් එහි නෂ්ඨාවශේෂ දක්නට ලැබේ. පසුකලෙක නරඹන්නන්ගේ සංගමය තවත් වැඩකට අත ගැසුවේය. ඒ සිනමා රසික පර්ෂදවල රසඥතාව දියුණු කිරීමට සිනමා වැඩමුළු හා සම්මන්ත‍්‍රණ මාලාවක් රට පුරා සංවිධානය කිරීමය. අධ්‍යක්ෂණය, රංගනය, තිරරචනය වැනි විෂයයන් පිළිබඳව නොමිලේ හදාරන්නට ඉන් අවස්ථාව ලැබුණි. කේ.ඒ.ඩබ්. පෙරේරා, නිහාල්සිංහ, තිස්ස අබේසේකර වැනි විද්වත්හු නරඹන්නන්ගේ සංගමයේ සිනමා වැඩමුළුවලට සහභාගි වූහ. මෙරට සිනමාවේ පුරෝගාමීන් පිළිබඳව ඇසූ ප‍්‍රශ්නයකට සරත් දුන්නේ මෙවැනි පිළිතුරකි.

ඒ කාලෙ කොළඹ හතේ අය සිංහල චිත‍්‍රපටි බැලූවෙ නැහැ. එහෙම පිරිසක් සිනමාහලට ගෙනාවෙ ලෙස්ටර්. එයා නියම ඉංග‍්‍රීසි සමාජයේ කෙනෙක් විදියට උසස් සිංහල චිත‍්‍රපට කළා. අනිත් එක්කෙනා ලෙස්ටර්ගෙන් සපුරා අනෙක් පැත්ත. ඒ එල්.එම්. පෙරේරා. එල්.එම්ගෙ හතර කේන්දරේ දඹදිව පෙන්නුවනෙ. කවදාවත් චිත‍්‍රපටි නොබලපු හද්දා පිටිසර මිනිස්සු තුන්සරණේ කිය කියා බස්වල පුවක්මල් ගහගෙන චිත‍්‍රපටි හෝල්වලට ආවනෙ දඹදිව වන්දනා කරන්න. සිංහල සිනමාව බලන්න රසිකයො බුරුතු පිටින් ගෙන්නපු ඒ දෙන්නා මගේ වීරයෝ.
සරත්, ගාමිණීගේ නිධානයේ රංගනයට කැමති වුවත් ඔහු විශේෂයෙන් සඳහන් කළේ දෙලොවක් අතර ටෝනි රඟපෑ ආකාරය ගැනය. නිළියන්ගෙන් නම් මගේ අංක එක රුක්මණී. ඊළඟට ජීවරාණියි, විජිත මල්ලිකායි.

ඞී.ආර්. නානායක්කාර හා බී.එස්. පෙරේරා ගැන ඔහු කිව්වේ ඔවුන් තිරෙන් එකක් පුරා පේන නළුවන් යනුවෙනි.
බී.එස්. රඟපාන්න කලින් බස් කොන්දොස්තර කෙනෙක්නෙ. සරත් තවත් කතාවක් කියන්නට පටන් ගත්තේය. එයා වැඩ කළේ ට්‍රොලි බස් එකක. උඩ තියන කම්බියක ගෑවි ගෑවීනෙ ඒ බස් එක යන්නෙ. හිටි ගමන් බස් එක කම්බියෙන් පැත්තකට පනිනවා. එතකොට බස් එක නතර වෙනවා. කොන්දොස්තරලා තමන් ළඟ පොඩි උණ බම්බු කෑල්ලක් තියන් ඉන්නවා ඒ වෙලාවට කම්බිය බස් එකට යාවන ලෙස දාන්න. එහෙම කම්බියට උණ බම්බුවෙන් ගහන වෙලාවක බී.එස්ගෙ. ඇහැට ඉලෙක්ටි‍්‍රක් ඩ්‍රොප් එකක් වැටුණා. රඟපාන කොට ඒකෙන් මිනිහා හරි ප‍්‍රයෝජනයක් ගත්තනෙ. ඇහේ අප්සට් එක චරිතවලට අමුතු පෙනුමක් දුන්නා.

සරත් නම්වූ නරඹන්නා කලක් අමරනාත් ජයතිලක, මනික් සන්ද්‍ර සාගර හා තිස්ස අබේසේකර සමග චිත‍්‍රපටි උපදේශක මණ්ඩලයකත් වැඩ කළේය. ප‍්‍රධාන සිනමා සම්මාන උළෙලක්ද සරත්ගේ යෝජනාවක් අනුව ආරම්භ කෙරුණි. ජනාධිපති සිනමා සම්මාන උළෙල ලෙස පසුව ඊට නම් තැබිණි. 1999දී සරත් මෙරට සිනමාවට කළ මෙහෙවර අගයා ධක්‍ෂක්‍ ප‍්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු කියන්නේ යළි පේ‍්‍රක්ෂකයන් ළංකර ගත හැකි සිනමාවක් අපට අවශ්‍ය බවය. ගම්පෙරළිය, සිකුරු තරුව, කුරුලූ බැද්ද, සාමා සිහි කරන සරත් එබඳු සිනමාවක අපේක්ෂාව සිත්හි දරාගෙන පසුවෙයි.
පොඩි අඩියක් ගහමුද? කතාව අවසානයේ හෙතෙම විමසයි.

පස්සෙ දවසක හම්බ වෙමු.
මම සෙමින් ගල්වල පාර දෙසට ඇවිද එමි. ගාමිණී වගේ මූණ හදාගන්න වෙර දැරූ මිනිසා ගේට්ටුව අස ගාමිණීට කිට්ටු මූඞ් එකක සිටිනයුරු දක්නට ලැබිණි.