Saturday, 19/8/2017 | 5:20 UTC+0
රාවය

පුනර්ජනනීය බලශක්තිය ආර්ථික සංවර්ධනයටත් රුකුලකි | විදුලි ඉංජිනේරු මහින්ද තෙන්නකෝන්

මහින්ද තෙන්නකෝන් මහතා (81-83) කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කළ අතර (83-95) විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයා ලෙස කටයුතු කළේය. අනතුරුව තේ කම්හල් හිමියකු, තේ අපනයනකරුවකු සහ රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නිසි බලධාරී ලෙසද ක‍්‍රියා කළේය. දැනට හෙතෙම ‘ජීවශක්ති’ ඇසෝසියේට් පුද්ගලික සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස දේශීය බලශක්තිය සම්බන්ධයෙන් මෙහෙවරක නිරත වෙයි.

දළ වශයෙන් මෙගා වොට් 4000ක පමණ විදුලි අවශ්‍යතාවක් රටෙහි තිබේ. වාර්ෂිකව මෙම අවශ්‍යතාව 7%-8%ක් වැනි ප‍්‍රමාණයකින් වැඩිවේ. අද ලෝකය පාලනය කරන්නේ වතුර හා විදුලිය මගිනි. ඉදිරි අනාගතයේදී විදුලිය වෙනුවෙන් ලොකු බිලක් ගෙවන්නට සිදුවන බව පැහැදිලිය. පිටරටකින් විදුලිය ලබාගැනීම සුදුසු දෙයක් නොවේ. මන්ද මිල සම්බන්ධ ස්විචය ඇත්තේ ඔවුන් අතෙහි වන බැවිනි. ලෝකයේ වැඩිවන විදුලි අවශ්‍යතා සපුරා ගන්නට සිදුවී තිබෙන්නේ තෙල් සහ ගල් අඟුරුවලිනි. ගල් අඟුරු දැනට ලාබ වුවත් ඉදිරියේදී මිල ඉහළ යනු ඇත.

2015-2025

ඉදිරි වසර දහය තුළ ශ‍්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණයි. ඒ අනුව සියලූම දේශීය බලශක්ති ප‍්‍රභවයන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කොට විදේශයන්ගෙන් ආනයනික බලශක්තිය මත රඳා පවතින තත්ත්වයෙන් මේ රට මුදා ගැනීමට නියමිතය. සූර්ය බලය, සුළං බලය, දැව බලය හා වෙනත් සාම්ප‍්‍රදායික නොවන පුනර් ජනනීය ප‍්‍රභව මගින් පෞද්ගලික අංශයේ දායකත්වය මත බලශක්තිය නිපදවීමට විෂයභාර අමාත්‍යංශය තීරණය කර තිබේ. විදුලි අවශ්‍යතාවෙන් 20%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. එනම් මෙගාවොට් 800ක ප‍්‍රමාණයකි.

කුඩා බලාගාර

මෙහි වැදගත්ම සාධකය ලෙස කුඩා ප‍්‍රමාණයේ ජල විදුලි බලාගාර හැඳින්විය හැකිය. දොළ පාරක ජලය සරල බැම්මක් මගින් හරවාගෙන කාණුවක් දිගේ ජලය ගෙන ගොස් කුඩා බලාගාරයක් ඉදිකළ හැකිය. මෙම කුඩා බලාගාර ව්‍යාපෘති සඳහා මේ වනවිට වෙනම ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිවී තිබේ. එමෙන්ම ඒ සඳහා පුහුණු ශ‍්‍රමික බලවේගයක්ද නිර්මාණය වී තිබේ. මෙවැනි කුඩා බලාගාර 100 පමණ දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වෙයි. ඒ සියල්ලෙන් නිපදවෙන ජල විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු වේ. සාමාන්‍යයෙන් KW1000 ව්‍යාපෘතියක් සඳහා ලක්ෂ 3000ක් වැය කිරීමට සිදුවේ. මෙම වියදම වසර 4-5 ඇතුළත ලබා ගත හැකිය. ආණ්ඩුව 100%ක් බලශක්තිය මිලදී ගන්නා බැවින් විකුණාගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් මෙහිදී පැන නගින්නේ නැත. වැය කිරීම්වලින් වැඩිම වියදමක් යන්නේ ඇළ හරස්කර අවශ්‍ය පරිදි සකස්කර ගැනීමටය. එම මුදල සාමාන්‍යයෙන් ලක්ෂ 1000ක් පමණ වෙයි. ගල් වැලි සිමෙන්ති හා යකඩ මේ සඳහා අවශ්‍ය වන අතර බොහෝ දුරට වැලි ව්‍යාපෘතිය කරන ජලාශයෙන්ම ලබාගත හැකිය. ඊළඟට මිනිස් ශ‍්‍රමය වැදගත්ම සාධකයකි. කම්බි නමන බඳින පුහුණු ශ‍්‍රමිකයන්, වඩු කාර්මික ශිල්පීන් ආදී සියල්ලන් මීට ඇතුළත්ය. බොහෝ විට ව්‍යාපෘතිය කරන ප‍්‍රදේශයෙන්ම මෙම පිරිස සම්බන්ධ කරගන්නා අතර සාමාන්‍යයෙන් එහිදී ප‍්‍රදේශවාසීන් 50-60කට රැුකියා හිමිවේ. මේ සමස්ත ක‍්‍රියාවලියම සම්පූර්ණ කිරීමට වසර 02ක් පමණ ගතවෙයි. එම ප‍්‍රදේශවල ජනයාගේ තාක්ෂණ දැනුමද මේ හරහා වැඩිවෙයි. විශේෂයෙන් නව පරම්පරාව මීට දක්වන දායකත්වය විශාලය. පයිප්ප හැදීම, සවිකිරීම, නව යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතය, විදුලි ඉංජිනේරු කටයුතු ගම තුළම සිදුවීම ඔස්සේ නව තාක්ෂණික ඥානය ගමට පැමිණීමද කුඩා බලාගාර ව්‍යාපෘති හරහා සිදුවෙයි. කණු සිටුවා විදුලි රැුහැන් ඇද ජාතික විදුලිබල පද්ධතියට නිපදවාගත් විදුලිබලය සම්බන්ධ කිරීමේ ක‍්‍රියාවලිය දක්වා ගමට ලැබෙන්නේද විධිමත් ප‍්‍රායෝගික දැනුම් සම්භාරයකි. මෙහිදී ව්‍යාපෘතිය නිමවූ පසුද තවත් 10-15ක් වැනි ප‍්‍රමාණයකට ඒ ආශ‍්‍රිත රැුකියා ලැබීමද මෙහි තවත් ඵලයකි. ලංකාව පුරා මෙවැනි කුඩා බලාගාර සියයක පමණ ප‍්‍රමාණයක් කිරීමට තිබේ. ඒ අනුව 1500කට පමණ ස්ථිර රැකියා ලැබී ඇත.

මෝල්කාවේ අත්දැකීම

මේ දිනවල කළුතර දිස්ත‍්‍රික්කයට හා රත්නපුර දිස්ත‍්‍රික්කයට මායිමේ පිහිටි මෝල්කාව නමැති ග‍්‍රාමයෙහි කි.වො. 1100ක ධාරිතාවෙන් යුතු කුඩා ජල විදුලි බලාගාරයක කටයුතු අපගේ උපදේශකත්වයෙන් සිදු කෙරේ. හුල්කිරිදොල නමැති ජල ප‍්‍රභවය හරහා කි.මී.1.2 ක් දුර යන ඇළ මාර්ගයක් මගින් මීටර 76ක් උස හා මීටර 275ක දිගින් යුතු දුරක් දක්වා ජලය රැුගෙන ගොස් මෙහි විදුලිය නිපදවීම සිදු කෙරෙයි.

එහි ඉදිකිරීම් කටයුතු හා උපදේශකාත්මක කටයුතු සිදුකිරීමට පමණක් අප සමාගම දායකත්වය දෙයි. 2015 නොවැම්බර් වනවිට මෙම විදුලි උත්පාදනය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට අපට හැකිවනු ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන දහයක් මෙම ව්‍යාපෘතිය නියාමනය කරයි. මෙම ව්‍යාපෘතියටත් අති බහුතරයක් එම ප‍්‍රදේශයෙහිම ජනයා සහභාගි වන හෙයින් ඔවුන්ේ විෂය පිළිබඳ ඉංජිනේරු සේවා දැනුම නිතැතින්ම ඉහළ යනු ඇත. වසර 20ක් පුරා රජය මෙම කුඩා බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා අතර, ඉන් පසුව බොහෝ දුරට යළි එම ගිවිසුම් අලූත් කිරීමට සිදුවනු ඇත. කිලෝ වොට් පැය එකක් යුනිට් එකකි. මෙහිදී යුනිට් එකකට ගෙවන මිල රු.17/= කි. වසර 8ක් ගතවූ පසු මෙම මිල රු.11/= කට පමණ අඩු කරන අතර ඒ වනවිට බොහෝ දුරට ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් බැංකු ණය ගෙවා අවසන්ය. නැවත වසර 7ක් මිල වැඩි වන කාලයයි. එනම් යුනිට් එකක් රු.10/=න් පටන්ගෙන මිල වැඩි කරගෙන යයි. මෙය ලංකාව දැනට අලූතෙන් දියුණු කරමින් සිටින කර්මාන්තයක් ලෙස හැඳින්විය හැකිය. මෙයින් කිසිදු පරිසර හානියක් වන්නේද නැත. කර්මාන්තයට දායක වන්නන්ට ලැබෙන තවත් වාසියක් වන්නේ නිෂ්පාදනය විකුණා ගැනීමට මහන්සියක් නොගත යුතු වීමය. නිපදවන තරමක් විදුලිය ආණ්ඩුව මිලදී ගනිී. මීට වැය කැරෙන මුදල රු.කෝටි.30කි. ප‍්‍රධාන ආයෝජකයා බෙල්ජියම් සමාගමකි. ලංකාවේ ආයෝජකයෝ ඊට දායකව සිටිති.

වාසිය

අපගේ විදුලි බලාගාරවලින් ලංකාවේ විදුලි අවශ්‍යතාවලින් 40%ක් නිපදවයි. ඉතිරි 60% තෙල් වලිනි. පුනර්ජනනීය බලශක්තියෙන් 20%ක් සැපිරිය හා හැකිනම් තෙල්වල අවශ්‍යතාව 40%ක් දක්වා පහත බසියි. පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරගත යුත්තේ එනිසාය. ඒ සමගම කුඩා ජල විදුලි බලාගාර ආශ‍්‍රිතව කුඩා කර්මාන්ත පටන්ගත හැකිය. මාර්ග, විදුලිය ආදී සියලූ යටිතල පහසුකම් තිබෙන බැවින් එකී ගම්වලට අගනා කර්මාන්තයක් කුඩා විදුලි බලාගාර ආශ‍්‍රිතව ආරම්භ කළ හැකිය. ආයෝජන මණ්ඩලය වැනි ආයතනයකින් ඒ සඳහා සහයෝගය ලබාදෙන්නේ නම් ඊට අතිරේකව අවශ්‍ය වන්නේ ඉඩම් කැබැල්ලක් සොයාගැනීම පමණි. මෙරට වැසියන් කර්මාන්ත සඳහා නගරයටම ඇදෙන ප‍්‍රවනතාව මින් සීමාකර ගැනීමටද පුළුවන.

වැඩිපුරම කුඩා ජල විදුලි බලාගාර තිබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේය. කෑගල්ල, නුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත‍්‍රික්කවලත් කුඩා බලාගාර රැුසක් තිබේ. නිදසුනක් ලෙස අලූත් තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ නම් බලාගාරයක් ආශ‍්‍රිත කලාපයක එය ඇරඹීමෙන් වාසි රැුසක් ලැබේ. ඒ අනුව වියළි කලාපයෙහි සූර්ය බලශක්තිය නිපදවීම හා ගිනිසීරියා ශාකය භාවිතයෙන් බලශක්තිය නිපදවීම කළ හැකි වන අතර පුත්තලම හා මන්නාරම යන ප‍්‍රදේශවල සුළං බලයෙන් විදුලිය නිපදවීම කළ හැකිය. එවිට රට පුරාම බල ශක්තියෙහි අඩුවක් ඇතිවන්නේ නැත. පුත්තලමෙහි මේ වනවිටත් මෙගාවොට් 60ක පමණ බලශක්තියක් සුළං මගින් නිපදවයි. සූර්ය බලයෙන් හම්බන්තොට පමණක් කි.වො. 800ක් පමණ නිපදවයි.

කුඩා ජල විදුලි බලාගාර ඉදකිරීමේදී බොහෝවිට අප මුහුණ පාන ප‍්‍රශ්නයක්ද තිබේ. එය නම් දැනට ඉදිකර ඇති ඒවා High head එනම් මීටර් 75ක් වත් උස් තැනක සිට ජලය ගලා එන ස්ථාන ආශ‍්‍රිත ප‍්‍රදේශය. ඒවායේ හා Medium එනම් මීටර් 50ක් උස් ස්ථානයකින් එන ජල ප‍්‍රභවයක් විදුලිය සඳහා හසුරුවා ගැනීම පහසුය. එහෙත් Low head නමින් හඳුන්වන පහත් ස්ථානයක විදුලි බලාගාරයක් ඉදිකිරීම තරමක් අසීරු කටයුත්තකි. දැන් ඉතිරි වී ඇත්තේ එවැනි ස්ථානය. ඒවාට වැයවන මුදලත් අධිකය. එහෙත් පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී අසීරුම හා වැය පක්ෂය නොබලා ඊට අතගැසිය යුතුව තිබේ.