Saturday, 19/8/2017 | 5:21 UTC+0
රාවය

ජාතික අධ්‍යාපන ආයතනයේ කලා සංහාරය වහා නවත්වනු

 

ජාතික අධ්‍යාපන ආයතනය විශේෂ කලාත්මක හා වාස්තු විද්‍යාත්මක සැකැස්මක පිහිටුවන ලද්දකි. ජපන් ආධාර මත නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී ගොඩනැගිල්ල දැවැන්ත අවකාශයක උස් ගොඩනැගිලි සංකීර්ණයක් සේ දැකිය හැකි අතර බැලූ බැල්මට එය මෙරට අධ්‍යාපනයේ එක් පැත්තක බර දරා සිටින පෞර්ෂවත් දේහ විලාසයක් ගනියි.

මෙම ගොඩනැගිලි සංකීර්ණයෙහි පිවිසුම මෙරට කීර්තිමත් නිර්මාණවේදීන් දෙපළකගේ නිර්මාණ යුගලකින් අලංකෘත වී තිබුණි. ප‍්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයෙහි පිවිසුුමෙහි තිබුණු එම නිර්මාණද්වයෙන් එකක් නර්තන කලා, විත‍්‍ර හා මූර්ති ක්ෂේත‍්‍රයට පුරෝගාමී මෙහෙවරක් කළ දිවංගත සෝමබන්දු විද්‍යාපති සූරීන්ගේය. අනෙක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය සරත් චන්ද්‍රජීවගේය.
ජාතික අධ්‍යාපන ආයතනයට පිවිසෙන පරිශ‍්‍රයෙහි නිරතුරුවම ඇස ගැටුණු විශෘල චිත‍්‍රයක් තිබුණි. එය සෝමබන්දුගේ වෙසෙස්් නිර්මාණයකි. එම පරිශ‍්‍රයේම මූර්තිමත් කැරුණු කන්නන්ගර ප‍්‍රතිමාව මහැදුරු චන්ද්‍රජීවගේය. මෙම නිර්මාණද්වයම ආයතනයට මහත් කළ එළියක් පෞරුෂයක් මෙන්ම ප‍්‍රභාමත් බුද්ධිමය සංඥාවක් ළඟාකර දුන්නේය. මේවා හුදෙක් ප‍්‍රතිමාවක් හෝ අධ්‍යාපන ඉතිහාසය දැක්වෙන සිතුවමක් පමණක් නොවන්නේ ඒවා තුළින් මෙරට අධ්‍යාපනය පිළිබඳ අර්ථ සම්පන්න අදහසක් ජනනය කැරුණු තත්ත්වය තූළ ය. ලාංකීය සමාජ ඉතිහාසයේ අධ්‍යාපනය එදා අද සහ හෙට නිරූපනය කර දැක්වෙන සෝමබන්දුගේ සිතුවම ආයතන ප‍්‍රවේශයෙන් විශාල ඉඩක් අත්පත් කරගත් අතර එය සමීපව දුරස්ථව සේම සිරස්ව ඉහළට හා පහළට නෙත් යොමු කරමින් නැරඹීමට සිදුවන පරිසමාප්ත නිර්මාණයක් බව කිවමනාය. චන්ද්‍රජීව නිර්මාණය කළ කන්නන්ගර රුව දෙස බලා සිටින්නකු තුළ ඇති කරන්නේ අතිශයින්ම ගෞරව සම්පන්න හැඟීමකි.

සිතුවම මූර්තිය හා එම නිර්මාණකරුවන් ගැන මේ ටික දැනට ප‍්‍රමාණවත්ය. මෙතැන් සිට කිව යුත්තේ ඒවායේ වටිනාකම නොදන්නා තකතීරුවන් කළ වැඩක් ගැනය. මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ගේ මුග්ධ තීන්දුවක් මත එම සිතුවම ගලවා ඉවත් කර ඇත. කන්නන්ගර ප‍්‍රතිමාව මගින් ප‍්‍රකාශිත ගැඹුර විනාශ කරමින් ඊට තඹ පැහැය අලූතින් ආලේප කර ලාබ මූර්තියක් බවට පත් කර ඇත.

සරත් චන්ද්‍රජීවගේ මූර්තිවල විශේෂ ලක්ෂණය නිර්මාණයට වස්තු වන චරිතවල අනන්‍යතාව, චරිතවල විශේෂ ගුණාංග ජනනය කරන හැඩ නිරූපනය කරන ඉරියව්ව සමග භාවිත මාධ්‍යයේ අනන්‍යතාව රකිමින් වර්ණ කිරීමේ තාක්ෂණික අංග නිර්මාණය තුළට ගැලපීමය. මෙම කරුණු එය නැවත වර්ණාලේප කරද්දී නොසලකා හැර ඇත. එමෙන්ම මෙම කන්නන්ගර ප‍්‍රතිමාවෙන් පිළිබිඹු වූ අනෙකුත් ලක්ෂණ වන ශිල්පීය කුසලතාව හා ශිල්පීය අනන්‍යතාව යන ලක්ෂණ ද නොසලකා හැර එය තවත් එක් ප‍්‍රතිමාවක් බවට පත්කර තිබේ. මෙලෙස නිර්මාණකරුවකුට ආවේණික වූ රටාවන්ගෙන් හා රිද්මයෙන් යුතුව සිදුකරනු ලැබූ නිර්මාණයක් වෙනස් කිරීමට කිසිවකුටවත් සදාචාරාත්මක අයිතියක් නොමැත. මෙම සදාචාර අයිතිය ජාතික අධ්‍යාපන ආයතනය නොසලකා හැර ඇත්තේ ඇයි? ඒ තරමට ආකල්ප අතින් පිරිහී ඇති නිසාද? ආයතනයේ චිත‍්‍ර අංශය මේ පිළිබඳ මුණිවත රකින්නේ මන්ද?

මෙම නිර්මාණවලට කිසියම් වෙනසක් කළ යුතු වූයේ නම් පළමුව කළ යුතුව තිබුණේ අදාළ ශිල්පීන්ගේ අනුදැනුම හෝ උපදෙස් ලබාගැනීමය. ඔවුන්ට නොහැකි වූ විට ඔවුන්ගේ උපදෙස් මත ක්ෂේත‍්‍රයේ වෙනත් ප‍්‍රවීණ ශිල්පීන් විසින් එවැනි නිර්මාණ සංරක්ෂණයට ලක් කළ හැකි වේ. එසේ නොමැති නම් මූර්ති කලා අනුරූප නිකේතනය හා චිත‍්‍ර මූර්ති සංරක්ෂණ කිරීමට මැදිහත්වන ප‍්‍රමිතිගත දෙපාර්තමේන්තු රාජ්‍ය සම්පත් මේ සඳහා භාවිතා කිරීමට හැකිය. ජාතික අධ්‍යාපන ආයතනය සදාචාර සම්පන්න නම් නිර්මාණවල පවතින අර්ථය හා රසය වැටහේ නම් රටටම වැරදි පූර්වාදර්ශයක් ලබාදෙමින් සිදුවූ මෙම වරද වහා නිවැරදි කළ යුතුවේ. එසේම නිර්මාණ ශිල්පීන්ගේ ප‍්‍රවීණතාව මත එම නිර්මාණවලින් ආයතනයට ලැබුණු වටිනාකම, පෞරුෂය හා ගෞරවය වහා හිමිකර ගත යුතුවේ.

මේ සඳහා කළ හැකි විසඳුම් කිහිපයකි. අදාළ නිර්මාණකරුවන් වහා කැඳවා එම නිර්මාණ ප‍්‍රතිසංස්කරණය කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ඔවුනට ලබාදිය යුතුය. ජාතික අධ්‍යාපන ආයතනය තුළ සිදුවන මෙම කලා සංහාරය මෙන්ම එම විනාශයේ අපකීර්තියෙන් ගැළවීමට හැකි වන්නේ එවිටය.
සෝමබන්දු විද්‍යාපතිගේ නිර්මාණය ද නැවතත් ආයතන ප‍්‍රවේශ පරිශ‍්‍රයේ ස්ථාපිත කරමින් එම නිර්මාණය හරහා මෙතෙක් ආයතනයට හා එකී පරිශ‍්‍රයට දායාද කරනු ලැබූ ගාම්භීරත්වය හා පෞරුෂය විද්‍යමාන කළ යුතුවේ.

මූර්තිවල රත‍්‍රං පාට ගෑම බාල පුරුද්දක් | මහාචාර්ය සරත් චන්ද්‍රජීව

මූර්තිවලට රත්තරං පාට ගාන එක බාල පුරුද්දක්. මම මේකට යොදලා තිබුණෙ මාබල් කලර් එක. කන්නන්ගර ප‍්‍රතිමාවේ තඹ පාටක් ආලේප කළා කිව්ව ගමන් මම ජා.අ. ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගුණපාල නානායක්කාරට කතා කළා. අපේ තැන මට ඕනෙ දෙයක් කරන්න පුළුවන්. ඔබතුමාට අයිතියක් නැහැ මේ ගැන කතා කරන්න. මට මේක කඩන්න වුණත් පුළුවන් කියලා එතුමා මම කතා කරපු දෙවතාවකදීම දුරකථනය විසන්ධි කළා. මට පැත්ත පළාතේ එන්න එපා කියලත් කිව්වා. කතා කරන්නවත් නොදන්න මේ වගේ අධ්‍යාපන බලධාරියෙක් මගේ ජීවිත කාලෙටම දැකලා නැහැ.

අලූත් වින්දනයක් දෙනවා |ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගුණපාල නානායක්කාර

ඒ පිළිමෙ කොළපාට ගාලා තිබුණේ. මිනිස්සු කොළ පාට නෙමෙයිනේ. මම ඉතින් වෙන පාටක් ගාන්න කිව්වා. මම දන්නෙවත් නැහැ කවුද ඕක හැදුවෙ කියලා. මගේ තැන ඕනේ වෙනසක් කරන්න මට පුළුවන්. චිත‍්‍රය ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. චිත‍්‍රයෙන් මේකට එන අය ලොකු වින්දනයක් ලැබුවා කියනවනේ. හරි මම අලූත් චිත‍්‍රයක් එල්ලන්නම්. ඒකෙන් අලූත් වින්දනයක් ලැබෙයි. ඉවරයිනෙ වැඬේ.