මෛත‍්‍රීට වැරදුණේ කොතැනද?

 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවර යාටද දැන් සිදුවී තිබෙන්නේ එකක් කඩතොලූ හදන්නට ගොස් දෙකක් කඩතොලූ හදාගත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමය. එතුමා රටේ ජනාධිපති වශයෙන් තෝරාගැනීමෙන් මහජනයා අපේක්ෂා කළේදෛූෂිත හා අසීලාචාර පාලනයක තත්ත්වයේ තිබූ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට එම පාලන කාලය තුළ සිදුවූ වංචා දූෂණ හා සාපරාධී වැරදි ගැන සොයා බලා එවැනි වැරදිවලට වගකිවයුත්තන්ට දඬුවම් කරන අතර මනා පාලනයක් සඳහා අවශ්‍ය කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කොට රට ශීලාචාර තත්ත්වයකට ගැනීමය. එහෙත් ලැබූ ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා රට වෙනුවට පක්ෂයක් බදාගන්නට ගොස් රටේ ඉදිරි ගමන පමණක් නොව තමන්ගේ ඉදිරි ගමනද අවුල් කරගත්තේය.

සදාචාරමය අවුල

රටට ඉදිරිපත් කළ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයට ශ‍්‍රීලනිප මහින්ද රාජපක්ෂ ග‍්‍රහණයෙන් නිදහස් කරගැනීමේ ප‍්‍රශ්නය ඇතුළත්ව තිබුණේ නැත. මීට පෙර පක්ෂ නායකත්වය ලැබුණු අවස්ථාවේදීද ලියා ඇති පරිදි ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල සහාය ඇතිව ශ‍්‍රීලනිප ආණ්ඩුව හා ශ‍්‍රීලනිප නායකයා පරාජය කිරීමෙන් පසුව එම ශ‍්‍රීලනිපයේ නිල නායකත්වය ගැනීම සදාචාරමය අර්ථයෙන් ගත් විට යහපත් ක‍්‍රියාවක් නොවන අතර ප‍්‍රධාන කොට එක්සත් ජාතික පක්ෂ හා රාජපක්ෂ විරෝධී ඡන්දවලින් තේරී පත්වී ශ‍්‍රීලනිප නායකයා ලෙස පෙනී සිටීමද නැවත සදාචාරමය අර්ථයෙන් ගත් විට යහපත් ක‍්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කරන්නට ශ‍්‍රීලනිපයට හිතවත් ජනතාව ඡන්දය දුන්නේම නැති තරම්ය. ශ‍්‍රීලනිපයට හිතවත් ජනතාව ඡුන්දය දුන්නේ මහින්දටය. මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළ යුතුයැ’යි කල්පනා කළ ජනතාවය. එම ජනතාව ඡුන්දය දුන්නේ ජනාධිපතිවරයාගේ මුළු නිල කාලය සඳහා මිස පාර්ලිමේන්තු මැතිවරණය දක්වා නොවේ. ඒ අර්ථයෙන් තමන්ට ඡන්දය දුන් ජනතාව සඳහා මුළු නිල කාලයටම බලපාන සදාචාරමය බැඳීමක් ජනාධිපතිවරයාට තිබුණු අතර එම බැඳීම දින 200කටත් අඩු කාලයක් තුළ අත්හැරීම සේ ම මහජනයා විසින් පරාජය කොට දේශපාලන කරළියෙන් ඉවත් කර සිටි මහින්ද රාජපක්ෂට නැවත දේශපාලන කරළියට ගැනීමද සැලකිය හැක්කේ බරපතළ සදාචාර විරෝධී ක‍්‍රියා ලෙසය.

පරාජිත මහින්ද රාජපක්ෂට දේශපාලන කරළියට ඒමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන තීන්දුවේ ස්ථිරසාර බවක් නොපවතී. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීන්දුව ජනාධිපතිවරයාට බලයට පත්වීමට ඡන්දය දුන් ජනතාව අතර බලවත් කම්පනයක් සේ ම විරෝධයක්ද ජනිත කිරීමට හේතුවිය. ජනතාව අතර ගොඩනැගී තිබෙන එම ආවේගශීලී වටාපිටාව ජනාධිපතිවරයා කෙරෙහිද බලපා තිබෙන බව පෙනේ. දැන් ඔහු එම තීන්දුව වෙනස් කිරීමට හේතුවන ක‍්‍රමවේදයක් සොයා ගැනීමට උත්සාහ දරමින් සිටින බවද පෙනෙන්නට තිබේ. දැන් ඇතිවී තිබෙන අප‍්‍රසන්න අවලස්සන උභතෝකෝටික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා දැක්විය හැකි නිදර්ශන කතාවක් මෙසේය.

රටක මහජනයා විසින්ම බලයට පත් කළ පාලක කණ්ඩායමක් ඔවුන්ගේ පාලන කාලයේ කිසියම් අදියරකදී මහජනයා සපාකන මහජනයාගේ වස්තුව කොල්ලකන බිහිසුණු වෘක රෑනක් බවට පත්විය. මෙම වෘක කල්ලියෙන් එල්ල වන පීඩනය දරාගත නොහැකිව එම වෘක රෑනට එරෙහිව ජනතාව සංවිධානය වී එම සටනට නායකත්වය දීම සඳහා එම වෘක රෑනේම සිටි අනෙක් වෘකයන්ට වඩා වෙනස් යහපත් ගතිපැවතුම් ඇති බව පෙනුණු වෘකයකු තෝරාගෙන දුෂ්ට වෘක රෑනට එරෙහිව කරන සටනින් එම වෘක රෑන පරාජය කොට නඩු අසා දඬුවම් කරන තෙක් ආරක්ෂිත ස්ථානයක උන් බැඳ තබනු ලැබීය. ජයග‍්‍රාහී නායකයා වෘකයන්ට පහරදීමට පහසු නැති උස් තැනක ආරක්ෂක මාලිගාවක් තනා ගත්තේය. ඉන්පසු නායකයා මොන හේතුවක් නිසා හෝ මහජනයා නැවත හපාකෑමට ඉඩ ලැබෙන පරිදි බැඳ තබා සිටි එම වෘක රෑන ලිහා දැම්මේය. දැන් රටේ තිබෙන දේශපාලන තත්ත්වය මෙම වෘක නිදර්ශන කතාවෙන් කියැවෙන තත්ත්වයට සමානය.

දැන් කුමක් කළ යුතුද යන්න සලකා බලන්නට පෙර ජනවාරි නිහඬ විප්ලවය අයාලේ යන තත්ත්වයක් ඇතිවූයේ කෙසේද යන්න සලකා බැලීම වැදගත්ය.
අයාලේ ගිය විප්ලවය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ හතරවන වසර සම්පූර්ණ වන අවස්ථාව වන විට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග වැදීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. එළැඹෙන එම ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමට මහජනයාට අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා වන ප‍්‍රබල මහජන පෙළගැස්මක්ද රටේ ගොඩනැගී තිබුණි. එම පෙළගැස්ම තුළ ක‍්‍රියාත්මක වූ විවිධ දේශපාලන සංවිධාන සේ ම සිවිල් සංවිධාන ද තිබුණි. ඒ සිවිල් සංවිධාන අතර තිබූ එක සංවිධානයකට එනම් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා හා ඉන්පසු ජයග‍්‍රාහකයා සම්පූර්ණ කළයුතු ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක්ද තිබුණි. මෙම එකතුවේ සිටි ලොකු කුඩා දේශපාලන සංවිධානවලට තමන්ගේම නායකයන් සිටියද එම නායකයන් අතුරින් එක් අයකු පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැන්මට බොහෝ සංවිධානවල නොකැමැත්තක්ද තිබුණි. මේ එකතුවේ ලොකුම පක්ෂය වී තිබුණේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස භාරගැනීමට වෙනත් සංවිධානවල කැමැත්තක් නොතිබුණා සේ ම එක්සත් ජාතික පක්ෂය තුළ පවා ඒ ගැන වන ඒකමතික අදහසක් නොතිබුණි. රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එල්ල වූ තර්කය වූයේ මහින්ද පරාජය කිරීමට තරම් ඔහු ආකර්ෂණීය නායකයකු නොවන බවය. පොදු අපේක්ෂක තනතුරට සියලූදෙනාම එකඟවිය හැකි පිටස්තරයකු ගැනීම ඒ වැඩිදෙනකුගේ අභිලාෂය තිබුණේයැ’යි කිව හැකිය. ආණ්ඩුවේ ඇමතිවරයකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක බවට පත්වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

පොදු නායකයකු සොයාගත යුතු අවස්ථාවකදී තමන් අතර සිටින නායකයන් අතුරින් කෙනකු තෝරාගැනීමට තිබෙන නොහැකියාව මහින්ද විරෝධී බලවේගයකට පමණක් සීමාවූ දුර්වල ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකිය. එය සිංහල වර්ගයාට ආවේණික දුර්වල ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය පැවති කාලයේදී බෞද්ධ ව්‍යාපාරයට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි වැනි වර්ණවත් නායකයන් සිටියද ඒ නායකයන් අතුරින් ප‍්‍රධාන නායකයකු තෝරාගැනීමට ලංකාවේ බෞද්ධ ව්‍යාපාරය සමත් නොවීය.

ඒ තත්ත්වය කෙරෙහි එදා බලපෑවේ කුලභේදයයි. ඒ නිසා බෞද්ධ ව්‍යාපාරයේ ප‍්‍රධාන නායකයා වශයෙන් තෝරා ගැනීමට සිදුවූයේ පිටස්තර විදේශිකයකු වූ ඕල්කට්ය. එහෙත් ඕල්කට්ගේ බුද්ධාගම හා දේශීය බෞද්ධ නායකයන්ගේ බුද්ධාගම එකක් නොවීම නිසා කාලයාගේ ඇවෑමෙන් බෞද්ධ ව්‍යාපාරය තුළ මතභේද ඇතිවීම නොවැළැක්විය හැකිවිය. අවසානයේ ඕල්කට් දරුණු ලෙස ප‍්‍රශ්න කරන්නා බවට පත්වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. ඕල්කට්ද, හික්කඩුවේ සුමංගල හිමියන්ද බෞද්ධ ව්‍යාපාරයේ වෙනත් නායකයන්ද සහභාගි වූ සාකච්ඡාවකදී ඕල්කට්ගේ ක‍්‍රියාකාරකම් ගුණානන්ද හිමියන් විසින් බරපතළ ප‍්‍රශ්න කිරීමකට ලක් කරන ලද අතර එහිදී නියම කරගන්නා ලද දිනයකදී රස්වන වෙනත් සාකච්ඡා සභාවකදී ගුණානන්ද හිමියන් නගන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන බවට ඕල්කට් පොරොන්දු වුවද ඉන්පසු ඕල්කට්තුමා ලංකාවෙන් වහාම පිටවී ගියා මිස ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නට නැවත කවදාවත් ලංකාවට ආපසු ආවේ නැත. ඕල්කට්තුමා සැමරීමට ලියැවෙන ලිපිවලදී එතුමාට ලංකාව හදිසියේ අතහැර යෑමට සිදුවූයේ ඇයිද යන ප‍්‍රශ්නය සාකච්ඡාවට ලක් කෙරෙන්නේම නැති තරම්ය.

ඕල්කට් හා මෛත‍්‍රීපාල

දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සිදුවී තිබෙන්නේද ඕල්කට්තුමාට සිදුවූ දේමය. ඕල්කට්තුමා බුද්ධාගම තේරුම් ගෙන තිබුණේ ලංකාවේ සමකාලීන බෞද්ධ නායකයන් බුද්ධාගම තේරුම් ගෙන තිබුණු ආකාරයට නොව ඊට වෙනස් ආකාරයටය. ඔහු බුද්ධාගමට සීමාවූ කෙනකු නොව සියලූ පෙරදිග ආගම්වලට ඇලූම් කළ ක‍්‍රිස්තියානි ආගමට වෛර කළ මිෂනාරීට එරෙහිව මිෂනාරියකු ලෙස සටන් කළ පුද්ගලයෙකි. ගණනාථ ඔබේසේකර ප්‍රොතෙස්තන්ත බුදු දහම ලෙස විස්තර කරන ආගමේ ආරම්භකයා ලෙස සැලකිය හැක්කේද ඕල්කට්තුමාය. ඕල්කට්ගේ බුදුදහම නියම බුදුදහම නොවන බව පළමුවෙන් තේරුම් ගත් බෞද්ධ නායකයා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. ගුණානන්ද හිමි මතුකරන ප‍්‍රශ්න කිරීම නිසා ලංකාවේ බෞද්ධයන් සඳහා ඔහුට තිබූ නිල නායකත්වය අතහැර ලංකාවෙන් පිටවී යෑමට ඕල්කට්තුමාට සිදුවිය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද බොහෝදුරට ශ‍්‍රීලනිප නමැති ලෝකයට සීමාවූ දේශපාලන නායකයකු වීයැ’යි කිව හැකිය. එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග මතභේද ඇතිකර ගැනීමට බලපා තිබුණේද පොදු හේතු නොව පෞද්ගලික හේතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ සමහර සහෝදරයන්ගේ කුඩුකේඩුකම් එතුමා ඉවසාගෙන සිටියා මිස ඒවාට එරෙහිව සටන් කළේ නැත. එතුමාට මහින්ද රාජපක්ෂ සමග හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමග මතභේද තිබුණා වුවත් ශ‍්‍රීලනිප හෝ ශ‍්‍රීලනිපයේ පසුගාමී දර්ශනය සමග මතභේද නොතිබුණේය.

තමන්ගේ නායකයකු වෙනුවට පිටස්තර නායකයකු පහළ වෙන තෙක් බලා සිටි මහින්ද විරෝධී දේශපාලන බලවේගයන්ට මෛත‍්‍රීපාල සිරිසේනගේ එකතුවීම අතිවිශාල ආස්වාදයක් ඇති කිරීමට හේතුවූ සංසිද්ධියක් ලෙස ක‍්‍රියා කළේය. මහින්ද විරෝධී සටනට නායකත්වය දීම සඳහා පහළ වූ වීරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු හා ශ‍්‍රීලනිප මහ ලේකම් වීම හා ඔහු ආණ්ඩුවේ අපකීර්තියට පත් ඇමතිවරයකු නොවීම යන හේතු නිසා ශ‍්‍රීලනිප හිතවත් ජනයා අතරද ලොකු බලපෑමක් ඇති කිරීමට හැකිවීම මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඔහු සමත් වනු ඇතැයි කියන විශ්වාසය ඔවුන් තුළ ජනිත කිරීමට හේතුවිය. මෛත‍්‍රීපාල සිරිසේන විසින් පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ගනු ලැබූ තීරණයද නිර්භීත තීරණයක් ලෙස සැලකිය හැකිය. වැරදිලාවත් එම සටනින් පරාජය වී නම් එතුමාට අත්වන්නට ඉඩ තිබූ ඉරණම ඉතාමත් ඛේදජනක වන්නට ඉඩ තිබුණි.

පොදු අපේක්ෂකයාගේ සීමා

එතුමා තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන ඔහුගේ පවුලේ අය හා ජනාධිපතිවරයා වට කොටගෙන සිටි දේශපාලන කල්ලිය ගැන බලවත් තරහක් තිබෙන්නට ඇතත්, රටට අවශ්‍ය කරන ප‍්‍රතිසංස්කරණ ගැන හෝ රාජ්‍ය පාලනය ගැන තියුණු අවබෝධයක් තිබුණු කෙනකු බව පෙනෙන්නේ නැත. එතුමා බලයට පත්වන්නේ තමන්ගේ පක්ෂයක් හෝ තමන්ගේ මහජන සේනාවක් නැතිවය. බලයට පත්වීමේ ක‍්‍රියාවලියේදී පක්ෂ යාන්ත‍්‍රණය ලෙස ක‍්‍රියාකරන්නේ අනුන්ගේ පක්ෂ යාන්ත‍්‍රණයක් හා වෙනත් පක්ෂවල හෝ ව්‍යාපාරවල මහජන සේනාවන්ය. ඒ අර්ථයෙන් එතුමා තමන්ගේ සේනාවක් නැතිව අනුන්ගේ සේනාවන්ගෙන් යුද්ධය කොට ජයගත් විශේෂ වර්ගයට අයත් සේනාධිපතිවරයකු ලෙස සැලකිය හැකිය. එතුමා එම සටනේදී ශ‍්‍රීලනිප කෙරෙහි ඇති කළ බලපෑමද කැපී පෙනෙන තත්ත්වයක නොතිබුණි. එතුමාගේ සටනට එකතු වූයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් ඉතාමත් සීමිත ගණනක් පමණය. ශ‍්‍රීලනිප ඡුන්ද පදනම කෙරෙහි ඇති කරන ලද බලපෑමද ආන්තික විය.

සටනින් ලැබූ ජයග‍්‍රහණයෙන් පසුත් එතුමා පුංචි කණ්ඩායමකට සීමාවූ තමන්ගේම පක්ෂයක් නැති තමන්ට කියා ජන සේනාවක් නැති ලොකු නිල බලයක් පමණක් ඇති නායකයකු බවට පත්විය. සටන ජයගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ඇතුළු වෙනත් පක්ෂ සමග තිබෙන ළඟ සම්බන්ධයද කිසියම් දුරකට දුරස්ථවීයැ’යි කිව හැකිය. රටේ නායකයාගේ තනිකම මකන්නට නායකයා වටකොටගෙන සිටියේද ශූර රාජ්‍යතාන්ත‍්‍රිකයන් ලෙස සැලකිය හැකි ලොකු මනස් ඇති පුද්ගලයන් නොව පටු කල්පනාවලින් යුතු පුංචි මිනිසුන්ය.

සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ජනප‍්‍රිය වැඩසටහනක් වුවද එය මනෝරාජික වැඩසටහනක් වූවා මිස ගැඹුරු හරයක් තිබුණු යථාර්ථවාදී වැඩසටහනක් නොවීය. ප‍්‍රතිසංස්කරණය කිරීමට තෝරාගත් සීමිත කාරණා කිහිපයේදී පවා මතුපිට දේවලට සීමාවූ දර්ශනයක් මිස ගැඹුරට දිව ගිය දර්ශනයක් නොතිබුණි. මහින්ද රාජපක්ෂ පරාජය කර තිබුණද නීති සම්පාදන බලය තිබුණු පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත මන්ත‍්‍රී කණ්ඩායමකටය. එවැනි පසුබිමක් පාර්ලිමේන්තුවේ තිබියදී ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් කරළියට ගැනීමෙන් ඇතිවිය හැකි අවුල් කල් තියා තේරුම් ගැනීමට පවා ජනාධිපතිවරයා ඇතුළු මෙම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ සියලූ නායකයෝ අසමත් වූහ. ඒ තත්ත්වය ජයගැනීමට කළ යුතුව තිබුණේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන පසුවට තබා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. ජනාධිපතිවරයාම ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනකට නොගියේ එසේ කළේ නම් එජාපයට විශාල පාර්ලිමේන්තු ජයග‍්‍රහණයක් හිමිවන්නට ඉඩ තිබුණු නිසා එය වැළැක්වීම සඳහාය. පටු පක්ෂ කෝණයකින් අත්මිදීමට ජනාධිපතිවරයා අසමත් වී තිබුණු බව එම ප‍්‍රකාශනයෙන්ම පෙනී යයි. ජනාධිපතිවරයා තේරී පත්වී තිබුණේ ශ‍්‍රීලනිපයට හිතවත් ජනයාගේ ඡුන්දවලින් නොව ප‍්‍රධාන කොට එක්සත් ජාතික පක්ෂයට හිතවත් ජනයාගේ ඡන්දවලිනි. එය එසේ වී තිබියදීත් ජනාධිපතිවරයා දේවල් දැක තිබෙන්නේ එජාප විරෝධී ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුගේ ඇසිනි.

ශ‍්‍රීලනිප ව්‍යාපෘතිය

ශ‍්‍රීලනිප ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප‍්‍රියතම ව්‍යාපෘතිය වූවා සේ ම ජනාධිපතිවරයා මහා අවුලකට තල්ලූ කිරීමට හේතුවූ ව්‍යාපෘතිය ලෙසද සැලකිය හැකිය. මෛත‍්‍රීපාල සිරිසේන විරුද්ධ පක්ෂ එකතුවේ පොදු අපේක්ෂකයා වීමත් සමග ශ‍්‍රීලනිප සමග තිබූ ආත්මීය සම්බන්ධය අවසන් වීයැ’යි කිව හැකිය. ඔහු අතින් පරාජය වන්නේ ශ‍්‍රීලනිපයේ නායකයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව සමග වූ ශ‍්‍රීලනිපයයි. විරුද්ධ පක්ෂ එකතුවට හිතවත් ජනයා ඔහු වීරයකු ලෙස සලකන විට ශ‍්‍රීලනිප ජනයා ඔහු සලකන ලද්දේ ද්‍රෝහියකු ලෙසය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පරාජයෙන් පසු පක්ෂයේ නිල නායකත්වය මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට දෙන ලද්දේ උපාය මාර්ගික අරමුණින් මිස තම පරාජයෙන් පසු පක්ෂයේ නිල නායකත්වය ලැබිය යුත්තා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා බව ඔහුගේ අවංක හැඟීම වූ නිසා නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උපාය මාර්ගික හේතු මත එසේ කළද ශ‍්‍රීලනි පාක්ෂිකයන් පක්ෂ නායකත්වය භාරගන්නා ලෙස මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගෙන් මහ හඬින් ඉල්ලා සිටියේ නැත. ඔවුන් තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැක්කේ පක්ෂයට තිබූ ආණ්ඩු බලය නැති කළ ද්‍රෝහියකු ලෙසය. ඒ සියල්ල එසේ තිබියදීත් ජනාධිපතිවරයා මහින්දගේ අතින් දෙන ලද පක්ෂ නායකත්වය සතුටින් භාර ගත්තේය.

බමුණන් කළ විනාශය

මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා බලයට පත්ව තිබුණේ තමන්ගේ පක්ෂයක් හෝ තමන්ගේ පක්ෂ සේනාවක් නැති ජනාධිපතිවරයකු ලෙසය. එම තත්ත්වය යටතේ තම ප‍්‍රතිවාදී නායකයාගෙන් තෑගි ලැබුණු පක්ෂය තමන්ට අවනත පක්ෂයක් බවට හරවා ගනිමින් තමන්ගේම පක්ෂයක් නැතිකමේ හා පක්ෂ සේනාවක් නැතිකමේ අඩුව සපුරා ගතයුතුයැ’යි ජනාධිපතිවරයා කල්පනා කිරීම ස්වාභාවිකය. ජනාධිපතිවරයාගේ තනිකම පහකිරීමට හා මගපෙන්වීම් කිරීමට ජනාධිපති වටකරගෙන සිටි බමුණන් කිහිපදෙනාගෙන් බහුතරයක් පුංචි මනස් ඇති නොපළපුරුදු රාජ්‍යතාන්ත‍්‍රිකයන් වූවා පමණක් නොව උග‍්‍ර රනිල් විරෝධී හා යූඑන්පී විරෝධීහු වූහ. ඔවුහු එජාප හෝ රනිල් වික‍්‍රමසිංහ නැතිව ශ‍්‍රීලනිපයට බර තබා හදන ආණ්ඩුවක් ගැන සිහින දැක්කෝය. ඔවුහු ජනාධිපතිවරයාද එම නපුරු සිහිනයේ කොටස්කරුවකු බවට පත් කරගත්තෝය. තමන් මේ කරන්නේ ජනාධිපතිවරයාගේ තත්ත්වය ශක්තිමත් කරනවා වෙනුවට ජනාධිපතිවරයා පහසුවෙන් ගොඩආ නොහැකි අගාධයකට ඇදදැමීමක් බව තේරුම් ගැනීමට අවශ්‍ය කරන තරමේ අන්තර් ඥානයක්වත් මේ බමුණන්ට නොතිබුණේය.

මේ පිරිස ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් හා පක්ෂ ක‍්‍රියාකරුවන් ජනාධිපතිවරයාට පක්ෂපාත තැනට ගැනීමට පළමුවෙන් උත්සාහ කළෝය. ඒ උත්සාහයන් සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත. මන්ත‍්‍රී බලය හා පාක්ෂිකයන්ගේ ජන බලය තිබෙන්නේ මහින්දට බව හා එය වෙනස් කිරීම පහසු නැති බව ඔවුන් කරන ලද අසාර්ථක අත්හදා බැලීමෙන් ඔවුහු තේරුම් ගත්තෝය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත‍්‍රී කණ්ඩායම හා මහින්ද කණ්ඩායම වශයෙන් දෙකඩ වී තරග කරන තැනකට ගියහොත් ඒ කණ්ඩායම් දෙක අතර තරගයෙන් මහින්දගේ කණ්ඩායම ජයගන්නා බවද ඔවුන් තේරුම් ගෙන තිබුණි. ඒ නිසා මහින්දට දේශපාලන කරළියට ඒමට ඉඩ නොදෙන එහෙත් පක්ෂය එකක් ලෙස තබාගනිමින් මහින්දට තිබෙන ඡුන්ද පදනමද තමන්ට ලබාගත හැකි ක‍්‍රමවේදයක් ගැන ඔවුහු සිහින දකින තැනකට ගියෝය.

අවසානයේ ඔවුහු ඒ සඳහා අපූරු ක‍්‍රමවේදයක් සොයා ගත්තෝය. මහින්ද හා එම පවුලේ සාමාජිකයන්ට අනාගතයේ නෛතික අර්ථයෙන් මුහුණ දෙන්නට සිදුවන බරපතළ ප‍්‍රශ්න තිබුණි. ඒ ගැන ඇති කරගත් ලොකු බියක්ද පවුලේ සාමාජිකයන් අතර තිබුණි. මෙම බමුණු කණ්ඩායම ඊළඟට අල්ලා ගත්තේ එම නිලයයි. ඔවුහු සියලූ සතුරුකම් මොහොතකට අමතක කොට පවුලේ සාමාජිකයන් සමග එම විෂය කතා කරන්නන් බවට පත්වූවෝය. මහින්ද පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටීමට එකඟ වේ නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කරන තත්ත්වයක තබාගත හැකි බවත් මහින්දටද ඒ වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රචාරක රැුස්වීම් අමතා කතා කිරීමටද ඉඩදිය හැකි බවත්, මහින්ද එසේ කරන්නේ නම් මහින්දට හා එම පවුලේ සාමාජිකයන්ට එරෙහිව නඩු නොපවරන තත්ත්වයක් ඇතිකරදීමට සහතික විය හැකි බවත් මැතිවරණයෙන් පසු මහින්දගේ ගෞරවයට හේතුවන ලොකු තනතුරක් ලබාදිය හැකි බවත් ඔවුහු මහින්දගේ පවුලේ සාමාජිකයන්ට සහතික වූහ. මෙම වැඩසටහනට මහින්ද කැමති කරවා ගැනීම සඳහා මහින්දගේ පවුලේ සාමාජිකයන් සමග දිගින් දිගට හා දීර්ඝ ලෙස කතා කරන තැනකටද ගියෝය. එය මෙම බමුණු කණ්ඩායමට ලැබුණු අලූත් අත්දැකීමක් විය. මීට පෙර මේ දෙපිරිස අතර ලොකු පරතරයක් තිබුණි. ඔවුන් මහින්දගේ පවුලේ සාමාජිකයන් සමග එකට කා බී නොතිබුණේය. සම තත්ත්වයක සිට එකට සාකච්ඡුා කොට නොතිබුණේය. එය ඔවුන්ට ආස්වාදජනක අලූත් අත්දැකීමක් වුවත් මහින්ද හා ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඔවුන් ගොනාට ඇන්දුවා මිස ඔවුන්ගේ ඇම නොකෑවෝය. එහෙත් එම ගනුදෙනුව සලකා බැලිය හැකි තත්ත්වයක තිබෙන බව බොරුවට පෙන්නුම් කළෝය. පාර්ලිමේන්තුව විසුරුවා හරින තැන දක්වාම මෙම සාකච්ඡා පැවතුණි. මෙම බමුණු පිරිස තමන්ගේ සිහිනය ගැන ලොකු බලාපොරොත්තු ඇති කරගෙන සිටියෝය.

තමන් එවැනි වැඩසටහනකට සූදානම් නැති බව මෙම සාකච්ඡාකරුවන්ට දැනගන්නට ලැබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගය. ඒ සමග ඔවුන් ගොඩනගා ගෙන තිබුණු සිහින ලෝකයද බිඳ වැටුණි.

ඔවුන් ගොඩනගා ගෙන තිබුණු සිහිනය මෙසේය. පාර්ලිමේන්තු මැතිවරණයට ශ‍්‍රීලනිප තනි පක්ෂයක් ලෙස තරග කරනු ඇත. ලොකු අපකීර්තියක් ඇති මහින්දගේ ආධාරකරුවන් හත්අටදෙනකුට පමණක් නාමයෝජනා නොදෙනු ඇත. මහින්ද මැතිවරණයට තරග නොකොට ශ‍්‍රීලනිප ආණ්ඩුවක් දිනාගැනීම සඳහා රට පුරා පැවැත්වෙන රැුස්වීම් අමතනු ඇත. අවසානයේදී ශ‍්‍රිලනිපයේ කැඞීමක් ඇතිවීම වළකාගෙන මහින්දටද තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන පරිදි එජාපයද පරදවා නැවත ජනාධිපතිවරයාට පක්ෂපාත ශ‍්‍රීලනිප ආණ්ඩුවක් ඇති කෙරෙනු ඇත.

මේ සිහිනය බොඳවීමත් සමග ඒ සියලූදෙනා අවුල් ජාලයකට ගියෝය. ඒ සමග මහින්ද සන්ධානය හා ශ‍්‍රීලනිප හරහා එල්ල කරන බලපෑම්ද තීව‍්‍ර කළේය. ඒ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කරන ආත්ම ධෛර්යය හෝ පාවිච්චි කළ හැකි අලූත් තුරුම්පු අනෙක් පාර්ශ්වයට නොතිබුණේය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ සියලූදෙනා විස්මයට පත්කරමින් මහින්දට තරග කිරීමට අනුමැතිය දීමය. ජනාධිපතිවරයාගේ මෝඩ බමුණන් මහින්දට අටවන ලද උගුලට අවසානයේ අසුවූයේ මහින්ද නොව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනය.

ජනාධිපතිවරයා මහින්ද සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දුව අනුමත කරන්නේ නැත. එම තීන්දුව නිසා තමන්ට මුලදී එකතුවී සිටි මන්ත‍්‍රී පිරිස සේ ම තමන්ට ඡුන්දය දුන් ජනතාවද අහිමිවී තමන් එක මොහොතකින් ජනතාවගේ බලවත් අප‍්‍රසාදයට පත්වූ පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව සිටින බව ජනාධිපතිවරයා දනී. ජනාධිපතිවරයාට තමන් ගනු ලැබූ තීන්දුව ආපස්සට ගැනීමට අවශ්‍ය වී ඇතත් එසේ කිරීම පහසු වනු ඇතැ’යි සිතිය නොහැකිය. නාමයෝජනා ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වනුයේ සුළු ධෛර්යයක් පමණය. දෙන ලද දෙයක් ආපසු ගැනීමට ඊට වැඩි ලොකු ධෛර්යයක් අවශ්‍යය. සුළු ධෛර්යයක් අවශ්‍ය තැනකදී ඒ ධෛර්යය ඇතිකර ගැනීමට නොහැකිවූ පුද්ගලයකුට සිදුවූ වරද නිවැරදි කරගැනීමට අවශ්‍ය කරන ලොකු ධෛර්යයක් ඇතිකර ගත හැකිද?