මාධ්‍ය දඩයම් කිරීමේ කැලෑ උසාවියට යහපාලන ජනපතිගේ අනුමැතිය

අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්’ යන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මෛත‍්‍රී පාලනයක්, ස්ථාවර රටක් යන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ජනමාධ්‍ය නිදහසට අදාළ පරිච්ෙඡ්දයේ සිරස්තලය වේ. ඒ යටතේ ඔහු කියන්නේ ‘ජනමාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ලෙස තහවුරු කරමින් මහජන සේවා සන්නිවේදනය දිරිමත් කිරීමේ පදනම මත හිඳ රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය නියාමනය කිරීමේ කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් සකස් කරමි’ යන්නය.
එහෙත් එම පොරොන්දුව කණපිට හරවමින් ජූලි 2 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පුවත්පත් මණ්ඩලයට නව සාමාජිකයන් පත්කර තිබේ. එම සාමාජිකයන් වන්නේ සභාපති නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත හා මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර යන අයය.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධානයත්, කර්තෘ සංසදයත්, පුවත්පත් ප‍්‍රකාශකයනුත් රටේ ජනමාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා කාලයක් තිස්සේ ඉල්ලන ලද එක් ඉල්ලීමක් වූයේ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස බලකිරීමය. යහපාලනය ඇතිකරනවායැ’යි පොරොන්දු දී බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම වෙනුවට සිය පූර්ව පුරෝගාමියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මග යමින් දැන් සිදුකර තිබෙන්නේ එම පුවත්පත් මණ්ඩලය තවදුරටත් බලාත්මක කිරීමය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජයේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමට පොරොන්දු දී එයට සාමාජිකයන් පත් නොකර එය බලාත්මක කිරීම අත්හිටුවනු ලැබූයේ රනිල් වික‍්‍රමසිංහගේ 2000-2003 ආණ්ඩු කාලයේදීය. එම ආණ්ඩු පෙරළියෙන් පසු ඉතිරි කාලයේදීත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකද පුවත්පත් මණ්ඩලය බලාත්මක කළේ නැත. හොඳින් හෝ නරකින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය තලා පෙළා දැමීමේ අරමුණින් පුවත්පත් මණ්ඩලය නැවත බලාත්මක කරනු ලැබූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ය. ඔහු විසින් පුවත්පත් මණ්ඩලයට පත් කරන ලද සාමාජිකයන් වූයේ නීතිඥ ඩබ්ලිව් දයාරත්න, මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආරියනන්ද දොඹගහවත්ත, නීතිඥ ප‍්‍රසාද් සූරියආරච්චි. ප‍්‍රදීප විජේසුන්දර හා කරුණාදාස සූරියආරච්චිය.

මෙසේ බලාත්මක කරන ලද පුවත්පත් මණ්ඩලය සිය මර්දනයේ දෑත් මුලින්ම දිගු කරන ලද්දේ සන්ඬේ ටයිම්ස් පුවත්පතට හා ලංකා පුවත්පතට එරෙහිවය. එහිදී සන්ඬේ ටයිම්ස් පුවත්පත ඊට අභියෝග කරමින් සඳහන් කළේ පුවත්පත් මණ්ඩලයේ සංයුතිය අසම්පූර්ණ නිසා ඊට නීත්‍යනුකූලභාවයක් නොමැති බවය. මේ සඳහා පෙන්වා දෙන ලද කරුණ වූයේ 1973 අංක 05 දරන පුවත්පත් මණ්ඩල පනතේ ඇති පිළිගත් ජනමාධ්‍ය සංවිධාන විසින් නම් කරන ලද නියෝජිතයකු නොමැති නිසා එය නීත්‍යනුකූල නොවන බවය. ඉන්පසු මහින්ද රාජපක්ෂ විසින් පිළිගත් ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයා වශයෙන් නම් කළේ ප‍්‍රදීප විජේසුන්දර නමැත්තාය. ඔහු එවක වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම්වරයාය. ඔහු හැර වෙනත් සාමාජිකයන් සිටින්නේදැ’යි නොදන්නා අටවා ගත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සංගමයක්යැ’යි කියූ එකක ඔහු නායකයා විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එවැනි මජර ක‍්‍රියාවකින් ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයා පත්කිරීමට සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තිමය තීරණයේ හා අරගලයේ සිටි ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ සඳහා නියෝජිතයකු පත්කිරීම ප‍්‍රතික්ෂේප කළ නිසාය. සාම්ප‍්‍රදායිකව ඒ සඳහා මීට පෙර නියෝජිතයකු පත්කර තිබුණේ ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය (ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය* විසින්ය.

පනත ප‍්‍රකාරව ජනාධිපතිවරයා පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් 7 දෙනකු පත් කළයුතු අතර ඉන් එක් අයකු වන්නේ රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාය. ඉතිරි සාමාජිකයන් 6 දෙනාගෙන් එක් අයකු ක‍්‍රියාකාරී පත‍්‍රකලාවේදීන් නියෝජනය කරන තැනැත්තකු විය යුතු අතර එකී නියෝජිතයා පත‍්‍ර කලාවේදීන්ගේ සංගම් විසින් නම් කරනු ලබන 7 දෙනකුට නොවැඩි පිරිසෙන් තෝරා ගත යුතුය. එමෙන්ම තවත් සාමාජිකයකු පුවත්පත් සේවකයන්ගේ සම්බන්ධතා නියෝජනය කරන වෘත්තීය සමිති විසින් නම් කරන නියෝජිතයන් තුන්දෙනකුගෙන් තෝරාගත යුතුය. පෙර සඳහන් කළාක් මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුව යමින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද කර ඇත්තේ මේ කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරමින් අත්තනෝමතිකව පුවත්පත් මණ්ඩලයට සාමාජිකයන් පත්කිරීමය.

පුවත්පත් මණ්ඩලය සඳහා පත්කර ඇති හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය ඉකුත්වීම නිසා ඊට අලූතෙන් සාමාජිකයන් පත්කළායැ’යි කියා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නොහැකිය. මන්ද ඊට පූර්වාදර්ශ සපයමින් රනිල් වික‍්‍රමසිංහ දෙදාහ වර්ෂයේ ආණ්ඩු කාලයේදීද ඊට සාමාජිකයන් පත් නොකර සිටි බවත්, පුවත්පත් මණ්ඩලය යටතේ සිදුවූ අන් කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවූ බවත් අප සිහි තබාගත යුතුය.
ඒ වාගේම අප සිහි තබාගත යුත්තේ පුවත්පත් මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ජනමාධ්‍ය නියාමනය කිරීමේ කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය එක්ව ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම නම් වූ ස්වයං නියාමන ව්‍යුහයක් ගොඩනංවා අඩුපාඩුකම් සහිතව වුවත් 2003 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි. ජනමාධ්‍ය නිදහසට ගරු කරනවා නම් ජනාධිපතිවරයෙකු හෝ ආණ්ඩුවක් විසින් කළයුත්තේ අදාළ ස්වයං නියාමන ව්‍යුහය තවදුරටත් වර්ධනය කරගැනීමට හා පුළුල් කරගැනීමට ආධාර අනුබල ලබාදීම මිස මර්දන අණපනත්වලට අනුබල දීම නොවේ.

ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කිරීමට ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය පෙළඹුණේ ඇයි? ඊට ඇති පැහැදිලි හා සරල පිළිතුර වන්නේ ජනමාධ්‍ය නියාමනය කෙසේ වෙතත් ජනමාධ්‍ය දඩයම් කිරීම සඳහා උපයෝගී කරගත් හා උපයෝගී කරගත හැකි නීතියක් වශයෙන් එය හඳුනා ගැනීමය.
දිසා අධිකරණයකට ඇති සියලූ බලතල පුවත්පත් මණ්ඩලයට ඇති අතර යම් ජනමාධ්‍යවේදියකු, හිමිකරුවකු හෝ මුද්‍රණකරුවකු කැඳවීමට, පැමිණෙන ලෙස ඔහුට හෝ ඇයට බලකිරීමට, ලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමට හා දිව්රීමක් හෝ ප‍්‍රතිඥාවක් ලබාදෙන ලෙස නියෝග කිරීමටද ඊට හැකිය. තවද පුවත්පත් මණ්ඩල බලයට විරුද්ධවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයට විරුද්ධ අපහාසයක් ලෙස සැලකෙන අතර ඒ සඳහා රුපියල් 5000/-කට නොවැඩි දඩයක් වසර දෙකකට නොවැඩි සිරදඬුවමක් යන දඬුවම් හෝ ඉන් එකක් පැනවිය හැකිය. එසේම පුවත්පත් මණ්ඩලයේ තීරණ කිසිදු අධිකරණයකදී අභියෝගද කළ නොහැකිය.

පුවත්පත් මණ්ඩල නීතියට අනුව කැබිනට් මණ්ඩලයේ කටයුතු පිළිබඳව, කැබිනට් මණ්ඩල පත‍්‍රිකාද ඇතුළුව කිසිවක් පුවත්පත්වල පළකිරීම තහනම්ය. එය කඩකරන්නන්ට අවශ්‍ය නම් ඉහත සඳහන් දඬුවම් ලබාදිය හැකිය. මෙම කරුණ ගැන වුව අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ එය පනතේ් ඇති ලෙසට ක‍්‍රියාත්මක වුවහොත් ජනමාධ්‍යවේදීන් ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝ පිරිසකට නිතර නිතර දඬුවම් ලබමින් සිය වෘත්තීය කටයුතුවල නිරතවන්නට සිදුවනු ඇති බවය.

නීතිය පිළිබඳව මනා අධ්‍යාපනයක් නැති, ඒ පිළිබඳව මනා පුහුණුවක් හා පරිචයක් නැති පිරිසකට නඩු අසා දඬුවම් ලබාදීමේ හා එම දඬුවම් පිළිගත් අධිකරණයකදී අභියෝගයකට ලක්කිරීමේ හැකියාවක් ලබාදී නැති අසීමිත බලයක් ලබාදීමේ ක‍්‍රමවේදයක් කෙසේවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට ගැළපෙන්නේ නැත. එවැනි ව්‍යුහයක් අපට ලෙහෙසියෙන්ම නාමකරණය කළ හැක්කේ කැලෑ උසාවියක් වශයෙන් පමණය. කැලෑ උසාවි ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක නොව වැඩවසම්, මිලිටරි හෝ ඒකාධිපති සමාජයන්වලය. යහපාලනය ගැන කියූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිදුකර ඇත්තේ ඔහුගේ පක්ෂයේ පුරෝගාමියා අනුව යමින් එම කැලෑ උසාවියට යළි පණ ලබාදීමය.