මොරටුවෙන් නිපන් දැවමුවා ජීවන විලාසිතාව


dava

 

ඇන්තනි සිටියේ අ ල් තා ර ය අසලය. දිව්‍ය පූජාව සිදුකරන මේසයේ වැඩ තවම අවසන් නැත. හෙතෙම භක්තිමත් හැඟීමෙන් එදෙස බලා සිටියේය. ගරු කටයුතු පියනම දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා අල්තාරය අසලට එන දවස ගැන ඔහු සන්සුන්ව මෙනෙහි කරනවා විය යුතුය. ඇන්තනිගේ සන්සුන් ඉරියව්වට බාධා නොකරමින් මම ඔහු තනා තිබුණු ඇකේෂියා බංකු අතර සැරිසරමින් සිටියෙමි.

මේ අල්තාරය හදන්නෙ මන්නාරම පැත්තෙ පල්ලියකට. ධීවර ප‍්‍රජාව වැඩිපුර ඉන්න නිසා අල්තාරය ඉස්සරහට මාළු දෙන්නෙක් එම්බෝස් කරන්න කියලා ෆාදර් කිව්වා. ඒ මැද්දෙන් පූප බකට් එකකුත් එනවා.

ඇන්තනි දැහැන බිඳ බාගෙට නිමවා තිබුණු අල්තාරයේ සන්ධි ගලපයි. අල්තාරයේ හැඩ බලන අතරම හෙතෙම ඉරි කටුව, බොකු කටුව වැනි උපකරණයක් ගෙන රළු බව අකා මකා දැමෙමින් තිබුණු දැවයෙහි තව පිරිපහදුවක් දෙකක් කරයි. ප‍්‍රසන්න සුවඳක් පැතිරෙයි. අප සිටින්නේ දේවස්ථානයකද යන සිතුවිල්ල වහා ඇතිවෙයි.

ඇන්තනිගේ වඩුමඩුවේ කොයි අත බැලූවත් තිබුණේ භක්තිමත් හැඟීම් දනවන දේවල්ය. සුරුවම්, අල්තාර, දේවස්ථාන සඳහා සකස් කළ පුටු බංකු, බයිබල් ස්ටෑන්ඞ්, ක‍්‍රිස්තුස් වහන්සේගේ අවසන් භෝජන සංග‍්‍රහය දැක්වෙන කැටයම් ආදිය ඒ අතර විය.

මම දැන් වැඩිපුරම කරන්නෙ පල්ලිවල වැඩ. ෆාදර්ලා අවුරුදු පහෙන් පහට පල්ලියෙන් පල්ලියට මාරුවෙලා යනවනෙ. ඉතිං මගෙන් වැඩ ගත්තු ෆාදර් කෙනෙක් වෙන පළාතක පල්ලියකට ගියත් මටම කියලා තමයි වැඩ කරවා ගන්නෙ. මම ඉතිං සාධාරණ මිලක් කියනවා. ඒක ලැබෙනවා. වැඩෙත් හොඳට කරලා දෙනවා.

හැත්තෑ වියැති ඇන්තනි ප‍්‍රනාන්දු අපට හමුවූයේ මොරටුව ඉඳිබැද්දේදීය. තියුණු ඇස් ඇති බිමට නැඹුරු කරගත් වතින් යුතු ඔහු මොරටුවේ පාරම්පරික වඩු කාර්මිකයෙකි. ෆ‍්‍රැන්සිස්කු නම්වූ සීයාගෙන් ලූකස් නම් වූ ඇන්තනිගේ පියාටත්, අනතුරුව ඇන්තනීටත් උරුම වූ එම පරම්පරාවේ ඉතිහාස කතාවද විචිත‍්‍රවත් එකකි. 1945දී උපන් ඇන්තනි අටේ පන්තිය දක්වා ඉගෙන ගත්තේ නැදිමාලේ රෝමානු කතෝලික විද්‍යාලයෙහිය. උදේ පාසලේත් හවස වඩුමඩුවේත් ගෙවුණු ඇන්තනිගේ ජීවිතය ඉක්මනින්ම වඩුමඩුවට පුරුද්දා ගන්නට ඇන්තනි වැඩි කාලයක් ගත කළේ නැත.

ලීයක් හරි ලෑල්ලක් හරි කපන කොට වරදින්න බැහැ. නොවරදින්න වැඩ කරන එක ගැනයි මම මුලින්ම ඉගෙන ගත්තෙ. කැටයම් වගේ දේවල් කපන්න ඉගෙන ගත්තෙ නිකම් ඉන්න වෙලාවට පිටපලූ කෑල්ලක කැටයම් කපලයි. අපේ සීයා පුටු හදපු නවසිය විසි ගණන්වල පුටුවක මිල ශත 60යි. මම පුටු හදපු 61-62 වගේ කාලෙ කැරකෙන පුටුවක් මම වික්කෙ 62.50ට. ලීය තේක්ක.

පාප් වහන්සේට පුටුවක්

ඇන්තනිගේ පියා ලූකස් ප‍්‍රනාන්දු 1953දී බි‍්‍රතාන්‍යයේ මහ රැජිනට පුටුවක් හැදුවේය. 1995දී ඇන්තනි පාප් වහන්සේට පුටුවක් හැදුවේය. ඇන්තනි පාප් වහන්සේට පුටුව හැදුවේ කොටහේනේ ශාන්ත ලූසියා දේවස්ථානයේ පැවති උත්සවයේදී අසුන් ගන්නටය. ඇන්තනිට වැඬේ භාර දුන්නේ එවකට බිෂොප් හවුස්හි වැඩ වාසය කළ හැරල්ඞ් ඇන්තනි පෙරේරා පියනමය.

පාප්වහන්සේ වෙනු වෙන් හදන පුටුවක් උන්වහන්සේගේ පාවිච්චි යෙන් පසුව යළි කිසිවකුත් භාවිත කරන්නේ නැත. එය කෙළින්ම යන්නේ මෙවැනි උත්තර මෙවලම් එක්රැුස් කරන රාගම තේවත්තේ කාදිනල් තෝමස්කුරේ කෞතුකාගාරයටය.

පෝප්ට හදපු පුටුව ඕලන්ද වඩු ශිල්පයේ ආභාසයෙන් කළ එකක්. ග‍්‍රීන් ලින්ටන් යන නම යෙදෙන්නක්. ඇණ අඩුවෙන් පාවිච්චි කරලා වැද්දීම්වලින් පුටුව හදන්නයි මම උත්සාහ කළේ. බිෂොප් හවුස් එකේ කෑම මේසෙට මම හැදුවෙ රොකොකෝ වර්ගයේ පුටු. මේ වතාවෙ ෆ‍්‍රැන්සිස් පාප්තුමාට පුටුව හැදුවෙත් මොරටුවෙ වඩු බාස් කෙනෙක්.

70 දශකයේ ඇන්තනි හැදූ අටපට්ටම් මේසයක්. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා භූමියෙහි ප‍්‍රදර්ශනයකට තබා තිබුණි. එහි විශේෂත්වය වූයේ කළුවර, කොස්, බුරුත, නැදුන්, පොල්, තේක්ක ආදී වශයෙන් ලී වර්ග අටකින් මේසය සමන්විත වීමය. එම සියලූම වටිනා ලී වර්ග දිගු ත‍්‍රිකෝණාකාර කොටස් වශයෙන් මේසයේ මැද දැව රවුමකට සවි වී තිබුණි.

උත්සවේ බලන්න ආපු අගමැතිවරිය ඒ ටේබල් එක දැකලා මගෙන් ඇහුවා මේක විකුණනවද කියලා. උත්සවය ඉවර වෙලා මම ඒක මැතිනියගෙ රොස්මීඞ් ගෙදරටම ගිහින් දුන්නා. එතුමියගෙන් මට රු. 35,000ක් හම්බ වුණා.

රැජිණට පුටුවක්

බි‍්‍රතාන්‍ය මහ රැජිණ ලංකාවට සම්ප‍්‍රාප්ත වූයේ 1953දීය. ඇන්තනිගේ පියා ලූකස් ප‍්‍රනාන්දු ලීබඩු ව්‍යාපාරික ඒ.ටී. කුරේගේ මිතුරෙකි. ලූකස් නමැති නිර්මාණකරුවාට රැුජිණට තිළිණයක් ලෙස ලබාදිම සඳහා විශේෂිත පුටුවක් නිර්මාණය කරදෙන ලෙස ඇනවුම භාර දෙන්නේ ඒ.ටී. කුරේලාය. තාත්තා රැුජිණගෙ පුටුව හැදුවෙ තේක්කවලින්. ඒක කත්තමල්ලි ගහලා හදපු පුටුවක්. කෑලි ගලවලා නැවත පහසුවෙන් ෆිට් කරන්න පුළුවන්. පුටු ඇන්දට කකුලට, තට්ටුවට ආදී වශයෙන් කෑල්ලෙන් කෑල්ලට අංක දැම්මා. ලේසියෙන් ඕනම කෙනෙකුට පුටුව ගලවලා ආයෙ හදාගන්න පුළුවන්. පුටුව මහ රැුජිණ එංගලන්තයට අරන් ගියේ ඒ විදියට. මේ වැඬේට ඒ.ටී. කුරේලාට රැජිණගෙන් සම්මාන පවා ලැබුණා. වැඬේ කරපු තාත්තට මොකුත් නැහැ. කුරේලාගේ ව්‍යාපාරික ස්ථානයක අදත් ඒ පුටුවෙ ලොකු කරපු පින්තූරයක් එල්ලලා තියෙනවා. මේ අවුරුද්දෙ ලංකාවට ආපු ෆ‍්‍රැන්සිස් පාප්තුමාට පුටුව හදපු වඩු බාස්ටත් ඒ වගේ දෙයක් වුණා. නම ගියේ වෙන ආයතනයක. හම යන්නෙ අපේ දුප්පත් වඩුවගෙ.

ඇන්තනිලාගේ වඩු කර්මාන්තය අතිශයින්ම නිර්මාණශීලීය. මවකට පහසුවෙන් කුඩා බිළිඳෙකුට කිරි දීමට පහසුවන ආකාරයේ පුටුවක් ඇන්තනි නිර්මාණය කර තිබුණි. වේවැල් කැඞී ඇති එම පුටුව ඔහු නැවත ප‍්‍රතිනිෂ්පාදනය කර නැත.

ඒ හැරුණු විට ඔහු පුටු සම්බන්ධ තවත් බහුවිධ නිර්මාණ කෙරෙහි උනන්දු වී ඇති බවක් පෙනුණි. ඉන් එකක් වූයේ අශ්ව කකුලක හැඩය ගත් ඉදිරි කකුල් සහිත තරමක් උසැති පුටුවකි. ‘මේකෙදි අනුරූ කරගත්තෙ අශ්ව කකුලම තමයි. හැබැයි අශ්ව කකුලේ හැඩය ගනිද්දී සෑහෙන්න ලීය කැපිලා අහක යනවා. ඒ සමහර නිර්මාණ වියදම් අධික නිසා දැන් කරන්න බැහැ.

ඇන්තනි කතාබහ අතරතුර ගෙතුළට ගොස් හැඩ වැඩ දැමූ තවත් පුටුවක් ගෙනාවේය.
මේකත් ඕලන්ද ආකෘතියේ ග‍්‍රීන් ලිප්ටන් පුටුවක්. ඇත්තටම මේවා අද කාලෙ හදන්නෙ නැහැ, වියදම වැඩි නිසා. අපේ තාත්තලගෙ කාලෙ මේ හැම බීරලූවක්ම හැම කැටයමක්ම හැඩයක්ම කැපුවෙ අතින්. ලී ඉරුවෙ අතින්, නැත්නම් පලංචියෙ නැගලා. දඬු කඳේ ගහල වැඩ කළා. මට මතකයි ඒ දවස්වල සතියක්ම මහන්සි වෙලත් හදන්න පුළුවන් පුටු හයයි. ඇන්තනීගේ ගෙදර ආලින්දයේ පසෙක සහතික හා සම්මාන රැුසකි. පසෙක වීදුරු රාමුවක් සහිත පුවත්පත් ලිපියකි. ඒ මීට වසර 18කට පමණ පෙර ඔහු ගැන සුනිල් ගාමිණී රාවයට ලියූ ලිපියකි. ඇන්තනි සිය ලී වැඩ කලාව වෙනුවෙන් ජනාධිපති සම්මාන දිනාගත්තකු වන අතර ජාතික ශිල්ප සභාවද අවස්ථා ගණනාවකදී ඔහු අගයා ඇත.

මොරටුව වැඩ බිම

මොරටුවේ මහ කැලෑ නැත. කැලෑ නැතත් බැලූ බැලූ අත මහා ලී කඳන් ඇත්තේ මොරටුවේය. මොරටුවේ වඩු කර්මාන්තයට ඇත්තේ එම කර්මාන්තය විෂයෙහි නිජබිමක් නොවේ. ඊට ඇත්තේ වෙනත් පදනමකි. විශේෂයෙන්ම මෙරට ඕලන්ද පාලන කාලවකවානුවේදී කොළඹ නගරයක් ලෙස වර්ධනය විය. කොළඹ ව්‍යාපාර හා මහජන කේන්ද්‍රීය නගරයක් බවට පත්කිරීම සඳහා ආසන්න ප‍්‍රදේශවලින් විවිධ සැපයීම්ද අවශ්‍ය විය. කැලණියෙ උළු හැදෙන්නේ ඒ අනුවය. පැපිලියාන ප‍්‍රදේශයෙහි වළං නිෂ්පාදනය කැරිණි. වෑබඩ යකඩ කර්මාන්තය ඇරඹිණි. මොරටුවේ වඩුවැඩ කර්මාන්තය ඇතිවන්නේත් ඒ අනුවය. කොළඹට ලී බඩු සැපයීම මොරටුවේ ප‍්‍රධාන කර්මාන්තය විය. සැබැවින්ම පෘතුගීසි බලපෑමෙන් පසුව මොරටුවේ ශේෂවන්නේ ධීවර ප‍්‍රජාවකි. ඔවුන්ට ධීවර කටයුතු හැරුණු විට කෘෂිකර්මාන්තය කළ නොහැකිය. මෙම ධීවර ප‍්‍රජාව වෙනත් වෘත්තීන්වලට මාරු වන අතර වඩු කර්මාන්තයට මාරුවූයේද ඔවුන් ලෙස සැලකිය හැකිය. අනික් වැදගත් කරුණ වන්නේ ලංකාවේ පැරණි ග‍්‍රාම සංකල්පයට ෆර්නිචර් යන්න අවශ්‍ය නොවීමය. තරමක් දියුණු ගැමි ගෙදරක් ගොඩ නගනවිට සාමාන්‍යයෙන් වහල හා ජනේල, දොරවල් සෑදීම සඳහා කපන ගස්වලින්ම නිවසට අවශ්‍ය සීමිත බඩු භාණ්ඩ එනම් මේසයක් පුටුවක් ඇඳක්, කොලොම්බු කොටයක් සකසා ගැනීම සාමාන්‍ය ක‍්‍රමයයි. එහෙත් ලංකාවේ ජනයා නිවසක් සෑදීමෙන් පසු විසිතුරු ගෘහ භාණ්ඩ ගැන වෙනම සිතන්නට උනන්දු වූයේ නාගරීකරණය සමගය. ඒ අනුව කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ නාගරීකරණයට බඳුන්වීමත් සමග මොරටුවේ කුඩාවට පටන් ගත් වඩුු කර්මාන්තයට දැවැන්ත ඉල්ලූමක් ඇතිවුණා වන්නට පුළුවන.

අපට මොරටුවේදී හමුවූ 80 හැවිරිදි අප්පුහාමි මාමා කීවේ හතළිස් ගණන්වල ඉඳිබැද්ද ආශ‍්‍රිතව ගංතොටුපළ හතරකින් මොරටුවට කඳන් ප‍්‍රවාහනය කැරුණු බවය. කොටන් ආවෙ රත්නපුරෙන් උණ ලී පහුරට මැදි කරගෙන කොටන් ගඟ දිගේ පාකරගෙන මේ ගං තොටවල්වලට එනවා. බරබාගෙන් කොස් කඳන් ගෙනත් මඩුවට දාන්නෙ රු. 10.50ට. අද ඇඟිල්ලක් ගහන්න බැරි තරමට මොරටුවෙ වඩු මඩු. ගෙවල්වලත් වඩු වැඩ. ඒ කාලෙ මඩු කීපයයි තිබුණෙ.
මොරටුවේ වඩු කර්මාන්තය නාගරික ජනයාගේ අවශ්‍යතා සමග වැඩි දියුණු වූ වග ඉන් පැහැදිලිය. අප්පුහාමි මාමා වඩු කර්මාන්තය තුළ ඕල් රවුන්ඩර් කෙනෙකි. කැබිනට් හෝ පුටු මේස පමණක් හදන්නකු නොවේ. ඔහු අපට හමුවූයේද හීන් අඩියක් ගහන්නට ගොස් පැමිණවිත් සිටියදීය. අප්පුහාමි මාමා වසර 65ක් කර්මාන්තයේ නියුතු වුවත් විශේෂ ආර්ථික දියුණුවක් අත්පත් කරගත්තකු නොවේ. ඒ ඇයි කියා අප ඇසූ ප‍්‍රශ්නයට හෙතෙම කීවේ හම්බ කළා, වියදම් කලා ඒ ගැන හිතේ දුකක් නැහැ කියාය. ඒ සමහරවිට වෙනත් වෘත්තීය ලෝකයක සිට මෙම කර්මාන්තයට අතරමැදින් පැමිණි ප‍්‍රජාවකගේ ගති ස්වභාවය විය හැකිය. පරම්පරාවක් සිය පළමු වෘත්තියට දක්වන ආදර සම්බන්ධය තරම් දෙවැනි තෝරා ගැනීම කෙරෙහි ආදර බර නැතැයි කියන්නට තරම් අපි සැහැසි නොවෙමු. ඇන්තනීලා තරම් නිර්මාණාත්මක වෘත්තීය තත්ත්වයක් ගැන නොතකා මුදල් හරිහම්බ කිරීම පසුපස හඹා ගිය මොරටුවේ ඇතැම්හු ෆර්නිචර් හවුස් නමැති සාප්පු සංකීර්ණ ගොඩනැගූහ. මොරටුවේ වඩු කර්මාන්තයට ඇත්තේ මේ දෙක අතර දෝලනය වන වෘත්තීය දිවියකි. ඇන්තනි මෙන් විධිමත්ව වැඩ නොකළත් ලී කැබැල්ලක් අතට ගත් මොරටු පුත‍්‍රයකුට දෛනික වියදම උපයා ගත හැකිය. මේ කර්මාන්තයේ වර්තමාන තානය එයයි.
(ප‍්‍රවීණ චිත‍්‍රපට සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහතාට සහ ව්‍යාපාරික ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාට රාවයේ ස්තුතිය හිමිවේ.)