Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය

යාපනේ මැතිවරණය පටන් ගන්නා විට….

කුසල් පෙරේරා  ( යාපනයේ සංචාරයකින් පසු)

නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනයේ යාපනය නගරයේ එවැනි සිදුවීමක් වෙතැයි දැන ගැනීමට කිසිදු හෝඩුවාවක් නොතිබිණ. සාමාන්‍යයෙන් නගරයක දකින කලබලය හැර වෙනත් කිසිවක් නොතිබිණ. බස් නැවතුම්පල හා මහ රෝහල අවට තාප්පවලත් රෝහල පාරේ තැනින් තැනත් ඩග්ලස් දේවානන්දගේ පෝස්ටර අලවා තිබිණ. ඉඳහිට දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පෝස්ටර ඔහුගේ පියා වන කුමාර් පොන්නම්බලම්ගේ පිංතූරයක් සමග දැකිය හැකි විය. ඒ අතරතුර ‘දේශයේ හෘදය සාක්ෂිය’යැයි ජ.වි.පෙ විසින් අලවා තිබූ ඔවුන්ගේ සිංහල සහ දෙමළ පෝසටර අහම්බෙන් මෙන් දුටුවෙමි. මනිපායි-කරෙයිනගර් පාරට ගොඩ වන විට එ.ජා. පක්ෂයෙන් තරග වදින විජයකලා මහේස්වරන්ගේ පෝස්ටරද තිබිණ.
නාම යෝජනා බාර ගැනීම යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සිදු කෙරෙන බව තේරුම් ගියේ ඒ අවට ආරක්ෂක සේවා යොදවා තිබුණු හෙයින් පමණි. එයද එතරම් දැඩි ආරක්ෂාවක් නොවුණි. එදින හවස හමුවන්නට දහවල් 2ට පමණ දුරකතනයට කතා කරන්නටයැයි දෙමළ මාධ්‍යයේ ප‍්‍රවීණයෙකු වන විත්‍යාදරන් මට දන්වා තිබුණි. කියූ පරිදි ඒ වේලාවට කතා කළද ඔහුගේ ජංගම දුරකතනය අක‍්‍රිය කර තිබිණ.

නාම යෝජනා සම්බන්ධ විරෝධතා ඉදිරිපත් කිරීම පස්වරු 1.30ට නිම කිරීමෙන් පසු බාර ගන්නා හා නොගන්නා නාම යෝජනා ලේඛන පිළිබඳ අවසන් තීන්දු පස්වරු 2 වන විට ලැබෙතැයි අදහසක් විය. එහෙත් ඒ කාර්යය ඒ වනවිටත් අවසන් නොවුණු බව තේරුම් ගතිමි. එනිසා මම කලින් යොදා ගෙන තිබූ පරිදි යාපනය නගරයේ සිට කිමී 20ක් පමණ දුර ග‍්‍රාමයක් වන උතුරු පළාත් සභා මන්තී‍්‍රනි ආනන්දි සසිදරන් පදිංචිව ඉන්නා චුලිපුරම් වෙත ගියෙමි.
ඇය සමග කළ විස්තරාත්මක කතාබහෙන් පසු යළි යාපනය බලා එන අතරතුර විත්‍යාදරන් මට කතා කළේය. ඔහුගේ දුරකතනය අක‍්‍රිය කර තැබීම ගැන හේතු දක්වමින් ඔහු කීවේ, දෙමළ ජාතික සන්ධාන නාම යෝජනා පිළිබඳව ඉදිරිපත් වූ විරෝධය නිසාවෙන් වැඩි කාලයක් ගත වූ බවය. දෙමළ ජාතික සන්ධානයයැ’යි කියූවත් ඔවුන් නාම යෝජනා නිල වශයෙන් බාර දෙන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි නමින් ය. නාම යෝජනා ලේඛනයේ එම නම වැරදියට ලියා තිබී එය මාවෙයි සේනාතිරාජා විසින් කපා නැවත නිවැරදි කිරීම විරෝධයට හේතු වී ඇත. සියලූ අපේක්ෂකයන් අත්සන් කළ පසු එය කපා වෙනස් කිරීමේ බලයක් මාවෙයි සතුව නැති බව විරෝධතාවේ තර්කය වී ඇත. එහෙත් නිලධාරීන් විසින් විශේෂ සැලකිල්ලක් දක්වා සුමන්තිරන් සමග කෙරුණු කතාබහකින් පසු එය පිළිගැනීම නිසා දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයෙහි විශාල ආරවුලක් වූ බවත් එනිසා ඔහු ප‍්‍රමාද වූ බවත් විත්‍යාදරන් පැවසීය. එබැවින් සවස් වරුවේ 6ට ඔහු හමුවන්නට යොදා ගතිමි.

අපි ත‍්‍රස්තවාදීන් නෙවෙයි  | ආනන්දි

anadi

ඉතා සරල හා චාම් ජීවිතයක් ගෙන යන බවට ඕනෑ තරම් සලකුණු තිබූ ආනන්දිගේ නිවසෙහිදී ඉතා සැහැල්ලූවෙන් හා විවෘතව ඇය මා සමග කළ අදහස් හුවමාරුව මෙවැනිය.

මැතිවරණයට තරග කිරීම

මම නාම යෝජනා ඉල්ලූවේ යාපනය දිස්ති‍්‍රක්කයට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන්නයි. දෙමළ ජාතික සන්ධානයෙන් කිව්වට නාම යෝජනා අත්සන් කරන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්වි (ඉංගී‍්‍රසි අකුරු අනුව පහසුවට හඳුන්වනු ලබන්නේ ‘ඉටාක්‘ යනුවෙනි) ප‍්‍රධාන ලේකම්. ඒගොල්ලන් මට නාම යෝජනා දෙන්න කැමති වුණේ නැහැ. මම පළාත් සභාවට තරග කෙරුවෙත් දෙමළ ජාතික සන්ධානය නමින්. නමුත් මට පක්ෂයක් නැහැ. දෙමළ ජාතික සන්ධානයේ අනෙක් පක්ෂ, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රගේ ඊ.පී.ආර්.එල්.එෆ් සහ ප්ලෝට්, ටෙලෝ වගේ පක්ෂ මට නාම යෝජනා දෙන්න කැමති වුණා. නමුත් ඉටාක් කැමති වුණේ නැහැ, ගජේන්ද්‍ර කුමාර්ගේ පක්ෂය එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ඉතිං මම ස්වාධීන ලැයිස්තුවකින් තරග කරන එක ගැන ගෙඩාක් හිතුවා. නමුත් දෙමළ සන්ධානේ අනෙක් පක්ෂ හිතවත් නිසා මම ඒ තීරණය අත හැරියා.

මම තාම දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරියක්. ඒක මට අත හරින්න බැහැ. ඒ නිසා මම මේ මැතිවරණයට තරග කරන්නේ නැහැ. ඉටාක් නායකයන් මාව කැපුවාට, මම දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්තී‍්‍රවරියක් හැටියටත් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් හැටියටත් ඉටාක් නියෝජනයක් යාපනය දිස්ති‍්‍රක්කයේ තහවුරු කරන්න මට පුළුවන් විදියට වැඩ කරනවා. ඒක අපට අවශ්‍යයි මේ මැතිවරණයේ.

ජනාධිපතිවරණයේ ඡන්ද වර්ජනය එහෙනම් ?

මම ජනාධිපතිවරණය වර්ජනය කරන්න කියලා දෙමළ ජනතාවට කිව්වේ නැහැ. මම කිව්වේ මම වර්ජනය කරනවා කියලා. ඒක මාධ්‍ය තමයි වැරදි විදියට දැම්මේ. මට මහින්ද රාජපක්ෂ සහ මෛතී‍්‍රපාල සිරිසේන අතර වෙනසක් නැහැ. මම දෙන්නටම ඡුන්දෙ දෙන්නේ නැහැ කිව්වා. මෛත‍්‍රීපාල ඇමති රාජපක්ෂ ආණ්ඩුවේ දිගටම හිටිය ප‍්‍රධාන ඇමතිවරයෙක්. ආරක්ෂක ඇමති හැටියට වැඩ බලන්න රාජපක්ෂ වෙන කාටවත් දුන්නේ නැහැ. දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේනට විතරයි. ඉතිං අපට ඒ ආණ්ඩුවේ හිටිය ඒ වගේ නායකයන් හොඳයි නරකයි කියලා බෙදන්න බැහැ. ඒ නිසා මම ජනාධිපතිවරණය වර්ජනය කෙරුවා. ජනතාව අතර එහෙම වර්ජනයක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. එහෙම අවශ්‍ය වුණා නම් ජනතාව අතර සාකච්ඡුා රැුස්වීම් තියලා ඉල්ලීම ඉදිරිපත් කරනවා. මම එහෙම කළේ නැහැ.

දෙමළ ජාතික සන්ධානය එක්ක ඇති මතභේදය?

දෙමළ ජාතික සන්ධානය මම ප‍්‍රශ්න මතු කරනවාට කැමති වුණේ නැහැ. මම එක එක සංවිධාන සමග ගනුදෙනු කරනවාටත් කැමති වුණේ නැහැ. ඒක කරන්න එපා, ඒවට යන්න එපා, ඒ ප‍්‍රශ්න දැන්ම ගන්න එපා කියලා හැම තිස්සෙම මට කිව්වා. මම ජිනීවා යනකොටත් මට කිව්වා දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය ගැන කතා කරනකොට දෙමළ ජන සංහාරයක් ගැන කතා කරන්න එපා කියලා.

ජනවාරි 8න් පස්සේ යම් සහනදායි තත්ත්වයක් තිබේද?

අපට නම් එහෙම පිළිගන්න බැහැ. අපේ ප‍්‍රශ්න එහෙමමයි. යන්න එන්න නිදහසක් කතා කරන්න නිදහසක් තියෙනවා කියලා ඔබ කියනවා නම්, ඒක අපි රාජපක්ෂගේ කාලෙත් බලෙන් හරි කෙරුවා. නිදහස ලබා ගන්න අපි දිගටම සටන් කළ ජනතාවක්. අපට මේ නිදහස කියන්නේ උත්තර නැති නිදහසක්. ඒ නිසා මේක තාවකාලික තත්ත්වයක් කියලා තමයි මම හිතන්නේ.

දේශපාලන වශයෙන් ඉදිරිය ගැන

මම දීර්ඝකාලීන දේශපාලනයක් ගැන බලාපොරොත්තු ඇතිව ආවේ නැහැ. මට දේශපාලන පක්ෂයක් නැහැ. ඒ නිසා ලොකු හයියක් නැහැ. දේශපාලන පක්ෂයක් ගොඩනගන ඒක හදිස්සියේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අනික මේ දේශපාලනය කරන්න මට අමාරුයි. ජනතාවට බොරු කියන්න රවටන්න වෙනවා. දැනට දේශපාලන පක්ෂ කරන්නේ මන්තී‍්‍ර ආසනවලට පොරකන එකයි. ජනතාව එක්ක ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාව දැනුවත් කළ යුතුයි කියලා මම හිතනවා. ජනතාව එක්ක වැඩ කළ යුතුයි. යුද්ධයෙන් විනාශ වුණ ජනතාවක් එක්ක වාර්ගික සාමය ඇති කරගැනීම පහසු නැහැ. ඒ වෙනුවෙන් ස්ථාවර විසඳුම් අවශ්‍යයි. ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ.

ස්ථාවර විසඳුම් පමණක් නෙවෙයි. අපි එදිනෙදා ප‍්‍රශ්න ගැන කතා කළොත් ජීවත් වෙන්න ආදායම් මාර්ග ගැනවත් කතා නැහැ. යුද්ධයෙන් විශාල අතවරවලට ලක්වුණ ජනතාවක් හැටියට මානසික ගැටලූ තියෙනවා. අතුරුදහන්වීම් තියෙනවා. වැන්දඹුවන් ඉන්නවා. හමුදාව අත්පත් කරගත්ත ඉඩම් ප‍්‍රශ්න තියෙනවා. ඉතිං දීර්ඝකාලීන උත්තර අවශ්‍ය වගේම මේ වගේ දෛනික ප‍්‍රශ්න සඳහාත් උත්තර ඉක්මණින් අවශ්‍යයි. මම කතා කරන්නේ ඒවා ගැන. මම තවදුරටත් ඒවා ගැන කතා කරනවා. ජනතාව එක්ක ඒවාට උත්තර ලබා ගන්න සටන් කරනවා. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගන්න පිරිසක් ඉන්නවා. ඒවා ගැන කතා කරන්න කැමති සිංහල අය ඉන්නවා. ඒ අය එක්කත් ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹට ඇවිත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

පළාත් සභාවේ උත්තර

මම සාමාන්‍ය මන්තී‍්‍රවරියක් විතරයි. ඔබ කියන අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, සමාජ සේවා, සමුපකාර වගේ විෂයන් බාර ඇමතිවරුන් ඉන්නවා. නමුත් ඒ අයගෙන් කිසිවක් කෙරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් තවමත් කාන්තා හා ළමා ප‍්‍රශ්න ගැන අපේ සැසිවාරයක් තියලා නැහැ. කාන්තා හා ළමා ප‍්‍රශ්න පිළිබඳ වගකීම කලින් බාර ගෙන තිබුණේ මහඇමති. මහඇමතිට ඉතා අධික වගකීම් හා වැඩ ප‍්‍රමාණයක් ඇති නිසා ඒ විෂයන් සෞඛ්‍ය ඇමතිට බාර දුන්නා. සෞඛ්‍ය ඇමති මාධ්‍යයට කියලා තිබුණා ඒවා මට බාර දුන්නයි කියලා. නමුත් අද වනතෙක් මට කිසිම ලිඛිත දැනුම්දීමක් නැහැ. මගේ වගකීම් මොනවාද, සීමාවන් මොනවාද, මට පැවරෙන බලය කුමක්ද කියලා කිසිම දෙයක් නැති නිසා මට කිසිම ආයතනයක් එක්ක රාජකාරි ගනුදෙනු කරන්න බැහැ.

ඇත්ත කාරණාව තමයි ඇමතිවරුන් හරියට වැඩ කරන්නේ නැති එක. රැුස්වීම්වලට ආවාම එක එක්කෙනා අනුන්ගේ අඩුපාඩුවලට ඇඟිලි දිග් කරනවා. නමුත් වැඩ කෙරෙන්නේ නැහැ. මේ වනවිට කාරණා 218 ක් සම්බන්ධව පළාත් සභා මන්තී‍්‍රවරුන් ලිඛිත දැන්වීම් කරලා තියෙනවා. නමුත් එයින් කාරණා 3කට විතරයි ඔවුන්ගේ අවධානය ලැබිලා තියෙන්නේ. ඒ නිසා පොදුවේ කලකිරීමක් තියෙනවා.

රාජපක්ෂ කාලේ සහ දැන් පළාත් සභාව අතර වෙනස

ඉස්සර මේජර් ජනරාල් චන්ද්‍රසිරි නරකයි දැන් පලිහක්කාර මහත්තයා හොඳයි කියන්නේ අපි නෙවෙයි. සිංහල දකුණේ අය. ඉස්සර චන්ද්‍රසිරි ඉන්නකොටත් එයා පළාත් සභාව එක්ක ගනුදෙනු කළා. ඇමතිවරුන් හමු වුණා. එයා අකමැත්තක් තිබුණේ මට විතරයි මම හිතන්නේ. දැන් ඉන්න ආණ්ඩුකාරවරයා හැමෝම එක්ක හොඳයි. හමුවෙන්න පුළුවන්. නමුත් වෙන වෙනසක් කියන්න නැහැ.

ගැටලූව ඇත්තේ කොතැනද?

මහඇමති ඉතාම හොඳ මනුස්සයෙක්. අවංක මනුස්සයෙක්. නමුත් දක්ෂ කළමනාකරුවෙක් පරිපාලකයෙක් නෙවෙයි. ඇත්ත ගැටලූව තියෙන්නේ ඇමතිවරුන් වැඩ කරන්නේ නැති එකෙයි. අපි ජනතාව එක්ක කතාකළාම චෝදනා තියෙන්නේ ඇමතිවරුන්ට. ඒ අය කරන්නේ මොනවද කියලා ජනතාව දන්නේ නැහැ. ජනතාව චෝදනා නගන්නේ ඒ අය කම්මැලියි දූෂිතයි කියලා. හේතුව තමයි, අපි කිව්වොත් අහවල් විදුහල්පති මාරු කරන්න අවශ්‍යයි කියලා අධ්‍යාපන ඇමති කියනවා එයාට ඒකට බලයක් නැහැ කියලා. නමුත් එයාට අවශ්‍ය වැඩක් කරන්න එයා ඕනෑ තරම් බලය යොදා ගන්නවා.
පළාත් සභාව කිසිම කාරණාවක් පිළිබඳව තොරතුරු දත්ත එකතු කරලා නැහැ. අතුරුදහන්වීම්, වැන්දඹුවන්, ඉඩම් ආරවුල් වගේ කාරණා පිළිබඳව සියලූ තොරතුරු දත්ත එකතු කරලා සිතියමක් හදන්න තිබුණා ප‍්‍රදේශ අනුව ඒවා හඳුනා ගන්න. එහෙම මොනවත් කරන්නේ නැහැ. පළාත් සභාවට ඕනෑ තරම් වැඩ තියෙනවා කරන්න. කරන්නේ නැති එකයි ප‍්‍රශ්නය.

මගේ තියෙන වෙනස ඒකයි. මම ඒවා ප‍්‍රශ්න කරනවාට ඒ අය කැමති නැහැ. මාත් එක්ක වාද පටන් ගන්නේ ඒවා ගැන අහන නිසා.

මේ මැතිවරණය ගැන

මේ මැතිවරණයේ රනිල් කතා කරන්නේ ආණ්ඩුවක් හදන්න. එයා දෙමළ ජාතික සන්ධානයටත් කතා කරනවා. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් බලාගෙන ඉන්නේ ආණ්ඩුවට හවුල් වෙලා ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. නමුත් රනිල් ගැන විශ්වාස කරන්න අමාරුයි. එයා අපිට කතා කරන්න අමාරු වෙන විදියට තමයි ජාත්‍යන්තර තත්ත්වය හදන්නේ. එහෙම තමයි අපිට පේන්නේ මේ මැතිවරණය.

දකුණේ ජනතාවට කියන්න තියෙන්නේ

මම එල්.ටී.ටී.ඊ නෙවෙයි. මම එල්.ටී.ටී.ඊ උණා නම් ගෝඨාභය මාව තියන්නේ නැහැ. මම රස්සාව කළේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. කළමනාකරණ සහායකයෙකු හැටියට. මම දිස්ති‍්‍රක් තුනක වැඩ කරලා තියෙනවා.

අත්අඩංගුවට අරගත්ත, හමුදාවට බාර වුණ හැමෝම ආණ්ඩුව හෙට නිදහස් කළොත් මම පළාත් සභා මන්තී‍්‍රකමෙනුත් අස්වෙලා ගෙදර වැඩ බලාගෙන ඉන්නවා. මට ගැහැනු දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඉතිං මට ඒ අයත් බලාගෙන සමාජ සේවයත් කරගෙන ඉන්න පුළුවන්.
සිංහල ආණ්ඩු අපට කරලා තියෙන අසාධාරණයට වරදවලට සමාව දෙන්න බැහැ. 83 කළු ජූලියේ අත්දැකීම් මට පෞද්ගලිකව තියෙනවා. නමුත් මම සිංහල ජනතාවට වෛර කරන්නේ නැහැ. මම සිංහල ජනතාවට කියන්නේ දෙමළ ජනතාව ආයුධ අරගෙන නිදහස වෙනුවෙන් සටන් කළේ ඇයි කියන කාරණාව තේරුම් ගන්න කියලා. අපට වුණ අසාධාරණය තේරුම් ගන්න කියලා මම සිංහල ජනතාවට කියන්නේ. අපි ඉල්ලන සාධාරණ ඉල්ලීම් සහ නිදහස ගැන හිතන්න කියලා. අපි ත‍්‍රස්තවාදීන් නෙවෙයි කියලා මම කියනවා.

මේ අය දැන් ගලක් ගහන්නෙවත් නැහැ  |විත්‍යාදරන්

vithyadaran

නඬේසපිල්ලෙයි විත්‍යාදරන් දෙමළ මාධ්‍යයෙහි ප‍්‍රවීණයෙකි. ඔහු කලක් යාපනයේ උදයන් පුවත් පතෙහිත් පසුව සුඩර් ඕලි පුවත් පතෙහිත් කර්තෘ ලෙස සේවය කළ මාධ්‍යවේදියෙකි. සුඩර් ඕලි පුවත් පතෙහි කර්තෘව සිටියදී 2009 පෙබරවාරියේදී ඔහුව සන්නද්ධ කල්ලියක් විසින් ගල්කිස්සේදී පැහැරගනු ලැබිණ. ඔහු පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණැයි පසුව ප‍්‍රකාශ කෙරුණි. දෙමසකට පමණ පසු ඔහු නිදහස් කරනු ලැබිණ. අනතුරුව මාධ්‍යවේදයෙන් විශ‍්‍රාම ගත් ඔහු මෙවර මැතිවරණය සඳහා රාජපක්ෂ ආාණ්ඩුව විසින් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන අපේක්ෂක ලැයිස්තුවක් තමාගේ නායකත්වයෙන් ඉදිරිපත් කර ඇත. ඔහු සමග ඒ ගැන කෙරුණු කතා බහ මෙවැනි ය.

එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මැතිවරණයට ඉදිරිපත්වීම

මට මේ පිරිස් එක්ක යහපත් සම්බන්ධයක් තිබුණා. මේ මුළු කාලය පුරාම, සන්නද්ධ කල්ලි පහක් හයක් යාපනයේ හිටපු කාලයේත්, ඉන්දීය සාම සාධක හමුදාව ආ කාලයේත් හමුදාව යාපනය පාලනය කළ කාලයේත් සටන් විරාමය කාලයේත් එල්.ටී.ටී.ඊය වන්නිය පාලනය කළ කාලයේත් දැන් යුද්ධයෙන් පසුවත් මම තමයි ඒ හැම කාලයකම හිටිය අයගෙන් බේරිලා ඉන්න එකම මාධ්‍යවේදියා. ඒ කාලවල මේ පාර්ශ්ව අතර ගනුදෙනු කළ එක්කෙනා මමයි. ඒ වගේම, පේ‍්‍රමදාසගේ ඉඳලා චන්ද්‍රිකා, රනිල් සහ රාජපක්ෂ දක්වා සියලූ සාම සාකච්ඡුාවලට මම සහභාගි වෙලා තියෙනවා. ඒවායේ දෙමළ පැත්ත වාර්තාවුණේ මගෙන්.

මුල් කාලයේ ජනාධිපති රාජපක්ෂ සහ ප‍්‍රභාකරන්ගේ අතරමැදියා නැතිනම් තැපැල් පියුන් වුණේ මම. එනිසා මට හොඳ සම්බන්ධයක් තිබුණා.
මගේ හිතේ දිගටම තිබුණා දෙමළ සමාජයේ මේ අභාග්‍ය සම්පන්න ආරවුල විසඳීමට මැදිහත්විය යුතුයි කියලා, අප මාධ්‍යවේදීන් හැටියට ඊට දායක වූ නිසා. ඒ කියන්නේ අපේ වගකීමකුත් තියෙනවා මේ ඇබැද්දියට. 80-90 සිට ගණන් හැදුවොත් යාපනයට ගුවන් විදුලිය රූපවාහිනිය තිබුණේ නැහැ. ඒ කාලේ ඉඳලම පත්තර තමයි තිබුණේ. නීතියෙන් අපට දඬුවම් කරන්න වරදක් කරලා නැහැ. නමුත් ආධ්‍යාත්මිකව බැලූවාම අපේ නම් ගම් උඩින්ම තියෙනවා. ඒ නිසා මේ විමුක්ති අරගලය දිනුවා නම් ඒකේ ගෞරවයටත් අපට අයිතියක් තියෙනවා. ඒ නිසා දැන් එල්.ටී.ටී.ඊය අවසන් කෙරුණාට පස්සේ දෙමළ ජනතාවට මේ වුණ වරද නිවැරදි කරන්න අපට වගකීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ 12,000 ට, මේ අයට මේ රටේ ඉන්න අවස්ථාවක් හදන්න ඕනෑ කියලා මම අවුරුද්දක විතර ඉඳලා කල්පනා කළා. රාජපක්ෂ කාලෙත් දැන් මෛතී‍්‍ර පාලනය ආවමත් මේ අයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට එන්න ඉඩ දීලා තියෙනවා. ඒක නතර කරලා නැහැ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පැමිණීම

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට ආවා. දැන් ඒ අය හොඳින් දේශපාලනය කරනවා. ඒ වගේ මේ අයටත් අයිතියක් තියෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය කරන්න. ඊයේ මේ එක එල්.ටී.ටී.ඊ කාඩර් කෙනෙක් කියනවා, දැන් අපට මේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කළත් කමක් නැහැ, දැන් අපට පිළිගැනීමක් තියෙනවා. හිරේ ඉන්න කොටත් අපි සැකෙන් හිටියේ. තවත් එක්කෙනෙක් එක්ක කතා කරන්න සැකයි. දන්නේ නැහැ එයා හමුදාවට සම්බන්ධද කියලා. නිදහස් වුණාට පස්සෙත් පාරේ කවුරු හරි දැක්කාම ඒ අය යාන්තම් හිනා වෙලා යනවා. අපිව ගණන් ගන්නේ නැහැ. දැන් අපි මේ 25 දෙනෙක් එකට වාඩි වෙලා කතා කරනවා. හිනා වෙනවා. වාද කරනවා. මේ නිදහස අපට හොඳටම ඇති. දැන් අපට මගුල් ගෙදරකට හරි ගිහින් කතා කරන්න පුළුවන් කියලා.
දැන් මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ අය මම ගලක් විසි කළත් ඒ අය ගලක් ගහන්නවත් සූදානම් නැහැ. ඒ ගැන ඒ අයට ඉතා හොඳ පැහැදිලි තීන්දුවක් තියෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ විරෝධය

තාමත් කොටි. ඒක තමයි දෙමළ ජාතික සන්ධානයේ කතාව. ඒ අය කැමති නැහැ වෙනත් අය එනවාට. විශේෂයෙන් මේ තරුණයන් දෙමළ සමාජය වෙනුවෙන් ජීවිත කැප කළ අය. මේ අයට සමාජයේ ගෞරවයක් තියෙනවා. ඒ නිසා මේ අය එනවාට විශේෂයෙන් ඉටාක් කැමති නැහැ. ඒ අයට ඕනෑ හැම කණ්ඩායමක්ම පාලනය කරන්න. ඒකනේ දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි කරන්නේ නැත්තේ.
මේ හිටපු එල්.ටී.ටී.ඊ සටන්කරුවන්ගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් මන්තී‍්‍රවරුන් හැටියට පත් වුණොත් ඒ අය අනෙක් කණ්ඩායම් එකතු කරගෙන මීට වඩා පුළුල් පෙරමුණක් හදන්න ඉඩ තියෙනවා. ඒ නිසා සමහර රටවල් පවා බයයි. එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට ආවාම ඉන්දියාවට සිදුවෙනවා තාම තියාගෙන ඉන්න එල්.ටී.ටී.ඊ තහනමත් ඉවත් කරන්න.

ඉදිරිපත් කරන දේශපාලනය

එකක් ඒ අයට සමාජයේ පිළිගැනීමක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අය ඉතා පැහැදිලිව එක්සත් රටක දේශපාලන විසඳුමකට සූදානම්. වෙනම රාජ්‍යයක් ගැන කතා දැන් නැහැ. දෙමළ සන්ධානය කියන විසඳුම වගේ තමයි මේ අයත් කියන්නේ. ඒ අය ෆෙඩරල් ගැන කතා කරන්නෙත් නැහැ. දෙමළ ජනතාව පිළිගන්න ඕනෑම විසඳුමකට ඒ අය කැමති වෙනවා.

ඔබ දන්නවා මෙහෙ තියෙනවා තව පක්ෂයක් ගජේන්ද්‍ර කුමාර්ගේ පක්ෂය. මම ගරු කරනවා ඒ අයට. මේ තරුණයනුත් ගරු කරනවා. නමුත් ඒ දේශපාලනය මේ තරුණයන්ට අද හරියන්නේ නැහැ. ‘එක රටක දේශයන් දෙකක්’ සටන් පාඨය පුනරුත්ථාපනය වුණ තරුණයන්ට ගැළපෙන දේශපාලනයක් නෙවෙයි. ඒ නිසා තමයි අපි ඒ අයත් එක්ක සාකච්ඡුාවත් නොකළේ. 13 පිළිගන්න, නැත්නම් ඒක වෙනස් කරන්න ජනතාවට අවශ්‍ය නම් මේ අය ඒවාට එකගයි.

අපි වීරකේසරි, උදයන් තිනකුරල් වගේ පත්තරවල දැන්වීම් දැම්මා ජනතාවට අපිත් එක්ක එකතු වෙන්න කියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයකට. මට දවසකට දුරකතන ඇමතුම් 500ක් විතර එනවා. හිටපු එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් පවා කතා කරනවා. ඒ අයව අපි මතු සංවිධාන වැඩට හවුල් කරගන්න බලාපොරොත්තු වෙනවා.

ආරක්ෂක අංශ ප‍්‍රතිචාර ගැන

මේ දැන්වීම් පළකළාට පස්සේ මාව දෙවරක් පලාලිවලට කැඳෙව්වා. මට හොඳට සැලකුවා. ඒ අය දැඩිව විරුද්ධ වුණා. නමුත් මම ඒ අයට පැහැදිලා කළා අපේ කතාව.
මතකද ජනාධිපති රාජපක්ෂ දුම්රියෙන් ආ දවස හින්දු විද්‍යාලයට? එදාම මාව කැඳෙව්වා 51 වන කණ්ඩායම් මූලස්ථානයට. ගෝඨාභය රාජපක්ෂ හමුවන්න. ඒ තමයි ගෝඨාභය මාත් එක්ක හිනා වෙලා මට තේ එකක් දුන්න පළමු දවස. කිහිප වාරයක් අරලියගහ මන්දිරයේ හමුවෙලා තියෙනවා. බලන්නේ හරියට හතුරෙක් දිහා වගේ. එදා බොහොම සුහදව කතාකළා. එයාගේ පළමු ප‍්‍රශ්නය වුණේ මේ අය නැවත ආයුධ ගන්න එකක් නැහැ කියලා ඔබ කොහොමද සහතික වෙන්නේ කියන එක. මම එයාට කිව්වා එක වාරයක් නෙවෙයි දෙවාරයක් ජ.වි.පෙ ආයුධ ගත්තා. ඒ අය නැවත ආයුධ ගන්න එකක් නැහැ කියලා කවුද සහතික දුන්නේ කියලා මම ඇහුවා. මම කිව්වා, ඒ අයව අයින් කරලා තිබ්බොත් රටටම ප‍්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා කලක් යනකොට. වඩා හොඳ විදිය තමයි ඒ අයටත් එළියට එන්න ඉඩ දෙන එක කියලා. මම කිව්වා අපි බලාපොරොත්තු වුණා මේ අය වෙනත් පක්ෂවලට, දෙමළ සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂවලට ඇතුළු වෙයි කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි ඒ අයට ගැළපෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය කියලා. ගෝඨාභය එතකොට කිව්වා, හොඳයි අපි ඒ තීන්දුවට හවුල් වෙන්නේ නැහැ. නමුත් අපි ඒ අයව අණ්වීක්‍ෂයක් යටතේ තියන බව මතක තියා ගන්න කියලා.

තරගය යාපනයට සීමාවූ බව

ආරම්භයේදී මේ පිරිසට අවශ්‍ය වුණා උතුරු නැගෙනහිර හැම දිස්ති‍්‍රක්කයක්ම තරග කරන්න. මම ඒකට කැමති වුණේ නැහැ. මම කිව්වා අනෙක් දිස්තිි‍්‍රත්කවල බහුවාර්ගික ප‍්‍රජාවක් ඉන්නේ. දෙමළ ඡුන්ද කැඩුණොත් ජාතික වශයෙන් දෙමළ නියෝජනය දුර්වල වෙනවා කියලා. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය වුණා වවුනියාවටත් තරග කරන්න. ඒ ගැන අප අතර දීර්ඝ වාදයක් ඇතිවුණා. මගේ මතය වුණේ වවුනියාව දෙමළ ඡුන්ද දෙකට කැඩුවොත් රිෂාඞ්ට තමයි වාසිය යන්නේ කියලා. ඊට පස්සේ යාපනයට විතරක් තරග කරන්න අපි එකග වුණා.

ඒ තීන්දුව අරගෙන අපි කතා කළා දෙමළ ජාතික සන්ධානයට. කෙලින්ම ප‍්‍රතික්ෂේප කළා. සම්පන්තන් කිව්වා අපි ඔයගොල්ලන්ගේ නායකයාට ගරු කරනවා. ඔයගොල්ලන්ගේ කැපකිරීම් අගය කරනවා, ගරු කරනවා, නමුත් 2009 මැයි මාසයෙන් පස්සේ දේශපාලනය වෙනස් කියලා. ඒ නිසා දැන් අපි ඔබලාව ගත්තොත් අපි ජාත්‍යන්තරයත් එක්ක සහ ආණ්ඩුව එක්ක ඉදිරියට කරන වැඩවලට ඒක බාධාවක් වෙනවා කියලා කිව්වා. ඒ නිසා අපි යාපනය දිස්ති‍්‍රක්කයට ස්වාධීන ලැයිස්තුවක් දාන්න තීන්දු කළා.

මැතිවරණයෙන් පසු

මම හිතන්නේ එ.ජා.ප ආණ්ඩුවක් ඇවිල්ලා දෙමළ මන්තී‍්‍රවරුන්ගේ සහාය ඉල්ලූවොත් සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්න, මේ කණ්ඩායම පූර්ණ සහයෝගය දෙන බව මගේ විශ්වාසයයි. දැන් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමකට සූදානම්.

 

තාමත් මත හදන්නේ පත්තර  | ‘උදයන්’ විධායක කර්තෘ පේ‍්‍රම්

uthayan

උදයන් පුවත්පත පසුගිය දසකයක පමණ කාලයේ විඳි වදවේදනා දැක බලා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ යාපනය කාර්යාලයට යා යුතුය. එහි බිත්තිවල වෙඩි වැදීමෙන් හා ග්‍රෙනේඞ් පිපිරීමෙන් විශාල සිදුරු හා කැඞීම් සිදුව ඇත. උදයන් හිමිකරුවන් ඒවා වටා රතු පාටින් ඝනට රවුම් ඇඳ තබා ඇත. උදයන් පුවත්පතේ වර්තමාන විධායක කර්තෘ තරුණයෙකි. ඔහු තේවනායකම් පේ‍්‍රමනාන්ත් ය. මේ ඔහු සමග කළ කෙටි පිළිසඳරකි.

ජනවාරි ජනාධිපතිවරණයෙන් පසු

කලින් තිබුණ තත්ත්වය සමග කතා කළොත් දැන් ටිකක් හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් මගෙන් අහන්නේ දැන් නිදහසක් තියෙනවාද කියලා නම්, මගේ උත්තරය නැහැ.

හේතුව ?

පසුගිය අවුරුදු 10ක පමණ කාලයේ අපේ ආයතනයට ප‍්‍රහාර 30 ක් පමණ එල්ල කෙරුණා. 2012 සහ 2013දීත් අපට ප‍්‍රහාර එල්ල කෙරුණා. ඒ අපරාධකරුවන් තාමත් නිදැල්ලේ. කිසිම ප‍්‍රශ්නයක් නැතුව නිදහසේ යනවා එනවා. ඒ අයට විරුද්ධව පියවර ගන්න තාමත් කිසිම වුවමනාවක් නැහැ. ඒ නිසා අපට කිසිම සහතිකයක් නැහැ අපේ අනාගතය ගැන. ඉතිං මොකද්ද නිදහසක් ගැන කියන්න තියෙන්නේ ?

මාධ්‍ය ගැන

පසුගිය අවුරුදුවල, විශේෂයෙන්ම 2006 සිට අපි මුහුණ දුන්න මර්දනය, දරුණු ප‍්‍රහාර නිසා අපේ ඉතාම හොඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අපට නැති වුණා. සමහරුන්ව මැරුවා. කුමාරදාසන්, කුහදාසන් වගේ අය අපට නැති වුණා. බොහෝ අය රට දාලා ගියා. අපේ බොහෝ දෙනෙක් කැනඩාවේ, ස්විට්සර්ලන්තයේ, එංගලන්තයේ, ප‍්‍රංශයේ ඉන්නවා. උදයන් මාධ්‍යවේදීන්ම 15කු ප‍්‍රංශයේ ඉන්නවා. ඒ නිසා අත්දැකීම් තියෙන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් අපට මෙහේ දැන් නැහැ. දැන් අපට ඉන්නේ තරුණ කිහිප දෙනෙකු විතරයි.

මේ ක්ෂේත‍්‍රයට අලූතින් තරුණ තරුණියන් දැන් එන්නේ නැහැ. අපි කතා කරන තරුණ අය කියන්නේ, ඒ අය කැමති වුණත් දෙමාපියන් විරුද්ධයි කියලා. මේක අනතුරු සහිත වෘත්තියක් දැන්. විශේෂයෙන් උදයන් පුවත්පත.
යාපනේ යුනෙස්කෝ ආධාර ඇතිව ආරම්භ කළ මාධ්‍ය පුහුණු සහ සම්පත් කේන්ද්‍රය පවා දැන් අමාරුවෙන් දුවන්නේ. යාපනය විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ නිසා තරුණ අය පුහුණුවට එන්නේ මාධ්‍යයට සම්බන්ධ වෙන්න නෙවෙයි. එතැනින් සහතිකය අරන් ආණ්ඩුවේ වෙන රස්සාවල්වලට යන්න තමයි හදන්නේ.

වෙබ් මාධ්‍ය

දැන් නගරබද තරුණ පිරිස් අතේ අලූත් ජංගම දුරකතන තියෙනවා. ඒ අය ඉතිං අන්තර් ජාලය එක්ක ගනුදෙනු කරනවා. නමුත් ඒ අයගේ බලපෑමක් ගැන කියන්න බැහැ. අපේ දෙමළ පුවත් වෙබ් අඩවි බ්ලොග් අඩවි තියෙනවා. සමහර ඒවා ඩයස්පෝරාවෙන් කරන ඒවා. එහේ ඉඳන් කරන්න ලොකු මුදලක් වැය වෙන නිසා මෙහේ අයට මුදල් එවලා කරන ඒවාත් තියෙනවා. සමහරක් මෙහේ අය කරනවා. 50කට වැඩිය දෙමළ ඒවා තියෙනවා. ජනපි‍්‍රය 10ක් 12ක් විතර තියෙනවා. සමහර ඒවා දිනපතා පුවත් පළකරනවා. ලිපි පළකරනවා. නමුත් ඒවා ලාබ රසයක් සඳහා තමයි වෙන් වෙන්නේ. ඒවායේ වෘත්තීය තත්ත්වය ඉතා බාලයි. වැඩි හරියක් ඕපාදූප.

අපිත් 1990 විතර ඉඳලා අන්තර්ජාල පුවත්පතක් පවත්වා ගෙන යනවා. අපට හොඳ ප‍්‍රතිචාරයක් තියෙනවා. සියයට 50ක් විතර මේ රටේ අය බලනවා.
නමුත් ජනමතයක් හදන්න ඒවාට බැහැ. තාමත් යාපනේ ජනමතය හදන්නේ පුවත්පත්. රූපවාහිනියත් දුර්වලයි. ශක්ති නාලිකාව රාජපක්ෂ යුගයේ අවහිර කරලා තිබුණේ. අනිත් එක මෙහේ අය පුරුදුවෙලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ රූපවාහිනිවල ජනපි‍්‍රය ටෙලි නාට්‍ය බලන්න. ඒ නිසා තාමත් ජනමතය හසුරුවන්න පුළුවන් අපිටයි. අපි තමයි යාපනයේ ප‍්‍රධාන සහ ජනපි‍්‍රයම පුවත්පත.

මැතිවරණය ගැන කතා කළොත්

පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායම් 6ක් නාම යෝජනා දීලා තියෙනවා. ඉතිං මෙහේ තියෙන විහිළුව තමයි දිනනවා කියන අයගේ ගණන් එකතු කළාම යාපනයට පත් වන මන්තී‍්‍ර සංඛ්‍යාව 7 මදියි. ඊ.පි.ඞී.පීය ඩග්ලස් ගැන විතරයි බලාපොරොත්තුව. පළාත් සභා මැතිවරණයේ 30,000ක් විතර අවශ්‍ය වුණා පත් වෙන්න. මේ මැතිවරණයේ 50,000 ක් විතර අවශ්‍ය වෙයි. ඊ.පි.ඞී.පීට 35,000 – 40,000 ක විතර ඡුන්ද පදනමක් තියෙනවා. එ.ජා.පට එකක් දිනා ගන්න මේ වර අමාරුයි. තාමත් දෙමළ ජාතික සන්ධානය තමයි ප‍්‍රධාන පක්ෂය.

එල්.ටී.ටී.ඊ කණ්ඩායම

විත්‍යාදරන් කියනවා ඒ ගොල්ලන්ටත් 1ක් නැත්නම් 2ක් ගන්න පුළුවන් කියලා. නමුත්් මේ මැතිවරණ කාලයේ ඒ අය එළියට ආ එක ගැන යාපනයේ තරමක ප‍්‍රශ්නයක් තියෙනවා. අනෙක ඔවුන්ගේ ලැයිස්තුව බැලූවාම, ඒකේ කවුරුත් දන්න එල්.ටී.ටී.ඊ නම් නැහැ. ඒ ලැයිස්තුව අලෙවි කරන්න අමාරුයි. ඉන්න අයව කවුරුවත් හඳුනන්නේ නැහැ. ඒ අය කියනවා හිටපු එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් කියලා. හිටපු එල්.ටී.ටී.ඊ ලොක්කෝ, ජ්‍යෙෂ්ඨයෝ යාපනයේ, කිලිනොච්චියේ ඉන්නවා. ඒ කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. මේගොල්ලන් තමිලිනි හමුවුණා. එයා බැහැ කිව්වා. ආනන්දිට කතා කළා. එයත් කැමති වුණේ නැහැ. අනෙක මේ 10ගේ ලැයිස්තුවේ ඉන්නේ එල්.ටී.ටී.ඊ කියන අය 3ක් විතරයි. දෙන්නෙක් ඉංජිනේරුවෝ. ඒ අයට එල්.ටී.ටී.ඊ සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේක පූර්ණ වශයෙන් එල්.ටී.ටී.ඊ ලැයිස්තුවක් කියන්න බැහැ. ඒක ජනපි‍්‍රය කතාවක් විතරයි. එල්.ටී.ටී.ඊ හිටපු කාඩර්ලාට තියෙනවා නිතරම ආරක්ෂක අංශවලින් සොයාබැලීම් පිළිබඳ නුරුස්නාවක්. ඒක ඒ අයට හිරිහැරයක්. ජීවනෝපාය පිළිබඳ ප‍්‍රශ්නත් තියෙනවා. ඒ නිසා ඒ අයට දෛනික ජීවිතයේ ගැටලූ ගැන කතා කරන්න කිසියම් සංවිධානයක අවශ්‍යතාවක් තියෙනවා. නමුත් ඒ අයට මේගොල්ලන් කැඳවලා නැහැ. ඒ අය අහන්නේ ඇයි එහෙම ඒ අයව කැඳෙව්වේ නැත්තේ කියලා. ඒ අයව හවුල් කරගත්තේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒ නිසා විශ්වාසය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා.

About

Journalist and political commentator