ගැරිසන් ගැන චාල්ස්ගේ කතාව

ඩකොස් ඩොකොස් ගුවන් තොටිල්ල කඳු වළල්ල වටේ මාලයක් වගේ එතෙනවා. පහළ බලන්න බැරි තරම් ප‍්‍රපාතය. ඇස් ඉස්සරහා ඈතින් කළු ගල් කන්ද… පහළින් කඩුගන්නාව ගල විදපු තැන. ඊටත් ටිකක් එහායින් ගැරඬියා ගියා වගේ කඳු වළල්ලේ හදපු කාපට් පාර. මේ මහ මඟ ගැන හිතනකොට අහසේ ඇදෙන රේල් පාර ආශ්චර්යයක්. මේවා සුද්දෝ කරපු වැඩ. සැටලයිට් අනන් මනන් මොකුත් නැතුව සුද්දෝ මේ රේල් පාරවල් හැදුවා. ඒ සුද්දන්ගේ ඔළුව ඇතුලේ මිතික විද්‍යාව හොඳට වැඩ කරපු නිසා වෙන්න ඇති. මම සුද්දෝ ගැන හිතනවා. අපිට තාම කතරගමට රේල් පාර දික් කරගන්න බැරි වුණා. සුද්දෝ හදලා දීල ගිය සමහර රේල් පාරවල් අපි ගලවලා දැම්මා. කෝච්චිය ගුවන් තොටිල්ලක පැද්දි පැද්දි බලන කපොල්ල පැත්තට යනවා. යටත් විජිතකරණය නිසා සුද්දෝ අපේ රටට ආවා. කෝපි, තේ වවලා සල්ලි අරන් ගියා තමයි. හැබැයි 18වැනි සියවස තරම් ඈතක ලංකාවට ආපු සුද්දන්ට ලංකාවට ඔරොත්තු දෙන්න ලොකු සටනක් කරන්න වුණා. දේශගුණය ලෙඩ රෝග ජයගන්න ඕනි වුණා…

යටත් විජිත රැුකියාව කියන්නේ කොළරාවට මැලේරියාවට ආදරය කිරීම. මරණය සමග සටන් කිරීම. ඒ වගේ ලෙඩවල්් එක්ක සටන් කරලා මැරිලා ගිය ගොඩක් අය මුණගැහිලා කෝච්චියට නැග්ග මට ආයෙත් එතනට යන්න හිතෙනවා. එතන තමයි තැන. නුවර මාළිගාවට තරමක් ඉහළින් වන ගුල්මයක අත්වැල් පටලවාගෙන ඉන්න ගැරිසන් සුසානයට (ඨ්රරසිදබ ක්‍ැපැඑැරහ* මම ගියා. කෝ්්ච්චියේ කවුළුවෙන් ඉවත බලන මම ගැරිසන් ගැන ආයෙත් හිතන්න වුණා.

ගැරිසන් සුසානය

මම කිව්වනේ ගැරිසන් සුසානය තියෙන තැන. යටත් විජිත සේවාවට ලංකාවට ආපු බි‍්‍රතාන්‍ය සොල්දාදුවෝ්, පල්ලියේ පූජකයෝ, ප‍්‍රභූ පුද්ගලයෝ මිහිදන් කළ එක් තැනක් තමයි මේ සුසානය. ප‍්‍රමාණය අක්කර තුන් කාලයි. 1817 අවුරුද්ද තමයි මේ සුසානයේ ආරම්භය. අවසන් වරට භූමදානයක් සිද්ධ වෙන්නේ 1951 අවුරුද්දේ. 1817 ඉඳලා 1951 වෙනකම් මේ සුසානයේ නවතින්න එන මිනිස්සු ගණන 450ක් විතර. සොහොන් ගල් හෝ සොහොන් කොත් සලකුණු 163ක් ගැරිසන් සුසානය සරසනවා. බි‍්‍රතාන්‍යයේ මිනිස්සු මැරිච්ච අයට සාමදානයේ සැතපෙන්න ඉඩ හැටියට. ලංකාවේ එහෙම නැහැනේ. ඉතින් 1951න් පස්සේ මෙතන කැලෑව වසා ගන්නවා. සොහොන් කොත් හොරු කඩනවා. ඒ නිදන් තියෙයි ද බලන්න. සමාදානයේ සැතපුණු අයගේ මිනී ඇට කටු ගැරිසන් සුසානයේ හැමතැනම විසිරෙනවා. මෙහෙම කාලය ගෙවෙන කොට තමයි 1998 නිදහසේ පනස් වසර උදාවෙන්නේ. චාල්ස් ලංකාවට එනවා කියනවා. එහෙම ලංකාවට එන චාල්ස් ගැරිසන් බලන්න නුවර එනවා කියලත් කියනවා. ඔන්න වැඬේ පත්තු වෙනවා. කැලේට යටවෙලා තිබුණ සුසානය ආයෙත් කරළියට එනවා. මෙතන ඉඳලා ගැරිසන් ගැන කතාව මම කියන්න යන්නේ නැහැ. ඒ කතාව කියන්නේ චාල්ස් මාමා. චාල්ස් කාමයිකල්. බර්ගර් ජාතිකයෙක්. ඔහු තමයි දැන් ගැරිසන් නවාතැනේ නැවතිලා ඉන්න ජීවිත රැකබලා ගන්නේ.

චාල්ස් ගැන චාල්ස්

1998 තමයි මම තව 19 දෙනෙක් එක්ක මෙතනට ආවේ. අපි මෙතනට එනකොට මෙතන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. අපි 20 දෙනා එකතුවෙලා 1999 වෙනකොට මෙතන සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිබුණ තත්ත්වයට ගත්තා. මේ බිම අයිති නුවර සෙන් පෝල් පල්ලියට. දැන් මෙතන භාරකාරයා තමයි ක‍්‍රිස්ටෝෆර් වර්ජින්ට‍්‍රන්. එයා තවමත් ලංකාවේ නැවතිලා ඉන්න වතු සුද්දෙක්. ක‍්‍රිස්ටෝෆර් මහත්මයාගේ භාරකාරීත්වය යටතේ මේක නවීකරණය කරලා දැන් පවත්වාගෙන යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් කොත් සංවිධානය. එයාලා අවුරුද්දකට දෙවතාවක් මෙහෙ එනවා. ඒගොල්ලන් පාලනය කරන තවත් මේ වගේ තැන් කිහිපයක්ම ලංකාවේ තියෙනවා.

චාල්ස් මාමා කතා කරගෙන යනවා. අසලින් සර් ජෝන් ඩොයිලිගේ සොහොන් කොත. ඒක තමයි මේ සුසානයේ තියෙන විශාලම සොහොන් කොත. සර් ජෝන් ඩොයිලි යටත් විජිත ලංකාවේ රඟපෑව චරිතය අපි කවුරුත් දන්නවා. සුද්දන්ට එයාලගේ මියගිය අයගේ සොහොන් සුරකින්න පවත්වාගෙන යන්න සංවිධාන ව්‍යුහයකුත් තියෙනවා. උතුරේ සොහොන් ස්මාරක ඩෝසර් කරපු සිංහල අපේ සංස්කෘතියට වඩා බි‍්‍රතාන්‍ය සංස්කෘතිය වෙනස්.
එලිසබෙත් ග්‍රෙගරි මැතිනියගේ සොහොන ළඟින් අපි හිඳ ගත්තා. ඇය තමයි මේ සුසානයේ ඉන්න වැදගත්ම කාන්තාව. ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ ප‍්‍රිය බිරිඳ. චාල්ස් මාමා නිනව්වක් නැති කතාවක. සුසානයේ නිදිගත් වුන්ගේ අතීතය මාමා ලස්සනට වර්තමානයට ගේනවා. මම අහගෙන ඉන්නවා. චාල්ස් කාමයිකල් පස් දෙනෙක් දරුවන් හිටිය පරපුරක ළාබාලම පිරිමි දරුවා. අයියලා දෙන්නා දැන් ජීවතුන් අතරේ නැහැ. අක්කා ඉන්නේ ඇමරිකාවේ. නංගිලා දෙන්නා කොළඹ ඉන්නවා. චාල්ස් කාමයිකල් මාමාටත් දැන් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. කාමයිකල් කියන බර්ගර් පවුල මුලින්ම ජීවත්වෙලා තියෙන්නේ නුවර අස්ගිරියේ. දැන් ඉන්නේ උඩතලවින්නේ. 1951 සෙන් සිල්වෙස්ටර් ඉස්කෝලෙට ඇතුල්වෙන කාමයිකල් මාමාගේ තාත්තා ජෝජ් හෙස්ට‍්‍රන් කාමයිකල්. අම්මා සීතා මාගරි රොසයිරෝ. චාල්ස් කාමයිකල් මාමාගේ සීයා වතු පරීක්ෂකවරයෙක්. එයා ඉන්දියාවේ වත්තකට මාරු කරනවා. මේ නිසා චාල්ස් කාමයිකල් මාමාගේ ආච්චි අම්මා හින්දි. චාල්ස් කාමයිකල් මාමාගේ තාත්තා නුවර කටුගස්තොට සෙන් ඇන්තනීස් විද්‍යාලයේ නවත්වලා තමයි උගන්වලා තියෙන්නේ. තාත්තා සැම වියදමක්ම ඉන්දියාවේ ඉඳලා පල්ලියට එව්වා. මේක තමයි සුසානය බලාකියා ගන්න මේ නොඋස් මිනිසාගේ ජීවිතයේ දිග පළල. ගැරිසන් සුසානය නිහඬයි. ඒ නිහැඬියාව බිඳිමින් ගැරිසන් සුසානයේ හිඳින අයගේ කතාව චාල්ස් මාමාගෙන් මම අසා ගත්තා.

කොළරා කාලේ

මහත්තයෝ අපි හිතනවා සුද්දෝ මේ රටට ඇවිත් සැප විඳලා ගියා කියලා. ඒක වැරදි චිත‍්‍රයක්. නිදහස ලැබෙන කාලේ වෙනකොට මෙහෙ යටත් විජිත සේවාවේ හිටිය අයට යම් සැපක් තිබුණා තමයි. හැබැයි මුලින්ම ලංකාවට ආපු අයට ඒක එහෙම නැහැ. මුලින්ම මෙයාලා මෙහාට ආවේ කෝපි වවන්න. මෙහෙම ආපු අයට දේශගුණය නිසා ලෙඩ රෝග නිසා වුණේ කරදරම තමයි. මේ සොහොනේ ඉන්න අයගෙන් 80%ක්ම මැරිලා තියෙන්නේ කොළරාවෙන් නැත්නම් මැලේරියාවෙන්. සමහරෙ කුගේ මරණයට හේතුවක් සොයා ගන්නත් නැහැ.

මේ.. මේක තමයි පළමු සොහොන් කොත. මෙතන මුලින්ම දාලා තියෙන්නේ හමුදාවේ කැප්ටන් කෙනෙක්. එයාගේ නම ජේම්ස් මැග්ගාලාසන්. මේ වළේ මිනී 8ක් වළදාලා තියෙනවා. කොළරාව නිසා තමයි මැරිලා තියෙන්නේ. එක්කෙනෙක්ට උදේ 9ට දැනගන්නවා කොළරාව කියලා. එයා සවස 4 වෙනකොට මැරෙනවා. හවස 5 වෙනකොට වළදානවා.

මේ විදිහට චාල්ස් කාමයිකල් මාමා සොහොන් කොත් එකින් එක ඇරලා පෙන්වනවා. ඒ මාමාගේ හිත ඇතුලේ තෙරපෙන අදහස් සමුදාය මුදාහරිමින්. මාමා කියනවා වගේම මෙතන ගොඩ දෙනෙක් මැරිලා තියෙන්නේ කොළරාවෙන් නැතිනම් මැලේරියාවෙන්. ජෝන් ඩොයිලිගේ සොහොන ඇරුනහම ඊළඟට මෙතන තියන ප‍්‍රසිද්ධම සොහොන තමයි ග්‍රෙගරි ආර්යාවගේ සොහොන. ග්‍රෙගරි ආණ්ඩුකාරයා බිරිද‘ සමග අනුරාධපුරයේ යනවා. අනුරාධපුරයේදී තමයි ආර්යාවට පාචනය හැදෙන්නේ. ආපසු කොළඹ යමින් ගමන් මේ යුවල නුවර නවතිනවා. නුවරදී තමයි ආර්යාව මරණයට පත්වෙන්නේ.මේ පාචනය නිසා ආර්යාවගේ සුරතල් බලූ පැටියාත් මැරුණා කියලා කියනවා. බලූ පැටියා නුවර ආණ්ඩුකාරයාගේ ගෙදර වත්තේ භූමදානය කළා. ආර්යාව ගෙරිසන් ගෙනාවා.

දැන් අපි ඉන්නේ විලියම් එලරි ළඟ. සර්ජන් ඩොක්ටර් කෙනෙක්. මැරෙන කොට වයස අවුරුදු 33ක්. මෙයා ඩොක්ටර් කෙනෙක් වුණත් ලෙඬේ සොයාගන්න බැරිවෙලා තියෙනවා. සී.එම්.ඩෙම් වේට් කියන සුද්දට ළමයි 13 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ළමයි 13 දෙනාගෙන් 5 දෙනෙක්ම ළදරු කාලෙදි මැරිලා වළදාලා තියෙනවා. 1873 තමයි මේ සොහොන ගල තියෙලා තියෙන්නේ.

ජේ.පී.ලාඞ් මහවැලි ගඟ දිගේ ඉහළ ගියා. ඒ මහවැලි ගෙඟ් සිතියමක් අඳින්න. හැබැයි සිතියම සම්පූර්ණ වෙන්න කලින් ලාඞ් මැලේරියාව හැදිලා මැරෙනවා. ලාඞ්ගේ මරණයත් එක්ක සුදු ආණ්ඩුව මහවැලි ගෙඟ් සිතියමක් අඳින වැඬේ තාවකාලිකව නතර කරලා දාලා තියෙනවා. මේ වගේ කතා ගොඩක් තියෙන සොහොන් ගල් ගැරිසන් සුසනයෙන් සොයාගන්න පුළුවන්. මේ සොහොන් ගල්වල තියෙන දේවල් කියවන කොට තේරෙනවා යටත් විජිත ඉතිහාසය අපිට වගේම සුද්දන්ටත් අමිහිරි වුණා කියන එක. මේක දුෂ්කර කාලයක්. මේ දුෂ්කර කාලේ දුෂ්කර සටනක් කරලා මහා බි‍්‍රතාන්‍ය ලෝක සිතියමේ ඉහළටම ගෙනාවේ මේ අය. ඒ නිසාම සුද්දන්ට මෙයාලා සදාකාලික වීරයෝ. ඒ හින්දම ලෝකේ වටේ තියෙන ඒ වීරයන්ගේ සොහොන් ස්මරණ බිම් අද ඔවුන් සුරකිනවා.

අලියෙක් ගහලා මැරුණ කෙනෙක්

මහත්තයෝ මෙයාගේ නම ජෝන් රොබින්සන්. මෙයා මැරිලා තියෙන්නේ කොහොමද දන්නවද? මෙයා මැරිලා තියෙන්නේ අලි දඩයමේ යනකොට දොළොස්බාගේ කියන ගමේදී. ඒ 1856 අවුරුද්දේ. අලියෙක් ගහලා. චාල්ස් මාමා අපූරු ඉතිහාසයක් පෙන්නුවා. දොළොස්බාගේ දී අලියා ගහලා මැරුණ රොබින්සන්ට පස්සේ මට හමුවුණේ මැක්වුඞ් මහත්තයා. එයා මැරිලා තියෙන්නේ අශ්වයෙකුගේ පිටෙන් වැටිලා. වැටිලා කිව්වට මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මැක්වුඞ් මහත්තයා තේවලට සකසන වත්තක වැඩ බලාගෙන හිටියා. එතන ලොකු ගස් ගලවන වැඬේ තමයි කළේ. මැක්වුඞ් අශ්වයා පිටේ ඉන්නකොට මැක්වුඞ්ගේ ඇඟට ගහක් කඩා වැටුණා. මැක්වුඞ් ගහෙන් බේරෙන්න අශ්වයා පිටෙන් පැන්නා. වැටුණේ වත්තේ සීමා සලකුණු කරපු උලක් උඩට. මේ විදිහට මෙතන සුසානයේ නිදිසුව විඳින අය අතරින් ගොඩක් දෙනෙක් වීරයෝ කියලා අදටත් සැලකුම් ලබන අය. හැබැයි ඒ අතරින් දේශද්‍රෝහී කියන ලේබලය වැදුණ කෙනෙකුත් මෙතන සමාදානයේ සැතපෙනවා. එයාගේ නම තමයි එඞ්මන්ඞ් සැම්සන් වේයාරින්. සැම්සන් ගැන චාල්ස් මාමා හඬ අවදි කළේ මේ විදිහට.

මහත්තයා දන්නවා ඇතිනේ මහතලා හටන. මේ හටන වෙලාවේ මාතලේ කච්චේරියේ ලොක්කා විදිහට වැඩ කළේ මේ එඞ්මන් සැම්සන් වේයාරින්. වීර පුරන් අප්පු සිංහල හමුදාවක් අරන් ගිහින් කච්චේරියයි පොලිස් පරීක්ෂකගේ බංගලාවටයි ගිනි තියනකොට මෙයා පැනලා දුවලා තියෙනවා. මෙයාගේ රාජකාරිය පැනලා දුවන එක නොවෙයි. වීරයෙක් වගේ සටන් කරලා මැරෙන එක. මිනිහා දුවලා බේරුණානේ ඊට පස්සේ ඒ හේතුවටම රස්සාවෙන් අයින් කළා. දේශද්‍රෝහී ලේබලය ඇලෙව්වා. අවුරුදු 60ක් ජීවත් වෙලා තමයි මැරිලා තියෙන්නේ. පවුලේ අය ඇරෙන්න කිසිම කෙනෙක් මරණයට සහභාගී වෙලා නැහැ. පස්සේ එයාගේ නෝනා නැති වෙලා තියෙනවා. හැබැයි මෙතන වළදාන්න දීලා නැහැ. එයාගේ වළ තියෙන්නේ වෙන තැනක.
මේ කතා ඇතුලේ රසයක් තියෙනවා. ඒ වගේම ඒ රසය ඇතුලේ යටත් විජිත ඉතිහාසයේ අඳුරු පැහැ ලප කැලැල් තිබෙනවා. චාල්ස් මාමා මේ සොහොන්වල වෙසෙන මිනිසුන් දිහා සානුකම්පිතව බලන්න පුරුදු වෙලා. කොළරාව පාචනය වගේ දහසකුත් ලෙඩ රෝග එක්ක සටන් කරලා ලෝකයේ ශ්‍රේ්ෂ්ඨ ජාතියක් බිහිකිරීමේ ඉතිහාස කතාව තමයි මේ සුසානය අපට කියන්නේ. කුඹුරට ගිහින් ඇවිල්ලා ජීවිතයේ වැඩි කාලයක් ගෙදර අගු පිළේ නිදිසුව වින්ද අපේ ඉතිහාසයයි මේ ඉතිහාසයයි අහසයි පොළොවයි වගේ. ඒ ඉතිහාසය නිර්මාණය කරන්න වයස් භේදයකින් තොරවම මේ පුද්ගලන් කැපවුණා.
විලියම් චාල්ස් මැග්රෙඞ්ගේ පුතා අද ඉපදිලා හෙට මැරිලා තියෙනවා. ඊට දවස් දෙකකට පස්සේ අනිත් පුතත් මැරෙනවා. ඒ කොළරාව නිසා. එකතැනක තියෙන සොහොන් ගලක තියෙනවා දරු උපතේදී අම්මා මැරිලා පැය 74ක් යනකොට ඉපදුණු පොඩි දරුවා මැරුණා කියලා. මේ වගේ අඳුරු ඛේදවාචක තමයි මේ සුසානය පුරා ලියවෙලා තියෙන්නේ. මෙහෙම බැලූවහම යටත්විජිත ඉතිහාසය සුද්දන්ට ඛේදවාචකයක් වුණාද කියලා හිතෙනවා. හැබැයි ඒ ඛේදනීය ඉතිහාසය හරි හම්බ කරපු ධනය සහ බලය අදටත් බි‍්‍රතාන්‍ය ලෝකයේ ඉහළින්ම තබලා තියෙනවා. මේ විදිහට මගේ මතකයේ නින්නාද දෙන චාල්ස් මාමාගේ ගැරිසන් සුසානයේ මතකයෙන් මම මිදෙනවා. කෝච්චිය දැන් රාගම පසුකළා විතරයි. තව ටිකකින් කොළඹ කොටුව. මේ හැම තැනකදීම ස්පර්ශ වෙන්නේ යටත් විජිත ඉතිහාසය. 1817 ජේම්ස් මැග්ගලාසන් ගෙන් පටන් ගත්ත මේ සුසානය 1951දී තනිකඩ ජීවිතයක් ගත කරපු ඇනී ෆිිරිට්ස්ගෙන් අවසන් වෙනවා. හැබැයි ඒ ඉතිහාස කතාව හැමදාම ජීවත් වෙනවා.