උද්‍යානයේ මුනිවරයා ඇලෝයි පීරිස් පියනම

 

අප සිටියේ උද්භිද උද්‍යානයක් බඳු තැනකය. සිතට පහන් හැඟීම් දනවයි. තුරු ලතාවන් අතර චිත‍්‍ර හා මූර්ති නිර්මාණය. විටෙක ඇත්ත ලියගොමුව හා සිතුවමේ ලියගොමුව තෝරා බේරාගත නොහැකි තරම්ය. ඒවා අතර ඇත්තේද එක්තරා දැහැන්ගතවීමකි. උද්‍යානයට පැන සතා සීපාවකට හෝ මිනිස් ප‍්‍රාණියකුට එම දැහැන බිඳිය නොහැකි සේය.

කොළඹ-නුවර මාර්ගයේ ගමන් කොට ගෝනවල හරහා මඳ දුරක් ගියවිට කොහල්විල ග‍්‍රාමය හමුවේ. දර්ශනීය තුරු ගොමුවකින් වටවූ තුලන ආයතනය පිහිටා තිබෙන්නේ කොහල්විල ග‍්‍රාමයේය. තුලන ධ්‍යානයකට සමවැදී අප දෙස බලා සිටියාද නැතහොත් අප, සිත නිවන තුලන ගොඩනැගිල්ල දෙස බලා සිටියාද යන්න එක්විටම පැහැදිලි නොවුණි.

අප පියවර මනිමින් සිටියේ පහන් හැඟීම් ප‍්‍රදානය කරන මේ බිමෙහි නිර්මාතෘ වෙතටය. සැබැවින්ම ඔහු සිටියේ මුනිවරයකුට සමීප වෙමින්යැ’යි සිතේ. ඒ රූපකාය ශේෂ කරමින් සිටින්නේ සැනසීම සංයමය හා සම්මා සතියම බව පෙනේ.
මහාචාර්ය ඇලෝයි පීරිස් පියනම අපට හමුවූයේ එම භූමියේදීය. තුලන නිර්මාතෘ යන සරල හැඳුනුම පීරිස් පියනමට දිය හැකි වුවත් උන්වහන්සේගේ ආගමික, සාහිත්‍යයික සමාජ හා සංස්කෘතිකමය මෙහෙවර සාර දිවි පැවැත්මකට අප කැඳවයි. ඇලෝයි පීරිස් පියනම පැමිණ සිටින්නේ පූජක දිවියේ 50 වැනි වසරටය.

පුස්තකාලය

බෞද්ධ ධර්මය පිළිබඳ දර්ශන උපාධි ද්විත්වයක් (Ph.D) ලබාගත් ප‍්‍රථම ශ‍්‍රී ලාංකීක ජේසු නිකායික කතෝලික පූජකවරයා වන්නේ මෙතුමාය. එම නිසාම පියතුමා සතුව අංග සම්පූර්ණ බෞද්ධ පුස්තකාලයක් තිබීමද සුවිශේෂී කරුණකි.
කොටස් තුනකින් සමන්විත මෙම පුස්තකාලය එක් කොටසක් බටහිර දර්ශනය හා දේව ධර්ම ශාස්ත‍්‍රය සඳහා වෙන් වී තිබේ. එහි තිබෙන ග‍්‍රීක හා හීබෲ බටහිර භාෂා රැුසකින් ලියැවුණු පොත් ගණන 10,950කි.

දෙවනුව අපට හමු වූ පුස්තකාලයේ ඊළඟ කොටසෙහි තැන්පත් කර තිබුණේ බෞද්ධ කෘතීන්ය. එහි තිබෙන පොත් ගණන 13,185කි. ත‍්‍රිපිටකය, අට්ඨකතා, ටීකා, පාලි, සංස්කෘත මෙන්ම ජ්‍යොතිෂය, ආයුර්වේද සහ සන්නිවේදනය ආදී විෂයන් යටතේ බෞද්ධ සංස්කෘතියට අදාළව පොත්පත් රැුසක් මෙම පුස්තකාලයේ තැන්පත් කර තිබෙනු දක්නට ලැබුණි.

රටින් රටට බුදු දහමේ වෙනස්කම් ගෙනහැර දක්වන පොත් පත් සහිත තවත් පුස්තකාලයක් දක්නට ලැබුණි. පොත් 11,127ක් තැන්පත් කර තිබූ මෙහි චීන බුදු දහම, ටිබැටයේ බුදු දහම සහ බුරුමයේ බුදු දහම ආදිය පිිළිබඳව විමර්ශනාත්මක අධ්‍ය යනයක් හෝ පර්යේෂණයක් කිරීමට මේ වෙත එන්නන්ට කදිම අවකාශයක් හිමිවෙයි.

පියනම තමන් සතු පුස්තකාලයේ පොත් පත් රක්ෂා කරන්නේ සිය දෙනෙත් ආරක්ෂා කරන්නාක්මෙනි. එතුමා රක්ෂා කරන පොතපතින් තමන්ට සේවයක් කරගන්නා සේම අනෙකෙකුගේ බුද්ධියේ නම්වළලූ පුළුල් කරන සද් ක‍්‍රියාවකටද නොමසුරුව දායක වෙයි. විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම එහි විද්වතුන්ට පියතුමාගේ පුස්තකාලය සිය අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා තෝතැන්නකි. ඔවුහු මේ ස්ථානය ඒ සඳහා නිරන්තරයෙන්ම භාවිතා කරති. පියතුමාගේ පොත්ගුල තුළට එහි පෙරසිටි එස්. ජී. පියතුමා පරිශීලනය කළ පොත්පත්ද පරිත්‍යාගකර තිබුණු දක්නට ලැබුණි. එම පොත් ගණන 3,566කි. 1505 සිට ආසියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය ගැන කියැවෙන කෘති එස්.ජී. පියතුමා නමින් වෙන්කර තිබූ වෙනම කොටසක් මා හට දිස්විය.
නිහාල් අබේසිංහ පියතුමා පරිශීලනය කළ පොත් 874ක් සහ ජනමාධ්‍ය පිළිබඳ පොත්පත් 425ක්ද මේ තුළ තිබෙයි.

භාෂා ඥානය

භාෂා 14ක් පරිශීලනය කරන ඇලෝයි පීරීස් පියතුමා හීබෲ සහ ලතින් බසින් පොත්ද ලියා පල කර තිබේ. විශේෂයෙන් අන්තර් ආගමික කාරණා විෂයෙහි කථිකාචාර්යවරයෙකි. බටහිර, යුරෝපා, දකුණු අපි‍්‍රකා සහ ලතින් ඇමරිකානු රටවල් ගණනාවකම විශ්ව විද්‍යාලයන්හි ආරාධිත මහාචාර්යවරයෙක් ලෙසට උන්වහන්සේ කටයුතු කරති. භාෂා නවයකින් පළවූ ශාස්ත‍්‍රීය ලිපි හා ග‍්‍රන්ථ සංඛ්‍යාවක කර්තෘවරයෙකු ලෙස පියතුමා ජාත්‍යන්තර කීර්තියට පත් පඬිවරයෙකු ලෙස ප‍්‍රකටය. අග්ග මහ පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නාහිමියන්, මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, මහාචාර්ය කොටහේනේ පඤ්ඤා කිත්ති, මහචාර්ය කාක පල්ලියේ අනුරුද්ධ සහ මාටින් වික‍්‍රමසිංහ වැනි විද්වතුන් රැුසක් ඉතා සමීපව ඇසුරු කරමින් අන්තර් ආගමික හා ජාතික සංහිඳියාව පිළිබඳවද හැදෑරීය.

ඇලෝයි පීරිස් පියතුමා සිය ලන්ඩන් උපාධිය සඳහා හදාරනු ලැබුවේ පාලි හා සංස්කෘත විෂයන්ය. 1961 වසරේදී ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ දර්ශන විශාරද (Ph.D) උපාධියක් ලබා ගත්තේය. ‘‘අට්ඨකතාවල යෙදෙන මනෝ චිත්ත විඥානය’’සිය පර්යේෂණය සඳහා තෝරාගත් මාතෘකාව වී තිබේ. ඒ සඳහා උපදේශකවරයා ලෙස තෝරාගෙන ඇත්තේ පේරාදෙණිය මණ්ඩපයේ මහචාර්ය කළුපහනයන්ය.

මළවුන්ගේ ප‍්‍රාකාරය

‘‘තුලන’’ට ඇතුලූ වී මීටර් 50ක් පමණ ඉදිරියට ගියවිට දකුණු පසින් හමුවන්නේ යුධ සමයේ මරණයට පත්වූවන් සිහි ගැන්වීමට ඉදිකර තිබෙන ස්මාරකයයි. එය නම්කර තිබෙන්නේ මළවුන්ගේ ප‍්‍රාකාරය නමිනි. පසුගිය කාලවකවානුවේ රටතුළ පැවැති යුද්ධය හේතුවෙන් මරණයට පත් වූ ප‍්‍රභූන්, නිර් ප‍්‍රභූන්, සාමාන්‍ය වැසියන් හා ආගමික පූජ්‍ය හා පූජකයින්ගේ හඳුනාගත් පිංතූර අඹා තිබෙන්නේ ස්මාරකයේ අභ්‍යන්තරයට කැණීමෙන් කරන ලද නිර්මාණයක් ලෙසිනි. අඩි 30ක් පළල සහ අඩි 7ක් උසකින් යුතු මෙම ස්මාරකය දෙපස දකුණට සහ වමට ප‍්‍රතිබිම්බ දෙකක් සවිකර තිබේ.
මෙම ස්මාරකය ඉදිරිපිටට පැමිණ එම පිංතූර දෙස බලා සටින අයෙකුට ප‍්‍රතිබිම්බ දෙක මගින් ස්මාරකයේ සිටිින මළවුන්ගේ පින්තූර අනන්තය දක්වා විහිදෙමින් දිස්වෙයි. යුද්ධයෙන් සිදු වූ ජීවිත හානිවල කෙළවරක් නැති බව මෙමගින් ගම්‍ය වෙයි. ප‍්‍රවීණ චිත‍්‍ර සහ මූර්ති ශිල්පී ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් වාර්ෂිකව පවත්වන ‘‘ජූලි සැමරුම’’ට නිර්මාණය කළ මෙම මළවුන්ගේ ප‍්‍රාකාරය 2011 වසරේ ලයනල් වෙන්ට් කලාගාරයේදී කළ ප‍්‍රදර්ශනයෙන් පසු මෙම ස්ථානයේ ස්ථාපිත කරන ලද්දකි.

ජේසු සහ සමාරියේ ස්ත‍්‍රිය

පියතුමාගේ සංකල්ප යකට අනුව කිංස්ලි ගුණතිලක කලාකරුවාණන් විසින් 2010 වසරේ නිර්මාණය කරන ලද ‘‘ජේසුස් වහන්සේ හා සමාරිය ස්ත‍්‍රීය’’නමැති මූර්තිය දෙස් විදෙස් සුප‍්‍රසිද්ධ කලා කරුවන්ගේ කතා බහට ලක්වී තිබෙන මූර්තියකි. කතෝලික බයිබලයේ නවගිවිසුම මගින් හමුවන මෙම ජේසුස් වහන්සේ හා සමාරිය ස්ත‍්‍රීය පිළිබඳ කතා පුවත එවකට සමාරිය ජාතිකයින් ජුදා ජාතිකයින් අතර තිබූ දුරස්ථරභාවයට නැතහොත් ජාති භේදයට බොහෝමත්ම නිහතමානී ලෙසට ක‍්‍රිස්තුස් වහන්සේ කළ අභියෝගයක් පිළිබඳව ගෙනහැර දක්වයි.

ක‍්‍රිස්තුස්වහන්සේ සලකනු ලැබුවේ ජුදා ජාතිකයෙක් ලෙසිනි. එවකට ජුදා ජාතිය උසස් ජාතියක් ලෙසද සැලකීය. එදා සාමාරිය ජාතිකයින් සලකනු ලැබුවේ පහත් ජාතියක් ලෙසිනි. උසස් ජාතියේ කිසිවෙක් පහත් ජාතියේ අය සමග කිසිම ගනුදෙනුවක් නැතිවාසේම අසුරක්ද නොවුණි. එවන් සමාජ වටාපිටාවක් තුළ ක‍්‍රිස්තුස් වහන්සේ ලිඳකින් වතුර ගනිමින් සිටි සමාරිය ස්ත‍්‍රියකගෙන් බීමට ජලය ඉල්ලන්නේ ජුදා ජාතිය උසස් බව කියාපාන සිතුවිල්ල සහ ආකල්පය පසෙකලමිනි. සමාරිය ස්ත‍්‍රිය ඉදිරියේ බැගෑපත්වෙමින් සමාරිය ස්ත‍්‍රියගෙන් බීමට ජලය ඉල්ලන අයුරු මෙම මූර්තියෙන් ගෙනහැර දක්වයි.

තුලන

තුලන ආයතනය සැබැවින්ම තුලනාත්මකව සිතන පතන ඒ වෙනුවෙන් තම චින්තනය ප‍්‍රායෝගික මට්ටම දක්වා මෙහෙයවන ආයතනයකි. තුලන කතෝලික නොවේ, බෞදධද නොවේ, එය ඉස්ලාම් ආයතනයක් හෝ හින්දු ආයතනයක්ද නොවේ. තුලන අනතර් ආගමික ආයතනයකි.
දේව මෑණියන් සියළු කරදර වලදී සිය ළදරුවාට ආරක්ෂාව දෙන අයුරු පිළිඹිබු කරවන මූර්තියක් අඹා තිබෙන්නේ භාතිගම්මන උත්තරානන්ද හිමියන් විසිනි. එය ‘‘සරණාගත මෑණියෝ’’ ලෙස නම්කර තිබේ. මෙම මූර්තිය ඉතාලියේදී කරවා ලංකාවට ගෙනවිත් උත්තරානන්ද හිමියන් ඇලොයි පීරිස් පියතුමාගේ තුලන ආයතනය වෙත පිරිනමා තිබේ. උත්තරානන්ද හිමියන් විසින් අඹාතිබූ පිණ්ඩපාතේ යන හිමිනමකගේ රුවක්ද මෙහි තැන්පත් කර තිබේ. එය අඩි 5ක් උසැතිය.

සහජීවනයට

අක්කර 4 1/2ක් පුරාවට තුලන භූමිය පුරා තිබෙන මේ සියල්ල නරඹා අවසානයේදී ඇලෝයි පීරිස් පියනම අපට හමුවිය. මම එතුමා සමගද කෙටි සුහද පිළිසඳරක යෙදුණෙමි. තුලන ආයතනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තර් ආගමික ආයතනයක් නිසා අපි ශ‍්‍රී ලාංකිකයන් ලෙසට තවමත් සිටින්නේ ජාතීන්, ආගම් හා කුල හැටියට බෙදී වෙන් වෙන් වශයෙනි. මේ නූතන ලෝකය තුළ අපට තවදුරටත් බෙදුණු පුද්ගලයන් හැටියට ජීවත් විය හැකිද? යන්න මම පියතුමාගේ ඇසිමි. ඒ ප‍්‍රශ්නයත් සමග පියතුමා මා හා කතාබහට එක්වූයේ මෙසේයි.

මිනිසුන්ව ආගම් හැටියට, ජාතීන් හැටියට හෝ කුල හැටියට දෙකට තුනට හො කෑලි කෑලිවලට කඩා බෙදා වෙන් කරයිනම් එය කවරදාකවත් ආගමක් වන්නේ නැති බව පියතුමා ඉතාම තරයේ කියා සිටිනවා. ආගමක් යනු විමුක්තියක් අත්දකින මිනිසුන් බිහිකිරීමක් මිස තරගකාරීත්වයක යෙදෙන මිනිසුන් බිහිකිරීමක් නොවන බවයි පියතුමා කියන්නේ. මේ අර්ථය අපි අපගේ තරුණ පරම්පරාවගේ ජීවිතවල වපුරන්නට අවශ්‍යයි.

මම කිතුනුවෙක්. අපට ගැළවීම තියෙන්නේ නැති බැරි අයට උදව් කිරීම මගින් පමණයි. එසේ නැතිව අපට ගැළවීමක් නැහැ. ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ නැති බැරි අය ජීවත් වූ නගරයක. එය මුඩුක්කු පරිසරයක්. ආශ්චර්යමත් මහ නගර ඇති කරන්න හෙරොද් රජුට මහ පිස්සුවක් තිබුණා. මේරියස් සහ ලෙපරිස් නගරවල මහ විශාල අති දැවැන්ත අධිවේගී මාර්ග හැදුවා. ලෙපරිස් නැමැති මහ නගරය නුදුරින් පිහිටියේ බෙත්ලෙහෙමයි. විමුක්ති දායක පුත‍්‍රයා හෙවත් ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ බෙත්ලෙහෙමෙයි.

විමුක්තිය අවශ්‍යනම් නැතිබැරි ජනතාව ජීවත්වන, නොවටිනා සහ නොවැදගත් මිනිස්සු ඉන්න මුඩුක්කු ප‍්‍රදේශයට එන ලෙස දෙවියන් වහන්සේ ප‍්‍රකාශ කළා. අපේ මානව හිතවාදී දර්ශනය විය යුත්තේ එයයි. නැති බැරි අයට උදව් කිරීම ඒ අය එක්ක ජීවත් වීම විප්ලවකාරී දෙයක් නෙමේ. එය දෙවියන් වහන්සේ අනාවරණය කරන දෙයක්.