තොවිල් පලක නටලා මට දාඩිය හලන්න ඕනෙ |සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍යකලා පීඨයේ මහාචාර්ය ලයනල් බෙන්තරෙ


linal-benthara

විමලනාත් වීරරත්න

කලාව සහ ජීවිතය අතර ඔබ අනුදක්නා සම්බන්ධය මොකක්ද?

කලාව කියන්නෙ ඕනෑම කෙනෙක් පූර්ණ මගකට යොමු කරන දෙයක්. තමන් හදාරපු විෂය අනුව එහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි මම නර්තනයට පෙළඹෙන්නෙ දක්ෂ ශාන්තිකර්ම ශිල්පීන්ගේ රංග ඉරියව් සහ රංග රටා කෙරෙහි ඇතිකර ගන්නා ආකර්ෂණය හරහායි. 1950 දශකය වනවිටත් නැටුම කලාවකට වඩා වෘත්තියක් වශයෙන් තිබුණු දෙයක්. රජ කාලෙ ගම්වර ලැබුණේ වෘත්තිය කරනවාටයි. වෘත්තීය ශිල්පීන් පවා සිය දරුවන් ඊට යොමු කළේ නැහැ. අපි වගේ පාරම්පරික නොවන පිරිසක් ඒකට සම්බන්ධ වෙනවා, රුචිකත්වය මත. නැටුම සමග මගේ ජීවිත සම්බන්ධය හැදෙන්නෙ එහෙම.

කවුද මුල්ම ගුරුන්නාන්සේ?

මාවතගොඩ වැලි පැන්නේ ඞී.ඩබ්. ජයනෙත්ති ගුරුන්නාන්සෙ. කෝලං බලි ශාන්ති කර්ම, යක් තොවිල් කවි නාඩගම් වගේ හැම පැත්තකටම සම්බන්ධ පරපුරක් ඒ. කැලෑ දෙපාර්තමේන්තුවෙ වැඩ කළ පීටිං කියලා මගේ මාමා කෙනෙක් හිටියා. එයත් බෙරපදවලට නැටුම්වලට ආසයි. එයාට දරුවො නැහැ. උඹ කැමතිද මේක ඉගෙන ගන්න මම උදව් කරන්නම් කියලා පීටිං මාමා කිව්වා. මාමගෙ රුචිකත්වය මත තමයි මම ජයනෙත්ති ගුරුන්නාන්සේ ළඟට යන්නෙ. මගේ ගුරුතුමා හරිම ප‍්‍රාසාංගික නළුවෙක් විදිහටයි මම දැක්කෙ. නැටුමෙහි ගැයුමෙහි වැයුමෙහි නියම නිපුණයෙක්. මාමගෙ ගෙදර ඉලංගම් මඩුවක් හදලා හැමදාම අපි නැටුවා.

ඔහු සාම්ප‍්‍රදායික ගුරුවරයෙක්ද ඔබ සාම්ප‍්‍රදායික ගෝලයෙක්ද?

නැහැනෙ. ඔහු මට මල්ලි කියලයි කතා කරන්නෙ. එකට නටනවා එකට බොනවා. බුලත්විට කනවා. වත්තෙපිටියෙ වැඩ කරවන හරක් බලන ගුරුන්නාන්සේ කෙනෙක් නෙවෙයි ඔහු. මම කැමැත්තෙන් ගියොත් මිසක් ගෙදර වැඩ කරවා ගන්න කිසිමදාක කතා කරලා නැහැ.

නැටුමයි, අධ්‍යාපන කටයුතුයි සමබර කරගත්තෙ කොහොමද?

මම උදේ ඉස්කෝලෙ ගිහින් හවස නටන්න එනවා. හය විතර වෙලා ගෙදර යනවා. මාමට බයිසිකලයක් තිබුණා. ඒකෙන් තමයි මගේ ගමන් බිමන්. ඔහොම නටලා මම බෙරේට නටන අවස්ථාව එළැඹුණා. එදා නම් අපේ අම්මා තාත්තා ඇවිත් පොඩි උත්සවයක් තිබුණා මාමලගෙ ගෙදරම. මාමා මට එදා සිලම්බු තට්ටුවක් තෑගි දුන්නා. පාසල් නිවාඩු දවස්වලට මම ඉතිං තොවිල් පවිල්වලට යනවා. මම නටන්න ගයන්න වයන්න විතරක් නෙවෙයි සැරසිලි කරන්න, වෙස් මුහුණු කපාගන්න, ඇඳුම් පැළඳුම් නිර්මාණය කරගන්න ආදී හැම දෙයක්ම පුරුදු වුණා. යහන වීදිය වගේ හැම දෙයක්ම හදන හැටි මම තොවිල්වලට ගියාම ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගත්තා. ඔහොම ගිහින් මම කල එළි බැස්සා. මේක බලන්න පුදුම සෙනඟක් ආවා. මට සැබෑම අභියෝගයක්. මම නැටුමෙන් පරිපූර්ණයි කියලා තහවුරු කරන්න අවශ්‍ය සියලූම නැටුම් එදා මම පාන්දර වනතුරු නැටුවා. මට වයස 17ක් විතර ඇති. කලඑළි බැස්මෙන් පස්සේ හැමෝම මාව වැඩවලට සම්බන්ධ කරගත්තා.

ඔබ ගමේ තොවිල් පවිල් නටලා සෑහීමකට පත්වෙච්ච කෙනෙක් වෙන්න බැහැනෙ. ඉන් එහාට යෑම ගැන කොහොමද හිතුවෙ.

කළුතර උඩුගම රජයේ විදුහලෙයි, අවිත්තාවෙ නාලන්දෙයි ගිහින් සාමාන්‍ය පෙළත් සමත්වෙලා දිගටම නට නටා ඉන්න කාලෙ මට ඒක හිතුණා. මම දැක්කා සාම්ප‍්‍රදායික ශිල්පීන් අවසාන කාලෙ සෑහෙන ඛේදවාචකයකට පත්වෙන හැටි. මම දැනගත්තා මටත් යන කලදසාව මේක තමා කියලා. මම මෙතනින් පැනගන්න විදියක් කල්පනා කරන කොට තමයි හේවුඞ් එක කියලා තැනක් තියන බව දැනගත්තෙ. ගැසට් එක බැලූවාම උඩරට නැටුම් තමා ඒකෙ වැඩිපුර උගන්වන්නෙ. ගුරුන්නාන්සේට කිව්වාම පිස්සුද ඕවයෙ යන්න එපා මෙන්න මෙහෙ නටාගෙන හිටපං කිව්වා. මම ඒ අවුරුද්දෙ ඉවසගෙන ඉඳලා ඊළඟ අවුරුද්දෙ මගේ සේරම විස්තර ලියලා අයදුම්පතක් දැම්මා. මට ඉන්ටර්වීව් කෝල් කළා. බෙර වාදනයට ගුරුන්නාන්සේගෙ මල්ලිවත් කොළඹ එක්කගෙන ගියා. ඔය 1973දී.

කොහොමද ඉන්ටර්වීව් එක?

පණිභාරත මහත්තයා තමයි හේවුඞ් එකේ ප‍්‍රධානියා. එයත් බෝඞ් එකේ හිටියා. තාලම්පට ගහලා කවියක් කියන්න කියලා මට කිව්වා. මං ඒ වැඬේ කරලා තිබුණෙ නැහැ කවදාවත්. මම පණිභාරත මහත්තයට කිව්වා සර් තාලම්පට ගහන්න මම කවිය කියලා නටන්නම් කියලා. මම කවි නාඩගම්වල කවියක් කියලා හොඳට නැටුවා. මිනිහා ෆුල් සැටිස්. ඊට පස්සෙ යහන් දැක්ම පටන් ගන්න කිව්වා, මම ගමේ කරපු විදියටම කළා. ඒක මම විනාඩි 45ක් නැටුවා. ඉන්ටවිව් ආපු අයයි, හේවුඞ් එකේ යයි දැල්වල එල්ලිලා පොරකකා නැටුම බැලූවෙ. පණිභාරත සර් ඊළඟට කිව්වා පුතා දැන් ගොඩක් නැටුවනෙ බඹර වළල්ල පොඞ්ඩක් ගහන්න බලන්න කියලා. මට එකපාරට තේරුණේ නැහැ. බැලින්නම් වේගයෙන් කැරකෙන එක. මම නොදන්නා බව නොපෙන්වා වැඬේ අල්ලගන්න බැලූවා. ගමේදි අපි ඕකට කැරකෙනවා කියලයි කියන්නෙ. වෙලාවට පණී ඇඟිල්ල කරකවලා එහෙනං පුතා වැඬේ පටන් ගන්න කිව්වා. මම පටන් අරන් කස කස ගාලා වට හය හතක් කැරකෙන කොට පණී ඇති පුතා ඇති කිව්වා. ඊට පස්සෙ දොළහට කිට්ටුවෙලා මම ගිහින් සර්ට වැඳලා කිව්වා සර් අපි දුර ඉඳන් ආවෙ යන්නත් ඕනෙ කියලා. ඒ පාර කිව්වා පුතා සැප්. 23 පටන් ගන්නවා, එදාට ඇඳුම් ටිකත් අරන් වරෙන් කියලා. මම දැනගත්තා දැන් ඉතිං වැඬේ හරි කියලා.

කොහොමද කොළඹ ජීවිතේ?

මම ඉතිං ඉගෙන ගන්න කාලෙ පණීභාරත සර්ගෙ හැම ප‍්‍රසංගයකටම සම්බන්ධ වුණා. හත්අට වතාවක් පිටරටත් ගියා. නැටුම් අතරෙ ගොප්කොළ වැඩ, සැරසිලි කලාව වගේ දේවලූත් මට භාර දෙනවා. මගේ ඉලක්කය ගුරු වෘත්තියට යෑම. ඒකට සහතිකයක් ඕනෙ. පහතරට නැටුම් තවත් ඉගෙන ගන්න මට ලොකු වුවමනාවක් තිබුණේ නැහැ. හැබැයි ඉතිං මේ කාලෙ හේවුඞ් එන්නයි, එතන ඉගෙන ගන්නයි පුදුම දුකක් වින්දා. උඩුගම ඉඳලා එන එකම හරි අමාරු වැඩක්. ? වෙලා ගෙදර යන්නෙ. නා ගන්නවත් වෙලාවක් නැහැ. ෂෝ එකක් ඉවර වෙච්ච සමහරදාට මම හේවුඞ් එකේම අයිනක නිදා ගන්නවා. බැරිම තැන නඩුකාර මහත්තයකුගෙ ගෙදර ගරාජයේ ටික දවසක් නැවතිලා හිටියා. පස්සෙ සූරියආරච්චි කියලා කොළඹ පදිංචි අපේ ගමේම කෙනෙක්ගෙ ගෙදරක මට නවතින්න ඉඩ ලැබුණා. ඉතිං දිගටම එහේ හිටියා.

පාස් අවුට් වුණේ කොයි කාලෙද?

79දි. ඒත් මට ලැබුණේ සිම්පල් පාස් එකක්. මුදියන්සේ දිසානායකත් මගේ සමකාලීන ශිෂ්‍යයා. එයාට ෆස්ට් ක්ලාස් එකක් තිබුණා. මම නටපු ඒවයින් තමයි ලකුණු අඩුවුණේ. ඒ වෙනකොට මම තොවිල් පවිල් කරන්න, බලි අඹන්න, ගොක්කොළ කැටයම් කරන්න, හබරල කොළ කැටයම් කරන්න, රඹපතුරු කැටයම් කරන්න, ඇඳුම් මහන්න, වෙස්මූණු කපන්න ආදී වශයෙන් මම නොදන්නා එකක් නැහැ. මම තියරිත් හරියට ලිව්වා. නටපු ඒවයින් ලකුණු අඩුවුණේ බෝඞ් එකේ හිටපු අයගෙ තත්වෙ හොඳ නැති නිසයි. එතනත් එක්තරා කුලයකට සීමාවෙච්ච කාණ්ඩයක් හිටියෙ. ඒගොල්ලො බයවුණා මම ඔළුව ඉස්සුවොත් ඔවුන්ට හානියක් වෙයි කියලා. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තිලක් රත්නකාර මහත්තයා මම නටන හැටි බලන් හිටියා. එයා මට ලොකු අසාධාරණයක් වෙච්ච බව දැනගෙන නැවත මගේ ප‍්‍රායෝගික ප‍්‍රතිඵල සමීක්ෂණය කරන්න කිව්වා. ඊට පස්සෙ මට සෙකන්ඞ් ලෝවර් එකක් ලැබුණා. ඊට පස්සෙ ගුරු පත්වීම් ඉල්ලපු පන්සීයක් හිටිය නම් හාරසිය අනූනවයටම ලැබුණා මට හැර. මට හැමතැනම කැපිලි. හැබැයි තිස්ස කාරියවසම් මහත්තයා මට බාහිරව විශ්වවිද්‍යාලයේ වැඩ කරන්න අවස්ථාව සලසා දුන්නා. හොරණ ශ‍්‍රීපාලියෙ. ආබද්ධ කලාංග කියලා විෂයක් කළේ. ගොප් කැටයම්, හබරල, රඹ පතුරු කැටයම්, බෙර හැදීම වගේ. ඒ සමගම මම එම්.ඒ. එකටත් සූදානම් වුණා. එම්.ඒ. එකට ඇප්ලිකේෂන් දැම්මෙත් කැපිලි දාහක් මැද. කොහොම හරි මමත් මේ එකක්වත් අත ඇරියෙ නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම පී.එච්.ඞී. එකත් කළා.

විෂය පිළිබඳ ලිපි සහ පොත් ලිවීම ඇරඹෙන්නෙ කොහොමද?

මම මුලින්ම රංගන සඟරාවට ලිව්වෙ සූනියම් වීදියෙන් පිළිබිඹු කෙරෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ කියන ලිපියයි. ඒක හදන්නෙ කෙසෙල් පතුරුවලින් රජ මාලිගාවක් වගේ. ප‍්‍රභූ නිවසක ආකෘතිය ඒකෙ තියනවා. ලියවැල් වඩිම්බු කුලූනු තරප්පු වගේ දේවල්. සමහරු මගේ පොත් හොරකම් කරන කාලෙකුත් තිබුණා. මම එම්.ඒ. එකට ලියපු තිසීසය ප‍්‍රසිද්ධ කෙනෙක් පුස්තකාලයට ඇවිත් ටිකෙන් ටික ලියාගෙන ගිහින් තමන්ගෙ නමින් පොතක් ගහගන්න හැදුවා. මට ඒක දැනගන්න ලැබිලා මම ඉක්මනින් ඒක මුද්‍රණය කළා. ඒ පොත තමයි ‘කළු කුමාරයාග පිළිවෙළ.’ එතැනින් තමයි මම පොත් ලිවීම ආරම්භ කළේ. මම විශ්වවිද්‍යාලයේ හැම කෙනෙකුම ලියන්න යොමු කරවනවා. මම කාපු කටු අනිත් අය කන්න ඕනෙ නැහැ. මං තමයි අපේ විෂය තුළ අවසාන වසරෙ ළමයෙක් නිබන්ධනයක් කළ යුතුයි කියලා යෝජනා කළේ. මම පී.එච්ඞී එකට ලිව්වෙ පහතරට ශාන්ති කර්මවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ කියන කෘතිය.

නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මට උගන්නලා, පොතපත ලියලා විතරක් ඉන්න බැහැ. එක වතාවක් නිමල් ඒකනායක එක්ක වෙසක් නාට්‍ය කළා. පසුතල, රංග වින්‍යාසය, ඇඳුම් වගේ දේවල් කරලා දුන්නා. සොක‍්‍රටීස්, තලමල පිපිලා, ගුරු තරුව, අන්දරේලා, කනේරු මල්, සඳගිර සේරටම සෙට්ස් හා ප්‍රොප්ස් කළේ මම. බෙල්ජියම් ජාතික රුඩි කොරන්ස්ගෙ නාට්‍යවල පසුතල හා රංග භාණ්ඩ හැදුවෙත් මම. මම මෑතක් වනතුරුම පාන්දර දෙක වෙනකල්වත් වැඩ. කලාවට තියන ආදරය නිසා ඒ මහන්සිය වෙන්නෙ.

ශාන්තිකර්ම ජීවිතෙන් ඔබ්බට පැන ගත්තට පස්සෙ දැන් මොකද හිතෙන්නෙ?

විසඳුණේ මගේ ප‍්‍රශ්නෙ විතරනෙ. ප‍්‍රශ්නෙ නොවිසඳුණු තව හුඟක් චරිත එතන ඉන්නවා. එක්කෙනෙක් තමයි කොට්ටෝරුවා කියන මනුස්සයා. ඒ මිනිහා පුදුම කලාකාමියෙක්. නැත්නම් මිනිහට ඒ වැඬේ කරන්න බැහැ. උදේට ඇදුරො ටික 1500 ගානෙ බෙදාගෙන යනවා. අරූට සත පහක්වත් දෙන්නෙ නැහැ. හාල් පොල් ටිකක් කෙසෙල් ඇවරියක්වත් සමහරවිට ඒ මිනිහට නැහැ. ඒත් තෙල් මල් වඩවන වෙලාවෙ ඒ මනුස්සයා මුකවාඩම් බැඳගෙන තෙල් ගොටු අරගෙන තොවිල්පලට එන්නෙ වියන් යටින්. හැම ජවනිකාවකම ළඟින් වාඩි කරවා ගන්නෙ මිනිහා. රට යකුම නානමුරේ වගේ ඒවයෙදි අර මිනිහව ළඟින් තියාගෙන මේ ඉන්නෙ මගෙ ස්වාමිපුරුෂයා කියලත් විහිළු තහළු කරනවා. නැට්ටුවන්ගෙ බෙරකරුවන්ගෙ හොර වැඩ ගැන දන්නෙත් මිනිහා. බොන නැට්ටුවට අරක්කු ටික තැඹිලි කෝම්බෙකට හරි දාලා, තේකක් විදියට හරි ගෙනත් දෙන්නෙ කොට්ටෝරුවා. දුම්මල ටික අල්ලගෙන අපි කරන විහිළු තහළු දරාගෙන පුදුම කැපවීමක් ඒ මනුස්සයා කරන්නෙ. මම මේ ගැන ලිපියක් ලියලා අගට කියන්නෙ කොට්ටෝරුවා නූතන වේදිකාවේ ීඒටැ ඵ්බ්ටැර කියලායි. අද ඒක වෙනම විෂයක්. ඒත් කොට්ටෝරුවට ඒ ඉන්න තැනින් පැනගන්න විදියක් නැහැ.

අවසානයේදී උඩුගම උපන් ගැමියා තුළට මහාචාර්යවරයෙක් ඇතුළුවෙනවා. ඒත් ගැමියා පලා යන්නෙ නැහැ. ගැමියා සහ මහාචාර්යවරයා අතර සන්නිවේදනය මොනවගේ එකක්ද?

පී.එච්.ඞී. ගහපු ගමන් සමහරු මට කිව්වා දැන් බුලත් කන එක නවත්වන්න. නීට් එකට අඳින්න. ලස්සනට කොණ්ඩෙ පීරන්න කියලා. මම කිව්වා උපාධිය, එම්ඒ, පීඑච්ඞී කොයි එක කළෙත් බුලත්විට කකා නිදි මරාගෙනයි. කාන්සිය මාන්සිය මකාගෙන වෝම්අප් වෙන්න මට මේක උපකාරි වෙනවා. සර් මම බුලත්විට කන ගැමියෙක් සර්. ඒකෙන් කවදාවත් මිදෙන්න බැහැ කියලාත් මම මගේ ජ්‍යෙෂ්ඨයන්ට කිව්වා. මහාචාර්යවරයෙක් වෙලා තොවිල් පවිල්වල නටන්න එපා කියලත් සමහරු කිව්වනෙ. මම කිව්වා මහාචාර්යවරයා ඉන්නෙ විශ්වවිද්‍යාලෙ. තොවිල් පලේ ඉන්නෙ ශාන්තිකර්ම ශිල්පියා. මේක පටලවා ගන්න එපා කියලා. ඇත්තම කියනවා නම් මම තොවිල් පලක නටන්නෙ භාව විරේචනයකට. මම, නටලා මගේ ඇෙඟන් දාඩිය ගලන්න ඕන මිනිහෙක්. ජයනෙත්ති ගුරුන්නාන්සෙ ගාව නටපු මිනිහනෙ මම. වෙන කෙනෙක් නෙවෙයිනෙ.

ආදරය ගැන අත්දැකීම කොහොමද?

අත්දැකීම් බහුලයි. විශේෂයෙන් ශාන්තිකර්ම ශිල්පී භූමිකාවෙදි පුදුම දේවල් වෙනවා. රඟ මඬලේ මැද නටන කොට, සිනහමුසුව විවිධ අංග චලන දක්වන කොට කාන්තා වන්ගෙ ආකර්ෂණය අනිවාර්යෙන් සිදුවෙනවා. බෙරවාදකයකු වේගයෙන් බෙරය වාදනය කරන කොට ඔහුගේ පිට පැත්ත ළෙල දෙන විදිය බලන්න. නැට්ටුවාගේ රිද්මායනුකූල චලනය බලන්න. ඒක ලිංගික සංඥාවක් ලෙස පෙනෙනවා. රාගික හැඟීම් ශරීරය මගින් දනවනවා. අපිත් අනික් පැත්තෙන් නිදිමත කාන්සිය මහන්සිය දෙපිට කැපෙන මුඛරි සංවාද තුළින් ඒ අවස්ථාව ලිංගිකත්වය පැත්තට හේත්තු කරනවා. ගැමියාත් වක‍්‍රාකාර ඒ වින්දනයට කැමතියි. මම ජවසම්පන්නව නටන්නෙ ඔය කියන සියලූ අදහස් පිළිබිඹු කරන්නත් එක්කයි.

බෙන්තරගේ මහත්තයගෙ මිතුරු ඇසුර කොහොමද?

විශ්වවිද්‍යාලෙ සනීප ආරක්ෂක කම්කරුවන්ගෙ ඉඳල වයිස් චාන්සලර් දක්වා අය මම අවංකව ඇසුරු කරනවා. සිකියුරිටලා මගේ හිතවත්තු. බුලත්විටක් කමුද කියලා අපි දැක්කහම අහනවා. සමහරු මට සිකියුරිටිලා සමග යාළුකම් තියාගන්න එපා කියනවා. ඉස්සර මම සෝෂ්වලට ගිහින් ?ට ඇවිත් සෞන්දර්යය එකේම නවතිනව කිව්වෙ. ඒ කාලෙ මම හොටෙල්වලින් හම්බ වෙන වොඞ්කා විස්කි මමත් බීලා සිකියුරිටිලටත් ගෙනත් දෙනවා. මට හෙනට බඩු. එන්නෙ උඩින් වගේ. ඇවිත් වමනෙ දැම්මත් ඒවාත් අස්කරලා මාව ආරක්ෂා කළේ සිකියුරිටි එකේ කොල්ලො. අලූත් අය තුළ නම් මේ හිතවත්කම් අඩුයි.