සමාජීය වෙළඳපල ආර්ථිකය හා යහපාලනය


garment

කුසල් පෙරේරා

‘‘…. නමුත් ඔබ මේ ගැටලූවට අහුවෙනවා. වෙළෙඳපල සේවය කරන්නේ ඩොලර් තියෙන ප‍්‍රමාණය අනුවයි. ඒ නිසා දිළින්දන් වෙනුවෙන් වෙළඳපල සේවය කරන්නේ නැහැ. ඉතිං දිළිඳු අවශ්‍යතා වෙළෙඳපලට ගැට ගසා ගන්නේ නැතිනම් ඔවුන්ට ආධාර කරන්නේ, ඔවුන් වෙත වෙළෙඳපල දිගු කරන්නේ කොහොමද?’’ (නිර්මාණාත්මක ධනවාදය – මයිකල් කින්ස්ලේ /පිටු 20)

ඒ කතා කළේ බිල් ගේට්ස් ය. ඔහු විසින් 2000 න් පසු ‘නිර්මාණාත්මක ධනවාදය’ යැයි සංකල්පයක් ඉදිරිපත් කරන්නට යෙදුණේය. එය එතරම්ම පැහැදිලි අයුරින් අර්ථ ගන්වා නැතැයිද හෙතෙම පිළිගත්තේ ය. මේ නිර්මාණාත්මක ධනවාදය පිළිබඳ අදහස ගැන කතා කිරීමට ඔහු 2008 මැයි මස 15 වන දින වොරන් බුෆේ සමග ඔහුගේ වොෂිංටන්හි මෙඞීනා නිවසෙහි වාඩි විය. ඒ සංවාදය මෙහෙය වන්නට ඔවුන්ට හවුල් වූයේ මයිකල් කින්ස්ලේ ය.
ඉන් අවුරුදු 7කට ආසන්න කාලයක් ගෙවුණු පසු 2015 පෙබරවාරි 26 වන දින, වත්මන් එ.ජා.ප ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මලයාසියාවේ රාජ්‍යතාන්ති‍්‍රකයෙකුද සහභාගි වූ කොළඹ කොටස් වෙළෙඳපල ආයෝජක සභාවක් අමතා ‘සමාජීය වෙළෙඳපල ආර්ථිකය’ ගැන ඔහුගේ අදහස් දැක්වීය. ‘ඉතාම තරගකාරී සමාජීය වෙළෙඳපල ආර්ථිකයක් ස්ථාපිත කරන්නට දැඩි අධිෂ්ඨානයක් මේ ආණ්ඩුවට තියෙනවා. ගරු තානාපතිතුමනි, ඉන් අප අදහස් කරන්නේ, මූලික සාධක දෙකක් මත වෙළෙඳපල පිහිටුවීමයි. එකක් තරගකාරිත්වයයි. එය ඉතාම ශක්තිමත් අවධාරණයක්. අනෙක සාධාරණත්වයයි. ඉන් අපි අදහස් කරන්නේ දේශපාලනික, ආර්ථික සහ සමාජ සාධාරණත්වයයි.’
මෙය ඇත්තෙන්ම අලූත් ආර්ථික සොයා ගැනීමක් නොවේ. ආර්ථිකය වඩා හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේදැයි සාකච්ඡුාවක් හිට්ලර්ගේ පැමිණීමට සහ දෙවන ලෝක යුද්ධයටත් පෙර ජර්මනියේ ඇති විය. ඒ අනුව, ‘19 වන සියවසෙහි අවසාන කාර්තුව වන විට ලිබරල්වාදයෙන් වෙන්වීම ජර්මනියේ ආරම්භ විය. ඒ සමග ‘මැදිහත්වීමේ පිළිවෙත‘ ලෙසින් පැහැදිලි කෙරුණු ආර්ථික කි‍්‍රයාවලියක් ක‍්‍රමානුකූලව ජර්මනියේ බිහිවන්නට විය. ජාතික සමාජවාදී ආර්ථික ප‍්‍රතිපත්ති විසින් ‘මැදිහත්වීමේ පිළිවෙත‘ ජීර්ණ කර ගනිමින්, එය ධනවාදයට හා ලිබරල්වාදයට විකල්පව පූර්ණත්වයට පත් කරගනු ලැබිණ. එමගින් ආර්ථික හා සමාජ ජීවිතය දැඩි පාලනයකට හසු කෙරිණ’. ජනපි‍්‍රය අදහස් සහ ඒවායේ බුද්ධිමය මූලයන් නමින් කොන්රාඞ් ස්වයිග් ලියූ කෘතියට පෙරවදනක් සැපයූ කොලොන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය කි‍්‍රස්ටියන් වටි‍්‍රන් එසේ සටහන් කර තිබිණ.

එම පෙරවදනෙහි ජර්මානු ආකෘතිය විස්තර කරමින් වටි‍්‍රන් මෙවැන්නක් ලීවේය. ‘වෙනත් ආකාරයකට කියන්නේ නම්, වෙළෙඳපල ආර්ථිකය හා සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ සාධක දෙකක් නොවේ. සමාජ ප‍්‍රගමනයේදී දුප්පත්කම හා විරැුකියාව තුරන් කිරීම, සෞඛ්‍යාරක්ෂාව සහ මහලූ විය, වෙළෙඳපල නියමයන්ට ප‍්‍රතිවිරුද්ධයැයි නොසැලකිය යුතුය. එය සුභසාධන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටියවුන් අතහැරි ආර්ථික මානයකි. ඊට වෙනස්ව, වෙළෙඳපල හා සමාජ ආරක්ෂණය අන්‍යොන්‍ය වශයෙන් උපකාරීව ජර්මනියෙහි පවතින්නේය.’

‘සමාජීය වෙළෙඳපල ආර්ථිකය’ ස්වප්න ආර්ථිකයක් නොවේයැයි ඔවුහු තර්ක කළහ. එය නිදහස, සමාජ සාධාරණත්වය සහ ආර්ථික වෘද්ධිය අතර සාම්‍යයක් ඇති කරන්නට උත්සාහ දැරීමක්යැ’යි පූර්ව හිට්ලර් ජර්මනියෙහි විල්හෙම් රෝප්කෙ සහ ජර්මානු රාජ්‍ය නායකයා වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික කටයුතු ඇමති වූ ලූඞ්විග් එර්හාඞ්ගේ රාජ්‍ය ලේකම්ව සිටි මියුලර්-අර්මාක් තර්ක කළහ. සමාජීය වෙළෙඳපල ආර්ථිකය යන යෙදුම ඔවුන්ගේ නිර්මාණයකි. නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ශී‍්‍ර ලංකාවේ මතු ආර්ථිකය ගැන දරන්නාවූ අදහස එවැන්නක් විය හැක. එය වැදගත් යෝජනාවකි. මේ රටේ ආර්ථික හා සමාජීය වශයෙන් අතහැරුණු පිරිස් සඳහාත් මහලූ විය ප‍්‍රජාව සඳහාත් සමාජ වගකීමක් තිබිය යුතුය. ඒ සඳහා සමාජීය වෙළෙඳපල ආර්ථිකයක ආචාර්ය හර්ෂ ද සිල්වා කියන දේශපාලනික, ආර්ථික සහ සමාජ සාධාරණත්වය තිබේ නම් එය ආකර්ෂණීය ආර්ථික ආකෘතියකි.

එනිසාම, අවුරුදු 36කට වැඩි කාලයක් කි‍්‍රයාත්මකව පවතින විවෘත ආර්ථිකය දේශපාලනික, ආර්ථික සහ සමාජ සාධාරණත්වයක් සහිත සමාජීය වෙළෙඳපල ආර්ථිකයකට පෙරැුළීම, පුළුල් සහ බුද්ධිමත් සංවාදයකට බඳුන් විය යුත්තකි. එවැනි සංවාදයකදී වෙළෙඳපල ආර්ථිකයක සමාජ සාධාරණත්වය යන සාධකය විශේෂ අවධානයට ලක් විය යුත්තකි. එයට වැදගත් වාගේම ප‍්‍රබල හේතුවක් ඇත. එවැනි මූලික ප‍්‍රතිපත්තිමය කාරණා අවසන් වශයෙන් තීන්දු වන්නේ ආණ්ඩුවේ දේශපාලන මතවාදය අනුව ය. විශාල ආයෝජන සතු හාම්පුතුන්ගේ අවශ්‍යතා ආර්ථික වෘද්ධියෙහි ප‍්‍රධාන අවශ්‍යතාවක් ලෙස පිළිගන්නා ආණ්ඩු පාලනයකින් වෙළෙඳපල ආර්ථිකයක සමාජ සාධාරණත්වයක් කි‍්‍රයාත්මක කරනු ඇත්තේ විරූපී පුණ්‍යාධාර ලෙසිනි. එය එවැනි ආණ්ඩුවල ආර්ථික ප‍්‍රතිපත්ති සැකසීමේ දේශපාලනය වන හෙයින් ය.

මේ එවැනි තත්ත්වයක් ගැන එක් සාධාරණ නිදසුනකි. මෙතෙක් පැවති ආණ්ඩු ඉදිරිපත් කළ කිසිදු අයවැය යෝජනාවක් අනුව වැටුප් වැඩි කිරීම් ලබාදීමට පෞද්ගලික අංශ හාම්පුතුන් පියවර ගෙන නැත. එනිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් වර්ෂ 2000 දී පෞද්ගලික අංශයෙහි වැටුප් රුපියල් 1,000 කින් වැඩි කිරීම සඳහා ප‍්‍රථම වරට අයවැය සහන දීමනා පනත මැයෙන් පනතක් පාර්ලිමේන්තුවෙහි සම්මත කළේය. 2014 නොවැම්බරයේ රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය මගින් රාජ්‍ය සේවාවේ අවම වැටුපත් මාසික වැටුපත් සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩිකර, පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ වන විට පෞද්ගලික අංශයේ ඉල්ලීම වූයේ රපියල් 5,000ක මාසික වැටුප් වැඩිවීමකි. එහෙත් ආණ්ඩුවේ ඉල්ලීමට කිසිදු හාම්පුතෙකු කන් දුන්නේ නැත. වර්තමාන ආණ්ඩුවේ මුදල් ඇමති 2015 පෙබරවාරියේ ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවය සඳහා නැවතත් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් කි‍්‍රයාත්මක කළේය. ඒ අතර ඔහු කොටස් දෙකකින් රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීමක් පෞද්ගලික අංශයට ලබා දෙන මෙන් හාම්පුතුන්ගෙන් ඉල්ලීමක්ද කළේ ය. එයටද හාම්පුතුන්ගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණි.
එම පසුබිමෙහි 2000 දී මෙන් අයවැය සහන දීමනා පනතක් මගින් යෝජිත රුපියල් 2,500 මාසික වැටුප් වැඩිවීම ලබා දෙන මෙන් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති බල කරන්නට විය. ඒ සම්බන්ධව තීන්දුවක් ගැනීම වෙනුවට අගමැති ප‍්‍රමුඛ මුදල් ඇමති කිහිප වර හාම්පුතුන් සමග වැටුප් වැඩි කිරීම ගැන අසාර්ථක සාකච්ඡුා පැවැත් වූහ. ඒ අතරතුර ඇමති මණ්ඩල සංශෝධනයෙන් නව කම්කරු ඇමති ලෙස පත් කෙරුණු නාවින්න ඇමති විසින් වෘත්තීය සමිති බලපෑම මත ඇමති මණ්ඩල පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු පනතකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්නට පියවර ගනු ලැබුවේය. එහෙත් එය කි‍්‍රයාත්මක නොවන ලෙස අගමැති විසින් හාම්පුතුන්ගේ සම්මේලනයද ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබිණ. හාම්පුතුන්ද ඉන්නා බැවින් අනිවාර්යෙන් මතු වූ පරස්පර හා ප‍්‍රතිවිරෝධතා සමග පෞද්ගලික අංශය වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු සිදු නොවිණ. ඒ සමස්ත කතාවෙන් අවධාරණය කෙරෙන වැදගත්ම කාරණාව වනුයේ වැටුප් වැඩිවීමකින් වාසි ලබන පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් ක්ෂේත‍්‍ර සේවක සේවිකාවන් 80 ලක්ෂයක් ඉදිරි මැතිවරණයේ ඡුන්දදායකයන් වන බවද නොසලකා, සමාගම් 530 ක් පමණ නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලනය සමග ආණ්ඩුව සිට ගැනීම ය. එනිසා සමාජීය වෙළෙඳපල ආර්ථිකයක් කි‍්‍රයාත්මක කිරීමේදී ඊට හවුල්වන සමාජීය පාර්ශ්ව කවරහුද යන්න අතිශයෙන් වැදගත් වන්නකි. එවැනි නව ආර්ථික ආකෘතියක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් තීන්දු ගැනීමේදී ආණ්ඩු විසින් හාම්පුතුන් සමග නොලියැවුණු හවුලක් තියා ගැනීමෙන් හර්ෂ ද සිල්වා යෝජනා කරන දේශපාලනික, ආර්ථික සහ සමාජ සාධාරණත්වය ඉටු කරගැනීමේ බරපතළ පරස්පර ඇතිවනු ඇත. එනිසාම විශේෂයෙන් සමාජ සාධාරණත්වය සඳහා සමාගම් හිමියන්ට අමතරව වෙනත් සමාජ පාර්ශ්වද හවුල් කරගත යතුව ඇත. ජාතික ප‍්‍රතිපත්ති සැකසීමෙහිදී බහුතර ජනතාව හසුව ඉන්නා සමාජ අසාධාරණය සාකච්ඡුා මේසයට ගෙන එන්නට හැකි සමාජ පාර්ශ්ව වැදගත් හා අනිවාර්ය හවුලක් විය යුතුය. එහෙත් එය අපගේ වැනි මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයක කි‍්‍රයාකාරිත්වය මත පිහිටුවා ඇති ආණ්ඩු පාලනයකින් ඉටු කර ගැනීම අතිශය අසීරු කාරණයකි.

සමාජීය වෙළෙඳපල ආර්ථිකයක් වඩා යහපත් ලෙස කි‍්‍රයාවට නැගීමට නම්, ඊට ගැළපෙන රාජ්‍ය ව්‍යුහයක් මත කි‍්‍රයාත්මක වන ආණ්ඩු පාලනයක් සඳහා දුරදිග යන ප‍්‍රතිසංස්කරණද අවශ්‍ය වේ. ස්විට්සර්ලන්තය ඒ සඳහා නිදසුනකි. එය නිදහස් කලාප එකතු කෙරුණු හවුල් පාලනයක් සහිත මහ ආණ්ඩුවක් ඇති තනි රටකි. එහි පාලනය සකස්වී ඇත්තේ කැන්ටන්යැ’යි නම් කෙරෙන කලාප 26 කින් ය. ඒ කලාප සඳහා වෙනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇත. ඔවුන්ට සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ සේවා, නීතිය කි‍්‍රයාත්මක කිරීම වැනි ප‍්‍රාදේශීය ජන සමාජයේ අවශ්‍යතා බාරවන අතර, බදු අය කිරීමට ද හැක. කලාප පාලන කි‍්‍රයාත්මක වන්නේ ‘සහභාගි ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යැයි ඔවුන් හඳුන්වා ඇති ජනතා හවුලක් සමගින් ය. ඒ අනුව කලාපයේ ව්‍යවස්ථාව හා නීති සංශෝධනයේදී ඒවා අනුමත කිරීමට, සංශෝධනය කිරීමට හෝ නිශේධ කිරීමට ජනතා කැමැත්ත වෙනුවෙන් ‘ජනපි‍්‍රය ඡුන්දයක්’ කැඳවීමට කලාපීය ජනතාවට ව්‍යවස්ථාමය අයිතියක් ඇත. සමාජීය වෙළෙඳපල ආර්ථිකයක තිබිය යුතු හර්ෂ ද සිල්වා අගය කරන දේශපාලනික, ආර්ථික සහ සමාජ සාධාරණත්වය පවත්වා ගත හැක්කේද එවන් පාලන ව්‍යුහයක ඇතිි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමගින් ය.

බලය බෙදීම අද අපගේ දේශපාලන න්‍යාය පත‍්‍රයෙහිද ඉහළින්ම ඇති ඉතා සංවේදී විෂයකි. එය එසේ ඉහළින්ම පවතින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභා වෙත බලය කි‍්‍රයාත්මක කළ හැකි අයුරු ලබාදීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් උනන්දු නොවුණු නිසා ය. මෙවර මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වැදගත් ලෙස බලය බෙදෙන ස්ථාවර දේශපාලන විසඳුමක් අවධාරණය කරන්නේ එනිසා ය.

සංවර්ධනය ගැන සාකච්ඡුාවේදී එවැනි බලයක් අවධාරණය විය යුත්තේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය පාලනයෙන් පිටමං කෙරුණු උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට පමණක් නොවේ. නිදහසින් පසු අවුරුදු 67 ක් සංවර්ධනය අත හැරුණු බහුතර සිංහල ප‍්‍රදේශවලටද එවැනි පළාත්බද බලයක් අවශ්‍ය වන්නේ ය. එහිදී තවමත් කතා නොවන වැදගත්ම සාධකය වන්නේ ස්විට්සර්ලන්තයේ වැනි ජන සහභාගි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයක් ව්‍යවස්ථාගත කිරීම ය. සමාජ සාධාරණත්වය අවසන් වශයෙන් තීන්දු වන්නේ සමාජීය පාර්ශ්ව සඳහා ලැබෙන එවැනි දේශපාලන අවකාශයක් සමගය.
අනාගතය සඳහා අවශ්‍ය වන එවැනි ප‍්‍රතිසංස්කරණ ජනතාවට වැදගත්වන අයුරු ඉටු කර ගැනීමට දේශපාලන නායකත්වයන්ට පමණක් නොව සමාජයටද දේශපාලන වුවමනාවක් තිබිය යුතුය. මේ පාර්ලිමේන්තු මැතිවරණ යෙන් යම් ප‍්‍රයෝජනයක් සමාජයට ගත හැක්කේ පුද්ගල කේන්ද්‍රීය වාද විවාද වලින් බැහැරව, සමාජ සාධාරණත්වයක් තහවුරු කරගත හැකි සමාජ සංවර්ධනයක් වෙනුවෙන් එවැනි විකල්ප ගැන කතා කිරීමෙනි. යහපාලනය ගැන කතිකාවට අරුතක් ලැබෙන්නේද එවිට පමණි.