2017 ජනවාරි 8 සැමරිය යුත්තේ කෙසේද?


sarath

මහාචාර්ය සරත් විජේසූරිය

ලංකාවේ රාජ්‍ය පාලනයෙහි වෙනසක් සඳහා 2015 ජනවාරි 08 වෙනිදා රටේ ජනතාවගෙන් බහුතරයක් ගත් තීන්දුව අව තක්සේරු කළ නොහැකිය. රටේ බහුතර ජනතාවක් යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අලුත් පාලකයන් විසින් සිදු කරනු ලබන දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරේ විශ්වාසයක් තැබූ බව විස්තර කළ යුතු නැත. අත්තනෝමතික පාලනයක් වෙනුවෙන් විපරීත කර තිබුණ ආයතන හා ඒවාට අදාළ පිළිගත් සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කරන අන්දම ගැන මේ රටේ නීති ගරුක පුරවැසියන් අපමණ බලාපොරොත්තු දල්වා ගත් බව ද කිව යුතු නැත.
2015 ජනාධිපතිවරණයේ දී සිදුවුණ තවත් සාධනීය සංසිද්ධියක් වන්නේ, ජාතිවාදය හා ආගමික අන්තවාදය පරාද කොට ශිෂ්ට සම්පන්න ශීලාචාර රාජ්‍ය පාලනයක් ගොඩ නැඟීමේ වැදගත් අවශ්‍යතාවට මහජන වරමක් ලැබීමයි. ශීලාචාර රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අපේක්ෂා දල්වා ගෙන වසර දෙකක් සම්පූර්ණ වන අවස්ථාවේ තත්වය කුමක් ද?

වෙනසෙහි වෙනස
ජනවාරි 08 වෙනස සිදුවී වසරක් සමරන විට 19 වෙනි සංශෝධනය ජනතාව අබිමුවට ගොස් කතා කිරීමට ඔසවා ප්‍රදර්ශනය කිරීමට ආණ්ඩුවට හැකි විය. දෙවසර සමරන විටත් සාධනීයම සාධකය එය ලෙසින් ප්‍රදර්ශනය කිරීමට සිදු වන්නේ නම් ඉන් රාජ්‍ය පාලනයේ බරපතළ පසුගාමී තත්වයකි ගම්‍ය වන්නේ.
ජනවාරි 08 වෙනස සිදු කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වුව, රාජ්‍ය පාලනයේ දී පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. එතුමා සහ එතුමාගේ පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් සිදු කළ වැදගත් කටයුතු මොනවා ද? ගෞරවයෙන් සිහිපත් කිරීමට තරම් කටයුතු නැත. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවුණ කටයුතු පමණි කැපී පෙනෙන්නේ. අගමැතිවරයා රාජපක්ෂවරුන් සමඟ පවත්වා ගෙන යන හොඳහිත ජනවාරි 08 වෙනසට දායක වූ නීති ගරුක පුරවැසියන්ගේ අපේක්ෂා භංගත්වය දිනෙන් දින ඉහළට ඔසවනු පෙනේ. වැදගත්ම අමාත්‍යාංශ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හෙවත් අගමැතිවරයාගේ වපසරියටයි. කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩ නැඟීම, අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ දූෂණ වංචා විමර්ශනය කිරීමේ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, යහපත් රාජ්‍ය පාලනයට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම යනාදි වැදගත් සියල්ල සම්බන්ධයෙන් වගකීම හා වගවීම පවරා ගෙන තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය බව පැහැදිලිය. එහෙත් තත්වය ඉතා ශෝචනීය වේ. එබැවින් ජනවාරි 08 තමා කෙරේ විශ්වාසය තබා රාජ්‍ය පාලනයට වරමක් ලබා දුන් ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ගැඹුරින් අවධානය යොමු කොට, වසර දෙකක් ගත වී යන තැනදී ජනාධිපතිවරයා නිර්භීත තීන්දු තීරණ කරා එළඹුණේ නැත්නම්, ජනවාරි 08 වෙනස ගැන උදම් ඇනීමට නොහැකිය.

යුක්තිය පසිඳලීම
ජනාධිපතිවරයා නිරතුරුව අවධාරණය කළ කරුණක් වූයේ, ‘තරාතිරම නොබලා කාටත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන’ බවයි. ඒ ප්‍රතිඥාව අමතක කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. එය සදාචාරාත්මක වශයෙන් ද වරදකි. අධිකරණය වෙත යොමු වී තිබෙන නඩු විභාග කිරීමට ගන්නා කාලය, ඇතැම් චෝදනාලාභීන්ට ඇප ලැබෙන අන්දම, මුදා හරින අන්දම විස්මයජනකය. පොදු දේපළ වංචා කිරීම යටතේ ඇප ලැබිය නොහැකි බව සාමාන්‍ය දැනීමට අනුව කාටත් පාහේ තිබෙන අවබෝධයකි. ඇතැම් විනිසුරුවන් ඒ බව නොතකා හරින තත්වයට හේතුව කුමක් ද?
පසු ගිය සමයේ රාජ්‍ය පාලනයේ සිදු කළ බරපතළ වැරදිවලට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂයි. මේ පරාජිත නායකයාට අදටත් විදේශගත වීමට ආණ්ඩුව ගුවන් ගමන් බලපත්‍ර, හෝටල් පහසුකම්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සියලු රැකවරණ ලබා දීම දිගින් දිගටම සිදු කරන තත්වයක් ඇත. හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ආරක්ෂක ලේකම් චීනයේ සමුළුවකට යන්නේ එකටය. සිරගතව සිටිය යුතු පුද්ගලයන්ට ආණ්ඩුව අත දිගහැර ප්‍රතිපාදන සලසමින් රැකවරණය සලසන යථාර්ථයක දී සාධාරණ අන්දමට යුක්තිය පසිඳලීමට පුළුවන්කමක් තිබේ ද?
බරපතල වංචා දූෂණ සහ අපරාද සම්බන්ධ නඩු එක දිගට අසා නිමකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට කරුණු සහිතව මේ වන විට පෙන්වා දී තිබෙන අවස්ථා අපමණය. ඒ හැම අවස්ථාවක දීම කරුණු පිළිගනිමින් ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දී තිබේ. එහෙත් වසර දෙකක් ගතවී යන මොහොතේවත් ජනාධිපති වරයාට තමන් සතු බලතල යටතේ නීත්‍යනුකූලව කළ හැකි ඒ කිසිවක් සිදු කර නැත. එබැවින් ජනවාරි 08 තමා කෙරේ විශ්වාසය තබා රාජ්‍ය පාලනයට වරමක් ලබා දුන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන්, ගැඹුරින් අවධානය යොමු කොට, වසර දෙකක් ගත වී යන තැනදී ජනාධිපතිවරයා අධිකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කොට යුක්තිය පසිඳලීමේ දී කාටත් එක සේ සාධාරණ සේ කටයුතු කරන ශිෂ්ට සම්ප්‍රදායක් කරා අවතීර්ණ නොවුණහොත් නිර්භීත තීන්දු තීරණ කරා නොඑළඹුණහොත් ජනවාරි 08 වෙනස ගැන උදම් ඇනීමට නොහැකිය.

නීතිය මත පාලනය
ලංකාව සිංගප්පූරුවක් කිරීමට මත්තෙන් ලංකාව නීතිය මත පාලනය වන රටක් බවට පත් කළ යුතුය. මන්ද, විශේෂයෙන්ම රාජපක්ෂ පාලන සමය තුළ නීතිය මත පාලනය විපරීත වී, නීතියක් නැති රටක් බවට ලංකාව පත්වුණ බැවිනි. මහින්ද රාජපක්ෂ මේ රටේ බහුතර ජනතාවක් සිය ඡන්දයෙන් පරාජය කළේ ඇයි? යන ප්‍රශ්නයට ලබා දිය හැකි හොඳම පිළිතුර වන්නේ, ‘නීතිය මත පාලනය වන රටක් ජනතාවට අවශ්‍ය වීම’ යන්නයි. ජනවාරි 08 වෙනසින් අනතුරුව ජනතාව තුළ මේ උතුම් අපේක්ෂාව දැල්වුණ බව කිව යුතු නැත.
මහා බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරයෙකු වූ ටොම් බින්හැම් විසින් ලියන ලද ඔයැ ඍමකැ ධf ඛ්අ නමැති ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් වේ. “සෑම මට්ටමකම සිටින ඇමැතිවරුන් සහ මහජන නිලධාරීන් තමන් වෙත පැවරී ඇති බලතල සද්භාවයෙන්, සාධාරණ ලෙස, එම බලය ලබා දී තිබෙන අරමුණ වෙනුවෙන්, එම බලතල සීමාව ඉක්මවා නොයන පරිදි සහ අසාධාරණ නොවන පරිදි ක්‍රියාවේ යෙදවිය යුතුය….. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියන්ට සිය නියෝජිත ආයතන, නිසි ලෙස සෑදූ, නීතිය යෙදෙන සියලුම අය එයින් බැඳ තබා ගන්නා නීති සෑදීම සඳහා බලගැන්විය යුතුව තිබෙන නමුත් එම නීති බලාත්මක කිරීම භාර වන්නේ විධායකයට, එදවස ආණ්ඩුවට සහ එහි සේවකයන්ට වන අතර, මෙකී නීතිවලට දැඩි ලෙස අනුකූලව ක්‍රියා කිරීමට මිස අන්කිසි අයුරකින් ක්‍රියා කිරීමට විධායකයට කිසිදු ලෙසකින් බලය ලබා නොදෙයි.”
ජනවාරි 08 වෙනසට දායක වූ සියලු දෙනාම තව දුරටත් නීතිය මත පාලනය, ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම ඉටු වනු අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාගෙනි. අග්‍රාමාත්‍යවරයා මේ අපේක්ෂාව බරපතළ අන්දමට බිඳ දමා තිබේ. ටොම් බින්හැම්ගේ කෘතියේ සිංහල පරිවර්තනයට පෙරවදනක් ලියන නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහත්මා මෙසේ පවසයි.
“නීතිය මත පාලනයේ ඉතාමත් කේන්ද්‍රීය අදහස නම් පාලනයට අදාළ වන්නා වූ සියලුම කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන ඕනෑම නිලධාරියෙක් රජයේ උසස්ම නිලය දරන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වූවත් කටයුතු කළ යුත්තේ ඔවුන්ට නීතියෙන් පවරා ඇති ආකාරයට පමණ ය. තමන්ට නීතියෙන් දෙනු ලබන බලයෙන් ඔබ්බට ගොස් ඊට වැඩි බලයක් පාවිච්චි කිරීම ඉතා බරපතළ වරදක් වෙයි. එමෙන්ම තමන් වෙත පවරා ඇති නෛතික යුතුකම ඉටු කිරීම පැහැර හැරීම ද ඒ ආකාරයෙන්ම බරපතළ වරදක් වෙයි.”
ජනවාරි 08 වෙනස සිදු වුණ පසුව නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කළේ රටේ පාලනය නීතිය මත සිදු වන අන්දම දැකීමය. මේ වෙනුවෙන් ජනාධිපතිවරයා ජනතාව අබිමුව පළ කළ අදහසක් වූයේ, තමා බලයට පත්වුණ පසුව දූෂිතයන්ට රටින් පිටවීමට ඉඩ නොදෙන බවයි. එබැවින් ජනවාරි 08 තමා කෙරේ විශ්වාසය තබා රාජ්‍ය පාලනයට වරමක් ලබා දුන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන්, ගැඹුරින් අවධානය යොමු කොට, වසර දෙකක් ගත වී යන තැනදී ජනාධිපතිවරයා නීතිය මත පාලනය වන රටක් ගොඩනැඟීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඊට අවශ්‍ය ශිෂ්ට සම්ප්‍රදායක් කරා අවතීර්ණ නොවුණහොත් නිර්භීත තීන්දු තීරණ කරා නොඑළඹුණහොත්, ජනවාරි 08 වෙනස ගැන උදම් ඇනීමට නොහැකිය. ඒ සම්බන්ධ සියලු ප්‍රතිඥාවන්ට හිමි වන්නේ ඉතිහාසයේ කුනු කූඩයයි.

සිවිල් සමාජය
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පොදුවේ පුරවැසියන් තුළ තිබෙන්නේ ප්‍රසාදයක් නොවේ. ඒ තත්වය සිවිල් සමාජයට ද අදාළය. එනමුත් කිව යුත්තේ යළි රාජපක්ෂවරුන්ගේ පාලනයකට මොනම අන්දමේ හෝ අවකාශයක් නොතිබෙන බවයි. රටේ නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරණයේ දී රට අබිමුව තැබූ ප්‍රතිඥා වෙනුවෙන් නොපමාව පියවර ගැනීමය.
රාජපක්ෂ පාලනය පරාජය කිරීමට කැපවුණ සිවිල් සමාජය අවමානයට ලක් කිරීම පමණක් නොව, යම් අන්දමකට මර්දනය කිරීමට ද අලුත් ආණ්ඩුව තුළට වී සැප විඳින හිතේ හැටියට බෙදා හදා ගන්නා සිටින දූෂිතයන් පිරිසක් වෙර දරන තත්වයක් ද ඇත. නීති ගරුක පාලනයක් වෙනුවෙන් දරදිය අදින ලද පුද්ගලයන් මර්දනය කිරීමට
ඔවුන් නීතියේ පිළිසරණ සොයන තත්වයක් ද ඇත. ආණ්ඩුව මොවුන් සම්බන්ධ නිසි තීන්දු නොගන්නේ නම්, මොවුන් ජනතා අධිකරණයක දී නිරුවත් කළ යුතුය.

අලුත් ව්‍යවස්ථාව
2020 දී රාජ්‍ය බලය උරුම කර ගන්නේ කෙසේ ද? යන කාරණයට වඩා ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු කාරණාව වන්නේ, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව පොදුවේ ජනතාවට අධ්‍යාපනයක් ලබාදීම නම් වූ කාරණාවය. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරම වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාටය. අගමැතිවරයා කල්පනා කරන්නේ නැවත ජනාධිපතිවරණයක් නම්, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් වැඩ සටහනක් දියත් කිරීම උදාසීන ආකල්පයකට තල්ලු කර දැමීමට පුළුවන. එය අභාග්‍යයකි. සිවිල් සමාජය තවමත් දකින්නේ සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය, රටේ අභිවෘද්ධියට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා අවශ්‍ය ප්‍රගතිශීලී තීන්දුවක් බවයි. එය එසේම විය යුතු වන්නේය.
2015 ජනාධිපතිවරණයේ දී අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධව ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රතිඥාව ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ගෞරවයට බඳූන් වන්නේය. ලංකාව ශීලාචාර නීති ගරුක රාජ්‍ය පාලනයකට අවතීර්ණ වන බවට සුබ සිහින පහළ කර ගත්තේය. සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කෙරේ තබා තිබෙන විශ්වසනීය වූ ගෞරවය ද අමතක නොකළ යුතුය. එබැවින් ජනවාරි 08 තමා කෙරේ විශ්වාසය තබා රාජ්‍ය පාලනයට වරමක් ලබා දුන් රටේ ජීවත්වන සියලු ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන්, ගැඹුරින් අවධානය යොමු කොට, වසර දෙකක් ගත වී යන තැනදී ජනාධිපතිතුමා අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනතාවට අවශ්‍ය අවබෝධය ලබා දීම සඳහා සාධනීය වැඩ සටහනක් දියත් කළ යුතු වන්නේය. අලුත් ව්‍යවස්ථාව අමතක කොට, ජනවාරි 08 වෙනස ගැන උදම් ඇනීමට නොහැකිය. එසේ වුවහොත් ඒ හා සම්බන්ධ සියලු අදහස්වලට හා ප්‍රතිඥාවන්ට හිමි වන්නේ ඉතිහාසයේ කුණු කූඩයයි.■