ජනාධිපතිවරයාව පත්කළේ එක්සත් ජාතික පක්ෂයයි | රංජිත් මද්දුමබණ්ඩාර


ranjith

තරිඳු උඩුවරගෙදර

ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් දැන් එක්සත් ජාතික පක්ෂයට දරුණු විදියට චෝදනා කරන්න පටන් අරන් නේද?
මං හිතන්නේ ආණ්ඩුවේ ඉන්න සියලු මැතිඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් තනතුරු ගත්ත කට්ටිය. පිරිසක් යහපාලනයට ගරහන එක හොඳ නැහැ. ආණ්ඩුවේ සංහිඳියාවට එය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා.

ආර්ථික සංවර්ධනය, ව්‍යවස්ථාව, දූෂිතයන්ට දඬුවම් දීම වගේ මේ ආණ්ඩුව ඉටුකළයුතු වගකීම් රැසක් තියෙද්දී මේ විදියට ප්‍රශ්න ඇතිකර ගන්නේ ඇයි?
ඇතුළෙ තියෙන ප්‍රශ්න ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැතිව ඇතුළෙ ඉඳන්ම විසඳාගත්තා නම් ඒවා ඉවරයි. මේ අය මං හිතන්නේ ආණ්ඩුවේ කටයුතුවලට බාධාවක්. මේ අයට අමතක වෙලා තියෙනවා තමන්ට එක්සත් ජාතික පක්ෂයේ අය ඡන්දය දුන්නා කියලා. ජනාධිපතිවරයාව පත්කළේ එක්සත් ජාතික පක්ෂය. ඒක මේ අයට අමතක වෙලා තියෙනවා. ඒක තමයි මෙතන ඇතිවෙලා තියෙන ප්‍රශ්නය.

මේ විදියට ආණ්ඩුව අවුරුදු පහක් ගෙනියන්න පුළුවන් වේවිද?
මං හිතන්නේ කිසි බාධාවක් වෙන එකක් නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි කෑගහන්නේ. බහුතරයක් ආණ්ඩුවේ සාමූහිකත්වය රකිමින් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. ඔය කෑගහන අයට බලයක් නෑ. ආණ්ඩුව ඉදිරියට පවතීවි. කෑගහන අයට මොනවා වේවිද කියලා අපි දන්නේ නැහැ.
ඔවුන් කියන්නේ එජාප නායකයන්ට දූෂිතයන්ව ආරක්ෂා කරමින් ශ්‍රීලනිපය දෙකඩ කරන්න කටයුතු කරනවා කියලා….
එක්සත් ජාතික පක්ෂයට කිසිම අවශ්‍යතාවක් නැහැ. අපට දිනන්න නම් අනිත් පක්ෂය දුර්වල කරන්න ඕනෑ නැහැ. අපි තනි පක්ෂයක් විදියට අන්තිමට තිබුණ මැතිවරණයේදීත් වැඩිපුර ඡන්ද ගත්තා. මහින්ද රාජපක්ෂව හෝ කාවවත් ආරක්ෂා කරන්න අපට ඕනෑ නැහැ. අපට ඕනෑ නීතිය ක්‍රියාත්මක කරන්න. හොරු ටික අල්ලන්න.

ආණ්ඩුව ඇතුළෙන් කියනවා මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරනවා. දූෂිතයන් ආරක්ෂා වෙනවාද?
අපිත් කියනවා අනිවාර්යයෙන්ම සොරකම් සම්බන්ධයෙන් දඬුවම් කරන්න ඕනෑ. ලංකාවේ සාමාන්‍ය ක්‍රියාදාමය අනුව වැරදිකරුවෙකුට දඬුවම් කිරීම පහසු නැහැ. පොල් කඩපු හොරෙකුට දඬුවම් කරන්නත් අවුරුදු හතරපහක් ගත වෙනවා. අපි කියන්නේ මේක ඉක්මන් කරන්න කියලා. අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කරලා ජනතා මුදල් හොරකම් කළ අයට දඬුවම් කළයුතු බව. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අපිත් අත්සන් කළා. ප්‍රශ්නයක් නෑ.

ගැසට් කරලා තියෙන ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනතට ශ්‍රීලනිප විරෝධය එල්ලවෙනවා. ඒ පනත ගැසට් කළේ කැබිනට් අනුමැතිය අරගෙන නෙවෙයිද?
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තමයි ගැසට් කළේ. ඒ වෙලාවේ සියලුදෙනාම ඒකට එකඟ වුණා. ඒක කළේ ආර්ථික සංවර්ධනය කඩිනම් කරන්නට. අද පිටරටින් එන විදේශ ආයෝජකයෙකුට පසුබිම හදාගන්න මහ විශාල කාලයක් ගතවෙනවා. අපේ ආයතනවල තියෙන අකාර්යක්ෂමතාව නිසා. ඒවා කඩිනම් කරන්නයි කටයුතු කළේ. ජේආර් ජයවර්ධන මහතා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය ගෙනා අවස්ථාවේදීත් ඔය විදියටම විරෝධයක් ආවා. හැබැයි ඉන්පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නවත් කවුරුත් කටයුතු කළේ නැහැ.

ලංකාවේ ඉතිහාසයේ විශේෂ බලතල තියෙන තනතුරු පත්කරන්නේ සංවර්ධනය කරන්නට කියලා. ඒත් අන්තිමේ ඒ තනතුරු ඒකාධිපති විදියට වැඩකළා මිසක් කළ සංවර්ධනයක් නැහැ. මේකත් ඒ වගේ වැරදි පූර්වාදර්ශයක් වේවිද?
මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. මේ රට වේගයෙන්ම සංවර්ධනය වුණේ ජේආර් ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති ධුරය පිහිටුවලා ඒ තනතුරේ කටයුතු කළ කාලයේ. මේ පනත ගෙනෙන්නේ කාටවත් බලතල අරගන්න නෙවෙයි. රට සංවර්ධනය කරන්නයි මේ පනත ගෙනෙන්නේ.

ශ්‍රීලනිපය කැබිනට් මණ්ඩලයේදී එකඟ වුණා නම් දැන් විරුද්ධ වෙන්නේ ඇයි?
කැබිනට් මණ්ඩල සාමූහිකත්වය රැකීම කැබිනට් ඇමතිවරුන්ගේ යුතුකමක්. කැබිනට් රැස්වීම ඉවරවෙලා පිටට ගිහින් ඒකට විරුද්ධව කතාකරනවා නම් ඒක ප්‍රතිපත්තිගරුක වැඩක් නෙවෙයි. එක්කෝ කැබිනට් මණ්ඩලයේදී මේක කියවලා නැහැ. නැත්නම් බොරු ප්‍රචාරය සඳහා දේශපාලන වාසි වෙනුවෙන් බොරු ප්‍රකාශ කරනවා. ජනප්‍රිය වෙන්න නොයෙක් ප්‍රකාශ කරන අය ඉන්නවා.

නව ව්‍යවස්ථාවක් ගැන කතාකරද්දී ශ්‍රීලනිපය කියනවා ජනමත විචාරණයක් නැති සංශෝධන විතරයි කරන්නේ කියලා. ඇත්තටම වෙන්නේ මොකක්ද?
ඒක එදාට අපි තීන්දු කරයි. අපට තුනෙන් දෙකේ බලය තිබුණත් පුළුවන් ව්‍යවස්ථාව සම්බන්ධව පියවර ගන්න. හැත්තෑඅටේ ව්‍යවස්ථාව ගෙනාවේ ජනමත විචාරණයකින් නෙවෙයි. හැත්තෑදෙකෙත් ජනමත විචාරණයක් තිබ්බේ නැහැ. අපට බලන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය කුමක් කියයිද කියලා. හැබැයි අපි කරන්න ඕනෑ හොඳ වෙනස්කම් ටික කරනවා.

හැත්තෑඅටේ ව්‍යවස්ථාවේදී තමයි ජනමත විචාරණය හඳුන්වලා දුන්නේ. එහි වගන්ති කිහිපයක් තියෙනවා, ඒවා වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි. ඉතින් අලුත් ව්‍යවස්ථාවකදී ඒ වගන්ති අහෝසි වෙන හින්දා ඒකට ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි. අලුත් ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් නැතිව ගෙනෙන්න බැහැ. අපට දැනගන්න ඕනෑ ආණ්ඩුව ගෙනෙන්නේ නව ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද?
අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නට තමයි ව්‍යවස්ථා සම්පාදක සභාවක් විදියට පාර්ලිමේන්තුව රැස්වුණේ. අලුත් ව්‍යස්ථාවක් කීවාට තියෙන එකෙන් අපි ගන්නා දේවල් තියෙනවා. එහෙත් ඉදිරියේදී කුමක් වේවිද කියලා හිතන්න බැහැ.

ඔබ අදහස් කරන්නේ ජනාධිපතිවරයාගෙන් හෝ ශ්‍රීලනිපයෙන් බාධාවක් ඇතිවෙන්න ඉඩක් තියෙනවා කියලද?
ශ්‍රීලනිපයේ ටික දෙනෙකු කියන දේවල්වලට රැවටෙන්න ඕනෑ නැහැ. මෙතැන ඉන්නවා ජාතික ලැයිස්තුවෙන් ආ අය. වාචාලකමට ඕනෑම දෙයක් කියන අය ඉන්නවා. ඒ අය ආණ්ඩුව කරන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. රජයේ ස්ථාවරභාවය කඩන්න ඕනෑවෙලා ඉන්න පිරිසක් ඉන්නවා. අපි හිතන්නේ ඒක රාජපක්ෂ කල්ලියෙන් මෙතැනට දාලා තියෙන අයගේ කුමන්ත්‍රණ.
ජනාධිපතිවරයා කියලා තියෙද්දී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියලා, ශ්‍රීලනිපයේ තවත් අය කියනවා අහෝසි කරන්නේ නැහැ කියලා.
ජනාධිපතිතුමා තමන්ගේ මතය පැහැදිලිවම කියලා තියෙනවා. ඔහු දැනටමත් තමන්ගේ බලතල අඩුකරලා තියෙනවා. ඔහු පැහැදිලිවම බලතල අත්හරින්න සූදානමින් ඉන්නවා. ඒත් ආණ්ඩුවේ සාමූහිකත්වය කඩන්න කැමති අය තමයි ඔය විවිධ ප්‍රකාශ කරන්නේ.

දැන් එජාප ඇමතිවරුන්ට ටොප්ටෙන් කියලා චෝදනා එල්ල වෙන්න පටන් අරන් නේද?
තමන්ගේ හොරකම වහගන්න අනිත් අයට චෝදනා කරනවා. පික්පොකට් ගහන හොරා කෑගහනවා අනිත් අයට චෝදනා කරමින්. දැන් වෙන්නේ ඒක තමයි. 2004ත් ඔය වගේම චෝදනා එල්ල කළා. හැබැයි ඒ එකක්වත් පරීක්ෂණ කළේ නැහැ. තලතා අතුකෝරල වගේ තමන්ගේ දේපළත් නැති කරගෙන දේශපාලනය කළ අයට චෝදනා එල්ල කරනවා.■