2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර


sunanda

2016 වනාහි ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳවැටීමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට කෑ දූෂිත දේශපාලනඥයන්ට දඬුවම් පැමිණවීමට අසමත්වීම නිසාම නොවේ. එම දූෂිතයන් රැකගැනීමට ජනාධිපති සහ අගමැති දෙදෙනාම ප්‍රසිද්ධියේ පෙනීසිටීම නිසා පමණක්ද නොවේ. දූෂණ විරෝධී ධජය අවපැහැගැන්වී ඇත්තේ වත්මන් රාජ්‍ය නායකයන්ද මහා පරිමාණ දූෂණ සහ ගසාකෑම්හි ගජරාමයට යෙදීසිටින නිසාය.
1977-1994 යූඇන්පී පාලන සමයෙහි එක් ලක්ෂණයක් වූයේ රාජ්‍ය දේපළ දූෂිත ලෙස පුද්ගලිකකරණය කිරීමයි. වේරහැර ලංගම වැඩපොල කුණු කොල්ලයට යූඇන්පීය රවි වෙත්තසිංහ නම් කූඨ ජාවාරම්කරුවකුට තෑගි දුන්නේය. පසුව ඔහු වැඩපොළ අතහැර එංගලන්තයට පලාගියේය. දැන් යූඇන්පීයේ හිතවතකු බව යළි පෙනෙන්ට තිබෙන මෙම රවි වෙත්තසිංහ ව්‍යාපාරිකයකු සහ ඇමැතිවරයකු වන ස්වාමිනාදන්ගේ පුද්ගලික ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙන යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනයාට යකඩ ගෙවල් ලබාදීමේ ජාවාරමේ අතරමැදියා බවට පත්ව තිබේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු සිවිල් සංවිධාන සහමුලින්ම විරුද්ධත්වය පළකර තිබියදීත් ඇමැති ස්වාමිනාදන් විසින් බලයෙන් දෙමළ ජනයා මත පටවන්නට යන මෙම යකඩ ගෙවල් ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රංශ සමාගමෙහි ලාංකික නියෝජිතයා අර කී වෙත්තසිංහමය. ඔහු ස්වාමිනාදන්ගේද හිතවතකු බව කියැවේ. යුද්ධයෙන් අසරණ වූ ජනයාගේ නාමයෙන් ගසාකෑම කොතැනකදැයි තේරුම්ගැනීම අමාරු නැත.
2016 වසර අවසන් වන්නේ මාසිකව ලක්ෂ 9ක් ගෙවා මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අමතර වාහන ලබාදීමේ යූඇන්පී යෝජනාව ගසාකෑමක් බව පෙනි පෙනීය. මෙලෙස අතිදැවැන්ත මුදලක් ගෙවමින් වාහන බද්දට ගනු ලබන්නේ යූඇන්පී ගැති ව්‍යාපාරිකයන්ගෙන් බවට අපට කැට තැබිය හැකිය. එම යෝජනාව හරියාකාරව සම්මතවීමටත් පෙර මුදල් අමාත්‍යාංශය වාහන බද්දට ගැනීම සඳහා පියවර ගනිමින් තිබේ. නිසි ලෙස ඉදිරිපත්ව නැති මෙම කූඨ යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේට අත්සන් නොකරන්නේ නම් ඉවත්ව යන ලෙස දන්වා තිබේ. මේ වනාහි තමන්ගේ සිතැඟි ක්‍රියාවට නොනඟන රාජ්‍ය නිලධාරීන් ඉවත්කරන බවට තර්ජනය කරන ලද ප්‍රථම අවස්ථාව නොවේ.
මහා පරිමාණ කරුංකා ජාවාරම, ගල් අඟුරු ජාවාරම, බැඳුම්කර මගඩිය යනාදිය යූඇන්පීයේ ජයවර්ධන සමයේ දූෂණ ඉක්මවා යන නොයන තරම් විශාලය.
2017 ජනවාරි 08වන දින වන විට දූෂණ වංචා සම්බන්ධයෙන් කැපීපෙනෙන පියවරක් නොගතහොත් තමා දේශපාලන තීරණයක් ගන්නා බවට පසුගියදා තර්ජනය කළ මෙගාපොලිස් ඇමැති චම්පික රණවකට තව ඉතිරිව ඇත්තේ සති තුනක් පමණි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සිවිල් සමාජ සංවිධාන විසින් දිගින් දිගටම කරගෙන යමින් ඇති උද්ඝෝෂණයට දැන් ඇමැතිවරුන් විසි දෙනෙකු පමණද එක්ව තිබේ. එවැනි විශේෂ අධිකරණයක් පිහිටුවීම දිගින් දිගටම කල්දැමීම මගින් රනිල්- මෛත්‍රී ආණ්ඩුව පෙන්නුම් කරන්නේ දූෂකයනට දඩුවම් කිරීමට ඇති ඈලිමෑලි දුබලතාවයි.
වසර 99කට හම්බන්තොට වරාය වීන සමාගමකට විකුණා තවත් අක්කර 15,000ක්ද ලියාදීමේ යූඇන්පී සැලැස්ම අඩුම වශයෙන් ජනාධිපතිවරයා සමඟ හෝ විස්තරාත්මකව සාකච්ජා කොට නොමැති බව දැනගන්නට තිබේ. චීන සමාගම් විසින් මෙවැනි අයෝජනයන් මගින් අප්‍රිකානු රටවල පරිසරයද ස්වභාවික සම්පත්ද හූරාකා ළඟාකර දී ඇති විනාශය යහපාලන ආණ්ඩුවට අදාළ නැති බව පෙනේ.
තවත් එවැනි අරෝවක් නම් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කුස්සි කැබිනට්ටුවේ ඇමැතිවරයකුට සුපිරි බලතල සහිත අමාත්‍යධූරයක් ලබාදීමට ගෙනැවිත් ඇති යෝජනාවයි. දැන් මෙම යෝජනාවට සිරිසේන පාර්ශ්වය විරුද්ධය. වික්‍රමසිංහ කියන්නේ තමා කෙසේ හෝ එම බලතල ලබාගන්නා බවයි.
ජනාධිපතිවරයා විසින් මෑතදී හෙළිදරව් කරන ලද නිල්වලා යෝජනා ක්‍රමයෙහි කරන ලදැයි කියන මිලියන 3000 සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන සේ රාජපක්ෂ පාර්ශ්වයද ඉල්ලීමක් කර තිබියදී ඒ ගැන දැන් හාවක් හූවක් නැත. එමෙන්ම මහ බැංකුවෙන් බිලියන ගණනාවක් පන්නාගෙන යන ලද බවට මුදල් අමාත්‍ය කරුණානායක විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙස රාජපක්ෂ කණ්ඩායම ඉල්ලා තිබේ. ඒ ගැන ද දැන් කතාවක් නැත.
රාජපක්ෂ සමයෙහි දැවැන්ත ජාවාරම්කරුවකු වූ තිරු නඬේසන් මහා මැතිවරණයෙන් පසු අගමැති කාර්යාලයේ සමීපතමයකු බවට පත්වූ බවට වාර්තා විය. කුප්‍රසිද්ධියට පත් බැසිල් රාජපක්ෂගේයැයි කී මල්වාන මාලිගය සහිත අක්කර අටක ඉඩමෙහි මුල් අයිතිකරු වූයේ එකී තිරු නඬේසන්ය. මල්වාන මාලිගය පිළිබඳ ප්‍රශ්නයට අදාළව කල් පසුවී හෝ තිරු නඬේසන්ගෙන් ප්‍රශ්න කරන ලද වහාම ඔහුගේ බිරිඳ වූ නිරූපමා රාජපක්ෂ ජනාධිපති සිරිසේනට පක්ෂව ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ පිලෙන් දුරස් විය. දැන් ඉතිං තිරු නඬේසන්ට ප්‍රශ්නයක් නොවනු ඇත.
මහජන නියෝජිතයන් සුවිශේෂ දේශපාලන පංතියක් බවට පත්කිරීම ආරම්භ කරන ලද්දේ ජේආර් ජයවර්ධන විසිනි. එම පංතිය දූෂණයේ ආර්ථිකයේ දුෂ්ට හවුල්කරුවන් බවට වර්ධනය කරන ලද්දේ රාජපක්ෂ විසිනි. දැන් අගමැති වික්‍රමසිංහගේ සැලැස්ම වන්නේ එම පංතිය ජාවාරම්කාර පංතිය ලෙස තහවුරු කරගැනීමයි. මහජනයා මත අධික බදු පටවමින් මෙකී දේශපාලන පංතියට වරදාන පිට වරදාන ලබාදීම මෙම ආණ්ඩුවේ පිළිවෙතය.
අප තරුණ කාලයෙහි මහජන නියෝජිතයන් මෙලෙස ජාවාරම්කාර ධනපතියන් බවට පත්වූයේ නැත. මා දැනසිටි අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ශ්‍රීලනිපයෙහි පී.ද.එස්. කුලරත්න සහ එජාපයෙහි දොස්තර සද්ධාසේන හෝ රයිටර් තිලකසේකර මන්ත්‍රී ධුරයෙන් හම්බකරගත්තේ නැත. අසල්වැසි බලපිටියේ මන්ත්‍රීවරයා වූ සමසමාජ එල්.සී.ද සිල්වා හෝ රත්ගම කොමියුනිස්ට් පක්ෂ ඇම්.ජී. මැන්දිස් හෝ එවැනි ජාවාරම්කරුවන් බවට පත් නොවූහ. නගර හෝ ගම් සභා සභිකයෝ සිය සාමාන්‍ය ජීවන තත්ත්වය එලෙසම පවත්වාගත්හ.
එහෙත් අද බලන්න. අද ප්‍රාදේශීය සහා නියෝජිතකමක සිට මන්ත්‍රීකමක් ලබාගැනීම යනු දූෂණයේ ආර්ථිකය සහ දේශපාලන වරදාන මගින් ජාවාරම්කාර පංතියට එක්වීමේ ක්‍රමයයි. ඔබේ ප්‍රාදේශීය නියෝජිතයා හෝ මන්ත්‍රීවරයා එසේ ජාවාරම්කරුවකු වී නැත්ද?
වත්මන් ආණ්ඩු ප්‍රධානීන්ට ජනවාරි විප්ලවය විසින් පිටුබලය සපයන ලද්දේ මෙකී දූෂණයේ සහ වරදානයේ විෂම චක්‍රය බිඳදැමීම පිණිසය. සිරිසේන දේශපාලනය මගින් ජාවාරම්කාර පංතියට ඇතුළු වී තිබුණේ නැත. ඔහුට මෙරට දේශපාලනඥයන්ට කලාතුරකින් ඇති ‘මිස්ට ක්ලීන්‘ ප්‍රතිරූපයක් තිබූ අතර දේශපාලන පණිවිඩයක් ලෙස රතු ෂර්ට් අදින ඔහු සමාජ සුභසාධනය කෙරෙහි මූලික තැනක් දෙනු ඇතැයි අදහසක්ද තිබුණි. වික්‍රමසිංහද ‘මිස්ට ක්ලීන්‘ චරිතයක් ඇති ලිබරල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම අරමුණු කරගත් දේශපාලනඥයකු යැයි පිළිගැනීමක් ලබාගෙන තිබුණි.
පසුගිය වසර තුළ යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානතම හානිය වන්නේ වික්‍රමසිංහගේ එම ප්‍රතිරූපය බිඳීයෑමය. ඔහුගේ මූලික දේශපාලන ව්‍යාපෘතිය ජේ.ආර්. ජයවර්ධනගෙන් වෙනස් නොවන හුදෙක් ධනපති ක්‍රමය සහ ධනපති පංතිය ආරක්ෂා කර වර්ධනය කිරීම බව දැන් පැහැදිලිය. ඔහුගේ සගයෝ දැන් ගජරාමෙට ගසාකති. සිරිසේනගේ ‘මිස්ට ක්ලීන්‘ ප්‍රතිරූපයද යම් දුරකට කිළිටු වී ඇති අතර ප්‍රබුද්ධ සහ ශූර දේශපාලනඥයකු වශයෙන් මතුවීමට ඔහු සමත්වී නැත.
2017 වසර කරා අප ගමන් කරන්නේ මෙරට දේශපාලනයෙහි සුසමාදර්ශී වෙනසක් ඇතිකිරීමට මෙම දෙදෙනා දිගින් දිගටම අසමත්වෙමින් සිටියදීය. එම හේතුවම පාදක කරගනිමින් අගමැති සහ ජනාධිපති අතර ඇති ගැටුම පුපුරා යාමේ විභවයන්ද මෝරාඑමින් තිබියදීය. මේ දූෂණ පිටුදැකීමේ කෝණයෙන් පමණි.
එම කාරණය පමණක් සැලකිල්ලට ගත්තද 2017 යහපාලන ආණ්ඩුවේ නොව යහපාලනයේ තීරණාත්මක වසරක් වීම වැළැක්විය නොහැක.■