Untitled-1

Untitled-1

සීමාව ඉක්මවූ ප්‍රජාතන්ත්‍රවාදය අනධිකාරීවාදයකට ඉඩ සලසනවා | මහාචාර්ය ඒ.එම්.ඕ. සොයිසා


zoyza

මේ වෙද්දී රටට ඕනෑ අලුත් ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද?
අලුත් ව්‍යවස්ථාවක් වෙනයි, සංශෝධන වෙනයි. සංශෝධනයක් අවශ්‍ය නම් අපි බලන්න වෙනවා මේ ව්‍යවස්ථාවේ රාමුව. ඒකට අවශ්‍ය සංශෝධන මොනවාද කියලා හිතන්න වෙනවා. අලුත් එකක් අවශ්‍ය නම් තියෙන එක ගැන සම්පූර්ණයෙන් අමතක කරලා අලුත් එකක් ගැන හිතන්න වෙනවා. මගේ අදහස මේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සමහරු තර්ක කරනවා සංශෝධන ප්‍රමාණවත් කියලා. මෙහෙම කතිකාවතක් පැනනඟින්න එක හේතුවක් තමයි හැත්තෑ අටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණු මොහොතේ පටන් රටේ අනුක්‍රමයෙන් බිහිවුණු විධායක ආඥාදායකත්වය. ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රමය එක්ක තර්ක දෙකක් ඉදිරිපත් කළා. ඒ තමයි, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ දේශපාලන ස්ථාවරභාවය ගොඩනඟන්න ඕනෑ කියලා. ඔහු හිතුවා ව්‍යවස්ථා දායකයේ පාලනයට යටත් නොවන ශක්තිමත් විධායකයක් අවශ්‍ය බව. ඒ හරහා ආර්ථික සංවර්ධනයක් ඇතිකරන්න බලාපොරොත්තු වුණා. ඒත් ඇතිවුණේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. ආර්ථික වශයෙන් යම් වෙනසක් වුණා. විවෘත ආර්ථිකයට දොස් කියන්නේ අද වාමාංශිකයන් පමණයි. අපි පිළිගත යුතුයි විවෘත ආර්ථිකය යහපත් පියවරක් බව. එහෙත් දේශපාලන වශයෙන් ඇතිවුණේ නොසිතූ ප්‍රතිඵලයක්. ජේආර් ජයවර්ධන ජනාධිපතිගේ ක්‍රියාකලාපය තුළින් ඔහුගේ ආඥාදායකත්වය ප්‍රකට වුණේ නැහැ. ඔහුට අභියෝග කරන්න පෞරුෂයක් තිබුණේ නැහැ. හැබැයි ඉන්පස්සේ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා බණ්ඩාර නායක ජනාධිපතිවරුන්ගේ කාලයේදී ආඥාදායකත්වය ටිකෙන් ටික මතුවුණා. එහි උපරිමය අපි දැක්කේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේදී. එය උච්චතම තත්ත්වයට යමින් ආඥාදායකත්වය මදි කියලා දහඅටවැනි සංශෝධනයෙන් අධිආඥාදායකත්වයක් කරා පාර නිර්මාණය කරගත්තා. මේ නිසා භයානක තත්ත්වයක් ඇතිවුණා. මේකෙන් ජේආර් ජයවර්ධනගේ කාලේ තිබුණු ආර්ථික සංවර්ධනයත් නැතිවෙලා ආඥා දායකත්වයත් වර්ධනය වුණා. ඒ නිසා තමයි 2014 අවසාන වෙද්දී ඇතිවුණ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ව්‍යවස්ථාවක් පිළිබඳ ඉල්ලීම් මූලික කරගත්ත ජනාධිපතිවරණ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වුණේ. මිනිස්සු ඉල්ලා හිටියා අලුත් ව්‍යවස්ථාවක්. ඒ සඳහා මූලික වශයෙන් ඉල්ලූ දේ තමයි ආඥාදායක පාලනය ඉවත් කළ යුතුය කියන එක. ඒක සංශෝධනයකින් කරන එක ලේසි නැහැ. සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යුහයම ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න වෙනවා. මේකට තියෙන එකම විසඳුම කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. ඒක සංශෝධනයකින් කරන්න අමාරුයි. මේක දහනව වතාවක් සංශෝධනය කරලා තියෙන්නේ. තවත් සංශෝධන කරන්න බැහැ.

ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක් වැදගත් වෙන්නේ කොහොමද?
පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලැබුණේ නැහැ. හතළිස් අටේ ගත්තාම ජාතික ගැටලු ඇති කළා. විසිනවවැනි වගන්තිය මගින් හොඳක් වුණායැයි අදහස් තිබුණත් ඇත්තටම ඒකෙන් මහජාතියේ අන්තවාදීන්ට අනවශ්‍ය අවියක් ලැබුණා. ඔවුන් කීවා මේක සිංහලයන්ට හානිදායක, සිංහලයන්ගේ අයිතිය නැතිකරන එකක් කියලා. මේ ප්‍රශ්නය නැතිකරනවා කියලා නවසිය හැත්තෑදෙකේ ව්‍යවස්ථාව ආවේ. ඒක නම් ව්‍යවස්ථාවක් කියලා කියන්නත් බැරි ජාතියේ ගෝත්‍රවාදී ලියවිල්ලක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කරන්න ඒක ගැළපෙන්නේ නැහැ. ඒකෙන් වැරදි දෙකක් කළා. එකක් බුද්ධාගම ගෙනල්ලා ජාතියට ගැටගැසීම. මං දන්නෑ රාජ්‍යයකට ආගමක් පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. රාජ්‍යය කියන්නේ අවිඥානික දෙයක්. ව්‍යවස්ථාවෙන් මේ දෙක ගැටගැසීම නිසා සුළුතර ජනවර්ගවල පීඩනය වැඩිවුණා. බහුවාර්ගික සමාජයක් තුළ රාජ්‍යය අපක්ෂපාතී බේරුම් කරුවෙකු විය යුතුයි කියන එක දේශපාලන විද්‍යාවේ මූලිකම සිද්ධාන්තයක්. රාජ්‍යය එක් ජනකොටස කගේ පෞද්ගලික දේවල් තමන්ගේ දේවල් බවට පත්කර ගන්න බැහැ. අරකෙන් බෞද්ධ ජනතාවගේ පැත්තට රාජ්‍යය ගියා. ඊට පස්සේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ප්‍රශ්නය තවත් වර්ධනය කළා. දැන් රාජ්‍යය සිංහල බෞද්ධයාගේ පක්ෂපාතී බේරුම්කරුවෙක්. මේවා හැත්තෑඅටේ ව්‍යවස්ථාවෙන් පවත්වා ගෙන ගියා. මේවා තමයි ජාතික සමඟියට තිබුණු ප්‍රධාන බාධා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී යුද්ධයෙන් ඇති කළ දේශපාලන මානසික සංකල්ප තුළින් ගොඩනැගූ ආකල්ප එක්ක සුළු ජනවර්ගවල මානසි කත්වයට එකතුවුණ, ‘තමන් අසාධාරණයට පත්වෙනවා’ කියන සංකල්පය තවත් වැඩිවුණා. සන්නද්ධ අරගලයට දුන්නු විසඳුම යුද්ධය. මානසික හැඟීම් වශයෙන් ඇතිවුණු දුගීභාවය වෙනස් කරන්න මහින්ද රාජපක්ෂ පියවරක් ගත්තේ නැහැ. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් අය රුපියල් පහකින් අල අඩුකරන්න ඉල්ලුවේ නැහැ. මේ අය ඉල්ලුව ප්‍රධානම ඉල්ලීමක්, ආඥාදායකත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම විශාල පිරිසක් ඉල්ලුවා ජනවාර්ගික අර්බුදයට විසඳුමක් දෙන්න කියලා. උඩින් කීව ප්‍රශ්න දෙකටම විසඳුම් මේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙනල්ලා පමණක් හොයන්න බැහැ.

ව්‍යවස්ථාව ඒකීය විය යුතුද කියන ප්‍රශ්නය ගැන ඔබේ අදහස මොකක්ද?
ඒකීය සංකල්පය අල්ලාගෙන දෙපැත්තේම තියෙන කතාබහ විකාර කතාබහක්. හැත්තෑඅටේ ව්‍යවස්ථාවෙන් කළ බරපතළම වැරැද්දක් තමයි මේ ඒකීය කියලා වචනයක් දාලා මේ රටේ ජනතාව භේදභින්න කරපු එක. මේක ඉවත් කරන්න ඕනෑ. ඒකට බොහෝදෙනෙක් අකැමති වෙන්න පුළුවන්. හැබැයි ඒවා කරන්න ඕනෑ. දැන් උදාහරණයක් ගත්තාම පළාත් සභා ක්‍රමය ගෙනෙනකොට බරපතළ විදියට විරෝධයක් ආවා. හැබැයි ඉන්පස්සේ ඒකට හැඩගැහුණා. ඒ වගේම තමයි දේශපාලන තීන්දු ගැනීමේදී මුලින් විරුද්ධ වෙන්න පුළුවන්. ඡන්දය බලාගෙන මිනිස්සුන්ව සන්තෝෂ කරන්න බලාගෙන රටක් පාලනය කරන්න බැහැ. දේශපාලනයයි රටක් පාලනයයි කියන්නේ දෙකක්.

ඇතැම් අය කියනවා, ව්‍යවස්ථාවට වඩා මේ වෙලාවේ ජීවන වියදම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. බදු වැඩිවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. උදාහරණයක් විදියට වැඩියෙන්ම හැත්තෑඅටේ ව්‍යවස්ථාවට විරෝධය පෑව වාසුදේව නානායක්කාරත් කියනවා දැන් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. ඒ ගැන අදහස මොකක්ද?
දැන් මහින්ද රාජපක්ෂ ගෙන් යැපෙන්නෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. වාසුදේවත් ඒ වගේ. වාසුදේව ගැන කියන්න පුළුවන් එක වාක්‍යයක් විතරයි. එයාට දැන් ඕනෑ රාජ්‍ය ගෞරව එක්ක අවසානය කරා යෑමේ වුවමනාව. නැත්නම් මේ තරම් ඔහු අන්තවාදී වීම කවදාවත් වෙන්නේ නැහැ. කිසිම විප්ලවීය අදහසක් නෙවෙයි, රාජ්‍ය බලය අතට ගැනීමේ අවශ්‍යතාවක් තමයි ඔහුව මෙහෙයවන්නේ. ඒක තේරුම්ගැනීම අපහසු නැහැ. තවත් ඉන්නවා. හාමුදුරුවරු, අන්ත ජාතිවාදීන් වගේ අය. නව ව්‍යවස්ථාවකින් රටේ ප්‍රශ්න විසඳුණොත් එයාලාට කතාකරන්න ආයුධ නැහැ. මෙයාලාට තියෙන්නේ ජාතිවාදී සටන්පාඨ. ඉතින් ඒකීයභාවයයි, බුද්ධාගමට මුල් තැන දීමයි ගැන විකාර කියවනවා. එයාලාට ඉඩ දෙනවා වැඩියි මේ ආණ්ඩුව. සීමාව ඉක්මවූ ප්‍රජාතන්ත්‍රවාදය අනධිකාරී වාදයකට ඉඩ සලසනවා. මේක අවභාවිත කරන කොටස් තමයි ආබාධිත සෙබළුන් එවලා ප්‍රශ්න ඇතිකරන්නේ. විවිධ ව්‍යාජ සටන් නිර්මාණය කරන්නේ. මිනිස්සු හිතනවා මේ ආණ්ඩුව සිංහල විරෝධීයි, බෞද්ධ විරෝධීයි කියලා. ජනාධිපති රට පාවා දෙනවා කියලා. මෛත්‍රීපාල සිරිසේනත් සිංහල බෞද්ධයෙක්. ඔහු මේ රට පාවා දෙනවා නම් දෝෂාභි යෝගයක් ගෙනෙන්න පුළුවන්. ඇයි එහෙම එකක් ගෙනෙන්නේ නැත්තේ. රනිල් වික්‍රමසිංහට විශ්වාස භංගයක් ගෙනෙන්න පුළුවන්. එහෙම නොකර මේ කියවන්නේ මොනවාද? මොනවා වුණත් මේ ආණ්ඩුව 2020 වෙනකම් තියෙනවා. ඒක පරාජය කරන්න ඉඩක් නැතිවුණාම තමයි විවිධ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුපිත කිරීම් ඇති කරන්න උත්සාහ කරන්නේ.

ඒවා මර්දනයටත් වඩා ආණ්ඩුවට තමන්ගේ පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්නට ප්‍රමාණවත් ප්‍රචාරක ව්‍යාපෘතියක් නැතිවීම ප්‍රශ්නයක් නෙවෙයිද? ආණ්ඩුවේ ඇතැම් අය දන්නේ නැහැ තමන් කරන්නේ මොනවද කියලා.
මේ ආණ්ඩුවේ තියෙන උපන්ගෙයි දුර්වලකමක් ඒක. ආණ්ඩුව මොනවා කරනවාද කියලා කවුරුත් දන්නේ නැහැ. දිනපතා පත්තරයක් ගත්තාම ජනාධි පති වරයාගෙයි අගමැති වරයාගෙයි කතා පිටුවක් පිරෙන්න තියෙනවා. තමන් කරන දේවල් ගැන ආණ්ඩුව ජනතාව වෙත හරියට පණිවිඩයක් යවන්නේ නැහැ. ආණ්ඩුව විපක්ෂයේ හිටපු කාලයේ වාගේම පරතරයක් එක්කයි අදහස් ගලා යන්නේ. හැබැයි විරුද්ධ කණ්ඩායමට හොඳ සැලැස්මක් තියෙනවා මහජනයා අතරට යෑම සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව ඉදිරියට යා යුතුයි. මේක කිසිසේත්ම වට්ටන්න දෙන්න බැහැ. මේක ගෙනාවේ බොහොම අමාරුවෙන්. ඒ යම් අරමුණක් වෙනුවෙන්. ඒ අල රුපියල් පහකින් අඩුකරන්න නෙවෙයි. මේ ආණ්ඩුව යායුතු ගමනක් තියෙනවා. දීර්ඝකාලීන අරමුණක් තියෙනවා. මහින්ද රාජපක්ෂගේ හොඳම ආණ්ඩුවටත් කරන්න බැරි දේවල් මේ නරක ආණ්ඩුවට කරන්න පුළුවන්. මහින්දගේ හොඳම ආණ්ඩුව මේ ආණ්ඩුවේ නරකම තත්ත්වයටත් වඩා දහස් ගුණයක් නරකයි. මන්ත්‍රීවරුන් ගත්තාම ඔවුන්ට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයෑමේ වුවමනාවක් නැහැ. ආණ්ඩුව කරන දේවල් ගැන ඔවුන් හොයන්නේ නෑ. එයාලාට ඊට වඩා වැදගත් ජාතික ප්‍රශ්න තියෙනවා. පර්මිට් කාර් එක ගෙනල්ලා විකුණන එක, දීමනා ගන්න එක, වාහන පෝලිමක් අරගෙන උජාරුවෙන් පාරේ යන එක, පිටරට සවාරි යන එක. ඕවා තමයි එයාලාට තියෙන ප්‍රශ්න. යූඇන්පී ශ්‍රී ලංකා කියන බෙදීම් එක්ක සාම්ප්‍රදායික දේවල් ටිකක් කියවන එක තමයි එයාලාගේ වැඬේ. තමන්ට තියෙන දේශපාලන තර්ජන ගැනවත්, ඒවා ජයගන්න විදිය ගැනවත් එයාලාට වුවමනාවක් නැහැ.

උතුරේ දේශපාලන නියෝජිතයන් අපෙන් අහනවා එදා හිටපු ෆෙඩරල්වාදීන් කෝ කියලා. ව්‍යවස්ථාව ගැන ප්‍රගතිශීලී අදහස් දැක්වූ අය දැන් නිහඬද?
ෆෙඩරල්වාදීන් සහ ෆෙඩරල් තරම් දුරදිග නොගියත් බලය බෙදීමක් වෙනුවෙන් පෙනීසිටින අය එහෙමම ඉන්නවා. එයාලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් උදාසීන ගතියක්, පසුබෑමක් පෙන්වනවා. හේතුව මේ ආණ්ඩුව ගැන තබා තියෙන විශ්වාසය. ඒ හින්දා කතා නොකර ඉන්නවා. ඒත් සමහරු කරන්න කියලා බලකරනවා. හැබැයි ඔවුන්ගේ කලින් තිබුණු සංවිධානාත්මක ගතිය සහ ක්‍රියාශීලී ගතිය පෙන්වන්නේ නැහැ. ඔවුන් ක්‍රියාශීලී වීම වැදගත්.

බලය බෙදීම සිදුවිය යුත්තේ කොහොමද?
පළාත් සභා ක්‍රමයෙන් බලය බෙදීමක් සිද්ධවෙලා තියෙනවා. එහෙත් ප්‍රශ්නය ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවය. අනෙක් අතින් සමගාමී ලැයිස්තුව, ආණ්ඩුකාරවරයාගේ බලය වගේම පනත් හැටදෙකක පමණ ප්‍රමාණයක් තියෙනවා පළාත් සභාවල බලය සීමා කරන. උදාහරණයක් විදියට ආර්ථික සංවර්ධන පනත. මේ තමයි ප්‍රශ්නය. බලය බෙදීම ඒකීය ක්‍රමයක් තුළ කරනවා කියන එක හරි ගැටලුසහගතයි. පොලිස් බලතල සහ ඉඩම් බලතල තමයි ඉල්ලන්නේ. පොලීසිය කියන්නේ හමුදාවක් නෙවෙයි සිවිල් දෙපාර්තමේන්තුවක්. ඔවුන් ආයුධ පාවිච්චි කළයුතු නැහැ. පළාත් විදියට බෙදිලා ආයුධ සන්නද්ධ පිරිසක් පළාත්වලට වෙන වෙනම දුන්නාම ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මුලින්ම අදහසක් ඇතිකර ගන්න ඕනෑ සිවිල් දෙපාර්තමේන්තුවට බැටන් පොල්ලක් විතරක් දුන්නාම ඇති කියන එක. ගැටලුවක් ඇතිවුණොත් ඒකට විශේෂ කණ්ඩායම් ඇති කරන්න පුළුවන්. හැබැයි දැන් හැම පොලිස් නිලධාරියාගේම කරේ ටීපනස්හයක් තියෙනවා. ඉඩම් බලතල කියන්නේ ලොකු තේරුමක් තියෙන ඉල්ලීමක් නෙවෙයි. මිනිස්සු පාවිච්චි කරන ඉඩම් හැර අනෙක් ඉඩම්වල අයිතිය ලබාදීමෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. බලතල බෙදීම හරහා සිදුවෙන්න ඕනෑ මොනවාද කියලා මාත් ලොකු පැහැදිලි කිරීම්වලට යන්නේ නැහැ. හැබැයි පළාත්වලට නිදහසේ ක්‍රියාකරන්න අයිතිය දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒකට ඉතා සරල දේවල් තමයි කරන්න ඕනෑ. ඒක ගැටුම් ඇති නොවෙන විදියට සංශෝධනය කරන්න ඕනෑ. ඒක කරන්න පුළුවන්. ඒවා සම්බන්ධයෙන් නිවැරදි අදහස් සමාජගත කරන්න ඕනෑ. කාටවත් බිය නොවී ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ.■