රනිල් හැංගූ වැලිකඩ ඝාතන වාර්තාව 5 |අනේ සර් මාව මරන්න එපා කළු තුෂාරගේ ජීවිතයේ අන්තිම මොහොත


wijedasa

අරුණ ජයවර්ධන

අවි සහිතව හමුදාවත් එක්ක ගැටුණු එකො ලොස් දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමේ පුද්ගලයෝ තමයි මේක සංවිධානය කරලා, මේකේ නායකත්වය අරගෙන අවි ගබඩාව කඩලා අවි පැහැරගත්ත මූලිකයන් හැටියට අපි හඳුනාගත්තේ. ඒ එකොලොස් දෙනා දැනට මියගිහිල්ලා ඉන්නවා. ඒ අය අතර එල්ලුම්ගහට නියමවෙච්ච තුන් දෙනෙක් ඉන්නවා. අසරප්පුලිගේ ජෝතිපාල නොහොත් කපිල, මලින්ද පැල්පොල නොහොත් මාලන්, ඒ වගේම ලෙස්ටර් ද සිල්වා. මෙයාත් එල්ලුම් ගහට නියමවෙච්ච පුද්ගලයෙක්. ජීවිතාන්තය දක්වා සිරඳඬුවම් විඳිමින් හිටපු පුද්ගලයෙකුත් මෙතන මියගිහිල්ලා ඉන්නවා. සැකකරුවන් හතර දෙනෙකුත් ඉන්නවා. මංජු ශ්‍රී හර්ෂ, අපේ කෝට්ටේ පන්සලේ ස්වාමීන් වහන්සේ ඝාතනය කළ එක් සැකකරුවෙක්. තුෂාර චන්දන නොහොත් කළු තුෂාර. කළු තුෂාර ඉතාම අපරාධ ගණනකට අවශ්‍යවෙලා තිබුණා. කොණ්ඩ අමිල. මේ සියලු දෙනාම දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන්. ඔවුන් තමා මේකට මූලිකත්වය අරගෙන අවි ගබඩාව කඩලා අවි බලහත්කාරයෙන් අරගෙන මෙතන සම්පූර්ණයෙන් කලබලය ඇතිකළ පුද්ගලයන්.’
මේ එවකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, 2012 නොවැම්බර් 10වැනිදා උදේ හෙවත් බන්ධනාගාර ඝාතනය සිදුවුණදාට පසුදා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිට මාධ්‍යවලට කී කතාවයි. අතේ තිබුණු ලැයිස්තුවක් අනුව, නම් අඬගසා කැඳවාගෙන ගොස්, බන්ධනාගාර රඳවුවන් තිරිසන් ලෙස ඝාතනය කිරීම සාධාරණීකරණය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී කියන්නේ, සිරකරුවන් අවි ගබඩාව කඩා අවි පැහැරගෙන කලබලය සැලසුම්සහගතව ඇතිකළ බවයි. එහෙත් එය අමූලික බොරුවකි.
අනුර සේනානායකට රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ භාරදී තිබුණු එක් වගකීමක් වුණේ ආණ්ඩුවේ අනුදැනුම හා සැලසුම මත කැරුණු මේ ආකාරයේ තිරිසන් ඝාතන, වෙනත් ආකාරයකින් සිදුවූ බවට අර්ථකථනය කිරීමය. දෛවයේ සරදමකට මෙන් අද ඔහුද වැලිකඩ බන්ධනාගාරයේ රඳවුවෙකි. ඔහු එහි ඉන්නේ විශේෂ ආරක්‍ෂාවක් සහිතවය. එසේ ඉන්නට සිදුවූයේ, වසීම් තාජුදීන් ඝාතනය, වෙනත් ආකාරයකින්, එනම් රිය අනතුරකින් සිදුවූ බවට අර්ථකථනය කිරීමේ වරද නිසාය. 2012 වැලිකඩ ප්‍රහාරයේදී වෙඩි වැදී, තුවාල වී අනූනමයෙන් ජීවිතය ගලවාගත් සමහර රඳවුවන් අදත් ඔහුගේ වාට්ටුවට අල්ලපු වාට්ටුවල සිටිනවා ඇත.
එවකට බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීරය. වැලිකඩ ඝාතනය ගැන 2012 දෙසැම්බර් 10වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදීද කතාබහ කෙරිණි. එහිදී ගජධීර පාර්ලිමේන්තුවට කීවේ මෙයයි. ‘මේ ගැන විශේෂ විමර්ශනයක් කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පත්කරලා තියෙනවා. මට වාර්තාවෙලා තියෙන විදියට බන්ධනාගාරයේ ඖෂධ අංශයේ තියෙන මත්පෙති පාවිච්චි කරලා ඉවක් බවක් නැතිව මේ අවි පාවිච්චි කිරීම නිසා සාමාන්‍ය රැඳවියන්ටත් තුවාල සිදුවෙච්ච බව වාර්තා වෙනවා.’ කොහොමද ගජධීරගේ අර්ථකථනයෟ
මූලිකත්වය අරගෙන අවි ගබඩාව කඩා අවි බලහත්කාරයෙන් අරගෙන සම්පූර්ණයෙන් කලබලය ඇතිකළ පුද්ගලයන්ගෙන් කෙනකු ලෙස අනුර සේනානායක හැඳින්වූ කළු තුෂාර හෙවත් තුෂාර චන්දන, නාකොටික් සුරංගගේ මෙහෙයවීම පරිදි වයිඕ අංශය වෙත හමුදා නිලධාරීන් විසින් රැගෙන යන විට ‘අනේ සර් මාව මරන්න එපායැ’යි ජීවිත දානය පතා පින්සෙන්ඩු වෙමින් ගියේය. ඒ ආයාචනය නෑසූ නාකොටික් සුරංග හා හමුදා නිලධාරීන් විසින් සුළු වේලාවකට පසු ඔහු ඝාතනය කරන ලද බව අපි පසුගිය සතියේ ලීවෙමු.
9 වැනිදා මැදියම් රාත්‍රියේ පිටත නවතා තිබුණු හමුදා යුද ටැංකි දෙක බන්ධනාගාරය තුළට කඩා වැදුණේය. පළමුවැනි යුද ටැංකිය බන්ධනාගාරයට ඇතුළුවුණේ එහි ඉදිරිපස තිබූ යෝධ යකඩ දොර කඩාගෙනය. ඊට පස්සෙන් දෙවැනි යුද ටැංකියද ඇතුළු වුණේය. එක යුද ටැංකියක් චැපල් ශාලාව දෙසට මුහුණලා නැවතුණු අතර අනෙක එල් ශාලාව පැත්තට වන්නට නැවතිණි. යුද ටැංකි දෙකේම ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා තබමින් ශාලා දෙක පැත්තට ආලෝකය විහිදුවන ලදි. සවස ගැටුම ඇතිවන විට හා රාජකාරි වේලාව අවසන්වී බන්ධනාගාරයෙන් පිටතට ගිය බන්ධනාගාර නිලධාරීහු කීප දෙනෙක් මේ යුද ටැංකි දෙක පසුපසින්ම බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු වුණෝය. ඒ වන විට බන්ධනාගාරයේ පාලනය මුළුමනින්ම හමුදාව අතට ගත් බව පෙනිණි.
සිදුවී ඇත්තේ කුමක්දැයි බැලීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඇතුළට යන විට, වයිඕ අංශය වෙත නොයන ලෙස හමුදා නිලධාරීහු මේ බන්ධනාගාර නිලධාරීන්ට කීවෝය. ‘වයිඕ එක තාම රිලීස් කරගෙන නැහැ. ඒ නිසා ඒ පැත්තට යන්න දෙන්න බැහැ.’
එහෙත් තමන්ට ඒ වාට්ටුවේ පිහිටීම ගැන දන්නා බන්ධනාගාර නිලධාරියකුගේ සහාය අවශ්‍ය බව හමුදා නිලධාරියෙක් කීවේය. එක් බන්ධනාගාර නිලධාරියෙක් ඔහු හා එක්විය. හමුදා නිලධාරියා සමඟ නාකොටික් සුරංග හා අනෙක් සිවිල් ඇඳුමින් සැරසුණු දෙදෙනාද වූහ. ඒ පැත්තට යන ගමන්, ‘උක්කුවා හා කළු තුෂාර ඉන්නා වාට්ටු මොනවාදැ’යි සිවිල් ඇඳුමෙන් සැරසුණු අය බන්ධනාගාර නිලධාරියාගෙන් ඇසූහ. තමා දන්නේ නැතැයි නිලධාරියා කීවේය. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සිටි එක්කෙනකු පිස්තෝලයක් අමෝරාගෙන බන්ධනාගාර නිලධාරියාට පෙන්වා, ‘තෝ කියන්නේ බොරු. අපි හොයාගන්නම්’ යැයි කීවේය. බන්ධනාගාර නිලධාරියා නිහඬවම සිටියේය.
ඔවුන් වයිඕ අංශය තුළට යනවිට වාට්ටු වෙන් වෙන් වශයෙන් දොරගුළු ලා තිබිණ. එහි පැමිණි තවත් හමුදා නිලධාරීහු කණ්ඩායමක් ඒ දොරගුළුවලට වෙඩි තබා විවෘත කොට වාට්ටුවලට ඇතුළු වූහ. නාකොටික් සුරංග ඇතුළු සිවිල් ඇඳුමෙන් සිටි තිදෙනා තමන් අතේ තිබුණු කඩදාසියේ ලැයිස්තුව අනුව එහි සිටි රඳවුවන් සමහරකගේ නම් අඬගසමින්, ඔවුන් එකා දෙන්නා ඉවතට ගෙන අත්වලට ප්ලාස්ටික් මාංචු දමන ලදි. සමහර රඳවුවෝ බිම දණගස්වන ලද්දාහ. ‘උක්කුවා කියන එකායි තුෂාර කියන එකායි කෝ’ යැයි නැවතත් හමුදා නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියාගෙන් ඇසුවේය. ඔවුන් ගැන දන්නේ නැතැයි බන්ධනාගාර නිලධාරියා යළිත් පිළිතුරු දුන්නේය. එවිට බන්ධනාගාර නිලධාරියාගේ නිල ඇඳුමේ කොලරයෙන් ඇල්ලූ මේ හමුදා නිලධාරියා ඔහු වැරෙන් පස්සට තල්ලු කර දැම්මේය. බන්ධනාගාර නිලධාරියාගෙන් පිළිතුරක් නොලැබෙන තැන, හමුදා නිලධාරියා හැරුණේ දණගස්වා සිටි රඳවුවන් වෙතය. ‘කළු තුෂාරයි උක්කුවායි කෝ?’ ඔහු තර්ජනාත්මකව රඳවුවන් ගෙන් ඇසුවේය. ‘උක්කුවා උසාවි ගිහින් බන්ධනාගාර රෝහලට යන්න ඇති. කළු තුෂාර එල් හෝල් එක පැත්තට යනවා දැක්කා’ රඳවුවෝ උත්තර දුන්හ. ඒ අනුව හමුදා නිලධාරීහු කළු තුෂාර සොයා එල් ශාලාව පැත්තට ගියෝය. එහි රඳවුවන්ද එළියට ගෙන දණගස්වන ලදි. එල් ශාලාව තුළද කළු තුෂාර සෙවූ නමුත් හමුවුණේ නැත. නාකොටික් සුරංග ඇතුළු තිදෙනා ලැයිස්තුව බල බලා තවත් රඳවුවන් කිහිප දෙනකුගේ නම් කියා අඬගැසූහ. එහෙත් නම් කතාකළ කිසිම රඳවුවෙක් එහි නොසිටියේය.
ඇත්ත වශයෙන්ම කළු තුෂාර සිටියේ බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල තුළ කාර්යාලයේය. බන්ධනා ගාරයේ ලිපිගොනු, පරිගණක අංශය වැනි දේවල් හැකි තරම් විනාශයෙන් ආරක්‍ෂා කරගන්නට බන්ධනාගාර නිලධාරීන්ට උදව් කළ රඳවුවන්ගේ කණ්ඩායමේ හිටි කළු තුෂාර, ඒ වන විට ජීවිතාරක්‍ෂාව පතා බන්ධනාගාර නිලධාරීන් පිරිසද සමඟ කාර්යාලය තුළ සිටියේය. එක් මොහොතකදී අසභ්‍ය වචන කියා කෑගසමින් හමුදා නිලධාරීහු කාර්යාලය තුළට කඩාවැදුණාහ. සියලු දෙනාටම අත් ඔසොවන්නට කී අතර, පසුව පිරිස අතර සිටි බන්ධනාගාර නිලධාරීන් හඳුනාගෙන ඔවුහු පිටතට ගෙන යන ලදහ. රඳවුවෝ යාබදව පිහිටි සුබසාධක කාර්යාලයට ගෙනයන ලද්දෝය. රඳවුවන් සුබසාධක කාර්යාලය තුළට වී සිටින අතර වරින් වර එහි පැමිණි හමුදා නිලධාරීහු විවිධ පුද්ගලයන් ගැන ප්‍රශ්න කළෝය. ‘කෝට්ටේ පන්සලේ හාමුදුරුවන් දෙන්නෙක් මරපු නිලමේ කෝ?’ ඔවුන්ගේ එක් ප්‍රශ්නයක් විය. දන්නේ නැතැයි රඳවුවෝ පිළිතුරු දුන්නෝය. පාන්දර එකට පමණ එහි ආ හමුදා නිලධාරීන් කණ්ඩායමක එක් අයෙක්, ‘නිලමෙයි කපිලයි මාලනුයි ඉවර කළා. උඹලත් දඟලන්නේ නැතුව හිටපල්ලායැ’යි කීවේය. එසේ රඳවුවන් බියකර පිටතට ගිය ඔහු ටික වේලාවකට පසුව නැවතත් පැමිණියේය. ‘සුසන්තයි අතපත්තුයි ගුණ්ඩුයි ඉවර කළා. දඟලන්නේ නැතුව හිටපල්ලා.’
පාන්දර 4ට පමණ, බන්ධනාගාර කොමසාරිස් කොඩිප්පිලි, මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් හා බන්ධනාගාර බුද්ධි අංශයේ ඉන්දික සම්පත් ඇතුළු බුද්ධි අංශයේ‘තවත් නිලධාරීහු කිහිප දෙනෙක් එහි ආවෝය. ඔවුන් එහි සිටින අවස්ථාවේදීම නාකොටික් සුරංග ඇතුළු සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසද එහි ආහ. නාකොටික් සුරංග රඳවුවන් අමතා, ‘කළු තුෂාරව පෙන්නපල්ලා. නැත්තං උඹලා ඔක්කොම මරනවා’යි කීවේය. රඳවුවන් උත්තර දුන්නේ නැත. ඒ අසළ සිටි බන්ධනාගාර නිලධාරියෙකු රඳවුවන් අමතා, ‘කළු තුෂාරව පෙන්නපන්. නැත්නම් උඹලාට ප්‍රශ්නයක් වේවි’යි කීවේ එහි සිටි රඳවුවන් දෙස පරීක්‍ෂාවෙන් බලමිනි. රඳවුවන් දෙස බලමින් ඇස් එහෙ මෙහෙ යවන අතර, ඔහු මේසයක් යට දිගාවී, ජීවිතාරක්‍ෂාව පතා සැඟවී සිටි කළු තුෂාර දැක්කේය. ‘ආ.. මේ ඉන්නේ තුෂාර’ ඔහු කීවේය. නාකොටික් සුරංග ඉදිරියට පැමිණ මේසය යට සිටි තුෂාර ඇද එළියට ගත්තේය. ‘අම්මට හුඩු, මේ ඉන්නේ භාණ්ඬේ’යි කියමිනි. තුෂාර මේසය යටින් එළියට ගත්තේ පාපහර කිහිපයක්ද එල්ල කරමිනි. ‘සුරංග මහත්තයෝ මාව මරන්න එපා.’ තුෂාර බැගෑපත් වුණේය. අසළ සිටි හමුදා නිලධාරීහු කිහිප දෙනෙක්ද තුෂාරට අතින් පයින් හා අවි කෙලවරින් එකවර පහරදුන්හ. නාකොටික් සුරංග තුෂාරගේ ටී ෂර්ට් එකෙන් අල්ලා ඔහු බිම දිගේ ඇදගෙන කාර්යාලයෙන් පිටතට ගෙන ගියේය. තුෂාර එළියට ගන්නා විටත්, කොඩිප්පිලි, එමිල් රංජන් හා ඉන්දික සම්පත් ඇතුළු පිරිස ඒ කාර්යාලය තුළ සිටියෝය. ඉන්පසු ඒ බන්ධනාගාර නිලධාරියෝ පිටතට ගියහ. ‘අනේ සර් මාව මරන්න එපා. මම වරදක් කළේ නැහැ. ඕනෑ නම් චීෆ් ජේලර් මහත්තයාගෙන් අහන්න.’ කළු තුෂාර දිගටම බැගෑපත් වෙමින් ගියේය. කාර්යාලයෙන් පිටතට ගෙන යන කළු තුෂාර දෙස එහි සිටි අනෙක් රඳවුවෝ මහත් බියට පත්ව බලා සිටියෝය.
ඒ වන විට ඉරිමා උදෑසන මඳ ආලෝකය පොළවට පතිත වෙමින් තිබිණි. වයිඕ ශාලාව පැත්තට කළු තුෂාර රැගෙන යන ආකාරය කාර්යාලය තුළ සිටි රඳවුවන්ට පෙනිණි. ඊළඟට එහි දොරටුව අසළින් පතොරම් දෙකක් පත්තුවන හඬ රඳවුවන්ට ඇසුණේය. පතොරම් පත්තුවන ක්‍ෂණික ආලෝකය පාන්දර මඳ අඳුර විනිවිද රඳවුවන්ටද පෙනුණේය. කළු තුෂාරගේ හඬ නෑසී ගියේය.
එළිය වැටුණු පසු උදේ 6 පමණ වනවිට කාර්යාලය තුළ සිටි රඳවුවෝ වාට්ටුවලට යවන ලද්දෝය. තමන්ගේ වාට්ටුවලට යන රඳවුවන්ට කර්මාන්ත ශාලා කාර්යාලය අසළ වැටී තිබුණු කළු තුෂාරගේ මළසිරුර දක්නට ලැබිණි. සිරුරෙන් ගලා ගිය ලේ අවට පැතිරී තිබුණි. සිරුරේ පසෙක, අත් බැඳදමන්නට යොදා ගත්තායැ’යි සැක කළ හැකි නිල් පාට ලණු පොටක් වැටී තිබිණි. එවේලේ ඔහුගේ සිරුර අසළ ආයුධයක් තිබුණේ නැත. එහෙත් උදේ 7 පමණ වන විට කළු තුෂාරගේ මළසිරුර පසෙකට ටී56 ගිනිඅවියක් දමා තිබිණ.■
‘මම බොහොම ඉක්මනට පාපෝච්චාරණ යක් කරන්න ඉන්නේ. එතකොට ලොක්කන්ගේ තටු කැපෙයි.’ ලබන සතියේ රාවයෙන් කියවන්න.