Monday, 21/8/2017 | 3:35 UTC+0
රාවය

ක්‍රීඩාවේ කයිවාරුව සහ වසරක නිමාව

ටිරන් කුමාර බංගගමආරච්චි

පැරණි දින දසුන් අහක් කළ යුතු කාලය එළැඹ ඇත. නව දින දසුන් පේවී බලා සිටී. නව දවසකට “පේ” වෙන්නට පෙර අතීත අඩුපාඩුකම් සිහිකළ යුතුය. එය හෙටට සුබය.
ක්‍රීඩාවේද කාර්ය බහුල වසරක් මියැදෙමින් තිබේ. මේ කාර්ය බහුලත්වය ක්‍රීඩාව අරබයාය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දකින නෙත් මේ වසරේ ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් උළෙලද රිසිසේ දුටුවේ ය. ක්‍රීඩාවේ ජවය තරගකාරීත්වයට මොනවට දෙස් දුන්නේය. මේ තරගාවලි දෙකටම ශ්‍රී ලංකා නියෝජනයක් සිදුවුවද එය හුදු සහභාගිත්වය උතුම් යන වදන නැවත නැවත සිහි කළේය. මෙරට ක්‍රීඩාවට සිදුව ඇත්තේ කුමක්ද? සිදුවිය යුතු සියලු අලකලංචි සිදුවී හමාරය. මේ සියලු ව්‍යාධි යටතේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර නම් පස්වණක් ප්‍රීතියෙන් කල් ගෙවන්නේය. බොරු හිනාවෙන්ම කල් ගෙවන ඇමතිවරයා නැති ක්‍රීඩා සංවර්ධනයක් පෙන්වන්නට කප්පරක් කෙප්ප ඇදබාමින් සිටී. දැන් ඔහුගෙන් ඇසිය යුත්තේ වසරක් ගෙවෙන තැන මෙරට ක්‍රීඩාව දියුණුද? සංවර්ධිතද? එසේ යැයි කීමට ඇති මිනුම් දඬු මොනවාද?
මේ වසර පුරා ක්‍රීඩා පිටු බදුගත්තේ ක්‍රීඩකයන් නොව ක්‍රීඩා ඇමතිය. මාධ්‍ය සාකච්ඡා පවත්වමින් දවස ගානේ බේගල් ඇදබාන ඇමැත්තා මේ වසරේ අවසානයට ඉතිරි කළ ප්‍රගතිය කුමක්ද?
ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් පාහේ ඉන්දියාවේ සාග් ක්‍රීඩා උළෙල නැරඹීමට රැගෙන ගිය දයාසිරි ඒ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශාල මුදල් කන්දරාවක් නාස්ති කළේය. එහෙත් රටක් ලෙස පිටරැටියන්ගෙන් ලද පදක්කම් ඇරුණු කොට අප ලැබූ ප්‍රගතියක් නොවිය. (පිහිනුම් පදක්කම් සියල්ල පිටරැටියන්ගේය.)
ඉන්දියාවේදී ක්‍රීඩක යන්ට වඩා ක්‍රීඩකයකු වූ දයාසිරි ඡායාරූපවලට පෙනී සිටිනවා හැර එම ක්‍රීඩා උළෙලෙන් ගෙනා පලදායි මතකයක් නොවීය. මෙරට ක්‍රීඩාවට දෙයක් ගනු වෙනුවට ඔහුගේ ඇල්බටයන් විශාල කරගත්තා හැර යමක් නොවීය. සමස්ත සාග් තරගාවලිය පුරාම ඉන්දියාවේ රැඳෙන ඔහු අවසානයේ මෙරටට ඇවිත් කරනුයේ බොරු කයිවාරු හැසීමය.
ඊළඟට එළැඹෙනුයේ ඔලිම්පික් උළෙලය. මේ දයාසිරි ජයසේකරගේ මංගල්‍යය බඳු විය. ඔහු එයින් උතුම්ම සතුට ලැබූ බව ඡායාරූප තොගයම නැවත ඔප්පු කළේය. මේ නම් කදිම ඇමැත්තෙකි. අදටත් ඔලිම්පික් උළෙලට ගිය නියම ගණන මේ ඇමැත්තා නොදනියි. අගමැතිවරයා හරි ගණන සොයා ගැනීමට කමිටු පත් කරන බවත් ඒ ගණන නිවැරදිවම අවශ්‍ය බවටත් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද කිසිවක් සිදු නොවීය. ඒ මේ රටේ රටාවය.
ඔලිම්පික් උළෙලින් පසු මෙරටට එන දයාසිරි ජයසේකර නින්දෙන් ඇහැරී නන් දොඩවනුයේ 2020 වනවිට ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් තොගයක් ගන්නා බව කියමිනි. එය 2024 වන විට දුසිම් ගණනකි. දැන් දයාසිරි ජයසේකර ඔලිම්පික් පදක්කම් ෆැක්ටරියක් දමා ඇත. ඒ නිසා අපට ඇත්තේ බලා සිටින්නටය. මන්ද ඒ ෆැක්ටරියෙන් තව සිව් වසරක් අට වසරක් ගෙවෙන තැන මෙරටින් ඔලිම්පික් යන හැම කෙනකුගේම ගෙලෙහි පදක්කම්ය. එවිට සුසන්තිකාගේ තනි සතුටද අහවරය. මෙරට බැලු බැලු අත ඔලිම්පික් පදක්කම් ලාභීන්ය.
රියැලිටි වැඩ සටහන්වල සිල්ලර රංගන ඉදිරිපත් කරන රියැලිටි තරු තරම් ලේසියට පහසුවට ඔලිම්පික් පදක්කම් දිනිය හැකි යැයි ක්‍රීඩා ඇමති සිතනුයේ ඔහුද රියැලිටි තරුවක් නිසාය. ඒ නිසා ඔහු සිතනුයේ ක්‍රීඩාවේද රියැලිටි තරු තෝරන්නටය.
අයවැයෙන් විශාල මුදලක් ක්‍රීඩාවට වෙන්වන විට රට වටේ පිට්ටනි හැදීම අලුත්ගමගේ කළ අලුත්ම සෙල්ලමය. එය දයාසිරි ඒ ලෙසම අලුත් වටයකින් පටන්ගෙනය. පිට්ටනි හැදූ පළියට ක්‍රීඩාව සංවර්ධනය වන්නේ නම් දැනටමත් එය සිදුවී තිබිය යුතුය. මෙරට ඇති ප්‍රධානතම ක්‍රීඩාංගණ වන සුගතදාස සහ දියගම ක්‍රීඩාංගණ අබලන්ව තිබියදී රට වටේ පිට්ටනි හදති. මෙයින් ක්‍රීඩාවේ සංවර්ධනය කෙසේ වෙතත් තම තමන්ගේ සංවර්ධනය නම් ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නැත.
ඔලිම්පික් බලා රියෝ ගොස් සිටියදී මැවූ ප්‍රබලතම පුවත නම් මසක් පමණ යන කල ක්‍රීඩා පනතේ නව රෙගුලාසි අනුමත කරගෙන ඔලිම්පික් නිලවරණය පවත්වන බවය. රියෝ සිටම එය කියන තෙක් දයාසිරිට නින්ද ගියේ නැත. ඉන් මාස කිහිපයක් ගෙවෙන තැන කීවේ රෙගුලාසි සම්මත කිරීමට අයි.ඕ.සී එකට යවා ඇති බවත් එය අත උඩින් සම්මත වන බවත්ය. ඊට අමතරව ඔලිම්පික් නිලවරණය ජනවාරියේ පවත්වන බවද මහත් ආඩම්බරයෙන් කීවේය. එය කීවේද නිකං නොවේ ඇමතිවරුන් තිදෙනකුට කළ නොහැකි දේ කළ අරුම පුදුම ඇමති තමන් බවය. අරුමය තමා තවමත් ඔහුට ඒ කිසිවක් කරන්නට බැරි වීමය. පුදුමය නම් ඒ බැරි වුවත් බැරි බව නොපෙන්වා හිනා වෙවීම කාලය කා දැමීමය.
අපට දයාසිරිගේ වැඩපිළිවෙළ ගැන බරපතළ අවුලක් ඇත. ඔහු ක්‍රීඩාව රියැලිටි වැඩ සටහනක් යැයි සිතා කටයුතු කරන තැනට පත්ව ඇත. මේ වසරක් ගෙවෙන තැන ඔහු කළ කෙංගෙඩියක් නැති තරම්ය. ක්‍රිකට් ආයතනය බදාගෙන තිලංගට අවැසි දේ කරමින් සිටිනවා හැර ඔහු අනෙක් ක්‍රීඩා ගැන යොදන ‘වෙරක් ’ නැති තරම්ය.
ක්‍රීඩා පනත වෙනස් කළ යුතු යැයි සිහින දකිනවා හැර ක්‍රීඩාව නගා සිටුවන සංවර්ධනය කරන කිසිදු දැක්මක් ක්‍රීඩා ඇමතිවරයා මෙතෙක් පෙන්වා නැත. පෙන්වන අයුරක්ද පෙනෙන්නට නැත. මෙවර අයවැයෙන් ලද විශාල මුදල් ප්‍රමාණය පිට්ටනිවලට යට කර ගොඩ යන සැලසුම් හිතනවා හැර ක්‍රීඩාවේ හෙට දවස ගොඩ දාගත යුතු යැයි ඔහු සිතන අයුරු නොපෙනේ. එහෙත් කතාවෙන් නම් බොහෝ දෑ කියමින් සිටින අයුරුද පෙනේ. කතාවෙන් දේශපාලනය ජයගත් දයාසිරි ක්‍රියාවෙන් කර ඇති ප්‍රමාණයක් නැත. ක්‍රියාවෙන් බිඳක් හෝ පෙන්වන්නේ නම් මේ වසර වුවද ඔහුට ඕනෑ තරම් කල්ය. එහෙත් රට සවාරි උන්මාදයෙන් පෙළුණා හැර ඔහුට මෙරට ක්‍රීඩාව ගැන සිතන්නට මේ වසර ඉඩ නොතැබීය.
ක්‍රීඩා ඇමැත්තකුට වැඩක් කරන්නේ නම් මුලින්ම අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි මිනිසුන්ය. අද දයාසිරිට නැත්තේද ඒ මිනිසුන්මය. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ක්‍රීඩා ලේකම් යනු වැඩ බැරි ටාසන්ලා බව ඔප්පු කොට අවසන්ය. මීටර් 100ට වට කීයක් ඇත්දැයි අසන පන්නයේ නිලධාරීන්ගෙන් දයාසිරිට ලද හැකි සහය කතා කළ යුතුම නැත. ඊට නොදෙවෙනි අනෙක් පුරෝහිතයා සමන් අමරසිංහය. රාජකීය ගුරුකමම ආභරණයක් කරගෙන ක්‍රීඩාවේ කරක් ගසන සමන් ජීවන් කුමාරතුංග ක්‍රීඩා ඇමතිව ඉද්දී ඔහු අන්දවා අපූරු කෙළි කළ අයෙකි. අද දයාසිරිගේ අග්‍ර පුරෝහිත ඔහුය. ක්‍රීඩාවට කටුගෙයක් ඕනෑ යයි කියමින් ක්‍රීඩාවම කටුගෙයට යවන මොහු දයාසිරිට දෙන උපදෙස් මේ වන විට ඔහු කරන කතාවලින් තහවුරුය. කතා ඇරුණුකොට කිසිත් නැති චරිතයක් බවට අද ක්‍රීඩා ඇමතිවරයා පත්ව ඇත්තේ මේ පුරෝහිතයන්ද නිසාය. හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ මිල්ටන් අමරසිංහ ද අද දයාසිරිගේ උපදේශකයෙකි. පසුගිය කාලය පුරා ජොන්ස්ටන් ළඟ ඉඳුල් වළං හේදූ අය අද දයාසිරි ගොඩ දාගන්නට පැමිණ ඇත. දයාසිරි වටා සිටින අතිබහුතරය කම්බාහොරුය. එයින් අදහස් වනුයේ දයාසිරි හොඳය, වටේ සිටින අය නරකය යන්න නොව එවැනි පිරිසකට ඔහු වට කරගෙන සිටිය හැකිව ඇත්තේ ඔහු ඉතා නරක නිසා යන්නය.
එජාපයේ දී චුට්ටක් මතුවන විට රනිල්ගේ තනතුරටද තමන් සුදුස්සකු යැයි සිතු දයාසිරි අද සිතනුයේ ශ්‍රී ලංකා එකේ ඊළඟ නායකයා තමන් බවය. අපට ඒ සිහින ගැන පලක් නැත. එහෙත් ඔහු ඒ හීනය දකිමින්ම කතා මවනවා හැර වැඩ නැතිය. ප්‍රශ්නය ඇත්තේ එහිය.
ඇමති තුන් කට්ටුවකට බැරි දේ තමන් කළේ නම් අදටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් එම රෙගුලාසිවලට අනුමැතිය නැත්තේ ඇයි? අවුරුදු හැත්තෑවට වැඩි අය නොගන්නා නීතිය අඟලක් හෝ ආපස්සට නොගන්නවා යැයි කී ඇමතිම දැන් සිටිය හැකිද? එසේ නම් කෝ ඇද බෑ කයිවාරු?
බොහෝ අය හිතනුයේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම ඉතාම පහසු යැයි කියාය. ඇත්ත නම් එය ඉතා අපහසුය. එය විශාල දැක්මක් අවැසිය. අලුත් දැනුම් ඕනෑය. ක්‍රීඩකයන් සේම පරිපාලකයන්ගේද අවංක කැපවීම අවශ්‍යමය. හොරුන් වෙනුවට වැඩකළ හැකි පිරිස් සොයා ගත යුතුය. කාලයෙන් කාලයට ක්‍රීඩා ඇමැත්තන් විනාශ කළ වසර ගණනක් ක්‍රීඩාව කාබාසිනියා කොට එයින් තම බඩගෝස්තරය වඩා ගත් අය අද දයාසිරි ගාවද සිටිති. හොඳ නායකයකු යනු හොඳ පුද්ගලයන් තෝරාගැනීමට ඉඩ ඇත්තෙකි.
වසරක් ගෙවෙන තැන දයාසිරි කළ දෙයක් නැති තරම්ය. එහෙත් ඔහු කතා සාප්පුවක් බව නම් මනාව ඔප්පු කළේය. කයිවාරුවලට යා හැකි දුර හරි කෙටිය. නව වසරක් මේ වසර මෙන්ම කයිවාරු ගසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ක්‍රීඩා උළෙල කිහිපයකට ගොස් ඇවිත් උමතු කතා තොගයක් කියා ක්‍රීඩා ඇමතිට ඒ වසරත් කෑ දැමිය හැකිය. එහෙත් බොරුවට ආයුෂ කෙටිය. අප අතර නොව ක්‍රීඩා සංගම් අතිබහුතරයකම මේ වනවිට අදහස ක්‍රීඩා ඇමති හුදු කතාකාරයෙකු පමණක් බවය. කොටින්ම වැඩ බැරි දාස කෙනකු බවය.
ක්‍රීඩාව ගැන කාගෙන් ඇසුවද සිරි අයියාගෙන් අසා පලක් නැති බව සහතිකය. මන්ද එවිට ලැබෙනුයේ සිරියාවතී පන්නයේ පිළිතුරු බැවිනි.■