13න් පහළ ක්‍රීඩා තරග තහනම අහෝසියි


wicramasooruya

ඒ. වික්‍රමසූරිය

අංක 2012/ED/E/47 හා 2013.1.22 දරන කැබිනට් තීන්දුවෙන් මෙරට 13න් පහළ ක්‍රීඩා තරග තහනම් කරන ලදි. මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනා ය. එම තීන්දුවට වසර හතරක් පිරෙන මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වූ 2017-2021 පස් අවුරුදු සැලැස්මෙන් මෙම තහනම අහෝසි වී තිබේ. එම සැලැස්මේ මෙසේ සඳහන් වී ඇත. ‘ප්‍රීතිමත්ව ක්‍රියාකාරී වෙමු. ප්‍රාථමික අංශයේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩ සටහන 1-2 ශ්‍රේණි සඳහා අඛණ්ඩව දිනපතා විනාඩි 20 ක කාලයක් ක්‍රියාත්මක කිරීම. 3,4,5 ශ්‍රේණි සඳහා හඳුන්වා දී ඇති ශාරීරික ක්‍රියාකාරකම් වැඩ සටහන දිනපතා විනාඩි 25 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම. ළමා මලල ක්‍රීඩා තරගාවලිය කොට්ඨාස, කලාප, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීම, ඇක්ටිව් කිඞ්ස් තරගාවලියද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම, වයස අවුරුදු 12න් පහළ බාලක බාලිකා තරග (වයස අවුරුදු10-12 අතර) සඳහා ජවන හා පිටිය ඉසව්වන් පහක් හා සහාය දිවීමේ තරග දෙකක් අනිවාර්ය කිරීම.” මෙයින් පෙනී යන්නේ 13න් පහළ තරග තහනම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අහෝසි කර ඇති බවයි.
කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු එක්ව ගත් මෙම භයානක තීන්දුව මෙරට ක්‍රීඩාව විනාශය කරා ගෙන යන බවත්, කිසිදු විද්‍යාත්මක පදනමක් මෙම තීන්දුවට නැති බවත් සඳහන් කරමින් රාවය ක්‍රීඩා ලේඛක ලලිත් ගුණවර්ධන “ක්‍රීඩාවට මරණය නියම කළ කැබිනට් තීන්දුව ” යන මැයෙන් 2014 ජූලි 13 සිට අගෝස්තු 10 දා දක්වා එක දිගට ලිපි පහකින් කරුණු දක්වන ලදි.
එම ලිපි පෙළින් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන ළමා ක්‍රීඩා වැඩසටහන් පිළිබඳවත්, ඒ සම්බන්ධව ලෝප්‍රකට ක්‍රීඩා විද්‍යාඥයෙකු වන ජර්මන් ජාතික ඩී. හැරේගේ නිගමන පිළිබඳවත් මේ ලියුම්කරු දිගින් දිගටම කරුණු දක්වන ලදි. වයස අවුරුදු 4 සිට ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ඔලිම්පික් හා ලෝක වාර්තා පිහිටුවා ඇති අයුරු පිළිබඳවත් කරුණු දක්වා මේ අවිද්‍යාත්මක තීරණය හකුළා ගන්නා ලෙස කරුණු දක්වන ලදි. මේ තීරණයට පාදක වූ නිලධාරීන්ට ඒ සම්බන්ධව කරුණු දක්වන ලෙස ඉල්ලා සිටියත් කිසිවෙකු ඒ ගැන තැකීමක් කළේ නැත.
මේ තීරණයට හේතු වූ කරුණු 2011 මැයි 25 දින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “අවුරුදු 13න් පහළ තරගකාරී ක්‍රීඩා නවත්වන්න අපි තීරණයක් ගෙන තිබෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. අද පුහුණුවක් නැති මිනිසුන් පුහුණුකරුවන් යයි කියාගෙන කුඩා දරුවන් අවුරුදු 8-9 දරුවන් ගෙනැල්ලා ඒ දරුවන්ට අනවශ්‍ය විධියේ ව්‍යායාම් පුරුදු කරවනවා. එතකොට තමන්ගේ හැකියාව පෙන්වන්න ඒ දරුවාට ලැබෙන්නේ නැහැ. පොඩි කාලයේදීම ඒ දරුවන්ගෙන් ගන්න ඕනෑ දේට වැඩි දේ අරගන්නවා. ඒ නිසා තමන්ගේ දක්ෂතා හොඳින් ම පෙන්නුම් කරන්න පුළුවන් කාලය වන කොට ඒ අයගේ සාරය උරා බීලා ඉවරයි.” (හැන්සාඞ් තීරු අංක 691) මේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ පුහුණුවක් නැති මිනිසුන් අනවශ්‍ය පුහුණුකිරීම් කරවන බවය. එසේ නම් කළයුත්තේ එවැන්නන් ඉවත් කිරීම මිස තරග තහනම් කිරීම නොවේ. මෙම තීරණයට පිවිස ඇත්තේ අසන්නට, දකින්නට, බැලූ බැල්මට යන මාර්ග ඔස්සේ මිස විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නොවේ. මෙම තත්ත්වය පිළිබඳව 2010 ආසියානු පරාජය කොමිසම ඉදිරියේ කරුණු දැක්වු හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු හා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර සිය මතය සනාථ කිරීමට විද්‍යාත්මකව කරුණු දැක්වීමට අපොහොසත් විය.
මේ නිසා මෙම කොමිසම මේ ගැන තීරණයක් නොගෙන සියලුම පුහුණුකරුවන් රැස්කර සාකච්ඡා කර තීරණය කළ යුතු යයි කියා සිටියේය. මෙම කොමිසමෙන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ නිසා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ හා වත්මන් අධ්‍යක්ෂ එකතුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔළුවට මේ අදහස දැමීමේ ප්‍රතිඵලය වූයේ මෙම කැබිනට් තීරණයට පදනම වැටීමය.
මෙම කැබිනට් තහනම පැවතියත් එය ළිපට දමමින් ජාත්‍යන්තර පාසල් පෙර සේ තම තරග පවත්වාගෙන ගියේය. 11න් පහළ ක්‍රිකට් හා බැඞ්මින්ටන් තරග නොනවත්වා පවත්වනු ලැබුණි. මේ සම්බන්ධව පාර්ලිමේන්තුව ඇමතූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ සනත් ජයසූරිය තමන් වැන්නන් බිහිවූයේ 11න් පහළ තරග නිසා යයි කියා සිටියේය. මෙම තරග තහනම නිසා දැනට සියයට 5ක් වන පාසල් ළමුන්ගේ ක්‍රීඩා සහභාගිත්වය තවත් කඩා වැටෙන බව ඉහත ලියුම්කරු විසින් පෙන්වා දෙන ලදි. පාසල් ක්‍රීඩා පිටි පාළුවට යෑමෙන් ඒ තත්ත්වය ඇස් පනාපිටම පෙනී ගියේය. මේ තහනම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 15න් පහළ තරගවලින් ක්‍රීඩා ජීවිතය ආරම්භ කරන්නට සිදුවිය. එම වයස් කාණ්ඩයේ තරග ප්‍රතිඵල පරීක්ෂා කරන්නෙකුට ක්‍රීඩාව බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති බව තේරුම් ගත හැකිය.
ජාත්‍යන්තර තරගවලට සහභාගි කරවීමේ අරමුණින් වෙනත් දියුණු රටවල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම අරඹන්නේ වයස අවුරුදු 4-5 සීමාවේ පටන් ය. මෙරට අවුරුදු 15 න් පහළ තරගවලින් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් හා තරග කරන්නේ කෙසේද? තරගයක් නැත පරාජය දෝතින් වැළඳගෙන ඒමට සිදුවේ.
13න් පහළ තරග තහනම සම්බන්ධව කටයුතු කළයුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව නිසි විද්‍යාත්මක හැදැරීමක් කිරීමෙන් පසුව ය. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය එබඳු පදනමකින් තොරව මෙම තීරණය ගෙන ඇතිවා පමණක් නොව එය ක්‍රියාත්මක කළ ආකාරය ද දුර්වල ය. ශාරීරික මෙහෙයවීමක් නැති චෙස් ක්‍රීඩාවටත් මෙම තහනම වලංගු කරන ලදි. දෙයියෝ සාක්කි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාසල්වල උගන්වන පුහුණුකරුවන්ගෙන් බහුතරයක් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ඩිප්ලෝමාධාරීන් ය. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළ පරිදි ඔවුන් ළමුන්ගේ ළමයින්ගේ සාරය උරා බොන ලෙස පුහුණු කරන්නේ නම් එම චෝදනාව බැර වන්නේ එම ආයතනයටය. එහෙයින් මෙම ආයතනය විසින් පවත්වන මෙම පාඨමාලාවේ හා අනෙක් පාඨමාලාවල නම් “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාරය උරා බොන්නන් පුහුණු කිරීමේ පාඨමාලා” හැටියට නම් කරනු වටී.
වයස අවුරුදු 12න් පහළ මිනිකිඞ්ස් බාලිකා වොලිබෝල් ශුරතාව රත්නපුර කැන්දපොළ මහා වි්‍යාලයට ලබා දුන් එහි පුහුණුකරු වු පුස්සැල්ලේ ප්‍රඥාලෝක හිමියෝ 2011 ඔක්තෝබර් 01 ‘ක්‍රීඩා’ පුවත්පත හා සම්මුඛවෙමින් 13න් පහළ තරග තහනම මෝඩ තීරණයක් බව කියා සිටියහ. මේ අනුව මේ රටේ බලවත් අමාත්‍යාංශ තුනක් මෝඩයන්ට ඇන්දවීමට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු සහ සිටින අධ්‍යක්ෂවරයා සමත්විය.
මේ අයගෙන් එක් අයෙකු ජාතික පුහුණුකරු තනතුරකට නිර්දේශිතය. මේ අය වැඩිකල් නොයාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන්වල සාරය උරා බී ඒවා හපයක් කර දමන බව සටහන් කර තබමි.■