සම්මාන හොයන්නේ නැති සිරිමාන්නගේ හුණු කොටන මැසිම


sirimanna

තරිඳු උඩුවරගෙදර ඡායා/රේඛා නිලුක්ෂි හේරත්

බිත්තියේ ආලේප කරන හුණු වැඩියෙන් එන්නේ මහනුවර, මාතලේ වැනි ප්‍රදේශ සහ ආශ්‍රිත ප්‍රදේශවලින් බව කියැවෙයි. එහෙත් අප හුණු හොයාගෙන ගියේ බදුල්ල මහියංගණ පාරටයි. තල්දෙන, රිදීපාන, මැඩිතලේ ආශ්‍රිත සොරණාතොට ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවලද අවුරුදු පනහකට අධික කාලයක් තිස්සේ හුණු කර්මාන්තය කෙරෙයි. බදුල්ලෙන් මහියංගණ පාරේ කිලෝමීටර් පහක් පමණ ගිය පසු මැඩිතලේ හන්දිය මුණගැහෙයි. මැඩිතලේ සිට සොරණාතොටට කුඩා දුරකි. සොරණාතොට ප්‍රාදේශීය සභාවට මැඩිතලේ, දුන්හිඳ ආදි ප්‍රදේශ කිහිපයක් අයත් වුණත් සොරණාතොට යනු කුඩා හන්දියකි.
සොරණාතොටදී හුණු කෙටීමට යන්ත්‍රයක් නිපදවූ වීරසිංහගේ සිරිමාන්න මහතා සමඟ අපි කතාබහ කළෙමු. ඔහු නව යන්ත්‍රයක් සොයාගත්තේ නව නිපැයුම් තරගවලට ගොස් දිනුම් ලබන්නට නොවේ. පුවත්පත්වල සම්මාන පළකරවා ගන්නට නොවේ. ඒ නිසාම අපි ඔහු ගැන ලියන්නට සිතුවෙමු. ඔහු අලුත් නිර්මාණයක් කළේ තමන්ගේ එදිනෙදා කාර්යය පහසු කරවාගැනීමටයි.

හුණු මැකී යෑම
මේ ප්‍රදේශවල ඇති හුණුගල්වලින් ඔවුහු බිත්තිවල ආලේප කරන හුණු සහ බුලත් විට කන්නට එකතුකර ගන්නා හුණු නිෂ්පාදනය කරති. එම නිෂ්පාදන දෙකම අතීතයේ ඉතා ඉහළ අලෙවියක් තිබුණු, එහෙත් දැන් අලෙවිය අඩුවෙමින් පවතින නිෂ්පාදන නිසා බොහෝ දෙනෙක් හුණු කර්මාන්තය අත්හරිති. මේ වෙද්දී සොරණාතොට ප්‍රාදේශීය සභාවේ තිබුණු හුණු පෝරණු සීයට අසූවකට වඩා වසා දමා ඇතිවා පමණක් නොව හුණු කර්මාන්තයේ අතුරු රැකියා කළවුන්ද ඒ රැකියා අත්හැර ඇත.
මේ ජීවිතවලින් හුණු මැකී යමින් වෙනත් වර්ණක ඒ ජීවිත මත ආලේප වෙමින් පවතියි. නගරයට ගොස් රැකියා කරන්නන්ද, කොළඹ පදිංචි වී රැකියා කරන්නන්ද වැඩිවී ඇත.
“අහවලා කොළඹ දැං ඉන්නේ. අහවලාත් කොළඹ. ෆැක්ටරියක, ගාමන්ට් එකක, කඬේක වැඩ. බලන්නකො මිනිහා ළඟ තියෙන ෆෝන් එක, ටැබ් එක. මිනිහා අඳින විදිය හෙන පොෂ්. මමත් කොළඹ යනවා.” සොරණාතොටින් පමණක් නොව බොහෝ ගම්මානවලින් ආදායම් මාර්ග කොළඹට ඇදී ඇවිත් ඇත්තේය. අඩු මිලට චීනයෙන් එන උපාංග සමඟ ගමේ තාරුණ්‍යයට කොළඹ ජීවිතය සුවපහසු එකක් ලෙස පෙනීයෑම සාධාරණය. ගමේ ඇස්වලින් මිදී ඕනෑම දෙයක් කරන්නට ගම්මානවලින් සිදාදියට එන්නෝ බොහෝය.
සොරණාතොට හන්දි යේදී අපට මුලින්ම මුණගැසුණු ජයසූරියත් හුණු කර්මාන්තය අත්හැර ඇති නමුත් ගම හැර නොගිය අයෙකි.
“මමනම් අවුරුදු හතක් තිස්සේ හුණු අතහැරලා තියෙන්නේ. මම ඒ කාලේ විකුණුවේ නුවරඑළිය වගේ දෙමළ පැතිවල තමයි. ඒ පැතිවල අය දැන් හුණු ගන්නෑනේ. ඊළඟට මිනිස්සු ඒ කාලේ හොඳට විට කෑවා. ඉතින් ඒ කාලේ හුණුවලට බිස්නස් එකක් තිබුණා. දැන් ඒක අඩුවෙලා. දැන් වීල් එකක් එළවනවා. ඒක ඊට ලාබයි.”
ශ්‍රමය හා උනන්දුව පමණක් නොව හුණුගල්ද අඩුවී ඇත. මේ ප්‍රදේශවල හුණු කර්මාන්තයට ගල් ලැබෙන්නේ තල්දෙන ප්‍රදේශයෙනි. මීට කලින් රිදීපානේත් ගල්වළක් තිබී ඇති අතර එය වැසී ඇත්තේ හුණුගල් නිධිය තිබුණු ඉඩමේ මිනිසුන් පදිංචි වීම නිසාය.

හුණුගල් හුණු වීම
හුණුගල් සහ දර හුණු කර්මාන්තයට අවැසි අමුද්‍රව්‍ය වෙයි. හුණු පෝරණුව හුණු නිපදවීමේ මුල් අදියරයි.
“මුලින්ම පෝරණුවේ යටින් තියෙන පට්ටම උඩින් හරහට ලී අහුරනවා. මුලින්ම අහුරන්නේ පුංචි දර කීරි. ඉන්පස්සේ ටිකක් ලොකු කොට තට්ටුවක් අහුරනවා. ඒකට උඩින් හුණුගල් තට්ටුවක් තියනවා. ආයෙමත් දර, ආයෙමත් හුණු අතුරනවා. ඉන්පස්සේ පොල්අතු දාලා අවුලනවා. යටින් තියෙන කීරිවලට මුලින් ඇවිලිලා ඉන්පස්සේ ලී ගිනි ගන්නවා. ගින්න ඉවරවෙලා හුණු ගන්න දවස් තුනක් විතර යනවා. සමහරු ඇවිලෙද්දී තව උඩින් දානවා. හැබැයි ඒකට ගොඩක් අමාරුයි. පෝරණුවේ උඩින් දාන එක.” හුණු කර්මාන්තය කෙරෙන හැටි ගැන අපට විස්තර කළේ ජයසූරියයි. ඒ නන්දාවතී මහත්මියගේ හුණු පෝරණුව වෙත අප ගෙනයමිනි.
පෝරණුවෙන් මෙලෙක් වී වැටෙන හුණු වහා දියවෙයි. ඉන්පසු හුණු තෝරාගෙන තොට්ටි වලට දැමිය යුතුය. ඒවා අතරින් අමු හුණුගල් හෙවත් ගින්නෙන් නොපිළිස්සුණු හුණුගල් ඉවත් කළ යුතුය.
වීරසිංහ සිරි මාන්නගේ නිෂ්පාදනය එන්නේ ඉන්පසු අදියරයේදීය. හුණුගල් කුඩු කර ගැනීමේ අදියරයි. උඩින් කී විදියට පිච්චුණු හුණුගල් කුඩු කරගැනීමට යොදාගත් පාරම්පරික ක්‍රමය වන්නේ පෝරණුව ළඟ සිට හුණුගල් කොටා ගැනීමයි. ඒ පෝරණුව අසලම ඇති පළමුවැනි තොට්ටියෙනි. එහෙත් ඒ සඳහා විශාල වෙහෙසක් වැය කළ යුතුය. මිනිස් ශ්‍රමය ඉතා මිල අධික කාලයක මේ සඳහා විසඳුමක් ඔහු හොයාගෙන ඇත. ඒ හුණු කොටන යන්ත්‍රයකි. ඒ ගැන කතාව අවසානයට සටහන් කළ යුතුය.
හුණු කොටන්නේ වතුර සමඟ මුසුකර ගනිමින්ය. එසේ කොටාගත් හුණු තොට්ටි හෙවත් තටාකවලට යොමු කරයි. තටාකවලදී හුණු සාන්ද්‍රණය සකසා ගනියි. වතුර අවැසි ප්‍රමාණයට යොදාගනිමින් සකසාගත් පසු සුදුහුණු ලැබෙයි. සුදුහුණු පැකට් කරනාතරතුර සුදුහුණු වලින්ම විට කන හුණු සහ ඩිස්ටැම්පර් සකසා ගනියි.
බුලත් විට කන්නට හුණු හදාගන්නේ පෙරාගත් හුණුවලට කහ මිශ්‍ර කිරීමෙනි. බිත්තියේ ගාන හුණුවල සැර අඩු කරන්නට කහ යොදා ගනියි.
ඩිස්ටැම්පර් දැන් සුදුහුණු මෙන්ම බිස්නස් ඇති නිෂ්පාදනයකි. ඩිස්ටැම්පර් යනු හුණුවලට ෆැබ්රික් පේන්ට් යොදා වර්ණවලින් යුතු හුණු නිර්මාණය කරගැනීමකි. තමන් කැමති වර්ණයෙන් යුතු ෆැබ්රික් යෙදූ පසු ඩිස්ටැම්පර් නිර්මාණය කරගත හැකිය.
“ඩිස්ටැම්පර් ගත්තාම ඉස්සර බිස්නස් තිබුණේ කොළ පාටට. දැන් වැඩිපුර ඉල්ලුම තියෙන්නේ නිල් පාටට. දැන් ආයෙමත් ටිකෙන් ටික කොළ පාටට බිස්නස් වැඩි වෙනවා.” හුණු කර්මාන්තයේ යෙදෙන්නෝ කියති. බිත්තියේ පාටටත් දේශපාලනය බලපා ඇත.

දුක
සුළු පරිමාණ කර්මාන්ත ගැන කතාකරද්දී අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ සුපුරුදු අඳෝනාවකි. එය වදයක් නොවේ. එහෙත් සුපුරුදුය. හුණු කර්මාන්තයේ යෙදෙන්නන්ටද ඒ අඳෝනාව පොදුය.
ඩීඇම් නන්දාවතී අපට කියන්නට උත්සාහ කළේ තමන් කරන්නට දන්නා තමන්ගේ ජීවන වෘත්තියට එල්ල වී ඇති අභියෝග ගැනයි.
“අපි වීල් එකෙන් බදුල්ල ටවුන් එකට හුණු ගිහින් දානවා. වැඩිපුර හදන්නේ නැහැ. සති දෙකකට සැරයක් වාගේ තමයි හුණු ගෙනියන්නේ. ඒත් පැකට් සීයක් දෙසීයක් විතර. මහන්සි වෙන අපට ලොකු ලාබයක් නෑ. කඩකාරයා ලාබයක් ලබනවා. එළෝලු හරි වී හරි කළත් ඔය වාගේ තමා. මහන්සි වෙන මිනිහාට ලාබ ලැබෙන ක්‍රමයක් නෙවේනේ තියෙන්නේ. අතරමැදියා තමා ලාබ ලබන්නේ.
අපි පෝරණුවෙ ඉඳන් ගෙදෙට්ට හුණු අදිනවා. ඒකට කාට හරි සල්ලි ගෙවන්න ඕනෑ. ඊට පස්සේ මෙතැන වැඩටත් කුලියට කෙනෙක් ගන්න ඕනෑ. ඒ වියදම් බැලුවාම සුළු ලාබයක් තියෙන්නේ. දැන් අපට ගෙනෙන්න තියෙන දර හරි ගණන්. ටරපන්ටයින් ලොරි ලෝඞ් එකක් තිස්දාහයි. අපි නංචි දර ගන්නවා. දැං කතාවක් යනවා නංචිවලටත් පර්මිට් ඕනෑ කියලා. එහෙම වුණොත් අපට දර හොයාගන්නත් අමාරු වෙයි. තව කාලයක් යනකොට දරත් නැතිවෙයි. හුණු පුච්චන්නත් වෙන්නැති වෙයි. ඇයි ඉතින් දරත් ගණන්නේ.”
මේ පොදු අභියෝගවලට එක් හේතුවක් වන්නේ නිෂ්පාදනයට ඇති ඉල්ලුම අඩුවීමයි. අනෙක ලංකාවේ කර්මාන්තවලට ඇති පොදු අභියෝගය වන දිළිඳු නිෂ්පාදකයා අතරමැදි ව්‍යාපාරිකයා රැවටීමයි. විට කන්නන්ද බිත්තිවල හුණු ආලේප කරන්නන්ද අඩුවී ඇතත් වඳවී නැත. ඒ නිසා සීයට අසූවක් නිෂ්පාදනය අඩුවූ පසු ඉතිරි නිෂ්පාදකයන් අමාරුවේ වැටෙන්නට හේතුවක් නැත.
“හුණු කර්මාන්තය කරනවා නම් ලොකු ගානක් යටකරන්න වෙනවා. මිනිස්සු දාලා කරන්න කොහොමත් බැහැ. මනුස්සයෙක්ට රුපියල් දාහක විතර කුලියක් දෙන්න වෙනවා. උදේට තේ, දවල්ට කන්න දුන්නොත් එක්කෙනෙක්ට එක්දාස් දෙසීයක් විතර වියදම් වෙනවා. අපිත් මේ අල්ලාගෙන යන්නේ මැෂින් පාවිච්චි කරන හින්දා. ලී කපන්නේ මැෂිමෙන්. ගල් කඩන කෙනාට හාරදාහක් දෙන්න ඕනෑ. පැකට් කරන අයට ගාණක් දෙනවා.” වීරසිංහගේ සිරිමාන්න ද කීවේ අභියෝග ගැනයි.

පරිණාමනය
“අවුරුදු පහළොවකට විතර කලින් වැඩ කරන්න කට්ටියත් අඩු කාලෙක, මෙතැන පිච්චුව හුණුගල් ගොඩගහලා තිබුණා. මම තව එක්කෙනෙක්ව හොයාගෙන දෙන්නත් එක්ක කොටන්න ගත්තා. එයා වඩි දෙකක් කොටද්දී මම හතරක් කෙටුවා. එදා මහන්සියට මට පහුවදා උණ. ඒ ඉද්දී තමයි මං කල්පනා කළේ පිටි කොටන්න බ්ලෙන්ඩරය ගන්නවා වගේ හුණුගල් කුඩුකරන්න මැෂිමක් හදාගත්තා නම් හරි කියලා. ඊට පස්සේ තමයි මේක හදාගත්තේ.
මගේ අයියා කෙනෙක් ඉන්නවා. එයා බාස් කෙනෙක්. මම එයාට කිව්වා මගේ වුවමනාව. ඊට පස්සේ මෝටරයකුයි, රේසර් එහෙම දාලා මේ මැෂිම හදාගත්තා. වී මෝල වගේ. මුලින් හැදුවේ පෙති දාලා කොටාගන්න මැෂිම විතරයි. උඩින් වතුර දාන්න පුළුවන්. හැබැයි කිසි ආවරණයක් තිබුණේ නැහැ. හැම තැනම හුණු විසිවුණා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා උඩින් කෑල්ලක් දැම්මා. වතුර දාන්න වෙනම කෑල්ලක් දාගත්තා. මෙතැන ඕෆ්ලෝ වෙන වතුර ආයෙමත් ටැංකියට යනවා. ඒ වතුර ආයෙමත් ගන්නවා. යට හුණු කෙටෙද්දී උඩින් ලෝඞ් කරගෙන තියාගන්න පුළුවන් විදියට පස්සේ හැදුවා. යටිනුත් ගේට් එකක් දැම්මා.”
සිරිමාන්න මැෂිම නිර්මාණය කරගෙන තිබුණේ ලී, පරණ යකඩ වැනි අහක දැමූ දේවල් යොදාගනිමින්ය.
“මේක හොඳට හදාගන්න තිබුණා. මම හැදුවේ නැත්තේ අපේ පුතාලාත් මේ වැඬේම කරන්න කැමති නැති හින්දා. මට පුතෙකුයි දුවලා දෙන්නයි ඉන්නවා. ඒ අය මේවා කරන්න කැමති නැහැ.” සිරිමාන්නගේ පුතා බ්ලොග් ගල් කර්මාන්තයේ යෙදෙයි. පුතා තම ලොරියෙන් සිරිමාන්නගේ හුණු පැකට් ප්‍රවාහනය පමණක් කරදෙයි.
ගමේ අනෙක් අය අසාර්ථක වෙද්දී ඔහු සාර්ථක වුණේය.
“මුලින්ම මැෂිම හැදුවාම මම හුණුවැලිත් ගෙනල්ලා කෙටුවා. හුණුවැලි කියන්නේ අතින් කෙටුවාම විසි කරන කොටස. අතින් කොටාගන්න බැරි කොටස. අනිත් අය කොහොමත් විසිකරන හුණුවැලි මම සල්ලි දීලා ගත්තා. ඒවා මැෂිමෙන් කොටලා හුණු ගත්තා. හැබැයි කාලයක් යද්දී ගමේ අයත් මැෂින් හදාගත්තා. මම මේ මැෂිම අයියාට දුන්නා. එයාගෙන් ඉගෙනගෙන දැන් ගමේ හැමෝම මැෂින් හදාගෙන තියෙනවා.”
මෙය පරිණාමය ගැන පාඩමකි. ඔහු තනාගත් මැෂිම සොරණාතොට ඉතිරිවී ඇති අනෙක් හුණු නිෂ්පාදකයන් කිහිපදෙනාද නිර්මාණය කරගත්තේ ඔහු අනුව යමින්ය. මාතලේ පැත්තේ තියෙනවායැයි අසා පමණක් තිබූ ඩිස්ටැම්පර් මුලින්ම සොරණාතොටදී අත්හදා බැලුවේද වීරසිංහගේ සිරිමාන්න විසින්ය. ඔහු අලුතින් අත්හදා බැලූ දේවල් අන් අයත් අනුකරණය කර ඇත. සොරණාතොට හුණු මේ තරමින් හෝ ඉතිරි වන්නට ඇත්තේ ඔහු නිසා විය හැකිය.
“මේක නව නිෂ්පාදනයක්නේ. තරගයකටවත් ඉදිරිපත් කළේ නැද්ද?”
අපගේ පැනයට ඔහු පෑවේ අවංක ලැජ්ජාශිලී සිනහවකි.
“එහෙම දාලා වැඩක් නැහැනේ. මේක තරගවලට දාන්න නෙවෙයි ජීවත් වෙන්නයි කළේ” ඔහුගේ සිනහව අපට කියවාගන්නට හැකිවුණේ එසේය.■