උදේට ගියාම බල්ලෝ අතෑරියා වගෙ


koushi

සඳුනිකා රත්නායක

සම්පූර්ණ නම මොකක්ද?
මද්දුමගේ කෞශල්‍යා ප්‍රනාන්දු.

මං එහෙම ඇහුවේ, සමහරු නම් වෙනස් කරගන්නවානේ..
ඔව්. අපේ අම්මා සරච්චන්ද්‍ර මහත්තයාගේ ගෝලයෙක්නේ. එතකොට සරච්චන්ද්‍ර මහත්තයා ඒ කාලේ ඉංග්‍රීසි නම් තිබුණ අයගේ නම් වෙනස් කළාලු සිංහල විදියට. ඉතින් අම්මා තාත්තාව බැන්දාට පස්සේ තාත්තාගේ නමේ ප්‍රනාන්දු කෑල්ල ගන්නේ නැතුව සෝමලතා සුබසිංහ විදියටම හිටියා. මම බැන්දාට පස්සේ, මහත්තයාගේ නම චන්දන අලුත්ගේ. තාත්තාගේ නම අරගෙන ගියේ නෑනේ අම්මා. ඒ නිසා මම තාත්තාගේ නම අරගෙන ගියා.

කොළඹට හුරු වෙච්ච ජීවිතේ ඇතුළේ ගමක මතකයක් එහෙම තියෙනවාද?
අපි ඉපදුණේ කොළඹ. ඒත් අපේ අම්මාගේ ගම වේයන්ගොඩ, විගඩ. එහේ අපේ ආච්චිලාගේ ගෙදර හුඟාක් අය හිටියා. වෙල් යායවල්, මල් වතු, පොල් වතු එක්ක ඒ පරිසරය හරිම ලස්සනයි. අපි හැම නිවාඩුවකම හිටියේ එහේ. ඇත්තටම අපේ දරුවන්ට දැන් ඒ වාගේ ජීවිතයක් නෑ. අපේ අම්මා අපි දැන් මේ ඉන්න ඉඩම ගන්නේ 1969දී. මෙතැන ඉඩම ගත්තේම ඒ ග්‍රාමීය පරිසරය මෙතැන තිබුණු නිසා. එතකොට එහා පැත්තේ පාර්ලිමේන්තුවක් හදන්න හිතලාවත් නෑ. හරිම ලස්සනයි. වෙල් යාය, වැව. රබර් වත්තක් තිබුණා. ගෙවල් දෙක තුනයි මේ හරියට තිබුණේ. මේ හරිය දැනුත් කුරුලු පාරාදීසයක් විදියට නම් කරලා තියෙන්නේ. ඉස්සර මේ අවට ඒ තරමට කුරුල්ලෝ. දැන් ඒ හැමදේම සීමාවෙලා.

කොහොමද පාසල් කාලේ ගෙවෙන්නේ?
ඉස්කෝල හතරකට ගියා. 4 වාරයේදී ගියේ සුජාතා කියලා පාසලක් තිබුණා බම්බලපිටියේ, ඒකට. ඒකේ හිටපු විදුහල්පතිනිය ඇමරිකානු කාන්තාවක්. එයාම තමයි අපේ අම්මා මියුසියස් එකේ ඉන්න කාලේ ඒකේ විදුහල්පති වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට එයා තමයි අම්මාව කලාකරුවෙක් විදියට දියුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ, අම්මා ඉගෙනීමට වැඩිය කැමතිවෙලා තියෙන්නේ පින්තූර අඳින්න, නටන්න, සිංදු කියන්න ඒවාටලු. ඉතින් අනිත් ගුරුවරු අම්මාට නීති දානකොට මේ විදුහල්පතිනිය තමයි කියලා තියෙන්නේ සෝමලතාට ඕනෑ වෙලාවට එයා කැමති දේවල් කරන්න දෙන්න කියලා. ඒ විදුහල්පතිනිය පසුව ආරම්භ කළ පාසල තමයි සුජාතා එක. අම්මා මාවයි නංගිවයි ඒකට දැම්මාට, ඊට පස්සේ අපිව රජයේ පාසලකට දැම්මා සාමාන්‍ය විදියට හැදෙන්න ඕනෑ කියලා. මොකද අරක පෞද්ගලික පාසලක්. ඒකට ආවේ එක්තරා පැලැන්තියක ළමයි විතරයි. ඒත් පාසල් කාලෙන් මං කැමතිමත් ඒ පාසලේ ගෙවපු අවුරුදු දෙකට. එතකොට හැම අවුරුද්දේම මං නාට්‍යයක් කරනවා. අම්මලා එනවා ඒවා බලන්න. මට ඒක හරි ලොකු දෙයක්.
ආණ්ඩුවේ ඉස්කෝලෙට ගියාට පස්සේ එතැන හරිම තරගකාරීයි. එතැනට එන්නේ හැමෝම වගේ ශිෂ්‍යත්වෙ පාස්වෙන අය. හැමදේටම තරගයක් තියෙන්නේ. ගුරුවරුත් තමන්ගේ කැමැත්තට වැඩ. නාට්‍යයක් කළත් තමන් කැමති අය තමයි ඉස්සෙල්ලම දා ගන්නේ. ඒ දේවල්වලින් මගේ කලාවට තිබ්බ ආසාව නැතිවුණා. මැරිලාම ගියා. මං ඒ වෙනුවට මලල ක්‍රීඩා කළා. හැම පාරම නිවාසෙ වෙනුවෙන් කුසලානය අරන් ආවා. ඔය අතරේ අපේ අම්මා ඒ ඉස්කෝලෙට උගන්වන්න ආවා. ඇවිල්ලා නාට්‍ය කළා. මං ගියේ නෑ ඒකට සම්බන්ධ වෙන්න. ඒ ඉස්කෝලේ නාට්‍යවලට ඒ තරම් පිළිගැනීමක් තිබුණෙත් නෑ. මං සම්පූර්ණයෙන්ම වගේ ක්‍රීඩාවලට යොමුවෙලා හිටියේ. අම්මාටත් ටිකක් හිත රිදිලා තිබුණෙ නාට්‍යවලට මං එන්නේ නෑ කියලා. මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ තමයි අම්මා නාට්‍ය කණ්ඩායමක් හදාගෙන ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය කරන්න පටන් ගත්තේ. ළමා නාට්‍ය. එතකොට තමයි මං ආයෙත් ඒ වැඩවලට සම්බන්ධ වුණේ.

පොඩි කාලේ කොහොමද, ටිකක් දඩබ්බරයි වගේද?
අපොයි ඔව්. කොල්ලොත් එක්කමයි. මට කෙල්ලො ළඟ තියෙන ජවය මදි. ගස්වලයි වැටවල් උඩයි. උදේට ගියාම බල්ලෝ අතෑරියා වගේ. හවසට අම්මා පාරට බැහැලා තමයි හොයන්න පටන්ගන්නේ.

කලාව ඇරුණාම පොඩි කාලේ ඉඳන් වෙන මොනවටද ආස කළේ?
ඇත්තටම මට ගොඩක්ම ආසාවක් තිබුණේ ගුරුවරියක් වෙන්න. මං පොඩි කාලේ සෙල්ලම් කරනකොටත් සෙල්ලම් ගෙවල් නෙමෙයි, ඉස්කෝල දාන්නේ. ආච්චිලා සීයලාට උගන්නවා ඉතින්. අම්මත් ගුරුවරියක්නේ. එයා ළමයින්ගේ පොත් ගෙදර ගේනවා. මං කරන්නේ ඒවා හොරෙන් අරන්, හරි දාලා ලකුණු දානවා. අම්මා ගස් යන වැඩ කරන්නේ. අන්තිමේදී ඉතින් කොහොමහරි ඒකත් කරගත්තා. ගුරුවරියකුත් වුණා.

අම්මාගේ බලපෑමක් තිබුණද ඒකට?
අම්මා ඒකට මාව හුඟක් උනන්දු කෙරෙව්වා. මොකද අම්මා කිව්වා රඟපෑම විතරක් වෘත්තිය කරගෙන ඔයාට පැවැත්මක් නෑ. එහෙම නම් ඔයාට හැමදේම රඟපාන්න වෙනවා. ඔයා මොකක් හරි රැකියාවක් කරන්න පුළුවන් විදියට අධ්‍යාපනය ලබාගන්න කියලා. ඉතින් මං උගන්නන්න ආස නිසා ඒක ගොඩ දාගත්තා.

විශ්වවිද්‍යාලෙ ඇතුළේ අරගලවලට එහෙම සම්බන්ධ වුණාද?
88,89 කාලේ මං විශ්වවිද්‍යාලේ. එතකොට අපේ තාත්තා ආරක්ෂක අමාත්‍යාංශේ ලේකම්. ඉතින් කට්ටිය හිතුවා මං අපේ තාත්තාට ඔත්තු දෙනවා කියලා. අනික මං ඉංග්‍රීසි සාහිත්‍යය කළේ. ඒක කළ කිහිපදෙනාත් එක්ක මං නිතරම වගේ ගැවසුණා. එයාලා කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ධනවත් පවුල්වල ළමයි. ඒ නිසා මමත් ඒ පැලැන්තියේ කියලා තමයි හිතාගෙන හිටියේ. ජිම් කැන්ටිම කියලා එකක් තියෙනවා. මායි යාළුවො ටිකකුයි ඒකට අරන් ගිහින් අපිව හිරකරගෙන කතාවක් පවත්වලා කිව්වා ඔත්තු දෙන අයව අපි දන්නවා, ඔත්තු නිසා එයාලාට මොනවා හරි වුණොත් ඒ ඔත්තු දුන්නු අයව කොනක ඉඳලා ඉවර කරනවා කියලා. ඊට පස්සේ ආරංචියක් ආවා කොල්ලො දෙන්නෙක් වැල්ලවත්තේදී බෝම්බයක් පිපිරිලා මැරිලා කියලා. ඒ එක්කෙනෙකුගේ සාක්කුවක නම් ලැයිස්තුවක් තිබිලා තියෙනවා. ඒකෙ තිබිලා තියෙන්නේ මගේ හොඳම යාළුවන්ගේ නම්. එයාලාව මරන්න යද්දී ඒ ගෙනිච්ච බෝම්බෙම තමයි පිපිරිලා තියෙන්නේ.

ඔය මොනවා වුණත් ආදරෙත් කරන්න ඇතිනේ නේද? ඉස්ඉස්සෙල්ලම ආදර හැඟීමක් ඇතිවුණේ කොයි කාලෙද?
ඉස්සෙල්ලාම මට ඒ වගේ හැඟීමක් ඇතිවුණේ නළුනිළියො ගැන. විශේෂයෙන් නළුවන්ට. ධර්මසිරි බණ්ඩාරනායකට හුඟාක් ආස කළා. එයා ඒකාධිපති කරලා ඒ කාලේ හුඟක් ජනප්‍රියයි. ඊට පස්සේ හංස විලක්. මං බලලාත් නෑ. ඒත් පත්තරවල ඉන්ටර්වීව් යනවා. එක දවසක් අපේ දොරට තට්ටු කළා. මං දොර ඇරියාම ධර්මසිරි බණ්ඩාරනායක ඉන්නවා දොරකඩ. මං හිතුවා මට කලන්තේ දාලා වැටෙයි කියලා. අපේ තාත්තාව හම්බෙන්න ඇවිල්ලා මොකක්ද වැඩකට. විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, වසන්ත කොටුවැල්ල එයාලාට තමයි ඉස්සෙල්ලම ආස කළේ. අම්මාව හම්බෙන්න ආවාම නම් ලියාගෙන තියාගෙන ඉන්නවා සමරු අත්සන් ගන්න. ඊට පස්සේ අම්මාගේ නාට්‍ය කණ්ඩායමේ හිටපු එක අයියා කෙනෙකුට ආදරේ කළා. පස්සේ ඒක නැතුව ගියා. එහෙම තමයි ඒ දේවල් ඒ වයසේදී.

මහත්තයාව හම්බෙන්නේ කොහොමද?
ඒකත් නාට්‍ය කණ්ඩායම ඇතුළේම තමයි. මං පුදුම විදියට එයාව අගය කළා. දක්ෂ මනුස්සයෙක්. අපේ නාට්‍ය කණ්ඩායමට ඇතුල්වෙලා එයා ඉගෙන ගත්තා බොහෝම සුළු කාලෙකින්, බෙර ගහන්න, ගිටාර් ගහන්න, තබ්ලා වාදනය කරන්න, නටන්න ඒ හැම එකක්ම වාගේ. අපේ අම්මා තමයි එයාට ඉගැන්නුවේ. නාට්‍ය කණ්ඩායමට එනකොට දෙපාරක් ඒලෙවල් ෆේල්වෙලා, අතෑරලා දාලා නාට්‍ය කර කර ඔහේ රස්තියාදු වෙවී ඉන්නවා. පස්සේ අම්මා අල්ලලා ගෙදර නවත්ත ගත්තා. බැල්කනියට දාලා දොර වහනවා පාඩම් කරපිය කියලා. මොන පාඩම්ද මිනිහා හොඳටම නිදි. ඉතින් ඒ වාගේ යාළුකමක් තිබුණෙ මුලින්. පස්සේ එයා සිතාර් වාදනය ඉගෙනගත්තා විශාරද දක්වා. කැම්පසුත් ගියා. අම්මාටත් හරි ආදරෙයි. අම්මාගේ නිර්මාණවලට හුඟාක් උදව් කළා. ඒ වාගේම හරි සංවේදීයි. අහිංසකයි. අනික මං හෙව්වේ තාත්තා වගේ කෙනෙක්ව. තාත්තා අම්මාගේ හැම වැඩකටම උදව් කළානේ.

කවුද ඉතින් ඉස්සෙල්ලාම ආදරේ ප්‍රකාශ කළේ?
මං තමයි. මං ආදරේ කළ හුඟාක් අයට මං තමයි ඉස්සෙල්ලාම ආදරේ ප්‍රකාශ කළේ. මං කාට හරි කැමති වුණොත් මං ඒක කෙළින්ම කියනවා.

අම්මාගේ ප්‍රතිචාරය මොන වගේද වුණේ?
අපි දෙන්නාගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙන අම්මාට හොඳටම තරහා ගියා. එතකොට මං විශ්වවිද්‍යාලෙ ගිහින් ඉවරයි. අම්මලා මට මඟුල් යෝජනා හොයනවා මං කාත් එක්කවත් යාළුවෙන්නෙත් නැති හින්දා. එතකොට නංගි කිව්වා අක්කේ ඔයා මේ ගැන දැන් කියන්න කියලා. ඒත් චන්දන බයයි. එයාගේ ගුරුතුමියනේ. එයා එතකොට විශ්වවිද්‍යාලෙ යනවා. අපේ නාට්‍ය කණ්ඩායම මෙහෙයවන්නේ එයා. අම්මා කිව්වේ දෙන්නාම කලාකාරයො නිසා පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ කියලා. අම්මා කිව්වා, මම චන්දනව හැදුවේ කලාව ගෙනියන්න කියලා. ඒත් අපි මේක අතාරින්නෙත් නැති හින්දා චන්දන ශාස්ත්‍රපති උපාධිය කරලා කථිකාචාර්යවරයෙක් වුණාට පස්සෙ තාත්තා මැදිහත් වෙලා කතාකරලා අපි විවාහ වුණා.

ඒ ආදරේ ජීවිතේට ශක්තියක් වුණාද?
මං කියලා කෙනෙක් අද ඉන්නේ එයා නිසා තමයි. එයා කිසිදෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. භාර්යාවක් වුණාම ගෙදරදොර පවත්වගෙන යන්න ඕනෑ, තේ හදන්න ඕනෑ, අරකයි මේකයි, එයා ඒ කිසිදෙයක් බලා පොරොත්තු වෙන්නේ නෑ. ඒක මගේ වැඩක් කියලා හිතන්නේ නෑ. එයාට පුළුවන් වෙලාවට එයා කරනවා. මට පුළුවන් වෙලාවට මං කරනවා. සමහර පිටපත් බලලා මං හිතනවා මේක කරන්න බෑ කියලා. එතකොට එයා අහනවා ඔයා එහෙනම් මොකටද නිළියක් වුණේ, හොඳ අධ්‍යක්ෂකවරයෙක් නම් හොඳ පිටපතක් නම් ඒක කරන්න ඕනෑ කියලා. අපේ තාත්තාත් දැරුවේ ඒ අදහසමයි. චන්දනත් එහෙමයි. අද මට යම්කිසි ස්ථාවරයක් තියනවා නම් ඒ මව්පියො මට දීපු දායාදය දිගටම කරගෙන යන්න ශක්තියක් දෙන ස්වාමිපුරුෂයෙක් ලැබුණු නිසා. නැත්තම් හුඟක් දක්ෂ අය, විශේෂයෙන්ම කාන්තාවෝ විවාහයෙන් පස්සෙ හැලිලා යනවා.

ඔය අතරෙ හැලහැප ්පිලිත් අනිවාර්යෙන් තියෙන්න ඇති,
ප්‍රධානම දේ වුණේ අපි බඳිනකොට එයා තාම ඉගෙන ගන්නවා. එයාගෙ පශ්චාත් උපාධිය. අපි නෙදර්ලන්තේ හිටියේ අවුරුදු හතරක්. ඉතින් එයාට සෑහෙන්න කාලය මදි. පාන්දරම ගිහින් එයා මහ රෑ එන්නේ මං මුළු දවසම තනියම. මං ඉතින් චිත්‍රපටි බලනවා. ඉගෙනගත්තා ජර්මන්, නටන්න, සිංදු කියන්න. ඒත් සමහර වෙලාවට අපි අතරේ බැඳීමක් ඇති වෙන්නවත් වෙලාවක් නෑ. ඒ තරම් එයා කාර්යබහුලයි. ඒවාට රණ්ඩු. එයා ඉගෙනගෙන ඉවර වෙනකම්ම ඒ තත්ත්වෙ තිබුණා. මං කියන්නේ නෑ දැන් අපේ පවුල් ජීවිතේ බොහොම සුන්දරව මල් මල්ව ගලාගෙන යනවා කියලා. අපි දෙන්නාට හොඳ අවබෝධයක් තියෙනවා. ඉඳලා හිටලා පුපුරලා යන දේවල් තියෙනවා. එහෙම නැතුව ජීවිතයක් නෑනේ ඉතින්.

පොඩි කාලේ අම්මා ගැන තියෙන හොඳම මතකය මොකක්ද?
මට මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. අපේ නංගි ඉපදුණේ මට වඩා අවුරුදු හතරකට පස්සේ. අපේ අම්මලාගේ පවුලේ ඉපදිච්ච පළවෙනි ළමයා මම. ඉතින් මට සැලකුවේ රජ කුමාරිකාවකට වගේ. විශේෂයෙන් අම්මාගේ ආදරේ. නංගි ඉපදුණාට පස්සේ ඒක සෑහෙන්න අඩුවුණා. අනික නංගි සුදුයි, බෝල ගෙඩිය වාගේ ලස්සනයි. මට ඒ අඩුව හරියට දැනුණා. ඉතින් මට අම්මා ගැන තදබල ආදරයක් වෙනුවට ඒ වෙනස්වීම ගැන දුකක් තිබුණේ. ඒ වාගේම එයා හරි කාර්යබහුලයි. ඒවාත් බලපෑවා. ඇත්තටම මං අම්මාට ආයිත් තදින් ආදරේ කරන්න පටන්ගත්තේ මං විවාහ වුණාට පස්සේ. අනික නංගියි මමයි අතරින් අම්මා හැම තිස්සේම හිතුවා මම දුර්වලයි කියලා. මට තමයි උදව් ඕනෑ කියලා.

ඒක ඉතින් එහෙමද?
පොඩි කාලේ ඉඳන් නංගි හරි ස්වාධීනයි. එයාට ඕනෑ දේ තමයි කරන්නේ. ඉතින් අම්මා හිතුවා එයා ගැන ඒ තරම් බලන්න ඕනෑ නෑ කියලා. ඊට වඩා මට ඇත්තටම දුර්වලකමක් තියෙනවා. මට හරියට ආදරේ ඕනෑ. මට මාව බලාගන්නවා වෙන්න ඕනෑ. රණ්ඩු වෙනවා. අඬනවා. දොඩනවා. එහෙම තියෙනවා මගේ පැත්තක්.

ළමයි දෙන්නා හම්බුණේ කසාද බැඳලා අවුරුදු දොළහකට පස්සේ කිව්වා. එතකොට දරුවෙක් ගැන බලාපොරොත්තුව අතහැරලාද හිටියේ?
මට ළමයින්ගේ ලොකු උවමනාවක් තිබුණා. චන්දනත් ළමයින්ට හරි ආදරෙයි. ඉතින් දරුවො ලැබෙන්නැති එක ගැන මට හරි ප්‍රශ්නයක් තිබුණා. නෙදර්ලන්තේදි දොස්තරලා හම්බුණා. ලංකාවට ඇවිල්ලාත් එහෙමයි. වෙද මහත්තුරුද, අරහෙද මෙහෙද, දෙයියන්ටත් කිව්වා. හැම දෙයක්ම කළා. ඇත්තටම ඒ අසරණවීමත් එක්ක ඕනෑ දෙයක් කරනවා. අපි කේන්දර බලලා නෙමේ බැන්දේ. මේක නිසාම බැලුවා. එතකොට කිව්වා මට පුතෙක් නම් ඉන්නම ඕනෑ කියලා. ඒකත් මගෙ හිතේ තිබුණා. ඔහොම ඉන්නකොට මගෙ යාළුවො දෙතුන්දෙනෙක් කිව්වා ඉන්දියාවට යන්න අයිවීඒ ක්‍රමය කියලා එකක් තියෙනවා. ඒක හුඟක් දෙනෙක්ට හරි යනවා කියලා. ඒ කියන්නෙ ඩිම්බයි ශුක්‍රාණුයි අරගෙන ඒක වෙනම වර්ධනය කරනවා. සුමාන තුනකට පස්සේ ඒක ගර්භාෂෙ තැන්පත් කරනවා. චන්දන කිව්වා ඕනෑ නෑ. ඔය ඇති කියලා. මං කිව්වා හරි එහෙනම් අපි ඉන්දියාවට ටි්‍රප් එකක් ගිහින් නිකමට ඒ දොස්තරවත් බලලා එමු. අන්තිම වතාවට කියලා මේක කරලා බලමු කාටවත් කියන්නෙ නැතුව කියලා. මොකද වෙන කවුරුහරි දැනගත්තොත් එයාලා බලන් ඉන්නවා හරි යනකම්, ඒකත් මානසික පීඩනයක්. පොඩි පොඩි ප්‍රශ්න ආවා. ඒත් වැඬේ සාර්ථක වුණා. එතකොට මට 42ක්. වයසත් වැඩි නිසා නිවුන් දරුවනුත් නිසා මාස පහක්ම ඇඳටවෙලා ඉන්න කිව්වා. ඒ කාලේ අම්මා තමයි මගේ හැමදේටම ළඟින්ම හිටියේ.

පෙනුම නිසා ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා තියෙනවාද?
ඔව්. මට කියලාම තියෙනවා මූණටම, ඔයා තව ටිකක් ලස්සන වුණා නම් මේ චරිතෙට හරියට ගැළපෙනවා කියලා. එහෙම කියපු අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ වගේම ඒක නිසා ලැබිච්ච දේවලුත් තියෙනවා. එක්තරා කාලෙකින් පස්සේ සිනමාවෙ ලොකු වෙනසක් වෙනවා. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර. ඒ චිත්‍රපටිවලින් කතා කළේ යුද්දෙ ගැන. මේ සමාජෙ ගැන. එතකොට සාමාන්‍ය කාන්තාවකගේ පෙනුම තිබුණු යම්කිසි රංගන හැකියාවක් පිළිබඳ විශ්වාසයක් තිබුණු කෙනෙක් හැටියට එයාලා මාව තෝරගත්තා.

ඒ ගැන පසුතැවීමක් තිබුණාද?
තිබිලා තියෙනවා. සමහර චරිත දැක්කාම මට හිතෙනවා අනේ මට මීට වඩා මේක හොඳට කරන්න පුළුවන්නේ. ඒත් මගේ පෙනුම ඒකට ගැළපෙන්නේ නෑනේ කියලා. ඒක නෑ කිව්වොත් බොරුවක්. මගේ තරුණ කාලේදී ඒක තදින්ම දැනුණා. මොකද ඒ කාලේ තිබුණේ රූපාන්විත චිත්‍රපටි කලාවක්. අනික ඒ කාලේ ගෙදරට කට්ටිය ආවාමත් ඉස්සෙල්ලාම තෝරගන්නේ නංගිව. එයා තමයි ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ වේදිකාවෙ රඟපෑවේත්. ඒත් එයා ඒ ජීවිතේට කැමති වුණේ නෑ.

මහත්තයා ඒ ලස්සන ගැන හිතුවේ කොහොමද?
එයාට ලස්සනට පෙනෙන්නේ මං වගේ පෙනුම තියෙන අය. එයා ඕනෑ වෙලාවක, ‘අහවල් ළමයා ලස්සනයි’ කිව්වොත් ඒ ළමයාගේ තියෙන්නේ සම්මත ලස්සනක් නෙමෙයි. මං ලස්සනයි කියන අය ඉන්නවා. එයාලා සම්මත විදියට හිතන අය නෙවෙයි. විශේෂයෙන් පිටරට ගියාම එයාලා මාව දකින්නේ හරිම ආකර්ෂණීය කෙනෙක් හැටියට.

විනෝදාංශ මොනවද?
පොත් කියවනවා. චිත්‍රපටි බලනවා. නිදාගන්නවා.

කෞශල්‍යා ප්‍රනාන්දු කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මං හරිම සාමාන්‍ය ගැහැනියක්. මං මගේ දරුවො දෙන්නාට, පවුලට හරිම ආදරෙයි. පවුල් සංස්ථාවට හරි ළැදියි. කැමතියි. කාන්තාවට නීතිරීති දාලා තියෙන තැනක මට ඉන්න බෑ.■