Wednesday, 23/8/2017 | 2:12 UTC+0
රාවය

ඡායරූප ශිල්පියා සියුම් තැන් දැකිය යුතුයි යමුනී රශ්මිකා

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඡායාරූප ශිල්පිනියක ලෙස ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වූ යමුනී රශ්මිකා පෙරේරා 2016 වසරේ ද ජාත්‍යන්තර රන් සම්මාන කීපයකින්ම පිදුම් ලැබුවාය.Artist of FIAP & Award for the International Federation of Photographic Art සම්මානයෙන් පිදුම් ලද ලංකාවේ ප්‍රථම කාන්තාව බවට පත්වන්නේ ද ඇයයි. පහතින් පළවන්නේ 2008 වසරේ ලංකාවේ හොඳම ජනමාධ්‍ය ඡායාරූප ශිල්පිනිය බවට පත් වූ ඇය සමඟ රාවය කළ සංවාදයකි.

අද සමාජයේ බොහෝ දෙනා විවිධ මාදිලියේ කැමරා භාවිත කරන්නන් බවට පත්ව තිබෙනවා. කැමරාකරුවෙකු කලාකරුවා බවට පත්වීමේ සීමාව ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

සමහර අවස්ථාවල ඡායාරූප ශිල්පියාගේ ස්ථානය ඔවුන් විසින්ම කැමරාකරුවා කියන පහළ මට්ටමට පත්කරගෙන තිබෙනවා. ඡායාරූප ශිල්පය කියන්නේ ලෝකයේ ඉතාම ඉහළින් පිළිගන්නා සහ විශාල අවස්ථාවන් සහිත වෘත්තියක්. එහෙත් එය ලංකාවේ භාවිත කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වී තිබෙනවා. ඡායාරූප ශිල්පයේ වෘත්තීය ගරුත්වය සැබවින්ම රැකගත යුතු වන්නේ පුද්ගලයෙක් ලෙසයි. තමන් ඡායාරූප ශිල්පියෙකු නම් ඒ සඳහා තමන්ට අවශ්‍ය විනය, න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම යන සියල්ල වර්ධනය කරගත යුතුයි. බොහෝ දෙනෙක් ඡායාරූප ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කිසිදු න්‍යායාත්මක දැනුමක් නොමැතිව, ප්‍රායෝගික දැනුම පමණක් සහිතවයි. ඒ දෙකම තිබුණත් විනය හෝ සංයමය වර්ධනය වී නොමැති නම් එම පුද්ගලයා ඡායාරූප ශිල්පියෙකු ලෙස පිළිගත නොහැකියි. දැනෙන්න, විඳින්න බැරි නම් ඡායාරූප ශිල්පියෙකුට හොඳ නිර්මාණයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. සියුම් දේ දැකිය යුතුයි. මනස, හදවත සංවේදී විය යුතුයි. ෂටර් එක එබීමෙන් පමණක් ඡායාරූපයක් ගන්න පුළුවන් තරමට අද තාක්ෂණය දියුණු වෙලා තියනවා. දුරකථනයෙන් පවා ඡායාරූප ගැනීමේ හැකියාව තියනවා. ඒ නිසා තමයි ඡායාරූප ශිල්පියා කැමරාකාරයා කියන තැනට පත්වන්නේ. අපි දකින දේ එලෙසම සමාජයට ඉදිරිපත් කරනවාද, එහි ඇති වටිනාකම මොකක්ද, එයින් සමාජයට යහපතක් වෙනවාද, තවත් අයකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුවෙනවාද යන දේවල් සිතිය යුතුයි. එම නිර්ණායක තුනම සහිත නම් තමයි නියම ඡායාරූප ශිල්පියෙකු බිහිවන්නේ.

ඡායාරූපකරණය ලංකාව තුළ පුරුෂ පාර්ශ්වයට පමණක් සීමා වූ බවට අතීතය සාක්ෂි සපයනවා. වර්තමානය වන විට එම වෘත්තිය තුළ දෙපාර්ශ්වයම නියෝජනය වෙනවා. ඇතැම්විට පුරුෂ පක්ෂය අබිබවා ඡායාරූප ශිල්පයේ දක්ෂතා දක්වන කාන්තාවන් හමුවෙනවා. ඔබ එයට එක් උදාහරණයක්.
අතීතයේ නම් ඡායාරූප ශිල්පිනියන් නොසිටි තරම්. වර්තමානය වන විට එය වෙනස් වන්නට හේතුවක් තමයි ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය වැනි ආයතන විෂය පථයක් ලෙස ඡායාරූප ශිල්පය ඉගැන්වීම ආරම්භ කිරීම. ඒ නිසා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව ඉගෙන ගැනීමට යොමුවීම සිදුවුණා. ඒ හරහා ඡායාරූප ශිල්පිනියන් වැඩි දෙනෙක් බිහිවුණා. නමුත් එක්තරා තැනකදී ඒ සියල්ල බොහෝ දෙනා අත්හරිනවා. අවිවාහක සහ රැකියාවක් නොකරන කාලසීමාවේ ඒ අය ඉගෙන ගන්නවා. පසුව රැකියාව නිසා හෝ විවාහය නිසා ඒ සියල්ල අත්හැරෙනවා. ඒ නිසා බොහෝ කාන්තාවන් මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නේ යම් කාලපරාසයන් තුළ පමණයි. වෘත්තියක් ලෙස එහි නිරත වන ප්‍රමාණය ඉතා අඩුයි. ජීවිකාව ලෙස එහි නිරත පිරිස හැර අනෙක් බොහෝ දෙනා එයින් ඉවත් වී තිබෙනවා. ජනමාධ්‍ය ඡායාරූපකරණයේ නිරත වන ඡායාරූප ශිල්පිනියන් ඉතාම අඩුයි. වෙනත් රටවල කාන්තාවන්ද පිරිමි සමඟ කරට කර එම වෘත්තියේ යෙදෙනවා. සමහර අවස්ථාවල මටත් ගොඩාක් බාධකවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් මම ඒ අභියෝගය භාරගත්තා. කාන්තාවක් ලෙස අභියෝග භාරගෙන තමන්ගේ ඉලක්කය වෙත යෑමට හැකියාවක් තියෙන්න ඕනෑ.

ලංකාව තුළ වෘත්තීය ඡායාරූප ශිල්පියාගේ මට්ටම අතීතයේ තිබුණාට වඩා වෙනස් මට්ටමකට පැමිණ ඇතැයි ඔබ සිතනවාද?
මේ ක්ෂේත්‍රය පිළිබඳව න්‍යායාත්මක දැනුමක්ද ලබාගත යුතුයි කියන දේ අද තරුණ පරපුර අතර තියනවා. එයට හේතුව වී තිබෙන්නේ තරගකාරීත්ව යයි. ඒ සඳහා මුහුණ දීමට දැනුම ලබාගත යුතු බව ඔවුන් දන්නවා. එවැනි පිබිදීමක් ප්‍රවණතාවක් දැන් මතුවෙමින් තිබෙනවා. ඒක තමයි ලංකාවේ වෙන්න ඕනෑ. ඒ වගේම ජනමාධ්‍ය ඡායාරූපකරණය දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. අතීතයේ තිබුණේ දකින දේ ඒ ආකාරයටම කිසිදු නිර්මාණකරණයක් නොමැතිව හුදු වාර්තා කරණයේ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමයි. අපේ රටේ සියයට පනහක් පමණ තවමත් එහෙමමයි. ලෝකයේ නම් එය මේ වන විට ඉතා දියුණු මට්ටමකට ගොස් අවසන්. නිර්මාණකරුවා සියුම් තැන් දැකිය යුතුයි. බොහෝ දේ අතරින් ඒ සියුම් දේ ගත හැකි විය යුතුයි. ඒ මගින් බොහෝ දේ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබිය යුතුයි. එය තමයි ලෝකයේ මේ වන විට ප්‍රවණතාව. එය ආලෝකය හැසිරවීමෙන් හෝ කෝණ භාවිතාව මගින් හෝ රාමු සැකසීම හෝ හැඩතල රේඛා මගින් විය හැකියි. ජනමාධ්‍ය ඡායාරූපකරණයත් මේ වන විට කලාව කියන දෙයට ආසන්නයටම ගිහින් තිබෙන්නේ.

ඡායාරූප ශිල්පියාගේ භූමිකාවට හිමි ස්ථානය ලංකාව තුළ පවතින්නේ කිනම් මට්ටමකද?
ලංකාවේ වෙනත් කලාකෘතීන්ට තිබෙන ස්ථානය සමඟ බැලූ විට ඉතාම අල්ප ස්ථානයක් තමයි ඡායාරූප ශිල්පයට තිබෙන්නේ. ඒ ගැන ඉතාම කනගාටුයි. ඇතැම්විට ආසියානු රටවල් අතරින් රන් පදක්කමක් අරන් ලංකාවට එන ක්‍රීඩකයා ඇගැයුවත් ලෝක මට්ටමින් රන් පදක්කමක් ලංකාවට ගෙනෙන ඡායාරූප ශිල්පියාට කිසිදු ඇගැයීමක් නැහැ. ඡායාරූප ශිල්පීන් ලෙස හොද නිර්මාණකරුවන් බිහිවුවත් ඔවුන් පවතින්නේ නැත්තේ ඔවුන්ට ඇගැයීමක් කිරීමට ලංකාවේ කිසිවෙක් නැති නිසායි. ඒ නිසා තමයි මේ තරම්ම ඡායාරූප ශිල්පය පැත්තකට කළ කලා මාධ්‍යයක් ලෙස තිබෙන්නේ. චිත්‍රවලටවත්, සංගීතයටවත්, නැටුම්වලටවත් තිබෙන තැන එයට නැහැ. කැමරා ශිල්පියාත් තමන්ගේ වෘත්තීය ආරක්ෂා කරගෙන එය ඉහළ තලයකට ගෙනඒමට උත්සාහ කළ යුතුයි. ජාත්‍යන්තර තලයේ ශිල්පීන් තව තවත් බිහිකළ යුතුයි. එවිට ලංකාව පිළිබඳව පිබිදීමක් ඇතිවෙනවා. අතීතයට වඩා වර්තමානයේ ජාත්‍යන්තර තරග තලයේ ඡායාරූප තරග සඳහා ඉදිරිපත්වීමේ ප්‍රවණතාව වර්ධනය වී තිබෙනවා. ඒ ඡායාරූප සංගම් හරහා යන පිරිස පමණයි. ඉන් පිටස්තර අය ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඒ අය දැනුවත් වීමට නම් මාධ්‍ය හරහා ඒ පිළිබඳ දැනුවත් කළ යුතුයි. ඒ වගේම අන්තර් ජාතික තරග සඳහා ඉදිරිපත්වීමට සිදුවන්නේත් පෞද්ගලික වියදමින්. ඒ නිසා ඡායාරූප ශිල්පියාට අවසානයේ තමන්ගේ නිර්මාණශීලී හැකියාව මුදල ඉදිරියේ නැවැත්වීමට සිදුවෙනවා. තමන්ගේ මුදලින් ඉදිරිපත් වෙලා ජයග්‍රහණයන් රටට ගෙනාවත් එහි අගය කිරීමක් හෝ නැති වන විට බොහෝ දෙනා නිර්මාණකරණයෙන් බැහැර වෙනවා. මෙවර රාජ්‍ය ඡායාරූප උළෙලක් පැවැත්වීම ඉතාම හොඳ දෙයක්.

ඡායාරූපකරණය කලාවක්. මෙරට නිර්මාණකරුවන්ට තම නිර්මාණ අන්තර් ජාතික මට්ටමට ගෙනයෑමට තිබෙන අවස්ථාවන් මෙන්ම ඒ පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය තිබෙන්නේ කෙබඳු තැනකද?
අවස්ථාවන් තිබෙනවා. සමහර අය පෞද්ගලිකව තමන්ගේ ඡායාරූප වෙබ් අඩවි නිර්මාණය කරගන්නවා. සමහර අය ඡායාරූප විකිණිය හැකි ආයතන හා සම්බන්ධ වෙනවා. එහෙම නැතිව පොදුවේ සියලුදෙනාට එකතු විය හැකි තැන් ලංකාවේ නැහැ. මෙන්න මේකයි ක්‍රමවේදය, මේ හරහා වෙනත් රටවලට ඡායාරූප අලෙවි කරන්න පුළුවන් කියලා එහෙම නිසි ක්‍රමවේදයක් නැහැ. තම තමන් තමයි ක්‍රමවේදයන් සොයාගත යුතුව තිබෙන්නේ. එවැනි දෙයක් මම හිතන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමින් හෝ විෂය පථයට ඉදිරියේදී එක්විය යුතුයි. මෙය හුදෙකලා වී විනාශ විය යුතු විෂයක් නොවෙයි. මොකද ඡායාරූපය කියන්නේ හැමකෙනාම දන්නා විෂයක්. දැන් තිබෙන වටිනාකමට වඩා ලෝකයේ ඉදිරියට විශාල වටිනාකමක් එයට එකතු වෙනවා.

අද අන්තර් ජාලය හරහා ඉතා ශීඝ්‍රයෙන් සහ සීමා විරහිතව සමාජගත වන ඡායාරූප ඇතැම්විට ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් පමණක් නොව ආචාරධර්මයන්ටද පටහැනියි. ඡායාරූපකරණයේදී තිබිය යුතු ආචාරධර්ම පිළිබඳව බොහෝ ඡායාරූප ශිල්පීන් දැනුවත්ද යන්න ගැටලුවක්.
වර්තමානය වන විට ආචාරධර්ම පිළිබඳව සාපේක්ෂ වශයෙන් පෙර තිබුණාට වඩා වැඩි දැනුවත්භාවයක් තිබෙනවා. කැමරාවක් අතට ගත්ත පමණින් තමන් කැමති දෙයක් කිරීමට බැහැ. ඉතාම වගකීම් සහගතභාවයක් ඡායාරූප ශිල්පියෙකුට පැවරෙනවා. ස්වයං වාරණයන්ද තිබිය යුතුයි. නීති වගේම රීතීන් පද්ධතියකුත් තමන්ට ගොඩනගාගත හැකියි. ඒ අනුවයි ක්‍රියා කළයුතු වන්නේ. තමන් ගන්නා ඡායාරූපය යම් මාධ්‍යයක් හරහා සමාජගත කරනවා ද නැත්ද යන්න තීරණය කළ යුතු වන්නේත් තමන්මයි. එය සමාජගත කිරීම මගින් සමාජයට යම් ප්‍රයෝජනයක් වෙයිද නැත්ද, එසේත් නැත්නම් තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන දෙයක්ද, එසේත් නොමැති නම් රටේ පැවැත්මට අවාසිදායක බලපෑමක් වන දෙයක්ද වැනි කරුණු අපි තීරණය කළ යුතුයි. ■

About