රාවය

කැලේ මැද ගමේ උක් පැණි වන් මතක

කැලේ මැද ගමේ උක් පැණි වන් මතක

කේ. සංජීව

මේ කතාව පටන් ග න් නේ කොහොමද? උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවිතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්. ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ බොහොම ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ටේ්‍රලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.
මේ ගමත් දූපතක්. සතා සීපාවා ඉන්න මහා වනන්තරේ (උඩවලව රක්ෂිතයට අයිති) අස්සේ දූපතක්. නම කිව්වොත් කුමාරතැන්න. ඉස්සර මේ කැලේ මැද සැවානා තැනි බිමේ ගොන් දිගේලි කළ නිසා හරක්පට්ටිතැන්න. පස්සේ ඒ නම එච්චර හොඳ නැති හින්දා කුමාරතැන්න වෙනවා. කොහොම වුණත් හැම කාලයේම තුරුපත් කොළ පාටින් දුලන නිසා මේ තැන්න පුදුම විදියට සශ්‍රීකයි. මේ තැන්නට එක පැත්තකින් බෙරගල හපුතලේ කඳු. ඊළඟට කඩාහැලෙන දියලුම. ඊළඟට කොස්ලන්ද සානුව උඩ ඉඳලා ඇස් විදින ඉසව්වේ තමයි මේ ගම ඉන්නේ. හරියට බයට කැලේ අස්සේ හැංගිලා වගේ. කොස්ලන්දට බයවුණාට කිම්? කියලා තමයි කියන්න වෙන්නේ. ඒ මොකද හද්දා වැස්සක් කඩන් වැටුණොත් පස් කන්ද හෝදාගෙන පෙරළාගෙන ඇවිල්ලා මහන්සියට නතරවෙන්නේ මේ තනි තැනි බිම්කඬේ.
ඒ එක පැත්තක්. තව පැත්තක් බලංගොඩ කල්තොට මැදබැද්ද පැත්තට බැඳෙනවා. අනෙක් පැත්ත ඉතිං වැල්ලවාය කුඩාඔය සීමාවට. මේ ගම අස්සෙන් දුවන නයා ගිය වතුර ආර සේරම ඉතිං උඩවලවට. මේ ගමට එහාට වෙන්න වෙලංවිට පැත්තට යනකොට, කුඩාඔය පැත්තට යනකොට කැලේ මැද කවදාවත් හිඳෙන්නේ නැති දිය බුබුළ. ඒකත් උඩවලවට තමයි. දැන් මම යන්න කලින් ඔබට මේ ගම දිහා කුරුලු ඇසින් බලන්න පුළුවන්. මම සෑහෙන්න ගිය, ඒත් නොසෑහෙන ආසාවක් තවමත් හිත අස්සේ ලියල ලියලා මල් ගොමුගොමු හැදෙන පළාතක් මේක. එහෙනම් දැන් ඒ පැත්තේ රවුමක් යන්න වෙලාව.

මැණික් මතක
මේ මතකය 2002 තරම් දුරයි. ඒ මේ කැලේ මැද ගමට ගිය මුල්ම වතාව. ගමත් එක්ක ආදර කතාව පටන්ගන්න තැන. මේ ආදරේට හේතුව මැණික්. ගමේ කොහේ වළක් කැපුවත් මැණික් ඉල්ලමක් පාදාගන්න පුළුවන් එකේ, ඒලෙවල් කරලා ඉවරවෙලා ඉන්න කාලේ යාළුවො මැණික් ගරන්න දුර යන්න කතා කළා. අපි ත්‍රීවිල් එකක් අරං, වට්ටි හට්ටි කැති උදලු දාගෙන මැණික් හොයන්න යන්න ත්‍රීවිල් එකට නැග්ගා.
“උඹලාට නම් පිස්සු. නිකන් ඉන්න බැරුව කහනවා නම් ඔය ගඟට බැහැලා වැලි ටිකක් ගරහල්ලා” තාත්තා ගමනට ආශීර්වාද කළේ එහෙමයි.
මේ විදියට වැටුණු ගෙදර උදලුත් අමතක කරලා අපි ගමන පටන් ගත්තා. මේ රත්නපුරේ මිනිස්සුන්ගේ හැටියක්ද කොහේද? මැණික් කිව්වොත් ආයේ දෙකක් නැහැ. ‘හම්බවුණා නැහැ මොකද?’ ගාල්ලේ බසෙන් කියනවා නම් ‘හම්බවුණා නැහැ මක්කෙයි? මැණික් තියෙන අහා තමයි අහා.’
ත්‍රීවිල් එකේ ගමනාන්තේ දන්නේ නඬේ ගුරා විතරයි. ඔහුම තමයි ඩයිවරයාත්. මිනිහා හොරා වගේ. හංගමුවෙන් රත්නපුරේට. රත්නපුරෙන් බලංගොඩට. ඊළඟට බදුල්ල පාරේ බෙරගල හංදියට. ඊළඟට ඉතිං වැල්ලවායට වැටුණු දඟර පාරේ නිකපොතට. නිකපොත කියන්නේ හපුතලේ ආසනේ රත්නපුර මායිමේ තියෙන ගමක්. මැණික් ගරන්න නිකපොතට ආ අපි මුලින්ම නැවතුණේ නිකපොත ඉස්කෝලේ ළඟින් පහළ පාරේ යෝධ කරුවල ගහ ළඟින් මහගිරිදඹේ වගේ පහළට පහළට බැහැලා, රජෙක් වගේ ධනපාල මහත්තයාගේ ගෙදර. මේ ඉසව්වේ කෝරළේ පයිණ්ඬේ කොරලා තියෙන්නේ මේ රජ්ජුරුවන්ගේ තාත්තා තමයි. වලව්වක් වගේ ලොකු ගෙදරක තමයි මිනිහා හිටියේ. නිකපොතට රජෙක් වුණ ධනපාල මහත්තයා අපි නිකපොතට යනකොට හිටියේ මෙහෙසිය අතෑරපු සෙයියාවක. ඉතිං ඔහුත් අපිට යකඩ තහඩුවට ගහපු බෝල්ට් ඇණේ වගේ සෙට් වුණා. උන්දා අපිට හවසට කිතුල් රා ගෙනත් දෙනවා. අපි ඒ හිලව්වට මිනිහාගේ, මිනිහාගේ අප්පාගේ, මෙහෙසියගේ, දරුවන්ගේ අතීතයට දොර ඇරලා රා බොනවා. හැබැයි පුතෝ මිනිහාගේ කයිකතාන්දර අහන ගමන් රා බොනවා කියන්නෙත් ලේසියක් නෙවෙයි. “මොකද්ද මං කිව්වේ” කියලා මිනිහා හිටිගමන් අහපි. අපිට උත්තර නැතිවුණොත් වැඬේ ඉවරයි. මුලදී අපිට පොඩි පොඩි ප්‍රශ්න ආවත් පස්සේ පස්සේ පස්සේ අපි කන මිනිහාගේ පැත්තට හරවාගෙන රා බොන්න පුරුදු වුණා. ධනපාල මහත්තයා ගස් මුදලාලි කෙනෙක්. මැණික් ගරලාත් තියෙයි. මිනිහා ළඟ වතුර බෝතලේක දාපු හොඳ දලන් (පුංචි මැණික් කැට කැබලි) කලෙක්ෂන් එකක් තිබුණා. ඒකේ තිබුණ ලොකු පැණි තෝරමල්ලි කෑල්ලකට (වටිනාකමක් නැති මැණික් වර්ගයක්) අපේ එකෙක් පසින්ගලයක් (ඉහළ වටිනාකමක් තියෙන ස්වාභාවික ආලෝකයේදී එක් වර්ණයකුත් කෘත්‍රිම ආලෝකයේදී තවත් වර්ණයක් දෙන මැණික් වර්ගයක්) කියලා රැවටිලා එක අවුලයි. තව ඩිංගෙන් පතලුත් දාලා අර පැණිතෝරෙත් හොරෙන් අරං ආපහු එනවා. එහෙම ආවා නම් මෙහෙම ලියන්න කුමාරතැන්නක් හම්බවෙන්නේ නැහැ.
මිනිහා අපිට මැණික් ඉල්ලම් තියෙයි කියන ආරක් (වතුර පාරක්) පෙන්නුවා. රජෙක් වගේ නිසා අපි ඔහුගේ ගෙදර නැවතිලා එක පතේ කන නිසා ගමේ මිනිස්සු අරියාදු කළේ නැහැ. හැබැයි තිබුණ මැණිකක් නැහැ. විසේ ඇති ඌරාට රැයක් දහවලක් නැහැ නිසා අපි රාත්‍රියේත් වැඩ කළා. මෙලෝ දෙයක් නැහැ. අපි ගෙදර එන සමහර දවසක ධනපාල මහත්තයා දඩමස් හොයලා උයලා තියනවා. කොයි හත්දීපන්කරේ රස්තියාදු ගැහැව්වත් මට තවම උන්දෑගේ මස් කරියේ රස අමතක නැහැ.
මස් හොද්ද ළිපේ තියලා ගිනි හිනැහෙනකොට හට්ටියේ පස්ස රත්වෙනකොට තමයි මිනිහා හොද්දට තුනපහ අරවා මෙව්වා හැම මඟුලම මුහුකරන්නේ. ඒකත් හට්ටියට දුරින් ඉඳලා කරන විසිකිරීම් පොකුරකින්. දැක්ක පළවෙනි දවසේ හිතුණා අනේ හත්තිලව්වේ මේවා කන්නේ කොහොමද කියලා. කාපි බලන්න, අමුර්ත රසයි. කොහොමහරි අපිට නිකපොත මැණික් වාසනාව තිබුණේ නැහැ.
“කොල්ලනේ මේ පහළ මැණික් තියෙයි. අඩි දෙකයි පොළව කපන්න ඕනි. යමුද හැබැයි පිච්චිලා ලුණුකැට වගෙයි. වාසනාව තියෙයි නම් උඹලාගේ හොඳ එව්වත් හම්බවෙයි.” ඔන්න ගියා ගියා මේ පහළ තාම නැහැ. ඊළඟට මහා කැලේ. ඩකුස් ඩොකුස් ත්‍රීවීල් එක කෑගහනවා. අයිතිකාරයාට හීන්දාඩිය. දෙපැත්තේම සැවානා. තැනක් තැනක රූස්ස ගස් අහසට අත දික්කරගෙන. ඊළඟට අලියා ඉන්න තැන්න. අලි ඈතින් කොළපාට මානං හිස් හොඬින් හොඬින් අරං අරං අඹරනවා.
“කලබල නැතුව අපි යමු. අපිට ඕකුන් වැඩක් නැහැ”
ත්‍රීවිල් එක අස්සේ ඇඹරෙන අපිට ධනපාල මහත්තයා කියනවා. ඔන්න ගමට ආපි… නිකපොත ඉඳලා අක්කර සීය එහෙම පහුකරලා කුමාරතැන්නට කිලෝමීටර් 24ක් විතර. ඔන්න පහළක මහත. මාස ගාණකින් වැහැලා නැහැ. උදැල්ල ටාන් ගාලා අපි හොයාගෙන පොළවේ හැපිලා ආයේ එනවා. අපි මැණික් යකාට යන්න කියලා අතෑරලා දැම්මා. එදා තමයි මට මුලින්ම කුමාරතැන්නේ ගුණසේකර මුලිච්චි වෙන්නේ. එදා වෙච්චි ඒ මුලිච්චි වීමට පිංසිද්ද වෙන්න තමයි මම නිතරම මේ කැලේ මැද ගමට බඩගාන්නේ. මේ ගමේ මිනිස්සු ගොවිතැන් කළා. ඒ අලින්ටත් එක්කම. ඊළඟට උක් හැදුවා. ඒ හකුරු හදන්න.

පැණි ගැන කතා
කුමාරතැන්න මාරයි. කාලෙකට ඉවසන්න බැරි රස්නේ. කාලෙකට ඒ වාගේම සීතයි. ඉතිං ඒ කාලෙට හැම උඩරට එළවළුවක්ම මෙහේ හිනාවෙවී බලන් ඉන්නවා. අනික් කාලෙට මිනිසුන්ට උක් තියෙනවා. කුමාරතැන්න ඌව සපරගමුව මායිමනේ. හාල්අටුතැන්නට ළඟ. ගෙවල් මං යන දොහේ නම් ගොඩාක් කටුමැටි. ලස්සනයි. පුසුඹයි. ගමේ ඉඳලා අක්කර සියය කියන කඩමණ්ඩියට දුර කිලෝමීටර් 20කට කිට්ටු ඇති.
දෙවෙනි ගමන තනියෙන් මේ ගමට යනකොට වෙච්ච සිද්ධියක් කියන්නම්. අක්කර සීය කඩමණ්ඩිය පහු කළාම ඉතිං කැලේ තමයි. මමත් යනවා යනවා. ටික දුරක් ගියාම මට ඈතින් පේනවා සාරියක් දවටාගත්ත ලස්සන කෙල්ලක් ඉස්සරහට එනවා. අලි එහෙම හිටියාද? ඔව් අර තැන්නේ ඈත එකෙක් ඉන්නවා. යන්න සද්ද නැතුව. ප්‍රශ්නයක් නැහැ. මහත්තයා කොහේද යන්නේ? මම ගුණේ හම්බවෙන්න යනවා. ආ ගුණේ අයියා අක්කර සීයට ආවානේ. කමක් නැහැ මහත්තයා හෙමිං යන්න මම අයියාට කියන්නම්.
මේ කතාබහ තවත් දික් කරන්න හිතන ඇසිල්ලක ගෑනි ඈතට ගිහිං. යනවාද ඉන්නවාද යනවාද ඉන්නවාද කියලා හිතහිතා ඉඳලා ඕනිමඟුලක් කියලා යන්න පිටත්වුණා. ටික දුරක් යනකොට ඔහ් ජහ් කොටියා වගේ උස හඬක් තැන්න හරහා යනවා. මම නවතිනවා. ගොන් දෙන්නෙක් බඩු පොදි ගැටගහගෙන පාරේ ඔහේ එනවා. ඊළඟට දිග කෝට්ටක් එක්ක ගුණේ.
“මට අපේ ඉස්කෝලේ ටීචර් කිව්වනේ මහත්තයා ඉස්සරහා යනවා කියලා. ඉතිං මම දිව්වා.” ගුණේ කියනවා. මේවාට අපි කියන්නේ තවලම් කියලා. මේ ගමට බඩු ගේන්නේ තවලමේ. දැන්නම් පාරත් එක්ක වෙනස්වෙලා. මේ වෙනස වුණේ බලං ඉන්දැද්දි. මමත් රාවයත් මේ වෙනසට පොඩි දායකත්වයක් දුන්නා පාර ගැන ලිපියක් ලියලා. ඊට පස්සේ පාර හැදුවා.
ඉතිං ආයේ උක් කතාවට බැහැලා පැණි කන්න ලෑස්ති වෙමු. එළවළු වී ගොවිතැන ඇරුණාම මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවන මාර්ගය තමයි උක් හකුරු හදන එක. මේක මෙහෙට ගෘහ කර්මාන්තයක්. හල්දුම්මුල්ලේ මේ අපි ඉන්න සීමාවත් එක්ක උක් ඉඩම් ගොඩයි. අක්කර විදියට ගත්තොත් 2000ක්වත් ඇති. මේ බිම් අඩි 1000ක්වත් උසයි මුහුදේ ඉඳලා. බැලූ බැල්මට පෙනෙන්නේ උක් මෙහේ සරුයි කියලා.
“මුලින් මුලින් පෝර ගැහැව්වේ නැහැ. දැන් ගහනවා එළිකරනවා. ටිකක් අමාරුයි තමයි, හැබැයි හකුරු විකිණෙනවා” ගුණේගේ කතාව එහෙමයි. ඇත්තටම කපන්න අඹරන්න පැණි උණුකරන්න ගියාම තමයි අමාරු. මේ ගමේ හැමතැනම වගේ පැණි වාඩි තියෙනවා. ඒ හැම එකකම ළිප් තුනක්වත් තියෙනවා. මැටිවලින් ටිකක් උසට මේ ළිප් බැඳලා තමයි හදලා තියෙන්නේ. පැණි උණුකරන තාච්චිත් ලේසි නැහැ, බැහැලා නාන්න පුළුවන්.

එන්න පැණි අඹරන්න
හල්දුම්මුල්ලේ උක් ඉතිහාසේ 1930ට දුරයි. 1960 විතර ඉඳලා තමයි මේ කර්මාන්තෙ නැගලා යන්නේ. දැන්නම් බහින කලාව. ඒකත් කියන්න ඕනෑ. අද හෙට ඉතුරුවෙන්නේ මේ ඉතිහාසයේ පුරාජේරුව විතරයි. සැප්තැම්බර්, ඔක්තෝබර්, නැත්නම් මාර්තු අප්‍රේල් තමයි උක් හිටවන්නේ. ඒ හොඳට හැදුණු උක්ගස්වල කරටිය කඩලා. සාමාන්‍යයෙන් එක වළකට හතරකොණේ උක් කරටි හතරක් හිටවනවා. එතකොට තමයි පඳුර නැගලා හිනැහිලා මේ මිනිස්සුන්ට පැණි දෙන්නේ බත් කන්න. එහෙම පඳුරු නැග්ගාම අවුරුදු 10ක් විතර යනකම් කන්නෙට කපන්නයි අඹරන්නයි තමයි තියෙන්නේ. ගල්ඔය 527, සීනි උක්, කළු උක් වගේ උක් වර්ග තමයි මෙහේ වැඩිය වවන්නේ. හිටවලා මාස 15න් 18න් ගස් කපනවා පැණි මිරිකන්න. ඒ කාලේ වෙනකොට උක් මෝරලා සමහර ගස් මල් පූදගෙන මේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. මුලින්ම පැණි ඇඹරුවේ සෙක්කුවෙන්. ගොන් වටේට කැරකෙනවා. යන්ත්‍රය අස්සෙන් උක් දණ්ඩ යනවා. පැණි මිරිකෙනවා. මීමැස්සෝ පොරකනවා, මේ මාමලාට හොරෙන් පැණි අරං යන්න. දැන් එහෙම නැහැ. දැන් මේකට යන්ත්‍ර තියෙයි. හැබැයි මම දැනට අවුරුදු 5කට විතර කලින් යනකොට බබා මාමා ළඟ විතරක් ගොනුන්ගෙන් පැණි මිරිකන මැසිමක් තිබුණා. මෙහෙම මිරිකන පැණි ලොකු තාච්චිවලට දාලා උණු කරනවා. පැය දෙකක් විතර ගින්දර කනකොට දාඩිය සට සට ගාලා වැටෙනකොට පැණි හිනැහෙනවා. පදම ආවෝ, අච්චුවට මාව දාන්නෝ කියලා කෑගහනකොට බබා මාමා වගේ අය පැණි ලී අච්චුවට හලනවා. ටික වෙලාවයි, සුවඳයි රසයි එක්ක පැණි කැටිවෙනවා. ඒක නිකං අමුතු පිරමිඩයක් වගේ. සමහර තැනක හකුරු තද පැණි පාටයි. ඒවා හොඳයි. සමහර තැනක හකුරු තද කළුපාටට ළඟයි. ඒවා ටිකක් නරකයි. මේ හකුරු හරි ගුණයි. කහට ජෝගු දෙකකට වුණත් මේ හකුරු කැටේකින් වගකියන්න පුළුවන්. හැබැයි දැන් නම් මේ හකුරු මලු වැඩිපුර යන්නේ කසිප්පුවලටලු. ඒත් කමක් නැහැ මේ කර්මාන්තෙන් මිනිස්සු ගොඩක් බත් කනවනේ.

බබා මාමාත් එක්ක මැදබැද්දට
මැදබැද්ද කියන්නේ කුමාරතැන්නට අල්ලපු ගම. හැබැයි මහා කැලෙන් දෙකඩ වෙලා. හැතැක්ම 10ක් විතර ගිහිං වේලිඔය පැන්නාම මැදබැද්ද. කුමාරතැන්නේ නැවතිලා හේනක් කොටාගෙන උක් හකුරු හදන බබා මාමාගේ ගම මැදබැද්ද. මේ ගමට ගිය දොහක මම බබා මාමාගේ හේනේ රාත්‍රියක් හිටියා.
“මම හෙට හකුරු අරං ගොන් දෙන්නෙකුත් එක්ක ගමේ යනවා. මහත්තයාත් කැමති නම් ඒ පැත්තෙන් ගෙදර යන්න පුළුවන්.” ආයෙත් මොකට හිතනවද? යමු. මම කැමැත්ත දුන්නා.
උදේ 5ට ඇති. කුමාරතැන්නේ ගමේ මාමාට හිතවත් කෙලිගහක් ආවා එක ගොනෙක් දක්කන්න. අපි තුන්දෙනායි ගොන් දෙන්නයි කැලේ මැදින් බලංගොඩ මැදබද්දට එන්න පිටත් වුණා. ඒ බබා මාමා කොළ අත්තක් එහෙම ගැටගහලා. කලින් කලට හේන් කරලා පුරන්වෙලා තනි ගස් විතරයි තනි අලි වගේ. ඊළඟට මානං පඳුරු සැවානා. මුණේ වැදුණාම කැපෙන කඩු වගේ තමයි මේ පඳුරුවල කොළ. ගොනුන්ට හුරුයි පාර. උන් ඔහේ කෙවිටට බාරදීලා යනවා. මම පස්සෙන්ම. ඉස්සරහටයි පස්සටයි දෙයියෝ රකිනවා කියන නිසා නෙවෙයි, මේ මිනිස්සු මේ ගැහැනු එක්ක අපිට හැරෙන්නවත් බැරි නිසා. සමහර තැනක කහට විවේක. සමහර තැනක විට විවේකේ. ඒ අස්සේ මම අර බවලතී එක්ක කතාවට වැටුණා.
“බැඳලා මිනිහා අතෑරලා. ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කෙල්ලෝ. ඉතිං රස්සාවකට කොහේ යන්නත් බැහැ. දැන් මේ මාමා ළඟ කුලිය කරලා තමයි ජීවත් වෙන්නේ. පොඩිකාලේ ඉඳලාම තවලන් ගොන් අරන් ගිහින් හුරුයි. මේක මේ කැලේ අරං යන්න හරි අමාරුයි. අලි එහෙම දැක්කාම මුන් ගාල කඩාගෙන දුවනවා. ඒ වෙලාවට ආම්බාන් කරගන්න දැනගන්න ඕනෑ. නැත්තන් හකුරුත් ඉවරයි. සේරම ඉවරයි.”
මේ කතාව අස්සේ බබා මාමා අතින් සන් කරනවා සද්ද කරන්න එපා කියලා. ඈතින් අලි කෙළි. අපි මානං පඳුරේ ඉඳගෙන සද්ද නැහැ. ගොන් සද්ද නැතිව බිම බලාගෙන වමාරා කනවා. මුළු කැලේම නිහඬයි. මටත් දැන් ඇති කියලා හිතෙනවා. උක් පැණි වගේම හකුරුත් සුමියුරුයි. හැබැයි හකුරු හදන මේ ජීවිත අස්සේ රජ කරන්නේ තිත්ත රසයමයි.■