Untitled-1

Untitled-1

එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට හමුදාපතිගෙන් යළි රැකියා


eknaligoda

නිමල් අබේසිංහ

මාධ්‍යවේදී ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකර රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි යුදහමුදා සාමාජිකයන් වන ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් සුබ්‍රමනියම් නැවත යුදහමුදා සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සියල්ල යුදහමුදාපතිවරයා විසින් සිදුකර ඇතැයි යුදහමුදා ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳ යුදහමුදා මාධ්‍ය අංශයෙන් විමසූවිට එහි නිලධාරියෙකු පැවසුවේ මෙම හමුදා නිලධාරින් දෙදෙනා තවම සැකකරුවන් බවත් ඒ නිසා සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවත්ය. එමෙන්ම ඔවුන් යුදහමුදා ස්වේච්ඡා සේවයේ නිලධාරීන් බැවින් යුදහමුදාපතිවරයාට ඔවුන් යළි සේවයේ පිහිටුවීමට ආයතන සංග්‍රහය අනුව බලය තිබෙන බවත්ය. එහෙත් යුදහමුදාවේ ස්ථිර සේනාංකයක සේවය කරන්නෙකු නම් ඔහු යළි සේවයේ පිහිටුවීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කළ යුතු බවත් ඒ අනුව මෙම සැකකරුවන් අතර සිටින සාජන් මේජර් නෙරන්ජන් උපසේන හා ලුතිනන් චමින්ද කුමාර අබේරත්න යළි සේවයේ පිහිටුවන්නේ නම් එය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බවයි. සැකකරුවන් අතර සිටින සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ විශ්‍රාමිකයකු වන අතර කෝප්‍රල් රවින්ද්‍ර සුබසේන යුදහමුදාවෙන් ඉවත් කළ අයෙකු බවද මෙම ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මාලබේ ප්‍රදේශයේදී සිදුකළ මිනීමැරුමකට සැකපිට අත් අඩංගුවේ සිටින යුදහමුදා සාමාජික ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර වෙත්තසිංහ ඇප ලබා පැමිණියහොත් නැවත රැකියාවේ පිහිටුවන්නේ නම් එයද සිදුවන්නේ අමාත්‍යාංශය මගින් ගන්නා තීරණයක් මත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
යුදහමුදාපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ එවැනි වරදවල් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වී රිමාන්ඞ් බන්ධනාගාර ගතවූ යුදහමුදා සාමාජිකයන් රාශියක් ඇප ලැබීමෙන් පසු නැවත සේවයේ පිහිටුවා නැති තත්ත්වයක් තුළය. එසේම අපගේ යුදහමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්නට ඔහුගේ රාජකාරි වාහනය ඔහු වැඩ තහනමට ලක්වී සිටි අවධියේදීද දිගටම භාවිතා කිරීමට යුද හමුදාපතිවරයා ඉඩ ලබාදී තිබූ බවය.
මේ අතර අපගේ ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කරන්නේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි, සරත් විරසේකර ඇතුළු බෞද්ධ සංවිධාන පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලීමක් කර තිබු බවයි.■