රාවය

පුංචි ඡන්දය කල් දැමීමට අගමැති බොරු කියයි

පුංචි ඡන්දය කල් දැමීමට අගමැති බොරු කියයි

ලසන්ත රුහුණගේ

මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇති වාර්තාව වන්නේ පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටු වාර්තාවය. එම කථාබහට හේතුව වන්නේ ඒ වාර්තාව එම කමිටුව විසින් සකස්කර අවසන් කරනවා යැයි කියූ දවස් කිහිප අවස්ථාවකදීම වෙනස්වීම්වලට භාජනය වීමය. දැනට කිහිප අවස්ථාවක කල් දමා ඇති පළාත් පාලන ඡන්දය ඉල්ලා සිටින ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු විපක්‍ෂ කණ්ඩායම් වාර්තාවේ එම ප්‍රමාදය දකිනු ලැබුවේ, ආණ්ඩුවේ වුවමනාව මත කමිටුව වාර්තාව ලබාදීම කල් දැමීමට කරන උපක්‍රමයක් වශයෙන්ය. ඒ නිසා පළාත් පාලන ආයතන ඡන්දයද දිනෙන් දින කල්යෑම වැළැක්විය නොහැකි වී තිබේ.
කෙසේ හෝ අවසන් වශයෙන් දෙසැම්බර් මස 15 දින ලබාදෙනවා යැයි කියූ එම වාර්තාව, දෙසැම්බර් 27 බාරදෙන බවට පොරොන්දු වී දෙසැම්බර් 28 දක්වා එක් දිනකින් කල්ගොස් නැවත දෙසැම්බර් 29 දින අවසන් වශයෙන් බාරදෙන බවට ප්‍රකාශයට පත්වී ඇත.
මේ දැඩි කතාබහ නිසාම පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුව යනු කුමක්ද? ඔවුන්ට පැවරුණ වගකීම කුමක්ද? ඒ සඳහා ලබාදුන් දින වකවානු කවරාකාරද? ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබුණ සහයෝගය හා අවහිරතා කෙසේද යන්න විමසා බැලිය යුතුය.
පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයක් අවශ්‍ය වූයේ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද සංශෝධන පනත අනුවය. එම පනත අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්විය යුත්තේ කොට්ඨාස හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් වශයෙන්ය. ඒ අනුව යම් පළාත් පාලන ආයතනයකට තෝරාගන්නා මුළු සභිකයන් සංඛ්‍යාවෙන් 70%ක් කොට්ඨාස ක්‍රමයටද, ඉතිරි 30% සමානුපාතික ක්‍රමයටද තෝරාගැනීමට නියමිතය. ඒ අනුව එතෙක් පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසිවන හෙයින් පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය කිරීමක් අවශ්‍ය වූ අතර රාජපක්‍ෂ පාලන යුගයේදී පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයන් සිදුකරනු ලැබීය. එම සීමා නිර්ණය සිදුකරනු ලැබූ ආකාරය පිළිගත් පටිපාටියට පටහැනිව සිදු වූ බවටත්, පැවති කොට්ඨාස තමන්ට වාසිදායක ලෙස කඩා වෙන්කර සීමා නිර්ණය වාර්තාව බැසිල් රාජපක්‍ෂගේ වුවමනාව මත සකස් කළ බවටත් චෝදනා එල්ල විය. එමෙන්ම චෝදනාවට ලක්වූ එම වාර්තාව රාජපක්‍ෂ යුගයේදී නිමකර ජනාධිපතිවරයාට බාරදී තිබුණ නමුත් ඔහු බලයෙන් පහවන තුරුම වසර දෙකක කාලයක් ඉකුත් වනතෙක් එම වාර්තාව ප්‍රකාශයට පත්වූයේ නැත. එම වාර්තාව පසුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ය. ඒ 2015 අගෝස්තු 21 දින 1928 /26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය. එම ප්‍රකාශයට පත්කිරීමට හේතු වූයේ එම වාර්තාවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් අභියාචනා සලකා බලා වාර්තාව නිවැරදි කිරීමට නම් එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වීමය.
ඒ අනුව පළාත් පාලන විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් 2015 නොවැම්බර් 01 දින සිට පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුව පත්කරනු ලබන අතර එහි සභාපතිවරයා වන්නේ හිටපු ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ අශෝක පිරිස් මහතාය. සෙසු සාමාජිකයන් පාර්ලිf ම්න්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නම්කිරීම මත සිදු කරනු ලැබූ අතර දෙමළ ජාතික සන්ධානය මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සාලිය මැතිව්, ජනතා විමුක්ති පෙරමුණ උපුල් කුමරප්පෙරුම, එක්සත් ජාතික පක්‍ෂය එම්.එස්.එම්. මිස්බා යන මහත්වරුන් සිය නියෝජිතයන් හැටියට කමිටුවට පත්කළේය.
මෙම කමිටුවට බලය පවරා තිබුණේ මායිම් වෙනස්කළ කොට්ඨාසවල අංක, නම් සංයුතිය සහ සිතියම් සකස් කිරීම සඳහාය. එහිදී පළමුව ලිඛිත අභියාචනා සඳහා 2015 නොවැම්බර් 21 දක්වා කාලය මහජනයාට හා දේශපාලන පක්‍ෂවල ලබාදී තිබු අතර පසුව එම කාලය 2015 නොවැම්බර් 30 දක්වා දික් කරනු ලැබීය. මාස තුනක කාලයකින් වාර්තාව සකස් කර ලබා දෙන ලෙස මුලින්ම දැනුම් දෙනු ලැබුවද එම කාලය ප්‍රමාණවත් නොවන බව කමිටුව දැනුම් දුන් අතර ඒ අනුව අභියාචනා ඉදිරිපත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් 2016 පෙබරවාරි 20 දක්වා කාලය ලබාදීමත්, වාර්තාව ලබාදීම අප්‍රේල් 30 දක්වාත් දීර්ඝ කරන ලදි. නැවතත් කාලය මදි වීම නිසා වාර්තාව ලබාදීම අගෝස්තු 31 දක්වා කල් ගිය අතර එම කාලය දක්වා පැමිණි සියලු අභියාචනාද කමිටුව විසින් සලකා බලනු ලැබීය. නැවතත් විෂයභාර අමාත්‍යවරයා දෙසැම්බර් 31 දක්වා කාලය ලබාදෙන බව නිවේදනය කරනු ලැබුයේ ඒ අනුවය.
මේ අතරතුර කාලයේදී ඇත්ත වශයෙන්ම සිදුවී තිබුණේ කමිටුවේ කටයුතු තවදුරටත් ප්‍රමාද කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ උපක්‍රම භාවිතයට ගැනීමය. එහිදී ආණ්ඩුව විසින් එක් අවස්ථාවක කමිටුවට දැනුම්දී තිබුණේ සකස් කරන වාර්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන්ට ලබාදී ඔවුන්ගේ අදහස්ද විමසීමෙන් පසු ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට යොමු කළ යුතු බවය. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන්ට වාර්තාව ඉදිරිපත් කිරීමේ හැකියාවක් එම කමිටුවට නැත. ඒ ඔවුන් තමන් පත්කළ විෂයභාර අමාත්‍යවරයාට එම වාර්තාව බාරදිය යුතු වීම නිසාය. අනෙක කමිටුව නියෝජනය කරනු ලබන්නේද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්‍ෂ විසින් නම්කරන ලද නියෝජිතයන් බැවින් එවැනි අමුතු අවශ්‍යතාවක් පැන නැග තිබුණේද නැත.
එමෙන්ම තවත් අවස්ථාවක අඩුපාඩු නැති ඉතා හොඳ වාර්තාවක් සකස් කිරීම සඳහා තවත් ‘ඕනෑ තරම් කාලයක්’ ලබාදෙන්නට ආණ්ඩුව උත්සාහ කළ අතර ඊට ශ්‍රීලනිප හා එජාප නියෝජනය කළ කමිටු සාමාජිකයන්ද දැඩි උත්සාහයක නිරතවී තිබුණි. ඊට අමතරව කමිටුව සඳහා ලබාදිය යුතු පරිපාලනමය හා තාක්‍ෂණික සහයෝගයද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් නිසි පරිදි කලට වෙලාවට ලැබී තිබුණේ නැත. එම අතීත සියලු උත්සාහයන්වල අරමුණ වී තිබුණේ කෙසේ හෝ තවත් කාලයකට පළාත් පාලන ආයතන ඡන්දය කල් දමා ගැනීමය.
එම කල් දැමීමේ උත්සාහයන් අවසන් මොහොතේත් ආණ්ඩුව අත්හැර නැති බව වාර්තාව බාරගත යුතු දිනය වන විට පළාත් පාලන ඇමතිවරයා පිටරට යෑමෙන් පැහැදිලි වෙයි. ඒ අතර, වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට කමිටුව ඉල්ලීමක් කර ඇති බවට හා පාර්ලිමේන්තුවේ නව වසරේ ආරම්භ වූ පසු පක්‍ෂ නායකයන් සමඟ එම අවස්ථාව දෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් තවදුරටත් ඒ කල් දැමීමේ උත්සාහය ගම්‍යවේ.
විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඕනෑ තරම් කාලය දෙන්නම් යැයි කමිටුවට කියමින්, මාධ්‍යයට හැමදාම කීවේ වාර්තාව අද දුන්නොත් හෙට ගැසට් කරන බවය. ඔහු විදේශගත වීමෙන් පසු මාධ්‍ය කළ විමසීම්වලදී පැවසුවේද එසේමය. වාර්තාව බාර ගැනීමට වැඩ බලන ඇමතිවරයෙකු සිටින බවද කීවේය. වැඩ බලන ඇමතිවරයා එකී වාර්තාව දෙසැම්බර් 29 දින බාරගෙන දෙසැම්බර් 30දින එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයිද යන්න ගැටලු සහතය. මන්ද ඒ සමගම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු තවත් කරුණක්ද විෂයභාර අමාත්‍යවරයා සම්පූර්ණ කළ යුතු නිසාය. ඒ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඒ ඒ පළාත්පාලන ආයතනයට සමානුපාතික නියෝජනය යටතේ තෝරාපත් කර ගත යුතු සභිකයන් සංඛ්‍යාව අමාත්‍යවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වීම නිසාය. සීමා නිර්ණය වාර්තාවේ ඇත්තේ කොට්ඨාස ක්‍රමයට තෝරා පත් කරගන්නා සභිකයන් ප්‍රමාණය පමණක් වන නිසාය. ඊටත් අමතරව 2012 අංක 22 පනතේ ඇති දැනට හඳුනාගෙන ඇති තාක්‍ෂණික දෝෂ පනහකට අධික සංඛ්‍යාවක්ද ඡන්දයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධනයක් මඟින් නිවැරදි කළ යුතුව ඇත. මේ සියල්ල සඳහා විෂයභාර අමාත්‍යවරයාට අවශ්‍ය වන කාලය බොහෝ විට තීරණය වනු ඇත්තේ ඡන්දයක් සඳහා ඇති ඇත්ත වුවමනාව අනුවය.
රටට කුමක් ප්‍රකාශ කළද ශ්‍රීලනිපයට පළාත් පාලන මැතිවරණයක් හෝ වෙනයම් මැතිවරණයක් දැන්ම අවශ්‍ය නැති බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඔවුන් දක්වන ඝෘජු නොවන අදහස් දැක්වීම්වලින් පෙනේ. එහිදී ඔවුන්ට ජනමත විචාරණයක් යනු අරහංය. ඒ වෙන කිසිවක් නොව ඡන්දයට ඇති බිය නිසාය. ශ්‍රීලනිපයේ ඇති අර්බුදය නිසාය. රාජපක්‍ෂ පිළ මෛත්‍රී පිළ අබිබවා යනු ඇති බවට ඇති බිය නිසාය. පක්‍ෂයක අර්බුදයක් විසඳන තෙක් කෙසේවත් අවස්ථා ගණනකදී කල් දමා ඇති හා දැනට මහජන නියෝජිත යන්ගේ පාලනයක් නැති පළාත් පාලන ආයතන ඡන්දය කල් දැමිය යුතු නොවේ.
පක්‍ෂයේ අර්බුදයක් නැතත් එජාප නායක රනිල් වික්‍රමසිංහද කැමති පළාත් පාලන ඡන්දය කල් දැමීමටය. ඒ ඔවුන්ට ඇති මහජන කැමැත්ත එහිදී උරගා බැලෙන බැවින්ය. මේ රටේ වෙනසක් පැතූ ජනයා බලාපොරොත්තු වූ හා පොරොන්දු ලබාදුන් වෙනස්කම් සිදු නොකිරීමත් ආර්ථික වශයෙන් රට වෙළාගෙන ඇති අර්බුදය හමුවේත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට කල් මරන බව පැහැදිලිය. ඔහුට බාරදිය යුතු නැති සීමා නිර්ණය අභියාචනා වාර්තාවක් ඔහුට බාරදීම සඳහා එම කමිටුව ඉල්ලීමක් කළා යැයි (නිහ්චිතවම එම කමිටුව ඒ සඳහා ඉල්ලීමක් කර නැත.) නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයෙකුට නොව ටිනා තරම් බොරුවක් ඔහු රට හමුවේ තබන්නේ ඒ නිසාය. ඊට දින කිහිපයකට පෙර එම කමිටුවට තමා හමුවන්නට එන්නැයි අගමැතිවරයා දැනුම් දෙන්නේ ද ඒ නිසාය.
මේ සියලු උත්සාහයන්වල අරමුණ සීමා නිර්ණය වාර්තාව කල් දැමීම මඟින් ඡන්දය කල් දැමීමය. එම උත්සාහය අසාර්ථක වන දිනය ඇත්තේ මෙම සටහන ලියවෙන දිනට පසු දින එනම් දෙසැම්බර් 29 දිනදීය. එදින බාරදීමට නියමිතව ඇත්තේ සීමා නිර්ණය අභියාචනා වාර්තාවේ සිංහල පිටපතය. භාෂා තුනම සම්පූර්ණ වනතෙක් යැයි එය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැත. බොහෝ විට ගැසට් මගින් ප්‍රකාශයට පත්වන සෑම පනතක් හා වාර්තාවක්ම එකවර භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් වන්නේ නැත. දෙසැම්බර් 29 වැනිදා අවශ්‍ය නම් ත්‍රෛභාෂා තුරුම්පුව භාවිත කර වාර්තාව බාර නොගෙන සිටීමටද ඉඩ තිබේ. එදින වැඩබලන අමාත්‍යවරයාට සීමා නිර්ණය අභියාචනා වාර්තාව එම කමිටුව විසින් බාර දුනහොත් මෙම කල්මැරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ එම වාර්තාව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමත්, විෂයභාර අමාත්‍යවරයා විසින් සමානුපාතිකව තෝරාපත් කරගන්නා සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමත් හා ඡන්ද පනතේ ඇති තාක්‍ෂණික දෝෂ සඳහා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක්ය. ඒ සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහයන් කවරාකාරද යන්න මත පළාත් පාලන ඡන්ද සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ ඇත්ත වුවමනාව හෙළිදරව් වීම වැළැක්විය නොහැකිය.■