Saturday, 19/8/2017 | 5:29 UTC+0
රාවය

වාහල්කඩ මන්ත්‍රී වැලි කොල්ලය

කේ. සංජීව

පසුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩි තවදුරටත් වැඩිකළ යුතු බවය. ඔහු මේ කතාවේදී වැඩිදුරටත් කීවේ තම බිරිඳගේ (මෛත්‍රී වික්‍රමසිංහගේ) පඩියට වැඩිය තමන්ගේ පඩිය අඩු බවය. මේ කතාවත් සමඟම පසුගිය අයවැයෙන් මැති ඇමතිවරුන්ට ඇතෙක් බරට දීමනා ලබා දුන් අතර කුලියට වාහනයක් ලබාදීමේ වැඩපිළිවෙළක්ද යෝජනා කළේය. ඒ තීරුබදු රහිත වාහනයට අමතරවය. ඊටත් අමතරව එලෙස වාහනයක් කුලියට ගැනීමේ කාලය වර්තමාන පාර්ලිමේන්තු කාලයට වැඩිය තවත් අවුරුද්දකට බලපැවැත්වෙන ලෙසය. මෙහිදී මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන්ගේ අත්සන යොදන්නේ නැතැයි කියූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාටද අගමැති රනිල් වික්‍රමසිංහ තර්ජනය කළේ අත්සන් කරන්න බැරි නම් ගෙදර යන්න කියායි.
මේ තත්ත්වය සමඟ සිතීමේදී අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු රටට මහත්වූ බරකි. අපි සමාජයක් ලෙස මේ ආයෝජනය කරන මුදලින් ප්‍රයෝජනයක් ලබාගන්නේද? බැලූබැල්මට නම් පෙනෙන්නේ කිසිත් නැති බවයි. ඊට අමතරව දැන් දැන් මේ මන්ත්‍රීවරු රාජ්‍ය ආදායමේ වැඩි පංගුවක්ද තමන් සන්තක කරගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටිති. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කිසිදු මහජන නියෝජිතයෙකුට තමන්ගේ ධුරය පාවිච්චි කර ව්‍යාපාරයක නිරතවීම නීති විරෝධීය. එහෙත් දැන් දැන් මේ මන්ත්‍රීවරු වක්‍රව තමන්ගේ ධුරය සහ එහි රැස්වළල්ල භාවිත කරමින් යහමින් මුදල් හම්බ කරමින් සිටිති. ඒ තමන්ගේ නම වෙනුවට වෙනත් අයගේ නම් භාවිත කරමින් යහමින් ව්‍යාපාර කරමින්ය. පසුගිය දා එවැනි විශාල මංකොල්ලයක තොරතුරු අනාවරණය විය. ඒ යාන් ඔය වැලි නිධිය කැණීමේ අයිතිය මන්ත්‍රීවරුන් රොත්තක් අතර බෙදා දෙන්නට වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි කටයුතු කර තිබීමත් සමඟය. අපි මේ තොරතුරු සොයා ගියෙමු.

යාන් ඔය ව්‍යාපාරය
යාන් ඔය ව්‍යාපාරය අරඹන්නේ 2012 වර්ෂයේදීය. ඒ රිටිගලින් ඇරඹී කිලෝමීටර් 142ක් ගෙවා පුල්මුඬේ අරිසිමලෙයි මුහුදු වෙරළට සමීපයෙන් මුහුද සිඹින යාන් ඔය අනුරාධපුරය වාහල්කඩ ප්‍රදේශයෙන් හරස්කර වැවක් බැඳීමට මුල්ගල තැබීමෙන්ය. මේ වාරි ව්‍යාපෘතියේ අරමුණ උතුර සහ නැගෙනහිර පානීය ජල අවශ්‍යතා පිරිමැසීම සහ අමතර ජලය ගොවිතැනට ලබාගැනීමය. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 210ක් වන අතර මෙහි මූල්‍ය දායකත්වය චීන රජයෙනි. කොන්ත්‍රාත් සමාගමද චීන සමාගමකි.
“මෙයාලා මෙහේ වැඩ පටන් අරගෙන ඩෑම් එක බඳින්න කැණීම් කරන කොට ලොකු වැලි නිධියක් හම්බ වුණා. ඊළඟට මේ චීන සමාගම 2015 මේ වැලි නිධිය බැකෝ දාලා හාරන්න පටන් ගත්තා. අපි දන්න විදියට රජයෙන් කිසි අවසරයක් නැහැ. රෑ දහවල් නැතුව හෑරුවා. දවසකට වැලි කියුබ් 400ක් විතර ගොඩ දාලා යාන් ඔයෙන්ම සේදුවා. අපි හැමතැනටම කිව්වා කවුරුත් බැලුවේ නැහැ.”
ඒ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පුද්ගලයකුගේ හඬය.
මේ වැලි නිධිය පිළිබඳව අදහස් දක්වන භූ විද්‍යා කලාපයේ ප්‍රවීණයන් කියන්නේ, මීට සෑහෙන්න කාලෙකට පෙර මේ ගංගාව මේ ප්‍රදේශය හරහා ගලායන්නට ඇති බවය. දැන් ගඟ වෙනස්වී ගලමින් තිබේ. ඒ වෙනසට පෙර අවුරුදු දහස් ගණනක් මේ බිම හරහා මේ ගඟ ගලා ගිය නිසා අවසාදිත වැලි නිධි මෙලෙස තැන්පත් වන්නට ඇත. දැනගන්නට ඇති ලෙස මෙය රුපියල් ප්‍රකෝටි ගණනින් සොයාගත හැකි සල්ලි ආකාරයක්ය. ඒ නිසාම දැන් දේශපාලකයෝ, ඔවුනට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයෝ මේ වැලි නිධිය තමන් සන්තක කරගන්නට වලිකමින් සිටිති. සමහරු මේ වනවිටත් ඇමති සරණින් වැලි පර්මිට් රැගෙන බරටම වැලි කණිමින් මුදල් යහමින් හම්බකර ගනිමින් සිටිති.
මේ කැණීම්වල තිබෙන මූලිකම වැරැද්ද කුමක්ද? වැලි යනු ස්වාභාවික සම්පතක් නිසා එහි වටිනාකමින් සැලකිය යුතු කොටසක් මහා භාණ්ඩාගාරයට යායුතු වුවත් මේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියේදී ටෙන්ඩර් දැමීමක් සිදුනොවී තිබෙන තත්ත්වය තුළ එම වටිනාකම කෙළින්ම ව්‍යාපාරිකයන්ට හා අදාළ මන්ත්‍රීවරුන්ට ගොස් තිබීමයි. අනෙක් පැත්තෙන් කෙළින්ම හෝ වක්‍රව මන්ත්‍රීවරුන්ට ව්‍යාපාර කළ නොහැකි වුවත් ඔවුන් මේ ක්‍රියාවලියට යොමුවෙමින් ඒ නීතිමය තත්ත්වය බිඳ දමා ඇති බවයි. අනෙක් පැත්තෙන් ඉවක් බවක් නැති රජයේ හෝ වගකිවයුතු කිසිදු ආයතනයක අධීක්ෂණයෙන් තොරව පිස්සුවෙන් මෙන් මේ වැලි නිධිය කැණීමයි. මේ පිළිබඳව මේ ලියුම්කරු වාරිමාර්ග ඇමති විජිත් විජිතමුණිගෙන් කරුණු ඇසූවිට ඔහු කීවේ මේ ස්ථානයෙන් ඉතා ඉක්මනින් වැලි ඉවත් කළ යුතු නිසා මේ වැලි කැණීමට ටෙන්ඩර් දැමීම අවශ්‍ය නැති බවය.

වැලි කෙළි
මේ වැලි නිධිය චීන සමාගමින් ආණ්ඩුව යටතට ගත් පසු ඉතා විශාල පිරිසකට මේ වනවිට වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දී ඇත. තවත් බොහෝ පිරිසක් වැලි කෙළියට බසින්නට පර්මිට් එනතුරු පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බවද කියති. පර්මිට් කීදෙනෙකුට දී තිබෙන්නේද, තවත් කීදෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින්නේ දැයි අප භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වාගෙන් කරුණු විමසූ විට ඔහු ඒ සඳහා උත්තර නොදුන්නේය. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිලධාරීන්ගේ තරම එහෙමය. සජ්ජන ද සිල්වා ගැන කරුණු කියන මේ කාර්යාංශයේ සේවකයන් කියන්නේ තම ආයතන ඉතිහාසයේ සිටි වැඩකටම නැති ලොක්කා මොහු බවය. ඒ කතාව පැත්තකින් තබමු. මේ පර්මිට් දීමේ ක්‍රියාවලිය ගැන ඔහු කියන්නේ කුමක්ද? ඔහු කියන්නේ යම් පුද්ගලයෙකු යාන් ඔය වැලි කැණීමට බලපත්‍රයක් ලබාගන්නට මහවැලිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණයෙන් නියමිත අනුමැතිය රැගෙන පැමිණෙන්නේ නම් තමන්ට ඒ බලපත්‍රය ලබාදෙන්නට සිදුවන බවය. පරිසරය සුරකින්නේ පණ වගේ යැයි නිතර කියන ජනපතිවරයා මේ ආයතනයේ නිසි බලධාරී ඇමතිවරයා වන පසුබිමක මේ සජ්ජනගේ හඬ ගැන කියන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.
ඊළඟට මේ දී තිබෙන හෝ ඉල්ලා තිබෙන පර්මිට්වලින් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිතවතුන් (හිතවතුන්ගේ නමට පර්මිට් ඉල්ලා ඇත) අතර බෙදාදී ඇත. පසුගිය කාලයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මේ කාර්යාංශයට නිතර ආ ගිය බව දැනගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව ඇයගෙන් පසුගිය පුවත්පත් කලාපයේ පළවූ ප්‍රවෘත්තිය සඳහා මේ ලියුම්කරු කරුණු විමසූ විට ප්‍රකාශ කළේ, තමාද පර්මිට් එකක් සඳහා ඉල්ලීමක් කළ බවය. පර්මිට් එක ලබාගැනීමේ ක්‍රියාවලිය දුෂ්කර බවද, ඒ සඳහා වාරි ඇමතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවද ඇය කීවාය. එහිදී ඇය තවත් කියන්නී, දැනට මේ වැලිකෙළිය සඳහා කොළොන්නාවේ හිටපු නගරාධිපති ප්‍රසන්න සෝලංගආරච්චිට පර්මිට් ලැබී ඇති බවයි. මේ ලියුම්කරු සෝලංගආරච්චිගෙන් මේ පිළිබඳව කරුණු විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මේ වැලි කැණීම සඳහා තමන්ගේ මස්සිනාට බලපත්‍රයක් ලැබුණු බවයි. මෙහි පළවන්නේ ඒ බලපත්‍රයයි.
පසුගිය සතියේ මේ වැලි කෙළිය පිළිබඳ ප්‍රවෘත්තිය පුවත්පතේ පළවූ පසු ලියුම්කරු ඇමතූ හිරුණිකා මන්ත්‍රීවරිය කියාසිටියේ, තමාට වැලි පර්මිට් එකක් නොලැබුණු බව සඳහන් කරමින් ප්‍රවෘත්තිය නිවැරදි කරන්නටය කියාය. තමා කලින් සතියේ ප්‍රවෘත්තිය සඳහා පැවසුවේ, වෙනත් හිතවතෙකුට තමා ඒ බලපත්‍රය අරගෙන දුන් බවයැයි ඇය කීවාය. මේ නිවැරදි කිරීම්වලින් පෙනෙන්නේ මේ වැලි කෙළිය නිසා ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඇති බවය. මහවැලිය මෙන්ම පරිසර ඇමතිකමත් දරන ජනපතිවරයා මේ ගැන සලකා බැලිය යුතු නොවේද?

31 ඉඳලා ඉවරයි
පසුගිය රාවයේ මුල් පුවත ලෙස මන්ත්‍රීවරුන්ගේ මේ වැලි කෙළිය පිළිබඳ තොරතුරු අනාවරණය කළ පසු දැන් දෙසැම්බර් 31 වෙනිදා සිට මේ වැලි කැණීමේ ක්‍රියාවලියට තිත තබන්නට ආණ්ඩුවේ බලධාරීන් පියවර ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි කියයි. ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපත්‍රලාභීන් 39 දෙනෙකු වෙත ලිපියක් යොමුකර ඇත. එහිදී ඔහු කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ ග්‍රාමසේවා වසමේ හා පහළ දිවුල්වැව ග්‍රාමසේවා වසමේ, යාන්ඔය වැව ඉදිකිරීමේ භූමිය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන වැලි ව්‍යාපෘතිවල කැණීම් කටයුතු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය වන ආකාරයට කැණීම් කටයුතු සිදුකරන බව තමන්ට වාර්තා වී ඇති බවයි.
ඒ අනුව ඒ පිළිබඳව ඒකාබද්ධ පරීක්ෂණයක් සිදුකර තීරණයක් ගන්නා තෙක් 2009 අංක 66 දරන පනතට අනුකූලව බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව දෙසැම්බර් 31 වැනිදා සිට සියලු කැණීම් සහ ප්‍රවාහන කටයුතු අත්හිටුවන ලෙසත් කැණීම් බලපත්‍රය දින 14ක් ඇතුළත කාර්යාංශය වෙත භාරදෙන ලෙසත් ඔහු එම ලිපිය මගින් බලපත්‍රලාභීන්ගෙන් ඉල්ලා ඇත.
මේ ලිපිය අනුව පෙනෙන්නේ සජ්ජන ද සිල්වා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසියේ නින්දෙන් ඇහැරී ඇති බවය. මේ ලිපිය ලියන දෙසැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා වනතුරු වුණත් දවස් තුනක පමණ කාලයක් බලපත්‍රලාභීන්ට වැලි කැණීම සඳහා ඉඩ ලැබේ. ඒ කාලය අතරතුර ඔවුන් වැලි නිධියෙන් වැඩි ප්‍රතිශතයකට වගකියනු ඇත.
අනෙක් පැත්තෙන් මේ මොහොතේ මේ වැලි බලපත්‍ර පිළිබඳව නැගෙන විරෝධය සමනය කර වෙනත් වටයකින් මෙම වැලි කෙළිය නැවත ක්‍රියාත්මක කිරීම මේ තාවකාලික තහනමේ අරමුණ විය හැකිය.
එමෙන්ම දේශපාලන බලඅධිකාරිය හරහා මෙම තහනම ඉවත් කර ගැනීමට දැන් දැන් අදාළ ව්‍යාපාරිකයෝ මෙන්ම මෙම වැලි කැණීම පිටුපස සැඟව සිටින දේශපාලකයෝ ද උත්සාහ ගනිමින් සිටින බවද අපට වාර්තා වේ. අනෙක් පැත්තෙන් මේ තහනම නිසා මේ වැලි කෙළියේ නිරත ව්‍යාපාරිකයන් පිස්සු වැටී ඇති බවද දැනගන්නට ඇත.
ගෝමරන්කඩවල පබරුගස්වැව හිතවතෙකු මේ ගැන පවසමින් අපට කීවේ, මේ ඉසව්වේ කරක් ගැහීම නුවණට හුරු නැති බවය. මේ වැලි කෙළියට දායකවී සිටින ලොකුම ව්‍යාපාරිකයාට මේ කැණීම් සඳහා බලපත්‍ර හතරක් හිමිවී ඇති බවද දැනගන්නට ඇත. ඔහු මේ බලපත්‍ර ගැනීම සදහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වියදම් කර ඇති බවත් මේ වැලි නිධිය කැණීමෙන් රුපියල් කෝටි 500ක පමණ මුදලක් ඔහු බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් දැනගන්නට ඇත.
එක් පැත්තකින් මේ තොරතුරු විස්මිතය. එහෙත් මේවා අපට කියන මිනිසුන් මේ තොරතුරු සත්‍ය බව කියති. අහෝ! මේ රජය සතුවිය යුතු මුදල් නොවේද? මේ යාන් ඔය ව්‍යාපෘතිය නිසා ගෝමරන්කඩවල පබරුගස්වැව වැනි ගම්මාන යටවෙයි. ඒ මිනිසුන්ගේ යටවෙන ගෙවල් සඳහා රුපියල් දශලක්ෂයක් දෙන බව කියන්නේ ආණ්ඩුවය. එහෙත් තවමත් ඒ හැටි දෙයක් සිදු නොවී ඇති බව කියන්නේ ගම්මුන්ය. මෙයින් පෙනෙන්නේ දුප්පතුන්ට තමන්ගේ නැතිවෙන නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට තටමන ආණ්ඩුව කිසි හිරිකිතයක් නැතුවම ව්‍යාපාරිකයන්ට දොළපිදේනි දෙන්නට තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගන්නට ලහිලහියේ කැපවෙන බවය. මේ ලංකාවේ දේශපාලකයන්ගේ පොදු ස්වරූපයයි. ඉතිං අපි පටි තදකරගෙන මොවුන් නඩත්තු කළ යුතුය. අන් මගක් අපට නැත.■