යහපාලනයේ දෑවුරුද්දක ආ ගිය කතා


viyangoda

අවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ටතම ජයග්‍රහණය එයයි. ජනාධිපතිවරයාගේ බලතල අවම කර ගැනීමේ සිට විපක්ෂයේ දේශපාලනයට ඉතා කෙටි කාලයක් තුළ පෙර නොවූ විරූ ජවයක් ලැබී තිබීම හෝ සපයා තිබීම එහිදී කැපී පෙනේ. එසේම, පැවති පාලන තන්ත්‍රය යටතේ සිදුවූ මහ පරිමාණ දූෂණ සහ වංචා, එයාකාරයෙන් මේ පාලනය යටතේ කරගෙන යෑමේ ඉඩකඩ මේ කාලය තුළ තදින් හකුලුවා තිබේ. ඊට හේතු වී ඇත්තේ, 2015 ජනවාරියෙන් පසු නිර්මාණය කරගත් විවේචනාත්මක පරිසරයයි.
එම පරිසරය තුළ, පාලකයන් කරන කියන දේවල් දෙස (අහක) බලාගෙන සිටීමට නොව, ඒවා ගැන ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට සහ ඒවා විවේචනය කිරීමට ඇති මහජන අවකාශය අතිශයින් ප්‍රසාරණය වී තිබේ. ඒ කෙතෙක්ද යත්, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු පවා තමන්ගේ ආණ්ඩුවේම කල්ක්‍රියා අද ප්‍රසිද්ධියේ විවේචනය කරති. වැඩියත්ම එසේ කරන්නේ, වර්තමාන කැබිනට්ටුවේ සිටින, එදා මහින්ද රාජපක්ෂගේ කැබිනට්ටුවේ සිටි, අයවළුන් වීම විශේෂිතයි. ඉස්සර අන්ධයෝ දැන් දකිති. ඉස්සර ගොළුවෝ දැන් බනිති. ඉස්සර බිහිරෝ දැන් සවන්දෙති.
සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තත්, ‘ආණ්ඩු-විරෝධී’ වීම, සුදුවෑන් එකකින් පැහැරගෙන යනු ලැබීමට තරම් පාප කර්මයක් වීම දැන් සපුරා අවසන්ව තිබේ. ඕනෑම දෙයකට පාරට බසින ‘සටන්කාමී’ ජනතාවක් අද සිටිත්. වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයත් අද වන විට ‘රැඩිකල්’ මට්ටමකට පත්ව තිබේ. එය මීට අවුරුදු දෙකකට කලින් දකින්ට නොලැබුණු තත්ත්වයකි. ස්වකීය වෘත්තීය අයිතීන් වෙනුවෙන් පමණක් නොව, අන්‍යයන්ගේ ජීවිත අයිතියත් තමන්ට දෙන්නැයි ඉල්ලා වැඩ වරන පෞද්ගලික බස්රථ හමුදාවක් පවා අද අපට සිටිති. ඉතිං, මොන අඩුපාඩුකම් යටතේ වුවත්, 2015 ජනවාරි නිදහස අද වැඩියෙන්ම භුක්ති විඳින්නෝ, 2015 ජනවාරි ජයග්‍රහණයට හතුරුව සිටි පිරිස් වීම මනස්කාන්ත ය. එහි වරදක් නැත.
එසේ තිබියදීත්, ගත වූ දෑවුරුද්ද තුළ මහ පරිමාණ දූෂණ සහ වංචා ගැන ඉඳහිට වාර්තා වුණි. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ මහ බැංකු බැඳුම්කර වංචාවයි. මේ වන විට ඒ පිළිබඳ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යැවෙන බව කියැවේ. කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙත ලිපිගොනුවක් ගිය පමණින්, වැරදිකරුවන්ට එරෙහිව අධිකරණයක් ඉදිරියේ චෝදනා ගොනු කිරීමකට එහා දෙයක් සිදුවන බවට ජීවමාන සාක්ෂියකට ඉන්නේ දුමින්ද සිල්වා පමණි. එය, පැවති රාජ්‍ය තන්ත්‍රයේ සෘජු සහභාගිත්වයකින් තොරව කරන ලද ඝාතනයක් නිසා, එකී නඩුව සාර්ථකව අවසන් කිරීම, යහපාලනික ආණ්ඩුවේ හපන්කමකට සාක්ෂියක් වශයෙන් ගත නොහේ. කොටින්ම, තමා කළ ඝාතනයට රාජපක්ෂ පවුලේ කිසිවෙකුගේ නමක් ගෑවී නොතිබීම, හුදෙක් දුමින්ද සිල්වාගේ අවාසනාවක් මිස වෙන දෙයක් නොවේ. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ තාජුඩීන් වැන්නන් ඝාතනය කෙරුණේ හිටපු පාලක පවුල ඇතුළු පැවති රාජ්‍ය තන්ත්‍රයේ සහභාගිත්වය සහ සහයෝගය යටතේ ය. එවැනි තත්වයකදී අපරාධකරුවන් හිරේට හෝ පෝරකයට යැවීමක් කෙරෙහි යහපාලනය අවංකව යොමු නොවන බව, ගත වූ වසර දෙක තුළ, විවිධ නිරූපණයන් ඔස්සේ ඕනෑවටත් වඩා රටට ප්‍රදර්ශනය වී තිබේ. ඉතිං, ඒ ඝාතකයෝ රාජපක්ෂ පාලනය යටතේ මෙන්ම යහපාලනය යටතේද ‘වාසනාවන්තයන්ව’ වැජඹෙන්නාහ.
හිටපු හොරුන් සහ හිටපු දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමේ යහපාලනික කල්ක්‍රියාවත් මීට වෙනස් නැත. සමස්තයක් වශයෙන් ගත් විට, රාජපක්ෂලාගේ දූෂණ සහ වංචා ගැන සොයා බැලීමේ යහපාලනික ප්‍රයත්නය, මේ දෑවුරුද්ද තුළ යහපාලනික ක්‍රියාදාමයේ නොන්ඩි ආකල්පය නිරුවත් කරන කැඩපතකට සමාන ස්වරූපයක් ගෙන තිබේ. ‘ඇවන්ගාඞ්’ සිද්ධියට අදාළ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත් වීමේ සිට ‘නිලමේ’ කෙනෙකු බේරා ගැනීමට පොලීසිය භාර ඇමති සාගල රත්නායකගේ මැදිහත් වීම දක්වා වූ ඒ ක්‍රියාවලිය දිග්ගැස්සුණු රඟ රටම දැක්කේය. තමන්ට ඒ අංශයෙන් කිරීමට මීට වැඩි දෙයක් නැති බව යහපාලන ආණ්ඩුව දැන් ඕනෑවටත් වඩා රටට ප්‍රදර්ශනය කොට තිබේ. මෙය, “ගිය දේ ගියාවේ” ප්‍රතිපත්තියක් වශයෙන් අපට හඳුනාගත හැකිය.
මහින්ද රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපෙන් දුරස්ව සිටි ලෝකයා යහපාලනය යටතේ නැවත දිනා ගැනුණි. එදා යුද අපරාධ සම්බන්ධයෙන් විත්ති කූඩුවට නංවා සිටි ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ආකල්පය මේ කාලයේ ලිහිල් කෙරුණි. එය අපට ලැබුණු ‘පරිවාස’ කාලයකි. මේ කාලය තුළ යහපත් කල්ක්‍රියාවක් අපෙන් අපේක්ෂා විය. ඒ අනුව, ජාතික සහජීවනය සහ සංහිඳියාව සඳහා වන විවිධ වැඩපිළිවෙලවල් දියත් කෙරුණි. ඒ යටතේ, ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්’ ස්ථාපිත කිරීමේ මූලික පියවර ගැනුණි. ජාත්‍යන්තරයෙන් යෝජිත සංහිඳියා යාන්ත්‍රණයන් පිළිබඳ මහජන අදහස් උදහස් විමසා බැලීමේ ව්‍යායාමක් දියත් වුණි. එහෙත්, ලංකාව වැඩියත්ම විත්ති කූඩුවට නංවා තිබුණේ යුද අපරාධ සම්බන්ධයෙන් වන නිසා, අර කී ජාතික සහජීවන සහ සංහිඳියා වැඩපිළිවෙළට අමතරව, අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලියක්ද අපෙන් ප්‍රදර්ශනය විය යුතුව තිබුණි. සිදු වී යැයි කියන යුද අපරාධ ගැන සොයා බැලෙන ජාත්‍යන්තර අධිකරණයක් අපට එකහෙළා ප්‍රතික්ෂේප කළ හැක්කේ, එම කාර්යයෙහි ලා දේශීය අධිකරණ යාන්ත්‍රණයක් තුළ විශ්වාසය දැනවිය හැකි වන ආකාරයේ විමර්ශන ක්‍රියාවලියක් දියත් කිරීමේ හැකියාව අපට ඇති බව ජාත්‍යන්තරයට ඔප්පු කර පෙන්වීමෙන් පමණි.
රවිරාජ් ඝාතනයේ සියලු විත්තිකරුවෝ පසුගිය දා නිදහස් කෙරුණාහ. මෙහිදී එම විනිශ්චයේ හරි වැරැද්ද අදාළ නැත. අදාළ වන්නේ, එම විනිශ්චය වෙත පැමිණීමේ නෛතික සහ අධිකරණ පරිපාටිය තුළ, එම විනිශ්චයේ සාධාරණත්වය පිළිබඳ විශ්වාසයක් ජනනය කරන්නේද යන්නයි. යුක්තිය ඉෂ්ට වීම පමණක් නොව, යුක්තිය ඉෂ්ට වන බවට පෙනී යා යුතුව ඇති බවටත් විශ්වාසයක් තිබේ. රවිරාජ් නඩුව සම්බන්ධයෙන් එවැන්නක් පෙනෙන්ට නැත. ඝාතනයට ලක්වූ රවිරාජ් දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ඝාතනය කළ බව කියන චූදිතයෝ සිංහල ය. නඩුව විභාග වුණේ, ජූරි සභාවක් ඉදිරියේය. ජූරි සභාව තෝරා ගන්නේ විත්ති පාර්ශ්වයෙනි. එසේ තිබියදී, මේ නඩුව ඇසූ සමස්ත ජූරි සභාව මුළුමණින් සිංහල වීම, අර කියන යුක්තිය ඉෂ්ට වන බව පෙනෙන්ට ඇති ඉඩකඩ බරපතළ ලෙස අහුරා දමා ඇත. ඉතිං, ‘අපේ නඩු අප අසන්නේ අපිට ඕනෑ විදිහට’ යැයි කියන ‘ස්වෛරී’ තර්කය භාර ගැනීම ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.
මේ නිසා, ස්වාධීන කොමිෂන් සභා පත්කර ගැනීම සහ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ස්ථාපිත කිරීම වැනි අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉමහත් පිටිවහලක් විය හැකි සාධනීය තත්වයක් උදා කර දීම ගැන යහපාලන ආණ්ඩුවට ගෞරවය හිමි විය යුතු අතර, ඉහත කී පීලි පැනීම් වහා පිළිසකර කර ගැනීමේ වගකීමත්, ඒ සියල්ලට වඩා, මේ යහපාලන ආණ්ඩුව බලයට පත්කර ගත් ප්‍රධාන හේතුවාචකය වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, ජාතික ප්‍රශ්නයට විසඳුමක් විය හැකි බලය බෙදා හැරීමේ පාලන ක්‍රමයකට මාරු වීමේ අභියෝගයත් ආණ්ඩුව ඉදිරියේ තිබේ. ඒ අරභයා වන ආණ්ඩුවේ මේ දක්වා කල්ක්‍රියාව ඊළඟ කොලමෙන් සලකා බැලෙනු ඇත.■