රාවය

ජනමාධ්‍ය ස්වයං නියාමනය අසාර්ථකයි අපට කුමක් කළ හැකිද?

ජනමාධ්‍ය ස්වයං නියාමනය අසාර්ථකයි අපට කුමක් කළ හැකිද?

වෙබ්ගත මාධ්‍ය නියාමනයට රජයේ සමහ රුන්ට ඕනෑ වී ඇති බවක් පෙනෙනවා. එය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. එහෙත් තවමත් රටේ ඊට වඩා සමාජගත වන ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් නිසි ආචාර ධර්මීය රාමුවකට ගෙන ඒම ප්‍රමුඛතාවක් නේද?
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජන මාධ්‍ය අයිතීන් හා ප්‍රමිතීන් ගැන කෙටුම්පත් ලේඛනයක් මීට සති කීපයකට පෙර නිකුත් කළා. ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නීතිමය රැකවරනය හා ජනමාධ්‍ය ස්වයං නියාමන විධික්‍රම කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට, ඒ ගැන උනන්දුවක් දක්වන සියලු දෙනා සමග කතිකාවක් ඇති කිරීම එහි අරමුණයි. http://sinhala.dgi.gov.lk/ images /pdf/2016/sin_ media.pdf
කලක සිට මාධ්‍ය ප්‍රවණතා සමීපව අධ්‍යයනය කරන අයකු ලෙස මා මෙය ඵලදායී පියවරක් ලෙස දකිනවා. එහි යෝජිත පියවර කිහිපයක් ගැන මා ගිය සතියේ විග්‍රහ කළා.
අද අවධානය 7වන යෝජනාවටයි: “මාධ්‍ය කරණයේ ලොව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වන මාධ්‍ය ආචාර්ය ධර්ම පද්ධතියක් සකස් කිරීමට හා එය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට බලය ඇති ස්වාධීන මණ්ඩලයක් පිහිටු වීම.”
එම කෙටුම්පතෙහි තව දුරටත් මෙසේ කියනවා: “මෙම ස්වාධීන මණ්ඩලය ජනමාධ්‍යයේ නියාමන විධික්‍රමය අධීක්ෂණය කරන අතර, හිතාමතා වෘත්තීය ආචාර ධර්ම කඩ කරන අවස්ථාවලදී ඒ සම්බන්ධ තහංචි පැනවීමටද එයට බලය හිමි වෙයි. මණ්ඩලයේ සංයුතියෙන් තුනෙන් දෙකක් ජනමාධ්‍ය ප්‍රකාශකයන් හා ජනමාධ්‍ය කරුවන්ගේ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද ඉතිරිය සිවිල් සමාජ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද සමන්විත විය හැකිය.”
ස්වයං නියාමනය යනු රජයේ සෘජු මැදිහත්වීමකින් තොරව මාධ්‍ය තමන් විසින් තමන් ම නියාමනය කර ගැනීමයි. පරිණත මාධ්‍ය ඇති බොහෝ රටවල සිදු වන්නේ එයයි. එය සාර්ථක වීමට මාධ්‍ය සමාගම් අතර ආචාර ධර්මීය රාමුවක් ගැන පොදු එකඟතවක් හා අවම සම්මුතියක් පැවතීම අවශ්‍යයි. අපේ රටේ මහත් පරිශ්‍රමයෙන් වුවද එබන්දක් ඇති කර ගත නොහැකිව තිබෙනවා.
2003 වසරේදී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka, PCCSL&”), වසර 13ක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින, මුද්‍රිත මාධ්‍ය ආයතන සමහරක් එක් වී පිහිටුවා ගත් ස්වයං නියාමන ආයතනයක්.
ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය එහි පාලක මණ්ඩල මට්ටමින් නියෝජනය වනවා. පුවත්පත්වල පළ වන යම් ප්‍රවෘත්ති සම්බන්ධ යෙන් මහජනතාවට සහ ආයතනවලට පැන නගින ගැටලු, ස්වාධීන ආරාවුල් නිරාකරණ මණ්ඩලය මගින් සමථකරණය, මැදිහත් කරණය හෝ බේරුම් කරණය ඔස්සේ සමථයකට පත් කරනු ලබනවා.
මෙය, 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවන ලද රාජ්‍ය පුවත්පත් මණ්ඩලයට සහමුලින්ම වෙනස්.PCCSL යනු රාජ්‍ය නොවන ආයතනයක්. කිසිසේත්ම මේ දෙක පටලවා නොගත යුතුයි. මාධ්‍ය මර්දනකාරී නීතිමය බලතල ඇති පුවත්පත් මණ්ඩලය වසා දැමීමට රජය අදහස් කරනවා. එහෙත් ඒ වෙනුවට පිළිගත හැකි කාර්යක්ෂම විකල්පයක් මාධ්‍ය කර්මාන්තය විසින්ම සකස් කර ගෙන ඇත්ද යන්න නම් විවාදාත්මකයි.
පුවත්පත්වල පළවන ප්‍රවෘත්තිවලින් හෝ ලිපිවලින් තමන්ට අගතියක් වේ යයි යමකු සිතනවා නම් අපහාස නීතිය යටතේ නඩු මගට බසිනු වෙනුවට පීසීසීඑස්එල් වෙතට පැමිණිල්ලක් යොමු කළ හැකියි. එවන් පැමිණිලි විමර්ශනයට පීසීසීඑස්එල් විසින් ආරාවුල් නිරාකරණ මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා.
ආරාවුල් නිරාකරණ මණ්ඩලය සාමාජිකයන් 11කින් සමන්විතයි. ඔවුන්ගෙන් හය දෙනෙක් සිවිල් සමාජ නියෝජිතයන් වන අතර ඉතිරි පස්දෙනා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය කරුවෝයි. මේ අය මාධ්‍ය ප්‍රමිතිය මැනීමට යොදා ගන්නේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය සම්පාදනය කර ඇති වෘත්තීය ප්‍රතිපත්ති මාලාවයි.
2014 වසරේදී අවසන් වරට සංස්කරණය කරන ලද වෘත්තීය ප්‍රතිපත්ති මාලාව විසින් මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාර ධාර්මික ක්‍රියාකාරී රාමුවක් ලබා දෙනවා. එය පුද්ගලයාගේ අයිතිය මෙන්ම කරුණු දැන ගැනීමට පොදු ජනතාවට ඇති අයිතියද ආරක්ෂා කරනවා. http://www. pccsl.lk/content/ editors-code

පීසීසීඑස්එල් ආරාවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපති නිහාල් සෙනවිරත්න 2015 වාර්ෂික වාර්තාවේ මෙසේ කියනවා: “ත්‍ව 2015 වසර තුළ දී ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි 142 ලැබී ඇත. ඒ අතර සිංහල පුවත්පත් සඳහා පැමිණිලි 87ක් ද දෙමළ පුවත්පත් සඳහා පැමිණිලි 20ක් ද ඉංග්‍රීසි පුවත්පත් සඳහා පැමිණිලි 17ක් ද වේ. සමහර පුවත්පත් තවමත් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ රීති සහ කාර්ය පටිපාටිය පිළිගෙන කටයුතු කිරීමේ සූදානමක් නොමැතත්‍ව වලංගු පැමිණිලි 85 අතරින් පැමිණිලි 38 විසඳා සමථයකට පත් කරන ලද අතර පැමිණිලි 46 අපගේ ක්‍රියාවලියට අයත් නොවුණි. පැමිණිලි 17 ක් අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ පැමිණිලි බැවින් එම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නොමැත.”
මෙහිදී ‘සමථයකට පත් කරනවා’ යනු අදාළ පුවත්පත නිවැරදි කිරීමක් හෝ සමාව අයැද සිටීමක් පළ කිරීමයි. සමථයට පත් කළ පැමිණිලි 38 යනු වලංගු මුළු පැමිණිලි ගණනින් 44%ක්. එනම් පැමිණිලිවලින් බහුතරයක් නිරවුල් කිරීමට පීසීසීඑස්එල් අසමත්ව තිබෙනවා.
පීසීසීඑස්එල් ක්‍රියාත්මක වන්නේ 1995 අංක 11 දරන බේරුම්කරණ පනතේ සමථකරණය, මැදිහත් කරණය සහ බේරුම්කරණ මූලධර්ම යටතේයි. ආරාවුල් නිරාකරණ මණ්ඩලයේ තීන්දු පළ කරන්නට පුවත්පතක් අසමත් වුවහොත් බේරුම්කරණ පනතේ වගන්ති ප්‍රකාර පැමිණිලිකරුට එය මහාධිකරණය හමුවට ගෙන ගොස් එම තීන්දුව මහාධි කරණයෙන් බලාත්මක කරවා ගත හැකියි.
2003 සිට 2014 අවසානය දක්වා පීසීසීඑස්එල් විසින් පැමිණිලි 1700ක් භාර ගෙන තිබෙනවා. එම දශකය තුළ පැමිණිලිවලින් 80%ක් විභාග කළ බව කියනවා. පීසීසීඑස්එල් තර්ක කරන්නේ දැන් මාධ්‍ය මෙන් ම මහජනතාව ද මෙම ස්වයං නියාමන සංකල්පය පිළි ගෙන ඇති බවයි. වැඩි පැමිණිලි සංඛ්‍යාවක් පාඨකයන් හා පුවත්පත් කතුවරුන් අතර සෘජු සාකච්ඡා මගින් විසඳා ගනු ලබන බවයි (නිවැරදි කිරීම්, පැහැදිලි කිරීම්, සමාව ගැනීම් හා පිළිතුරු දීමේ හිමිකම පිළිගැනීම්). එයට පීසීසීඑස්එල් මැදිහත් වීමක් නැහැ.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පළ වන පුවත්පත් බහුතරයක් පිළිතුරු දීමේ අයිතිය පිළි ගන්නවා. එහෙත් අගතියට පත් අයෙක් තම ස්ථාවරය කියා පිළිතුරක් එව්වොත් එය පළ කරන්නේ කර්තෘවරයාගේ අභිමතය පරිදියි. එසේ කරන්න යයි බැඳීමක් නැහැ. පීසීසීඑස්එල් නිරීක්ෂණයට අනුව, පීසීසීඑස්එල්ට දායක වී ඇති මාධ්‍ය ආයතන 70%ක් අවස්ථාවලදී පිළිතුරු දීමේ අයිතිය ගරු කරනවා.
ඇතැම් මාධ්‍ය ආයතනවලට තමන්ටම ආවේණික අභ්‍යන්තර මාර්ගෝපදේශ තිබෙනවා. නිදසුනක් ලෙස රාවය පුවත්පත තමන්ගේ ම ආචාරධාර්මික මාර්ගෝප දේශ හඳුන්වා දී තිබෙනවා.
පීසීසීඑස්එල් පැමිණිලි භාර ගන්නේ පටු පරාසයක් තුළ වීම එක් ප්‍රධාන ගැටලුවක්. තෙවන පාර්ශ්වයක් ගෙනෙන පැමිණිලි ඔවුන් විභාග කරන්නේ නෑ. උදාහරණයකට රාවණා මිථ්‍යාවන් සැබෑ පුවත් ලෙස දිගින් දිගටම පළ කිරීම ගැන සමහර පුවත්පත්වලට එරෙහිව පැමිණිලි කරන්නට මට ඕනෑ වුණා. එහෙත් සමස්ත සමාජය වෙනුවෙන් මට එසේ කිරීමට පීසීසීඑස්එල් රාමුව තුළ අවකාශ නැහැ. මට පැමිණිලි කළ හැක්කේ පුද්ගලිකව මට අගතියක් වී ඇත්නම් පමණයි.
දිනපතාම පාහේ ජාතික පුවත්පත්වල හමු වන වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී හා අසංවර බස හැසිරවීමට එරෙහිව හෝ අපරාධයක් සිදු වූ විට වින්දිතයන්ගේ රූප පළ කිරීමට විරුද්ධව හෝ මට පැමිණිලි කළ නොහැකියි. එසේ කිරීමට නම් මා වින්දිතයකු වීම නැතිනම් වින්දිතයකුගේ පවුලේ සාමාජිකයකු වීම අවශ්‍යයි.
මේ තරම් පටු පරාසයකට කොටු වී ක්‍රියා කරන පීසීසීඑස්එල්, පුවත්පත් විසින් බොහෝ මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීම් ගැන කිසිදු සාධනීය පියවරක් ගන්නේ නැහැ. පැමිණිල්ලක් ආවොත් පමණක් විමසා බලනවාලු! පීසීසීඑස්එල් දැඩි අවවාද කළත් සමහර කතුවරුන් පොඩියක්වත් තකන්නේ ද නැහැ.
තවත් අඩුපාඩුවක් නම් වසර 13කට පසුවත් මුද්‍රිත මාධ්‍ය සමාගම් සියල්ල එක්සත් කර ගැනීමට පීසීසීඑස්එල්ට හැකි වී නැහැ. මවුබිම/ සිලෝන්ටුඬේ පත්‍ර ඇතුළු පුවත්පත් කිහිපයක් පීසීසීඑස්එල් රාමුව මුළුමනින් නොතකා සිටිනවා.
පීසීසීඑස්එල් හැම වසරකම කියන්නේ ඉතිරි පුවත්පත් ද “ළඟදී” තම රාමුවට එකඟ කරවා ගන්නා බවයි. එහෙත් නීතිමය බලයක් නැති ස්වේච්ඡා ආයතනයක් වන පීසීසීඑස්එල්ට, තම ක්‍රමවේදයට අනුකූල වන්න යයි කිසිදු මාධ්‍ය ආයතනයකට බල කරන්නට බැහැ.
එසේම එකම පුවත්පත් ආයතනයේ ඇතැම් පත්‍ර පීසීසීඑස්එල් තීරණවලට ගරු කරද්දී තවත් කතුවරුන් ඒවා නොතකා සිටින අවස්ථා තිබෙනවා. මේ සියල්ලෙන් පෙනෙන්නේ මෙරට මුද්‍රිත මාධ්‍ය ස්වයං නියාමන උත්සාහය අසම්පූර්ණ හා දුර්වල එකක් බවයි.
පුවත්පත්වලට වඩා බලවත් ලෙසින් සමාජගත වන රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා කිසිවක් පීසීසීඑස්එල් රාමුවට අයත් නැහැ. මෑතදී පැන නැගී ආ පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි ද කිසිදු නියාමන ක්‍රමවේදයකට අයත් නැහැ.
2016 මාර්තු 6 වනදා තීරු ලිපියෙන් මා පෙන්වා දුන් පරිදි, විද්‍යුත් මාධ්‍යවලට නියාමනයක් අත්‍යවශ්‍යයි. වඩාත් පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් හා ආණ්ඩුකරණයක් ඇති රටවල විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නිසියාකාරව නියාමනයට ලක් වනවා.
නියාමනය (media regulation) යනු කිසිසේත් මාධ්‍ය අන්තර්ගතය පාලනය කිරීම (content control) හෝ වාරණය කිරීම (ensorship) නොවෙයි. පොදු දේපළක් භාවිත කරමින් විකාශයන් කරන ආයතන නිසි නීතිමය හා ආචාරධර්ම රාමුවකට නතු කිරීම හා ඒ හරහා පොදු උන්නතියට මුල් තැන දීම පමණයි.
තාක්ෂණික සාධක නිසා මෙන්ම ආචාරධර්මීය හේතු නිසාද විද්‍යුත් මාධ්‍ය නියාමන ක්‍රමවේදයක් රටට අවශ්‍යයි. රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා අන්තර්ගතයෙන් පීඩාවට පත් වන අයට දැනට කිසිදු පිළිසරණක් නැහැ. මාධ්‍ය මුදලාලිලා සිත්සේ තම නාලිකා හසුරුවනවා. කිසිදු වගකීමක් හෝ වගවීමක් නැහැ.
2016 මා සංස්කරණය කළ “ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසාත්‍ව” නම් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වාර්තාවේ එක් තැනෙක මාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී. කේ. එස්. රවීන්ද්‍ර මෙසේ උපුටා දක්වා තිබෙනවා: “ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතයන් පිළිගත නොහැකි බව හා ඒවායේ වැරදි පිළිබඳව පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි රැසක් මාධ්‍ය අමාත්‍යාංශය වෙත ලැබේ. එහෙත්, ඒවාට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය බලය අමාත්‍යාංශයට නැත. ඇතැම් ආචාරධර්ම සමග අනුගත වන්නැයි අපට රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවලට උපදෙස් දිය හැකි ය. එහෙත් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් කිසිදු අධිකාරියක් නැත. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කර්මාන්තය වෙනුවෙන් මහජන පැමිණිලි හෝ දුක්ගැනවිලි අසන ව්‍යූහයක අවශ්‍යතාව තදින්ම දැනෙයි.”
පවතින තත්ත්වය දියුණු කිරීමට කුමක් කළ යුතුද? පීසීසීඑස්එල්ට නීතිමය බලතල ලබා දී ඔවුන්ගේ තීන්දු හැම මාධ්‍ය ආයතනයකටම බල පවත්වන්නට සැලසීම එක් විකල්පයක්. එහෙත් මේ දක්වා පටු පරාසයකට සීමා වී, පාඨක පැමිණිලි තෝරාගත් කිහිපයක් පමණක් අධිප්‍රවේශමෙන් විමසන පීසීසීඑස්එල්ට මේ සඳහා හැකියාව තිබේද?
තව විකල්පයක් නම් ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුවේ කෙටුම්පතේ යෝජිත ස්වාධීන මණ්ඩලයක් පිහිටු වීමයි. මෙය තව විස්තරාත්මකව සාකච්ඡාවට ලක් කළ යුතුව තිබෙනවා.
මාධ්‍යවලට රජය අත පෙවීම ගැන මා කැමති නොවූවත් යම් නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව නම් පිළි ගත යුතුයි. අයාලේ යන, හිතුමතයට හැසිරෙන මාධ්‍ය සමහරක් විසින් ප්‍රකාශන නිදහස හා මාධ්‍ය නිදහස අවභාවිත කරන බව පැහැදිලියි.
“ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසාත්‍ව” සම්පූර්ණ සිංහල වාර්තාව මෙතැනින් කියවන්න: http:// nsmrlk’
org/pdf/ SMR-S.pdf