Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

රවිරාජ් නඩුවේ තීන්දුව හා පුනරුද ව්‍යාපාරය

වික්ටර් අයිවන්

රටේ දේවල් සිදුවෙමින් තිබෙනුයේ අවධිමත් හා අවුල්සහගත ආකාරයකටය. තිබෙන අවුල් ලිහාගන්නවා වෙනුවට දේවල් සිදුවෙමින් තිබෙනුයේ තිබෙන අවුල් වර්ධනය කරගන්නා අතර අලුත් අවුල් ද ඇතිකර ගන්නා ආකාරයකටය. මේ දිනවල සිදුවී තිබෙන දේවල් අතුරින් රවිරාජ් ඝාතන සිද්ධිය පිළිබඳව අධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දුව දෙමළ ජනතාවට සේ ම ජාත්‍යන්තර ප්‍රජාවටද ලබාදෙන සංඥාව ඉතාමත් අයහපත්ය.

රවිරාජ් ඝාතනය
රවිරාජ් ඝාතනය කෙරුණේ කොළඹ අධිආරක්ෂක කලාපය තුළය. පසුගිය ආණ්ඩු කාලයේදී ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කෙරුණේ නැත. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන ලද අතර එම පරීක්ෂණයට අනුව මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ නාවික හමුදාව ‘එච් යුනිට්’ නමින් පවත්වාගෙන ගොස් තිබෙන විශේෂ ඒකකයක් විසිනි.
රවිරාජ් උතුරේ දෙමළ ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහුට සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව තිබුණු අතර රූපවාහිනී නාලිකාවල පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි වෙමින් දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබුණු ප්‍රශ්න ඔහු දක්ෂ ලෙස සිංහල ජනතාවට පැහැදිලි කළ පුද්ගලයෙකු ලෙසද සැලකිය හැකිය. ඔහු ප්‍රසිද්ධියේ එල්ටීටීඊය විවේචනය කළේ නැතත්, ඔහුට එල්ටීටීඊය ගැනත් රළු විවේචනයක් තිබුණු බව මම දැන සිටියෙමි.
ඔහු ඝාතනය වන්නට ටික දිනකට ඉහතදී ගැටුම් නිරාකරණ විෂයෙහි ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රකට විශේෂඥයකු ලෙස සැලකිය හැකි යොහාන් ගල්ටූන් විසින් ඔස්ටි්‍රයාවේ පවත්වන ලද අධ්‍යයන වැඩමුළුවකට ලංකාවෙන් ගිය කණ්ඩායමට ඔහුද අයත් වූ අතර එම කණ්ඩායමට මමද අයත් වීමි. එම වැඩමුළුවට ලංකාවෙන් සහභාගි වූ අනෙකුත් අය අතර එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළ ආනන්දසංගරීද, ඇමතිවරයෙකු ලෙස ක්‍රියා කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ද, ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝද, තවත් කීපදෙනෙක්ද අයත් වූහ. රවිරාජ් සමඟ දීර්ඝ කතාබහක යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ එම සංචාරයේදීය. ඔහුට ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය ගැන ලොකු විවේචනයක් තිබුණා සේ ම එල්ටීටීඊය හා එහි නායක ප්‍රභාකරන් ගැනද ඊටත් වඩා රළු විවේචනයක් තිබුණි. ඔහු ප්‍රභාකරන් දැක්කේ දෙමළ සමාජය මහා අගාධයකට ඇදදමන ලද පුද්ගලයෙකු වශයෙනි. රවිරාජ් මරාදමා තිබුණේ එම ඔස්ටි්‍රයා චාරිකාව නිමාවී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු දින දෙකකට හෝ තුනකට පසුවය.
ප්‍රචණ්ඩ ගැටුම් නිසා බෙලහීන වී තිබෙන රටක් නැවත ගොඩනැගීමේදී ගැටුම් පැවති කාලවකවානුව තුළ සිදුවූ සාහසික අපරාධ ගැන සොයා බැලිය යුතුය. එම ධර්මතාව ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොව එවැනි විශේෂ තත්ත්වයක් ඇතිවූ හැම රටකටම ආවේණික පොදු ධර්මතාවකි.
ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධයකදී සාමාන්‍ය මිනිසුන්ට හානි සිදුවීම නොවැළැක්විය හැකිය. බිහිසුණු අපරාධ ලෙස සැලකෙනුයේ එවැනි වැරදි නොව චේතනාන්විතව සිදුකෙරෙන අපරාධය. රවිරාජ් ඝාතනය සේ ම ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ හා ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනකු ඝාතනය කිරීම වැනි ඝාතන සැලකිය හැක්කේ චේතනාන්විතව කර තිබෙන අපරාධ ලෙසය.

පරීක්ෂණය හා තීන්දුව
රවිරාජ් ඝාතන නඩුවේදී චෝදනා එල්ල වී තිබුණේ නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව හා කරුණා පාර්ශ්වයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිවය. ඝාතකයා ඝාතනය සඳහා පරිහරණය කළ මෝටර් සයිකලය සේ ම ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියද සොයා ගන්නා ලදි. ඒ බව සාක්ෂිවලින්ද මනා ලෙස තහවුරු වී තිබුණි. එම ගිනි අවිය කරුණා පාර්ශ්වයට යුද හමුදාව විසින් ලබාදෙන ලද ගිනි අවි 1000න් එකක් විය. මෙම ඝාතනය නාවික හමුදාවේ බුද්ධි අංශය පමණක් නොව ජාතික ඔත්තු සේවයේ ප්‍රධානීන්ගේද අවබෝධය ඇතිව සිදුකර තිබෙන ඝාතනයක් බව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබුණි. මෙම ඝාතනය ගැන ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියද පරීක්ෂණයක් කර තිබුණි. ඝාතකයා ගිනි අවිය රැගෙන යෑමට පාවිච්චි කළ උරයේ තිබූ ලේ බිඳුවක් පිළිබඳවද ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය පරීක්ෂණ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ වාර්තාව ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියෙන් ඉල්ලා සිටි විට ඔවුන් ලංකාවට දැනුම් දී තිබුණේ ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටක් නිසා ඔවුන් පවත්වාගෙන යන ප්‍රතිපත්තිවලට අනුව එම වාර්තාව ලබාදිය නොහැකි බවත්, මරණ දඬුවම ඉවත් කරන්නේ නම් පමණක් එම වාර්තාව ලබාදිය හැකි බවත්ය. ක්‍රිකට් මල්ලේ තිබූ ලේ බිඳුව ඝාතකයාගේ අනන්‍යතාව තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි. ඝාතකයා වෙඩි තැබීමට පෙර ගිනි අවිය තිබූ ක්‍රිකට් මල්ලට අත යැවූ විට ගිනි අවියේ තිබූ සියුම් තැනකට අත වැදී අතේ සුළු තුවාලයක් ඇතිවන්නට ඇති බව ඉන් පෙනීයයි.
විත්තිය සිංහල ජූරියක් ඉල්ලා සිටි විට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි දෙමළ නීතිඥයා ඊට විරෝධය පළකරමින් ඝාතනයට ලක්වී තිබෙනුයේ දෙමළ පුද්ගලයෙකු වන නිසා තනි සිංහල ජූරියක් ප්‍රශ්න ඇති කිරීමට හේතුවනු ඇති බව කියා සිටියේය. ඔහුගෙන් එල්ල වූ විරෝධය නොසලකා තනි සිංහල ජූරියක් ඇති කරන ලදි. ජූරියේ හත්දෙනාගෙන් පස්දෙනෙක්ම කාන්තාවෝ වූහ. මෙම නඩු තීන්දුව ලබාදෙන ලද්දේ රාත්‍රී 12.30ට පමණය. විශේෂයෙන්ම ජූරියේ කාන්තාවන් වෙහෙසට පත්ව සිටින්නට ඇති අතර ඉක්මනින් නිවෙස්වලට යෑමේ අභිලාෂයක්ද ඔවුන්ට තිබෙන්නට ඇත. ජූරිය සිය තීරණයන් ලබාදීම සඳහා ගතකර ඇත්තේ විනාඩි 10ක් පමණ වන කෙටි කාලයකි. තීන්දුව ලබාදීමේදී රණවිරු සංකල්පය හා සිංහලකමද බලපාන්නට ඇත.

අධිකරණ
අධිකරණයක කෙරෙන කටයුතු සාධාරණ විය යුතුවා සේ ම සාධාරණ බව පෙනෙන්නට තිබිය යුතුය. මෙය මේ ආකාරයේ තීන්දුවක් ප්‍රකාශ වූ ප්‍රථම අවස්ථාව නොවන බවද කිව යුතුය. මුත්තූර්වලදී පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආරක්ෂක හමුදා නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වූ නඩුවකදීද අනුරාධපුර මහාධිකරණය විසින් සියලු චූදිතයෝ නිදහස් කරන ලදහ. එම නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධි කරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ එම ක්‍රියාව දෝෂදර්ශනයට ලක්ව තිබෙන බවද අසන්නට ලැබේ. වැදගත්ම දේ මෙම තීන්දු දෙක දෙමළ ජනතාවට පෙනෙනු ඇත්තේ කවර ආකාරයකටද? අනෙක් අතට ඒවා ජාත්‍යන්තර ප්‍රජාවට පෙනෙනු ඇත්තේ කෙසේද? ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාවේ අධිකරණය පිළිබඳව සැර විවේචනයක් තිබුණි. මේ සියල්ල අවසානයේ රටේ අනාගතය කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද? ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවේවිද? ක්‍රම ක්‍රමයෙන් රට අන්තර්ජාතිකය සමඟ ගැටුම් ඇතිකර ගන්නා තැනකට තල්ලුවෙමින් සිටී. මේ සියල්ලෙන් අවසානයේ පහර වදිනු ඇත්තේ ජනතාවට හා ජාතික සමගියටය. දෙමළ ජනතාව අලුතෙන් ඇති කරගෙන තිබෙන බලාපොරොත්තු අත්හරිනු ලැබුවහොත් විය හැක්කේ කුමක්ද?
තිස් අවුරුදු කාලයක් රටේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් අවසන් වන විට සමාජය සේ ම රාජ්‍යය ද තිබුණේ විකෘති වූ දූෂිත වූ හා ජරපත්භාවයට පත් තත්ත්වයකය. ලක්ෂයකට වැඩි පිරිසක් මියගොස් තිබුණු අතර ජීවත්වීමේ වාසනාව හිමි කරගත් මිනිසුන්ද කායික වශයෙන් නොවූවත් අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්ව තිබුණේයැ’යි කිව හැකිය. රාජ්‍යය හා එහි ආයතන ක්‍රමද ඒවාට තිබෙන ක්‍රියාකාරී ශක්තිය අහිමි කෙරෙන ආකාරයට දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබුණේය.

රාජ්‍යය හා සමාජය ප්‍රතිනිර්මාණය කිරීම
ඒ පැවති ඛේදජනක තත්ත්වයක් ඉදිරියේ අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව සාර්ථක ඉදිරි ගමනක් සඳහා ජාතිය ගොඩනගන අතර රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කරගත යුතුව තිබුණි. ඒ සඳහා ඇතිවූ මහා ඛේදවාචකයන් කෙරෙහි බලපෑ හේතු සොයාබලන තැනකට යා යුතුව තිබුණි. හේතු හඳුනාගැනීමෙන් පසුව කළ යුතුව තිබුණේ එම ඛේදවාචකයන් ඇති කිරීමට බලපෑ හේතුවලට පිළියම් යෙදීමය. ජාතිය ගොඩනගා ගැනීමට පුළුවන්කම ලැබෙන ආකාරයට රෝගී තත්ත්වයක තිබුණු සමාජ අධ්‍යාත්මය සුවපත් කරන අතර ජරපත් තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍යය හා රාජ්‍යයේ ආයතන ක්‍රම ප්‍රතිනිර්මාණය කරන තැනකට යා යුතුව තිබුණි.
ඒ වෙනුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ අභ්‍යන්තරය සුවපත් කරන ප්‍රතිපත්තියක් වෙනුවට බාහිරය ලස්සන කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඒ නිසා රටේ තිබුණු අර්බුදය අලුත් මුහුණුවරක් ගත්තේය. ජනාධිපති මහින්ද රාජපක්ෂට බලය අහිමි වූයේ එහිම ප්‍රතිඵලයක් වශයෙනි. යහපාලන නායකයන් බලයට පත්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇතිවූ ආණ්ඩු පෙරළිය තාවකාලික සහනශීලී හැඟීමක් ජනතාවට ලබාදෙන්නට සමත් වුවද රටේ තිබුණු අර්බුදයට විසඳුමක් වූයේ නැත. ඒ සඳහා වන විධිමත් ශක්තිමත් හා ප්‍රායෝගික දැක්මක් යහපාලන ආණ්ඩුවේ නායකයන්ට නොතිබුණි. ඔවුහු ද ඉක්මනින් දේවල් අවුල්කර ගත්තෝය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක තිබෙන්නේද උග්‍ර අර්බුදයකය. දැන් රට තිබෙන්නේ අරාජික තත්ත්වයකට ගමන් කරමින් තිබෙන තැනකය.
ජාතිය ගොඩනැගීම ප්‍රධාන අරමුණ කරගත් පුනරුදය සඳහා වන සමාජ ව්‍යාපාරයක් කරළියට ගැනීමට අවශ්‍ය වූයේ තිබෙන වටාපිටාව තුළ මෙම අර්බුදය ජයගැනීම සඳහා දැනුවත් පුරවැසියන්ට තෝරාගැනීමට ඵලදායක විකල්පයක් අවශ්‍ය වී තිබුණු නිසාය. නිදහස ලබාගන්නා විට හෝ ඉන්පසුව හෝ ජාතිය ගොඩනැගීමට අසමත්වීම ලංකාව මේ සා විශාල අර්බුදයකට තල්ලු කිරීමට බලපෑ කේන්ද්‍රීය හේතුව ලෙස සැලකිය හැකිය.
එම ප්‍රශ්නය දේශපාලන වශයෙන් තියුණු සලකා බැලීමකට ලක්වී නැති ප්‍රධාන හා සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසද සැලකිය හැකිය. නීතියේ පාලනයක් නැතිකම, අකාර්යක්ෂම හා දූෂණය යනාදි ප්‍රශ්න ජාතික රාජ්‍යයට අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ ඇතිවී තිබෙන වැදගත් අතුරු ප්‍රශ්න ලෙස සැලකිය හැකිය. කේන්ද්‍රීය ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමේ ප්‍රශ්නයයි. ඒ නිසා කෙටියෙන් වුවත් එම ප්‍රශ්නය මෙහිදී සලකා බැලීම ඉතා වැදගත්ය.

ජාතික රාජ්‍යය හා ජාතිය
පූර්ව නූතන යුගයේ පැවති වැඩවසම් රාජ්‍යය හා ධනේශ්වර ක්‍රමයකට මාරුවීමෙන් පසු ගොඩනැගෙන ජාතික රාජ්‍ය අතර මූලික වැදගත්කමක් ඇති වෙනස්කම් දෙකක් පවතී. වැඩවසම් රාජ්‍යයට ස්ථිර දේශසීමා නොතිබුණි. තිබුණේ විටින් විට වෙනස් වන දේශසීමාය. පෘතුගීසීන් ලංකාවට එනවිට කෝට්ටේ රාජ්‍යය, කන්ද උඩරට රාජ්‍යය හා යාපනේ රාජ්‍යය යනාදි වශයෙන් රාජ්‍යයන් හෝ රාජධානි තුනක් තිබුණි. ඒවාට වෙනස්වන දේශසීමා මිස ස්ථිර දේශසීමා නොතිබුණි. වැඩවසම් රාජ්‍යයන්ට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් වූයේ ඒවාට මධ්‍යගත පාලනයක් නොතිබීමය.
වැඩවසම් රාජ්‍යයට ජාතියක් අවශ්‍ය නොවීය. එහෙත් ස්ථිර දේශසීමා හා මධ්‍යගත පාලනයක් සහිත නවීන ජාතික රාජ්‍යයට ජාතියක් නැතිව ස්ථිර දේශසීමා හෝ මධ්‍යගත පාලනය පවත්වාගෙන යා නොහැකිය. නවීන අර්ථයෙන් වන ජාතියක් ජාතික රාජ්‍යයට අවශ්‍යවන්නේ ඒ නිසාය. නවීන අර්ථයෙන් ජාතිය යන්නෙන් අදහස්වන්නේ එම ජාතික රාජ්‍යයේ දේශසීමාවන් තුළ ජීවත් වන සියලු මිනිසුන් හෝ සියලු පුරවැසියන්ය. ජාතික රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ හිමිකරුවන් වන්නේද ඔවුන්ය. නවීන අර්ථයෙන් සිංහල, දෙමළ හෝ මුස්ලිම් හා වෙනත් ජන කණ්ඩායම් සැලකිය යුත්තේ ජාතීන් ලෙස නොව ජනවර්ග ලෙසය.
යුරෝපා රටවල ජාතිය ඉබේ ස්වභාවිකව පහළ වූ ප්‍රපංචයක් ලෙස සැලකිය හැකි වුවත් යටත්විජිත රටවලදී ජාතියට ඉබේ පහළවීමේ හැකියාවක් නොතිබුණි. එය ගොඩනගා ගත යුතු දෙයක් විය. හේතුව යුරෝපය ධනේශ්වර ක්‍රමයට පරිවර්තනය වන කාලයේදී ඊට සමගාමීව විද්‍යාව දර්ශනය හා කලාව යන ක්ෂේත්‍රවල ඇතිවූ අතිවිශාල දියුණුව හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ පුනරුදය ඔවුන් සිතන පතන ආකාරයේ අතිවිශාල දියුණුවක් ඇති කිරීමට හේතුවී තිබුණු නිසාය. සහජීවනය, හැම මනුෂ්‍යයෙකුටම තිබෙන මනුෂ්‍ය ගෞරවය සමාන අයිතිවාසිකම් වැනි කාරණා අලුතෙන් ඔවුන්ට ඉගැන්විය යුතු දේවල් නොවීය. ඒවා ඔවුන් ලබාගෙන තිබුණු දියුණුව තුළ ඉගෙනගෙන තිබූ දේවල් විය. එහෙත් යටත්විජිත රටවල සමාජ සවිඥානකත්වය තිබුණේ අඩු දියුණු හෝ නොදියුණු තත්ත්වයකය. මිනිස්සු වර්ග, කුල හා ආගම අනුව බෙදී සිටියෝය. ඒ නිසා යටත්විජිත රටවලදී ඒ සියලුදෙනා ඒකාග්‍ර කොට ජාතිය ගොඩ නගාගතයුතු දෙයක් විය.

ඒකාග්‍ර කිරීම
ජාතික රාජ්‍යය තුළ ජීවත්ව සියලු ජනයා ජාතිකමය වශයෙන් ඒකාග්‍ර කිරීමට නම් එවැනි ඒකාග්‍රතාවකට බාධා කරන සමහර යල්පැන ගිය සම්බන්ධතා අහෝසි කිරීමටත් එසේ අහෝසි කළ නොහැකි බෙදීම්වලදී එම ජන කණ්ඩායම් සහජීවනයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමත් අවශ්‍යය. කුලය මුල් කරගත් වැඩවසම් ශ්‍රම විභජන ක්‍රමය සේ ම ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන උස් පහත් භේදය නූතනයට අවශ්‍යවන්නේවත් ගැළපෙන්නේ වත් නැත. දැන් කුල ක්‍රමය පැරණි ආකාරයට ක්‍රියාත්මක නොවෙතත්, කුලය මත පදනම් වූ උස් පහත් භේදය මුළුමනින්ම අහෝසි වී නැත. එම භේදය අහෝසි කළ යුතුය. එහෙත් වර්ග හෝ ආගම් නැති කළ නොහැකිය. ඒ නිසා ඒ සම්බන්ධතා දෙකේදී ගැටුම් ඇතිවීම වැළකීම සඳහා වර්ග අතර සේ ම ආගම් අතරද සහජීවනයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කළ යුතුය. ජාතිමය වශයෙන් ශක්තිමත් ඒකාග්‍රතාවක් ඇති කිරීම සඳහා එම රාජ්‍යයේ සියලු මිනිසුන්ට භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදීමද අත්‍යවශ්‍යය. ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට ජාතික රාජ්‍යය හා ජාතිය ගොඩනැගීම පිළිබඳව මොනම අවබෝධයක් නොතිබුණද, ඉන්දියානු නිදහස් අරගලයේ නායකයන්ට ඒ ගැන මනා අවබෝධයක් තිබුණි. ජාතිය ගොඩනැගීමේදී විසඳා ගතයුතු ප්‍රධාන පුපුරනසුලු ප්‍රශ්න දෙක ලෙස ඔවුන් සලකන ලද්දේ කුලභේදය හා හින්දු මුස්ලිම් ආගම් භේදයයි. එම නායකයෝ කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කිරීම සඳහා විශාල මතවාදී ව්‍යාපාරයක් පවත්වාගෙන ගියෝය. පීඩිත කුලවල ජනයාට හින්දු කෝවිල්වලට ඇතුළුවීම වැළකීම සඳහා ක්‍රියාත්මක වූ තහංචිවලට එරෙහිව හින්දු කෝවිල වටලා කෙරෙන සත්‍යග්‍රහ ව්‍යාපාරවලට ලක්ෂ ගණන් ජනයා සහභාගි වූහ.
24 වැනිදා පැල්මඩුල්ලේදී පුනරුද ව්‍යාපාරය සඳහා සාකච්ඡාවක් පවත්වන ලද අතර එම සාකච්ඡාවේදී අදහස් පළකළ තුන්දෙනෙක්ම ගාන්ධි විවේචනයට ලක්කළෝය. ගාන්ධි අසාර්ථක නායකයකු බවත්, ඉන්දියාවේ තිබෙන කුලභේදය තුරන් කිරීමට ගාන්ධි සමත් වී නැති බවත් ඉන් දෙදෙනෙක් කියා සිටියෝය. තවත් කෙනෙකු කියා සිටියේ ඉන්දියාව දියුණු රටක් ලෙස සැලකිය නොහැකි බවය. පළමු කී දෙදෙනාට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවති කුලභේදය කවර පුද්ගලයෙකුටවත් කෙටි කාලයක් තුළ අහෝසි කළ නොහැකි බවය. කළ හැක්කේ කුලභේදය නැති කිරීමට හේතුවන ශක්තිමත් ආරම්භයක් ඇති කිරීමය. වර්තමාන අගමැති මෝඩි පතුළෙන්ම පැමිණි නායකයකු බවත්, ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවල මහ ඇමතිවරුන් සැලකිය යුතු පිරිසක්ද පීඩිත කුලවලට අයත් අය වන බවත් එහෙත් ඉන්දියානුවන්ට එම නායකයන්ගෙන් කුලය වැදගත් සාධකයක් වී නැති බවත්, ඒ තත්ත්වය උදාකර ගැනීමට ලංකාව තවමත් සමත් වී නැති බවත් මම කියා සිටිමි.
ගාන්ධි හින්දු මූලධර්මවාදියෙකු අතින් ඝාතනයට ලක්වූයේ ගාන්ධි මුස්ලිම් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනීසිටි නිසාය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට පාකිස්තානයක් ඇතිවීම වැළකිය නොහැකි වූ බව සත්‍යයකි. එහෙත් පාකිස්තානයේ ජීවත් වන මුස්ලිම් ජනයාට වැඩි මුස්ලිම් ජනතාවක් ඉන්දියාවේ ජීවත්වෙති. ගාන්ධි ඝාතනයට ලක්වන අවස්ථාව වන විට හින්දු මුස්ලිම් කෝලාහලවලින් රට ගිනිගෙන තිබුණි. ගාන්ධිගේ මරණයත් සමඟ ඒ සියලු ගිනි නිවී ගාන්ධිගේ චිතකයෙන් දැල්වෙන ගින්න ඉන්දියාවේ දැල්වෙන එකම ගින්න බවට පත්විය. ඒ සමඟ ඉන්දියානු ජාතිය සඳහා වන ශක්තිමත් පදනමක්ද ඉන්දියාවේ ඇතිවී තිබුණි.

ලංකාවේ නිදහස
ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට ජාතික රාජ්‍යය ගැන ජාතිය ගොඩනැගීම පිළිබඳව කිසිදු අවබෝධය නොතිබුණි. ලංකාවේ සුළු ජාතික නායකයෝද පීඩිත කුලවල නායකයෝද ලංකාවට නිදහස ලබාදෙනවාට විරුද්ධ වූහ. ඒ දෙපිරිස පළමුවෙන් ඩොනමෝර් කොමිසම වෙතත් දෙවනුව සෝල්බරි කොමිසම වෙතත් තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කළෝය. ලංකාවට නිදහස ලබාදීමට සුදුසු වටාපිටාවක් ලංකාවේ තවමත් ගොඩනැගී නැති බව ප්‍රකාශ කරමින් ඒ තත්ත්වයට ළඟාවීමට පෙර ලංකාවට නිදහස ලබාදුනහොත් තමන් පීඩාවට පත්කිරීමට හේතුවන සිංහල ආධිපත්‍යයක් ඇතිවනු ඇති බව සුළු ජාතික නායකයන් කියන විට ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇතිවී තමන් පීඩාවට පත් කරනු ඇති බව පීඩිත කුලවල නායකයෝ කියා සිටියහ. ජාතිමය වශයෙන් එදා රටේ පැවති යථා තත්ත්වය ඉන් තේරුම්ගත හැකිය.
ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව නොසලකා ක්‍රියාකිරීම නිසා නිදහස ලැබීමෙන් පසු රටේ කටයුතු සිදුවූයේ අවධිමත් හා අවුල්සහගත ආකාරයකටය. රාජ්‍ය පාලනය කෙරෙහි වර්ගය, කුලය හා ආගම බලපෑවේය. ඒ සාධක තුන ගැටුම් ඇති කරන සාධක ලෙස ක්‍රියා කළේය. ලංකාව නිදහස ලබාගත් කාලයේදී ලංකාව හැඳින්වූයේ එක ලේ බිඳුවකුදු නොසෙල්වා නිදහස ලබා ගත් රට හැටියටය. නිදහස ලැබීමෙන් පසු විටින් විට කලකෝලාහල ඇතිවෙමින් නිදහස ලැබී අවුරුදු 30කට පසුව අවුරුදු 30ක් විටෙන් විටද, තවත් විටෙක එක දිගටද මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය. ඒ නිසා ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්වන විට කායික වශයෙන් ජීවත් වන මිනිසුන්ද, ආධ්‍යාත්මික වශයෙන් මළ මිනිසුන් බවට පත්වූහ. එම අශීලාචාර ප්‍රචණ්ඩ ප්‍රවාහයට හසුවී බොහෝ දේවල් විනාශ වන විට විනාශ නොවී ඉතිරි වූ දේවල් ද විකෘති වූ හා ජරපත් දේවල් බවට පත්විය. ජාතිය ගොඩනගන අතර ජරපත් හා දූෂිත තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍යය හා එහි ආයතන ක්‍රම ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේද යන්න මේ මොහොතේදී ලංකාව මුහුණ දී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. ගොඩනගමින් තිබෙන පුනරුද සමාජ ව්‍යාපාරය ජාතිය ගොඩනැගීම සිය ප්‍රධාන අරමුණ බවට පත්කරගෙන තිබෙන්නේ ඒ නිසාය.
අර්බුදය විසින් ඉතිරි වූ සියලු දේවල් ජරපත් තත්ත්වයකට පත් කර තිබෙන ආකාරයටම සියලු දේශපාලන පක්ෂද මේවායේ ක්‍රියාකාරී ශක්තියද බුද්ධිය හා අවංකභාවයද අහිමි කර ගත් සුවකළ නොහැකි රෝගී තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබුණි. මේ දේශපාලන පක්ෂවලට තවදුරටත් ඉටුකළ හැකි ඓතිහාසික කාර්යභාරයක් නැත. රටට පුනරුදය සඳහා වන සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසාය.

උරගා බැලීම
පුනරුද ව්‍යාපාරය අලුතෙන් ගොඩනැගෙමින් තිබෙන අලුත්ම ආකාරයේ සමාජ දේශපාලන ප්‍රපංචයක් ලෙස සැලකිය හැකි වුවද එය මෙතෙක් වැඩ කර තිබෙනුයේ සිංහල ජනතාව අතර පමණය. එම ප්‍රපංචය මුස්ලිම් ජනයා භාරගත්තේ කෙසේද යන්න උරගා බලන අවස්ථාවකට මුහුණදීමට පසුගිය දෙසැම්බර් 24 වැනිදා අපට සිදුවිය.
ලංකාවේ මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් කොළඹට කැඳවා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡාවට ලක් කෙරෙන වැඩමුළුවක් මරදානේ අල්හයිඩියා විද්‍යාලයේදී පවත්වන ලදි. රටේ විවිධ ප්‍රදේශවලින් එම වැඩමුළුවට එන මුස්ලිම් ක්‍රියාධරයන් අමතා කතා කිරීමට එම වැඩමුළුවේ සංවිධායකයෝ මට අවස්ථාවක් ලබා දුන්නෝය. වැඩමුළුවේ ආරම්භක සැසිය වෙන් කරන ලද්දේ මගේ කතාවට හා ඒ ආශ්‍රයෙන් කෙරෙන සාකච්ඡාව සඳහාය. එම වැඩමුළුවට යාපනෙන්ද, මඩකළපුවෙන්, ත්‍රිකුණාමලයෙන් හා ලංකාවේ සෙසු ප්‍රදේශවලින් නියෝජිතයෝ සහභාගි වූහ. සහභාගි වූ ක්‍රියාධරයන්ගේ සංඛ්‍යාව 125ත් 150ත් අතර විය හැකිය. මාගේ කතාවෙන් පසු දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදුවිය. ඒවාට පිළිතුරු දීමෙන් පසු අවසානයේදී ඔවුන් අමතා අප ගොඩනගමින් තිබෙන සමාජ ව්‍යාපාරයට එකතුවීමට කැමති අය සිටී නම් අත් ඔසවන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ සියලුදෙනා (සමහරු අත්දෙකම) ඔසවා ව්‍යාපාරයට එකතුවීමට සිය කැමැත්ත පළ කළෝය. මෙම වැඩසටහන නිරීක්ෂණය කිරීමට පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයෝ තිදෙනෙක් පැමිණ සිටියෝය. එක් අයෙක් මා සමඟ පැමිණි අබේසේකරය. තවත් පුද්ගලයෙක් ආචාර්ය උපාධිධාරී වාරි ඉංජිනේරුවෙකු වූ සුමනරත්නය. තෙවැන්නා උගත් ව්‍යාපාරිකයෙකු වූ දිසානායකය. දිසානායක සමඟ මැලේ උගතෙක්ද පැමිණ සිටියේය. ඔහු ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයක උපදේශකයකු ලෙස සේවය කොට දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ආචාර්ය උපාධිධරයෙකි. එය අප ගොඩනගමින් තිබෙන පුනරුද ව්‍යාපාරය මුස්ලිම් ජනයා අතර උරගා බැලීමකට ලක්වූ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මට එම වැඩමුළුවට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලද්දේ කලකට ඉහතදී රාවය විසින් දෙමළ භාෂාවෙන් පළකළ ආදවන් පුවත්පතේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ මාධ්‍යවේදියකු වන එම්. රහුමාන් විසිනි. පුනරුද ව්‍යාපාරය පිළිබඳ දෙමළ ආකල්පයද ඉක්මනින් උරගා බලන තත්ත්වයකට පත්වනු ඇතැයි සිතිය හැකිය.

පුනරුද ව්‍යෘපාරයට එකතුවීමට කැමැත්ත පළකරමින් සිටින අයගේ සංඛ්‍යාව ඉතා විශාලය. ඒ අය අතර උගත් වෘත්තිකයන්ගේ අනුපාතිකය ඉහළ මට්ටමක පවතී. ඉල්ලුම් කරන්නන් අතර කලක් යුරෝපා රටවල ජීවත්වී දැන් මෙහි ජීවත් වන්නන්ගේ අනුපාතිකයද කැපීපෙනෙන තත්ත්වයක පවතී. එංගලන්තයේ ජීවත්වන ලංකාවේ කාර්මික ඉංජිනේරුවෙකු (තුෂාර විතාන) සෝමානන්ද හිමියන්ටද, මටද දුරකතනයෙන් කතාකොට අපේ ආස්වාදයට හේතුවන ප්‍රවෘත්ති අපට ලබාදුන්නේය. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගන්නට පෙර අධ්‍යාපනය ලබා තිබුණේ මාතර සාමාන්‍ය පාසලකිනි. ඔහු මාතර දුප්පත් පවුලකින් පැවත එන්නෙකු බව කීවේය. තමන් විශ්වවිද්‍යාලයේ සිටියදී දේශපාලනයට සම්බන්ධ කෙනෙකු නොවූ බවත්, එහෙත් හැමදාකම හොඳ රාවය පාඨකයකු වූ බවත්, මා ලියා තිබෙන බොහෝ පොත්පත් ඔහු කියවා තිබෙන බවත්, සමාජ ව්‍යාපාරය ගැන පළවූ ලිපිපෙළ සිය මිතුරන් අතර බෙදාගනිමින් එහි එන අදහස් හැම සති අන්තයකම ඔවුන් සමඟ කතාකළ බවත්, විසිදෙනෙකුගෙන් පමණ සමන්විත එම එකතුවට සිංහල නොවන ලංකාවේ දෙමළ අයද සිටින බවත් අවසානයේ එම කණ්ඩායම පුනරුද ව්‍යාපාරයේ එක්සත් රාජධානියේ තිබෙන ශාඛාවක් ලෙස ක්‍රියාකිරීමට එකඟ වූ බවත් ඔවුන්ට ලංකාවේ පුනරුද ව්‍යාපාරයේ ප්‍රගමනය වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබෙන බවත් කියා සිටියේය. පුනරුද ව්‍යාපාරය ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ හෝ පමණක් නොව දැනටමත් විදේශ රටවල ජීවත්වන ලාංකිකයන්ගේද ආකර්ෂණයට හේතුවී තිබෙන බව ඉන් පෙනීයයි.■