Monday, 21/8/2017 | 3:44 UTC+0
රාවය

අලුත් අවුරුද්දේ අභියෝගය

අවුරුදු දෙකකට පෙර 2015 අවුරුද්ද ලංකාවට උදා වුණේ හැම අතින් ම අත්තනෝමතික, විනාශකාරී පාලනයකට එරෙහි ජනතා නැගිටීමක කූටප්‍රාප්තිය සටහන් කරමිනි. අවුරුද්ද උදා වී දවස් අටක් ගෙවී යන විට, කළ නොහැකි බවට සමහරුන් කී දේවල් බොහොමයක් සිදු වී තිබිණ. දිවි ඇති තෙක් රට පාලනය කරන්නට සූදානම් වුණු අධිකාරිවාදී පාලකයකු බලාපොරොත්තු විරහිත ව සිහසුන අතහැර නිවෙසට යන තැනට වැඩ සැලසී තිබුණේ ය. ඒ අමාරු කාර්යය කන්නට හැකිවුණේ, තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක ලා එකඟ විය හැකි පොදු කාරණාවලට පමණක් එකඟ ව රටේ මිනිසුන් එක් ව වැඩ කළ නිසා ය. වාර්ගික, ආගමික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් වෙනස් පසුබිම් සහිත එවැනි පිරිසකට පොදු කාරණා තිබිය හැක්කේ සුළු ප්‍රමාණයකි. වැදගත් වන්නේ ඒ කාරණාවලට වුව එකඟ වන්නට සියල්ලන් දැක්වූ කැමැත්තයි. ඒ පොදු කාරණා අතර ප්‍රධාන වුණේ පැවති අත්තනෝමතික පාලනය බිඳ දැමීමයි. ඒ කාර්යය ඉටු කිරීමෙන් පසු, නැවතත් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව පුද්ගලයන් හා සංවිධාන හැසිරීම අලුත් දෙයක් නොවේ. එය ඉතිහාසයේ විගඩමක් ද නොවේ. දේවල් සිදුවන හැටි ය. ඉන් පසු ඇතිවන නිදහස් දේශපාලන අවකාශය උපයෝගි කරගෙන, රටේ ඉදිරි ගමන ගැන තමන්ගේ වෙනස් අදහස් මත පිහිටා සංවාද, සාකච්ඡා කර, විය හැකි පරිදි එකඟ වන්නට පොදු සම්මුතියක් ඒ හැමෝ ම තුළ තිබුණේ ය.
අවුරුදු දෙකක් ගත වන අද ඒ නිදහස් දේශපාලන අවකාශය උදා වී නැතැ’යි කියන්නට බැරි ය. අදහස් ප්‍රකාශ කිරීමත්, විරුද්ධ වීමත්, විරුද්ධ ප්‍රතිචාර දැක්වීමත්, විවේචනය කිරීමත් අද නිදහසේ සිදුවෙයි. රාජ්‍ය පාලනය ශක්තිමත් නොවන්නේයැ’යි සමහරුන් කියන තරමට ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අද විවෘත වී තිබේ. එය යහපත් නොවන්නේ ද? රාජ්‍ය බලයේ කිසියම් සීමාවක් පෙනෙන විට එහි තේරුම, එතැන් සිට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත් වීම බව අප තේරුම් ගත යුතු ය. ඒ අවකාශය පුළුල් කර ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඒ අසීරු මොහොතේ එය උදා කර ගැනීමට සමහර විට ජීවිතය වුණත් පරදුවට තබා මහන්සි වූ පිරිසට ය. හුදු විචාරකයන්ට නොවේ. අවුරුදු දෙකකට පෙර සිදුවුණේ එක්තරා ආකාරයක විප්ලවයකි. එය කිසිවක් නැති සියඹලා මල්ලක් නොවන බව තේරුම් ගත යුතු ය.
එහෙත්, ගතවුණු අවුරුදු දෙක ගැන සෑහීමට පත්වන්නට කාටවත් බැරි ය. 2015 මැතිවරණ අවුරුද්දක් ලෙස ගෙවී ගිය අතර, 2016 වැදගත් කිසිවක් සිදු නොවී ගලා ගියේ ය. 2017ට එහෙම යන්නට බැරි ය. එය වෙනසක් සඳහා වූ මහජන අභිලාෂයන් ඉටු කළ යුතු ම අවුරුද්දකි. කවුරු මොනවා කිව්වත්, ඒ බලවත් වෙනස්කම් සඳහා අවශ්‍ය පාලන ශක්තිය ආණ්ඩුවට තිබේ. ආණ්ඩුව හරි මඟ යන්නේ නම්, ඊට එක සිතින් සහාය දීමට කැමති ලක්‍ෂ හැට දෙකකට වැඩි ජනතා බලයක් ද තවමත් ආණ්ඩුවට පිටතින් තිබේ.
ඒ නිසා මේ වනාහි, ආණ්ඩුව අම්ල පරීක්‍ෂාවට ලක්වන අවුරුද්දයි. ඒ පරීක්‍ණයෙන් සමත්වන්නට වුවමනා තරම් ශක්තිය ද, බලසම්පන්නභාවය ද, වටාපිටාවේ සහාය ද ආණ්ඩුවට තිබෙන නිසා, ඒ සියල්ල එක් අරමුණක් වෙනුවෙන් සමායෝජනය කිරීමේ භාරය ඇත්තේ තමන්ට බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තේරුම් ගත යුතු ය.
මේ ආණ්ඩුවට ලැබී ඇත්තේ භාරකාර බලයක් මිස අයිතිකාර බලයක් නොවේ. ඒ භාරකාරත්වය දී ඇත්තේ තම යුක්ති සහගත වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා තාවකාලික ව, මහජනතාව විසින් ය. ඒ මහජන වුවමනාවන් ඉතා විශාල ය. ඒ වුවමනාවන් ඉටු කරන්නට බලවත් දේශපාලන අධිෂ්ඨානයක් ආණ්ඩුවේ නායකයන්ටත් සෙස්සන්ටත් තිබිය යුතු ය. ඒවා ඉටුකර ගන්නට හැකි වුවහොත් මේ දේශපාලනඥයන්ට, ලංකාවේ ඉතිහාසයේ තමන්ගේ නම් සටහන් කරගන්නට හැකි වනු ඇතිවා පමණක් නොව. ජාත්‍යන්තර වේදිකාවේ ද නම කියැවෙන නායකයන් බවට පත්විය හැකි වනවා ඇත.
දැන් අවශ්‍ය වන්නේ වැඩ කිරීමයි. නිවැරදි ව වැඩ කිරීමයි. අන්තවාධීට බිය නොවී අවශ්‍ය නිර්භය තීන්දු තීරණ ගැනීමයි. කළ යුත්තේ කුමක්දැ’යි අලුතෙන් විස්තර කළ යුතු නැති මට්ටමට ම පොදු සම්මුතියක් අප හැම තුළ පවතියි. තමන්ගේ පරණ අඩුපාඩුකම් ගැන අවංකව කනගාටුවට පත්වනවා නම්, ආණ්ඩුව කළ යුත්තේ මේ අවුරුද්ද පසුගිය අවුරුදු දෙකෙන් කැඩී වෙන්වන අවුරුද්දක් ලෙස මහජනයාට භාවිතයෙන් ම පෙන්වීමයි.

About