අස්ගිරි නාහිමියන් නොමඟ යවන්නේ කවුද?


janaranjana

කේඩබ්ලිව් ජනරංජන

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මල්වතු- අස්ගිරි පන්සල්වල මහානායක හිමිවරුන් බැහැදකින්නට ගියේය. ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ මහානායක හිමිවරු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන තමන්ගේ නිකායේ අදහස් ඇතුළත් ලිපි දෙකක් අගමැතිවරයාට බාරදුන්හ. මල්වතු නායක හිමියන්ගේ ලිපිය පවතින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ඇති සැකසංකා මුල්කොට ගෙන, ඒ ගැන විමසමින් ලියන ලද්දකි. එහෙත් එහි මූලික අරමුණ, උතුරට වැඩි බලයක් පැවරීම ගැන සිය කනස්සල්ල පළකිරීමයි.
‘උතුරේ ඇතැම් දේශපාලකයන් විසින් හා අන්තගාමීන් විසින් පවරා දෙන්නැයි ඉල්ලා සිටින බොහෝ බලතල පවරා දීමට පෙරාතුව එයින් දීර්ඝකාලීනව ඇතිවිය හැකි අනිටු පලවිපාක පිළිබඳව බුද්ධිමත්ව කරුණු විමසා බලා කටයුතු කළ යුතුව පවතින බව අවධාරණය කරමි’යි එහිමියෝ සිය ලිපියෙන් කියති. මල්වතු නාහිමියන්ගේ ලිපියෙන් පෙනෙන්නේ, බලතල පවරාදීම නිසා අනිටු පලවිපාක ඇතිවන බවටත්, බලය ඉල්ලා සිටීම උතුරේ අන්තවාදීන්ගේ වුවමනාවක් හැටියටත් එහිමියන් සිතන බවය. පසුගිය කාලය පුරාම, රටේ වැදගත් ප්‍රශ්න පිළිබඳව සාපේක්‍ෂව ප්‍රගතිශීලී මතයක සිටි මල්වතු මහනායක හිමියන්, බලය බෙදීම ගැන මේ දක්වන කනස්සල්ල මත, පසුගිය කාලයේ බලය බෙදීමට එරෙහිව නැගී ආ අදහස්වල සෙවණැල්ලක් වැටී තිබෙන බව පෙනෙයි. එහෙත් එහිමියන්ගේ යෝජනාව මෙසේය.: ‘.. ඉහතකී කරුණු සම්බන්ධයෙන් මධ්‍යස්ථව කරුණු අධ්‍යයනය කොට දේශපාලකයන්ට අමතරව රටේ අනෙක් අපක්‍ෂපාතී මධ්‍යස්ථ වගකිවයුතු පිරිස් සමඟ මැදහත් කථිකාවක් පවත්වා ජාතියේ ආගමේ ඓතිහඑාසික උරුමයන්ගේ චිරපැවැත්ම හා අභිවර්ධනය පිණිසත් ජාතික ආගමික සහජීවනය හා සංහිඳියාව පිණිසත් බුද්ධිමත්ව කටයුතු කිරීමට වගබලා ගැනීම රටේ හා ජාතියේ දීර්ඝකාලීන යහපැවැත්මට හේතුවනු නොඅනුමානය.’ මේ මගින් මල්වතු මහනාහිමියන් තවදුරටත් සංවාදයකට අවකාශය තබා ඇති බව පෙනෙයි.
‘වර්තමාන ලංකාව විවිධ ජාතීන්ට, විවිධ ආගම්වලට, විවිධ දේශපාලන න්‍යායන්ට, විවිධ ගතිපැවතුම්වලට, අයත් සංකීර්ණ භින්නරුචික සමාජයකින් යුක්ත වීම නිසා හුදු ජාතිවාදී ආගම්වාදී පක්‍ෂවාදී පටු ආකල්පයන්ට කොටුවී ආවේගශීලීව වර්තමාන අභියෝග ජයගැනීම කළ නොහැකි බව අප පිළිගන්නා නමුත්, රටේ ඒකීය ව්‍යුහයේ චිරපැවැත්මට, ජාතික ආගමික සංහිඳියාවට හා සහජීවනයට හානිකර පරිදි කරුණු යෙදෙමින් පවතින්නේ නම් ඒවා කිසිසේත් අපට අනුමත කළ නොහැකියැ’යිද එහිමියෝ කියති. ඇත්ත වශයෙන්ම ලංකාවේ ඒකීයභාවයට, ජාතික ආගමික සංහිඳියාවට හා සහජීවනයට හානිකර වන කිසිම දෙයක් දැන් සිදුවන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ස්ථානය වුණත්, මීළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී වෙනස්වනු ඇතැ’යි සිතිය නොහැකිය.
එහෙත්, එහිමියන් කියන සංහිඳියාව සහ සහජීවනය පවත්වාගෙන යෑමට, රටේ මධ්‍යය හා පරිධිය අතර බලය බෙදීමක් නම් කළ යුතුමය. 1950 දශකයෙන් ඇරඹී සාමකාමී උපායමාර්ග හරහා ගොඩනැගුණ දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පසුව සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වී අවසානයේ සිංහල දෙමළ මුස්ලිම් ආදි සෑම ජාතියකටම විනාශය ලබාදුන් මහා ලේ ගැලීමකින් පසු 2009දී තාවකාලිකව අවසන් වුණු බව අලුතෙන් කිවයුතු නැත. තාවකාලිකව අවසන්වුණාය කිව්වේ, එවැනි විනාශයක රෝග ලක්‍ෂණ අප අවසන් කළ නමුත්, රෝග නිදානය තවමත් එසේම පවතින බැවිනි. ඒ රෝග නිදානයට අවශ්‍ය ප්‍රතිකාර නොකළහොත්, යළිත් මේ රටේ විශාල සමාජ ව්‍යසනයන් ඇතිවීමට තිබෙන ඉඩකඩ ගැනත් අලුතෙන් කිවයුතු නැත. රෝග නිදානයට පිළියම් කිරීම වූ කලි, දෙමළ, මුස්ලිම්, සිංහල ජනවර්ගවල ජනතාවට සෑම අතින්ම සමාන අයිතිවාසිකම් හා පිළිගැනීමක්, ගෞරවයක් හිමිවන තත්ත්වයක් ඇතිකිරීමයි. එය හුදෙක්, දැන් ඔන්න අපි ඔක්කොම සමානයි යනුවෙන් කී පමණින් ඇතිවන්නක් නොවේ. ඒ සඳහා කළ හැකි එකම දෙය, දෙමළ මිනිසුන්ට (මෙන්ම සිංහල හා මුස්ලිම් මිනිසුන්ටත්) පිළිගත හැකි බලය බෙදීමකට යෑමයි. බලය බෙදන්නේ රට එකක් ලෙස තබාගැනීමටය. බලය බෙදුවහොත්, ඒ ඒ පළාත්වල අනන්‍යතාව හා විවිධත්වය ආරක්‍ෂා කරගනිමින් එක රටක් ලෙස ඉන්නට අපට හැකිවෙයි. බලය නොබෙදුවොත්, යළිත් සිදුවනු ඇත්තේ රට ආපස්සට හරවමින්, රටෙන් කෑලි කඩා ගැනීම සඳහා අවකාශයක් නැවතත් තනාදීමයි. එනිසා රටේ ඒකීයභාවය ගැන සද්භාවයෙන්ම උනන්දු වන මල්වතු මහනාහිමියන් වැනි අය, රටේ පාලකයන්ට බලපෑම් කළ යුත්තේ රට තුළ සාධාරණ බලය බෙදීමක් කරන ලෙසටය. බලය බෙදීම යනු, යුද්ධයේදී දිවි පුදා බේරාගත් රට දියවන්නාව හරහා යළිත් පාවාදීමක් හැටියට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඔහු වටා සිටින විවිධ ගිහි පැවිදි පිරිස් දරන අදහස හැම අතින්ම අන්තවාදී, යළිත් රට විනාශය වෙතම තල්ලු කර දමන එකකි.
තමන්ගේ ප්‍රදේශවල තීන්දු තීරණ ගැනී්මේ අයිතිය ඒ ඒ පළාත්වලට ලැබෙන විට, ඉන් ලැබෙන ගෞරවය ගැන සතුටුවන ඒ ඒ පළාත් තවදුරටත් මධ්‍යම ආණ්ඩුවත් සමඟ එකට සිටීමට පෙළෙඹෙනු ඇත. ලෝකයේ අත්දැකීම එයයි. එහෙත්, පළාත්වලට බලය බෙදීමක් නොකර සිටියහොත් නුදුරු අනාගතයේ අපට දැකිය හැකිවන්නේ බලය ඉල්ලා යළි සටන් මගට බහින පිරිසකි. එවැනි වාතාවරණයක් යටතේ, මධ්‍යස්ථවාදීන්ට ඉඩක් නැතිවනු ඇත. ජයගනු ඇත්තේ අන්තවාදයයි. විනාශයයි. එනිසා, සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ම තේරුම්ගත යුත්තේ, අන්තවාදයට, විනාශයට ඉඩ නොතබන, එක් ජාතියක්, එක් රටක් සහෝදරත්වයෙන් නිර්මාණය කරගන්නට නම්, බලය බෙදීම ගැන අප විශ්වාසය තැබිය යුතු බවය. මල්වතු මහනාහිමියන් මේ ඇත්ත හොඳින් දන්නවා ඇත. ඒ නිසා, දේශපාලකයන් මෙන්ම සමාජයේ දැනුම් තේරුම් ඇති අයද සහභාගිවන සංවාදයක් සඳහා එහිමියෝ විශ්වාසය තබති. සංවාදය වනාහි මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි මෙවලමකි. මල්වතු නාහිමියන්ගේ ලිපියෙන් ආණ්ඩුව තේරුම්ගත යුත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සංවාදය වඩාත් ඉහළ මට්ටමෙන් රට තුළ ඇරඹිය යුතු බවය.
එහෙත්, අස්ගිරි මහනාහිමියන් අගමැතිවරයාට දුන් යෝජනා ඇතුළත් ලිපිය නම්, පැහැදිලිවම සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ බලපෑමට හසුවූවක් බව පෙනෙයි. විශේෂයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සිය ලිපියෙන් එහිමියන් ඉදිරිපත් කරන යෝජනා පසුගිය කාලය පුරාම සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් රට පුරා පතුරවන්නට උත්සාහ දරමින් සිටින යෝජනාම වෙයි. වෙනත් විදියකට කිවහොත්, අස්ගිරි නායක හිමියන් කර ඇත්තේ, මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒ ස්වෝත්තමවාදී ගිහි පැවිදි කණ්ඩායම්වලට එහිමියන්ගේ කටහඬ පාවිච්චි කරන්නට ඉඩ දීමයි.
අගමැතිවරයාට දුන් ලිපියේ එක් යෝජනාවක් හැටියට එහිමියන් සඳහන් කරන්නේ, ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුය යන්නයි. පෙර කී පරිද්දෙන්ම මේ අවස්ථාවේදී ලංකාව ඒකීය රටක්ය යන අදහසට විරුද්ධව යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනසක් ඇතිවන්නට ඉඩක් නැත. දෙමළ සන්ධානය වුණත්, පසුගිය කාලය පුරාම කියා සිටියේ, වචනවල පැටලී සිටින්නට තමන්ට වුවමනාවක් නැති බවය. එහෙත්, අස්ගිරි නාහිමියන් කියන්නේ ඒකීය රාජ්‍යයක් පවත්වාගැනීමට බාධා වන 13වැනි සංශෝධනයේ ඇති අහිතකර විධිවිධාන ඉවත්කිරීමට පියවර ගත යුතු බවයි. පළාත් දෙකක් එකතු කිරීමට අදාළව 13වැනි සංශෝධනයේ ඇති විධිවිධාන ඉවත් කළ යුතුයැයි කියන එහිමියන්, ඉන් නොනැවතී කියන්නේ පළාත් සභාවලට පවරා ඇති පොලිස් හා ඉඩම් බලතලද ඒවායේ විෂය පථයෙන් ඉවත් කළ යුතු බවයි. 13 වැනි සංශෝධනය තිබෙනවාටත් වඩා ආපස්සට ගැනීමට යෝජනා කරන මෙම කාරණා නම්, පසුගිය කාලය පුරාම සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ මුවග රැව් දුන් ඒවාම වෙයි. දෙමළ ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට යන්නට නම්, පළාතේ ඉඩම් හා නීතිය හා සාමය රැකීමේ බලතල පළාත් සභාවලටම පැවරිය යුතුයැයි කියන අදහස පැනනැග ඇත්තේ අද ඊයේක සිට නොවේ. ව්‍යවස්ථාවෙන් දැනටමත් පළාත් සභාවලට හිමිව ඇති ඉඩම් හා පොලිස් බලතල, පසුගිය කාලයේදී පළාත් සභාවලට පවරා නොදුන්නාට අමතරව නැවතත් ඒවා උදුරා ගන්නට ගියහොත්, අප යනු ඇත්තේ විනාශයේ මුල් අදියරටමය. ප්‍රශ්නය විසඳීමේ දෙසට නොව, ප්‍රශ්නය යළිත් ඇවිළවීමේ දෙසටය.
දෙවනුව එහිමියන් කියන්නේ, පළාත් සභාවල නීති සාමාන්‍ය බහුතර ඡන්දයකින් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට බලය දිය යුතු බවය. සාමාන්‍ය බහුතරය යනු කුමක්දැයි එහිමියන් හොඳින් දන්නවා ඇත. සාමාන්‍ය බහුතරය කියන්නේ. පාර්ලිමේන්තුවේ එදින පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක (භාගයකට වැඩි වත් නොවේ.) ඡන්දයයි. පළාත් සභාවක් විසින් පැනවූ නීතියක්, පාර්ලිමේන්තුවේ යම් දිනයක පැමිණ ඉන්නා මන්ත්‍රීවරුන් කීප දෙනාගේ බහුතරයකින් වෙනස් කළ හැකි නම් පළාත් සභා තිබිය යුත්තේ කුමකටද? රුපියල් බිලියන ගණනින් වියදම් කරමින් ඒවා නඩත්තු කළ යුත්තේ මොනවාටද? කවුරුන් හෝ කියාදුන් පමණින් මෙවැනි ප්‍රාථමික අදහස් තමන්ගේ නමින් ඉදිරියට දැමීම මහානායක ධුරයක ගෞරවයට හා ප්‍රඥාසම්පන්න බවට කිසිසේත් ගැළපෙන්නේ නැත.
සිය ලිපියෙන් අස්ගිරි මහනාහිමියන් කෙතරම් අන්තයකට ගමන් කර ඇද්දැයි කියනවා නම්, එහිමියන් තවදුරටත් යෝජනා කරන්නේ, ‘පළාත් සභා පාලනයේ විධායක බලය මධ්‍යම රජයේ විධානය යටතේ පැවතිය යුතුය. ආණ්ඩුකාරවරුන් පත්කිරීම මධ්‍යම රජයෙන් සිදුවිය යුතු අතර, මධ්‍යම විධායකයේ පාලනය යටතේ ඔවුන් ක්‍රියාත්මක විය යුතුය’ කියාය.
පසුගියදා පාර්ලිමේන්තුවේ ‘කේන්ද්‍රය හා පරිධිය අතර සම්බන්ධය පිළිබඳ’ අනුකමිටුවේදී පළාත් සභා නවයේම මහඇමතිවරුන් හා විපක්‍ෂ නායකවරුන් සියලු දෙනාම එකඟවූ මූලික කාරණයක් වන්නේ, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුවිය යුතු බවය. දැනට පළාත් ආණ්ඩුකාරවරයා. ජනාධිපතිගේ තනි කැමැත්තට පත්කරන අතර, ඔහුට පළාත් සභාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් අතිවිශාල බලයක් ලැබේ. ඊට සාපේක්‍ෂව මහජන ඡන්දයෙන් තේරී පත්වන පළාත් සභා නියෝජිතයන්ගේ බලය සංකෝචනය වෙයි. අප බලය බෙදාහැරීමක් ගැන විශ්වාසය තියනවා නම්, මහඇමතිවරුන්ගේ අදහස සමඟ එකඟවීමට සිදුවෙයි. එනම්, ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කිරීමයි. දැන් අස්ගිරි නාහිමියන්, ‘ආණ්ඩුකාරවරුන් මධ්‍යම විධායකයේ පාලනය යටතේ ක්‍රියාත්මක වියු යුතු’ බව කියන විට, පවතින තත්ත්වයන්වත් නොබලා, අන්තවාදීන්ගේ වුවමනා එපාකම්වලට එහිමියන් යටත්වී ඇති බවක් පැහැදිලිව දර්ශනය වේ. තවදුරටත් එහිමියන් ලිපියෙන් යෝජනා කරන්නේ පළාත් සභා පවතින තුරු සමගාමී ලැයිස්තුව අහෝසි නොකළ යුතු බවය. මේ ද පළාත්වලට බලය බෙදීමේ සංකල්පයට එරෙහිව යන්නකි. මධ්‍යම ආණ්ඩුවට අයත් විෂය ඇතුළත් සංවෘත ලැයිස්තුවත්, පළාත් සභාවලට අයත් විෂය ඇතුළත් පළාත් සභා ලැයිස්තුවත් හැරුණු විට ඒ දෙකටම නැති සමගාමී විෂය ලැයිස්තුවක් හැදීම බලය බෙදීමේ විෂයේදී සැලකෙන්නේ නොකළ යුත්තක් හැටියටය. ප්‍රායෝගිකව සමගාමී ලැයිස්තුව නිසා පළාත් සභාවල පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්වුණු අතර, සමගාමී ලැයිස්තුව හරහා පළාත් සභා විෂය පරාසයට ඇතුළුවීමට මධ්‍යම ආණ්ඩුවට හැකිවීමෙන් බලය බෙදීමේ අදහසටත් හානි සිදුවිය. මේ නිසා අනාගතයේදී සමගාමී ලැයිස්තුව ඉවත් කොට එහි ඇති විෂයන් එක්කෝ සංවෘත ලැයිස්තුවට හෝ පළාත් සභා ලැයිස්තුවට එකතුකළ යුතුය යන්න විද්වතුන්ගේ අදහසයි. මහනායක හිමියන්, ඒ කිසිවක් නොදැන සමගාමී ලැයිස්තුව තබාගන්නට යයි කියන විට පෙනෙන්නේද කරුණු හරිහැටි පෙන්වා නොදී කිසිවකු හෝ විසින් එහිමියන් නොමග යවා ඇති බවයි.
දැනට පවතින අධිකරණ පද්ධතියෙන් බැහැරව ව්‍යවස්ථා අධිකරණයක් නොපිහිටුවිය යුතුයැයි නාහිමියන් සිය ලිපියෙන් කියන විට මතක් වන්නේ පහුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නව ව්‍යවස්ථාවක් ගැන නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. එහි අංක 7 යටතේ මහින්ද රාජපක්‍ෂ කියන්නේද මේ කතාවමය. ව්‍යවස්ථා අධිකරණයක් අවශ්‍ය වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න පැනනැගුණු විට ඒවා විසඳීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥ ඥානය අවශ්‍ය නිසාය. දැනට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රශ්න විසඳන්නේද ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. එම අධිකරණය එවැනි කරුණු සම්බන්ධයෙන් ගත් තීන්දු ප්‍රමාණවත් විශේෂඥභාවයක් නැතිව ගත් ඒවා බව පසුගිය කාලයේදී යහමින් ඔප්පු විය. ඒ වාගේම පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ව්‍යවස්ථාමය නොගැළපීම් පැනනගින විට ඒ ගැන අර්ථකථනය කිරීමටද එවැනි අධිකරණයක් වැදගත්ය. ව්‍යවස්ථා ගැටලු සඳහා ඒ ගැනම විශේෂ දැනුමක් ඇති වෙනම අධිකරණයක් පිහිටුවන්නට නාහිමියන් විරුද්ධ ඇයි? එවැන්නකින් වන අයහපත කුමක්ද? ව්‍යවස්ථා අධිකරණයක් යනු යකෙකු හැටියට පෙන්වන්නට විනාශකාරී උත්සාහයක් ගන්නේ මහින්ද රාජපක්‍ෂත් ඔහු වටා ඉන්නා අන්තවාදී පිරිසත්ය. නාහිමියනුත් ඔවුන්ට අහුවුණාද?
ලංකාව දැන් පැමිණ ඇත්තේ වැදගත් සන්ධිස්ථානයකටය. එක රටක්, එක ජාතියක් හැටියට ලංකාව ඉස්සරහට යන්නට නම්. මහජාතිය විසින් සුළු ජාතිය පාගාගන්නා පරණ පුරුද්දෙන් මිදී හැමෝටම සමබිමක් හදාගැනීම අවශ්‍යය. ඒ සඳහා බලය බෙදාගැනීම වැදගත් සාධකයකි. ඒ ඉතිහාසගත කාර්යය කරන්නට හදන විට රාජපක්‍ෂ පාර්ශ්වයේ අන්තවාදීහු හැකි හැම අයුරකින්ම ඒ වෙනස්කම්වල කකුලෙන් ඇද රට ආපස්සට ගැනීමට තැත්දරති. ඒ ඔවුන්ගේ බලලෝභය සඳහාය. ඒ පාර්ශ්වයේ පිරිස් හැමතැනම සිටිති. අස්ගිරි පාර්ශ්වය තුළද සිටිය හැකිය. මහානායක හිමියන් එවැන්නන්ගේ බහට මුලාවී, රට ඉදිරියට ගෙනයනු වෙනුවට ආපස්සට අදින බලවේගයකට නතුවීම නම් අස්ගිරි පාර්ශ්වයට පමණක් නොව, ලෝකයේ අතිශය විචාරශීලී සමානාත්මතා දහමක් දෙසූ බුදුහිමියන්ගේ ධර්මයටද අගෞරවයකි. ■