ජීඑල්ට මහින්දට 2000 අමතකද?

මනුවර්ණගේ සතිය

අලුත් ව්‍යවස්ථාවේ තිබෙන කාරණා හැටියට, පාර්ලි මේන්තු අනුකමිටු වාර්තා පෙන්වමින් ජනතාව නොමඟ යවන මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වන්නේ විශාල මකරකු හැටියටය. ඒ මකරාට ඉඩ දුන්නොත් ඌ පැමිණ, ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් හා දකුණු බස්නාහිර පළාත් එකිනෙකින් කඩා වෙන්කොට රට දෙකඩ කරනු ඇතිය යන්න ඔවුන් ජනතාව හමුවේ මවා පෙන්වන මායාවයි. ‘ඔන්න රට බෙදන්න යනවෝ’ දැන් ඔවුන්ගේ දෛනික මන්ත්‍රයයි.
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ජනවාර්ගික ආරාවුලට බලය බෙදා විසඳුමක් දෙන්නට යන විට ශ්‍රීලනිප ප්‍රමුඛ විපක්‍ෂය විරුද්ධ වීමද, ශ්‍රීලනිප ආණ්ඩුව බලය බෙදන්නට යන විට එජාපය ප්‍රමුඛ විපක්‍ෂය ඊට විරුද්ධ වීමද අප අත්දැක ඇති දෙයකි. 1957දී, 1965දී, 1987දී නැවත නැවතත් සිදුවුණේ මෙයයි. දැන් යළිත් සිදුවන්නට යන්නේද එයමයි. මේ අවස්ථාවේදී වැදගත් වෙනසක් තිබේ. පසුගිය කාලය පුරා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ ගෙන අතහැර දැමුවේ (සහාය පක්‍ෂ තිබුණා වුණත්) තනි ශ්‍රීලනිප හෝ තනි එජාප ආණ්ඩුය. එහෙත්, මේ වන විට තිබෙන්නේ සම්මුතිකාමී හවුල් ආණ්ඩුවකි. ඔවුන්, ඒ කියන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම එකතුවී විසඳුම් යෝජනාවලියක් හෙවත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට හදන විට, ඉතිහාසයේ විනාශකයාගේ භූමිකාව දැන් රඟපාමින් සිටින්නේ, එම ප්‍රධාන පක්‍ෂයක කොටසක් වන මහින්ද රාජපක්‍ෂ සහ ඔවුන්ගේ සහචරයන් ඇතුළු අන්තවාදීන් පිරිසත්, ඔවුන්ට සහාය වන ගිහි පැවිදි පිරිසත්ය. පාර්ලිමේන්තුව තුළත් පිටතත් නව ව්‍යවස්ථාව පැරදවීම තම වුවමනාව බව ඔවුහු කියති. වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රවේශය වෙනත් එකකි. ඔහු කියන්නේ, මේ අවස්ථාවේදී ව්‍යවස්ථාවක් වෙනුවට අවශ්‍ය වන්නේ රනිල් පන්නා දැමීම බවයි.
ඉහත දැක්වූ අවස්ථාවලදී ඒ ඒ කාලයේ විරුද්ධ පක්‍ෂයේ සිටි පක්‍ෂය හා බලවේග ආණ්ඩුවේ විසඳුම් යෝජනාවලට විරුද්ධ වුණු බව දැකිය හැකිය. ඒ ඉතිහාස අවස්ථාවලින් අපට මේ මොහොතේ සලකා බැලිය හැකි වැදගත් ව්‍යවස්ථාමය වෙනස්කමක් කරන්නට ගිය තවත් අවස්ථාවක් තිබේ. ඒ, 2000 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතයි.
එදා ඒ සම්පූර්ණ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින්මය. ඒ වන විට තිබුණේ ශ්‍රීලනිපද, වාමාංශික පක්‍ෂද ඇතුළත් පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවකි. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ බර පැවරුණේ එවකට තිබුණු අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයටය. ඒ අමාත්‍යාංශය පිළියෙල කළ ඒ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යයට එදා විපක්‍ෂයේ සිටි එජාපයත් පළමු අදියරේදී ක්‍රියාශීලීව සහභාගි වුණු අතර, ශ්‍රීලනිපයත් එජාපයත් තමන්ගේ දැඩි ස්ථාවර ලිහිල් කරමින් අතරමැද ස්ථාවරවලට එමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්යයට දායක විය. එහෙත්, කෙටුම්පත පාර්ලිමේන්තුවට දමන්නට ඔන්න මෙන්න කියා තිබියදී, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පැත්තෙන් සිය විධායක ජනාධිපති බලතල අතහැරීමට විශාල දායකත්වයක්ද දෙමින් තිබියදී, ඉතිහාසයේ විනාශකාරයාගේ භූමිකාව යළි රඟ දක්වමින් එජාපය සාහසික ලෙස එම ක්‍රියාවලියෙන් ඉවත්විය. අවසානයේ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනුණු විට, එජාපයේ මන්ත්‍රී ඇම්ඩී බණ්ඩාරනායක එම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළදී පුළුස්සා සිය පක්‍ෂයේ විරෝධය පළකළේය. මේ තත්ත්වය මත ව්‍යවස්ථා ක්‍රියාවලිය ආපස්සට ගෙන ඒ වන විට නියම කර තිබුණු ජනමත විචාරණයද අතහැර දමන්නට ආණ්ඩුවට සිදුවිය. ඒ අපට ඉතිහාසයේ මඟහැරී ගිය එක් ආසන්නතම මෙන්ම ස්වර්ණමය අවස්ථාවකි. එදා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩාකප්පල් කළේ එජාපයයි. ඒ ඔවුන්ගේ බලලෝභය නිසාය. යම් හෙයකින් එජාපය ඊට එකඟ වුණා නම්, එම ව්‍යවස්ථාව සම්මත වී අද වන විට ලංකාවේ තිබෙන්නට ඉඩ තිබුණේ සම්පූර්ණ වෙනස් තත්ත්වයකි. සමහර විට විනාශකාරී යුද්ධයේ අවසන් අදියර ඇති නොවන්නටද ඉඩ තිබුණි.
දැන් දෛවයේ සරදමකට මෙන් අලුත් ව්‍යවස්ථාවක් හවුලේ ගෙනඑන්නට සිදුවී ඇත්තේ, එලෙස අතීතයේ එකිනෙකාගේ විසඳුම් ප්‍රයත්නයන්ට පසමිතුරුවී ඒවා කඩාකප්පල් කළ ප්‍රධාන පක්‍ෂ දෙකටම වීම, දෛවයේ සරදමකි. ඒ විදියට බලන විට අද එළැඹ තිබෙන්නේ ඒ ප්‍රධාන පක්‍ෂ දෙකටම සිය පරණ පව් සමාකර ගැනීමේ අවස්තථ වකි. පක්‍ෂ දෙකේ උපරිම ශක්තිය. බලය යොදා, හැකි සෑම එකඟතාවක්ම ඇතිකරගෙන, හැකි සෑම සහයෝගයක්ම අරගෙන නව ව්‍යවස්ථාවක් නීතිගත කරගන්නට හැකි නම්, ඔවුන් පසුගිය දශක පහක පමණ කාලය තුළ කළ සියලු පව් හෝදාගත්තා වාගේ වන්නේය.
ඒ අතර ශ්‍රීලනිපයේම කැබැල්ලක් වන ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථාව මර උගුලක් කියන ස්ථාවරයේ සිටියි. ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුව පත්කළ මන්ත්‍රී අනුකමිටුවල සාමාජිකත්වයද දරමින් එහෙත් අනෙක් පැත්තෙන් ඊට එරෙහිව අන්තවාදී විරෝධයක් පෑම ඔවුන්ගේ පිළිවෙතයි. හරියට, 2000 ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් එජාපය හැසිරුණු ආකාරය වගේමය.
එහි මූලිකයා මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහු වටා සිටින්නන්ට අමතරව සැලකිය යුතු භික්‍ෂූහු පිරිසක්ද මේ අන්තවාදයේ නායකයන් වී සිටිති. ඒ සියලු භික්‍ෂූන්ට පොදු සාධකය නම්, අන්ත ජාතිකවාදී – ආගම්වාදී වීම, ලංකාව මුළුනින්ම සිංහල බෞද්ධයන්ගේ ආධිතප්‍යයට නතුවිය යුතු එකක් ලෙස සැලකීම ආදියයි. අනෙක් පැත්තෙන්, මේ සියල්ලෝම මහින්ද රාජපක්‍ෂගේ ‘රජකම’ ඉතසිතින් පිළිගන්නා අතර, ඔහු යටතේ ලැබෙන හැම වරදානයක්ම ලබාගෙන වහලුන් පිරිසක් ලෙස පසුගිය කාලය ගතකළා වූද, අනාගතයේත් එලෙසින් ජීවිතය ගෙවීමට කැමති වූද පිරිසකි. එක්කෙනෙක් ඇල්ලේ ගුණවංශ හිමිය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ මේ භික්‍ෂුවගේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතනය නම් ආරාමයට සියලු සැපපහසුකම් සැපයුවේ රාජපක්‍ෂ ආණ්ඩුවෙනි. ආරාමයේ ආරක්‍ෂාවට යුදහමුදා භටයන්ද එහි පැය විසිහතරේම මුරට යොදා තිබුණේය. 1983 ජූලි දෙමළ සංහාරයේදී මේ අන්ත ජාතිකවාදී භික්‍ෂුව දෙමළ මිනිසුන්ගේ ජීවිත හා දේපළ විනාශ කිරීමට ජාතිවාදයෙන් වියරු වැටී සිටි මැරයන් මෙහෙයවමින් සිය ආරාමය පිහිටි යාබද බොරැල්ල ප්‍රදේශයේ සිවුරු දරාගත් මැර නායකයකු විදියට හැසිරුණු හැටි රහසක් නොවේ. ඒ ගැන විස්තර දැනගැනීමට කැමති කෙනකුට, මානව හිමිකම් සඳහාවූ විශ්වවිiාලයීය ආචාර්යවරුන් (යාපනය) විසින් ප්‍රකාශිත (2003), රාජන් හූල්ගේ ‘ශ්‍රී ලංකාව, බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහාණිය හා මනුෂ්‍ය ඝාතන’ නම් පොත කියවිය හැකිය. ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ අවාසනාවට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්යැ’යි අදත් ඉදිරියට පැමිණ ඇත්තේ මෙවැනි අශික්‍ෂිත, අපකීර්තිමත් භික්‍ෂු ගණයාය. ව්‍යවස්ථාව මර උගුලක් කියමින් අද වේදිකාවල ආවේගශීලී දේශන පවත්වන්නේ මෙවැනි අන්තවාදීන්ය. මෙවැන් නන්ගේ වෛරක්කාර අතීතයේ හෙළුව මහජනතාවට නැවතත් මතක්කොට, මහජනයා වෙතින්ම ඔවුන් ප්‍රතික්‍ෂෙප කරවීමේ උත්සාහයක් ගන්නටවත් මේ ආණ්ඩුවට කොන්ද පණ නැත. නැතිනම් වුවමනාවක් නැත.
2000 ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ, ඒ ආණ්ඩුවේ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා ජීඑල් පීරිස්ය. අද, මහින්ද රාජපක්‍ෂගේ අන්තවාදයේ බළල් අතක් වන පොදුජන පෙරමුණේ සභාපතිවරයාද ඔහුය. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ කාලයේ චන්ද්‍රිකා ආණ්ඩුවේ ධීවර හා ජලජ සම්පත් ඇමතිවරයාය. 2000 අගෝස්තුවේදී පාර්ලි මේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, පළමුවෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත් ව්‍යවස්ථා කෙටුම්පතයි. කැබිනට් මණ්ඩලයේදී මේ ඇමතිවරුන් දෙදෙනාම (එපමණක් නොව එදා කැබිනට් ම්ණඩලයෙහි සිටි, අදත් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින අනෙක් ඇමතිවරුන් සියලු දෙනාමද) අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අනුමැතිය දෙමින් අත් එසවූහ.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ සමහර කාරණා ගැන දැන් බලමු.
එහි පළමු පරිච්ඡෙදය නම් කර ඇත්තේ ‘ජනතාව, රජය සහ පරමාධිපත්‍යය’ යනුවෙනි. ඒ යටතේ (රාජ්‍යය යන්න අර්ථ දක්වා ඇති) 1වැනි වගන්තිය මෙසේය.
1(1) The Republic of Sri Lanka is one, free, sovereign and independent State consisting of the institutions of the Centre
and of the Regions which shall exercise power as laid down in the Constitution.
1 (2) The State shall safeguard the independence, sove reignty, unity and the territorial intergrity of the Republic and shall preserve and advance a Sri lankan identity, recognizing the multiethnic, multi-lingual and multi-religious character of Sri Lankan society.
මේ වගන්ති දෙකේ දළ අදහස මෙසේය. ‘ශ්‍රී ලංකාව එකක් වන, නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි බලය භාවිත කරන මධ්‍ය සහ පළාත් ආයතනවලින් සමන්විත වේ. ජනරජයේ ස්වාධී නත්වය, ස්වෛරීභාවය, එක්සත්භාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂාකිරීමත්, ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සුරක්‍ෂිත කොට ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකේය සමාජයේ බහුවාර්ගික, බහුභාෂාත්මක සහ බහුආගමික ස්වභාවය පිළිගැනීමත් රජය කළ යුතුය.
2වැනි වගන්තියේ (1)න් කියන්නේ, පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පවතින බවත්, එය අන්සතු කළ නොහැකි බවත්ය. (2)න් කියන්නේ. පරමාධිපත්‍යය යන්න, ආණ්ඩු කිරීමේ බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයෙන් සංයුක්ත වන බවයි. ඒ ව්‍යවස්ථාදායක හා විධායක බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය තවදුරටත් මෙසේ දැක්වෙයි.
‘ජනතාවගේ ව්‍යවස්ථා දායක බලය, ජනමත විචාරණයකදී ජනතාව විසින්ද, පාර්ලිමේන්තුව විසින්ද, පළාත් සභා විසින්ද මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ප්‍රමාණයට ක්‍රියාත්මක කළ යුතුය.
ජනතාවගේ විධායක බලය, අගමැතිවරයාගේ හා අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ක්‍රියාකරමින් ජනාධිපතිවරයා විසින්ද, ඒ ඒ ප්‍රධාන ඇමතිගේ හා පළාත් අමාත්‍ය මණ්ඩලවල උපදෙස් පරිදි ක්‍රියාකරමින් ආණ්ඩුකාරවරයන් විසින්ද ක්‍රියාත්මක කළ යුතුය.’
මේ මූලික කාරණා සලකා බලන විට පෙනෙන්නේ කුමක්ද?
ඒකීය යන වචනය මෙහි සඳහන් නොවේ. ලංකාව මධ්‍ය සහ පළාත් ආයතනවලින් සමන්විත වන බව කෙටුම්පත පිළිගනියි. එනම්, බලය බෙදාහැරීමේ වැදගත්කම එය පිළිගනියි. සමාජයේ බහුවාර්ගික, බහුභාෂාත්මක සහ බහුආගමික ස්වභාවය රජය පිළිගත යුතු බවද එය අවධාරණය කරයි. ඒ වගේම, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව හා පළාත් සභා විසින් ක්‍රියාත්මක කරන බව පිළිගනියි. විධායක බලය ජනාධිපති හා ආණ්ඩුකාර වරුන් ක්‍රියාත්මක කරන නමුත්, ඔවුන් කටයුතු කරන්නේ පිළිවෙළින් අගමැති හා ඇමති මණ්ඩලයේ, ප්‍රධාන ඇමති හා පළාත් ඇමති මණ්ඩලයේ උපදෙස් අනුවය. (අද විධායක බලය තනිවම ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති වරයාය.)
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීමේ ව්‍යුහය ගැන ඉදිරියේදී කතාකරන්නට පෙර, මේ මූලික විධිවිධාන දෙස බැලුවත් පෙනෙන්නේ කුමක්ද? ලංකාවේ බහුවාර්ගික හා බහුආගමික විවිධත්වයට ගරු කෙරෙමින්, පළාත් එකතුවක් හා මධ්‍යම ආණ්ඩුවක් ලෙස පාලනය කෙරෙමින්, එක් රටක් ලෙස පවතින්නට අවශ්‍ය මූලික විධිවිධාන ඒවායේ අඩංගු වුණු බවයි. ඒ අතින් ගත් විට 2000 ව්‍යවස්ථා කෙටුම්පත වනාහි අද අප කතාකරන ව්‍යවස්ථාමය වෙනස්කම්ම ඉදිරියට ගෙනා ඉදිරිගාමී ව්‍යවස්ථා කෙටුම්පතකි.
එහි ඒකීයභාවයක් ගැන සඳහනක් නොවීය. බහුත්වය ගැන සඳහන් විය. අදට වඩා වැඩි බලය බෙදීමක් ගැන සඳහන් විය. ඒ කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේදී අත් ඔසොවා අනුමත කළ, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිධුර දෙකක් දැරූ, මහින්ද රාජපක්‍ෂත්, ජීඑල් පීරිසුත්, මූලික වශයෙන් ඒ හරයම රැගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යව තිබෙන දවසේ අද කියන අන්තවාදී කතා අප තේරුම් ගත යුත්තේ කොහොමද?
හුදෙක් බල ලෝභය සඳහා, රට ජාතිය ආගම දඩමීමා කරගෙන, රට ආපස්සට ඇදගෙන යන විනාශකාරී කතා ලෙස මිස අන් කුමක් ලෙසද? ■