රාවය

යහ පාලන ආණ්ඩුව ගතකළ දෙවසර සහ රටේ අනාගතය

යහ පාලන ආණ්ඩුව ගතකළ දෙවසර සහ රටේ අනාගතය

මහාචාර්ය සරත් විජේසූරිය

යහපත් රාජ්‍ය පාලනයක් අපේක්ෂාවෙන් පැවති රාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කළ රටේ බහුතර පුරවැසියන්ට උරුම වූයේ යළිත් පරණ තාලයේම ආණ්ඩුවක් ද? යහ පාලන ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය විදහා දක්වන්නේ ශීලාචාර ගමනක ඉදිරිගාමී ලක්ෂණ නොවේ. රාජපක්ෂ පාලනයේ පැවති දූෂණ වංචා සම්බන්ධව කතා කිරීමට යහ පාලන ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තව දුරටත් තිබේ ද? යහ පාලනය ගැන කතා කිරීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධිකරණය සම්බන්ධව ආණ්ඩුවේ අතපෙවීම් අණාවරණය කරන්නේ යහ පාලනයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ආණ්ඩුව අවංකව සූදානම් නැති බවයි. ජාතිවාදය සහ ආගමික අන්තවාදය පතුරුවන බලවේග සමඟ ආණ්ඩුව අත්වැල් බැඳගනිමින් සිටින අන්දමක් ද පෙනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්නට තිබෙන මන්දගාමී පිළිවෙත පවසන්නේ පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා ආණ්ඩුවට සැබෑ උවමනාවක් නොමැති බවයි. ආණ්ඩුව ගත කළ වසර දෙක ආවර්ජනය කරන විට 2017 දී සාධනීය තත්වයක් රාජ්‍ය පාලනයේ ඇතිවේ යයි සිතන්නට තරම් සාධක නැත.

සිවිල් සමාජය
රාජ්‍ය පාලනයේ වෙනසක් සිදු කිරීම සඳහා සිවිල් සමාජය කළ කෙංගෙඩියක් නැති බව කුප්‍රකට අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම කටමැත fදාඩවා තිබෙන්නේ අවිනීත අන්දමිනි. එක් පැත්තකින් ශ්‍රීලනිපය නියෝජනය කරන අවස්ථාවාදීන් ද, අනෙක් පැත්තෙන් දූෂණයට පෙම්බැඳ සිටින එජාපය නියෝජනය කරන ඩීල්කාරයන් ද, සිවිල් සමාජය අවප්‍රමාණ කරන්නේ එකම ධජයක් යට සිටගනිමිනි. මේ අතරවාරයේ වෙනසක් පැතූ පුරවැසියන්ගේ කලකිරීම හා සන්තාපය පටවන්නේ ද සිවිල් සමාජයේ උර මතටය. වෙනසක් පැතූ පුරවැසියන් විවිධ අවකාශයන්හි සිවිල් සමාජයෙන් විමසන්නේ පාලකයන් සිවිල් සමාජයට ඇහුම්කන් නොදෙන්නේ ද යන පැනයයි. පිළිතුර කුමක් ද? පිළිතුර නම්, ඇහුම්කන් දෙන නමුත් ලබා දෙන ප්‍රතිඥා කිසිවක් ඉටු නොකරන්නේය යන්නයි. අරමුණ පැහැදිලිය. ආණ්ඩුව යන ගමනට සිවිල් සමාජය දැන් බරපතළ හිසරදයකි. ආණ්ඩුව කටයුතු කරන්නේ කලකිරීමට පත්වී සිවිල් සමාජය පැත්තකට වී සිටිනු දැකීමේ අරමුණින්ය. එය ද අසාර්ථක වුවහොත් සිවිල් සමාජය මර්දනය කිරීමට වුව ආණ්ඩුව පසු බට නොවන තත්වයකට තල්ලු විය හැකි බව සිදු වෙන කටයුතුවලින් සිතා ගැනීමට පුළුවන.
දූෂිතයන් අධිකරණය අබිමුවට පැමිණවීම, ඝාතන සිදු කළ සහ අතුරුදන් කළ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම, සම්බන්ධව සිවිල් සමාජය නැඟූ හඬ නිසා ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්ත ද, අද ඒ කටයුතු අවිනීත අන්දමින් අත්හිටුවීම සහ දූෂිතයන් සහ අපරාදකරුවන් ආරක්ෂා කරන තැනකට ආණ්ඩුව පත්ව සිටියි. සාගල රත්නායක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ලබා දුන් දුරකථන ඇමතුමෙන් ද, යෝෂිත රාජපක්ෂ ‘සාගල අයියාට’ කෘතඥතාව පළ කිරීමෙන් ද, එජාපය 2020 දී බලය අත්පත් කර ගැනීමට අවශ්‍ය මාවතට අවතීර්ණ වී සිටින්නේය යන ශ්‍රීලනිපයේ චෝදනාව සනාථ කර තිබේ. ශ්‍රීලනිපය නඟන චෝදනාවල සත්‍යයක් නොතිබේ නම් අගමැතිවරයා මේ වන විට සාගල රත්නායකගේ ඇමති ලෝගුව ගලවා දමා තිබිය යුතුය.
ආණ්ඩුව ගත කළ වසර දෙක තුළ සිවිල් සමාජය රට වෙනුවෙන්, නීති ගරුක පුරවැසියන් වෙනුවෙන් ඉල්ලා සිටි සාධාරණ ඉල්ලීම් කිසිවක් ඉටු කළේ නැත. ජනාධිපතිවරයා සිවිල් සමාජයට රිදෙන තරමට රාජපක්ෂවාදීන් තමන් වෙත සමීප කරගනිමින්, ඔවුන්ට රිසි අන්දමින් අවලාද නඟන්නට ඉඩ දී සිටීමේ සීමාවක් ද නැත. 2017 වසර තුළ දී ආණ්ඩුව සිවිල් සමාජය සමඟ ලොකු ආරවුලක් ඇති කර ගැනීම අනිවාර්යෙන්ම බලා පොරොත්තු විය හැකි තත්වයකි.

සෝභිත හිමියන් අමතක කිරීම
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජනවාරි 08 වෙනසට පුරෝගාමී වූ බව ආණ්ඩුව අමතක කර තිබෙන අයුරු අතිශයින් ශෝචනීය වේ. උන් වහන්සේගේ අපවත්වීම ආණ්ඩුවට සැනසීමට හේතු වී ඇතැයි සිතෙන අවස්ථා අපමණය. සෝභිත හිමියන් අසාධ්‍යව සිටින විට සුව දුක් බැලීමට රෝහලට පැමිණි අගමැතිවරයාගෙන් උන් වහන්සේ ගෞරවයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිතුමා සමඟ එකට එකතුව, එක්ව තීන්දු තීරණ ගෙන ජනවාරි 08 වෙනිදා ජනතාවට ලබා දුන් පොරොන්දු නොපමාව ඉටු කරන ලෙසයි. ඊට එකඟතාව පළ කළ ද, අගමැතිවරයා තමන්ට අභිමත න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරන බව පෙනේ. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයාට ද දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට අපහසු බව මේ වන විට එතුමා පරාජය කිරීමට කැපවුණ ශ්‍රීලනිපයේ නියෝජිතයන් ගෙන යන අරගලයෙන් විiමාන වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යනුවෙන් සෝභිත හිමියන් නැඟූ හඬ ඔස්සේ පිබිදුණ ජන විඥානයට ආණ්ඩුව පිටුපා කටයුතු කිරීම විශද කරන්නේ සෝභිත හිමියන් සමඟ එකඟතා අවසන්ය යන අදහස විය හැකිය. ඇත්ත එය නම්, ආණ්ඩුව සෝභිත හිමියන් මුළා කිරීමේ අවිනීත කටයුත්ත සිදු කර තිබේ. ඒ අදහස සාවi ද නැද්ද යන්න ආණ්ඩුව 2017 ජනවාරි 08 වෙනිදාට තහවුරු කරනු ඇත.

ගෝඨාභය ආරක්ෂා කිරීම
ජනවාරි 08 සිදු වුණ බල පෙරළියට මුල් වුණ ප්‍රධාන සාධකයක් වන්නේ තිරශ්චීන අන්දමින් සිදුවුණ මනුෂ්‍ය ඝාතන සහ නීති ගරුක පුරවැසියන්ට ඇති කළ මර බියයි. මේ සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අංශ වෙත බරපතළ අන්දමින් චෝදනා එල්ල විය. සාපරාධී මනුෂ්‍ය ඝාතන රට තුළ මහ දවාලේ සිදුවීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු පුද්ගලයෙකු බවට පත් වන්නේය. කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, රවිරාජ් ඝාතනය, ගැන නැවත පරීක්ෂණ සිදු කොට නෛතික පියවර ගැනීම උදෙසා අධිකරණය වෙත ඉදිරිපත් වුව ප්‍රතිඵල කනගාටුදායකය. මේ පරීක්ෂණවලදී චෝදනා ලබන්නේ රජයේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ය. මේ මනුෂ්‍ය ඝාතන සඳහා අණ දී තිබෙන්නේ කවුරුන් ද? ආරක්ෂක අංශවල පුද්ගලයන්ගේ තනි තීන්දු තීරණ මත මේ මනුෂ්‍ය ඝාතන සිදු වූවා විය නොහැකිය.
ගෝඨාභය රාජපක්ෂ අද නිදහසේ රාජ්‍ය පාලනය සඳහා බලය අත්පත් කර ගැනීමේ ව්‍යායාමයක නිමග්නව සිටියි. තමන්ට කිසිදු චෝදනාවක් නැති ස්වරූපයකිනි ඔහු කටයුතු කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනා සිවිල් බලයක් නැති වෙනත් පුරවැසියෙකුට එල්ල වී නම් තත්වය කුමක් විය හැකි ද? යහ පාලන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කරන පිළිවෙත ඉතා පැහැදිලිය. 2017 වසරේ දී ද මේ තත්වයේ කිසිදු වෙනසක් සිදු වේ යයි සිතීම අසීරුය. ජනවාරි 08 වෙනිදා රට අබිමුව තැබූ ප්‍රතිඥා කෙරේ නීති ගරුක පුරවැසියන් තුළ අපේක්ෂාභංගත්වය තව දුරටත් වැඩී වර්ධනය වනු ඇත.

ජාත්‍යන්තරයේ අප්‍රසාදය
ජනවාරි 08 වෙනස සමඟින් ජාත්‍යන්තරය ලංකාවේ රාජ්‍ය පාලනයේ යහපත් වෙනසක් ප්‍රාර්ථනා කළ බව පැහැදිලිය. සැබවින්ම ලංකාවට ශීලාචාර රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අවස්ථාවක් ලබා දීමය ජාත්‍යන්තරය සිදු කර තිබෙන්නේ. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට ලබා දී තිබෙන ප්‍රතිඥා පැහැර හැරීම, රටේ ජනතාවට ලබා දුන් ප්‍රතිඥා පැහැර හැරීමට වඩා වෙනස් ප්‍රතිඵල ඇති කරනු නියතය. අද වන විට සිදු වන දේවල් අනුව නම් 2017 වසරේ දී ලංකාව නැවත ජාත්‍යන්තරය සමඟ විශාල ආරවුලක් හදා ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි බව පෙනේ. ඊට මුල් වන සාධක මොනවට පැහැදිලිය.
ජාත්‍යන්තරය, ජනවාරි 08 වෙනිදායින් පසුව ලංකාවේ රාජ්‍ය පාලනය, රටේ පිළිගත් නීතිය මත සිදු වනු ඇත යන විශ්වාසය ඇති කර ගත් බව පැහැදිලි කරුණකි. මේ නිසා ජනාධිපතිවරයා වෙසෙස් බුහුමනට ද ලක් වන්නේය. එම තත්වය 2017 වසරේදී වෙනස්වීමට ඉඩ තිබේ. අද රටේ සිදුවන දේවල් විමසා බලන විට එය නොවැළැක්විය හැකි තත්වයකි. මෙහි භයානක පැත්ත ආණ්ඩුව කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

සම්මුතිවාදී ආණ්ඩුව
සම්මුතිවාදී ආණ්ඩුව 2017 දි ගබ්සා විය හැකි බවට සාක්ෂි එහි හවුල්කාර ප්‍රධාන පක්ෂ දෙකම පෙන්නුම් කිරීමට පටන් ගෙන ඇත. සම්මුතිවාදි ආණ්ඩුව තුළ සිට, ආණ්ඩුව විවේචනය කරමින් තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවන බවට බරපතළ අන්දමින් අදහස් හා මත පළ කළේ ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන්ය. මෙහිදී එජාපය නිහඬ පිළිවෙතකි අනුගමනය කළේ. ඒ තත්වය 2016 වසර අවසන දී වෙනස් වී ඇත. එජාපයේ මහජන නියෝජිතයන් විවෘතව ශ්‍රීලනිපයේ මහජන නියෝජිතයන්ට ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන ඇත. මේ ප්‍රවණතාව 2017 දී තව දුරටත් වර්ධනය විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනඟා ගැනීමට මුල් වුණ වැදගත් අරමුණු කිසිවක් ඉටු නොකරගෙනම අවසානය කරා ළඟා වීමය. එසේ වුවහොත් ආර්ථිකය ගොඩනැඟීිම මෙන්ම, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ද බරපතළ අර්බුදයකට පත්වනු ඇත. ඒ ඔස්සේ ඇතිවන ව්‍යාකූලතාවන් රාශියකි. රටේ කිසියම් අරාජික තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවීමට හේතුව කුමක් ද?
රාජ්‍ය පාලනයේ දී රහසිගත නූල් සූත්තර අත් කර දෙන්නේ කිසිවිටෙක, කිසිම ආකාරයකින් සාධනීය ප්‍රතිඵල නොවේ. ලංකාවේ මෑත කාලීන දේශපාලනයේ කැපී පෙනුණේම සටකපට නූල් සූත්තරය. සටකපට නූල් සූත්තර ඔස්සේ කරන්නාවූ අවලස්සණ කටයුතු ඇති කරන්නේ සීතල යුද්ධ ය.
2017 වසර රාජ්‍ය පාලනයේ ඉතා පැහැදිලිව සීතල යුද්ධයක් බරපතළ අන්දමින් සිදු වන බවට පෙර නිමිති පහළ වී ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්මුතිවාදී ආණ්ඩුව ගොඩ නඟා ගැනීමට එකඟ වුව, රාජ්‍ය පාලනයේ දී කටයුතු සිදු කිරීම සඳහා සම්මුතිවාදි ආණ්ඩුව අදාළ ප්‍රතිඥා ඉවහල් කර නොගත් බවය විiමාන වන්නේ. අපවත්වී වදාළ සෝභිත හිමියන් ද පැවසූ පරිදිම සිවිල් සමාජය ද විවිධාකාරයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටියේ එක මේසයක වාඩි වී තීන්දු තීරණ ගන්නා ලෙසයි. ඒ ඉල්ලීමට අසංවේදී වීම කොතරම් දුර දිග ගොස් තිබේද යත්, ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඇතැම් වැදගත් කාරණා සම්බන්ධව තතු තමා දැන ගත්තේ පත්තරෙන් බව පවසා සිටියේ එක වතාවක් දෙකක් නොවේ.
සම්මුතිවාදී ආණ්ඩුව හුදු පිරුවටයක් නම් ඉන් රටට අත්වන යහපතක් නැත. සම්මුතිවාදී ආණ්ඩුව රටවැසියන් මෙන්ම ලෝක ප්‍රජාව මුළා කිරීමට ඉවහල් කර ගත් නූල් සූත්තරයක් නම් එහි විපාක බරපතළය.

පාර්ලිමේන්තු සභා ගැබ
2017 වසරේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ වැදගත් තීන්දු තිරණ උදෙසා අවශ්‍ය එකඟතාවන් ඔස්සේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සැලසුම් කර තිබේ. ඒ වූ කලි රටේ අභිවෘද්ධියට අදාළ වැදගත්ම කටයුත්ත වන්නේය. මේ සඳහා මේ වන විට ප්‍රධාන පක්ෂ දෙක අතර තිබෙන්නාවූ අවබෝධය හා සූදානම කුමක් ද? ඇතැම් මහජන නියෝජිතයන් පවසන්නේ ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන්වත්, අගමැතිතුමාගේ පාර්ශ්වයෙන්වත්, සූදානම් වූ පුළුල් හා විධිමත් වැඩ සටහනක් නොමැති බවයි. බල අරගලයක් වෙනුවෙන් ක්‍රියාත්මක නූල් සූත්තර පවතින සංදර්භයක අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පුරවැසියන්ගේ අවධානය දිනාගැනීම පහසු නොවනු ඇත. එවැනි තැනකට තල්ලු වී ගියහොත් ජනවාරි 08 වෙනිදා රට අබිමුව තබන ලද වැදගත්ම ප්‍රතිඥාව; දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවාසනාවන්ත ඉරණමකට බඳූන්වනු ඇත. එසේ වුවහොත් නැවත අනාගතයේ දි වත්මනේ උදාවී තිබෙන අවස්ථාවට සමාන අවස්ථාවක් උදා වේ යයි සිතීම පවා අසීරුය.
2017 වසරේදී දේශපාලන කරළිය තුළ දැඩි ආන්fදා්ලනයක් ඇති කරන වැදගත් සාධකයක් බවට පත් වන්නේ මහ බැංකුවේ සිදුවුණ බැඳූම්කර වංචාව සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ගයයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අනුගමනය කරන ප්‍රතිපත්තිය උඩ ආණ්ඩුවේ ඉරණම තීන්දු වනු ඇත. කවරාකාර තර්ක ගෙනහැර පෑවත් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සාපරාධී වංචාවකි. මහ බැංකුවේ සිදුවී තිබෙන්නේ වංචාවකි. ඊට අදාළ පුද්ගලයන්ට දඬුවම් හිමිවිය යුතුමය. අවභාවිත කළ මුදල් රජය ලබා ගත යුතුමය.
ජ්‍යෝතිෂය කුමක් කීවත්, විවිධාකාර අභිචාරවල නිමග්නව සිටියත්, තිරුපති දෙවොලෙන් කවර පිහිටක් පැතුවත්, රාජ්‍ය පාලනය අවිiාවේ පිළිසරණින් කළ නොහැක්කකි. නීත්‍යනුකූලව උරුම වුණ මහජන වරමට පාලකයන් පිටුපෑම වරදකි, පාපයකි. අවිiාවේ සරණින් රාජ්‍ය පාලනය කිරීමට ගත් ප්‍රයත්න අසාර්ථක වුණ බව තේරුම් නොගැනීම ද ශෝචනීය වේ.
රාජ්‍ය පාලනය නූල් සූත්තරවලින් ද සිදු කළ නොහැකිය. රාජ්‍ය පාලනය ගජමිතුරන් සමඟින් ද සිදු කළ නොහැකිය. යහපත් රාජ්‍ය පාලනයක් පවතින්නේ නීතිය මත රටක් පාලනය කිරීමට පාලකයන් වග බලා ගන්නා විටදීය. 2017 වසරේ දී වත්මන් පාලකයන් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැප නොවුණහොත් රටේ අනාගතය අන්ධාකාරයක ගිලෙනු ඇත. ඒ වරද සිදු නොකිරීමට වග බලා ගැනීම පාලකයන්ගේ පරම වගකීම වන්නේය.■