Untitled-1

Untitled-1

ජනාධිපතිගේ පොරොන්දු ශ්‍රීලනිපය නියෝජනය කරමින් දුන් ඒවා නෙවෙයි |එජනිස මහලේකම් මහින්ද අමරවීර


th

තරිඳු උඩුවරගෙදර

සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවලින් පරාජය වූ පසුව වෙන්නට නියමිත මොකක්ද?
කොහොමත් ඔය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන්නත් අවස්ථාව තියෙනවා. කිසිසේත් සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. අපට විරෝධය ඇත්තේ ඒ කාරණය සමඟයි. හැබැයි අපි පිළිගන්නවා ලංකාවට එන්න නියමිත ආයෝජන සම්බන්ධයෙන් යම් විශේෂ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව. අපේ රටට එන ආයෝජකයන් ආයෝජන සඳහා පසුබට වෙන තත්ත්වයක් තියෙනවා ලංකාවේ ක්‍රමවේදය තුළ තියෙන ගැටලු නිසා. වන් ස්ටොප් ෂොප් වගේ ඊට සමාන එකක් ඇතිවෙන්න ඕනෑ. ගොඩක් රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. මොකද දැන් තියෙන නීතිරීති චක්‍රලේඛ පෙන්වලා වැඩකටයුතු අධෛර්යමත් කරන අවස්ථා තියෙනවා. යම් ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ සංවර්ධනය වේගවත් කරන්නට. හැබැයි එක් ඇමතිවරයෙකුට බලය යන සුපිරි ඇමතිවරයෙක් කියන එකට අපි විරුද්ධයි.

ඔබේ අදහස පනතට විරුද්ධ නැහැ, සුපිරි ඇමති ධුරයකට විරුද්ධයි කියන එකද?
යම් ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ කියලා මාත් පිළිගන්නවා. යම් ආයතනයක් අනිවාර්යයෙන්ම ගොඩනැගෙන්න ඕනෑ. මගේ අමාත්‍යාංශය ගත්තත් එක්තරා විදේශ නියෝජිතයෙක් ආවා බෝට්ටු පනහක් යොදවන්න. හැබැයි මාස ගාණක් ගිහිල්ලත් තාම ඒ වැඬේ ඉවර නැහැ. එක එක නීති පෙන්වනවා. රජයේ නිලධාරී යාන්ත්‍රණය දැන් ඉන්නේ වැඩ කරනවාට වඩා ඒවා අධෛර්යමත් කරන තැනට. ඉතින් ඉක්මනින් දේශීය හෝ විදේශීය ආයෝජකයෙකුට ආයෝජනය හොඳ නම් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ඕනෑ. ඒ ආයෝජන පිළිබඳව ඉක්මනින් සලකා බලලා හොඳ ආයෝජනයක්ද කියලා බලලා ක්‍රියාත්මක වෙන්න අවස්ථාව තියෙන්න ඕනෑ. වෙන රටවල තියෙනවා පැය හතළිස් අටෙන් ක්‍රියාත්මක වෙන ආයතන. අපේ රටේ ආයෝජකයන්ට එපා වෙන තත්ත්වයක් තියෙන්නේ.

කොහොම වුණත් මේ කාරණාවලින් මතුවුණා ශ්‍රීලනිපය සහ එජාපය අතර ගැටුම. මේක ඉදිරියේදී ආණ්ඩුවේ අවසානය දක්වා යන්න වුණත් ඉඩ තියෙනවා නේද?
ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපට විසඳාගන්න පුළුවන්. විවිධ අය තමන්ගේ අදහස් කීවා. ඒවා ගැන අපට සාකච්ඡා කරන්න පුළුවන්. මේ වගේ ගැටුම් සිදුවෙන්න ඕනෑනේ. අපි දෙගොල්ලා අවුරුදු පණහක් තිස්සේ බෙදිලා ගහ මරා ගත්ත පක්ෂ දෙකක්. අපි කවදාවත් එකට ආණ්ඩු කරලාත් නැහැ. අපි දෙගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස්. ඒ නිසා ගැටුම් ඉදිරියටත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි අපට පුළුවන් වෙන්න ඕනෑ සාකච්ඡා කරලා ඔවුන්ගේ හොඳ දේවල් මතුකරගන්නත් අපේ හොඳ දේවල් මතුකරගන්නත්.

හම්බන්තොට වරාය ගැන ගිවිසුම් හෙළිකරන්න කියලා ඉල්ලනවා. එට්කා ගිවිසුම සම්බන්ධයෙනුත් කරුණු හෙළිකරන්න කියලා ඉල්ලනවා. රහස් ගිවිසුම් ගහන්න හේතුව මොකක්ද?
එහෙම දෙයක් නැහැ. ඒවා හෙළිදරව් කරන්න ඕනෑ. ජනතාවට හොරෙන් කිසිවක් කළයුතු නැහැ. අපි එහෙම රහසින් කිසිවක් කරන්න දෙන්නෙත් නැහැ. අපි ඒ ගිවිසුම් ගැන පූර්ව ප්‍රතිපත්තියක නැහැ. ඒවා කැබිනට් එකට සහ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරන්න පුළුවන්. ජනතාවට දකින්න පුළුවන්. දැන් හනුමා පාලමක් ගැන කියලා ඒක පුපුරුවන්න බලකායකුත් හදන්න හැදුවානේ. ෆෙඩරල් එනවා, උතුර නැගෙනහිර ඒකාබද්ධ වෙනවා වගේ කතා කියනවා. දෙමළෙන් වෙනම ජාතික ගීයක් හදනවා කියලා කිව්වා. ඕවාට මාධ්‍ය වුණත් අහුවෙන්න ඕනෑ නැහැ.

පළාත් පාලන මැතිවරණය තවත් කල් යන්න ඉඩ තියෙනවාද?
දැන් අපි ඒක ගැසට් කරනවා. ඉන් පස්සේ කාර්යභාරය තියෙන්නේ මැතිවරණ කොමිසමට. එයාලා ගන්න කාලය ගැන අපට අදහසක් නැහැ.
දැන් ජවිපෙ, එජාපය ඇතුළු ඇතැම් පක්ෂ කියනවා පරණ ක්‍රමයට ඡන්දය තියන්න කියලා.
ඒක දේශපාලන කුපාඩිකමක්. ඒ යෝජනාවට සම්බන්ධ වෙනවා නම් කවුරු හරි ඒක කුපාඩිකමක්. අවුරුදු ගණනක් තිස්සේ වියදම් කරලා කරපු දේවල් ආපස්සට හරවන්න ගන්නා උත්සාහයක්. දැන් ඒ යෝජනාවට බලයක් නැහැනේ. ඡන්දය ප්‍රමාද වෙන නිසානේ පරණ ක්‍රමයට තියන්න කිව්වේ. දැන් සීමා නිර්ණය කමිටු වාර්තාව ගැසට් කළාම ප්‍රමාදයක් වෙන්නේ පරණ ක්‍රමයට තියන්න හැදුවොත්.

ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය වගේ අයගේ අදහස් නිසා ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා කියූ අය පවා සිටියා. මේ අය කතාකරන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම මත කියලාත් කීවා. ජනාධිපතිවරයා මේ අදහස්වලට විරුද්ධ මතයක් ඉදිරිපත් කරලා තියෙන බව දැනගන්න ලැබිලාත් නැහැ. ජනාධිපතිවරයාගේ අදහස මොකක්ද?
අපේ පක්ෂයට අද ප්‍රජාතන්ත්‍රවාදය ඇවිත් තියෙනවා. විවිධ මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරනවා. විශේෂයෙන් පක්ෂයේ නායකත්වයට විරුද්ධව පවා පක්ෂයේ සාමාජිකයන් කතාකරනවා. හැබැයි මම ඉතා වගකීමෙන් කියනවා ජනාධිපතිවරයාගේ අනුදැනුම මත නෙවෙයි මේ ප්‍රකාශ සිද්ධවෙන්නේ.

ශ්‍රීලනිපය තීරණය කරලා තිබුණා ඉදිරි මැතිවරණයට අත ලකුණත් එක්ක ඉදිරිපත් වෙනවා කියලා. එජනිසය ඉල්ලලා තියෙනවා බුලත් කොළය විදියට ඉදිරිපත් වෙන්න කියලා. ඒ පැත්තෙන් වෙන්නේ මොකක්ද?
නැහැ. ශ්‍රීලනිපයේ ලාංඡනය තමයි අත. අපි ඒ නිසායි අත ලකුණින් ඉදිරිපත් වෙන බව දැනට කියලා තියෙන්නේ. හැබැයි අපි සන්ධානයේ අදහස් විමසලා ඔවුන්ගේ කැමැත්ත මත තමයි අත ලකුණින් ඉදිරිපත් වෙන්නේ. අපට ඕනෑ නම් බුලත් කොළයෙන් ඉල්ලන්න සූදානම්. ලකුණ මොකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අපට අතත් හුරුයි. බුලත් කොළයක් හුරුයි.

කෙසේ වෙතත් සන්ධානය ශක්තිමත් කළ වීරවංශලා, වාසුදේවලා, දිනේෂ්ලා, හෙළ උරුමය, පැරණි වම වගේ පක්ෂ දැන් එතැන නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කලින්ම ඉවත් වුණා. දැන් සන්ධානය මියගිහින් ඉවරයි නේද?
දිනේෂ් ගුණවර්ධන හැර ඔබ කීව කිසිවෙක් සන්ධානයේ සාමාජිකයන් නෙවෙයි. විමල් වීරවංශ, වාසුදේව වගේ අය නැහැ. ඒ අය අවබෝධතා ගිවිසුම් හරහා සන්ධානය එක්ක තරග කරන පක්ෂ විතරයි. මෙතැන තිබුණේ මහජන පක්ෂය, පොඩි අප්පුහාමි මහත්තයාගේ දේශ විමුක්ති පක්ෂය, තොණ්ඩමාන් මහත්තයාගේ පක්ෂය වගේ පක්ෂ. එතැනින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විතරයි මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉන්නේ. අනිත් පක්ෂවල දෙපැත්තට බෙදිලා ඉන්නවා. අපි හිතනවා ඒ පක්ෂ අපිත් එක්ක තරග කරයි කියලා.

කොහොම වුණත් ඉදිරි මැතිවරණය වෙද්දී ශ්‍රීලනිපයේ අභ්‍යන්තර බෙදීම ගැන තීරණයකට එන්න වෙනවා. සන්ධානයේ හිටියත් නැතත් පැරණි වම, විමල් වීරවංශලා පිළිබඳවත් නිශ්චිත අදහසකට එනවා. වීමට නියමිත මොකක්ද?
ඒක අපට දැන්ම කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා වමේ බලවේග එකට එකතු කරන්න ඕනෑ නම් අපි එක්ක ඉල්ලන්න වෙනවා. එජාපය දිනවන්න ඕනෑ කෙනෙක් වෙනම ඉල්ලයි.
එජාපය එක්ක ආණ්ඩුවක් ගෙනයෑම හෝ ශ්‍රීලනිපය එක්කිරීම කියන දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියෙන්නේ ඔබේ පාර්ශ්වයට කියලායි අපට පෙනෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය කියලා තියෙනවා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ඔබේ පාර්ශ්වය එක්ක එක්වෙනවා කියලා.
අපට චෝදනා එල්ල කරන්න පුළුවන්. මේක අලුත්ම ක්‍රමයක්නේ. මේක අලුත් තත්ත්වයක්. වැඩි පීඩනයක ඉන්නේ අපි තමයි. ඒක තේරුම් ගන්න ඕනෑ. මේක රට වෙනුවෙන් ගත්ත තීන්දුවක්. හැබැයි අපට මැතිවරණවලදී වෙනම තරග කරන්න පුළුවන්. ඒක බාධාවක් නෙවෙයි.

ශ්‍රීලනිපයෙන් ලක්ෂ ගණනක් කඩාගන්නා බව කිව්ව පොදුජන පක්ෂය ජනවාරි අගදී ජාතික සමුළුවක් පවත්වන බව කියනවා. ඒකත් ඔබ කියන නිදහස් පක්ෂයේ පීඩනය වැඩිකරනවා නේද?
ඔබ කී දේ හරියටම හරි. වැදගත්ම දේ ශ්‍රීලනිපයේ සාමාජිකත්වය කඩාගන්නා බව තමයි ඔවුන් කියන්නේ. ඒකෙන්ම තේරෙනවා ශ්‍රීලනිපය කඩලා එජාපයට වාසියක් ගේනවා කියලානේ. එජාපයේ සාමාජිකයන්ව කඩාගන්න ඔවුන්ට ඕනෑ නැත්තේ ඇයි? ශ්‍රීලනිපයේ ඉන්න පිරිසත් කැඩුවාම එජාපයට වඩා බලයක් ගන්නේ කොහොමද? මේක කොන්ත්‍රාත්තුවක් බව ඔබ උපුටා දැක්වූ ඔවුන්ගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා. දූෂණ චෝදනාවලින් බේරෙන්න වුවමනා අය එජාපයේ කොන්ත්‍රාත්තුවක් කරන්නේ ශ්‍රීලනිපය කඩන්නයි. ඒ මොකක් හිලව් කරගෙනද කියලා තේරුම් ගන්න පුළුවන්.

ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රීලනිපයේ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පවත්වන්න නියමිතයි කියලා කියනවා නේද?
ඔව්. මේ කණ්ඩායම් දෙක සාකච්ඡා කරන එකේ ගැටලුවක් නැහැ. අපි හතුරෝ නෙවෙයිනේ. එකම පක්ෂයේ සාමාජිකයන්. අපි සාකච්ඡා කරනවා. අපි නිතර හමුවෙලා කතාබහ කරනවා. අදහස් හුවමාරු කරගන්නවා.

මේ සාකච්ඡාවලදී චමල් රාජපක්ෂ හෝ ගෝඨාභය අගමැති කරන්න යෝජනා පවා එනවා නේද?
ශ්‍රීලනිපයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන. ඊළඟ නායකයා කවුද කියන එක ගැටලුවක් නැහැ. අගමැති ධුරයකට විවිධ යෝජනා ඉදිරිපත් වෙනවා. ඒ අදහස් ගැන අපට දැන්ම කිසිවක් කියන්න බැහැ.

නව ව්‍යවස්ථාව ගැනත් සාකච්ඡාවක් තියෙනවා. දැන් ඔබේ පක්ෂය කියනවා ජනමත විචාරණයකට හේතු නොවෙන සංශෝධන පමණක් කරන්න ඕනෑ කියලා. මේ ගැන නිවැරදිව පක්ෂයේ අදහස කියන්න පුළුවන්ද?
කොහොමටත් අලුත් ව්‍යවස්ථාවක් හදන්න ජනවරමක් ලැබිලා නැහැ. ජනමත විචාරණයකට යන්න ජනවරමක් ලැබිලාත් නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් කළ හැකි සංශෝධන විතරයි කරන්න පුළුවන්.

පාර්ලිමේන්තුවේදි අයවැය විවාදයේදී ජනාධිපතිවරයා කීවා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන බව. ඔහු ඒ බව කිහිප වතාවක් කීවා. ජනමත විචාරණයක් නැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් බැහැ. මේවායින් ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටුවේවිද?
ජනාධිපතිවරයාගේ පොරොන්දු කියන ඒවා පක්ෂය නියෝජනය කරමින් දුන් ඒවා නෙවෙයි. ජනාධිපතිවරයා දුන් පොරොන්දු ගැන නෙවෙයි අපි සලකා බලන්නේ. පක්ෂයක් විදියට අපේ අදහසයි. අපේ අදහස දැනට තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන. ඒක ක්‍රියාත්මක කරන්න තමයි අපි උත්සාහ කරන්නේ.

හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ඇතිකරන්න තමයි මේ වෙද්දී සාකච්ඡා සිද්ධවෙන්නේ. ඔබ කියන දෙයින් අදහස් වෙන්නේ අලුත් ව්‍යවස්ථාවකට ශ්‍රීලනිපය සහයෝගය නොදෙන බවද?
නැහැ. එහෙම එකක් අපි කියලා නැහැ. අපට පක්ෂයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අපට විරෝධයක් නැහැ. හැබැයි අපි කියන්නේ ජනමත විචාරණයකට යනවාද කියන එක ගැන අපි වෙනම තීන්දුවක් ගන්න ඕනෑ. ඒ ගැන මත දෙකක් තියෙනවා. පක්ෂය ජනමත විචාරණයකට යනවා කියලා ආයේ දෙකට කැඩෙන්න බැහැ. කොහොම වුණත් ඒකට තව ගොඩාක් කල් තියෙනවා. සාකච්ඡා කරලා අපට යමක් කරන්න පුළුවන්. සියලු පක්ෂ එකතුවෙලා එක මතයකට ආවොත් අපට එකඟ වෙන්න පුළුවන්. අපි කියන්නේ දැනට තියෙන මතය. සියලු පක්ෂ එක මතයකට එනවා නම් අලුත් ව්‍යස්ථාවක් හදන්න ඕනෑ, ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා අපට කිසි ගැටලුවක් නැහැ.

ඔබ කී අදහස පක්ෂයේ අදහස. ඒ සමඟ පක්ෂයේ සභාපති විදියට ජනාධිපතිවරයා එකඟ වෙලා තියෙනවාද? නැත්නම් පක්ෂයේ සභාපති පක්ෂයේ අදහසට විරුද්ධද?
ජනාධිපතිවරයා තවම ඒ ගැන කතාකරලා නැහැ. මේක පක්ෂය දරන අදහස. අපි කොහොම වුණත් මිනිස්සු දෙකට බෙදලා ඡන්දෙකට යන්න අවශ්‍ය නැහැ කියන මතයේ ඉන්නවා.

දෙමළ ජනතා නායකයන් කියලා තියෙනවා ඒකීය ක්‍රමයක් පිළිගන්න බැහැ. එක්සත් රටක් තුළ බලය බෙදීමක් සිදුවිය යුතුයි කියලා. ඒ ගැන මතය මොකක්ද?
අපි ඉන්නේ ඒකට විරුද්ධ අදහසක. අපි දැඩි මතයක ඉන්නවා අලුත් ව්‍යවස්ථාව තුළ ඒකීය ක්‍රමයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි කියලා.

කෙසේ වෙතත් මේ වන විට ක්‍රියාත්මක වෙන පළාත් සභා ක්‍රමය යටතේ පළාත් සභාවලට බලය බෙදීම අර්ථවත් විදියට ක්‍රියාත්මක වෙලා නැති බව කියලා තියෙනවා. ඒ ගැන අදහස මොකක්ද?
තවම කමිටු වාර්තානේ තියෙන්නේ. ඒ ගැන අවසන් සාකච්ඡා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේදී. අපට තවම ස්ථීර අදහස් නෑ. ආණ්ඩුකාරවරයාගේ බලය අඩුකිරීම ගැන සාකච්ඡා කරනවා. ඒකෙදී යම් ගැටලු තියෙනවානේ. බලතල අඩු කළොත් වෙන්වෙලා යන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒවා ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න ඕනෑ. මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පමණයි තියෙන්නේ. ලොකුවට මේවා ගැන ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට බාධාවක්. ඒ නිසා ඒ ගැන පුළුල් අදහස් දැක්වීම් කළ යුතු නැහැ.■