රාවය

2017, 2004ට යෑමට පෙර

2017, 2004ට යෑමට පෙර

ශ්‍රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේයැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබාදෙන ලෙස යාඥාකිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟාසිටුවා තිබීමය. වැස්ස ලැබෙන්නේ කාලගුණ විපර්යාසයන්ට අනුව නොව බුදුන් පවා නොපිළිගත් අද්භූත බලවේගයන්ගේ සිතැඟි අනුවයැයි සිතන රටක් ඉදිරියට යන්නේ කෙසේද? ඒ අනුව බලන විට අප ගමන්කරන්නේ බුදුන්ගේ දැක්මටත් පෙර පැවැති මිථ්‍යා විශ්වාස ඇදහීම කරාය.
ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන විට එය සිදුවන්නේ ඛේදවාචකයක් හෝ විගඩමක් ලෙසයැයි කියනු ලැබේ.
2004 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් වන්නේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීම මගින් මහජන ඡන්දයෙන් බලයට පත් පාර්ලිමේන්තුව දෙවසරකින් පසු විසුරුවා හැරීමේ වන්ද්‍රිකා පාපය නිසාය. තමාගේ ආණ්ඩුව විසුරුවා හැරෙනු ඇතැයි එදා අගමැති වික්‍රමසිංහ කල්පනා කළේම නැත. ජනාධිපතිනි කුමාරතුංග සමඟ සහජීවනයෙන් රට කරවනු වෙනුවට ඇයට නින්දා කරමින් ඇයගේ බලතල නොසලකා තමන්ට රට පාලනය කළ හැකිය යන මිථ්‍යාවෙහි වික්‍රමසිංහ ගැලීසිටියේය. ඒ කොතෙක්ද යත් එල්ටීටීඊය සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුම ගැනවත් ජනාධිපතිනිය විමසුවේ හෝ ඇයගේ කැමැත්ත ලබාගත්තේ හෝ නැත.
අවසානයේදී සිදුවූයේ වික්‍රමසිංහ ආණ්ඩුව විසුරුවාහැරීම කරා ලිස්සාගිය කුමාරතුංග සිය කොන්දද කඩාගැනීමය. ඉන් ඇතිවූ අපකීර්තියෙන් ඇයට තවම ගොඩඒමට ලැබී නැත. ඒ කෙසේ වෙතත් තමා කළ එක් ප්‍රධාන දේශපාලන වරදක් වූයේ එම විසුරුවා හැරීමයැයි පිළිගැනීමට තරම් දේශපාලන මුහුකුරා යෑමක් සහ නිහතමානීකමක් ඇයට තිබුණි. එසේ නමුත් වික්‍රමසිංහ නම් 2004 පාඩම තවම ඉගෙනගෙන නැත.
19වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේ වසර හතරහමාරකට පසුව බැවින් තමාට ඕනෑම සෙල්ලමක් දැමිය හැකියැයි අගමැති වික්‍රමසිංහ සිතා සිටින බවක් පෙනේ. ඔහුගේ සුපිරි ඇමැතිධුර සැලැස්ම එවැනි එකකි. දැන් එය හබක්ය. මන්ද යත් රටෙහි සියලු පළාත් සභා විසින් එම පනත පරාජය කර ඇති නිසාය. ජනාධිපති සිරිසේනට පක්ෂපාතී දකුණේ පළාත් සභා හතම විසින්ද එය පරාජය කරන ලදි. අගමැතිගේ පනතක් පරාජය කිරීම වැනි තීරණයක් ජනාධිපති සිරිසේනගේ අනුමැතිය නොමැතිව සිදුවනු ඇතැයි සිතීම දුෂ්කරය. දැන් අප 2004 කරා ආපස්සට යමින් ඇත්තේ ඔන්න ඔය විදිහටය.
එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවී මහා මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් දැන් සිරිසේන පාර්ශ්වයේ කොටස්කරුවන් බවට පත්ව සිටින ජාතික හෙළ උරුමය හම්බන්තොට වරාය චීනයට විකිණීමේ ජාවාරමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අල්ලසක් ගත් බවට වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ චෝදනා කරයි. මාගම්පුර වරාය වසර 99කට චීනයට දෙන ගිවිසුම තවමත් මෙරටට රහසකි. වික්‍රමසිංහ පාරම්බාන සාමයෙන් එක්වී සාමයෙන් සාකච්ඡා කොට සාමයෙන් විසිරයෑමේ තීරණ ගැනීමේ ලිච්ඡවි ක්‍රමය යනු තවත් ප්‍රෝඩාවක් බව යළි මෙම ජාවාරමෙන්ද තහවුරුවෙයි. ජනතා විමුක්ති පෙරමුණට අනුව වික්‍රමසිංහගේ බාල මලයාගේ පුතාගේ සමාගමක හොද්ද බොරකිරීම පිණිස පාසල් පොත් සින්තටික් කොළවල මුද්‍රණය කිරීමට තීරණය කර තිබේ. වික්‍රමසිංහගේ ගෝලබාලයකු වන අකිල විරාජ්ට බාරදී ඇති උසස්පෙළ සිසුන්ට පරිගණක ලබාදීම තවත් ජාවාරමක සහ අවුලක මුල බවට පත්වීමට නියමිතව තිබේ. මෙම ක්‍රියාවලිය පටන්ගන්නට යන්නේ එවැනි ටැබ්ලොයිඞ් පරිගණක මෙරටදීම නිපදවීම සඳහා ඇති යෝජනා පිටු දැක හුදෙක් බැහැරින් මිලදීගැනීම මතය. ටැබ්ලොයිඞ් කරා සිසුන් පුහුණු කිරීමේ එවැනි දැවැන්ත වෙනසකට අවශ්‍ය කිසිදු සූදානමක් ඇමැති කාරියවසම්ට නැත.
මේ උදාහරණ කිහිපය විසින් වුව පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තුළ එක් දිශානතියක් සහ ඉලක්කයක් නැතිකමයි.
2017 වසර 2004 කරා ආපස්සට යා හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. එකක් නම් රනිල් වික්‍රමසිංහ සිය බලය පුම්බා ගැනීමට ගෙනඑනු ලබන සුපිරි ඇමැති පනත වැනි පියවර සිරිසේන පාර්ශ්වය විසින් පරාජය කිරීමයි. එමගින් වික්‍රමසිංහගේ අහංකාර දඩබ්බර පිළිවෙත් පාලනය වනු ඇත. එලෙසින් යූඇන්පී ආණ්ඩුවේ තවත් බලවන්තයකු වන රවි කරුණානායකගේ අයවැය යෝජනා රොත්තක්ම දැනටමත් පරාජය කරනු ලැබ ඇත්තේ ඒවා සංශෝධනය කරවීම මගිනි.
දෙවැනි ක්‍රමය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් විසින් යුඇන්පීය ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීමයි. පසුගියදා ශ්‍රීලනිප නිල ප්‍රකාශකයා සහ ජනාධිපති සගයකු බව පෙනෙන ඩිලාන් පෙරේරා කළ කුප්‍රසිද්ධ කතාව එවැනි එකකි. එහිදී ඔහු පහරගසන ලද්දේ වික්‍රමසිංහ ඇතුළු යූඇන්පී නායකයන්ට නොව යූඇන්පී සමාජ තීරුවටමය. ඔහු කියන්නේ මෛත්‍රී- රනිල් හවුල් ආණ්ඩුවේ ඇමැතිවරයකු වීම මගින් තමන් ගෙවන්නේ යූඇන්පීකාරයන්ගේ පව් බවය. ඇත්ත වශයෙන්ම නම් ඔහුට ඇති බරපතළ දූෂණ චෝදනා යටගසා ඇති බැවින් ඔහුට තවම පව් පලදීම පටන්ගෙන නැත.
ලෝකයේ බොහෝ රටවල මෙවැනි හවුල් ආණ්ඩු ඉතා සාර්ථකව ක්‍රියාත්මකවෙයි. එහෙත් අප රටෙහිදී නම් මෙම ආණ්ඩු හවුල වසරකට වඩා යහතින් එකට ජීවත්වූයේ නැත. දැන් ඩිලාන් පෙරේරා යූඇන්පී සමාජ තීරුවටම පහරගැසීම මගින් පෙන්වන්නේ මෙම හවුල පල්ලම් බැසීම ආරම්භකර ඇති බවද? සිංහල සමාජයේම පක්ෂ දෙකක් අතර සහජීවනයක් ගොඩනැගිය නොහැකි නම් දෙමළ සහ මුස්ලිම් ජනයා සමඟ සහජීවනයක් කෙසේ ගොඩනගන්නද?
ආණ්ඩුව ආරක්ෂා කරන අතරවාරයෙහි ඩිලාන් පෙරේරාගේ කුකතාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් ආණ්ඩුවේ සිටීමට බැරිනම් ඉවත්ව යන ලෙස දැන් අභියෝගකර තිබේ. 2017 වසර 2004 කරා ආපස්සට යෑමේ තීරණාත්මක මොහොත මෙම අභියෝගයෙන් සංකේතවත් වෙයි.
වික්‍රමසිංහ 2004 කරා පසුබැස්සවීමේ තෙවැනි සහ අවසාන පියවර වනු ඇත්තේ ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමයි. රාජපක්ෂ පාර්ශ්වය සමඟ ඇති කරගන්නා කවර හෝ එකඟතාවකින් තොරව එවැනි පියවරක් කරා සිරිසේන පාර්ශ්වය ගමන් කරනු ඇතැයි සිතිය නොහැකිය. අගමැති වික්‍රමසිංහ දිගටම සිය උද්ධච්ච දේශපාලනය සහ විනාශකාරී ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙනයන්නේ නම් සිරිසේන පාර්ශ්වයට ඉතිරිවනු ඇති විකල්පය එයයි. මන්ද යත් දේශපාලනයේදී පරාජය වීමට කිසිවකු කැමැති නැති නිසාය. සිය සැමියා ඝාතනය කළ ජවිපෙ සමඟ එක්වීමට චන්ද්‍රිකා (කුමාරතුංග)ට හැකිවී නම් සිරිසේනට ගෝඨාභය රාජපක්ෂ සමඟ එක්වීමට බැරිකමක් නැත.
මෙම දිශානතියේ ආරම්භයක් වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සිරිසේන පාර්ශ්වය සහ රාජපක්ෂ පාර්ශ්වය අතර නිතරග ගිවිසුමක් ඇතිවීමට වුව බැරි නැත. මන්ද යත් එකී දෙපාර්ශ්වය විසින් ශ්‍රීලනිප ඡන්ද බෙදාගතහොත් එජාපය දැවැන්ත ජයක් ලැබීම නියත නිසාය. 2015 ජනවාරි 8දා ප්‍රධාන සතුරා රාජපක්ෂ වූ පරිද්දෙන්ම 2017 මැද භාගයේදී වික්‍රමසිංහ ප්‍රධාන සතුරා වීමට ඉඩ තිබේ.
මෙම තත්ත්වයට මුහුණ දීම පිණිස රාජපක්ෂ විරෝධී ශ්‍රීලනිප පිරිස් යූඇන්පියට එක්කර ගැනීම මගින් තමන්ගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වික්‍රමසිංහ ගමන්කරනු ඇතැයි යන දේශපාලන ඕපය සිදුවිය නොහැක්කක් ලෙස බැහැර කළ නොහැක.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන විසඳුම සහ සමාජ සුභසාධනය අරභයා සිය පිළිවෙත් එක් සාධනීය පදනමකට ගෙනඒමට සිරිසේන සහ වික්‍රමසිංහ සමත් නොවුවහොත් 2017 වසර 2004 කරා විගඩමක් සහ ඛේදවාචකයක් කරා පිරිහීම වැළැක්වීම ඉතා දුෂ්කර වනු ඇත.
මෙම වර්ධනයෙහි ඇත්ත ඛේදවාචකය සහ විගඩම බවට පත්වනු ඇත්තේ 2004 කරා පිරිහීමම නොව රාජපක්ෂවරුන් යළි බලයට ඉව ඇල්ලීමයි. අප බොහෝ දෙනෙකුට රාජපක්ෂ භීෂණය දැන් අමතක වී යමින් තිබේ. ඉතා දුරස්ථ නමුත් එවැනි බියකරු වර්ධනයක් සය මසකට 6000ක් ඝාතනය වී ඇති පිලිපීනයේ, මාධ්‍ය නිදහස සහමුලින්ම වළදමා ඇති තායිලන්තයේ සහ හිටපු ජනාධිපති පිටුවහල් කර විපක්ෂය සිරගත කළ මාලදිවයිනෙහි භයංකාර සංකලනයක් වනු ඇති බව සිහි තබාගැනීම නුවණට හුරුය.■