Wednesday, 23/8/2017 | 8:01 UTC+0
රාවය

දැනට ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම හොඳයි |කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

තරිඳු උඩුවරගෙදර

ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව නිදහසෙන් පසු මේ වනතෙක් ලංකාවේ ජනතාව අතර විශ්වාසයක් බවට පත්වෙලා. ව්‍යවස්ථා දෙකක් ඇතිකරගත්තත් තෘප්තිමත් වී නැහැ. අලුතින් ඇතිකරගන්නා ව්‍යවස්ථාව දීර්ඝ කාලයක් පවතින්න නම් කුමක් විය යුතුද?
ඔබ කී විදියට නිදහසින් පසු හැම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්ම මේ සංවාදය ඇතිවුණා. සෝල්බරි ව්‍යවස්ථාව මතුපිටින් ගත්තාම විදේශීය ව්‍යවස්ථාවක්. ඒක සෝල්බරි කොමිසමෙන් ලැබුණේ. හැබැයි ඉතිහාසය දන්නා කවුරුත් දන්නවා මේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී වක්‍රව ඩී.එස්. සේනානායක කණ්ඩායම පසුපසින් හිටියා. ඒ නිසා වක්‍රව ඒකත් දේශීය එකක්. හැබැයි මේ ව්‍යවස්ථාවට අධිරාජ්‍ය විරෝධී වාමාංශික කණ්ඩායම් විරුද්ධ වුණා. අපි කවුරුත් දන්නවා ඩී.එස්. ආණ්ඩුව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයෙනුත් විරෝධ යක් මතුවෙලා 56 දී ආණ්ඩුවක් හැදුණා. ඉන්පස්සේ හැටේ දශකයෙන් පස්සේ එජාපයත් එකඟ වුණා නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවට.

හැත්තෑවේදී තමයි ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ..
හැබැයි ව්‍යවස්ථාවක් හදන්නට බලයක් කාටවත් ලැබුණේ නැහැ. මුලින්ම ලැබුණේ 70 ආණ්ඩුවට. ලංකාවේ වාමාංශික පැත්තට වැඩියෙන්ම බරවුණ ආණ්ඩුව ඒක. ව්‍යවස්ථාව ගැන කොහොමත් කතාකළේ පැරණි වාමාංශිකයන්. පරණ ව්‍යවස්ථාවෙන් නෛතිකව කැඩී වෙන්වෙලා, කලින් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින් විප්ලවීය විදියට නව ව්‍යවස්ථාව හැදුවා. ඒ අනුව හැත්තෑදෙකේ ව්‍යවස්ථාව හැදුණා. ඇත්තටම ලංකාවේ පැරණි වාමාංශිකයන් වාමාංශික විප්ලවයක් විශ්වාස කළ අයට වඩා හරයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප දැරූ අය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ අය බලසම්පන්න ලෙස විශ්වාස කරනවා. මේ නිසා වාමාංශික අය හැදුවත් මේක පාර්ලිමේන්තුව බල සම්පන්න කළ ලිබරල් ව්‍යවස්ථාවක්.

ඒ ව්‍යස්ථාවට විසඳුමක් 78 ව්‍යස්ථාවෙන් ලැබුණාද?
ඉන්පස්සේ 78දී ජේආර් ජයවර්ධන නව ව්‍යවස්ථාවක් හැදුවා. ජේආර් දශක දෙකක පමණ කාලයක් තිස්සේ කියමින් හිටපු සංකල්පයක් මත තමයි අලුත් ව්‍යවස්ථාව හැදුවේ. ඔහු කීවේ ලංකාව වගේ රටකට අධික ප්‍රජාතන්ත්‍රවාදය සුඛෝප භෝගී වැඩියි. ප්‍රජාතන්ත්‍රවාදය වැඩිපුර අවධාරණය කරද්දී ආර්ථික සංවර්ධනය මඟහැරෙනවා කියලා ඔහු දීර්ඝ වශයෙන් පැහැදිලි කළා. ඔහු නව ව්‍යවස්ථාව මධ්‍යගත බලයක් එක්ක හැදුවා. ඒ එක්කම ඔහු විවෘත ආර්ථිකයත් හඳුන්වලා දුන්නා. ඒක ආ විගස වාමාංශිකයන් මේකට විරුද්ධ වුණා. ඒකට එක් ප්‍රධාන හේතුවක් තමයි අනවශ්‍ය තරම් මධ්‍යගතයි කියන තාර්කික හේතුව. අනිත් පැත්තෙන් ඔවුන් ආඩම්බර වූ ව්‍යවස්ථාව එක්වරම වෙනස්කිරීම ගැන ආත්මීය කාරණයකුත් විරෝධයට හේතු වුණා.

ඇත්තටම ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපති තනතුරට ලැබෙන බලය වැඩියි නේද?
එක් පැත්තකින් මධ්‍ය බලය වැඩි බව මාත් පිළිගන්නවා. ව්‍යවස්ථාවක දෙපැත්තක් තියෙනවා. එක් පැත්තකින් දේශපාලන ස්ථාවරභාවය. අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය. 78 ව්‍යවස්ථාව රාජ්‍යයේ ස්ථාවරභාවය කියන පැත්තට අනවශ්‍ය බරක් යොමුකළා. හැබැයි ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරමින් විකල්ප යෝජනා ගෙනෙන අය ප්‍රජාතන්ත්‍රවාදය කියන තැනට අනවශ්‍ය බරක් යොමුකරනවා. මේ දෙක අන්ත දෙකක්. ආන්තික නොවී තුලනයක් එක්ක ව්‍යවස්ථාව නිර්මාණය කරන්න ඕනෑ. අර වාමාංශිකයන්ගේ විරෝධය නිසා තමයි හැත්තෑ අටේ ව්‍යවස්ථාව හොඳ නැති බවට මතයක් සමාජගත වෙලා තියෙන්නේ. ඒ මතය දැරූ අයට මතවාදීව තිබුණු ආධිපත්‍යය නිසාම මේ වෙද්දී ව්‍යවස්ථාව හැදූ යූඇන්පී එකත් ව්‍යවස්ථාව වෙනස් කළයුතු බව කියන්න පටන් අරගෙන. වක්‍රාකාරව හතළිස් අටේ ව්‍යස්ථාව හදලා පසුව ඒක වෙනස් කළ යුතු බව පිළිගත්තා වගේ. අපි ලෝකයේ තියෙන හොඳම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම කියන එක දේශපාලන සටන් පාඨයක් විදියට චිත්තාකර්ෂණීයයි. හැබැයි ලෝකයේ තත්ත්වය එහෙම නෙවෙයි. බි්‍රතාන්‍යයට ව්‍යවස්ථාව කියලා ලියැවිල්ලක් නැහැ. සාරයක් පමණයි තියෙන්නේ. ඇමරිකාවට තියෙන්නේ කෙටි ව්‍යවස්ථාවක්. බොහොම පැරණි එකක්. හැබැයි ඒ රටවල් දෙකම ශක්තිමත්. ප්‍රජාතන්ත්‍රවාදීයි. ව්‍යවස්ථාවක් නැතිවත් හොඳ පාලනයක් ඇතිවෙන්න පුළුවන්. හොඳම ව්‍යවස්ථාවක් තිබිලාත් පාලනය අයහපත් වෙන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ දුර්වලතා අවම කරගැනීම හොඳයි. හැබැයි මේක සම්පූර්ණයෙන් ඉවත් කරලා අලුතින් ව්‍යවස්ථාවක් හදන්න ගිහින් අපි බලාපොරොත්තු නොවන විදියේ දරුණු ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්.

ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක දීර්ඝකාලීන ඉල්ලීමක්. ඒ නිසාම මේ ව්‍යවස්ථාව එපා කියන එක මිනිස්සුන්ගේ හදවත් තුළ තියෙනවා…
ඔව්, සමහර දේවල් තර්කය මත වෙනුවට ජනතාවගේ ආකල්ප මත වෙනවා. දැන් දැන උගත් සමාජ තීරුවල යම් ආකාරයක ඉල්ලුමක් තියෙනවා. 78 ව්‍යවස්ථාවේදී අනවශ්‍ය ලෙස ස්ථාවරභාවය ගැන හිතනවා. ඒ නිසාම මානව නිදහස නොසලකා හරින තත්ත්වයක් තියෙනවා. ඊට විරුද්ධව ගොඩනැගෙන ව්‍යාපාරය දෙවැනි අදහස වැඩියෙන් උත්කර්ෂයට නැංවුව බව තමයි මගේ මතය. එතැනදී රාජ්‍ය ස්ථාවරභාවය වැඩක් නැහැ කියන තැනට ඇවිත් තියෙනවා. මේ අන්ත දෙක වෙනුවට මැද තැනකට අපි එළැඹිය යුතුයි, අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම්. මානව හිමිකම් සහ ස්ථාවරභාවය කියන දෙකේ තුලනයක් ඇති කරගන්න ඕනෑ. මේ ව්‍යවස්ථා සංවාදය අනවශ්‍ය ලෙස මානව හිමිකම් පැත්තට බරක් දාලා තියෙනවා.

ඒ වුණත් ස්ථාවරභාවය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බලය ලබාදීම කියන එක ලංකාවේ ප්‍රායෝගිකව අධිකාරිවාදයක් කරා තල්ලුවීමක් අපි දැක්කා. අන්තිමේ කෙරුණු සංවර්ධනයක් නැහැ. අර්ධ ඒකාධිපති පාලකයන් බිහිවුණා නේද?
ඒ කතාව තමයි මම කීවේ. ඕනෑවට වඩා ස්ථාවරභාවය ගැන හිතුවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතුවොත් ස්ථාවරභාවය නැතිවෙනවා. ඒත් ඕනෑවට වඩා ස්ථාවරභාවය ගැන හිතුවොත් ස්ථාවරභාවයත්, ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතුවොත් ප්‍රජාතන්ත්‍රවාදයත් නැති වෙන්න ඉඩ තියෙනවා. අද නේපාලයට වෙලා තියෙන්නේ ඒක. ලංකාවේ අනවශ්‍ය ස්ථාවරභාවය ලබන්න ගිහින් අසූනවය වෙද්දී නැතිවුණෙත් ස්ථාවරභාවය. ඇන්. ඇම්. පෙරේරාගේ ව්‍යවස්ථාව ගැන විවරණය තුළ විස්තර කරන කොටසක් තියෙනවා. එහි ඔහු කියනවා පවතින ආණ්ඩුක්‍රමයක් සහමුලින්ම වෙනස් ක්‍රමයක් බවට පත්කිරීම ඉතා නරක දෙයක් බව. ඔහු ඒක කිව්වේ හැත්තෑඅට ගෙනෙද්දී. හැබැයි අදටත් ඒක වලංගුයි. ලංකාවේ වැඩිම කාලයක් ක්‍රියාත්මක වුණේ මේ ව්‍යවස්ථාව. ඉතින් මේ ක්‍රමයට මොනවා වුණත් අපි හුරුවෙලා. මේ දන්න යකෙක්.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම කියන කාරණය ගැන හිතන්නේ මොනවාද?
ලංකාවේ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා වගන්තියක් තියෙනවා. හැබැයි මේක තුළ කිසිම ව්‍යස්ථානුකූල බලයක් නැහැ. ඒකට කිසිම නෛතික බන්ධනයක් නැහැ. මේ වගන්තියෙන් කාටවත් බෞද්ධයෙක් වීම නිසා වරප්‍රසාදයක් ගන්න බැහැ. කිසිම අන්‍යාගමික යෙක්ට අසාධාරණයක් නැහැ. ඇත්තටම මේ ව්‍යවස්ථාවේ දහවැනි වගන්තිය, දොළහ වගන්තිය සහ 14.1 ඊ කියන වගන්ති තුනෙන් තමයි රාජ්‍යය ආගමිකද කියන එක විසඳාගන්න තියෙන්නේ. ලංකාවේ වෙනත් අණපනත් හරහාත් සියලුම ආගම්වල අයිතිවාසිකම් තහවුරු කරලා තියෙනවා. විශේෂයෙන් මුස්ලිම් නායකයන් නිතර පිළිගන්න දෙයක් ඒක. ඇතැමෙක් කියනවා සෞදි අරාබිය ඇරුණාම ලොකුම නිදහස තියෙන්නේ ලංකාවේ කියලා. ඉතින් අපේ ව්‍යවස්ථාවේ ආගම සම්බන්ධයෙන් තියෙන්නේ එපමණයි. ඉන්දියානු ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා ඉන්දියාව අනාගමිකයි කියලා. ලංකාවේ ව්‍යවස්ථාවේ අනාගමිකයි කියලා නැහැ. හැබැයි ලංකාවේ ව්‍යවස්ථාව හරයෙන් ලෞකිකයි. ඉතින් මේවා වෙනස් කරන්න යෝජනා කරන අය ඉන්නවා. කොල්වින් ආර් ද සිල්වා මේ වගන්තිය හඳුන්වාදීම පාවාදීමක් කියලා කියන අය ඉන්නවා. හැබැයි මේක ඔහුගේ බුද්ධිය හෙළිකරන කෑල්ලක්. බෞද්ධයන්ගේ හිතේ අවුරුදු හාරසිය ගණනක් වෙනත් ආගමකට යටත්වෙලා වින්ද බව කියන පීඩාව වෙනුවට හිත හදන්න මේ වගන්තියෙන් හැකිවුණා. බෞද්ධයන්ගේ හිත හදන ගමන් වෙනත් කිසිම ආගමකට අසාධාරණයක් නොකර ඉන්න කොල්වින් ආර් ද සිල්වාට හැකිවුණා. මේක ව්‍යවස්ථා සම්පාදකයන් ගුරුකොට තබාගත යුතු සංකල්පයක්. අනික එංගලන්තය ලංකාවටත් වඩා ආගමික රාජ්‍යයක්. පල්ලිය සහ රජ පවුල එක්ක එය තදින් බැඳී තියෙනවා.

ඒකීය රාජ්‍ය සංකල්පයත් සංවාදයට ලක්වෙනවා නේද?
ලංකාව හැත්තෑදෙකේදී නෙවෙයි ඒකීය වුණේ. 1948 ව්‍යවස්ථාවත් ඒකීයයි. ව්‍යවස්ථාදායක බලය එක් මධ්‍යම ආණ්ඩුවක් සතු වීමයි ඒකීය ක්‍රමයක් කියන්නේ. ලංකාවේ ව්‍යවස්ථාවේ හැත්තෑදෙකේදී වුණේ ඒ බව වචනයෙන් කීමක් විතරයි. අද ඒක ආපහු හරවන්න බැහැ. බලය බෙදීම පැත්තෙන් ගත්තාම, ඔබලා මා එක්ක මේ කාරණයට එකඟ නොවෙන්න පුළුවන්, හැබැයි මම කිව යුතුයි, නවසිය අසූහතේ ජුලි 29 වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරද්දී, දෙමළ ජනතාවගේ ප්‍රධාන පක්ෂවලින්, එල්ටීටීඊ සංවිධානය පවා එකඟ වුණා ඉන්දු ලංකා ගිවිසුමෙන් එකඟවුණ දේවල් දේශපාලන දුක් ගැනවිලිවලට විසඳුමක් කියලා. එල්ටීටීඊය ඊට විරුද්ධ වුණේ ඉන් මාස දෙකකට පස්සේ. ඒ ඔවුන්ට බලය ප්‍රමාණවත් නොවීම නිසා නෙවෙයි, ඔවුන් වෙනම රටක් ඉල්ලූ නිසා. දෙමළ පක්ෂත් පිළිගත්තා එය බලය බෙදීමේ ක්‍රමයක් විදියට. මං අහන්නේ, අසූහතෙන් පස්සේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසා අලුතින් දුක්ගැනවිලි ඇතිවුණාද? මම හිතන්නේ එහෙම නැහැ. මං හිතන්නේ දෙමළ ජනතාවට වැඩියෙන් ප්‍රශ්න තිබුණේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය තිබුණු කාලයේදී. එදා විසඳුමක් විදියට පිළිනොගත්ත දේ අද පිළිනොගන්නේ ඇයි?
මම පළාත් සභාවලට ඇති බලතල වැඩියි කියලා හිතන කෙනෙක්. දෙමළ සන්ධානය ඒ බලය මදියි කියලා හිතන පක්ෂයක්. සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ නිසා මේකට විරුද්ධ වෙන අය ඉන්නවා. හැබැයි අපට පිළිගන්න වෙනවා ප්‍රතිවිරෝධතා නිසාම දෙපාර්ශ්වයට මධ්‍යස්ථ එකඟතාවක් ඇතිකරගන්න ඕනෑ කියලා. සම්මුතිය ප්‍රතිවිරෝධතාවල තුලනයක් විදියට ඇතිවෙන්න වෙනවා. අපි කැමති වුණත් අකැමති වුණත් මෙතැන නව ක්‍රමයක් ඇතිකරලා තියෙනවා. ඒ නිසා පවතින බලතල බෙදීම ප්‍රමාණවත් කියලා මම හිතනවා. මම හිතන්නේ අලුත් මූලධර්මවලට යනවාට වඩා ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් මැකෙන පරිදි යළි ලිවීමයි කළ යුත්තේ.

ඔබ කියන්නේ ව්‍යවස්ථාවේ වෙනස්කමක් සිදුනොවිය යුතු බවද?
වෙනසක් කළ යුතුම තැනක් තියෙන්නේ මැතිවරණ ක්‍රමයේයි. මැතිවරණ ක්‍රමය තමයි ලංකාවේ ආණ්ඩු ක්‍රමය ප්‍රජා තන්ත්‍රීකරණය පැත්තෙන් ඉටුවෙලා නැති ප්‍රධානම අඩුව. ඒ ගැන හිතන්න ඕනෑ.

විධායක බලතල පිරුණු ජනාධිපති ධුරය අහෝසි කිරීම වැදගත් කාරණයක් නෙවෙයිද?
මම ජනාධිපති ක්‍රමයක් අත්‍යවශ්‍යයි කියන කෙනෙක් නෙවෙයි. හැබැයි මම ඒක එපාමයි කියන කෙනෙකුත් නෙවෙයි. අද ජනාධිපති ක්‍රමයකට වඩා කැබිනට් ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා අදහසක් තියෙනවා. ඒක වැරදි අදහසක්. ඇමරිකාව ජනාධිපති ක්‍රමයක්, එංගලන්තය කැබිනට් ක්‍රමයක්, ප්‍රංශය මිශ්‍ර ක්‍රමයක්. මේ තුනම හොඳ පාලනයක් සහිත රටවල්. එක් ක්‍රමයක් වැඩිපුර හොඳයි කියලා කියන්න අමාරුයි. මම හිතනවා දැනට ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම හොඳයි කියලා. සුළු ජාතික ප්‍රශ්නවල පැත්තෙන් ගත්තත් මට හිතෙන්නේ වැඩියෙන් සුළු ජාතිකයන්ට අසාධාරණකම් වුණේ හැත්තෑ අටට පෙර කියලා. සුළු ජාතිකයන් සම්පූර්ණයෙන් නැතිව සම්පූර්ණ ආණ්ඩු බලය ලබාගන්න පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමයේදී. එහෙත් ජනාධිපති ක්‍රමය යටතේ සුළු ජාතීන්ගේ ඡන්දය තමයි තීරණාත්මක සාධකය.■