කපිල වෙනුවට මැරෙන්න හැදූ සුසන්ත


අරුණ ජයවර්ධන

රඳවුවන් සුබ සාධක කාර් යාලය තුළට වී සිටින අතර වරින් වර එහි පැමිණි හමුදා නිලධාරීහු විවිධ පුද්ගලයන් ගැන ප්‍රශ්න කළෝය. ‘කෝට්ටේ පන්සලේ හාමුදුරුවන් දෙන්නෙක් මරපු නිලමේ කෝ?’ ඔවුන්ගේ එක් ප්‍රශ්නයක් විය. දන්නේ නැතැයි රඳවුවෝ පිළිතුරු දුන්නෝය. පාන්දර එහි ආ හමුදා නිලධාරීන් කණ්ඩායමක එක් අයෙක්, ‘නිලමෙයි කපිලයි මාලනුයි ඉවර කළා. උඹලත් දඟලන්නේ නැතුව හිටපල්ලායැ’යි කීවේය.
මෙහි නිලමේ යනු හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ ය. නිලමේ මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනී මාවතේ පදිංචිකරුවෙකි. ඔහු දඬුවම් ලැබූවකු නොව සැකකරුවෙකි. අංකය සැක662ය. ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව වුණේ රන් කඩුවක් සොරකම් කිරීමේදී කෝට්ටේ රජමහා විහාරයේ භික්‍ෂූන් දෙදෙනකු ඝාතනය කිරීමය. මිනීමරුමට අදාළ මූලික පරීක්‍ෂණය ඒ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත් වෙමින් තිබිණ. මංජු ශ්‍රී මහරගම ජනාධිපති විදුහලේ සහ කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවෙකි. ජයවර්ධනපුර විශ්විද්‍යාල යෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ බාහිර උපාධියකට ඉගෙනගන්නා අතරේ ඔහු අවිවා රක්‍ෂණ සමාගමේ රක්‍ෂණ නියෝජිතයකු හැටියට සේවය කළේය.
මහරගම ඔහු පදිංචිව සිටි නිවසට යාබද නිවසක උඩ තට්ටුව කුලියට ගෙන සිටි සුරේෂ් සමඟ ඔහු මිතුරුකමක් පැවැත්වීය. ස්ථිර රැකියාවක් නොතිබුණු සුරේෂ් එහි පදිංචිව සිටියේ තමාගේ මව සමඟය. එහෙත් පසු කාලයක සුරේෂ් ඒ නිවෙස හැරදා ඇඹිලිපිටිය පැත්තට පදිංචියට ගියේය. මංජු ශ්‍රී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ සුරේෂ් නිවෙස හැර දා ගොස් මාස පහකට හයකට පමණ පසුවය. සුරේෂ් ඇඹිලිපිටියට ගිය පසු මංජු ශ්‍රී සමඟ හිතවත්කම තවදුරටත් තිබුණු බවක් පෙනුණේ නැත. කොහොම වුණත්, 2012 මාර්තු 22වැනිදා මංජු ශ්‍රී අත්අඩංගුවට ගන්නා ලද්දේ කෝට්ටේ රජමහා විහාරයේ භික්‍ෂුන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවටය. මාර්තු 23වැනිදා ඇඹිලිපිටියේදී සුරේෂ්ද අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගැනුණාට පසු දින මංජු ශ්‍රී බලන්නට ඔහුගේ මව මිරිහාන පොලිසියට ගියේය. ‘මේක නම් මගේ පෙර කරුමයක්. මේ මිනීමරුම්වලට මගේ සම්බන්ධයක් නැහැ.’ මංජු ශ්‍රී ඒ අවස්ථාවේදී අම්මාට කීවේය. ඔහු කීවේ රක්‍ෂණ කටයුත්තක් ගැන කතාකරගන්නට ඔහු කෝට්ටේ පන්සලට ගිය බවත්, ඒ අවස්ථාවේදී ඔහුගේ වාහනය පන්සල ඉදිරිපිට නවතා තිබියදී පන්සලේ මිනීමැරුම වී ඇති බවත්, එය කර ඇත්තේ සුරේෂ් බවත්, තමාගේ වාහනය පන්සල ඉදිරිපිට නවතා තිබුණු නිසා එහි අංකය කවුරුන් හෝ පොලිසියට දී ඇති බැවින් තමන් අත්අඩංගුවට පත්වු බවත්ය. මේ කතාව පිළිගත හැකිද නොහැකිදැයි යන්න කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන මාස අටකට පසු ඔහු වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය විය. තමාගේ නඩුව සඳහා උසාවියට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවක මංජු ශ්‍රී බන්ධනාගාර නිලධාරීන් සමඟ වැදගත් කතාවක් කීවේය. ‘මම බොහොම ඉක්මනින් පාපෝච්චාරණ යක් කරන්න ඉන්නේ. එතකොට ලොක්කන්ගේ තටු කැපෙයි.’ එහෙත් ඔහුට පාපෝච්චාරණය කරන්නට බැරිවිය. ඒ නිසා තටු නොකැපුණු ලොක්කන් අදද සුවසේ සිටිනවා වන්නට ඇත. කෝට්ටේ රජමහා විහාරයේ තිබුණු කඩුව රාජ්‍යත්වය සංකේතවත් කරන්නක් ලෙස සැලකෙයි. ඒ කඩුව තමන් සන්තක කරගන්නට රටේ යාවජීව රජු වන්නට බලා සිටි යම් ලොක්කකුට වුවමනා වී තිබුණේද? ඒ සඳහා මංජු ශ්‍රී යොදාගැනුණේද? මංජු ශ්‍රී පාපෝච්චාරණය කරන්නට හිටියේ ඒ ලොක්කන් ගැනද? ලැයිස්තුවකින් නම අඬගසා ගෙනගොස් මංජු ශ්‍රී ඝාතනය කරන ලද්දේ ඒ සියල්ල සිදුවීමට පෙරද?
මංජු ශ්‍රී හෙවත් නිලමේගේ මළසිරුර හමුවුණේ, ජෝතිපාල හෙවත් පොන්න කපිල සහ මාලන්ගේ සිරුරු සමඟය. ඔවුන් වැටී තිබුණු ස්ථානයේ බිත්තියේ ලේ පැල්ලම් තිබුණි. වෙඩි වදින අවස්ථාවේදී බිත්තිය සිදුරු වී බිත්තිය දිගේ ලේ පොළව දෙසට පහළට ගලාගිය සලකුණු පෙනෙන්නට තිබිණි. බිත්තියේ ලේ පැල්ලම් තිබෙන උස අනුව පැහැදිලි වන්නේ වෙඩි තබා තිබෙන්නේ මේ රඳවුවන් සිටගෙන සිටින විට නොවන බවයි. එනම්, ඔවුන් දණගසාගෙන සිටින විට බවයි.
ජෝතිපාල හෙවත් පොන්න කපිලගේ සම්පූර්ණ නම, අසරප්පුලිගේ ජෝතිපාලය. කොළඹ 14, ෆර්ගියුසන් පාරේ, පදිංචිකරුවකු වූ ඔහු මිනීමරුමක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලැබූවෙකි. මේ මිනීමැරුම සම්බන්ධයෙන්ම ඔහුගේ බාල සහෝදරයෙක්ද මරණීය දඬුවම නියම වී ජෝතිපාලත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී3 වාට්ටුවේ රඳවනු ලැබ සිටියේය. සී3 යනු මරණීය දඬුවම නියමවූ සිරකරුවන් රඳවා සිටින වාට්ටුවයි.
බන්ධනාගාරයට ඇතුළු වුණු එස්ටීඑෆ් භටයන් කෙළින්ම සී3 වාට්ටුවට කඳුළු ගෑස් නොගැසූ නමුත් අවට වාට්ටුවලට වැදුණු කඳුළු ගෑස්වලින් සී3 වාට්ටුවද පිරී ගොස් රඳවුවන් දැඩි ඇස් දැවිල්ලෙන්, පපුව හිරකිරීම් වැනි තත්ත්වයන්ගෙන් විශාල අපහසුවකට පත්ව තිබිණි. මහලු සිරකරුවෝ වමනය දමන්නට පටන්ගත්හ. පිටතින් කිසිවකු සී3 වාට්ටුවේ දොරටුව විවෘත කරන ලදින් රඳවුවෝ පිටතට පැමිණ අසළ තිබුණු මාලු ටැංකියෙන් මුහුණ සෝදාගත්හ. ඇස් දෙක හෝදාගත් කපිලත් ඔහුගේ සහෝදරයාත් නැවතත් වාට්ටුව තුළටම ගියහ. පිටත සිටි සිරකරුවන් එස්ටීඑෆ් දෙසට ගල්මුල් විසිකරන්නට පටන්ගත් නමුත් කපිල, ඔහුගේ සහෝදරයා ඇතුළු සිරකරුවෝ පිරිසක් ඒ කිසිවකට සම්බන්ධ නොවි වාට්ටුව තුළම සිටියහ.
රාත්‍රිය වන විට වෙඩි ශබ්ද ඇසෙන්නට පටන්ගත් අතර, සිරකරුවෝ තමන්ගේ අතේ තිබුණු තුවක්කුවලින් වෙඩි තබමින් සිටියෝය. පිටතින් ඔවුන්ගේ දෙසටද වෙඩි ප්‍රහාර එල්ල විය. කපිල සිය සහෝදරයාට, ‘ඇතුළට වෙලා හිටපන්’ කියා අවවාද කළේය. ඉන්පසු වාට්ටුවේ තිබුණු කැරම් බෝඞ් එක ගත් කපිල තවත් සිරකරුවකු සමඟ කැරම් ගසන්නට පටන් ගත්තේය. ඒ අතර ඔහු ආයුධ අතේ තබාගෙන සිටි අනෙක් සිරකාරයන්ටත් අවවාද කළේය. ‘අතේ තියෙන ආයුධ දීපල්ලා. එතකොට උන් වෙඩි තියන්නේ නැහැ.’
ඒ අතර බන්ධනා ගාරයෙන් පිටත සිට එස්ටීඑෆ් නිලධාරියෙක් ජංගම දුරකථනයකින් කපිලට කතා කළේය. ඔහු කිව්වේ රෑ 12 වෙනතුරු ආයුධ බිම තබන්නට අවස්ථාවක් සිරකරුවන්ට දෛන බවය. ඒ ජංගම දුරකථනය හිමිව තිබුණේ බන්ධනාගාරගතව සිටි හිටපු හමුදා නිලධාරියකුටය. චෙම්මනි මිනීවල සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේය. ‘සර් මමයි මල්ලියි විතරයි මෙතන ඉන්නේ. මට හිරකාරයන්ට කියන්න බැහැ. සර්ලාම කියන්න’යි කපිල එහා පැත්තෙන් කතාකළ එස්ටීඑෆ් නිලධාරියාට කීවේය.
රෑ 12ට පමණ හමුදා නිලධාරීහු වෙඩි තියාගෙන චැපල් ගොඩනැගිල්ල පැත්තට ආවෝය. ‘අම්මලා ගෑනු දරුවෝ බලන්න ආසාවක් තියෙනවා නම් ආයුධ බිම තියලා පල්ලෙහාට වරෙල්ලා.’ ඔවුහු රඳවුවන්ට කෑගසා කීහ. මුදල් වංචාවක් සම්බන්ධ යෙන් බන්ධනාගාරගතව සිටි ‘සක්විති’ හමුදාව ඉදිරියට පළමුවෙන්ම අත්දෙක ඔසොවාගෙන ගියේය. ‘හමුදාවේ මහත්වරු හොඳයි. වෙඩි තියන්නේ නැහැ. වරෙල්ලා වරෙල්ලා.’ කියමින් ඔහු හමුදාව පැත්තට ගියේය. ඔහු පසිපසින් අනෙක් රඳවුවෝද හමුදාව පැත්තට ගියෝය. එසේ ආ රඳවුවෝ සියල්ලෝම චැපල් වාට්ටුව ඉදිරියේ ඇති පිට්ටනි කෑල්ලේ දණගස්වන ලදහ. රඳවුවන්ගේ ප්‍රමාණය දහසකට ආසන්න වන්නට ඇත. ඒ වනවිට බන්ධනාගාරය තුළට ගෙන ආ යුද ටැංකිවල ප්‍රධාන ලාම්පු එළිය මේ පිට්ටනි කෑල්ල වෙත හොඳින් වැටී තිබුණි. සියල්ල පැහැදිලි විය. කපිලත්, සහෝදරයාත් එක ළඟ දණ ගසාගෙන සිටියෝය. ඔවුන් සිටියේ චැපල් වාට්ටුවට යන පාරේ බෝධිය අසළ තිබෙන වොලිබෝල් කණුව ඉදිරියේය. ඔවුන්ට පිටිපස්සෙන් දණගසාගෙන සිටියේ සුසන්ත හෙවත් සයිමාය.
දණගසාගෙන සිටි රඳවුවන් ඉදිරිපිට හමුදා නිලධාරීහුද. නාකොටික් සුරංග ඇතුළු සිවිල් ඇඳුමෙන් සිටි තිදෙනාද වූහ. එහි සිටි සිවිල් ඇඳුමෙන් සිටි පුද්ගලයෙක්, ‘මාලන් කෝ’ කියා කතා කොට මාලන් ඉදිරියට ගත්තේය.
ජෝතිපාල හෙවත් කපිල ගැන නාකොටික් සුරංග තුළ කිසියම් අමනාපයක් තිබෙන්නට ඇත. කපිලලා පදිංචි වී සිටි තොටළඟ 75 වත්තේ මත්ද්‍රව්‍ය අල්ලන්නට සුරංග බොහෝ වාරයක් එහි පැමිණ ඇත්තේය. එක අවස්ථාවක තොටළඟ පන්සලේ ලොකු පෙරහරක් කපිල විසින් සංවිධානය කරනු ලැබ තිබුණි. පෙරහරට ගෙනා අලිඇතුන්ට කපිල ආහාර දෙමින් සිටින විට, නාකොටික් සුරංග ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් එහි කඩා පැන කපිල අත්අඩංගුවට ගන්නට සැරසුණහ. එහෙත් වත්තේ පිරිස කපිල අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑවෙන් සුරංග සහ කපිලගේ පිරිස අතර කිසියම් ගැටුමක් ඇතිවිය. හිස් අතින් ආපසු යන්නට සුරංගට සිදුවිය.
පිට්ටනි කෑල්ලේ දණගසාගෙන සිටි රඳවුවන් ඉදිරිපිට සිටි හමුදාව ඊළඟට, ‘කෝ කපිල ඉන්නවාද, නැගිටපන්’ කියා තුන් පාරක් පමණ කෑගැසුවෝය. ‘මම තමයි කපිල’ කියමින් එක් රඳවුවෙක් නැගිට්ටේය. හමුදා භටයෝ ඔහු ඇද ඉදිරියට ගත්හ. නාකොටික් සුරංග ඉදිරියට පැමිණ, ‘උඹ නෙවෙයිනේ යකෝ කපිල. උඹ ඉඳගනින්’යැයි කීවේය. ඇත්ත වශයෙන්ම සිදුවී තිබුණේ, කපිල බේරාගැනීමේ අදහසින් වෙනත් රඳවුවකු කපිල හැටියට අනතුරට මුහුණ දීමට නැගීසිටීමය.
හමුදා නිලධාරීන් කපිල සොයන්නේ යම් අනතුරක් කිරීමට බව හොඳින්ම දැන දැනත්, තමා කපිල හැටියට පෙන්වා ඉදිරිපත්වී ඒ රඳවුවා, එනම් සුසන්ත හෙවත් සයිමා, ඒ අවදානම තමා වෙත හරවා ගන්නට සූදානම් වුණේ, කපිල ගැන ඔහුගේ තිබුණු මහත් ආදරය නිසාය. සුසන්ත හෙවත් සයිමා මංකොල්ලකෑම් 7කට වරද පිළිගෙන අවුරුදු 25ක සිරදඬුවමක් ලැබ ඉන් අවුරුදු 20ක් ඒ වනවිටත් ගෙවා තිබුණේය. බන්ධනාගාරයට එනවිට ඔහුට වයස අවුරුදු 20කි. බන්ධනාගාර ගතවීමට මාස 3කට පෙර ඔහුගේ බිරිඳට පුතෙකු ලැබුණේය. අවුරුදු විසි ගණනකට පසු තමා ගෙදරට සම්පූර්ණ අමුත්තකු වන බව ඔහු දැන සිටියේය. සුසන්ත කපිල ගැන හඳුනාගෙන හිටියේ හිරගෙදර හිටි හිත හොඳ මනුස්සයෙකු හැටියටය. කාත් කවුරුවත් නැති තමා වැනි සිරකරුවන්ට කපිල බොහොම උදව් කර ඇති බව සුසන්ත දනියි.
’ඌ නොවයි කපිල. අර ඉන්නේ කපිල.’ කියමින් හමුදා නිලධාරීන් අතරින් ඉදිරියට පැමිණි නාකොටික් සුරංග කපිල අසළට පැමිණ ඔහු කමිස කොලරයෙන් අල්ලා නැගිටෙව්වේය. ඒ සමඟම කපිල, ‘ආ. සුරංග මහත්තයෝ’ කියමින් මිතුරු ඉරියව්වක් පෑවේය. ‘සුරංග මහත්තයෝ, මට එළියේ ඉන්න දුන්නේත් නැහැ. එල්ලුම් ගහට ඇවිල්ලාත් ඉන්න දෙන්නේ නැද්ද’ ඒ අතර කපිල සුරංගගෙන් ඇසුවේය.
පිළිතුරු නොලැබිණ. ඒ වෙනුවට හමුදා නිලධාරීහු කපිල ඇදගෙන පිටතට ගෙනයන්නට වූහ. ඒ අතර ඔවුහු ඔහුගේ කකුලට පහර දුන්හ. ‘ගහන්න එපා, කැඩිච්ච කකුල.’ කපිල බැගෑපත් වෙමින් කිව්වේය. ඒ වනවිට හමුදා නිලධාරීන් විසින් මංජු ශ්‍රී හෙවත් නිලමේද එතැනට ගෙනැවිත් තිබිණ. නිලමේද, කපිලද, මාලන්ද එතැනින් පිටතට ඇදගෙන යනු ලැබුවෝය. යුද ටැංකිවලින් වැටුණු ආලෝකයෙන් නිලමේ, කපිල හා මාලන් හමුදා භටයන් විසින් ඇදගෙන යනු අනෙක් සිරකරුවන්ට හොඳින් පෙනුණේය. ඒ බියකරු ආලෝකය, ආපසු කිසිදා සිරකරුවන් අතරට නොඑන සිරකරුවන් තිදෙනකු තමන් වෙතට ඇදගනිමින් මෙන් බලා සිටියේය. කපිලගේ සහෝදරයාත්, අනෙක් රඳවුවෝත් හැඟීම් විරහිතව ඒ දෙස බලා සිටියෝය. ‘මගේ අයියාව මරන්න ගෙනිච්චේ මගේ ඇස් ඉස්සරහම. සහෝදරයෙක් හැටියට මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නැහැ. මට ඒ ගැන හරි දුකයි.’ කපිලගේ සහෝදරයා පසුව ඒ ගැන කීවේ එහෙමය.
රඳවුවන් රඳවා සිටි පිට්ටනිය පැත්තක ඒ වන විට සිටගෙන සිටි බන්ධනාගාර අධිකාරිවරයා වෙත ගිය සුසන්ත හෙවත් සයිමා ඔහුගේ කකුල් දෙක අල්ලාගෙන වැටුණේය. ‘නිකං මනුස්සයෙක් සර් අර අල්ලගෙන යන්නේ. අනේ බේරලා දෙන්න.’ සුසන්ත වැළපුණේය. ‘තමුසෙලා කරගත්තු දේවල්. අපිට කරන්න දෙයක් නැහැ.’ බන්ධනාගාර අධිකාරිවරයා කීවේය.
ජෝතිපාල හෙවත් කපිල සහ මාලන් රැගෙන ගිය පැත්තෙන් දිගටම කෑගසන හඬ ඇසුණේය. එහි අවසානයට වෙඩි හඬ කිහිපයක්ද ඇසුණේය. ඒ වන විට වේලාව උදේ හතරහමාර පමණ වන්නට ඇත. හිමිදිරි උදෑසන ආලෝකයේ අඳුර කෙමෙන් බන්ධනාගාර බිම මත පතිතවෙමින් තිබිණ.
එළිය වැටුණු පසු රඳවුවෝ එහෙමෙහෙ යමින් සිදුවී තිබුණු විනාසය ඇස් දෙකින් බලාගත්තෝය. එම් වාට්ටුව මුල්ලේ මාලන්, කපිල සහ නිලමේගේ මළසිරුරු වැටී තිබිණ. කපිලගේ කකුලක් මාලන්ගේ ඇඟ උඩට වන්නට වැටී තිබිණ. බිත්තියේ ඉහළ සිට පහළට ගලාගිය ලේ දහරාවන් තිබිණ. ඒවා මිනිසකු දණගසාගෙන සිටින විට පපුව-හිස තිබෙන හරියෙන් පටන්ගෙන බිමට ගලාගෙන යමින් තිබුණු ඒවා විය.
මේ බිහිසුණු සමූහ ඝාතනයේ ඊළඟ අදියර ගැන ලබන රාවයෙන් කියවන්න.