Untitled-1

Untitled-1

යහපාලන මහත්වරුනි! මෙම අහිංසකයන්ගේ හානි පූරණය කරන්න


kjhlkj

ආනන්ද සරත් ගාල්ලගේ

මට දැන් වයස 65යි. අපි මේ ස්ථානයේ පදිංචි යට එන්නේ 1967දී. අපි පවුල් අටක් මේ ස්ථානය සොයාගෙන ඇවිත් කැලේ කපලා ශූද්ධ පවිත්‍ර කරගෙන පොඩි ගෙවල් හදාගෙන පදිංචි වුණා. මෙහේට එන්න කලින් හිටියේ කිලිවෙඞ්ඩියේ. ඒ ගම ගොවි ජනපදයක් කරලා පිටින් මිනිස්සු ගෙනැල්ලා පදිංචි කරවූවා. ගමේ පදිංචිවෙලා හිටිය අපිට ඉඩම් ලැබුණේ නැහැ. අපිට හිටි ඉඩම්වලින් යන්න වුණාම කොහේ යන්නද? මගේ මහත්තයා මේ ගම සොයාගෙන, මහ කැලේ අලි කොටි වලස්සු එක්ක හරි ළමයිත් එක්ක ජීවත්වෙන්න ඕනෑ කියලා හිතාගෙනයි මෙතැනට ඇවිත් පදිංචි වුණේ. අපි පවුල් අටක් පදිංචියට ආවාට අපි ඉදිරිය ගැන සිතුවේ නැහැ. මේ උස්බිමක්. කිලිවෙඞ්ඩි ගොවි ජනපදය සැලසුම් කරන කොට ඒ ජනපදයෙන් මේ බිම් කොටස අයින් වෙලා රිසවේෂන් වුණා කියලා තමයි මගේ මහත්තයා මෙතැන පදිංචි වුණේ. අපි පවුල් අට පදිංචි වුණාට පස්සේ ජනපද ව්‍යාපාරයේ වැඩට වතුකරයෙන් පැමිණි ද්‍රවිඩ පවුල් කුලීකාරයනුත් ඇවිත් පදිංචිවුණා. දැන් පවුල් 54ක් ඉන්නවා.’
මේ ගම පසුගිය කාලයේ දිගින් දිගටම රාවය පත්තරයෙන් හෙළිදරව් කළ 1996 පෙබරවාරි 11දා හමුදා සෙබළුන් කිහිප දෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ලකොට නිරායුද අහිංසක සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය කර තවත් 27 දෙනෙකුට තුවාල සිදුකළ කුමාරපුරම් ගම්මානයයි. මේ කථාව පවසන්නේ ඒ ගමෙහි පළමුවෙන්ම පදිංචිවූ පවුල් අටේ වැඩිමල්ම ස්ත්‍රිය වූ රාසදොරෙයි තවමනී මහත්මියයි. අප මේ ගමට තෙවැනි වරටත් යන්නේ ගමෙහි තලෙයිවර් (නායකයා) වූ ජේසුදාසන් පසුගිය 14දා දුරකථනයෙන් අප අමතා යම්කිසි කරුණු කිහිපයක් ගැන දැනගැනීම සඳහා කුමාරපුරම් වෙත පැමිණෙන්නැයි කළ ඉල්ලීමක් නිසාවෙනි. අප ඔහුට පිළිතුරු වශයෙන් කියාසිටියේ නොවැරදීම 18දා ගමට පැමිණෙන බවයි.
ඔහුට වූ පොරොන්දුව පරිදි පසුගියදා උදෑසන ත්‍රිකුණාමලයෙන් ගමන් අරඹා අක්කරෙයිපත්තුව බලා යන බසයෙන් කිලිවෙඞ්ඩියට ගියෙමු. නැගෙනහිර පළාතට දැන් එළඹ ඇත්තේ මාස් කන්නයේ වැසි වසින සමයයි. ඔක්තෝබර් 15න් පසු මහ වැසි වැටිය යුතු නමුත් අද දෙසැම්බරය වුවත් තවමත් මහ වැසි වැටෙන්නේ නැත. උදැසන වැසි අඳුරත් සමඟ හාත්පස විහිදෙන මීදුම හෙයින් පරිසරය ඇඟ හිරිවට්ටන තද සීතලකින් යුක්තය. අතරින් වතුර මඳ වැසි වැටෙයි. වැසි බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ මිදුල්වල රටකජු, බඩඉරිඟු, බටු, මෑ තක්කාලි වැනි කටුසර බෝග වගා කර ඇතත් වැසි නොවැස්සොත් ඒ වගා විනාශ වී යා හැකිය. ඒ ගමට අහසින් මිස වෙනත් වාරිමාර්ගයකින් ජලය නොලැබෙන හෙයිනි. 1967 සිට අද 2016 දක්වා වසර 49ක් මේ ගම්වාසීන්ට වගා කටයුතු සඳහා පමණක් නොව පානය සඳහාවත් වාරි ජලය සැපයෙන්නේ නැත. පසුගිය කාලය පුරා ජීවිතය මෙලෙස ගෙවුණත් සමාජයේ වෙනස්වීම් සමඟ තමන්ගේ ජීවන රටාවේද වෙනස්වීම් සිදුවිය යුතු යැයි ඔවුහු සිතති. අප සමඟ ගමේ අතීත තොරතුරු පවසන තවමනී අම්මා විමසන්නේ පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයකි. අප තවදුරටත් ලෝකයාගෙන් වසන් වී ජීවත්විය යුතුද යන්නයි.
ජේසුදාසන් පවසන පරිදි ඔවුන් පරම්පරා තුනක් ගමේ ජීවත්වී ඇත්තේ ළිංමැඩියන් විලසනි. ගම තිබෙන්නේ දියුණුවේ අරුණලු නොවැටෙන ඉසව්වකය. 1996 සිද්ධියෙන් පසු ගමේ තරුණයෝ ගමෙන් පලාගියහයි ඔහු කියයි. ගමේ ඉතුරු වූයේ තමන් මෙන් සිත දැඩි කරගත් කිහිපදෙනෙකු පමණි. එම සිද්ධියෙන් පසු නඩුව සඳහා අනුරාධපුරයට යෑමට ඒමට සිදුවීමෙන් රටෙහි යම් වෙනසක් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවත්නා බව ඔවුන්ට වැටහිණි. ගමට ලෝකයාගේ ඇස් ඇරවූයේ රාවය පත්තරයෙනි. රාවයේ නඩුව සම්බන්ධයෙන් වූ ලිපි පළවූවායින් පසු බොහෝ අය නැවතත් ඔවුන් හා සම්බන්ධකම් පවත්වමින් සිටිති.
තමන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් රාශියක් ඇතත් ඒවා ඉටුනොවන බව දැන් දැන් ඔවුන්ට දැනෙයි. ඔවුනට අප අවශ්‍ය වනුයේ මේ සම්බන්ධයේ කළ යුතු කාර්යන් කරගන්නේ කෙසේදැයි දැනගනු සඳහාය. කිසිදු පුවත්පතක් ගමට ලැබෙන්නේ නැත. ක්‍රමවත් ලිපි බෙදීමක්වත් සිදුවන්නේ නැත. කිසිදු රාජ්‍ය අණපනතක් ගැන හෝ දන්නේ නැත. රාජ්‍ය නිලධාරීන් ගැන ඔවුන් දක්වන්නේ බයකි. සත්‍ය වශයෙන්ම ගමට රජයෙන් විය යුතු බොහෝ දෑ නොසිදුවන බව පවසන ජේසුදාසන් ඉල්ලාසිටින්නේ, මේ පවුල් සඳහා අඩුම වශයෙන් කුඹුරු අක්කරයක්වත් ලබාදෙන ලෙසයි. ඔවුන් පදිංචිව සිටින ගම උස්බිමක පිහිටා ඇති හෙයින් වාරි ජලය සැපයෙන්නේ නැත. ගමට නැගෙනහිර පසින් මහවැලි ජලය ගලායන සේරුවාවිල සිට ඇරඹෙන ඇළද බටහිර දෙසින් මාවිල්ආරුව සිට ගලා බස්නා ඇළද ගලා ගියත් එම ඇළවල් දෙපස සරුසාර කුඹුරු යාය දෙස බලමින් ඔවුහු සුසුම් හෙළති.
වසර තුනක් මැදපෙරදිග ගෘහසේවයේ යෙදී සිට පැමිණ සිටින මලර් සිවනේශ්වරී ය මේ.
‘මැදපෙරදිග ගිහිල්ලා කරන්නේ සුවපහසු රැකියාවක් නොවෙයි. මුදල් හම්බවෙනවා තමයි, ඒ මුදල් නිකන් දෙන්නේ නැහැ. ඒක ගන්නත් දසබලු වැඩ කරන්න ඕනෑ. රැයක් දහවලක් නැතිව වැඩ කරන්න ඕනෑ. පොඞ්ඩ එහා මෙහා වුණ ගමන් බැණුම් අහන්න ගුටිකන්න ඕනෑ. මෙහේ කරන්න රක්‍ෂාවක් තියෙනවා නම් එහෙම දුක් විඳින්න යන්න ඕනෑ නැහැ. මම ඕලෙවල් පාස්. බැඳලා ළමයි හතරක් ඉන්නවා. මහත්තයා කුලීවැඩ කරන්නේ. ළමයි හතරදෙනෙක් ජීවත් කරවන්න මහත්තයාගේ පඩිය මදි. මොන කරදර ආවත් ළමයි ගැන හිතලා ආයිමත් යනවා. ලොකු පුතාට අවුරුදු 20යි දෙවැනි දුවට අවුරුදු 18යි. ඔවුන් ඉගෙනගෙන තිබෙනවා, නමුත් ඔවුන්ට මෙහේ රක්‍ෂා නැහැ. මෙහේ ඉන්න හුඟාක් තරුණයෝ කොළඹ වැඩ බිම්වල කුලී වැඩට යනවා. ගෑනු ළමයි තුන්දෙනෙක් කන්තලේ ඇඟලුම් කම්හලක වැඩට යනවා. ගමට බස් එකක් ඇවිල්ලා ඒ අය එක්ක යනවා. නැතිනම් ඒකත් නැහැ. ගමට මොකක් හරි කම්හලක් හදලා දෙනවා නම් ළමයින්ට පමණක් නෙවෙයි, අපිටත් ඒකේ මොනවා හරි කරන්න පුළුවන්.’
කේ. නිරූෂන්, පුවනේශ්වරී සහ සිවනේශ්වරී එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. නිරූෂන්ට වයස හතරේදීත් පුවනේශ්වරීට වයස හයේදීත් සිවනේශ්වරීට වයස අටේදීත්, 1996 සිදුවීමේදී වෙඩි ප්‍රහාරවලින් සහ කඩු ප්‍රහාරවලින් සිදුවූ තුවාලවලින් සුවය ලබා සිටියත් ක්‍රමවත්ව බර වැඩවල යෙදීමට ඔවුන්ට අපහසුය. සහෝදරියෝ දෙදෙනා විවාහවී දරුවන්ද ලබා සිටිති. වැඩිමහල් සහෝදරිය වන දැනට 28වන වියේ පසුවන සිවනේශ්වරීගේ වම් පාදයේ ඇඟිලි සියල්ල සමඟ පිට පතුල කඩු පහරකින් මුළුමනින්ම වෙන්වී ඇත. ඇයට සම බරව හිටගනු නොහැකිය. එවකට සිවුහැවිරිදි හයහතර නොදත් නිරූෂන්ට කඩුවකින් හෝ තියුණු ආයුධයකින් පහර වැදීමෙන් පසු ජීවිතය ගැළවී ඇත්තේ හාස්කමකින් යයි ඔහුගේ මිත්තණිය කියයි. එදා බිළිඳු වයසේ සිටි ඔහු මරාදමන්නට කඩුපහර එල්ලකරන්නේ ඔහු ත්‍රස්තවාදියෙකු නිසා නොව ඔහු ද්‍රවිඩ සම්භවයක් ඇති දරුවකු නිසාය. එක ද්‍රවිඩයකු හෝ ශ්‍රී ලංකාව තුළ ජීවත්විය යුතු නැතැයි සිතූ සිංහල හමුදා සොල්දාදුවකුගේ අමානුෂික ප්‍රහාරයෙන් ජීවිතය ගලවාගත් නමුත් අද ශරීර බෙලහීනතාව හෙයින් කිසිදු බර වැඩක් කිරීමට ඔහුට නොහැකිය. 24 හැවිරිදි තරුණයකු වන ඔහු ගමේ කෘෂිකර්ම ගබඩාවේ රාත්‍රී මුර සේවයේ යොදවා තිබේ. මේ වෙනුවෙන් ඔහුට ගෙවන වැටුප මාසිකව රුපියල් 5000කි. එය ගෙවන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විය නොහැකිය. අඩු වශයෙන් දෙපාර්තමේන්තුවක මුරකරුවකුට රුපියල් 24000ක පමණ වැටුපක් හිමිවිය යුතුය. මොහුට ලැබෙන සොච්චම් මුදලට වඩා වැඩි මුදලක් මොහුගේ ශ්‍රමය විකුණා තවත් අයෙකු විසින් ලබාගන්නා බවයි අපගේ හැගීම. මෙය නිවැරදි විය යුතුය. එහෙත් ඒ සඳහා විමසිය යුත්තේ කවරෙකුගෙන්දැයි ගමෙහි කිසිවෙක් නොදනිති.
ගමට හිමිව ඇති කුඩා හින්දු දේවස්ථානය එදා, 1996දී අප පළමු වරට එම ගමට යද්දී දුටු අයුරින්ම අදත් තිබේ. එය ගරාවැටීමට නොදී පවතින අයුරින් තබාගැනීමට හැකි උත්සාහ ගන්නවා විනා එය අලුතින් ගොඩනඟා පවත්වාගෙන යෑමට ඔවුහු පොහොසත් නොවෙති. එයින්ම ගමේ ජනයා මොන තරම් ද්‍රරිද්‍රතාවකින් පෙළෙන්නේ දැයි සිතාගත හැකිය. තමන් අදහන ආගම වෙනුවෙන් පුදපූජා පැවැත්වීමට දේවාලයක් හෝ සදා නිමකර ගැනීමට අපොහොසත් තමන් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ටවන්නේ කවදා කෙසේදැයි ඔවුහු බලාසිටිති.
‘දැන් ඉස්සරහට ඡන්දයක් එනවා කියලා ආරංචියක් තියෙනවා. ඔන්න එහෙම වුණොත් අපි නොදන්න මිනිස්සු ගමට ඒවි. නොයෙකුත් පොරොන්දු දේවි. හැබැයි මේ එන කිසිම අයෙක් ඡන්දය ඉල්ලන අය නෙවෙයි. මේ එන අය අපි දන්න ගමේ අයත් නෙවෙයි. මේ එන අය අපිට නොයෙකුත් පොරොන්දු දීලා අරයාට ඡන්ද දෙන්න මෙයාට ඡන්දේ දෙන්න කියලා අපෙන් ඉල්ලා සිටිනවා. එයා දිනුවොත් මේ මේ දේවල් දෙනවා. අරයා දිනුවොත් මේ දෙනවා කියලා පොරොන්දු වෙලායි ඡන්දේ ගන්නේ. සමෘද්ධි නිලධාරීන් කියනවා, ඡන්දේ දුන්නේ නැත්නම් සමෘද්ධි කපනවා කියලා. ග්‍රාමසේවක කියනවා ඡන්දේ දුන්නේ නැත්නම් ඡන්ද ලැයිස්තුවෙන් නම අයින් කරනවා කියලා. ඉතින් ඒ බයට අපි ඔවුන් කියන කාට හරි ඡන්දේ දෙනවා. ඒ ඡන්දේ වටිනාකම කීයද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ අපේ ඡන්ද එකතුකරලා දෙන කෙනා කාට හරි ඡන්ද විකුණලා මුදල් හම්බ කරනවා කියලා දැන් නම් අපිට තේරෙනවා. බලන්න අපේ ගම දිහා, මෙතැන කාට හරි රජයෙන් ගෙයක්වත් හදලා දීලා තියෙනවාද? අඩු වශයෙන් අපිට වතුර බොන්න ළිඳක්වත් බැඳලා දීලා නැහැ. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ කම්කරු වැඩක්වත් අපේ ගමට දීලා නැහැ. දැන් ගමේ ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඒලෙවල් සමත් ළමයිනුත් ඉන්නවා. අපේ ගමට කිසිම සංවර්ධන කටයුත්තක් වෙලා නැහැ. හැබැයි මේ පාර ඡන්දේදී අපිව රවටන්න බැහැ. මේ පාර කවුරු හරි අපේ ඡන්දේ ඉල්ලන්න එනවා නම් මෙන්න මේ දේවල් ගමට දෙනවා කියලා අපිට පොරොන්දුවක් ලිපියකින් දුන්නොත් විතරයි අපි ඡන්දේ දෙන්නේ. නැතිනම් අපේ ඡන්ද ඉල්ලන්න එන්න එපා කියලා අපි කියනවා.’ මෙසේ කියන්නේ සත්‍යප්‍රියාය. ඇය පවසන්නේ කවුරු හරි උදව් කරනවා නම් තමා ප්‍රාදේශීය සභාවට තරග කරන බවය.
ජේසුදාසන් ගමෙහි තලෙයිවර්ය. ඒ නායකකම ඔහුට ලබාදී ඇත්තේ රජයෙන් නොව ගමේ ජනතාවයි. ඒ ඔහු සැබවින්ම ගමට ආදරය කරන අවංක නිවුණු වැඩිහිටියෙකු නිසාය. අඩු වශයෙන් කිසිම දැනඋගත්කමක් නැති නිකමුන්ට ලබාදෙන වෙල් විදානේ තනතුරක්වත් ඔහුට ලබාදී නොමැත. මෙවැනි සමාජ මෙහෙවරෙහි යෙදෙන මිනිසුන්ට රජයේ විශේෂ සැලකිල්ලක් තිබිය යුතුය. රජයේ සංක්‍රාන්තික යුක්තිය යටතේ සිවුවැදෑරුම් කටයුත්තක් සිදුවන බව දැනගන්නට ඇතැයි ඔහු කියයි. ඒ නම්, යුද්ධය පැවති කාලය තුළ සිදුවීම් සම්බන්ධයෙන්, සිදුවූයේ කුමක්දැයි සත්‍යය දැනගැනීමට ඇති අයිතිය, සාධාරණ සහනයක් ලබාගැනීමට වින්දිතයන්ට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දි ලබාගැනීම) සඳහා වින්දිතයන්ට ඇති අයිතිය, තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමෙන් ආරක්‍ෂා වීමට සමාජයට ඇති අයිතියයි.
මේ කිසිදු දෙයක් ගමට සිදුවී නොමැති බව පවසන ජේසුදාසන් වැඩිදුරටත් කියාසිටින්නේ, තමන්ගේ ගම දිහා තවමත් ආරක්‍ෂක අංශ බලන්නේ ත්‍රස්තවාදී ගම්මානයක් ලෙස බවයි. අහිංසක මිනිසුන් ජීවත් වූ මේ ගමට යම්කිසි අහඹු සිදුවීමක් හෙයින් ප්‍රහාරයක් දියත්කර මිනිසුන් 24 දෙනෙකු මරාදමා තවත් 27 දෙනෙකුට තුවාල සිදුකොට ත්‍රස්තවාදී ගමක් ලෙස හංවඩු ගැසුවේ පසුගිය රජය විසිනුයි. එය නිවැරදි කිරීමටවත් යහපාලන රජය උත්සුක නොවන බවයි ජේසුදාසන් කියන්නේ. ප්‍රහාරයෙන් දිවි පිදු 24දෙනා මිහිදන් කළ ස්ථානයේ සිහිවටන ඵලකයක් ඉදිකිරීමට ඔහුට කැමැත්තක් තිබේ. මොන සංහිඳියා කතා කීවත් එය සිදුකිරීමට මෙම රජයද ඉඩ නොදෙන බවය ඔහුගේ අදහස. ඒ සඳහා පුළුවන් අයෙකු උදවු කරන්නයැයි ඔහු සමාජයෙන් ඉල්ලා සිටියි.■