Monday, 21/8/2017 | 4:35 UTC+0
රාවය

ජනතාව සවිබල ගැන්වීමට දායක විය හැක්කේ කෙසේද?

මහාචාර්ය රොහාන් සමරජීව

සවිබල ගැන්වීම මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි. සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් ද මේ දිනවල කතා බහ බොහෝය. අප උත්සාහ කළයුත්තේ හුදු වචන හරඹ අබිබවා සවිබලකරණය ක්‍රියාවට නැගීමටයි.
ශ්‍රී ලංකාව බරපතළ අභියෝගයනට මුහුණ දෙමින් සිටින්නේය යන කරුණ සම්බන්ධයෙන් පුළුල් එකඟතාවක් තිබේ. එහෙත්, මේවාට ඇති විසඳුම් මොනවා විය යුතු ද සහ විශ්වවිද්‍යාල තුළ සහ පිටත සිටින විද්වත් පිරිස්වලට එකී විසඳුම් සෙවීමේදී කිසියම් කාර්යභාරයක් ඉටුකිරීමට තිබේ ද යන කරුණු ගත් විට එතරම් එකඟතාවක් නැත. ඒ පිළිබඳව සාකච්ඡාවට එළැඹීමට පෙර පසුගිය දශක හතර තුළ අප අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මතක් කර ගැනීම වටී.

අප පැමිණ ඇති දුර
විවිධාකාර පෝෂණ ඌනතාවන් නිසා ඇතිවන මරාස්මුස් සහ කවෂියෝකෝර් වැනි රෝගවලින් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කරන්නට බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරුන්ට සිදුවී තිබූ 1970-77 වැනි යුගයක සිට අපි බොහෝ දුරක් ඉදිරියට පැමිණ ඇත්තෙමු.
මගේ වයසේ පසුවන බොහෝ දෙනෙකු මෙන් මමද කුඩා කාලයේ දුරකතන පහසුකම් පමණක් නොව විදුලිබලය ද නොමැති නිවසක වාසය කර ඇත්තෙමි. ඒ කාලයේ අපේ ජනතාවගෙන් වැඩි කොටසකට නිවසේ තිබූ මහාර්ඝතම වස්තුව වූයේ මහන මැෂිම වන අතර හදිසි මුදල් අවශ්‍යතාවක දී උගස් තබන්නට වටිනාකමක් තිබුනේ ද එහි පමණකි. 2012-13 කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණයට අනුව, වර්තමානයේ මහන මැෂිමක් ඇති සංඛ්‍යාවට වඩා ශීතකරණයක් ඇති කුටුම්බ සංඛ්‍යාව ඉහළය. ආණ්ඩුවේ ගණන් තැබීම අනුව ඒ වන විට රටේ කුටුම්බයන්ගෙන් සියයට 46.2කට ශීතකරණයක් තිබිණ. එම සමීක්ෂණයේ සිට මේ වනවිට වසර හතරක් ගත වී ඇති අතර 2015 මහ මැතිවරණ කාලයේ දී සිදු කරන ලද ඉල්ලුම් උත්තේජනය ද සලකන විට එම ප්‍රතිශතය සියයට 60ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි උපකල්පනය කළ හැක.
කුටුම්බ වත්කම් සම්බන්ධ තත්ත්වය එසේ පවතී. එහෙත්, ජනතාව කෙතරම් හොඳින් සිය ජීවිත ගත කරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා යොදාගත හැකි වඩාත්ම විශ්වසනීය දර්ශකය වනුයේ ඔවුන් සිය සමස්ත වියදමින් කවර ප්‍රතිශතයක් ආහාර සඳහා වැය කරන්නේ ද යන්නය. එංගල්ස් නමැති සංඛ්‍යාලේඛනඥයා විසින් සොයා ඉදිරිපත් කරන ලද නීතියකට අනුව ජනතාව ක්‍රමයෙන් ධනවත් වන විට ඔවුන්ගේ සමස්ත වියදමින් ආහාර සඳහා වැයකරන ප්‍රතිශතය පහළ බසී. එතරම් ඈත නොවන 1990-91 කාලයේ දී අපේ රටේ කුටුම්බයක් සාමාන්‍යයෙන් සිය සමස්ත වියදමින් 2/3ක් හෙවත් සියයට 64ක් ආහාර සඳහා වැය කළේය. මේ සංඛ්‍යාව, 2012-13 වන විට සියයට 37.6ක් දක්වා පහළ වැටී 1/3ක සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතී. සාක්ෂි අනුව පෙනීයන්නේ අප වඩා හොඳ ජීවිතයක් ගතකරමින් දිගු කාලයක් ජීවත් වන බවයි.
අපේ රටේ දේශපාලන ක්‍රියාදාමය විසින් ඒ සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන ලද බව සැබෑවකි. එහෙත්, සංඛ්‍යාලේඛනවලින් කියැවෙන මේ ප්‍රගතියේ සැබෑ නිර්මාපකයන් නම් මේ රටේ සවිබල ගැන්වුණු පුද්ගලයන්, පවුල් සහ ව්‍යවසායකයන්ය.
මේ ආකාරයෙන්, එදා සහ මෙදා තුර අප ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සනාථ කරගැනීමෙන් අනතුරුව අප ඉදිරියේ ඇති අභියෝගයන්ට අවධානය යොමුකරමු.

ධනවත් වීමට පෙර මහලු වීම
අප ක්‍රමයෙන් ධනවතුන් වෙමින් සිටිනවා විය හැක. එහෙත්, තමන්ගේ කටයුතු තමන්ටම කරගැනීම සඳහා අවශ්‍ය ආර්ථික සහ ශාරීරක ශක්තියෙන් පිරිහුණු වැඩිහිටි ජනගහනය වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැලක් එලාගන්නට තරම් අප ධනවත් වන්නට පෙර රටේ වැඩිහිටි ජනගහනය අධිකවීමේ අනතුර අප ඉදිරියේ ඇත. මහලු මාපියන් බලු කූඩුවල දමා තබන ආකාරයේ කතා පුවත්පත්වලින් අපට දැනටමත් අසන්නට ලැබේ. පුවත්පත්වලටත් අපටත් අසන්නට ලැබෙන්නේ සිදුවන සිද්ධීන්ගෙන් අල්ප මාත්‍රයක් පමණකි.
අපේ රටේ මධ්‍යන්‍ය ආයු කාලය අවුරුදු 32.5කි. එනම් අප ජනගහනයෙන් අඩක් අවුරුදු 32.5ට වඩා වයසැතිය. 2000 වසර වන විට වයස 60ට වඩා වැඩි පුද්ගල සංඛ්‍යාව රටේ සමස්ත ජනගහනයෙන් සියයට 9.2ක් වූ අතර එය අනෙක් සියලු සංවර්ධනය වන රටවල වාර්තාවන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රතිශතයකි. ගණන් බලා ඇති ආකාරයට 2050 පමණ වන විට අපේ රටේ වයස 60ට වැඩි පුද්ගල සංඛ්‍යාව ජනගහනයෙන් සියයට 25 ඉක්මවා යනු ඇත. සංඛ්‍යාවෙන් කුඩා වී ඇති අපේ පවුල්වලට සිය වැඩිහිටි සාමාජිකයන් රැක බලාගැනීම විශාල අභියෝගයක් වනු ඇත. අපේ රටේ ක්‍රියාත්මක වන නොමිලේ සපයන වෛද්‍ය ප්‍රතිකාර සහ නිවාරක සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අපි ආඩම්බරයෙන් කතා කරමු. එහෙත්, ඉදිරියේ එන සෞඛ්‍යමය අභියෝගයන්ට මුහුණ දීමට අප සූදානම්දැයි අප කල්පනා කර තිබේද? පිළිකා රෝගීන් මෙන්ම වැව් බැඳි රටේ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින අනියත ප්‍රභවයක් සහිත වකුගඩු රෝගයෙන් පෙළෙන්නවුන් පූර්ණ වශයෙන් රැක බලාගැනීමට එම සෞඛ්‍ය සේවයට ඇති නොහැකියාව ගැන අමුතුවෙන් කිවයුතු නැත.
නව ව්‍යාපාර ඇරඹීමට සහ තමන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක් සකසාදීමට වත්මන් තරුණ පරපුර සවිබල ගැන්වීමට අප සූදානම්ද? නොඑසේ නම් මහලු මාපියන් රැක බලාගැනීමට තම සියලු සම්පත් යොදාගැනීම හැර වෙන විකල්පයක් නැති තත්ත්වයක ඔවුන් හිරකරමුද?
අපේ ජනගහනය සම්බන්ධ මේ අභියෝගය දශකයකට වැඩි කාලයක් තිස්සේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා විසිනි. මේ දැනුවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස්කිරීමට හේතුවිය යුතුව තිබුණත් එය එසේ සිදු නොවිණ. ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය සමග නිර්මාණාත්මකව සම්බන්ධ වන්නට හැකි අයුරින් අපේ තරුණ පරපුර බලගන්නවා ගන්නට අපට නොහැකි වූයේ මේ පණිවිඩය අවබෝධ කර ගෙන අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් නොගත් හෙයිනි.
මා ඉහත සඳහන් කළ කරුණ මින් පෙර ඔබට අසන්නට ලැබී නැතිනම්, ඒ, සන්නිවේදනයේ අසාමර්ථ්‍යතාවක් හේතුවෙනි. ජනගහනයට සම්බන්ධ මේ අනතුරේ සැබෑ තත්වය පිළිබඳව සාක්ෂි පවතිතත් අපේ සමාජයේ බොහෝ උගත් කොට්ඨාස අතර පවා මේ පිළිබඳව දැනුවත්කමක් නොමැත.
වැඩිහිටි පුරවැසියන්ගේ ආරක්ෂණය සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වෙනස්වීමක් අවශ්‍ය බව සහ සමාජ ආරක්ෂණ දැල් නිර්මාණය කිරීමට අප කටයුතු කළ යුතුයැයි වචනයෙන් කීම එකකි. එසේ කීම ඉතා පහසුය. සමාජ ආරක්ෂණ දැල් යනු මොනවාද? වෙනත් රටක පවතින ක්‍රමයක් ආනයනය කර ඒ ආකාරයෙන්ම මේ රටේ යොදාගත හැකිද? ඇත්ත වශයෙන්ම, එසේ කළ නොහැකිවා පමණක් නොව කළ නොයුතුය. අනුන්ගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගැනීම කළ හැකි වුවත් මේ වැනි කාර්යයක් කිරීමකදී සන්දර්භය සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.
මෙම ප්‍රශ්නයට අදාළ ප්‍රබල සමාජ විද්‍යාත්මක දැනුම තිබෙන්නේ කොතැනකද? විධිමත් අහඹු පාලිත පර්යේෂණවලින් මෙවැනි සමාජ ගැටලුවලට විසඳුම් සොයාගැනීමට හැකිවුවද එවන් නවීන ක්‍රමවේද ගැන අප විශ්වවිද්‍යාලවල වැඩි උනන්දුවක් නැත.

ඉහළ මට්ටමේ රැකියා
අපි යෞවන පරපුර වෙත අවධානය යොමු කරමු. අවුරුදු 20-29 වයස් කාණ්ඩය තුළ විරැකියා අනුපාතික සමස්ත විරැකියා අනුපාතය මෙන් තුන් ගුණයක් පමණ වේ. මෙම වයස් කාණ්ඩවල යෞවන පිරිස් රැකියා සොයන නමුත් තිබෙන ඕනෑම රැකියාවක් භාරගැනීමට ඔවුන්ගේ කැමැත්තක් නැත.
සැලකිය යුතු වැටුපක් ලැබෙන්නේ නම් රැකියා කිරීමට ඔවුන් තුළ අකැමැත්තක් නොවන බව සහ එවැනි රැකියා සඳහා සුදුසුකම් ලබාගැනීමට පෝලිමක රැයක් පහන් කිරීමට පවා ඔවුන් තුළ අකැමැත්තක් නැති බව කොරියානු භාෂා විභාගයට මුහුණදීමට දිගු පෝලිම්වල රැඳීසිටින තරුණ පිරිස් දකින විට පැහැදිලිව පෙනේ. යෞවනයන්ගේ විරැකියාව සම්බන්ධයෙන් විවිධ වූ පැහැදිලි කිරීම් ඉදිරිපත් වේ. තරුණයන්ගේ සාරධර්මවල වරදක් ඇති බව සමහරුන්ගේ අදහසයි. තවත් සමහරු මාපියන්ට එහි වරද පටවති. ව්‍යුහාත්මක වරදක් නිසා අපේ ආර්ථිකය විසින් යෞවන පිරිස් කැමති වර්ගයේ රැකියා නිර්මාණය නොකරන බව දකින කණ්ඩායමක් ද වෙයි.
මේවා සම්බන්ධයෙන් අපේ සමාජ විද්‍යාඥයන් විසින් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව ඇතත් එසේ වන බවක් පෙනෙන්නට නැත. ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක වරදක් නිසා එනම් ආර්ථිකය පසුගිය දශක ගණනාවක් තිස්සේ අභ්‍යන්තර දිශානතියකින් යුතුව ක්‍රියා කිරීම නිසා, මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවට අගමැතිවරයා දරන මතය සමග මා ද එකඟය. ක්‍රය ශක්තිය (මිල දී ගැනීමේ ශක්තිය) එතරම් ඉහළ තත්ත්වයක නොමැති මිලියන 20ක ජනතාවකට ඔබ්බෙන් ඇති වෙළෙඳපළක් ගැන අප සිතිය යුතුය. බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, මියැන්මාරය සහ ලාඕසය යන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන රටවල් හයකින් යුතු බෙංගාල බොක්ක කලාපය සමග අපේ ආර්ථිකය ඒකාබද්ධ කළ යුතු බවට ආණ්ඩුව කර ඇති යෝජනාව නිවැරදියැයි මගේද අදහසයි. මියැන්මාරයට යාබදව පවතින චීනය අතිදැවැන්ත වෙළෙඳපළකි. එම කලාපයට පිවිසෙන ද්වාරය වශයෙන් අපේ රටේ පිහිටීමෙන් නියම ප්‍රයෝජනය ගැනීමට අපට ක්‍රියා කරන්නේ නම් අපේ යෞවනයන් මෙරටම රඳවාගැනීමට හැකි වන ආකාරයේ රැකියා නිර්මාණය කරගැනීමේ හැකියාවක් තිබේ.
ඉහත කරුණු සම්බන්ධයෙන් වඩා ශක්තිමත් සාක්ෂි ඉදිරිපත් කළ හැකිද? ඒ සඳහා වියට්නාමය උදාහරණ කොට දිය හැක. වෙළෙඳ ගිවිසුම් හරහා ගෝලීය අගය දාමයන්ට සම්බන්ධ වූ වියට්නාමය අතිමහත් ආර්ථික ප්‍රගතියක් ලබාගන්නට සමත් වී ඇත. එහෙත්, අපේ යොවුන් පරපුර සැබෑවටම බලාපොරොත්තු වන දේ ගැන මට සිතිය හැක්කේ අනුමානයෙන් පමණකි. මේ ආකාරයේ සාක්ෂි පවතී නම්, වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ අපේ සාකච්ඡා, දැනට පවතින පරමාදර්ශී සහ ප්‍රතිපත්තියෙන් වියුක්තව භාවාතිශය බවට පත්වී ඇති තත්ත්වයෙන් මුදවා වෙනත් තලයකට ගෙනයෑමට අපට හැකි වන්නට ඉඩ තිබේ.

කතාවෙන් ඔබ්බට යමු
කතාවෙහි නොනැවතී ඉන් ඔබ්බට යා හැක්කේ කෙසේදැයි සොයාබලමු.
පළමුවෙන්ම, අපේ සමාජය මුහුණ දෙන ප්‍රධානතම අභියෝග මොනවාදැයි පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. මවිසින් වැදගත් යැයි සිතන අභියෝග දෙකක් ඉහත සඳහන් කර ඇත. ඒ හැරුණු විට වෙනත් අභියෝග ඇත. උසස් අධ්‍යාපනයද ඇතුළුව අපේ රටේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයම අර්බුදයකට මුහුණ දී ඇතැයි බොහෝ දෙනෙක් තර්ක කරනු ඇත. වාර්ගික සමගිය ඇති කිරීම හෝ නොසෑහෙන මට්ටමට ඉහළ යමින් පවතින ළමා හිංසනය තවත් කෙනෙකුගේ ප්‍රමුඛතා විය හැක.
අප එකිනෙකාගේ නිපුණතාවට ගැළපෙන අභියෝගය හඳුනාගැනීමෙන් අනතුරුව එම ගැටලුව සම්බන්ධව පර්යේෂණ කිරීම අවශ්‍යය. මෙසේ ලබාගන්නා පර්යේෂණ ප්‍රතිඵල, වර්තමානයේදී මිථ්‍යාව සහ බොරුව රජවී ඇති, ප්‍රසිද්ධ සංවාදය වෙත යොමුකළ යුතු වේ.
සියලු දේශපාලකයන් වයස විසිගණන්වලදී උගත් දෙයින් පාලනය වන්නේයැයි කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකුවූ කෙයින්ස් (ණැහබැි) මහතා කියා ඇත. එනිසා, අප සමහරෙකුට, යල් පැන ගිය මානසිකත්වයන් වෙනස් කිරීමට ඉතා දුෂ්කර කාර්යයක යෙදීමට සිදුවනු නියතය.
ඉතාම ඉහළ මට්ටමේ තත්ත්ව පාලනයකට අපවම භාජනය කර ගනිමින් අප, මේ සියලු දුෂ්කර කාර්යයන් කළ යුතුමය. යමෙක් කරන කටයුතු සම මට්ටමේ කෙනෙකු විසින් සමාලෝචනය කිරීම ‘රන් ප්‍රමිතියක්’ ලෙස සැලකුණ ද එහි අඩුපාඩු රැසක් තිබේ. ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රය ගත් විට, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සම-මට්ටම් සමාලෝචනයක් නිම වන තුරු සිටීම සෑම විටම ප්‍රායෝගික දෙයක් නොවේ. මෙම සමාලෝචනයන් ද ප්‍රසිද්ධ සංවාදය තුළටම අන්තර්ගත කිරීමට සමහර විට අපට සිදුවේ.
සමාජ විද්‍යාවන්හිදී අපට ක්‍රියාකිරීමට සිදුවී ඇත්තේ විවෘත පද්ධතියක් සමගිනි. අප පර්යේෂණයක් කරමින් සිටින අවස්ථාවේදී පවා අප හදාරන පුද්ගලයන් වෙනස් වීමට ඉඩ තිබේ. සංවෘත පද්ධතියක් තුළ අජීවී වස්තූන් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී ලද හැකි මට්ටමේ නිශ්චිත බවක් සමාජ ආර්ථික ක්ෂේත්‍රයන්හි ලබාගත නොහැක. අප නගන ප්‍රශ්න සහ අප කරන උපකල්පන අප කවුරුන් ද යන්න මත රඳා පවතී. එහෙයින්, වෙනස් අදහස්වලට සේම ප්‍රසිද්ධ සංවාදයේ දී සිදුකෙරෙන විවාදවලටද අප ඉඩහළ යුතුය. අපේ මත, පර්යේෂණ හරහා සොයාගත් කරුණු මත පදනම්ව ඇති අවස්ථාවලදී පවා එසේ කරන්නට අපට සිදුවේ.
අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති සහ ඒවාට පාදක වූ සාක්ෂි සම්බන්ධ ශිෂ්ට සංවාදයක් අපට අවශ්‍ය වේ.
සමාජ විද්‍යාඥයන් තමන්ගේ විෂය පථය තුළ කැපවීමකින් ඉහත ආකාරයට කටයුතු කරන්නේ නම් අප ජනතාව සවිබලගැන්වීම හුදු හිතලුවක් නොවනු ඇත.■
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උළෙලේ මහාචාර්ය රොහාන් සමරජීව කළ දේශනය)

About