එක්ටැමෙන් බැස උපයෝගීතාවාදී සමාජයට එන්න

නීතිඥ ශිරාල් ලක්තිලක

ඔබ ඇතුළු පිරිසකගේ අපේක්ෂාව වුණේ එජාපයට විකල්ප නායකත්වයක් තෝරාගැනීමයි. එජාපය සාම්ප‍්‍රදායික රාමුවෙන් ගලවාගෙන එය නූතන පක්ෂයක් බවට හැරවීමේ වැඩපිළිවෙළකුත් ඊට සමාන්තර විය යුතුයි. මේ ගැන ඔබේ අවධානය යොමුවෙන්නෙ කොහොමද?

කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන විට අපි අපේක්ෂා කළ පළමු දේ තමයි යහපත් දේශපාලන සංස්කෘතියකට යෑම. ඒක හොඳ මහත්තුරුන්ගෙන් බිහිවන එකක් නෙවෙයි ව්‍යුහය, ක‍්‍රියාපටිපාටිය හා ආකල්ප තුළිනුයි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිවන්නේ. මේ සංස්කෘතිය අධි නිශ්චය කර තිබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය විසිනුයි. ඒකට එජාපය වගකිව යුතුයි. එතකොට ඒ විධායක ධුරය වෙනස් කිරීම අනාගත දේශපාලන අරගලයේ පළමු කොන්දේසිය විය යුතුයි. පෘථග්ජන මිනිස්සු මේකෙ තිබෙන අධික බලය හමුවේ ඊට ඇලෙනවා. චන්ද්‍රිකා, මහින්ද, ජේවීපී, අපේ පක්ෂෙ සේරටම ඒක වුණා. එහෙම නම් අපිට අවශ්‍ය වෙනවා ඔලිවර් ක්‍රොම්වෙල් කෙනෙක්. ඒ කියන්නෙ බලයට ඇලෙන් නැතුව වැඬේ කරලා ගෙදර යන වයෝවෘද්ධ නායකයෙක්. ඒ නිසා මේ වැඬේට හොඳම පුද්ගලයා කරු ලෙසයි අපි දැක්කෙ. එජාපය හොඳ වැඩ වගේම නරක වැඩත් කර තිබෙනවා. ඊට අඳුරු ඉතිහාසයකුත් තිබෙනවා. අඳුරු ඉතිහාසයෙන් මිදීමට හා මහජනයාගේ විශ්වාසය දිනාගැනීමට ස්වයංවිවේචනයක් අවශ්‍යයි. අවංක විවේචනයක් කළහැක්කේ කාටද? එය කළහැක්කේ හෘදය වස්තුව ලොකු පුද්ගලයකුටයි. පොඩි අයට බැහැ ඒක කරන්න. ඒ ශක්තිය තිබුණෙත් ජයසූරියට. අනික් පැත්තෙන් 2001 ඉඳලා එජාපය නව ලිබරල් මොඩලයට ගෙනිච්චේ රනිල් වික‍්‍රමසිංහ. ජේ.ආර්.ට යැංකි ඩිකී කිව්වත්, ඇමරිකානු හිතවාදියා කිව්වත් ඔහු ලංකාව තුළ මිශ‍්‍ර ආර්ථිකයක් ගෙනිච්චා. සුබසාධන ආර්ථිකයකුත් පවත්වාගෙන ගියා වෙළෙඳපොළට ආර්ථිකය විවෘත කරන අතරම. රනිල්ගේ මොඩලය තුළ එජාපය පිමි ගණනාවකින් පස්සට විසිවුණා. රට පෙරට දැන්වීම් මාලාව තුළින් පෙන්නුම් කැරුණේ අපි මහජනතාවගෙන් විතැන් වන ආකාරය මිසක් වෙනකක් නොවෙයි. එජාපය කියන්නේ විජාතික, දේශීය නොවන, අතිශය තණ්හාධික උග‍්‍ර ධනවාදී ලේබල් ගණනාවක් අපිට වැදුණා. අද වනවිට ලිබරල් ආර්ථික මාදිලිය ලෝක පරිමාණයෙන් කඩාගෙන වැටිලා. අද වොෂින්ටන් සම්මුතිය බොරුවක් කියලා ඒක හදපු අයම කියනවා. එතකොට යූඑන්පී එකේ ඉදිරිය රඳා පවතින්නේ අපි මොන විදියේ ආර්ථිකයක් ගොඩනගනවද කියන එක මතයි. ඒ සඳහාත් වෙනසක් ඕන. රනිල්ට දැන් හැරිලා කියන්න බැහැ මම නව ලිබරල් ආර්ථිකයෙන් ඉවත් වෙනවා කියලා, සාධාරණ හේතු දැක්වීමකින් තොරව. මොකද ආර්ථිකය විසින් අනික් සියලූ දේ නිශ්චය කරන තත්ත්වයක් තුළ ලංකාවට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැතහොත් සම්බන්ධීකරණ ආර්ථිකයක් අවශ්‍යයි. වෙළෙඳපොළ එපා කියලා අපිට කියන්න බැහැ. නමුත් ඒ සමගම රාජ්‍යය අවශ්‍යයි කියන එක පිළිගන්න වෙනවා. ඊළඟට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් වැනි විෂයයන්වලට යෑමේදී කියමනක් තිබෙනවා සාධාරණත්වය ඉල්ලන්න පිරිසිදු දෑත් සහිතව පැමිණිය යුතුයි කියලා. අපි ෆොන්සේකා හිරකිරීම ගැන, ජනාධිපතිගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව, සුදුවෑන් ගැන කතා කරනවා. හැබැයි ඒ හැසිරීමටම තුඩුදෙන හැසිරීම් රටාවක් අපේ පක්ෂය ඇතුළෙ තියාගෙනම තමයි සාධාරණත්වය ඉල්ලන්නෙ. වික්ටර් අයිවන් හැමදාම කියපු එකක් තමයි පක්ෂ ඇතුළෙම ඒකාධිපතීන් නිර්මාණය කරනවා කියන එක. එතකොට පක්ෂ ඇතුළෙ මේ වෙනස නොකර අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ගැන කතා කරනවා නම් මොකක්ද ඇති වැඬේ. අපේ දෑත් පිරිසිදු නැහැනෙ. ඊළඟ කාරණය තමයි 1948 ඉඳල ලංකාවේ ආණ්ඩු පෙරලූණා. පෙරලූවෙ නැහැ. ජනතාවට මූලික දේවල් දෙන්න බැරි වුණාම ආණ්ඩුව පෙරලූණා. නමුත් මේ වන විට ලංකාව මධ්‍යම පරිමාණයේ ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමත් සමගම ආණ්ඩුවට ඕනතරම් සල්ලි තියනවා පාරවල් හදන්න. කණු අදින්න පුළුවන්. අපි මැසිවිලි නගන හුඟාක් ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට සල්ලි තියනවා. එවැනි තත්ත්වයක් උඩ අපිට ආණ්ඩු පිහිටුවන්න වෙන්නෙ විකල්ප ප‍්‍රතිපත්ති වටිනාකම්, විකල්ප වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරලා මිසක් පැරණි ක‍්‍රමවලින් නෙවෙයි. රනිල් ලිරබල් නෙවෙයි, ලිබටේරියානුවෙක්. ලිබටේරියානුවො මහජන බලය විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් බලා ඉන්නෙ කුමන්ත‍්‍රණයක් හෝ වෙන මොකක් හරි අර්බුදයක් ඇතිවෙලා ආණ්ඩු පෙරළෙනකම්. පසුගිය වසර දාහතේම එජාපය විපක්ෂයෙ ඉන්නෙ ඒ නිසා. හැම ජන බලවේගයක්ම රනිල් අතහැරියා. මේ තත්ත්වය තුළයි අපි විකල්ප මගක් තෝරන්නේ.

නමුත් පොදු අරගල පිළිබඳ ආදර්ශයක් එජාපයට කිසිදාක තිබුණේ නැහැ නේද?

1948 එජාපය ඇරඹෙන්නෙ කොම්ප‍්‍රදෝරු පන්තියේ නියෝජනයක් හැටියට. නමුත් 80න් පසු සාමාන්‍ය පන්තිය එජාපයට ආවා. ඒ නිසා අපිට තවදුරටත් කියන්න බැහැ එජාපය හුදු දේශීය ධනේශ්වරයේ නියෝජනයක් කියලා. ජේ.ආර්. තම චරිතාපදානයේ කියනවා ඒ කාලෙ එජාපය දිනනවද කියලා තේරුම් ගන්න වෙන්නේ රාත‍්‍රියේ සිරිකොත මන්දිරයට රැස්වන ජනයා උදේට යනකොට මිදුලේ දකින්නට ලැබෙන බුලත් කෙළ පාරවල්වලින් සහ හිස් අරක්කු බෝතල්වලින් කියලා. එයින්ම තේරෙනවා මේක පොදු ජනයාගේ පක්ෂයක් ලෙස වැඩුණු ආකාරය. දැන් තවදුරටත් කොළඹ කේන්ද්‍රීය ප‍්‍රභූ පන්තිය නෙවෙයි එජාපයේ පදනම.

එජා පක්ෂ ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවීමේ ප‍්‍රශ්නය බරපතළ ලෙස කැපී පෙනුණා. කෘත්‍යාධිකාරියේ බලය රනිල් හසුරුවන්නේත් ඒ හරහායි. මේ පිළිබඳව කළහැක්කේ කුමක්ද?

1994 වනතුරු එජාපය තුළ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණා. හැම නායකයෙක්ම විසම්මුතියට ඉඩ දුන්නා. ජේආර්., ඩඞ්ලි අතර වාදයේදී ඩඞ්ලි වෙනුවෙන් පෙනී සිටි ඉමිතියාස් පිළිගැනීමට ලක්වුණේ නැහැ. පක්ෂයෙන් ගිය ගාමිණී දිසානායකට යළි ඇවිත් ජනාධිපති අපේක්ෂක වෙන්න තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මේකෙ තිබුණා. නමුත් පළමුවැනි වතාවට එජාප ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් බවට හරවන්නෙ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා 1994 පැවති කතරගම සම්මේලනයේදී. ඔහු එහිදී ව්‍යවස්ථාවේ 8 (1) ට යාවජීව නායකත්වය කියලා වගන්තියක් එක් කළා. මේ තුළ ඔහුට ඒකාධිපති බලතල සමූහයක් ලැබුණා.

ඔහුට තනි කැමැත්තට 8 (1) වෙනස් කරන්න ඉඩ ලැබුණේ කොහොමද?

නායකයා ලියපු යෝජනාවක් සම්මේලනයට ගේනවා. නායකයා කේන්ද්‍රීය පක්ෂයක් නිසා කවුරුත් වැඩිදුර නොසිතා අත උස්සනවා. සූක්ෂ්ම නායකයකුට ඒක කරගන්න අපහසු නැහැ. මොකද එජාප පාක්ෂිකයො හැමවිටම නායකයාට අතිශය යටහත් පහත්. 94 ඉඳල ඒකට විරුද්ධ වුණු කණ්ඩායම් තමයි විටින් විට එළියට ගියේ. සරත් අමුණුගම වගේ බුද්ධිමතෙක් ගියේ මේක තමන්ට ඉන්න තරම් ශීලාචාර පක්ෂයක් නොවන නිසයි. බලය හා වාසියට ගිය අයත් ඉන්නවා. මේක ඉවසන්නෙ නැතුව ගිය අයත් ඉන්නවා. දාහතක් සමග කරු ගියෙත් බලය සඳහා නෙවෙයි ඔහුට ඇතිවුණු ඉච්ඡුාභංගත්වය නිසයි. ඔය පසුබිම තුළයි ප‍්‍රතිසංස්කරණ යෝජනා එන්නෙ. මම ඒ වෙලාවෙ හිටියෙ රනිල්ගෙ පැත්තේ. සජිත්ලා බැලූවෙ 8 (1) වෙනස් කිරීම විතරයි. සමස්තයේ අවුල දුටුවේ නැහැ. රනිල් ජෝෂප් මයිකල්, විජයදාස රාජපක්ෂ, කබීර් හෂීම් වැනි අය හරහා සූක්ෂ්ම ලෙස 8 (1) වෙනස් කරලා ඒ වටා වෙනත් පවුරු බැන්දා. ඒක අනික් අය බැලූවෙත් නැහැ, සාකච්ඡුා කෙරුවෙත් නැහැ. ඒක එළියට එන්නෙ ජාතික සංවිධායක පත්කිරීමේදී. රනිල් රට ගියා. අදාළ දිනය පැන්නා. ඊළඟට ව්‍යවස්ථාවේ අර්බුදයක් නම් 16 (1) පරිදි ක‍්‍රියාකළ යුතුයි කියලා ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒ කියන්නෙ නායකයාට පුළුවන් ජාතික සංවිධායක පත් කරන්න. ඒ අනුවයි රවී පත්වුණේ.

බලය නොගෙන පක්ෂයකට පැවතිය නොහැකිය කියලා න්‍යායික අදහසක් තිබෙනවනෙ. රනිල් මහතාට ඡුන්දයක් දිනන්න බැහැ කියන එක ප‍්‍රත්‍යක්ෂ වෙලා තියෙද්දි එතුමාවම ඉදිරියට ගෙන යන එකේ තේරුම මොකක්ද? ඔහුගේ හිතවතුන් මේ කරන වැඬේ මට නම් තේරුම් ගන්න බැහැ. ඊළඟට වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව සමග නිල නොවන ලෙස වක‍්‍ර එකඟතාවකින් වැඩ කරනවා. ඒ චෝදනාව හරියටම කරන්නෙ කොහොමද?

18 වැනි සංශෝධනයේදී කළේ මොකක්ද? ඊට එරෙහිව එජාපය තුළින් නැග ආ බලවේගය රනිල් වුවමනාවන්ම විසුරුවා හැරියා. විශ‍්‍රාම වැටුප් අරගලය ආවා. එජාපයට ඕනෑතරම් ඉඩ තිබුණා තමන්ගෙ අකර්මණ්‍ය වූ සංවිධාන පවා නැගිටුවා යම් පීඩනයක් එල්ල කරන්න. ඒ වෙනුවට එතුමා වහාම රට ගියා. අස්සයා පැනලා ගියාට පස්සෙ ඇවිත් මරදානෙ පුංචි පිකට් එකක් කළා. ඌන ව්‍යවසාය පනතෙදි ජනාධිපති හම්බවෙන්න ගිහින් කිව්වෙ මොකක්ද? දයා ගමගේගෙ ආයතනය ඇතුළු තව දෙක තුනක් ගැන ඇරෙන්න අනික් ඒවා ගැන ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක් නැහැ කියලයි. විපක්ෂ නායකයෙක් කිවයුතු කතාවක්ද ඒ. විශ‍්‍රාම වැටුපක් පෞද්ගලික සේවකයකුට අවශ්‍යයි. ඒක බේරගෙන රජයේ අනිසි ප‍්‍රතිපත්තියටයි විරුද්ධ වෙන්න තිබුණෙ. අපි කළේ දරුවා හෝදපු වතුර ටික දරුවත් එක්කම විසි කරනවා වගේ වැඩක්. වක‍්‍ර සහයෝගය කියන්නෙ ඒ වගේ එකක්. ඊළඟට තව රනිල් ළඟ ඉන්න සමහර අපේ මිත‍්‍රයො ආණ්ඩුව එක්ක බිස්නස් කළා. ඒ අයට ආණ්ඩු බලයක් ඕනෙ නැහැ. ඒ අයට මේ තත්ත්වය ඇති.

රනිල් වඩා ප‍්‍රගතිශීලී නායකයෙක් ලෙස පෙනෙන්නේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ඔහුගේ ස්ථාවරයේදියි. ඒ සමගම සජිත්, මහින්දටත් වඩා ජාතිවාදී නායකයෙක් ලෙස පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය තුළ රනිල් තවමත් එජාපය තුළ ඉදිරිගාමී නායකයා වෙන්නෙ නැද්ද?

රනිල් ඔය කියන තරම් ප‍්‍රගතිශීලියෙක් නොවෙයි. ඕක වාමාංශිකයන්ගේ බොරු මතයක්. මම ජාතික ප‍්‍රශ්නය පිළිබඳ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නවා. හැබැයි වෙන්වීමට විරුද්ධයි. ඉහළ මට්ටමේ සාකච්ඡුා සජිත් සමග මේ විෂය ගැන කර තිබෙනවා. ඒක ඇතිවුණේ සජිත් රාවය පත්තරයට ලබා දුන් සාකච්ඡුාවකදී මම බලය බෙදීමට විරුද්ධයි යනුවෙන් කියා තිබීම පදනම් කරගෙනයි. ඔහු මගෙන් ඇසුවා පළාත් සභා හරහා ග‍්‍රාමීය රෝහල්වල ප‍්‍රශ්නය විසඳිලාද, අධ්‍යාපන ප‍්‍රශ්න විසඳිලාද ආදී වශයෙන්. ඔහුට බලය බෙදීම ගැන වෙනම තර්කයක් තිබෙනවා.

ඉතින් 13 වැනි සංශෝධනයේ ප‍්‍රශ්නයක් තියන බව අපි දන්නවනෙ?

ඔව්. ඊට පස්සෙ තමයි මම ලිව්වෙ රාවයට ලිපියක්, එක්සත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ පළමු අදියර බලය බෙදීමයි කියලා. ඒ සාකච්ඡුාව අපි පක්ෂය තුළ දිගටම යනවා. සජිත් කිසිසේත්ම ඊට එරෙහි නැහැ. මම සපුරාම විරුද්ධයි සජිත් ජාතිවාදියෙක් කියනවට. නමුත් සජිත්ට ඒක සමාජය ඉදිරියේ ඒත්තු ගැන්වීමේ කාර්යභාරයක් තිබෙනවා.

අනික් ජනප‍්‍රිය තර්කය තමයි මහින්ද රාජපක්ෂ ඉන්න කොට ඒ වගේ තව කෙනෙක් ඕනද කියන එක. මම ඊටත් විරුද්ධයි. අපි ගැටුම් සමථකරණය කියන විෂය පිළිබඳ කතා කරන කොට පුද්ගලයෙක් පරිවර්තනය කරන ක‍්‍රම හතරක් ගැන හදාරනවා. පරිවර්තනය කිරීමට පෙර අපි පුද්ගලයා විසංයෝජනයට ලක් කරන්න ඕන. ඊළඟට ඒ පුද්ගලයොයි නැවත ගොඩනගන්න ඕන. ඒ අතර වාරයෙ තමයි පරිවර්තනයට ලක් කරන්නෙ. අපේ තරුණ කාලෙ අපි දුටු දෙයක් තමයි කාලෝ ෆොන්සේකා මස්කෑල්ල එක අතකිනුයි, අරක්කු බෝතලේ අනික් අතිනුයි අරගෙන ගිනි පාගනවා. අපි දැක්කෙ එදාම හවස තර්ස්ටන් විද්‍යාලයේ පැවති කොවුර්ගෙ සාකච්ඡුාව. ඒවා දුටු අපි හිතුවෙ ලංකාව 21 වැනි සියවසට එනවිට තාර්කික ද්‍රව්‍යවාදී සමාජයකට යයි කියලයි. නමුත් අන්ත විඥානවාදී සමාජයකට අපි පරිවර්තනය වුණා. සිංහල බෞද්ධ සමාජය මහින්ද හදනවා. දෙමළ හින්දු සමාජය ප‍්‍රභාකරන් හදනවා. මේ යථාර්ථය තේරුම් අරන් නෙවෙයි ලංකාවෙ ජාත්‍යන්තරවාදියො ක‍්‍රියා කළේ. ඉතාම වියුක්ත වටිනාකම් වෙනුවෙන් පෙනී සිටියා. සිංහල බෞද්ධ ජන විඥානයක් තිබෙනව, මහින්ද චින්තනය හෝමෝනික වෙච්ච සමාජයක උඩුගම් බලා පීනන්න නම් ඒ සමාජයට පළමුව ඇතුළු වෙන්න ඕන. මිහිඳු හාමුදුරුවන්ගෙ ආක‍්‍රමණයේදී අපි ඊට ඇතුළු වන එකනෙ කළේ. ඇතුළු නොවී වෙන දේවල් කියලා වැඩක් නැහැ. බාහුට, සිරිතුංගට, රනිල්ට වෙලා තියෙන්නෙ ඒක. ඒක ප‍්‍රායෝගික ප‍්‍රශ්නයක්. එතකොට මේ වැඬේ කරන්න සිංහල බෞද්ධ අනන්‍යතාව අවශ්‍යයි. වාමාංශික හිතවතුන් මගේ අදහසට විරුද්ධයි. නමුත් ඒක නොකර වෙන මොකක්ද කරන්නෙ. මෙතනැදි ප‍්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මම ඉදිරියේදී වාසු කෙනෙක් වෙනවද කියලා. නැහැ. මගේ සීමාව මම දත යුතුයි.

ඔය ගමනෙදි සීමාව අඳුනගන්න බැරිවෙලා, හැමෝම නැවතුණේ නරක තැනක. නරක තැන මොකක්ද කියන එකයි තේරුම් ගන්න ඕන. මම නම් මේවා ගැන අලූතෙන් හිතනවා. අපි සංතර්පණය වෙලා ඉන්න එකද, මේ දේශපාලන ප‍්‍රවාහය ඉදිරියට ගෙනයන එකද? ජවිපෙ රිබෙල්ස්ලා සහ එජාප රිබෙල්ස්ලා ගතහොත් දෙපිරිසම සිස්ටම් එකට විරුද්ධ වන අය අර්ථ දෙකකින්. මේ ප‍්‍රවණතාව අපි ලෝක පරිමාණයෙනුත් දකිනවානෙ. ලිබියාවෙ, ඊජිප්තුවෙ වගේ. ගතානුගතිකව ඉදිරියට යෑමේ සීමාවකට මනුෂ්‍යයා එනවා. ස්පාටකස්ගෙ ඉඳලා ඒක එහෙමයි. පසුගිය කාලය තුළ ගතානුගතිකත්වය ස්ථාපිතයක් බවට පත්වුණා. දැන් අලූත් ප‍්‍රවණතා තම තමන්ගෙ ගෙවල් ඇතුළෙම පටන් අරන්. මේ සේරම ඉදිරියේදී රාජ්‍යයට බලපායි. ලෝක පරිමාණයෙනුත් ඒක වෙනකොට ලංකාවෙත් කුඩාවට ඒකවෙමින් තිබෙනවා. ඒක තමයි යථාර්ථය. මේ ප‍්‍රශ්න කිරීම වැදගත්. මීට වසරකට පෙර ලංකාවෙ එක හාමුදුරුනමක්වත් සිටියේ නැහැ මහින්ද රාජපක්ෂට රහසින්වත් විරුද්ධ වන. නමුත් අද අපිට ඉන්නවා එක්සත් භික්ෂු සංවිධානයක්. ඔවුන් රනිල්ට විරුද්ධව පටන් ගත්තා තමයි. ඉදිරියේදී ඔවුන් මහින්දටත් විරුද්ධ වෙනවා. ඒක තමයි සිංහල බෞද්ධ සමාජයේ ඇතුළට ගිහින් කරන වැඩපිළිවෙළක වැදගත්කම. ජාත්‍යන්තර වටිනාකම්වලට වගකියන ඒ වගේම දේශීයත්වය පිළිගන්න ක‍්‍රමවේදයකට අපිට යන්න වෙනවා. alobalization හා localization කියන දෙක මිශ‍්‍ර කරලා Glocalization කියන තත්ත්වය තුළයි අපිට ඉදිරියේදී වැඩ කරන්න වෙන්නෙ. වෙළෙඳපොළ, වැඩ කරන ජනයාගේ දුගී බව හා හිංසනය පිළිබඳ සංවේදී බව මෙන්ම ආර්ථික කළමනාකරණය යන මූලික කාරණා තුන එකතු කළහොත් පමණයි රටක් සුපුෂ්පිත කළහැක්කේ. අපි අධානග‍්‍රාහීව එක්ටැම් ගෙවල්වල තවදුරටත් ඉඳල හරියන්නෙ නැහැ. අපි ඇවිත් ඉන්නෙ උපයෝගිතාවාදී සමාජයකට. ඒක තේරුම් ගත යුතුයි.